වර්තමාන තරුණ පරම්පරාවට මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම ආගන්තුක වෙතොත් මම පුදුම නොවෙමි. අපේ කාලයේදී ඔහු ලංකාව විසින් බිහිකළ අග්‍රගණ්‍ය විද්‍යාඥයකු සේ, සමහරවිට අග්‍රගණ්‍ය විද්‍යාඥයා සේ සැලැකුණේය.
“No other scientist of Sri Lankan origin was internationally known and respected as he was”. මේ ආචාර්ය ආතර් සී. ක්ලාක් ඔහු ගැන ලියූ සැටිය. මෙය තවම වෙනස් වී ඇතැයි නොසිතමි.
මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුමගේ කීර්තියට හේතු වූ කාරණා කිහිපයකි. එකක් ජීව රසායන විද්‍යාඥයකු සේ ජීවයේ සම්භවය පිළිබඳ පර්යේෂණයන්ට ඔහුගේ දායකත්වයයි. මේ සම්බන්ධයෙන් ඔහු විසින් ලියන ලද ග්‍රන්ථයක් සිංහලට පරිවර්තනය වී තිබුණු අතර, මා කියවා නැතද, උසස් පෙළ ජීව විද්‍යා සිසුන් එය යම් පමණකට විභාගයට පාඩම් කිරීමේදී යොදා ගත් බව මතකයි. ඊට අමතරව ඔහු විසින් නාසා ආයතනයේදී රඟ පෑ භූමිකාව කැපී පෙණුනේය. ඇපලෝ ව්‍යපෘතිය විසින් ගෙන එනු ලැබූ චන්ද්‍ර පාෂාණ විශ්ලේෂණය කළ පර්යේෂක කණ්ඩායමහි ප්‍රධානියා වූයේ මහාචාර්ය පොන්නම්පෙරුමය.
අසූ ගණන් වල මැද හරියේදී විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති උපදේශකයකු සේ පත්කරනු ලැබූ මහාචාර්ය පොන්නම්පෙරුමට පැවරුණු ප්‍රමුඛ කාර්යයක් වූයේ මූලික අධ්‍යයන ආයතනය (IFS – Institute of Fundamental Studies) පවත්වා ගෙන යාමය. කෙටි කාලයක් කොළඹ පවත්වා ගෙන යනු ලැබූ මූලික අධ්‍යයන ආයතනය මා මේ කතා කරන අවදිය වන විට මහනුවර හන්තාන හෝටලය තිබූ ගොඩනැඟිල්ලෙහි ස්ථිර පදිංචිය ලබා තිබුණේය. එහි භූමිකාව විවාදාපන්න විය. මහාචාර්ය පොන්නම්පෙරුම විසින් ජනමාධ්‍ය හරහා තම ආයතනයට උපරිම ප්‍රචාරය ලබා ගැනීමට කටයුතු කළද, ඊට ප්‍රසිද්ධියේ හා අප්‍රසිද්ධියේ විරුද්ධ වූ විද්‍යාඥයින් රාශියක් සිටි බව මතකය. මේ විරෝධයන් පසුපස අවංක අරමුණු තිබුණා හෝ නැතිවා විය හැකිය. මේ සමයෙහි විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩල වැටුප් ඉතා අඩු මට්ටමක පැවති අතර ඊට අමතරව මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂකයින්ට සැලකිය යුතු තරමේ වැටුපක් හිමිවිය. මේ නිසා ඊට ඇතුළත් වීමට නොහැකි වූ පිරිසගේ “තිත්ත මිදි” හැඟීම බලාපොරොත්තු විය යුතුය.
ආරම්භයේදී විදුසර හා මහාචාර්ය පොන්නම්පෙරුම අතර සම්බන්ධයක් නොවීය. හේතුව ජනප්‍රිය විද්‍යා සඟරාවක් සේ අපට දායකත්වයක් කරන්නට මහාචාර්ය පොන්නම්පෙරුම වැන්නකුට ඕනෑකමක් නැති බවට අපම පූර්ව නිගමනයකට පැමිණ තිබීමයි. මේ සම්බන්ධය ඇති වූයේ අපූරු විදියකටය.
මූලික අධ්‍යයන ආයතනයේ භෞතික විද්‍යාඥයකු වූ මහාචාර්ය කීර්ති තෙන්නකෝන් නියැළී සිටි එක් පර්යේෂණයක් වූයේ ක්ලෝරනීකෘත ජලය ඇලුමිනියම් බඳුන් වල ආහාර පිසීමට යොදා ගැනීම නිසා ක්ලෝරීන් හා ඇලුමිනියම් අයන ප්‍රතික්‍රියා කිරීම මඟින් සෞඛ්‍යයට අහිතකර ආකාරයේ සංයෝග සැලකිය යුතු මට්ටමින් පිසින ආහාර වලට එක් විය හැකිද සොයා බැලීමය. දීර්ඝ කාලයක් තිස්සේ එසේ වීම භයානක බවයි ඔහුගේ අදහස් වූයේ. එවකට කැළණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා මහාචාර්ය ධුරය හෙබවූ මහාචාර්ය ජේ. කේ. පී. ආරියරත්න කියා සිටියේ අදාළ පර්යේෂණය මූලික අධ්‍යයන ආයතනයේ සිදු කිරීමට පෙර සිදු කරන ලද්දේ කැළණිය විශ්ව විද්‍යාලයේ බවයි. මහාචාර්ය ආරියරත්නට කෙළින් පළ නොකළත්, එකල බොහෝ විද්‍යාඥයින්ට සේ, මූලික අධ්‍යයන ආයතනය ගැන යම් කහටක්ද හිතේ තිබුණේය.
විදුසර සඳහා මේ සම්මුඛ සාකච්ඡාව කළේ මායි. මහාචාර්ය ආරියරත්න කතා කළේ පරෙස්සමෙනි. මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණය ගැන කිසිවක් නොකී ඔහු තමන්ගේ පර්යේෂණයේ දින වකවානු නිවැරදිව සඳහන් කළේය. මම සාකච්ඡාව ලියා අනුරට භාර දුන්නෙමි. එය පළ කිරීමට සූදානම්ව තිබුණේය.
මාධ්‍ය ලෝකයේ දූසමාන ආරංචි පැතිරෙන්නේ ආලෝකයේ වේගයෙනි. මහාචාර්ය පොන්නම්පෙරුමට ආරංචිය ගොස් තිබුණේ අප මූලික අධ්‍යයන ආයතනයට එරෙහි යුද ප්‍රකාශ කිරීමට සැරහෙන බවටය. මේ දේශීය මාධ්‍ය වලින් ඍණ ප්‍රතිචාරයක් ඔහු බලාපොරොත්තු නොවූ අවස්ථාවකි. ඔහු වහාම තමන්ගේ “සාම නියෝජිතයා” විදුසරට එව්වේය. මේ එවකට එහි කණිෂ්ඨ පර්යේෂකයකු වූ රොහාන් ගුණරත්නය. (දැන් ත්‍රස්තවාදය පිළිබඳ අන්තර්ජාතික විද්වතකු බව කියන සිංගප්පුරුවේ නන්යන්ග් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොහාන් ගුණරත්න)
රොහාන් අයියාගේ සාම මෙහෙවර සාර්ථක විය. අනුර මගේ ලිපිය කිසිදිනෙක පළ නොකළ අතර විදුසර හා මූලික අධ්‍යයන ආයතනය අතර එක්තරා ආකාරයකින් දෙපැත්තටම ඵලදායක සම්බන්ධයක් ගොඩ නැඟුනේය.
මේ කාලයේ මූලික අධ්‍යයන ආයතනයේ ජාතික වැදගත්කමකින් යුතු සම්මන්ත්‍රණ රාශියක් සංවිධානය වූ බව මතකය. විදුසර වෙනුවෙන් මින් සමහරක් වාර්තා කරන ලද්දේ මවිසිනි. මේවාට පූර්ණ ගමන් පහසුකම් සේම ඉතිරි සියළු වියදම්ද සපයන ලද්දේ රොහාන් අයියාගේ මැදහත් වීමෙන් මූලික අධ්‍යයන ආයතනයෙනි. මහාචාර්ය පොන්නම්පෙරුමටද අපේ “කවරේජ් එක” අල්ලලා ගියේ විද්‍යා සඟරාවක් හැටියට අපට මේවාට වැඩි ඉඩ ප්‍රමාණයක් වෙන් කළ හැකිවූ බැවිනි. ජාතික පුවත්පතක් නිව්ස් එකක් පමණක් සේ ලියන්නකට අපි මැද පිටු හතරමද, කවරයද, සමහරවිට කතුවැකියද වෙන් කළෙමු. තව මොන ප්‍රොමිනන්ස්ද?
“බලශක්ති අර්බූදය” ගැන මූලික අධ්‍යයන ආයතනයේ පැවැති සම්මන්ත්‍රණයක් ඇසුරින් මා විදුසරට කළ කවරයේ කතාවේ වූ යෝජනා කිහිපයක් අවසාන වූයේ 2004 මහ මැතිවරණයෙහි එක්සත් ජනතා සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශනයේය! එය එතැනට ගමන් කළ අපූරු ආකාරය හෙළි කළ නොහැක්කේ රාජ්‍ය රහසක් සේ ඒ කතාව රැක ගන්නැයි මට උපදෙස් ලැබී ඇති නිසාය. සමාවන්න.
මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යාඥයින් කිහිපදෙනෙකුම සමඟ මා විදුසර වෙනුවෙන් සම්මුඛ සාකච්ඡා පැවැත්වූ බවද මතකය. එයින් එක් අයෙක් වර්තමාන සබරගමු සරසවියේ උපකුලපති (එවකට) ආචාර්ය මහින්ද රූපසිංහය.
අනුර සිරිවර්ධනගේ ඊළඟ උත්සාහය වූයේ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම කථිකයකු සේ විදුසර සම්මන්ත්‍රණයකට සහභාගි කර ගැනීමය. මේ වන විට ගෝනියක් දාගෙන කරේ යන්නට ඉඩ දෙන්නට තරම් අපට සමීප වී සිටි රොහාන් අයියා එක පාරටම “හා” කීවේය. ඒ වන විට විදුසරට නිතර පැමිණෙන අමුත්තන් අතර ඔහු ප්‍රමුඛ ස්ථානයක් ගෙන තිබුණේය. මූලික අධ්‍යයන ආයතනය පිම්බීමට ඔහු දැරූ නොනවතින උත්සාහය නිසා ඔහුට මගේ විදුසර සගයින් දී තිබුණු සුරතල් නාමය “තෙල් වෙළෙන්දා” ය.
“අන්න තෙල් වෙළෙන්දා ඇවිත් ඉන්නවා උඹව හම්බ වෙන්න…”
ඉඳහිට යමෙක් මට කැන්ටිමට හෝ පුස්තකාලයට හෝ පැමිණ කියයි.
සම්මන්ත්‍රණය සිංහලෙන් පැවැත්වෙන බව රොහාන් අයියා දැන ගත්තේ පසුවය. දැන් කැමැත්ත ප්‍රකාශ කර අවසානය. ඔහුට වචනය ආපසු ගන්නට ඉඩක් නැත.
1988 මාර්තු 28 වැනිදා ත්‍රිත්ව විද්‍යාලයීය ශාලාවේදී පැවැති විදුසර සම්මන්ත්‍රණයේදී මහාචාර්ය පොන්නම්පෙරුම කොළයක් බලාගෙන විනාඩි පහළොවක් සිංහලෙන් කථා කළේය. දීර්ඝ කාලයක් දිවයිනෙන් පිට ඉංගිරිසියෙන් පමණක් කටයුතු කරන්නට පුරුදු වී සිටි ඔහු සභාවක මෙසේ තම මව් බසින් කථා කළේ දශක තුනකට පමණ පසුය. (අද මෙන් නොව එකල මෙරට සේවය කළ විද්‍යාඥයින් පවා සිංහලෙන් විද්‍යාව ගැන කතා කරන්නට මැළි වූයේ නිවැරදි පාරිභාෂික පද නොදත් නිසා හා සමහරවිට සිංහලෙන් විද්‍යාව ගැන කතා කිරීම අවමානයක් සේ සැලැකූ නිසාය. අද වන විට ජන මාධ්‍ය ප්‍රසාරණය විසින් මේ ගැටළුව සැලකිය යුතු තරමින් විසඳා ඇත.)
විදුසර සම්මන්ත්‍රණයේ වාර්තාවද ලියන ලද්දේ මවිසිනි. මේ “විශේෂ සිද්ධිය” මම ඊට ඇතුළත් කළෙමි. එය ඒ වනවිටත් ක්‍රමයෙන් ගොඩ නැඟෙමින් තිබුණු පොන්නම්පෙරුම-විරෝධී කඳවුරට මූනිස්සම් සපයා දීමක් විය. අපේ විද්‍යා ලේඛකයින් කොයි තරම් බාල්දු වී ඇද්ද කියතොත්, කෙනකු තම මව්බසින් කථා කිරීමද ඔවුනට උණු කැවුම් බඳු පුවතකිය කියා ලීවේ එළිපිටම පොන්නම්පෙරුම විරෝධය ප්‍රකාශ කිරීමට තරම් නිර්භය වූ කිහිපදෙනා අතර මූලිකත්වය ගත් මහාචාර්ය අලවත්තාගොඩ පේමදාසය. (එවකට උද්හිද විද්‍යා මහාචාර්ය, රුහුණු විශ්ව විද්‍යාලය)
විදුසරෙහි දීර්ඝ කාලීන ලේඛකයකු වූ මහාචාර්ය පේමදාස ගැනද කිව හැකි කතන්දර බොහෝය. මේ එයින් අපූරුම එකය.
මා විදුසරින් ඉවත් වී කාලයකට පසුව, එනම් අනූ ගණන් වල මැද හරියේ මහාචාර්ය පේමදාස රූපවාහිණියෙන් දුටුවේ එකල ක්‍රියාත්මක වූ මංගල සමරවීරගේ සුදුනෙළුම්-තවලම් වැඩ සටහනට දැඩිව විරෝධය පළ කරන රැළියකදීය.
මාතර බෝධිය ඉදිරිපසදී වස් කවි කිහිපයක් හා තවත් මොනවාදෝ කියූ මහාචාර්ය පේමදාස තමන්ගේ කථාව අවසාන කළේ මෙසේය.
“…මේ ද්‍රෝහී ක්‍රියාවට එරෙහිව මා කීවේ ඉතාම බලගතු වස් කවි කිහිපයක්. ඉතින් මා යම් ආකාරයට අසත්‍යයක් කියන්නේ නම් දවස් හතක් තුළ මට හෙණ ගැසිය යුතුයි…”
ඊට සතියක් ඇතුළත මම මහාචාර්ය පේමදාසගේ මරණ දැන්වීම දිවයින පුවත්පතින් කියැවීමි. ඔහු මිය ගිය ආකාරය නොදනිමි.
නැවත මහාචාර්ය පොන්නම්පරුම ගැන කතාවට.
දේශීය විද්‍යාඥයින්ට අමතරව තවත් පිරිසක් එකල මූලික අධ්‍යයන ආයතනයේ කටයුතු ගැන ප්‍රශ්න කළෝය. මේ ජනමාධ්‍යවේදීන්ය. සමහරවිට මේ සංවාද බෙහෙවින් උණුසුම් විය. හන්තානේ පැවැති එක් මාධ්‍ය හමුවකදී එවකට The Island පුවත්පතෙහි මාධ්‍යවේදියකු වූ රාජ්පාල් අබේනායක (දැන් කර්තෘ – Lakbima News) දිගින් දිගටම, හාර හාරා ප්‍රශ්න කළේ මූලික අධ්‍යයන ආයතනය වෙනුවෙන් වැය කෙරෙන මුදට වෙනුවෙන් රටට ලැබෙන ප්‍රතිදානයන් ගැනය.
මහාචාර්ය පොන්නම්පෙරුම මේ හරස් ප්‍රශ්න ඇසීම ගැන කෝප වී ඇති සෙයක් පෙනෙන්නට තිබිණි. ඔහු ඉදිරියේ වූයේ මූලික අධ්‍යයන ආයතනයේ යම් පර්යේෂණයකට සම්බන්ධ කුඩා පොහොර උර කිහිපයකි.
“You ask what we do. This is what we do!” ඔහු ඉන් එක පොහොර උරයක් රජ්පාල් වෙතට වීසි කළේය. කේත්තිය වැඩි කමටදෝ එය විසි වුනේ වේගයෙනි. රාජ්පාල්ගේ මුහුණේ වැදී එය නතර විය. අපට හිනා වෙන්නට යමක් ලැබුණේය. ඒත් මහාචාර්ය පොන්නම්පෙරුමට හෝ රාජ්පාල්ට හිනාගියේ නැත.
“People asked such questions from Ernest Rutherford too. There is no way scientists can show immediate results. You have to wait and see.” මහාචාර්ය පොන්නම්පෙරුම තවදුරටත් කියාගෙන ගියේ වේගයෙනි.
රාජ්පාල් මේ පුවත ලියද්දී At this point, Prof. Ponnamperuma presented a fertilizer packet. කියා ලියා තිබූ බව මතකය. ඔහු නොකීවේ ඒය ප්‍රසන්ට් කළ ආකාරයයි. (රාජ්පාල්ගේ වර්තමාන දේශපාලනය හා මාධ්‍ය කලාව කෙසේ වෙතත් මා නවකයකු සේ ඉංගිරිසියෙන් ලියන්නට වැටි වැටී නැඟිටින අවදියේ The Island හි විද්‍යා සංස්කාරකවරයා ලෙස ඔහුගේ අතදීම අගය කරමි. මගේ පළමු ඉංගිරිසි සංස්කාරක රාජ්පාල්ය.)
මේ මුල් සමයෙන් පසු විදුසර හා මහාචාර්ය පොන්නම්පෙරුම අතර සම්බන්ධය බිඳුනේය සිතමි. ඊට එක් හේතුවක් රොහාන් අයියා මූලික අධ්‍යයන ආයතනයෙන් සමු ගැන්මය. ඔහු තම මුල් පොත War and Peace in Sri Lanka: With a Post-Accord Report From Jaffna ලීවේද මේ කාලයේම යැයි සිතමි. ඉන් කලකට පසුව ඔහු Sri Lanka – A Lost Revolution? The Inside Story of the JVP ලීවේ දකුණේ කැරැල්ල විස්තර කිරීමටය. (රොහාන් ගුණරත්න මූලික අධ්‍යයන ආයතනයට සම්බන්ධ වීමට පෙර ‘සන්’ පුවත්පතෙහි මාධ්‍යවේදියෙකි.)
මේ දැනට දශක දෙකකට පමණ පෙරය. මහාචාර්ය පොන්නම්පෙරුමගේ අභාවයෙන් පසුව මූලික අධ්‍යයන ආයතනයේ ස්වර්ණමය යුගය නිමාවිය. තවම එය ඇති බව දන්නා මුත් ඒ ගැන සටහනක් වත් පුවත්පතෙක දකින්නේ නම් ඒ කලාතුරෙකිනි.
පුද්ගලිකව විද්‍යා ලේඛකයකු සේ මම මූලික අධ්‍යයන ආයතනයෙන් බොහෝ දේ උගත්තෙමි. මගේ ජීවිතයේ පළමු හා අවසාන වරට නොබෙල් ත්‍යාගලාභියකු හා සම්මුඛ සාකච්ඡාවක් කරන්නටද මට අවස්ථාව ලැබුණේ මූලික අධ්‍යයන ආයතනය නිසාය. පදනම් ආයතනයේ පැවැති මේ සාකච්ඡාව පාකිස්තාන ජාතික භෞතික විද්‍යාඥ මහාචාර්ය අබ්දුස් සලාම් සමඟය. සලාම් විද්‍යාව පිණිස නොබෙල් ත්‍යාගය දිනාගත් පළමු පාකිස්තානුවා සේම පළමු ඉස්ලාම් භක්තිකයාද වේ.
මහාචාර්ය සිරිල් පොන්නම්පරුමගේ භූමිකාව ලංකාවට හා ලාංකිකයන්ට ලබා දුන් දායකත්වය පිළිබඳ ඇගැයීම මම පාඨකයින්ට භාර කරමි.
මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුමගේ පහළොස්වැනි අවමංගල සංවස්තරය වෙනුවෙන් 2009 දී නාලක ගුණවර්ධන ලියූ ලිපියක් පිණිස මෙතැන කොටන්න.





























