Monthly Archives: April 2011

20. මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම රාජ්පාල් අබේනායකට පෝර උරයකින් ගසයි.

මහාචාර්ය පොන්නම්පෙරුම චන්ද්‍ර පාෂාණ විශ්ලේෂණයේ

වර්තමාන තරුණ පරම්පරාවට මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම ආගන්තුක වෙතොත් මම පුදුම නොවෙමි. අපේ කාලයේදී ඔහු ලංකාව විසින් බිහිකළ අග්‍රගණ්‍ය විද්‍යාඥයකු සේ, සමහරවිට අග්‍රගණ්‍ය විද්‍යාඥයා සේ සැලැකුණේය.

“No other scientist of Sri Lankan origin was internationally known and respected as he was”. මේ ආචාර්ය ආතර් සී. ක්ලාක් ඔහු ගැන ලියූ සැටිය. මෙය තවම වෙනස් වී ඇතැයි නොසිතමි.

මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුමගේ කීර්තියට හේතු වූ කාරණා කිහිපයකි. එකක් ජීව රසායන විද්‍යාඥයකු සේ ජීවයේ සම්භවය පිළිබඳ පර්යේෂණයන්ට ඔහුගේ දායකත්වයයි. මේ සම්බන්ධයෙන් ඔහු විසින් ලියන ලද ග්‍රන්ථයක් සිංහලට පරිවර්තනය වී තිබුණු අතර, මා කියවා නැතද, උසස් පෙළ ජීව විද්‍යා සිසුන් එය යම් පමණකට විභාගයට පාඩම් කිරීමේදී යොදා ගත් බව මතකයි. ඊට අමතරව ඔහු විසින් නාසා ආයතනයේදී රඟ පෑ භූමිකාව කැපී පෙණුනේය. ඇපලෝ ව්‍යපෘතිය විසින් ගෙන එනු ලැබූ චන්ද්‍ර පාෂාණ විශ්ලේෂණය කළ පර්යේෂක කණ්ඩායමහි ප්‍රධානියා වූයේ මහාචාර්ය පොන්නම්පෙරුමය.

අසූ ගණන් වල මැද හරියේදී විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති උපදේශකයකු සේ පත්කරනු ලැබූ මහාචාර්ය පොන්නම්පෙරුමට පැවරුණු ප්‍රමුඛ කාර්යයක් වූයේ මූලික අධ්‍යයන ආයතනය (IFS – Institute of Fundamental Studies) පවත්වා ගෙන යාමය. කෙටි කාලයක් කොළඹ පවත්වා ගෙන යනු ලැබූ මූලික අධ්‍යයන ආයතනය මා මේ කතා කරන අවදිය වන විට මහනුවර හන්තාන හෝටලය තිබූ ගොඩනැඟිල්ලෙහි ස්ථිර පදිංචිය ලබා තිබුණේය. එහි භූමිකාව විවාදාපන්න විය. මහාචාර්ය පොන්නම්පෙරුම විසින් ජනමාධ්‍ය හරහා තම ආයතනයට උපරිම ප්‍රචාරය ලබා ගැනීමට කටයුතු කළද, ඊට ප්‍රසිද්ධියේ හා අප්‍රසිද්ධියේ විරුද්ධ වූ විද්‍යාඥයින් රාශියක් සිටි බව මතකය. මේ විරෝධයන් පසුපස අවංක අරමුණු තිබුණා හෝ නැතිවා විය හැකිය. මේ සමයෙහි විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩල වැටුප් ඉතා අඩු මට්ටමක පැවති අතර ඊට අමතරව මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂකයින්ට සැලකිය යුතු තරමේ වැටුපක් හිමිවිය. මේ නිසා ඊට ඇතුළත් වීමට නොහැකි වූ පිරිසගේ “තිත්ත මිදි” හැඟීම බලාපොරොත්තු විය යුතුය.

මහාචාර්ය පොන්නම්පෙරුම ජෝර්ජ් කීට් සමඟ

ආරම්භයේදී විදුසර හා මහාචාර්ය පොන්නම්පෙරුම අතර සම්බන්ධයක් නොවීය. හේතුව ජනප්‍රිය විද්‍යා සඟරාවක් සේ අපට දායකත්වයක් කරන්නට මහාචාර්ය පොන්නම්පෙරුම වැන්නකුට ඕනෑකමක් නැති බවට අපම පූර්ව නිගමනයකට පැමිණ තිබීමයි. මේ සම්බන්ධය ඇති වූයේ අපූරු විදියකටය.

මූලික අධ්‍යයන ආයතනයේ භෞතික විද්‍යාඥයකු වූ මහාචාර්ය කීර්ති තෙන්නකෝන් නියැළී සිටි එක් පර්යේෂණයක් වූයේ ක්ලෝරනීකෘත ජලය ඇලුමිනියම් බඳුන් වල ආහාර පිසීමට යොදා ගැනීම නිසා ක්ලෝරීන් හා ඇලුමිනියම් අයන ප්‍රතික්‍රියා කිරීම මඟින් සෞඛ්‍යයට අහිතකර ආකාරයේ සංයෝග සැලකිය යුතු මට්ටමින් පිසින ආහාර වලට එක් විය හැකිද සොයා බැලීමය. දීර්ඝ කාලයක් තිස්සේ එසේ වීම භයානක බවයි ඔහුගේ අදහස් වූයේ. එවකට කැළණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා මහාචාර්ය ධුරය හෙබවූ මහාචාර්ය ජේ. කේ. පී. ආරියරත්න කියා සිටියේ අදාළ පර්යේෂණය මූලික අධ්‍යයන ආයතනයේ සිදු කිරීමට පෙර සිදු කරන ලද්දේ කැළණිය විශ්ව විද්‍යාලයේ බවයි. මහාචාර්ය ආරියරත්නට කෙළින් පළ නොකළත්, එකල බොහෝ විද්‍යාඥයින්ට සේ, මූලික අධ්‍යයන ආයතනය ගැන යම් කහටක්ද හිතේ තිබුණේය.

විදුසර සඳහා මේ සම්මුඛ සාකච්ඡාව කළේ මායි. මහාචාර්ය ආරියරත්න කතා කළේ පරෙස්සමෙනි. මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණය ගැන කිසිවක් නොකී ඔහු තමන්ගේ පර්යේෂණයේ දින වකවානු නිවැරදිව සඳහන් කළේය. මම සාකච්ඡාව ලියා අනුරට භාර දුන්නෙමි. එය පළ කිරීමට සූදානම්ව තිබුණේය.

මාධ්‍ය ලෝකයේ දූසමාන ආරංචි පැතිරෙන්නේ ආලෝකයේ වේගයෙනි. මහාචාර්ය පොන්නම්පෙරුමට ආරංචිය ගොස් තිබුණේ අප මූලික අධ්‍යයන ආයතනයට එරෙහි යුද ප්‍රකාශ කිරීමට සැරහෙන බවටය. මේ දේශීය මාධ්‍ය වලින් ඍණ ප්‍රතිචාරයක් ඔහු බලාපොරොත්තු නොවූ අවස්ථාවකි. ඔහු වහාම තමන්ගේ “සාම නියෝජිතයා” විදුසරට එව්වේය. මේ එවකට එහි කණිෂ්ඨ පර්යේෂකයකු වූ රොහාන් ගුණරත්නය. (දැන් ත්‍රස්තවාදය පිළිබඳ අන්තර්ජාතික විද්වතකු බව කියන සිංගප්පුරුවේ නන්යන්ග් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොහාන් ගුණරත්න)

රොහාන් අයියාගේ සාම මෙහෙවර සාර්ථක විය. අනුර මගේ ලිපිය කිසිදිනෙක පළ නොකළ අතර විදුසර හා මූලික අධ්‍යයන ආයතනය අතර එක්තරා ආකාරයකින් දෙපැත්තටම ඵලදායක සම්බන්ධයක් ගොඩ නැඟුනේය.

මේ කාලයේ මූලික අධ්‍යයන ආයතනයේ ජාතික වැදගත්කමකින් යුතු සම්මන්ත්‍රණ රාශියක් සංවිධානය වූ බව මතකය. විදුසර වෙනුවෙන් මින් සමහරක් වාර්තා කරන ලද්දේ මවිසිනි. මේවාට පූර්ණ ගමන් පහසුකම් සේම ඉතිරි සියළු වියදම්ද සපයන ලද්දේ රොහාන් අයියාගේ මැදහත් වීමෙන් මූලික අධ්‍යයන ආයතනයෙනි. මහාචාර්ය පොන්නම්පෙරුමටද අපේ “කවරේජ් එක” අල්ලලා ගියේ විද්‍යා සඟරාවක් හැටියට අපට මේවාට වැඩි ඉඩ ප්‍රමාණයක් වෙන් කළ හැකිවූ බැවිනි. ජාතික පුවත්පතක් නිව්ස් එකක් පමණක් සේ ලියන්නකට අපි මැද පිටු හතරමද, කවරයද, සමහරවිට කතුවැකියද වෙන් කළෙමු. තව මොන ප්‍රොමිනන්ස්ද?

“බලශක්ති අර්බූදය” ගැන මූලික අධ්‍යයන ආයතනයේ පැවැති සම්මන්ත්‍රණයක් ඇසුරින් මා විදුසරට කළ කවරයේ කතාවේ වූ යෝජනා කිහිපයක් අවසාන වූයේ 2004 මහ මැතිවරණයෙහි එක්සත් ජනතා සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශනයේය! එය එතැනට ගමන් කළ අපූරු ආකාරය හෙළි කළ නොහැක්කේ රාජ්‍ය රහසක් සේ ඒ කතාව රැක ගන්නැයි මට උපදෙස් ලැබී ඇති නිසාය. සමාවන්න.

මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යාඥයින් කිහිපදෙනෙකුම සමඟ මා විදුසර වෙනුවෙන් සම්මුඛ සාකච්ඡා පැවැත්වූ බවද මතකය. එයින් එක් අයෙක් වර්තමාන සබරගමු සරසවියේ උපකුලපති (එවකට) ආචාර්ය මහින්ද රූපසිංහය.

අනුර සිරිවර්ධනගේ ඊළඟ උත්සාහය වූයේ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම කථිකයකු සේ විදුසර සම්මන්ත්‍රණයකට සහභාගි කර ගැනීමය. මේ වන විට ගෝනියක් දාගෙන කරේ යන්නට ඉඩ දෙන්නට තරම් අපට සමීප වී සිටි රොහාන් අයියා එක පාරටම “හා” කීවේය. ඒ වන විට විදුසරට නිතර පැමිණෙන අමුත්තන් අතර ඔහු ප්‍රමුඛ ස්ථානයක් ගෙන තිබුණේය. මූලික අධ්‍යයන ආයතනය පිම්බීමට ඔහු දැරූ නොනවතින උත්සාහය නිසා ඔහුට මගේ විදුසර සගයින් දී තිබුණු සුරතල් නාමය “තෙල් වෙළෙන්දා” ය.

“අන්න තෙල් වෙළෙන්දා ඇවිත් ඉන්නවා උඹව හම්බ වෙන්න…”

ඉඳහිට යමෙක් මට කැන්ටිමට හෝ පුස්තකාලයට හෝ පැමිණ කියයි.

රොහාන් අයියා හෙවත් අපේ "තෙල් වෙළෙන්දා" මෑතකදී

සම්මන්ත්‍රණය සිංහලෙන් පැවැත්වෙන බව රොහාන් අයියා දැන ගත්තේ පසුවය. දැන් කැමැත්ත ප්‍රකාශ කර අවසානය. ඔහුට වචනය ආපසු ගන්නට ඉඩක් නැත.

1988 මාර්තු 28 වැනිදා ත්‍රිත්ව විද්‍යාලයීය ශාලාවේදී පැවැති විදුසර සම්මන්ත්‍රණයේදී මහාචාර්ය පොන්නම්පෙරුම කොළයක් බලාගෙන විනාඩි පහළොවක් සිංහලෙන් කථා කළේය. දීර්ඝ කාලයක් දිවයිනෙන් පිට ඉංගිරිසියෙන් පමණක් කටයුතු කරන්නට පුරුදු වී සිටි ඔහු සභාවක මෙසේ තම මව් බසින් කථා කළේ දශක තුනකට පමණ පසුය. (අද මෙන් නොව එකල මෙරට සේවය කළ විද්‍යාඥයින් පවා සිංහලෙන් විද්‍යාව ගැන කතා කරන්නට මැළි වූයේ නිවැරදි පාරිභාෂික පද නොදත් නිසා හා සමහරවිට සිංහලෙන් විද්‍යාව ගැන කතා කිරීම අවමානයක් සේ සැලැකූ නිසාය. අද වන විට ජන මාධ්‍ය ප්‍රසාරණය විසින් මේ ගැටළුව සැලකිය යුතු තරමින් විසඳා ඇත.)

විදුසර සම්මන්ත්‍රණයේ වාර්තාවද ලියන ලද්දේ මවිසිනි. මේ “විශේෂ සිද්ධිය” මම ඊට ඇතුළත් කළෙමි. එය ඒ වනවිටත් ක්‍රමයෙන් ගොඩ නැඟෙමින් තිබුණු පොන්නම්පෙරුම-විරෝධී කඳවුරට මූනිස්සම් සපයා දීමක් විය. අපේ විද්‍යා ලේඛකයින් කොයි තරම් බාල්දු වී ඇද්ද කියතොත්, කෙනකු තම මව්බසින් කථා කිරීමද ඔවුනට උණු කැවුම් බඳු පුවතකිය කියා ලීවේ එළිපිටම පොන්නම්පෙරුම විරෝධය ප්‍රකාශ කිරීමට තරම් නිර්භය වූ කිහිපදෙනා අතර මූලිකත්වය ගත් මහාචාර්ය අලවත්තාගොඩ පේමදාසය. (එවකට උද්හිද විද්‍යා මහාචාර්ය, රුහුණු විශ්ව විද්‍යාලය)

විදුසරෙහි දීර්ඝ කාලීන ලේඛකයකු වූ මහාචාර්ය පේමදාස ගැනද කිව හැකි කතන්දර බොහෝය. මේ එයින් අපූරුම එකය.

මා විදුසරින් ඉවත් වී කාලයකට පසුව, එනම් අනූ ගණන් වල මැද හරියේ මහාචාර්ය පේමදාස රූපවාහිණියෙන් දුටුවේ එකල ක්‍රියාත්මක වූ මංගල සමරවීරගේ සුදුනෙළුම්-තවලම් වැඩ සටහනට දැඩිව විරෝධය පළ කරන රැළියකදීය.

මාතර බෝධිය ඉදිරිපසදී වස් කවි කිහිපයක් හා තවත් මොනවාදෝ කියූ මහාචාර්ය පේමදාස තමන්ගේ කථාව අවසාන කළේ මෙසේය.

“…මේ ද්‍රෝහී ක්‍රියාවට එරෙහිව මා කීවේ ඉතාම බලගතු වස් කවි කිහිපයක්. ඉතින් මා යම් ආකාරයට අසත්‍යයක් කියන්නේ නම් දවස් හතක් තුළ මට හෙණ ගැසිය යුතුයි…”

ඊට සතියක් ඇතුළත මම මහාචාර්ය පේමදාසගේ මරණ දැන්වීම දිවයින පුවත්පතින් කියැවීමි. ඔහු මිය ගිය ආකාරය නොදනිමි.

නැවත මහාචාර්ය පොන්නම්පරුම ගැන කතාවට.

දේශීය විද්‍යාඥයින්ට අමතරව තවත් පිරිසක් එකල මූලික අධ්‍යයන ආයතනයේ කටයුතු ගැන ප්‍රශ්න කළෝය. මේ ජනමාධ්‍යවේදීන්ය. සමහරවිට මේ සංවාද බෙහෙවින් උණුසුම් විය. හන්තානේ පැවැති එක් මාධ්‍ය හමුවකදී එවකට The Island පුවත්පතෙහි මාධ්‍යවේදියකු වූ රාජ්පාල් අබේනායක (දැන් කර්තෘ – Lakbima News) දිගින් දිගටම, හාර හාරා ප්‍රශ්න කළේ මූලික අධ්‍යයන ආයතනය වෙනුවෙන් වැය කෙරෙන මුදට වෙනුවෙන් රටට ලැබෙන ප්‍රතිදානයන් ගැනය.

මහාචාර්ය පොන්නම්පෙරුම මේ හරස් ප්‍රශ්න ඇසීම ගැන කෝප වී ඇති සෙයක් පෙනෙන්නට තිබිණි. ඔහු ඉදිරියේ වූයේ මූලික අධ්‍යයන ආයතනයේ යම් පර්යේෂණයකට සම්බන්ධ කුඩා පොහොර උර කිහිපයකි.

“You ask what we do. This is what we do!” ඔහු ඉන් එක පොහොර උරයක් රජ්පාල් වෙතට වීසි කළේය. කේත්තිය වැඩි කමටදෝ එය විසි වුනේ වේගයෙනි. රාජ්පාල්ගේ මුහුණේ වැදී එය නතර විය. අපට හිනා වෙන්නට යමක් ලැබුණේය. ඒත් මහාචාර්ය පොන්නම්පෙරුමට හෝ රාජ්පාල්ට හිනාගියේ නැත.

“People asked such questions from Ernest Rutherford too. There is no way scientists can show immediate results. You have to wait and see.” මහාචාර්ය පොන්නම්පෙරුම තවදුරටත් කියාගෙන ගියේ වේගයෙනි.

රාජ්පාල් මේ පුවත ලියද්දී At this point, Prof. Ponnamperuma presented a fertilizer packet. කියා ලියා තිබූ බව මතකය. ඔහු නොකීවේ ඒය ප්‍රසන්ට් කළ ආකාරයයි. (රාජ්පාල්ගේ වර්තමාන දේශපාලනය හා මාධ්‍ය කලාව කෙසේ වෙතත් මා නවකයකු සේ ඉංගිරිසියෙන් ලියන්නට වැටි වැටී නැඟිටින අවදියේ The Island හි විද්‍යා සංස්කාරකවරයා ලෙස ඔහුගේ අතදීම අගය කරමි. මගේ පළමු ඉංගිරිසි සංස්කාරක රාජ්පාල්ය.)

මේ මුල් සමයෙන් පසු විදුසර හා මහාචාර්ය පොන්නම්පෙරුම අතර සම්බන්ධය බිඳුනේය සිතමි. ඊට එක් හේතුවක් රොහාන් අයියා මූලික අධ්‍යයන ආයතනයෙන් සමු ගැන්මය. ඔහු තම මුල් පොත War and Peace in Sri Lanka: With a Post-Accord Report From Jaffna ලීවේද මේ කාලයේම යැයි සිතමි. ඉන් කලකට පසුව ඔහු Sri Lanka – A Lost Revolution? The Inside Story of the JVP ලීවේ දකුණේ කැරැල්ල විස්තර කිරීමටය. (රොහාන් ගුණරත්න මූලික අධ්‍යයන ආයතනයට සම්බන්ධ වීමට පෙර ‘සන්’ පුවත්පතෙහි මාධ්‍යවේදියෙකි.)

මේ දැනට දශක දෙකකට පමණ පෙරය. මහාචාර්ය පොන්නම්පෙරුමගේ අභාවයෙන් පසුව මූලික අධ්‍යයන ආයතනයේ ස්වර්ණමය යුගය නිමාවිය. තවම එය ඇති බව දන්නා මුත් ඒ ගැන සටහනක් වත් පුවත්පතෙක දකින්නේ නම් ඒ කලාතුරෙකිනි.

පුද්ගලිකව විද්‍යා ලේඛකයකු සේ මම මූලික අධ්‍යයන ආයතනයෙන් බොහෝ දේ උගත්තෙමි. මගේ ජීවිතයේ පළමු හා අවසාන වරට නොබෙල් ත්‍යාගලාභියකු හා සම්මුඛ සාකච්ඡාවක් කරන්නටද මට අවස්ථාව ලැබුණේ මූලික අධ්‍යයන ආයතනය නිසාය. පදනම් ආයතනයේ පැවැති මේ සාකච්ඡාව පාකිස්තාන ජාතික භෞතික විද්‍යාඥ මහාචාර්ය අබ්දුස් සලාම් සමඟය. සලාම් විද්‍යාව පිණිස නොබෙල් ත්‍යාගය දිනාගත් පළමු පාකිස්තානුවා සේම පළමු ඉස්ලාම් භක්තිකයාද වේ.

මහාචාර්ය අබ්දුස් සලාම්

මහාචාර්ය සිරිල් පොන්නම්පරුමගේ භූමිකාව ලංකාවට හා ලාංකිකයන්ට ලබා දුන් දායකත්වය පිළිබඳ ඇගැයීම මම පාඨකයින්ට භාර කරමි.

මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුමගේ පහළොස්වැනි අවමංගල සංවස්තරය වෙනුවෙන් 2009 දී නාලක ගුණවර්ධන ලියූ ලිපියක් පිණිස මෙතැන කොටන්න.

19. ඩබ්ලිව්. ඒ. විජේවර්ධන නම් වූ කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයා

“Have you read Ayn Rand?”

විජේවර්ධන මහත්තයා ඇසුවේය.

මේ ප්‍රශ්නය ගැන එක අතකට මම පුදුම වීමි. මන්ද ඒ වනතෙක් මට උපදෙස් ලැබී තිබුණේ Ayn Rand (ඒන් රෑන්ඩ්) නොකියවන ලෙසය.

NIT-K හි දෙවන වසරේ හෝ තෙවන වසරේ මගේ “රූමී” ළඟ කහ ගැහුණු පිටු සහිත Ayn Rand ගේ නවකතා කිහිපයක් තිබුණු බව මතකයි. ඔහු එක කතාවක් මාස ගණනක් කියවයි. එක පොතක පිටු හයසීයක් හෝ හත්සීයක් ඇත. කූඹි අකුරුය. මට නම් දිනපතා උදේ හවස කියැවුවත් අවුරුද්දකින් මෙහා පැත්තේ කියවා ඉවර කරන්නට බැරි පොත්ය. ඒත් මගේ “රූමී” මේවා බැතිබර කිතුණුවකු බයිබලය කියවනවාටත් වඩා ආදරයෙන්, හෝ (වඩා හොඳ උපමාවකින් කියන්නේ නම්) උසස් පෙළ ශිෂ්‍යයකු “ප්ලේ බෝයි” සඟරාවකට දක්වන අවධානයෙන් යුතුව කියැවූයේය.

ඉඳහිට මම මේ පොතක පිටු පෙරළා බලනු දුටුවොත් ඔහු බැරෑරුම් පෙනුමක් ආරූඪ කරගෙන මෙසේ කියයි.

“Chanuka, you should never read these. You will go insane if you do”

මේ ඇත්තක් බව මම දැන සිටියෙමි. මන්ද ඔහු ඒ වන විටත් පිස්සු වැටී සිටි බව මා දැන සිටි නිසාය. හැම දිනෙකම ඔහු මට Howard Roark ගේ අළුත් අත්දැකීමක් කියයි. Ayn Rand නොකියවාම මම Howard Roark ගේ ෆෑන් කෙනෙකු වීමි.

Howard Roark ගෘහ නිර්මාණ ශිල්පියෙකි. නමුත් ශිල්පීය වශයෙන් ඔහු පැහදිළිව සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පීන්ගෙන් වෙනස් වෙයි. ඔහු සැලසුම් කරන ගොඩනැඟිල්ලක හරය එහි උපයෝගීතාවයයි; සෞන්දර්යය නොවේ. සගයෝ ඔහුගේ නිර්මාණ ශක්තිය ගැන සැක කරති. ඔහු ලෝකයා කියන්නක් තඹයකට නොතකා තම මතය වෙනුවෙන් නිර්භීතව පෙනී සිටී.

මේ ඇය විසින් 1943දී පළ කරන ලද Fountainhead ය. විජේවර්ධන මහත්තයා අදහස් කළේ එය නොව ඇගේ 1957 නවකථාව Atlas Shrugged හා ඇය විසින් ධනවාදය ගැන ලියන ලද ලිපිය.

මේ පොත් කිසිවක් මම සම්පූර්ණයෙක් නොකියැවූයෙමි. නමුත් පොතක් නොකියවා එහි හරය උකහා ගැනීමේ කපටිකම ඒ වන විට ‘මාස්ටර් කර’ තිබුණු හෙයින් විජයවර්ධන මහත්තයාට මට උගන්වන්නට අවශ්‍ය වූ දේ වටහා ගතිමි.

මම Ayn Rand ගේ අනුගාමිකයකු වනු වෙනුවට ඩබ්ලිව්. ඒ. විජේවර්ධනගේ අනුගාමිකයෙක් වීමි.

මේ කිතු වසින් 2000දී පමණය සිතමි.

විජේවර්ධන මහත්තයා තමන් Objectivist කෙනකු බව Facebook එකේ ලියා තිබුණු බව මතකය. මේ තනි වචනය කෙනකු ගැන බොහෝ දේ හෙළි කරයි. Ayn Rand නැතිව ඔහු ගැන විස්තර කිරීම උගහට එහෙයිනි. Objectivism ගැනද Any Rand ගැනද දීර්ඝ හැඳින්වීම් විකිපීඩියාවෙහි වෙයි. එබැවින් මම Ayn Rand ගැන විස්තරය මෙතැනින් නිමා කොට ඩබ්ලිව්. ඒ. විජේවර්ධන නැමැති මගේ ගුරුවරයා ගැන ලියමි.

පසුගිය වසර දහයක පමණ කාලය තුළ a friend, philosopher and guide ලෙස හඳුන්වන්නට කෙනකු මට සිටියේ නම් ඒ විජේවර්ධන මහත්තයාය. මා නිවැරදිව කියැවූ එකම පුද්ගලයා සේ මට ඔහු ගැන සිතෙන්නේ එබැවිනි. එසේම මා ජීවිතයේ මුහුණ දුන් ඕනෑම ගැටළුවකදී, මනා ඉවසිල්ලකින් යුතුව සවන් යොමුකොට, ඉදිරිපත් කරන්නට සමබර විසඳුමක් ඔහුට විය. මේ කාලයෙන් වැඩි හරියක් ඔහු මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා විය. දැන් ඔහු ස්වාධීන ලේඛකයකු, දේශකයකු හා උපදේශකයකු සේ කටයුතු කරයි.

ආර්ථික විද්‍යාව ගැන මට කුඩා කළ පටන්ම කුතුහලයක් තිබුණේය. එහෙත් මගේ මුල් ආසාව වූ ස්වාභාවික විද්‍යාවන් ඉගෙනීමට යෑම මා ආර්ථික විද්‍යාවෙන් සම්පූර්ණයෙන්ම වාගේ ඈත්කළේය. නැවත මේ කුතුහලය දළු ලා වැඩෙන්නට පටන් ගත්තේ 1997දී ශ්‍රී ලංකා මහ බැංකුවට ඇතුළු වූවායින් පසුය. මගේ සගයෝ මා නොදන්නා බසෙකින් චතුර ලෙස කතා කරති. මේ බස ඉගෙනීමේ නොතිත් ආසවක් මට ඇතිවිය. යම් විෂයයක් ඉගෙන ගන්නේ නම් ඒ එකේ සිට ඉගෙනීමක් විය යුතුය. අවාසනාවකට මහ බැංකුව තුළ එවැනි ඉගෙනීමකට වාතාවරණයක් නොවීය. මට ආර්ථික විද්‍යාවේ අකුරු කරවන ලද්දේ ව්‍යාපාර කළමනාකාර ශාස්ත්‍රපති උපාධිය ඉගෙනීමට කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළු වූ පසුව දේශක ආචාර්ය ප්‍රියාල් ද සිල්වා විසිනි. දැනට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සිටින ප්‍රියාල් මට ජීවිතයේ හමු වූ දක්ෂතම ගුරුවරයෙකි. මගේ බයිබලය වූයේ Lipsey and Chrystal ගේ An Introduction to Positive Economics ය. ඒ තරම් භක්තියකින් හා උනන්දුවකින් මා ඇසුරු කළ වෙනත් පාඨ ග්‍රන්ථයක් වී නම් ඒ සරසවි සමය තුළ හදාළ Millman and Halkiasගේ Integrated Electronics පමණෙකි. පාඨ ග්‍රන්ථ සියල්ලක්ම සුරැකිව තබා ගැනීම මගේ සාමාන්‍ය සිරිත නොවේ. ඒත් මේ පොත් දෙකම තවමත් මා සතුව ඇත.

ප්‍රියාල් විසින් පැළ කරන ලද කුඩා පැලයට නිති දිය වත් කොට ආදරයෙන් එය වැඩෙනු බලා සිටියේ විජේවර්ධන මහත්තයාය. මම ඔහුගේ දහසක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර කෙනකු පමණක් වීමි. එහෙත් මගේ සුළු පැනයෙකට පවා ඔහු වෙහෙස ගෙන දීර්ඝ, විස්තරාත්මක උත්තර දුන්නේය. ඒ ගුරුවරයකු සේ කටයුතු කිරීමෙන් ඔහු ලද වින්දනය නිසාය සිතමි. තමන් ලබන සොච්චම් දීමනාව ගැන කම්පා නොවී ඔහු දශක ගණනාවක් ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙහි ගුරු මුෂ්ටි නොතියා උගත් ශිල්පය දුහුනන්ට බෙදා දුන්නේය.

විජේවර්ධන මහත්තයාගේ ආර්ථික දර්ශනය වචන තුනෙකින් විස්තර කළ හැකිය. ලිබරල්, ලිබරල් හා ලිබරල්. ඔහු වෙළඳපළ ගැන දක්වන අපරිමේය භක්තිය මට ප්‍රකට කියමනක් සිහි කරයි.

Q: How many free market economists does it take to change a light bulb?
A: None. the market will take care of it.

මේ මාද අයිඩියොලොජියක් ලෙස නිදහස් වෙළඳපල විශ්වාස කරන්නේය යන වැරදි පාඨක මතයට පෝර දැමීමක් විය හැකිය. නැත. මම වෙළඳපළ විශ්වාස කරමි. නමුත් අයිඩියොලොජියක් ලෙස නොවේ. අයිඩියොලොජියක් සේ වෙළඳපළ විශ්වාස කළ යුගයක්ද විය. වයස විස්සේදී සමාජවාදය යමකුට කොයිතරම් ආස්වාදජනක වන්නේද, වයස තිහේදී තිස්පහේදී බුද්ධියේ වර්ධනයක් සමඟම නිදහස් වෙළඳපළ හා ධනවාදයද එසේම ආස්වාදජනක වෙයි. අනෙක් අතර මිල්ටන් ෆ්‍රීඩ්මාන් මාක්ස්ට හා එංගලස්ට වඩා අති දක්ෂ සන්නිවේදකයෙකි. You Tube හි ඇති ඔහුගේ සමහර දේශන ලෝකයේ අන් සියල්ල අමතක කොට සවන් දිය හැකි තරමට ප්‍රබලය. නමුත් යම් අවස්ථාවක නිදහස් වෙළඳපළ තියරියේ සීමා අපි හඳුනා ගනිමු. අයිඩියොලොජියක් ලෙස ධනවාදයද සමාජවාදය තරමටම භයානක බව අපි ඉගෙන ගනිමු. මා එය හඳුනා ගත්තේ ජෝශප් ස්ටිග්ලිස් කියැවීමෙනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥයාව සිටි ස්ටිග්ලිස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ම දියුණු වෙමින් පවතින රාජ්‍යයන්ට කරනු ලබන සමහර යෝජනා කොයිතරම් ඵල විරහිතද යන්න තම Making Globalisation work හි විස්තර කරයි. (සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඇත්තේ “කෝකටත් තෛල” ලෙස නිර්දේශ කරන යෝජනා මාලාවෙකි. මේවයින් ලෝකයේ ආර්ථික ප්‍රශ්න සියල්ල බලා සිටියදී මෙන් නිවාරණය වන බව මූල්‍ය අරමුදලේ ලොක්කෝත් සමහර ආර්ථික විද්‍යාඥයෝත් කල්පනා කරති. මේවායින් සමහරක් වැරදි බවත්, සමහරක් නිවැරදි වුව හැම පරිසරයකම එක ලෙස ඵලදායකව ක්‍රියාත්මක නොකළැකි බවත් දන්නේ ඒවා සීරියස් ලෙස අධ්‍යයනය කළෝ පමණෙකි.)

විජේවර්ධන මහත්තයා ගැන කතා කරන්නට ඇවිත් මිල්ටන් ෆ්‍රීඩ්මාන් හා ජෝෂප් ස්ටිග්ලිස් ගැන කතා කිරීම පීලි පැනීමක් ලෙස වරදවා වටහා නොගත යුතුය. මේ සියල්ලන්ගේ ලෝකය මට විවර කිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ ඔහුටය. ඔහු නොවූයේ නම් අදාළ විෂය පිළිබඳ කිසිම අධ්‍යාපනික සුදුසුකමක් නැතිව (අඩු ගණනේ උසස් පෙළ වත්!) රටේ ප්‍රමුඛ ආර්ථික විද්‍යාඥයින් සමඟ වාද කිරීමේ හැකියාව මට නොලැබෙන්නේය.

විජේවර්ධන මහත්තයා අපූරු පුද්ගලයෙකි. ඕනෑම අවැදගත් විෂයයක් වැදගත්, අර්ථවත් සංවාදයකට පෙරළා ගත හැකි ආකාරය ඔහු දනියි. වසර දෙදහසේදී පමණ මහ බැංකුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතුරින් ඩිජිටල් ඔරලෝසුවක් පැළැඳුවේ ඔහු පමණෙකි. මේ කාරණාව මම වරෙක ඔහුට සිහි කළෙමි. ඔහු මට දුන් (පහත පළ වන) උත්තරය ඔරලෝසු වලටත් වඩා 1970 පටන් ලාංකීය සමාජයේ සමාජ ආර්ථික පසුබිම ගැන කෙරන අපූරු විවරණයෙකි.

The first wrist watch I bought in 1970 when the country was at the height of import restrictions. At that time I was a clerk at University of Colombo. A fellow clerk was into smuggling business on a big scale and could supply anything that you wanted within days. I bought for Rs 150, slightly less than my monthly salary of Rs 165 at that time, a Swiss make, branded Mondia. It served me well for more than two decades.

But my interest in digital watches was ignited when I one day visited Wimaladharma Brothers to buy a time piece clock in 1980. There in the showcase they were displaying the newest addition to the family of watches, Casio digital, just imported from Japan under JRJ’s open economy policy. I immediately got a liking to the black colour plastic type available with multi functions, day, date, month, stop watch, 24 hour feature, night light feature etc, and bought one for Rs 690, again slightly less than my salary at that time amounting to Rs 750. This watch I used in Canada from 1983 to 1987 and for about two years after I returned from Canada. The one you would have seen on me in 1990s was my second digital watch which was an improved version of Casio with a battery life of about 8 years and chromium plated. I bought it for 1000 yen (about $ 3 at that time) from Tokyo when I attended a seminar in bond markets there.

I still use a Casio chromium plated long life digital watch because it serves me perfectly well. That is my third digital.

Again about watches, When I was in the UK from 1976 to 1977, I bought a Russian made automatic watch branded Seconda, but it served me only for three years. That was such an inferior product that it went out of order beyond repair. But the Mondia I bought in 1970 was with me till early 2000s and I gave it as a gift to one of my nephews still in good working condition with perfect timing. I don’t know whether he still has it or not because the current vogue is for digital and not the old winding type like Mondia.

This will tell you the whole evolution of SL’s society from early 1970s to today.

මේ ඡේද කිහිපය සිංහලට පරිවර්තනය කිරීමට මගේ ඇති කම්මැලිකමින් අසාධාරණයක් වෙතැයි සිතන සිංහල පමණක් පාඨකයින් මම විමසුම වෙත යොමු කරමි. ඉංගිරිසියෙන් පමණක් ලියන බොහෝ ආර්ථික විද්‍යාඥයින් මෙන් විජේවර්ධන මහත්තයා ඒක භාෂික නොවේ. ඔහු නිතර සිංහලෙන්ද ලියයි. ඔහු ලියන විමසුමේ “බැලුම් ගල” දැනුම් පිපාසාවෙන් යුතු සිංහල පාඨකයින්ට ක්ෂේම භූමියක් වෙතැයි මගේ අදහසයි. ඔහුගේ ලිපියකින් කොටසක් ඉදිරිපත් කරන්නේ භාෂාවේ ප්‍රාණවත් බව පිණිස සාක්ෂ්‍ය සඳහාය.

මාලදිවයිනේ අගනුවර වන මාලේහිදී පැවැත්වුණු මේ සාදයේදී සියලුදෙනාම සිසිල් පැන් තොලගාමින් උන්හ. මෙහි මත්පැන් තහනම් නමුත් දුම්පානයට වැට බැඳ නොමැත. එබැවින් බොහෝ දෙන තරගයට මෙන් දුම් වළලු හිස් අවකාශයට විද්දේ නැතිවුණු එක් ලෝලීත්වයකට තවත් ලෝලීත්වයකින් වන්දි ගෙවීමට මෙනි.

මාලදිවයිනේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු ලෙස හැඳින්වූ තලැත්තානි මහත්මයෙකුට මා හඳුන්වා දෙන ලදී. ඔහුට දූපත් කිහිපයක් සහ සංචාරක නිකේතන විශාල සංඛ්‍යාවක් අයිති යැයි කීමෙන් පසුව මා ඔහු දෙස බැලුවේ විශ්මයානුකූල දෙනෙතිනි. අන් අය මෙන් ඔහු “කොකා කෝලා” තොලගෑමෙහි හෝ දුම් පානයෙහි හෝ නිරතව සිටියේ නැත.

ඒ වෙනුවට ඔහු වතුර වීදුරුවක් තොල ගාමින් සිටියේය. ඔහුව කතාවට ඇද ගැනීමට මා උත්සාහ කළ නමුත්, ඔහු මා දෙස යොමු කළේ සැක මුසු බැල්මකි. එය හදිසියේ මුණගැසෙන්නන් සැක කිරීමේ පිලිවෙතක ඔහු එල්බ ගෙන සිටියාක් මෙනි.

එහෙත් පසුව, අප වෙන්කර තිබූ තිරය ක්‍රමයෙන් දියවී යාමත් සමගම ඔහු නිදහසේ තම අදහස් කියා පෑමට පටන් ගති.

“මේ දවස්වල බිස්නස් කොහොමද ?” මම ඇසුවෙමි.

ඉතිරිය පිණිස මෙතැන කොටන්න.

විජේවර්ධන මහත්තයා ගැන තවත් බොහෝ දේ ලිවිය හැකිය. නමුත් මේ සටහන දැනටමත් සාමාන්‍ය වචන සීමාව බිඳ ඇත. එසේ හෙයින් තවත් එක පරිච්ඡේදයකින් මම එය අවසාන කරමි. නැතොත් මට පොතක් ලියන්නට සිදුවනු ඇත්තේය.

විජේවර්ධන මහත්තයා හුදෙක් ආර්ථික විද්‍යාඥයෙක් නොවේ. පෙර අපර දෙදිග ශාස්ත්‍ර රාශියක් ගැඹුරින් හදාරා ඇති ඔහු තුළ දාර්ශනිකයෙක්ද, ඉතිහාසඥයෙක්ද, සමාජ විද්‍යාඥයෙක්ද, නිර්මාණකරුවෙක්ද දැක ගත හැකිය. අවාසනාවකට අපේ සමාජය තවමත් ඔහුගෙන් වැඩක් අරගෙන ඇත්තේ ආර්ථික විද්‍යාඥයෙක් සේ පමණෙකි. ඒද පාර්ශවීයවය. සමහර විට එය කර්ම විපාකයට බැර කළ හැකිය. ඔහු වැනි ප්‍රාඥයකු දියුණු රටක උපන්නේ නම් ෆ්‍රීඩ්මාන් හෝ ස්ටිග්ලිස්ට සමාන කීර්තියක් අත්කොට ගැනීමට තිබුණේය. අපි මේ කොදෙව්වෙහි අපට කලාතුරෙකින් හමුවන එබඳු වියතුන්ද පිටරටට සේවය කිරීමට යවා දත නියවාගෙන සිටිමු.

18. රජීව් ගාන්ධි හෙවත් අපේ කාලයේ බැං කි මූන් ඔටු හමුදාවෙන් ගැහීම

1991 මැයි 21 (මගේ සරසවි දෙවන වසර අග හරියේ)

රාත්‍රිය මුළුල්ලේ කාමරයෙන් පිටත ලොකු ගෝසාවක් තිබුණේය. මේ කුමක් හෝ තීරණාත්මක දෙයක් වූ බවට ඉඟියකි.

“ක්‍යා හුවා?”

විටින් විට අඩ නින්දෙන් අවදිවන “රූමී” අසයි.

“කුච් නහී”

මම පිළිවදන් දෙමි.

“Can’t be. What’s this noise then?”

“Sleep now, we will find in the morning.”  මම අනෙක් පසට හැරෙමි.

අප දෙදෙනාගේ කම්මැලිකම නිසා රාත්‍රී දහයට පමණ, තමිල් නාඩුවේ චෙන්නායි වලට කිලෝ මීටර 30ක් දුරින් ශ්‍රීපෙරුම්බුදුර් හීදී සිදු වූ රජීව් ගාන්ධි ඝාතනය අප දැන ගන්නේ උදෑසනය.

අද නම් NIT-K හි නේවාසිකාගාරයේ කාමරයෙන් කාමරයට පරිගණක හා රූපවාහිනී ඇතැයි සිතමි. 1991දී අපේ එකම එසැණ පුවත් මූලාශ්‍රය ගුවන් විදිලියයි. හොස්ටල් බ්ලොක් එක ඉදිරිපස අපි තනි ට්‍රාන්සිස්ටර් රේඩියෝවක් වටා වටවෙමු. තවමත් පුවත සම්පූර්ණ වී නැත. හැම මිනිත්තුවකම අළුතින් යමක් එක්වේ. මුලදී මල්මාලාවක සඟවන ලදැයි සැක කරනු ලැබූ ඝාතක බෝම්බය උදෑසන වන විට නියත ලෙස ආත්මඝාතක බෝම්බයක් සේ අනාවරණයව ඇත. ඒ සමඟම සැකයේ ඇඟිල්ල නියත ලෙස එල්.ටී.ටි.යට යොමු වේ.

BBC නිවේදකයාගේ හඬ සෝ බරය.

“With this assassination, India loses one of the finest leaders it has ever produced in the post independence era. Rajiv Gandhi, a political innocent in the harsh Indian politics…”

රජීව් ගාන්ධි පිණිස මීට වඩා ගැළපෙන විස්තරයක් නැතැයි සිතමි. පක්ෂ පාට අමතක කර ගත් කල්හි රජීව් ගාන්ධි ඉන්දියාවේ පහළ වූයේද සිතන්නට වත් බැරි ආකාරයේ “අහිංසක” දේශපාලනඥයෙකි. එය තේරුම් ගැනීමද අපහසුවක් නොවේ. ඔහු දේශපාලනයට නූපන්නෙකි. දේශපාලනය අතහැර “ඉන්දියන් එයාර්ලයින්ස්”හි ගුවන් නියමුවකු සේ සේවය කරන රජීව් අකැමැත්තෙන් දේශපාලනයට එක් වන්නේ තම මෑණියන්ගේ මරණින් ඇති වූ හිඩැස පුරවනු පිණිසය. ඉන්දිරා ගාන්ධි ඇයගේ සික් ආරක්ෂකයින් අතින් ඝාතනය වන්නේ 1984 ඔක්තෝබරයේය. උසස් පෙළ රසායන විද්‍යා ටියුෂන් පන්තියට යන ගමනේදී එපුවත ඇසූ බවකි, මතකයේ ඇත්තේ.

ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කිරීම. පසු කලෙක ඉන්දීය මාධ්‍ය මේ ගිවිසුම විස්තර කළේ මෙසේය: A document not worth the paper it was written on…

1989දී මා භාරතයට පය තබන අවස්ථාවෙහි එහි අග්‍රාමාත්‍ය පදවිය දරන්නේ රජීව් ගාන්ධිය.

පෝක් සමුද්‍ර සන්ධියෙන් මෙපිට එකල රජීව් ගාන්ධි ගැන පවතින්නේ අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කි මූන් ගැන ඇත්තාක් බඳු වෛරය මුසු වූ හැඟීමකි. ඊට මුල් වූ ඔහුගේ හා ඔහුගේ මෑණියන් ඉන්දිරා ගාන්ධිගේ පෙර ක්‍රියා කලාපය ඒ හා සබැඳි සිදු වීම් පෙළ කෙටියෙන් මෙසේය.

  • ශ්‍රී ලංකාවේ උතුරේ සන්නද්ධ දෙමළ කණ්ඩායම් වල ක්‍රියා කලාපය ශ්‍රී ලංකා ආණ්ඩුවට විශාල හිසරදයක් වෙමින් තිබියදී, ඉන්දියාව තමිල්නාඩුව තුළ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පාලනය කිරීමට ඵලදායී ක්‍රියාමාර්ගයක් ගැනීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි. (මේ ඉන්දීය කොන්ග්‍රසයේ තමිල් නාඩු දේශපාලන සගයා වූ එම්. ජී. ආර්. ගේ බලපෑම නිසා බැව් සිතිය හැකිය. ඇරත් මේ අවදියේදී ශ්‍රී ලංකාවේ ගැටළුව ඉන්දියාවට ඍජු බලපෑමක් නොකරයි.)
  • 1987දී ලලිත් ඇතුලත්මුදලි ආරක්ෂක ඇමැතිවරයා ලෙසද බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව යුදහමුදාපති ලෙසද සිටියදී දියත් කරන ලද වඩමරච්චි මෙහෙයුමේ අවසාන අදියරේදී රජීව් ගාන්ධි ආණ්ඩුව යාපන අර්ධද්වීපයට සහනාධාර සැපැයීම මුවාවෙන් ලංකා ගුවන් පථයට ඉන්දියානු යානා එවයි. මෙය පොදු ලාංකීය ජනතාවගේ හා සමහර දේශපාලනඥයින්ගේ දැඩි අප්‍රසාදයට ලක්වේ. (එවක අගමැති ආර්. ප්‍රේමදාසගේ වචන: “මේක නිකං හරියට බල්ලෙක් අල්ලපු වත්තට පැනල කක්ක කරල ගියා වගේ වැඩක්”)
  • 1987 ජූලි මාසයේදී ඉන්දීය මධ්‍යම රජයේ බල කිරීම මත හා රටේ සැලකිය යුතු පිරිසකගේ විරෝධය මධ්‍යයේ රජීව් ගාන්ධි හා ජේ. ආර්. ජයවර්ධන ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කරති. රජීව් ගාන්ධි ගාළුමුවදොරදී නාවුක හමුදා භටයකුගෙන් රයිපල් පාරක් කයි. (එවකට තහනම් ව්‍යාපාරයක් වූ) ජනතා විමුක්ති පෙරමුණේ මෙහෙයවීමෙන් රට පුරා පොදු දේපළ විනාශ කෙරෙන දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වේ. (මා ඇසින් දුටු පරිදි රත්මලාන ඩිපෝවේ පමණක් ජවිපෙ විසින් ගිණි තබා විනාශ කරන ලද බස් රථ සංඛ්‍යාව 25කට අධිකය.)
  • ඉන්දු ලංකා ගිවිසුමට අනුව ලංකා හමුදාව උතුරේ පාලනය ඉන්දියානු සාමසාධක හමුදාවන්ට (Indian Peace Keeping Force – IPKF) භාර දෙන අතර රට තුළ ඒ සම්බන්ධව දැඩි විරෝධයක් ගොඩ නඟනු පිණිස ජවිපෙ ඍජුවද, ශ්‍රීලනිපය ඇතුළු සම්ප්‍රදායික විපක්ෂය වක්‍රවද ක්‍රියා කරති. ලසසප, කොප හා විජය කුමාරතුංග ගේ නායකත්වයෙන් යුතු ශ්‍රීලමප රජයට සහාය පළ කරයි. හැත්තෑ ගණන් වල මුල හරියේ යට ගසා තිබුණු “ඉන්දීය ව්‍යාප්තවාදයේ” තියරිය හමස් පෙට්ටියෙන් එළියට ගන්නා ජවිපෙ රට පුරා දැවැන්ත ඉන්දීය විරෝධයක් ඇති කරමින් ඉන්දීය හමුදා දකුණට පැමිණීම “කාලය පිළිබඳ ප්‍රශ්නයක්” පමණක් බව කියයි.
  • එල්. ටී. ටිය හැරුණු විට අනෙකුත් සියළුම සන්නද්ධ කණ්ඩායම් ආයුධ අතැර ප්‍රජාතන්ත්‍රවාදී මාවතට ප්‍රවේශ වෙති. (අද ඇමැතිවරයකු වන ඩග්ලස් දේවානන්දගේ දේශපාලන ගමන් මගෙහි ආරම්භය එතැනය.) උතුරු නැඟෙනහිර පළාත් සභා මැතිවරණය පවත්වනු ලබන අතර ඉන්දියාවේ රූකඩයක් වූ, උතුරේ මහජන සහාය නොලත් වර්ධරාජා පෙරුමාල් මහ ඇමැති ලෙස පත් වේ. දයාන් ජයතිලක මේ පළාත් සභාවේ එකම සිංහල ඇමැතිවරයායි. (මේ පළාත් සභාව කෙටි කාලයක් තුළ බිඳ වැටෙන අතර එතැන් පටන් ඉන්දීය රජය වර්ධරාජා පෙරුමාල් නඩත්තු කරන බැව් ප්‍රසිද්ධ කාරණාවකි.)
  • ජවිපෙ ඉන්දියාවේ නිෂ්පාදිත භණ්ඩ භාවිතය “තහනම් කරයි”. “බොම්බයි ලූණු” ලංකා ලොකු ලූණු ලෙස නව නාමකරණයක් ලබයි. “මයිසූර් පරිප්පු” ලංකා පරිප්පු වේ.

නාවුක සෙබළකු විසින් රජීව් ගාන්ධිට ගාළු මුවදොරදී පහර දීම

 මේ කාලය සම්බන්ධව පැතිර ගිය යාන් හෑලි බොහෝය. මේ මතක ඇති එකකි.

1987දී ඉන්දීය නිදහස් දිනයේ ආරාධිත අමුත්තා සේ සහභාගි වූයේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනය. මෙහි තෝරාගත් දර්ශන ලංකාවේද රූපවාහිනිය මඟින් පෙන්වන ලදී. පෙරෙට්ටුවේ තැනෙක වූයේ ඔටු හමුදාවකි. මේ ඔටු හමුදාව පීඨිකාව පසු කරත්ම රජීව් ගාන්ධි තමන් අසළ සිටි ජේ. ආර්. ජයවර්ධනට යමක් කියනු පෙණුනේය. මේ ඒ කියන්නට ඇති දෙය ගැන තතු දත්තන් ප්‍රකාශ කළ අදහසකි.

රජීව්: ඕයි, තමුසෙට පේනවද අර ඔටු හමුදාව?
ජේ. ආර්: ඔව්, ඇයි?
රජීව්: කවදහරි අපට තමුසෙලට ගහන්න හිතුනොත් ගහන්නෙ අන්න ඒකෙන්.

මේ “ඉන්දීය ව්‍යාප්තවාදය” පිළිබඳව මගේ අද අදහස පළ නොකොට ඉදිරියට යෑමට මට සිත් නොදෙන්නේය.

වඩමරච්චි මෙහෙයුම ජයග්‍රහණයට කෙතෙක් ළංව තිබුණේද යන්න විවාදාපන්නය. තව සතියක් ගැහුවා නම් එල්.ටී.ටිය කම්මුතුය කියන එවක රජයේ කියමන අප පිළිනොගත්තද, 2009 යුද ජයග්‍රහණය දෙස බලන විට ජයග්‍රහණය අත්පත් කර ගත නොහැක්කකැයි නොසිතේ. ඊට මැදිහත් වීමෙන් ඉන්දියාව ලංකාවට කළ හෝ අඩු තරමින් තමන්ට කර ගත් යහපතක් නොවේ.

ඉන්දු ලංකා ගිවිසුම බැලූ බැල්මට හොඳ ක්‍රියා මාර්ගයක් සේ පෙනුණද, එහි දෙපාර්ශවයම ඊට අස්සන් කරන්නේ වංක චේතනාවෙනි. ඉන්දියාවට අවශ්‍ය තමිල් නාඩු පීඩනය මත “කුමක් හෝ කිරීමටයි”. ලංකාවට ඊට එකඟ වෙනවා හැර විකල්පයක් නොවේ. ලංකාවේ දෙමළ හෝ සිංහල ජනතාවගේ ගැටළු ගැන මේ දෙපිරිසටම අවබෝධයක් වත් ඒවා විසඳීමට උනන්දුවක් වත් නොවේ.

අනෙක් අතට ලාංකීය ජනතාව මොන ආකාරයෙන් සිතුවද රජීව් ගාන්ධි ඉන්දියාව ලද හොඳම පාලකයෙකි. ඔහු අනාගෙන ඇත්තේ ලංකාව සම්බන්ධ සිද්ධිය ඇතුළු සිද්ධි අතළොස්සක් පමණෙකි. ඉන්දියාව නූතන රාජ්‍යයක් කරනු පිණිස ඔහු ගෙන ඇති ක්‍රියා මාර්ග විශිෂ්ටය. ඉන්දියාවේ ආර්ථික වර්ධනය සඳහා ප්‍රබලම බාධකය සේ ගැණුනු කුප්‍රකට ස්වයංපෝෂිත වීම පිළිබඳ මිථ්‍යාව බිඳ දැමීම ආරම්භ කළ පුද්ගලයා ඔහුය. සංවෘත ආර්ථික ක්‍රමය බිඳ හෙළීමේ පළමු පියවර ඔහු ගන්නේ එතෙක් ආනයනයන් සඳහා තිබූ බාධක පරිගණක ඇතුළු තාක්ෂණ උපකරණ සඳහා ලිහිල් කරමිනි. අකල්හි මිය නොගියේ නම් පසුව නරසිම්හ රාඕගේ නායකත්වයෙන් කෙරුණු පරිවර්තන විය හැකිව තිබුණේ රජීව් ගාන්ධි අතිනැයි සිතමි.

රජීව් ගාන්ධි ඝාතනය කළ සැණින් ප්‍රශ්න දෙකක් මතු වූයේය.

1. ඔහු ඝාතනය කරන ලද්දේ කවුරුන් විසින්ද?
2. ඒ කවර අරමුණෙකින්ද?

මින් පළමු පැණයට මේ වන විට නිශ්චිත පිළිතුරක් ලැබී ඇත්තේය. ඍජුව පිළිගත්තාද නැත්ද මතක නැතත්, එල්. ටී ටිය මොනම අවස්ථාවකවත් තමන් එය කළ බව නිෂේධ කොට නැත. සටන් විරාම සමයේ ප්‍රභාකරන් හා ඇන්ටන් බාලසිංහම් සහභාගි වූ ඓතිහාසික ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඒ ගැන ඉන්දියාවේ NDTV වාර්තාකරු ඇසූ ප්‍රශ්නයට බාලසිංහම් පිළිතුරු දුන්නේ “There is no point talking about it now. It was a great tragedy, a monumental historical tragedy which we deeply regret.” ලෙසය. මෙය පැහැදිළිව වරද පිළි ගැන්මකි.

දෙවැනි ප්‍රශ්නයට පිළිතුරු අපැහැදිළිය. IPKF සමඟ ගැටුම් වලින් සැලකිය යුතු එල්. ටී. ටී. ඊ. කාඩරයන් පිරිසක් මරු දුටු බවට සැක නැත. මේ නිසා රජීව් ගාන්ධි මරා දැමීමට එල්. ටී. ටියට යම් පෙළඹවීමක් ඇතද, එය කිරීමෙන් ඔවුන් අහිමි කර ගන්නා අවස්ථා දෙස බලන විය එවැන්නක් කළේ මන්ද යන ප්‍රශ්නය නිරායාසයෙන්ම පැණ නඟියි.

මීට පිළිතුරු දෙකකි.  (a) ප්‍රභාකරන්ගේ උද්ධච්ඡකම හා ඊට සමාන්තර ගොන් කම. (b)වෙනත් පාර්ශ්වයක බලපෑම පිට මුදල් හෝ වෙනත් වාසියක් පිණිස එල්. ටී. ටිය එසේ කළේය යන්න. (එනම් එල්. ටී. ටිය මෙහිදී හුදෙක් mercenaries ලෙස පමණක් හැසිරුණු බව.) මෙහි දෙවන හැකියාව අප පිළිගත්තද, එසේ රජීව්ගේ මරණයෙන් වාසි ලත් පාර්ශ්වයක් මේ දක්වාම අපැහැදිළිය.

රජීව් හා සෝනියා යොවුන් වියේදී

රජීව් ගාන්ධි පිළිබඳ අප්‍රකට කාරණා කිහිපයක් මෙසේය.

  • 1944දී රජීව් ගාන්ධි උපත ලබන්නේ ඔහුගේ මව හා පියා දෙදෙනාම කාලයෙන් කාලයට බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් සිර ගත කරනු ලබන යුගයකදීය.
  • ඔහු විදෙස් සරසවි කිහිපයකටම ගියත් ඒ කිසිවකින් උපාධියක් නොලබයි. ඔහු සෝනියා ගාන්ධි හමු වන්නේ කේම්බ්‍රිජ්හි ඉගෙනුම ලබමින් සිටියදීය.
  • ඔහුගේ මව ඉන්දිරා, පියා ෆේරෝස් ගාන්ධිට කිසි විටෙක ආදරය නොකළ බවද, ඔවුන්ගේ විවාහය තනිකරම ඇයට දේශපාලන වශයෙන් වැදගත් “ගාන්ධි” නම ලබා ගැනීමට කළ එකක් බවද කට කතා පවතී. එසේම ෆේරෝස් ගාන්ධි පසුව ඇය විසින් මරණයට පත් කළ බව කියන්නෝද වෙති. (මතක හැටියට සල්මන් රෂ්ඩි මේ බව Midnight’s Children හි සඳහන් කරයි.)
  • රජීව් ගාන්ධි ඝාතනය සැලැසුම් කළ සිවරාසන් අල්ලා ගත හැකි වූයේ, එම සිද්ධියේදී මියැදුණු “ෆ්‍රන්ට් ලයින්” වාර්තාකරුවාගේ කැමරාවෙහි ඔහුගේ පින්තූරය සටහන් වී තිබුණු හෙයිනි.

රජීව් ගාන්ධි මරණයෙන් පසු මට හා මගේ සරසවි සගයින්ට මුහුණ දෙන්නට සිදු වූ ඇබැද්දි කිහිපයක් පසු සටහනෙකින් අසමු. මේ සටහන ඊට හොඳ පිවිසුමෙකි.

17. පහේ ශිෂ්‍යත්වය හෙවත් රෝයල් එකට නොයා ආනන්දයට යාමේ කතන්දරය

මේ 1978දී පහේ ශිෂ්‍යත්වය සමත් වූ මාය

පහේ ශිෂ්‍යත්වය වූ කලී මෙරට අති විශාල පිරිසකගේ ජීවිතයේ පළමු ජයග්‍රහණයයි. ගමේ ඉස්කෝලෙන් ශිෂ්‍යත්වය සමත් වන ඔවුහු, හයවැනි ශ්‍රේණියේ සිට (දැන් හත්වැනි වසරය සිතමි.) කොළඹ හෝ වෙනත් ප්‍රධාන නගරයන්හි වැඩි පහසුකම් ඇති පාසල් වල අධ්‍යාපනය සඳහා වරම් ලබති. සරසවි යති. වෘත්තිකයෝ වෙති. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ව්‍යාපාර විධායකයින්, කළමනාකරුවන් ආදී වශයෙන් රැකියාවන්හි නියැළි සමාජයේ වැදගත් පුරවැසියන් සේ දිවි ගෙවති. ඔවුන්ගේ ජීවන මාර්ගයෙහි පළමු හැරැවුම් ලක්ෂ්‍යය පහේ ශිෂ්‍යත්වයයි.

මගේ කතාවද මීට සමානය ඔබ සිතනු ඇත්තේය.

නැත. ඔබ වැරදිය.

පහේ ශිෂ්‍යත්වය මේ ආකාරයෙන් මගේ ගමන් මඟ වෙනස් නොකළේය. මා පස් වැන්න දක්වා උගත්තේ කොළඹ අසෝක කණිෂ්ඨ විද්‍යාලයෙහිය. (මා උපන් දා සිට හැදුණේ වැඩුණේ කොළඹදීය. කොළඹ හැරුණු විට කියන්නට වෙනත් “ගමක්” මට අහිමි වීමේ කතාව වෙනම කියමි.) එය ඒ වන විට ආනන්දයේ නොනිල ප්‍රාථමිකයයි. පහේ ශිෂ්‍යත්වය සමත්වී මම ආනන්දයට ඇතුළු වීමි. මට එය සමත් නුවූවත් ආනන්දයට යන්නට පුළුවන්කම තිබුණේය. අසෝක කණිෂ්ඨයේ සිසුන් සියළු දෙනාට ආනන්දයේ දොර කොහොමටත් විවර වූ හෙයිනි.

මට පහේ ශිෂ්‍යත්වය වැදගත් වෙනත් හේතුවක් නිසාය.

අපේ කාලයේ ශිෂ්‍යත්ව විභාගය පැවැතියේ අදියර දෙකකිනි. පළමු කඩඉම අභියෝග්‍යතා පරීක්ෂණයයි. මෙය IQ test එකකි. දෙවන අදියර මව්බස හා ගණිතය ප්‍රශ්න පත්තර දෙකකින් සමන්විතය. වෙනත් විද්‍යාලයකට ඇතුළත් වීම හා ශිෂ්‍යත්වාධාර ලබා ගැනීම පිණිස මේ අදියර දෙකම සමත් විය යුතු විය. දෙවන අදියරට හිඳ ගැනීමට ලැබුණේ පළමු අදියර සමත් සුළු පිරිසකටය.

අපේ අභියෝග්‍යතා පරීක්ෂණය පැවැත්වුණේ 1978 ජූනි මාසයේදීය. ඊට සති කිහිපයකට පසු එහි ප්‍රතිඵල නිකුත්වීය සිතමි. නොසිතූ ආකාරයකට එය මගේ ජීවිතයේ හැරැවුම් ලක්ෂ්‍යය බවය පත්විය.

ඒ මොහොත වනතුරු මම විද්‍යාලයයේ අතිශය සාමාන්‍ය සිසුවකු වීමි. මගේ පන්ති භාර ගුරුතුමන්ලා ගුරුතුමීලාගෙන් පිට කිසිවකුත් මා ගැන දැන නොසිටියේය සිතමි. පොඩි කාලයේ ඉස්කෝලයක කැපී පෙනෙන්නට නම් එක්කෝ මුඛරි කටක් ඇති, හැම දෙයකටම ඉදිරිපත් වන සුළු ශිෂ්‍යයකු විය යුතුය. නැතිනම් ගායන හෝ ක්‍රීඩා කෞශල්‍යයයන් තිබිය යුතුය. මේ කිසිම දෙයක් නැතිනම් අඩු වශයෙන් ඇඟපතින් වත් වැඩුනකු විය යුතුය. තමන්ගේ පාඩුවේ පැත්තකට වී අධ්‍යයන කටයුතු කළ ඇඟපතින් කුඩා මට මේ කිසිත් නොතිබිණි. එබැවින් කිසිවකුට මා ගැන විශේෂ උනන්දුවක් දක්වන්නට හේතුවක් නොවීය.

අභියෝග්‍යතා පරීක්ෂණයේ ලකුණු මේ සියල්ල වෙනස් කළේය.

බහුවරණ ප්‍රශ්න අසූවෙන් 75කට නිවැරදි පිළිතුරු දී තිබුණු මේ කිසිවකු නොදන්නා සිසුවා ලකුණු දෙසීයෙන් 187.5ක් ගෙන තිබුණේය.

මෙය පාසලේ හොඳම ලකුණු වූ බව කිවමනා නොවේ. නමුත් ඊතලය ඊට බොහෝ දුර ගොස් තිබුණේය. එය සිංහල මාධ්‍යයෙන් දිවයිනේ වැඩිම ලකුණු සංඛ්‍යාවද සමස්තයක් ලෙස දිවයිනේ දෙවැනි ස්ථානයද සනිටුහන් කළේය. මට වඩා ලකුණු ගෙන සිටි දෙමළ ශිෂ්‍යයාගේ පිළිතුරු 76ක් නිවැරදි විය. (ඔහුගේ පාසල නොදනිමි, නමුත් එකම අධ්‍යාපන කලාපයේය. ඒ කොළඹ ඉස්කෝල වලට අභියෝග කරන්නට ගමේ ඉස්කෝලවලට නොහැකි වූ යුගයකි.)

අසෝක විද්‍යාලාධිපති එම්. පී. ධර්මරත්න මහතා 1973 දී අසෝක විද්‍යාලයට ඇතුළත් කරන ලද පළමු සිසුවා සමඟ

මෙය විශේෂ වූයේ එනිසාම නොවේ. අද කෙසේ වෙතත් අසෝක විද්‍යාලයය ඒ යුගයේ “පොඩි ඉස්කෝලයකි”. එහි නමද “අසෝක කණිෂ්ඨ විද්‍යාලය” හෙවත් “Asoka Junior School” ය. 1973දී ආරම්භ වූ අසෝක විද්‍යාලයය පළමු වරට සිසු පිරිසක් ශිෂ්‍යත්වයට ඉදිරිපත් කරන්නේ 1977දීය. මා අයත් වූයේ එය දෙවන වරට ශිෂ්‍යත්වයට ඉදිරිපත් කළ සිසු කණ්ඩායමටය. මේ අසෝක විද්‍යාලය විද්‍යාලයක් හැටියට දීප ව්‍යාප්තව ලබාගත් පළමු ජයග්‍රහණයයි. විදුහල්පති එම්. පී. ධර්මරත්න මහතා එය මොනයම්ම හෝ ආකාරයකින් සුළු කොට තැකුවේ නොවේ. එහෙත් අනෙක් අතට ළාබාල වයසේ සිසුවකු ඔළුව උදුම්මවා ගැනීම වැළක්වීමට ඔහු ගත හැකි සියළු පියවර ගත්තේය. ඇසැම්බ්ලියේ මේ කාරණය සඳහන් කළත් මගේ නම පවා නොකියන්නට ඔහු පරෙස්සම් විය. කිසිම පුවත්පතෙක මා ගැන නොලියැවිණි.

නමුත් මා විද්‍යාලයය තුළ “විදූ” මෙන් වීරයකු වීම වළකන්නට කිසිවකුට නොහැකි විය. අපේ පෝතක බාලදක්ෂ කණ්ඩායම භාරව සිටි විමලරත්න සර් ස්ටාෆ් රූම් එකට මා අරගෙන ගියේ කරපිටිනි.

එතෙක් ජීවිතයේ කිසිම ජයග්‍රහණයක් නොලබා, කිසිවකුගේ අවධානයට බඳුන් නොවූ මට මේ ඉහටත් උඩි ලැබූ ජයග්‍රහණයකි. ඇත්තටම දෙවන අදියරේදී විභාගය සමත්වීමට මිස අන් කිසිම දෙයක් අත්පත් කර ගැනීමට මට උනන්දුවක් නොවීය. ඒ වන තෙක් මා ලබා තිබූ අධ්‍යාපන ප්‍රගතිය දෙස බලන විට මටද සිතුණේ මේ “කණා ෂොට්” එකක් බවය. ඇරත් මා යන විද්‍යාලය කලින්ම තීරණය වී තිබුණේය. ශිෂ්‍යත්ව විභාගයෙන් මා ලබන ජයග්‍රහණය එය වෙනස් නොකරන බව මම දැන සිටියෙමි. සමහරවිට මා උත්සාහ දරන්නට ඇත්තේ කලින් ලැබූ ජයග්‍රහණය නිෂේධ නොකරන ප්‍රතිඵලයක් උදෙසාය.

එවර මම දිවයිනෙන්ම පළමුවැන්නාව සමත් වීමි.

පහේ ශිෂ්‍යත්වයට වඩා ඉහළ විභාග වලින් දිවයිනේ පළමු තැන ලබා ගත්තන් ඕනැ තරම් පසුව දැනගත් මට මෙය අද සුවිශේෂ ජයග්‍රහණයක් සේ නොපෙනේ. නමුත් එදා එය ලොකු දෙයක් විය.

ප්‍රත්‍යාවලෝකනයේදී මෙහි ඇති අපූර්වත්වයක්ද නොපෙනේ. මම කොහොමටත් ගණිතයට හා සිංහල භාෂාවට කුඩා කල සිටම දක්ෂ වීමි. ගණිතයට නම් සීයක් නැතිව අනූනවයක් ලැබුණත් මට දුක හිතෙයි. සිංහල වලට කොහොමටත් අනූ ගණනක් අනිවාර්යයෙන් තිබුණේය. හත්වැනි ශ්‍රේණියේදී අපට සිංහල ඉගැන්නු අතාවුද මැඩම් (වර්තමාන ජ්‍යෙෂ්ට අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතාගේ බිරිඳ) මට ලකුණු අනූ නවයක් දුන්නේ “සීයක් තමයි දෙන්න ඕනැ, ඒත් සිංහල වගේ විෂයයකට සීයක් දෙන්න බැහැනෙ” කියමිනි.

මේ හා සම්බන්ධ තවත් අතුරු කථා දෙකක් මෙසේය.

කවරකු හෝ මට අත බලා සාස්තරයක් කියා ඇති නම් ඒ එකම එක අවස්ථාවකය. එවිට මට අවුරුදු පහකට නොවැඩි වන්නට ඇතිය සිතමි. ගෙදරට ආ සීයාගේ මිතුරෙක් ළඟට අඬ ගසා නිකමට මගේ අත බැලුවේය.

“හ්ම්ම්…හොඳ අතක්. ගණිතයටයි කලාවටයි එක වගේ දක්ෂකමක් තියෙනවා”

හරියටම නොතේරුණත් මට මේ සාස්තරය මතක හිටියේය.

මේ “සාස්තරකාරයා” හෙවත් සුබසිංහ සීයා, අපේ සීයාගේ මිතුරා, ප්‍රවීණ නාට්‍ය ශිල්පිණී සෝමලතා සුබසිංහගේ පියාණන්ය.

සමහරවිට මේ “සාස්තරය” පහේ ශිෂ්‍යත්වයද ඇතුළුව, මගේ පසු ජයග්‍රහණ සඳහා අවිඥානකව බලපාන්නට ඇතැයි සිතිය හැක්කේය. කෙසේ වෙතත් උසස් පෙළ සමයෙන් පසුව ගණිතයට මා දක්වා ඇත්තේ ඉංජිනේරු ශිෂ්‍යයකු සතු සාමාන්‍ය කුසලතාව පමණෙකි. උදාහරණයක් හැටියට මෑතකදී උසස් පෙළ සිසුවකු tan x වල අනුකලනය මොකක්දැයි අසා මට එය පොතෙකින් හෝ ඉන්ටර්නෙට් වලින් නොබලා කීමට දින තුනකටත් වඩා කාලයක් ගත විය. [ඉඟිය: tan x dx = d (sin x / cos x) dx හා cos x හි අවලකනය -sin x.]

දෙවන අතුරු කතාව ලංකාවේ ඕනෑම පාසලකට ඇතුළු වීමේ වරම් ලබා ගත් මා රෝයල් එකට නොයෑමය.

රාජකීය විද්‍යාලයට යන්නැයි මට බල කිරීමට දෙමාපියන්ටද ප්‍රබල හේතුවක් විය. රාජපක්ෂ සමය ආනන්දයේ විනය ඉතාම පහළට වැටුණු යුගයකි. ආනන්දයට කොයිතරම් දේ කර තිබුණද එවකට ආනන්දයේ විද්‍යාලාධිපති වූ රාජපක්ෂ සර් විවාදාපන්න පුද්ගලික ජීවිතයක් ගත කළ කෙනෙකි. ඔහු සම්බන්ධ කට කතා රාශියක් ලුණු ඇඹුල් සහිතව විද්‍යාලයේ පමණක් නොව ඉන් පිටතද පැතිර තිබුණේය. ඉන් සමහරක් කාන්තාවන් සම්බන්ධවය. සමහරක් මුදල් සම්බන්ධවය. මේවායේ සත්‍යාසත්‍යතාවය මා නොදන්නා මුත් ඔහුගේ යුගයේ අඩිතාලම දැමුණු, ඒ වෙනුවෙන් මුදල් රැස් කෙරුණු පිහිණුම් තඩාගය නොතැනුණු බව නම් කිව යුතුය. එබඳු විවාදාපන්න ප්‍රතිරූපයක් සහිත කෙනෙකුට ආනන්දය බඳු විශාල විද්‍යාලයක් එහි විනය රැක ගනිමින් පාලනය කිරීම අපහසුය. මේ නිසා සිසුන්ට ඕනෑ දෙයක් කර ගත හැකි කෙළි බිමක් බවට ආනන්දය පත්ව තිබුණේය. මත්ද්‍රව්‍ය භාවිතය නිසා ආනන්ද විද්‍යාලයේ සිසුවකු මිය යාම, හා ඒ සම්බන්ධව පළවූ පුවත්පත් වාර්තා මේ නරක ප්‍රතිරූපය විශාලනය කළේය. ආනන්දයටම ගිය අයියා ඉගෙනීමේ සැලැකිය යුතු කුසලතාවයක් නොපෙන්වීම අතුරු හේතුවක් වන්නට ඇතිය සිතමි.

එහෙත් මට රාජකීය විද්‍යාලයට යන්නට කොහෙත්ම ඕනෑකමක් නොවීය. මේ රාජකීය විද්‍යාලය ගැන වූ අහිතකින් නොවේ. ඇත්තටම ඒ වන විට රාජකීය විද්‍යාලය කළුද සුදුද මම දැන නොසිටියෙමි. අයියා ගියේ ආනන්දයටය. එනිසා අන් කවර හෝ විද්‍යාලයකට වඩා මම ආනන්දය ගැන දැන සිටියෙමි. මගේ සිහිනය වූයේ ආනන්දයට යාමය. අසෝකයට යන කාලයේ පටන් අප බස් එකේ දමාගෙන ගියේ ආනන්දයේ කොඩිය. බිග් මැච් කාලයේ අපිද නාලන්දාවේ බස් එකට “අපදාන සෝභිනී පඤ්ඤා – පරිප්පු ඕනැ තරම් දෙඤ්ඤා” කියමින් කෑගසීමු. ශිෂ්‍යත්වයට හා නාට්‍ය පුහුණුවීම් වැනි කටයුතු වලට ආනන්දයට ගොස් සිටි මට කවදා හෝ ආනන්දයට ඇතුළු විය යුතුය නිශ්චිත අදහසක් විය. මට ඒ නියත මාර්ගයෙන් ඉවත් වන්නට උවමනා නොවීය.

දෙමාපියෝ මගේ කැමැත්තට පටහැනිව මා රාජකීය විද්‍යාල ප්‍රවේශ පරීක්ෂණයට රැගෙන ගියහ. මම සියළුම ප්‍රශ්න වලට වැරදි උත්තර ලකුණු කොට මගේ විරෝධය පළ කළෙමි. පොට්ටෙ ගැහුවත් 25% අනිවාර්යයෙන්ම ලැබිය යුතු බහුවරණ ප්‍රශ්න පත්තරයකින් එක් අපේක්ෂයකු හරියටම බිංදුවක් ලබා ගත්තේ කෙසේදැයි එහි හරි වැරදි බැලූ ගුරුවරයා මවිතවීද නොදනිමි. ඒ බිංදුවක් ලබා ගත්තේ ඒ අවුරුද්දේ ශිෂ්‍යත්වයට දිවයිනෙන්ම පළමු තැන ලබා ගත් ශිෂ්‍යයා බව දැන ගැනීමට ඔහුට හැකියාවක් නොවීය.

අම්මාත් තාත්තාත් දෙදෙනාම මා රාජකීය විද්‍යාලයට නොයෑම ගැන නොසතුටු වූ බව මම දනිමි. දිවයිනෙන්ම පළමු තැන ලබා ශිෂ්‍යත්වය සමත්වීම වෙනුවෙන් වත් මට සැලකිය යුතු ත්‍යාගයක් නොලැබුණේය. මට කවරදාකවත් මගේ කියා බයිසිකලයක් නොවීය. හැමදාම පැද්දේ අයියාගේ බයිසිකලයයි.

මම පමා නොවූයෙමි.

රෝයල් එකට නොගිහින් ආනන්දෙට යෑම ඥානාන්විත තීරණයක්ද?

මේ ප්‍රශ්නය මම නොයෙක් වර මගෙන්ම අසාගෙන ඇත්තෙමි. සිදුනොවූ දෙයක් සිදුවූයේ නම් කවර ප්‍රතිඵල ලැබේද යන්න උත්තර දීමට අසීරු ප්‍රශ්නයකි. එබැවින් මේ ගැටළුවට පිළිතුරු දීමට හැකි එකම ක්‍රමය මා සමඟම අසෝකයේ සිට රාජකීය විද්‍යාලයේ ප්‍රවේශ පරීක්ෂණය සමත්ව රාජකීය විද්‍යාලයට ඇතුළු වූ මිතුරන්ට කුමක්වීද බැලීමයි.

මගේ අසෝකීය මිතුරෝ පස් දෙනෙක් 1979දී රාජකීය විද්‍යාලයට ඇතුළු වූහ. මේ ශිෂ්‍යත්වයෙන් ඉහළ ලකුණු ලබාගත්තවුන්ය.  පුදුමයකට මෙන් මින් සිව් දෙනෙකුට කුමක්වීද මම අදත් නොදනිමි. ඔවුහු කිසිවෙක් ඉන් වසර හතකට පසුව මොරටුවේ ඉංජිනේරු පිඨයට හෝ කොළඹ වෛද්‍ය පිඨයට ඇතුළු නොවූහ. (මා දන්නේ සොයා බැලූ නිසාය.) එක් අයකු පමණක් මම කාලයකට ඉහත ඉන්ටර්නෙට් වලින් සොයා ගතිමි. ඔහුට මා මතක තිබුණේය. අනෙක් සිව් දෙනාගේ නම් ගූගල් හෝ Facebook වලින් වත් සොයා ගත නොහැකිය.

අනෙක් අතට ශිෂ්‍යත්වය සමත් වුවද වෙන විදුහලකට නොයා මා සමඟම ආනන්දයට ඇතුළු වූ මිතුරෝ රාශියක් දැන් ලංකාව තුළ හා ඉන් පිටත සැලැකිය යුතු පදවි හොබවමින් සිටිති. මා දෙස කෙසේ වෙතත්, ඔවුන් දෙස බලන විට නම් පැහැදිළි ආනන්දයට යෑම වැරදි තීරණයක් නොවන බවයි.

අප්පමාදෝ – අමතපදං – මම පමා නොවූයෙමි.

16. සොෆ්ට්ලොජික් වල රංජිත්ගේ කතන්දර

ආයෙමත් සරල කතන්දර වලට – බර දේවල් කියැවීමට අකැමැති පාඨකයින් සඳහා.

සොෆ්ට්ලොජික් වලට මා එකතු වෙන්නේ 1994 ජනවාරියෙදි. 1995 අගෝස්තු වන තුරු මා එහි සේවය කරනවා. මගේ වැටුප් පත්‍රිකාවේ අංකය 35. ඒ කියන්නේ ආරම්භයේ සිට මා 35 වැනියා. (ඔවුන්ගේ වෙබ් අඩවියෙ දැක්වෙන පරිදි සොෆ්ට්ලොජික් ආරම්භ වෙන්නෙ 1991දි. මට මතක හැටියට ඉන් පසුව.) ජනක රත්නායක වැනි කිහිපදෙනෙක් ඒ වනවිටත් සොෆ්ට්ලොජික් අතහැර ගොසින්. (දැන් ඔහු ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ EDB සභාපති හා ප්‍රධාන විධායක.) 1994දි සොෆ්ට්ලොජික් කාර්ය මණ්ඩලය වැඩිම වුණොත් 25ක් ඇති. අපේ නිවහන ලකී ප්ලාසා ගොඩනැඟිල්ලේ එක් කඩ කාමරයක්. ජෝන් කීල්ස් වල ඉඳල මේ වගේ තැනෙකට ආවා කියන්නත් ලැජ්ජයි, මුලදි.

අශෝක් පතිරගේ

මේ යුගය ගැනත් දැනට ලංකාවේ ධන කුවේරයකු සේ ගිණිය හැකි එකල මගේ බොස් අශෝක් පතිරගේ ගැනත් කිව හැකි කතා බොහෝයි. (ඔහුගේ නියම නම අශෝක, නමුත් කවුරුත් කතාකළේ අශෝක් නමිනුයි. දැන් ඒ නම රිජිස්ටර් වෙලා.) ඒ වුණත් ඒ භයානක කාර්යයට අත ගහන්න ඕනැ නැහැ. සොෆ්ට්ලොජික් වලින් මා ඉවත් වුණෙත් සිත් නොහොඳ වීමකින් පසුව. පොඩ්ඩක් වැරදුණොත් නඩු කියන්නෙ වෙන්නෙත් කෝටිපතියෙක් එක්ක. ඒ නිසා ඒ අදහස් අත හරිනවා.

ඒ වෙනුවට මම රංජිත් ගැන කියන්නම්. (අන්වර්ථ නාමයක්) දන්නා තරමින් ඔහු දැන් සොෆ්ට්ලොජික් එකේ නැහැ. අස් වෙලා ගොඩක් කල්.

රංජිත් කියන්නෙ කාර්යාලයක සිටිය යුතු කෙනෙක් නෙවෙයි. ඉතාම අසාර්ථක සේවකයෙක්. ඔහුට කළ හැකි කිසිම දෙයක් නැහැ. ඒ වන විටත් අංශ ගණනක අවස්ථා ලබා දී තිබුණත් ඒ හැම එකකින්ම ඔහු අසාර්ථක බව ඔප්පු කොට හමාරයි. ඒ මදිවාට බාල්දියක් පෙරළා නොගන්නා දවසක් නෑ. කොටින්ම රංජිත් කියන්නෙ manager’s nightmare එකක්. ඒ වෙනකොට ඔහුට වයස අවුරුදු 30-35ක් විතර ඇති.

මොනවා කරන්නද? රංජිත් අශෝක්ගේ ප්‍රාණසම දීර්ඝ කාලීන මිත්‍රයෙක්. ඉතින් ඔහුව ගෙදර යවන්න අශෝක් කැමැති වුණේ නෑ. ඇත්තම කතාව ඔහුව තුන් සැරයක් අස්කර නැවත රස්සාවට ගත්තා.

කොහොම වුණත් රංජිත්ව ඔෆිස් එකේදි බයිට් වෙන එක වළක්වන්න නම් අශෝක්ටත් පුළුවන් වුණේ නෑ.

මේ ඔෆිස් පාටියකදි ඇහුණු කතාවක්.

“…මොනවද බං උඹල මේ ඕඩර් කර තියෙන බයිට්ස්? මේව කන්න පුළුවන්ද…?” (එහා මේසයක සිටි රංජිත්ට) “…රංජිත් මෙන්න මෙහාට වරෙන්, අපට බයිට් එකක් නෑ.”

කොම්පියුටර් පහක් දහයක් කොහාට හරි තනියෙන් ගිහින් දාන්න වුණොත් අපෙන් කෙනෙක් (මා මේ කාලේ පරිගණක ඉංජිනේරුවෙක්) හා අශෝක් අතර මේ වගේ කතා බහක් ඇති වෙනවා.

මම: අශෝක් මම කුන්ඩන්මාල්ස් වලට යනවා, රංජිත්වත් එක්ක යන්නද?
අශෝක්: ඒ මොකටද?
මම: එතන ගර්ල්ස්ලා ටිකක් වර්ඩ් පර්ෆෙක්ට් ඉගෙන ගන්න ඕනැ කිව්ව.
අශෝක්: මාවත් අන්දන්නද යන්නෙ? ඔය එක්ක යන්නෙ වර්ඩ් පර්ෆෙක්ට් උගන්නන්න නෙවෙයි කම්පියුටර් කර කර ගස්ස ගන්නනෙ. හා, හා, අරන් යනවා. අරන් යනවා. පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්නවා මොනව කරයිද කියලා.

ඔය විදියට ඔෆිස් එකේ පියන් ගාණට තමයි කවුරුත් රංජිත් ගණන් ගත්තේ. රංජිත් බයිට් නොවෙන ඔෆිස් ඉවෙන්ට් එකක් නැති තරම්.

දවසක් බොරැල්ලේ සෞඛ්‍ය අමාත්‍යාංශ ක්‍රීඩාංගනයේ අපි තවත් කවුද ටීම් එකක් එක්ක ක්‍රිකට් මැච් එකක්. තරගය මැද කාර් එකට ගිහින් ආපු රංජිත් මෙන්න මල පැනලා බනිනවා.

“ජඩ වැඩ කරන්න එපා යකෝ. කොයි එකාද මගේ කාරෙක උඩට කුණු වෙච්චි වැල ගෙඩියක් දැම්මෙ?”

“උඹ කොස් ගහක් යට කාර් එක නතර කරන්න ඇති” මම කිව්වෙ නිකමට. (කවුරු කළාද හරියටම නොදනිතත් මටත් හිතා ගන්න පුළුවන් මේක අපේ සෙට් එකේ වැඩක් කියලා.)

රංජිත්ට කොච්චර ෆ්ලවර් ජම්ප් වෙලා තිබුණද කිව්වොත් පැනපු ගමන් අල්ල ගත්තා මගෙ බෙල්ලෙන්. මගේ දැඟලිල්ල මැද කොලර් එකෙන්ම ඇදගෙන ගියා එළියට. (ඔහු මට වඩා ටිකක් උසයි.) දැන් හරස් ප්‍රශ්න ඇසීමේ වාරය.

රංජිත්: අර ගහ මොකද්ද?
මම: (නිහඬයි)
රංජිත්: කියපන්, නැත්නම් උඹ ගුටි කනවා (දණහිසෙන් බඩට අනියි.)
මම: කොස් ගහක්
රංජිත්: අර ගහ මොකද්ද?
මම: අඹ ගහක්
රංජිත්: මගෙ කාර් එක පාක් කරල තියෙන්නෙ අඹ ගහ යටද, කොස් ගහ යටද?
මම: අඹ ගහ යට
රංජිත්: ඉතින් කොහොමද හු** අඹ ගහ යට පාක් කරල තියෙන කාර් එකට වැල ගෙඩියක් වැටෙන්නෙ?

ඔන්න දවසක් ඔෆිස් යනකොට රංජිත් පොලීසියෙන් රිමාන්ඩ් කරලා. ඒකෙ අතීත කතාව මෙහෙමයි.

එක මුදලාලි කෙනෙකුට ඕනැ වෙනවා සොෆ්ට්ලොජික් වලින් ජෙනරල් ලෙජර් (GL) පැකේජ් එකක් මිළට ගන්න. ඒත් ඔහුට දරන්න බැරි තරමට මිළ වැඩියි. මේ අතරෙ රංජිත් දෙනවා විසඳුමක්. “මුදලාලි ඕක මගෙන් GL එක අරගෙන මට රුපියල් දහ දාහක් දෙන්නකො.”

මුදලාලිත් එක පයින් කැමති වෙලා රංජිත් ගෙන් ඔහු හොරෙන් පන්නපු සොෆ්ට්ලොජික් එකේම GL එක අර ගන්නවා. (අශෝක් මේවා නොදන්නවා නෙවෙයි. ඒත් යාළුවා නිසා ඉවසනවා.) GL එක විකුණුවාට රංජිත්ට ඒක maintain කරන්නත් බෑ. මුදලාලිට අවශ්‍ය customization කරන්නත් බෑ. ඒව නැතුව මුදලාලිටත් ඒකෙන් වැඩක් නෑ. රුපියල් දහදාහම වතුරේ. දැන් මුදලාලි රංජිත් එක්ක නයි වෛරෙන් ඉන්නෙ.

ඔය අතර දවසක් මුදලාලිගෙ කඩේ හොරු බිඳලා. ගෙනිහින් තියෙන්නෙ කම්පියුටර් එක විතරයිලු. මුදලාලිගෙ හිතේ කොම්පියුටරයක් හොරකම් කරන්නත් විශේෂඥ දැනුමක් ඕනැ කියලා. ඇයි ගලවන්නම කියලා වයර් කීයක්ද? ඉතින් පොලීසියෙන් ඇහුවාම කවුද සැක කියලා දුන්නා රංජිත්ගෙ නම. පොලීසියත් හෙවිල්ලක් බැලිල්ලක් නෑ, රංජිත් රිමාන්ඩ් කළා.

ඊට කලින් දවසෙ රංජිත් අපේ Microsoft Excel ඩිස්කට් ටික අරගෙන ගිහින්. ඒ කාලෙ CD එතරම් ප්‍රචලිත නැහැ. ඔක්කොම වැඩ ඩිස්කට් වලින්. Excel පැක් එකේ ඩිස්කට් පහයි. ඒක නැතුව අපේ වැඩ සම්පූර්ණයෙන්ම අවුල්. ඒ නිසා අපි දෙන්නෙක් ගියා පොලීසියට. කරදරයක් නෑ, රංජිත්ට කතා කරන්න දුන්න. දැන් රංජිත් අඬන්නෙ නැතුව විතරයි.

“බලපන් මචං උඹල දෙන්න විතරයි මට යාලුවො විදියට ඉන්නෙ. මං මෙච්චර අමාරුවක වැටිල ඉන්නව, එකෙක් ආවෙ නෑ බලන්න. උඹල දෙන්නට විතරයි මාව මතක් වුණේ…”

අපේ වැඩෙත් කර ගන්න එපායැ. එන්න ලැහැස්ති වෙලා මම ඇහුව ප්‍රශ්නෙ.

“රංජිත් උඹ ඊයෙ Excel පැක් එක තිබ්බෙ කොහෙද?”

ඔන්න මනුස්සයට වැඩේ මීටර් වුණා.

“යකෝ, තොපි ආවෙත් මේ අමාරුවක වැටිල ඉන්න මාව බලන්න නෙවෙයි. Excel පැක් එක ගැන අහන්න. උඹල තමයි යාළුවො. මාව අමාරුවෙ වැටුනම එකෙක් නෑ බලන්න. තුහ් විතරක්. පලයව් යන්න…”

තව එකම කතාවක්.

විවාහ මංගල්‍යෝත්සවයකදී මනමාලයාට “රැග දීම” අනූ ගණන් වල ප්‍රචලිත වූ නරක පුරුද්දක්. අපේ සෙට් එකටත් මේ නරක පුරුද්ද බෝවී තිබුණා. කොහොමත් කට්ටියම ටිකක් අනුමත වන දවසක්නෙ වෙඩින් එකක් කියන්නෙ. අපි මනමාලිට නම් මොකුත් කළේවත් කිව්වෙවත් නැහැ. හැමදාම කළේ කම්පැණියෙ කවුරු හරි බැන්දොත් ඌව ස්විමිං පූල් එකට අත අරින එක තමයි. හනිමූන් යන්නෙ තෙමිච්චි කුකුළා වගේ.

මේක කලින්ම දැනගෙන හිටපු ජයන්තයා (අන්වර්ථ නාමයක් – මේ අනෙක් උන් පූල් එකට දැමීමට හැමදාම මුල් වූ එකෙක්) අපට දුන්නා ගේම. තමන්ගෙ මඟුල දවසෙ මනුස්සයා මනමාලිවත් ඇදෙගෙන හිමින් සීරුවෙ වෙනත් දොරකින් අතුරුදහන් වුණේ අපටත් නොකියා. දැන් කට්ට්ටියටම අප්සෙට්. ඇයි ගන්න හිටපු ෆන් එක නැතිවුණානෙ.

“හරි, ඌ නැතිවුණාට කමක් නෑ. රංජිත් ඉන්නවනෙ” කීවා එකෙක්.

මිනිත්තුවකින් මෙන්න රංජිත් පූල් එකේ! අපට කුණුහරුපෙන් බැණ බැණ ගොඩට එන්න දඟලනවා. ටයි කෝට් පිටින්මයි.

ඒ අස්සෙ කවුද තට්ටෙ තියෙන අන්කල් කෙනෙක් ඇවිත් දුව දුවා අත් දෙක වන වනා අපට දේශනාවක් පටන් ගත්තා. මනුස්සයට කොච්චර මල පැනලද කියනව නම් කියන දේවල්වත් පැහැදිළි නෑ. එහෙන් රංජිත් බනිනවා. මෙහෙන් අන්කල් බනිනවා. වැඩ කෝටියයි. දැන් අපේ කතාබහ මෙහෙමයි.

මම: කවුද බං මේ. ජයන්තයගෙ තාත්තද?
පළමුවැන්නා: නෑ නෑ, මේ ජයන්තගෙ තාත්ත නෙවෙයි.
දෙවැන්නා: මනමාලිගෙ තාත්තද දන්නෙ නෑ
පළමුවැන්නා: නෑ බං මනමාලිගෙ තාත්තත් නෙවෙයි.
මම: උඹට ෂුවර්ද?
පළමුවැන්නා: ඔව් බං මම ෆොටෝ ගත්තනෙ. ඒ වෙලාවෙ මූ පැත්තකවත් හිටියෙ නෑ. මේ හෝටලේ එකෙක්ද කොහෙද.
තෙවැන්නා: මුගේ කට ටිකක් වැඩියි. දාමුද මූවත් පූල් එකට?
දෙවැන්නා: අන්න හරි. මූට මොකද්ද තියෙන රුදාව අපි රංජිත් පූල් එකට දැම්මට? හරි. අල්ලපන්…එකායි…දෙකායි…

බාගෙට වැදිච්චි කොල්ලො ටිකකට අවවාදානුශාසනා දීමේ ආදීනව තේරෙන්නත් කලින් තට්ට අන්කලුත් පූල් එකේ. දැන් පූල් එකේ ටයි කෝට් කාරයින් දෙන්නයි. තාරවන් වගේ ගොඩට එන්න දඟලනවා.

ඔන්න අශෝක් දුවගෙන එනවා කෑ ගහගෙන. “Are you mad? What the hell are you doing?“

බලාගෙන යනකොට තට්ට අංකල් රංජිත්ගෙ තාත්තලු. ජයන්තලාගෙ පවුල දන්න නිසා වෙනම ඇරැයුමක් ලැබී තිබුණාලු වෙඩින් එකට. (රංජිත්ගෙ අම්ම නැතිවෙලා, මතක හැටියට) කවුද ඕව දන්නෙ? කලින් කියන්න එපායැ.

ඉතින් අපි කට්ටියටම අන්කල් ගෙන් සමාව ගන්න වුණා. අශෝක් තමයි කූල් ඩවුන් කළේ. අළුත්ම කාරෙක කියලත් නොබලා අශෝක් දෙන්නවම ගෙදරටත් ගිහින් දැම්මලු. සීට් තෙත බරියන් වෙලා. අශෝක්ට හරිම දුකයි.

ඊළඟ දවසෙම අශෝක් ස්ටාෆ් මීටින් එකක් කියලා අළුත් නීතියක් දැම්මා.

“මීට පස්සෙ කවුරු හරි පූල් එකට තල්ලු කළොත් වෙන කිසිම දෙයක් බලන්නෙ නෑ. ඊළඟ දවසෙම රස්සාවෙන් අස් කරනවා!”

15. ලොව සිව්වැනියට බලවත්ම පුද්ගලයා හමුවීමි

1996 ඔක්තෝබර්

“චානුක, මොකෝ මේ මුළු ගැන්නිලා?, එන්න මම මහින්ද මහත්තයට අඳුන්නල දෙන්න”

(පියසේන) කහඳගමගේ මහත්තය මාවත් ඇදගෙන සෙනඟ අතරින් ඉස්සරහට ගියා. ධර්මසිරි සේනානායක ඇමැතිතුමා නම් ආවේ රූපවාහිනි කණ්ඩායම් දෙක තුනක් එක්ක.  එච්චර වැදගත් ඇමැති කෙනෙක් නොවෙන නිසදෝ අළුතින් ආපු කෙනාට ටී. වී. කණ්ඩායම් කවුරුත් හිටියෙ නෑ. පීචං ඇමතිලාට මොන පබ්ලිසිටිද?

ස්ථානය කොළඹ කලා භවන. දයාසේන ගුණසිංහ මහත්තයාගේ අවමඟුල් දවස.

මේ වසර පහළොවකට කලින් වෙච්චි සිද්ධියක් නිසාදෝ කම්කරු ඇමැතිතුමා එක්ක මොනවා කතා කළාද මට හරියටම මතකයක් නැහැ. මට කාර්ය බහුල දවසක්. වේදනාව, තරහ, ආතතිය, වෙහෙස ආදී විවිධ ආවේගයන් මැද සම්මා සතිය ඇති කර ගන්නට උත්සාහ දරමිනුයි මා සිටියේ.

“රාජපස්ස උන්නැහේ මොනවද කිව්වෙ?”

ඇමැතිතුමා පිරිවර සෙනඟ (ඩලස් අලහප්පෙරුම හා නාලන්ද එල්ලාවල) සමඟ නික්ම ගියායින් පසුව සුනේත්‍රා අක්කා (සුනේත්‍රා රාජකරුණානායක) ඇහුවා. දවස් තුනක කාලයක් හෙවනැල්ල වගේ මගේ පස්සෙන් හිටියෙ සුනේත්‍රා අක්කා. ජීවිතය ගැන මා නොදැන සිටි බොහෝ දේ ඇය මට මේ දින කිහිපයට කියා දුන්නා. මහරගම ගෙදර පඩිය උඩ වාඩි වෙලා, ඇය මා දන්නා මිනිසුන් ගැන කියපු නොදන්නා කතන්දර අහගෙන හිටියා මතකයි. (සුනේත්‍රා අක්කා ගැන වෙනම සටහනක් කළ යුතුයි, මගේ පොත් රාක්කයේ තවමත් නොකියවා තිබෙන ‘බුද්ධ දාසි’ හා ‘කවි කඳුර’ කියැවූ වහාම!)

“එන්න කිව්ව ඒ පැත්තෙ ඕනැ වෙලාවක, උදව්වක් ඕනැ උණොත්!”

“අනේ හොඳයි, චානුකත් මේ දවස්වල එල්ලෙන්න වලිගයක් හොයමින්නෙ ඉන්නෙ”

සුනේත්‍රා අක්කා හින්ට් එකට වගේ කිව්ව.

මගේ දිවි මඟෙහි කිසි දවසෙක දේශපාලකයින්ගෙන් පුද්ගලික උදව් ලබා නැති බව ලියන්නට පුළුවන් නම් මා සතුටුයි. එහෙත් කෙනකුට 100%ක් ප්‍රතිපත්ති ගරුක වෙන්න අමාරුයි. මේ ක්‍රමය යටතේ ජීවිතය ගෙනයාමේදී දේශපාලන උදව් වරින් වර ලබා ගන්නට අප කාටත් සිදු වෙනවා. ඔහු ධීවර ඇමැති යුගයේ මහින්ද මහත්තයාගෙන් වාර දෙකකදී උදව් ඉල්ලන්නට අපට සිදුවුණා. සිරි රණසිංහ මහත්තයාගේ දැඩි උනන්දුව මත ඊට හුඟාක් මහන්සි වුණේ ලංකාදීපයේ දුෂ්‍යන්ත සමරසේන. (ඒ කාලෙ මහින්ද මහත්තයාව ලංකාදීපය වෙනුවෙන් කවර් කළේ ඔහු.) එකක් සාමාන්‍ය උදව්වක්. අනෙක තීරණාත්මකව වැදගත් එකක්. (මේ අසාධාරණ හෝ අසාදාචාරාත්මක උදව්වක් නොවන බව ලිවිය යුතුයි. ඇත්තටම ඊට කලින් සිදුවුණු අසාධාරණයක් සම්බන්ධයෙන් නිවැරදි විය යුතුව තිබුණු එහෙත් නිවැරදි නොවූ දෙයක්)සාධාරණත්වයේ නාමයෙන්, මේ අවස්ථා දෙකේදීම ඔහු ප්‍රත්‍යුපකාර වශයෙන් කිසිවක් බලාපොරොත්තු නොවූ බවත්, මා කිසිම දවසක පුද්ගලිකව එවැන්නක් නොකළ බවත් සඳහන් කිරීම වැදගත්. අඩු තරමින් ඡන්දය ප්‍රකාශ කිරීම වැනි සරල උදව්වක්වත්!

මා අවසාන වතාවට ඡන්දය ප්‍රකාශ කළේ 1994දී. ඉන්පසු කිසි දවසක ඡන්දය ප්‍රකාශ නොකළේ ඉන් ඇති වූ කළකිරීම නිසා. 1994දී අපේ “නූතන විහාර මහ දේවිය” වූයේ චන්ද්‍රිකා කුමාරණතුංග. එවකට දැඩි යූ. ඇන්. පී. විරෝධියකු වූ මා අතුල අයියා (වික්ටර් අයිවන්) විසින් මෙහෙයවනු ලැබූ චන්ද්‍රිකාගේ ප්‍රචාරණ ව්‍යාපාරයේ සුළු භූමිකාවක්ද නිරූපණය කළේ එයින් වන අවදානම නොසලකමින්. (එවකට මගේ බොස් වූ Softlogicහි අශෝක් පතිරගේ අද කොහොම වුණත් එදා නම් දැඩි යූ. ඇන්. පී. කාරයෙක්.) චන්ද්‍රිකා ඉතා කෙටි කාලයක් තුළ අපේ බලාපොරොත්තු මුළුමනින්ම කඩ කළා. එවැනි අප්‍රසන්න අත්දැකීමකින් පසුව කෙනෙකුට නැවත කැපවීමෙන් ප්‍රචාරණ කටයුත්තකට සහභාගි වීමට සිතෙන්නේ නැහැ. ඉන්පසුව මා කාට හෝ ඡන්දයකදී සපෝට් එකක් දුන්නා නම් ඒ වැඩිපුරම අනෙක් පාර්ශවය සමඟ තිබූ තරහ පිරි මසා ගැනීමට.

ආයෙත් ‘මහින්ද මහත්තයා’ ගැන කතාවට. දෙවන වරට ඔහු මට හමුවන්නේ රටේ අගමැතිවරයා ලෙස, මුල් හමුවෙන් වසර නවයකින් පමණ පසු.

එවක අග්‍රාමාත්‍ය ලේකම්, මගේ පරණ බොස් ලලිත් වීරතුංග මහත්තයා හොඳින් දන්නා චීන මහාචාර්යවරයකු හිටියා හොං කොං හි. බෙයිජිං හීදී වැඩමුළුවකදී හමුවී තිබුණු හෙයින් මාද ඔහු තරමක් දුරට දැන සිටියා. මේ චීනාට ඕනෑ වුණා, ත්සුනාමියෙන් පසුව ඔහු විසින් එකතු කළ ආධාරයක් අප වෙත ලබා දෙන්නට. ඒ සඳහා ඔහු ලංකාවට පැමිණියා. ත්සුනාමි ආධාර භාරගත් ප්‍රධාන ආයතනයක් වූයේ අගැමැති කාර්යාලය.

කවර හෝ හේතුවක් නිසා එදින වීරතුංග මහත්තයාට කටුනායක යන්නට සිදු වී තිබුණා. සමහරවිට VIP කෙනෙක් පිළිගන්නට වෙන්න ඇති.

“චානුක ඔයා ගාමිණීට කතා කරල වෙලාවක් අරගෙන මේ මනුස්සයා PMට මුණ ගස්සන්න”

ඔහු මට උපදෙස් දුන්නා. මතක හැටියට මා ඒ කාලයේ වැඩ කළේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA).

එවක අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ගාමිණි සෙනරත් මහත්තයා (දැන් ප්‍රධාන විධායක, ජනාධිපති ලේකම් කාර්යාලය, තවත් තනතුරු ගණනකට අමතරව) දුරකථනයට ගැනීම අදට වඩා බොහොම පහසුයි. ඔහුම රිසීවරය ඔසවන කාලයේ. මා අවශ්‍යතාවය පැහැදිළි කළා.

“අද නම් PM ටිකාක් බිසි. කමක් නෑ ඔයා දහයමාරට විතර එක්කගෙන එන්නකො”

මට උපදෙස් ලැබුණා.

කලම්බු ප්ලාසා එකෙන්ද සිනමන් ග්‍රෑන්ඩ් එකෙන්ද මතක නැහැ, මා චීනාව පික් කළා. රටක අගැමැති හමු වෙන්නම අපූරුවට ගැළපෙන ඇඳුමක් තමයි ඔහු ඇඳගෙන හිටියෙ. ටී-ෂර්ට් එකයි, ට්‍රැක් බොටම් එකයි, ජැකට් එකයි. ජැකට් එක නැතිනම් හරියට ව්‍යායාම කරල ඉවර වෙල ගෙදර යනවා වගේ. සමහර විට මේ හොං කොං වල ජාතික ඇඳුම වෙන්න ඇති. නැත්නම් චෙක්-ඉන් බැගේජ් එක මිස් වෙන්න ඇති. මොනවා කරන්නද? වෙන ඇඳුමක් ඇඳන් එන්න කියන්නත් බෑනෙ.

මර්ෆිගේ නියමය වැඩ කරන්නට පටන් ගෙන ඇති බව තේරුණේ ෆ්ලවර් රෝඩ් එකට කිට්ටු වෙන කොට. රැකියා විරහිත උපාධිධරයන්ගේ දැවැන්ත උද්ඝෝෂණයක්. වාහන ඔක්කෝම නැවතිලා.

“We have to walk from here” මා කීවා.

දැන් චීනාගෙන් ප්‍රශ්න කෝටියයි.

“Why can’t you take a vehicle even to the Prime Minister’s office in your country?”

“Who are these people? Why they shout like this?” (හොං කොංවල උද්ඝෝෂණ නැතුවාම වගේ!)

“Will these people hit us too?”

උද්ඝෝෂකයින් එල්ලී සිටි ගේට්ටුව අමාරුවෙන් ඇරගෙන අපි කාර්යාල පරිශ්‍රයට ඇතුළු වුණා. අව්වේ ගිය නිසා දැන් චීනා ඉහේ ඉඳන් දාඩිය නාලයි ඉන්නෙ.

ගාමිණි සෙනරත් මහත්තයාගේ මැදිහත් වීම නිසා අපට වැඩි වෙලා රැඳී සිටින්නට වුණේ නැහැ. ඉක්මණින්ම අගැමැතිතුමා හමුවෙන්නට ලැබුණා. ඒ වෙනකොට දාඩිය වැඩි කමට චීනා ජැකට් එකත් ගලවලා. නමුත් අගැමැති තුමා ඒක ගණන් ගත් බවක් පෙන්නුවේ නැහැ. ස්තූතිපූර්වකට ඩොලර් නෝට්ටු ටික භාරගත්තා. වචනයක් දෙකක් කතා කළ බවත් මතකයි.

මා චීනා වෙනුවෙන් පින්තූර කිහිපයක් ගත් නමුත් දැනට ඒවා මා සතුව නැහැ.

මේ සරල කතන්දර දෙක වර්තමානයේ අපේ රටේ අසාහය නායකයාගේත් මගේත් දිවි ගමන් සම්පාත වූ අවස්ථා දෙකක් ගැන කීමක්ම නෙවෙයි. හොඳට හෝ නරකට ඔහු පමණයි මා මෙතෙක් ලංකාවේ ජාතික තලයේ දේශපාලකයින් අතරින් හමු වී කතාබහ කර ඇති එකම පුද්ගලයා. (ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මට සම්මානයක් දුන්නාට කතා බහ කළේ නැහැනෙ.) ඉතින් මෙහෙම කියනවා හැර දේශපාලකයින් ගැන කියන්නට මට ලොකු කතන්දර නැහැ.

අනෙක් පැත්තෙන් ගත්තොත් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක තුමා මා දැක ඇත්තේ ජීවිතයේ එක් වතාවක් පමණයි. ඒ අසූ ගණන් වල මුල් හරියේ බොරැල්ලේදී බිශොප් ලක්ෂ්මන් වික්‍රමසිංහ මහතාගේ අවමඟුල් පෙරහැරේ එවක අගැමැති ආර්. ප්‍රේමදාස මහත්තයා සමඟ ඇවිද යන ගමනේදී.

14. පේරාදෙණිය සරසවිය: හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම්

1999දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා ප්‍රදර්ශනයකට සමගාමීව පැවැත්වුනු දේශනයකට මහාචාර්ය වී. කේ. සමරනායකයන්ට ලැබුණු ඇරැයුමකට අනුව, ආදේශකයකු සේ මම සහභාගි වීමි. මේ මා දේශනය ආරම්භ කළ අයුරුයි.

“Ladies and Gentlemen, I never studied at Peradeniya, but you don’t have to treat me as a stranger. Both my parents, and now my wife have the logo of your university in their degree certificates.”

පේරාදෙණිය සරසවිය මගේ සිහි සටහන් වල කොටසක් වන්නේ එහෙයිනි.

පළමු වසර කොළඹදී නිමාකොට දෙවන වසරෙහි සිට පේරාදෙණියට ගිය තාත්තා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ (එවක ලංකා විශ්ව විද්‍යාලයේ) පළමු ශිෂ්‍ය කණ්ඩායම නියෝජනය කළ විද්‍යාර්ථියෙකි. ඔහු 1956දී පළමු පෙළ උපාධියක් ලැබුවේය. 1959දී අම්මා එහිම සිංහල, භූගෝලය හා ඉතිහාසය පිළිබඳ සිය උපාධිය ලැබුවාය. මහචාර්ය ජේ. බී. දිසානායක, ආචාර්ය සරත් අමුණුගම, කර්නල් වී. එස්. කුඩලිගම (හිටපු ආනන්ද විදුහල්පති)  හා දයාසේන ගුණසිංහ ඇගේ සමකාලීනයෝය. අම්මාගේ බාල සහෝදරියන් දෙදෙනාද ඇයට පසුව අධ්‍යාපනය ලද්දේ පේරාදෙණියේය. තාත්තාගේ සමකාලීන මිතුරන් බහුතරයද සිප් සතර හදාරා තිබුණේ එහිය. මේ නිසා අධ්‍යාපන ආයතනයක් සේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අපේ පවුල් අතර විශේෂ ගෞරවයක් විය. පේරාදෙණියෙන් උපාධියක් ලබා තිබීම අන් කවර හෝ විද්‍යාතනයකින් උපාධියක් ලබා තිබීමට වඩා විශේෂ කාරණාවක් සේ සලකන ලද්දේය.  සිය අනාගත ලේලියට කිසිම විරුද්ධත්වයකින් තොරව කැමැත්ත පළ කිරීමේදී අම්මාද තාත්තාද ඇගේ පේරාදෙණියෙන් ලද උපාධිය කෙතෙක් සැලකිල්ලට ගත්තේද මම නොදනිමි.

අම්මා හා ඇගේ සරසවි යෙහෙළියන් පේරාදෙණියේදී (1950 දශකයේ අග)

පුදුමයකට මෙන් පේරාදෙණියට යාමේ සිහිනයක් මට කොහෙත්ම, කවදාවත්ම නොවීය. ඉංජිනේරු විෂයයන් සඳහා, විශේෂයෙන්ම මගේ කැමැත්ත වූ විදිලි ඉංජිනේරු විෂයය පිණිස එවක ලංකාවේ වූ හොඳම විද්‍යායතනය සේ සැලැකුණේ මොරටුව විශ්ව විද්‍යාලයයි. එබැවින් මගේ සිහිනය වූයේද මොරටුව විශ්ව විද්‍යාලයයි. අසූ ගණන් මුලහරියේ මොරටුව විශ්ව විද්‍යාලයේ චෙස් සංගමයේ බලාධිකාරය පැවතියේ ආදි-ආනන්දියයන් අතර නිසා වසරකට වරක් සුහද චෙස් තරගාවලියක් පිණිස ආනන්දීය චෙස් කණ්ඩායම මොරටුව සරසවියට යාම සිරිතක් විය. මේ ගමන්හිදී ඇසූ දුටු දේ මගේ සිහිනය තීව්‍ර කළේය සිතමි. විශ්ව විද්‍යාල ප්‍රවේශ අයැදුම්පත පිරවීමේදී දෙවන තෝරා ගැනීම වශයෙන් වත් පේරාදෙණිය සඳහන් කිරීමේ අවශ්‍යතාවයක් මට නොවූයේ ගණිත අංශයේ 65 වැන්නා ලෙස මොරටුවට ප්‍රවේශ වීම සහතික වූ නිසාය.

මට වසර දෙකකට පසුව සොනාලි උසස් පෙළ සමත් වූයේ B දෙකක් (රසායන විද්‍යාව, උද්භිද විද්‍යාව) හා C දෙකක් (සත්ත්ව විද්‍යාව, භෞතික විද්‍යාව) ඇතිවය. මීට හොඳ ප්‍රතිඵල දෙවන වර ලබා ගැනීමට ඉඩ තිබුණේ වී නමුදු ඇය දෙවන වරට උසස් පෙළ කිරීම එකහෙළා ප්‍රතික්ෂේප කළාය. ඇරත් ඝන කණ්නාඩි පැලැඳීමට බල කරන ලද දෘශ්‍යාබාධය හේතුවෙන් ඇයට වෛද්‍යවරියක සේ කටයුතු කළ හැකිද යන සැකය පැවතිනි. මගේ උවදෙස වූයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා පාඨමාලාවට ඇයැදුම් කිරීමටය. ඇය කෘෂිකර්මය ප්‍රිය කළාය. මා ඉන්දියාවේ NIT-K හි අධ්‍යයන කටයුතු අරඹා වසරකින් පමණ ඇය පේරාදෙණියේ කෘෂිකර්ම පීඨයට ඇතුළු වූවාය.

මා මුල් වරට පේරාදෙණිය විශ්ව විද්‍යාලට පා තැබුවේ සොනාලි පළමු වසර ශිෂ්‍යාවකව සිටියදී ඇය හමුවීම පිණිස සංඝමිත්තාවට ගිය ගමනේදීය. ඊට වසර තිහකට පමණ පෙර අම්මාට නවාතැන් දුන්නේද සංඝමිත්තාවයි.

සොනාලි මා සරසවිය පුරා ගෙන ගොස් එහි ආශ්චර්යයන්ද, ජන ප්‍රවාදයන්ද කියා දුන්නාය.

“ඔතැන පාලමේ සිංහයො දෙන්නෙක් ඉන්නව නේද අයියෙ?”

ඇය අසයි. මම එදෙස බලමි. සිංහයන්ගේ කිසිදු විශේෂත්වයක් මට නොපෙනේ.

“කතාව තියෙන්නෙ කන්‍යාවක් ඔය පාලමෙන් ගියොත් සිංහයො දෙන්න ඔළුව වනනව කියලයි. ඉතින් අපි කියන්නෙ එහෙම ඔළුව වැනුව වුණත් පේන්නෙ ඒ වගේම පිරිමි ළමයෙකුට විතරයි කියල”

අප හන්තාන තරණයටද පිඹුරුපත් සැකැසුවා මතකය. එහෙත් වසර විස්සකටද පසු තවමත් ඒ හන්තාන තරණය ඉටු නොවූ සිහිනයෙකි. එතකුදු වුවත් පේරාදෙණි සරසවි බිම ලංකාවේ අන් කිසි සරසවි බිමෙකටත් වඩා, මා පශ්චාත් උපාධි ලැබූ කොළඹ විශ්ව විද්‍යාල බිමටත් වඩා මගේ පා සටහන් දරා සිටිනවාට සැක නැත්තේය. 

පේරාදෙණි සරසවිය තරම් සාහිත්‍යකරුවන් විසින් රෝමෑන්තීකරණය කරන ලද අන් කිසිදු සරසවියක් මෙබිම ඇත්දැයි සැක සහිතය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “හෙට එච්චර කළුවර නෑ” නව කථාවෙහි එන පේරාදෙණි වැනුම දෙවැනි වෙතොත් ඒ සැළලිහිණි සංදේශ කතුවරයාගේ ජයවද්දනපුර වැනුමටම පමණෙකි. සුගතපාල සෙනරත් යාපා තම “හන්තානේ කතාව” තුළින් පේරාදෙණියේ මන්දිර, ගල් කුළුණු, ගහ කොළ වලට පණදී ඒවා අපේ සන්තානයෙහි කොටසක් කරයි. මේ හැරුණු විට පේරාදෙණිය සරසවිය තවත් නවකථා, සිනමා සිත්තම් ගණනෙකට මුල් වී ඇත්තේය. සිරි ගුනසිංහගේ “සෙවනැල්ල” හා ගුණදාස අමරසේකරගේ “එක් සත්‍ය කථාවක්” නවකතාද, ගාමිණී ෆොන්සේකාගේ “සාගරයක් මැද” සිතුවම් පටයද මගේ සිහියට එක එල්ලේ නැඟෙන ඒවායි. 

අමරදේවයන්ගේ “හන්තානේ කඳුමුදුන සිසාරා…”, නන්දා මාලිනියගේ “හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සඳළු තලා පිස…” සේම මර්වින් පෙරේරාගේ “මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි…” ගීතයටද පාදක වන්නේ පේරාදෙණිය සරසවියයි. මෙබිම සුවහසක් කවියන්ගේ භාවෝද්ගමනය කළ කාව්‍යමය තෝතැන්නක් වැන්න. මේ හැරුණු විට පේරාදෙණිය සරසවිය පාදක කොට නොගත්තද අපේ සාහිත්‍යයෙහි එක් කාල පරිච්ඡේදයක් නියෝජනය කළ “පේරාදෙණි සමය” තුළින් බිහිවූ “මනමේ” වැනි නිර්මාණ ගණන විශාලය.

උඩරට සිට මැණිකෙ කෙනෙක් ආව වාසිටී -
ඇවිත් වාසිටී මැණීකේ – ඇවිත් වාසිටී මැණීකේ
ඇවිත් වාසිටී බැඳුණා – ආට්ස් ෆැකල්ටී

රතු පාටයි – නිල්පාටයි මැණිකෙගෙ සාරී //
මැණිකෙට සාරිද ඕනෑ, මැණිකෙට ගවුංද ඕනෑ
මැණිකෙට ඕනැ දෙයක් කියන්න මම අරගෙන දෙන්නම්

දවසක්දා මමත් ගියා මැණිකෙ බලන්න//
මටත් වුණා විසි වෙනියට – මටත් වුණා විසිවෙනියට
මටත් වුණා විසි වෙනියට පෝලිමෙ ඉන්න

දවසක්දා මම යනකොට ලවර්ස් ලේන් එකේ//
මැණිකෙ හිටිය ලෙක්චරයගෙ – මැණිකෙ හිටිය ලෙක්චරයගෙ
මැණිකෙ හිටිය ලෙක්චරයගෙ – බෙන්ස් කාර් එකේ

මා දන්නා තරමින් ලංකාවේ වෙනත් කිසිම සරසවියකින් මෙසේ සරසවි-විශේෂිත ගීතයක් පොදු ජනශ්‍රැතියට එක්ව නැත්තේය.

මේ තාක් රෝමෑන්තීකරණය කළද පේරාදෙණියද, ලංකාවේ තවත් එක් සරසවියක් පමණි. රමණීය පරිසරය හැරුණු විට අද එහි වෙනත් විශේෂයක් නොවේ. කාලයාගේ ඇවෑමෙන් ලක්දිව සෙසු සරසවිද මේ “මහා සරසවිය” හා සම මට්ටමට පැමිණ සිටිති. බොහෝ පාඨමාලාවන් පිණිස පේරාදෙණිය තව දුරටත් උපාධි අපේක්ෂකයින්ගේ පළමු තෝරාගැන්ම නොවේ. ඉංජිනේරු විෂයයන් සඳහා නම් මා දන්නා තරමින් පේරාදෙණිය තවමත් මොරටුවට පසුපසිනි. අනෙකුත් විෂයයන් ගැන මට අවබෝධයක් නැත.

පේරාදෙණිය සරසවිය තුළ, ඒ පිළිබඳ පළමු සිහින මැවු වියතුන් කිසිදිනෙක අපේක්ෂා නොකළ සිදුවීම් ගණනාවක් පසු අවදියෙක වූ බවද සඳහන් කළ යුත්තේය. 1971 පෙබරවාරියේදී අත් වැරැදීමකින් මාස් හෝල් එකේ පුපුරා ගිය බෝම්බය අප්‍රේල් කැරැල්ලේ ආරම්භය සනිටුහන් කළේය. 1976 නොවැම්බරයේ ලංකා ඉතිහාසයේ පළමුවරට සරසවි ශිෂ්‍යයකු සරසවි භූමිය තුළදී පොලිස් වෙඩි පහරෙකින් මැරී වැටිණි. ඊට මාස කිහිපයකට ඉහත තම වධකයින්ගෙන් ගැලැවීමට නේවාසිකාගාරයේ ඉහළ මාලයක සිට පිනූ නවක ශිෂ්‍යා රූපා රත්නසීලී සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වූවාය. 1989 භීෂණ සමයේදී මළසිරුරු එකොළහක් පේරාදෙණියේ පොකුණක් මලෙක පෙති පරිද්දෙන් දමා තිබුණු බව මා කියැවූයේ ඉන්දියාවේදීය. (ඝාතකයින්ටද නිර්මාණශීලී අදහස් පහළ වේ!)

පේරාදෙණිය සරසවිය සම්බන්ධව බොහෝ දෙනකුගේ සිත් තුළ ඇති තවත් මිථ්‍යාවක් නම් ඉතා ඉහළ අපේක්ෂා ඇතිව ආරම්භ කළද පේරාදෙණි සිහිනය සපුරා බිඳ වැටුණු බවයි. ඉහළ බලාපොරොත්තු ගැන කතාව ඇත්තක් මුත් එකී බලාපොරොත්තු තබා ගත්තන් මහපොළොවෙහි පය නොගසා එය කළේ නම් ඔවුන්ගේ අපේක්ෂා බිඳීම ගැන පේරාදෙණිය සරසවියට දොස් පැවැරීම නොහොබී. විශේෂයෙන් හැත්තෑව දශකයෙන් පසුව පේරාදෙණියටත් ලැබුණේ අනෙක් විශ්ව විද්‍යාල වලට ලැබෙන සොච්චම් ප්‍රතිපාදනමය. ඊට ඇතුළු වූයේද රාජකීය, ත්‍රිත්ව හෝ ශාන්ත තෝමස් විද්‍යාලයන්හි ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ලැබූ ඉහළ පන්තියේ සිසු සිසුවියන් නොව මෙරට සාමාන්‍ය ජනතාවගේ දූ පුතුන්ය. ඔවුන්ට ඉගැන්වූයේද එබඳුම වූ පිරිසකි. පේරාදෙණිය සම්බන්ධයෙන් කිසිම විශේෂයක් නොකොට එය ඔක්ස්-බ්‍රිජ් මට්ටමට ළඟාවේය සිතීමට හැක්කේ මනෝරාජිකයකුට පමණෙකි.

ඒ හැරුණු විට රටේ අවශ්‍යතා හඳුනා නොගෙන ෆැක්ටරියකින් රොබෝවන් තනා එළියට දමන්නාක් සේ නාමික උපධිධරයින් බිහි කිරීම පිළිබඳව අපේ රටේ සියළු සරසවියන්ට පොදු චෝදනාව නම් පේරාදණියටත් ලෙහෙසියෙන් එල්ල කළ හැකිය. උදාහරණයක් හැටියට සොනාලිගේ මිතුරු මිතුරියන් අතුරින් තවමත් කෘෂිකර්මය හා තරමක හෝ සම්බන්ධයක් ඇති රැකියාවක නිරතව හිඳින්නේ ඇය පමණෙකි. ඉතිරි සියළු දෙනා කෘෂිකර්මයට කිසිම සම්බන්ධයක් නැති අංශයන්හිය. රටට අවශ්‍යතාවයක් නොවේ නම් වාර්ෂිකව පේරාදෙණිය විශ්ව විද්‍යාලය (හා අනෙකුත් විශ්ව විද්‍යාල) දැවැන්ත අයෝජනයක් කොට කෘෂිකර්ම උපාධිධරයින් විශාල සංඛ්‍යාවක් බිහි කරන්නේ මන්ද? ඒ ආයෝජනයම කොට රටට අවශ්‍ය ක්ෂේත්‍රයක උපාධිධරයින් බිහි නොකළ හැක්කේ මක් නිසාද?

මගේ පුද්ගලික මතය නම් පේරාදෙණිය විශ්ව විද්‍යාලය සේම එය ගැන අප දරණ මතිමතාන්තරද වෙනස් විය යුතු බවයි. මුලින්ම අප විසින් එය මත තබා ඇති රෝමෑන්තික කටු ඔටුන්න ඉවත් කළ යුතුය. මේ කටු ඔටුන්න බරය. එහි බර දැනෙන තාක් කල් පේරාදෙණියට හිස ඔසවා ඉදිරියට යන්නට නොහැකිය. දෙවනුව, ලංකාවේ අනෙකුත් විශ්ව විද්‍යාල සේම පේරාදෙණියද පොළොවේ හිට ගන්නට උත්සාහ ගත යුතුය. නාමික උපාධිධරයින් බිහි කරනවා වෙනුවට රටට ප්‍රායෝගිකව මෙහෙයක් කළ හැකි උපාධිධරයින් බිහි කිරීමට උත්සාහ දැරීම එහි අද්‍යතන වගකීමයි. රෝමෑන්තික පේරාදෙණිය සරසවිය සාහිත්‍යයට සීමාවේවා! සැබෑ පේරාදෙණි සරසවිය පොළොවේ පය ගසා නැඟිටිය යුතුය.

වෙනත් සරසවියක් ගැන නොකරන මේ ප්‍රකාශය පේරාදෙණිය සම්බන්ධයෙන් කරන්නේ මට එහි ඇති බන්ධුතාවය නිසා බැව් මට හිතෙයි.

13. රැග් නොවූ සරසවි ශිෂ්‍යයාගේ රැග් එක ගැන කතන්දරය

“ඒයි, උඹට පේනවද අර බස් හෝල්ට් එක ගාව හිටගෙන ඉන්න බඩුව?”

ජ්‍යෙෂ්ට උත්තමයෝ වාකියාගෙන් (වාකිෂ්ඨ) ඇසූහ.

“ඔව්” වාකියා බයෙන් බයෙන් කීවේය.

“ගිහින් අහගෙන වරෙන් ඒකි ඇඳගෙන ඉන්න ජංගියෙ පාට. තෝ බොරු කළොත් හෙම ටොයිලට් එකේ ඩිප්ස් පණහක් ගස්සනවා” ඔවුහු ගර්ජනා කළහ.

වාකියා කොහොමටත් නාහෙට නාහන, වෙනම අච්චුවක තැනු පොරකි. ඔහු බස් හෝල්ට් එක දෙසට ඇවිද ගියත් ඇස් දෙක වට පිට ගැන අවධානයෙන් කැරැකුණේය. බස් එකක් අදින්නට සැරසෙයි. වාකියා දිවි අමතක කොට දිව ගොස් එහි පාපුවරුවේ එල්ලුනේය. බස් එක කටුබැද්ද පිළියන්දල පාරේ ඉදිරියට ඇදෙයි. ගොදුර මඟ හැරීමටත් වඩා ඇතිවුණු අවමානයෙන් කෝපයට පත් ජ්‍යෙෂ්ට උත්තමයෝ බසය පසුපස දිව ආහ. ඔවුන්ට එය අල්ලා ගැනීමට හැකිවුණේ නැත.

“අනේ උඹ වගේ මැට්ටෙක්. දැන් උඹ ආයෙත් කැම්පස් නොයා ඉන්නද? උඹව අල්ල ගන්නව ෂුවර්” මිතුරෝ වාකියාට කීවෝය.

ඒත් වාකියා ඒ ජ්‍යෙෂ්ට උත්තමයන්ට හසු නොවූයේය. දින පහක නම්නීකරණ වැඩ සටහනින් පසුව අපට ඉංගිරිසි පන්ති පැවැත්වුණේ වේල්ස් කුමාර හා කුමරි විද්‍යාලයන්හි බැවිනි.

මේ මගේ බැච් එකේම සගයකුගේ අත්දැකීමකි. නවක වදය සම්බන්ධ මගේ අත්දැකීම් මීටද අල්පය. උසස්පෙළින් A දෙකක් (භෞතික විද්‍යාව, ව්‍යවහාරික ගණිතය) B එකක් (රසායන විද්‍යාව) හා C එකක්ද (ශුද්ධ ගණිතය) ලකුණු 305/400ක්ද ලබා ඉංජිනේරු පිඨයට තේරුණත් මා මොරටුව සරසවියට ගියේ දින පහක නම්නීකරණ වැඩ සටහන වෙනුවෙන් පමණක් බැවිනි. මාසයක හෝ දෙකක ඉංග්‍රීසි පන්ති පැවැත්වුණේ සරසවියෙන් පිටතය. මෙයින් පසු සරසවිය දින නියමයක් නැතිව වැසුණු හෙයින් සැලකිය යුතු කාලයක් එය විවෘත වනතුරු බලා සිට නොවුණු තැන මම මොරටුව සරසවියටත් එහි මගේ මිතුරු කැලටත් ආයුබෝවන් කීමි. ඉන් පසු මා මොරටුව සරසවියට පා තබා ඇතොත් ඒ විශාඛාගේ ඇරැයුමකට පමණෙකි. මොරටුව සරසවියෙහි ගත කළ අතිශය කෙටි කාලය තුළ මගේ කිට්ටුම යෙහෙළිය වූ විශාඛා (විශාඛා නානායක්කාර – වර්තමානයේ එහි පරිගණක ඉංජිනේරු හා විද්‍යා අංශයේ අංශ ප්‍රධානි) තවමත් මට තමන් සංවිධානය කරන උත්සව හා දේශන සඳහා ආරාධනා පත්‍ර එවීමෙන් නොනැවත දුරකථනයෙන්ද මතක් කරයි. ඉසඹුවක් ලැබෙතොත් මා මේවාට සහභාගි වන්නේ මා යන්නට තේරුණු එහෙත් කවදාවත් පන්තියකට නොගිය මොරටුව විශ්ව විද්‍යාලය පිළිබඳ සොඳුරු මතක යළි අවදි කර ගනු පිණිසය.

මගේ "මොරටුව ගැන්සිය"

මගේ සරසවි දිවිය තුළ මම කිසිදිනෙක රැග් වී නැත්තෙමි.

ඇයි ඉන්දියාවෙ සරසවි වල රැග් එකක් කියල දෙයක් නැද්ද? ඔබ අසනු ඇත.

තියේ. එහෙත් මම රැග් නොවීමි. ඒ කතාව මෙසේය.

මා අධ්‍යාපනය ලැබූ කර්ණාටක ජාතික තාක්ෂණ ආයතනයේ (NIT-K) රැග් එක ලංකාවේ රැග් එකට වඩා බොහෝ වෙනස්ය. එහි ඉන්දියාවේ සියළු ප්‍රාන්තවලට අයත් ශිෂ්‍යයෝ ඉගෙනුම ලැබූහ. මොවුන් විවිධ ජාතීන්ට, ආගම්වලට, කුලයන්ට, ජන වර්ග වලට අයත් වූ වෙනස් භාෂා කථා කළ පිරිසකි. කිසිම එකමිතියක් නොවීය. මේ ජන වර්ග අතර දරුණු ජාතික හා දේශපාලන බෙදීම් තිබුණේය. එනිසා රැග් කිරීමේදී එක පොදු නීතියක් තිබිණි. නවක වදයට ලක් කළ හැකි වූයේ තමන්ගේම ‘පාටියේ’ කණිෂ්ඨයින් පමණෙකි. ‘පාටි’ හැදුණේ බොහෝ විට ප්‍රාන්ත බෙදීම් අනුවය.(උදාහරණ: පන්ජාබ් පාටිය, තමිල්නාඩු පාටිය, මධ්‍ය ප්‍රදේශ් පාටිය) වෙනත් පාටියක කණිෂ්ඨයකු රැග් කිරීම සලකන ලද්දේ කිසි විටෙක නොකළ යුතු දෙයක් හැටියටය. එය එක අතකට හොඳය. මන්ද එසේ නොවිණි නම් සරසවිය තුළ වාර්ගික අර්බූද ඇතිවිය හැකිව තිබුණු නිසාය.

මා අයත් වූයේ ‘ශ්‍රී ලංකා’ පාටියටය. එය සාපේක්ෂව කුඩාය. සාමාජිකයන් ගණන (අළුතින් එක් වූ අප දෙදෙනා නැතිව) හයක් හෝ හතකි. මගේ ජ්‍යෙෂ්ටයන් සියල්ලන්ම, එක් සිසුවියක හැරුණු විට, දෙමළය. අප දෙදෙනා සිංහලය. මේ වාර්ගික අර්බූදයේ කූඨ ප්‍රාප්තියයි. නවක අප දෙදෙනා රැග් කිරීම තුළින් වාර්ගික හැඟීම් අවුස්සා නොසිටීමට මගේ ජ්‍යෙෂ්ටයෝ ඥානාන්විත පියවරක් ගත්තෝය. ඒ වෙනුවට ඔවුහු අපට හැකි සෑම ආකාරයකින්ම උදව් කළහ. මේ දූර්දර්ශී ක්‍රියාව නිසා මා එහි ගත කළ සතර වසර තුළ කිසිම දවසක අප අතර සිංහල-දෙමළ ගැටුමක් ඇතිවූයේ නොවේ. අපි එක පවුලෙක දරුවන් වීමු.

නවක වද කාල සීමාව අවසන් වන තුරු කණිෂ්ඨයන්ට කමිස යට කිරීම තහනම්ය. සපත්තු වෙනුවට සෙරෙප්පු පැළඳිය යුතුය. උදේ පාන්දර ජ්‍යෙෂ්ටයන්ගේ කාමර වලට ගොස් “Good morning, sir” කියා ඔවුන් අවදි කළ යුතුය. ජ්‍යෙෂ්ටයින් “සර්” ලෙස ඇමැතිය යුතුය. ඔවුන්ගේ පැවරුම් කර දිය යුතුය. (පරිගණක අද මෙන් සුලබ නොවූ ඒ යුගයේ ඉංජිනේරු ශිෂ්‍යයින්ට බොහෝ දේ අඳින්නට තිබුණේය.) අපට මේ නීති කිසිත් අදාළ නොවීය. කලිසම් යට කර ගෙන, සපත්තු පැළඳ දේශන වලට ගිය අප සමහර සගයෝ ජ්‍යෙෂ්ටයන් සේ වරදවා තේරුම් ගත්හ. එහෙත් අපි කැමැත්තෙන්ම අපේ ජ්‍යෙෂ්ටයින්ගේ පැවැරුම් කර දුනිමු.

අනෙකුත් ජ්‍යෙෂ්ටයෝ ඉඳ හිට විහිළුවක් කළා මිසෙක අප රැග් නොකළෝය. ඔවුන්ට ලොකු කුතුහලයක් තිබුණේ විවිධ අසභ්‍ය යෙදුම් පිණිස සිංහල වචන අසා ගැනීමටය. සරසවියේ සිංහල දන්නා කෙනකු නොවූ හෙයින් අපි කටට ආ යමක් කීවෙමු.

මේ හරුණු විට මගේ ඉන්දියානු ජ්‍යෙෂ්ටයෝද මිතුරෝද අපේ හින්දි නොදැනුම බයිට් කළහ. ගණිත මහාචාර්යවරයා ඔවුන් විසින් මට හඳුන්නා දෙන ලද්දේ “ප්‍රොෆෙසර් උල්ලුකා පට්ඨා” ලෙසිනි. “උල්ලුකා පට්ඨා” (son of an owl) යනු හින්දියේ අසභ්‍ය නොවුවත් අවමාන පදයක් බව මම පසුව දැන ගතිමි.

මගේ ඉන්දීය සගයින්ගේ රැග් අත්දැකීම් මීට ඉඳුරා වෙනස්ය. සමහරුන්ට දරුණු ශාරීරික වදයන්ට ලක් වීමට සිදු විය. කෙසේ වෙතත් නිරුවත් කිරීම, ලිංගික හිංසන යනාදිය සාමාන්‍යයෙන් එහි කොටසක් වූයේ නොවේ. නවකයින් ඒ තරමටම මානසිකව පහළට ඇද දමන සිරිතක් ඔවුන්ගේ නොවීය. ලොකුම වදය වූයේ කම්මුල් පාර කෑමට සිදුවීමයි. සාමාන්‍යයෙන් නවකයකුට රැග් සමය තුළදී කම්මුල් පාර 200-300 අතර ප්‍රමාණයක් ලැබේ. (තමන්ට වැදෙන කම්මුල් පාර සංඛ්‍යාව හරියට මතක තබා ගැනීමද ඔවුන්ගේ එක් රාජකාරියකි.) සමහරවිට නවකයින් දේශන සඳහා පැමිණෙන්නේද රතු වූ කම්මුලින් යුතුවය. ඇඟිලි පහර පවා සමහරවිට හොඳින් දකින්නට තියේ.

මීට අමතරව ලොකුම වදය ජ්‍යෙෂ්ටයින් විසින් උදේ පාන්දර පහේ සිට මැදියම හෝ සමහර විට පසු දින උදේ දෙක තුන වනතුරු අර්ථ විරහිත කාර්යයන් උදෙසා නවකයින්ගේ කාලය කෑමය. නවකයින් දේශන මැද නිදා ගැනීම මේ කාලයේදී සාමාන්‍ය සිදුවීමකි. එහෙත් මේ හරුණු විට මොනයම්ම හෝ අවස්ථාවක ආහාර ගැනීම, ශරීර කෘත්‍යයන් කිරීම, ස්නානය බඳු දෛනික ක්‍රියාවන්ට ඔවුනට ඇති අයිතිය අහුරනු නොලැබේ. කොටින්ම කම්මුල් පාර කෑමේ වේදනාව දරාගත හැකි නම් රැග් එක ඒ තරමටම අවුලක් නොවේ.

අසූ ගණන් වල අග හරියේ ඉංජිනේරු ශිල්පය යනු ඉන්දීය යුවතියන්ට ආකර්ෂණීය විෂයයක් නොවූ හෙයින් අපේ සිසු අනුපාතය පිරිමි පහකට ගැහැනු එකකටත් වඩා අඩුවිය. අපට ලොකු හොස්ටල් බ්ලොක්ස් පහක් වූ අතර ඔවුන්ට වූයේ එක කුඩා හොස්ටල් බ්ලොක් එකකි. සිසුවියන් රැග් කරන ලද්දේ සිසුවියන් විසින් පමණකි. සිසුන්ට ඒ සඳහා කිසිදු අවසරයක් නොවීය. කාන්තා බ්ලොක් එකෙහි “අන්ටි-රැග්” සංරචකය ප්‍රබල වූ නිසා බොහෝ විට සිසුවියන් රැග් වූයේම නැත.

රැග් සමය වැඩිම වුණොත් මාස දෙකකි. විභාග නිසා එය ඊට වඩා ඇදගෙන යාමට ජ්‍යෙෂ්ටයින්ට වුව කාලයක් නැත. මින් පසුව ජ්‍යෙෂ්ටයින්ගේ තනි වියදමින් පැවැත්වෙන ‘වෙල්කම් පාටියෙන්’ පසුව නවකයින් සාමාන්‍ය ශිෂ්‍යයන් ලෙස පිළි ගනු ලැබේ.

මේ NIT-K හිදී පාටියකදී ගන්නා ලද ඡායාරුපයකි. අවස්ථාව මතක නැත.

රැග් සමය ගැන මට තව මතක එකම එක සිදුවීමකි. ඒ මා දෙවන වසරෙහි සිටියදී මගේ සගයින් පිරිසක් විසින් වැරැදීමකින් ශාස්ත්‍රපති (masters) පාඨමාලාව සඳහා ඇතුළු වූ නවකයකු රැග් කිරීමයි. සාමාන්‍යයෙන් ඉන්දියානුවේ අඩු වයසින්ම උසස් අධ්‍යාපනයට යොමු වෙති. එසේම ඔහුට තිබී ඇත්තේද ළාබාල පෙනුමකි. එක්කෝ නොදැනුවත්කමින්, නැත්නම් ඕනැකමින්ම මොහු “රැග් වී” තිබේ. අවසානයේ “ජ්‍යෙෂ්ට උත්තමයින්ට” ඔහුගෙන් සමාව ගැනීමට සිදුව ඇත්තේ “Sorry sir, we didn’t know you were a masters student” කියමිනි.

“උඹලා ඊළඟට ලෙක්චර්ලස්ලවත් රැග් කරාවි” මේ කණ්ඩායමේ සාමාජිකයින්ට තවක් බොහෝ කාලයක් යනතුරු අසන්නට ලැබුණේය.

12. ප්‍රතිගාමී පාන් සහ සමාජවාදී බුල්ටෝ

රණසිංහ මහත්තයා

“චානුකට මතකද දන්නෙ නෑ ක්වින්ටස්ව?”

සිරි රණසිංහ මහත්තයා (ප්‍රධාන කර්තෘ – ලංකාදීප) අසයි. රණසිංහ මහත්තයා කසාඳ බැඳපු අළුත, එනම් හැත්තෑ ගණන් වල මුල හරියේ පදිංචිව සිට ඇත්තේ මා උපන් දා සිට, අද වනතුරුම වාසය කරන නිවෙසට ඇවිදින දුරෙකිනි. ඉඳහිට හමුවූ විටෙක ඔහු තවමත් මේ පැරණි කතන්දර කියයි.

“මොකද රණසිංහ මහත්තයට ක්වින්ටස් මතක් වුණේ?” මම අසමි.

“ක්වින්ටස් අමතක කරන්නෙ කොහොමද ළමයෝ, ඒ කාලෙ ඒ පැත්තට තිබුණු එකම කඩේ ක්වින්ටස්ගෙ…”

“ක්වින්ටස් මුදලාලි මැරුණා…” මම කියමි. “…ඒත් මට කියන්න කතන්දරයක් ඉතුරු කරලා”

මේ ඒ කතාවය.

මට ක්වින්ටස්ගේ කඩය මතකය. එය තිබුණේ අපේ නිවෙස ඉදිරියෙන්ම වූ නිසාය. මේ ලියන මොහොතේදීත් මට මේ කඩය තිබුණු (පසුව නවීකරණය කරන ලද) ගොඩනැඟිල්ලේ පියස්ස පෙනේ.

ක්වින්ටස් දිළින්දෙකි. කියන්නට තරම් අධ්‍යාපනයක් ලබා නැතද පුවත්පතක් කියවා ගැනීමට හැකිය. හැත්තෑ ගණන් වල මුල හරියේ ක්වින්ටස්ගේ කඩය අද මොණරාගල බඳු ඈත පළාතක ඔක්කම්පිටිය පාරේවත් දකින්නට අසීරු ආකාරයේ “එදා වේල” කඩයකි. මේ කඩයේ විකුණන්නට ඇති දේ අතිශයින් සීමිතය. 1970-77 යුගයේදී කිරිපිටි (තිබුණොත් විතරක්), සහල් (සේරු දෙකක්ය සිතමි), පිටි, කරවල, සීනි (රාත්තලක්), පරිප්පු (හුණ්ඩු දෙකක්), ධාන්‍ය වර්ග යනාදිය මිළට ගත හැකි එකම ස්ථානය සමූපාකාරයයි. එබැවින් ක්වින්ටස් මේ කිසිත් නොවිකුණයි. දෙල් ගෙඩි කිහිපයක්, පළා මිටි ටිකක්, කොස්සක්, ඉදලක්, වළඳක්, බුලත් විටක්, දෙහි ගෙඩියක්, ගස්ලබු ගෙඩියක්, කොස් ගෙඩියක්, පිටු 40 “ළමා හුරුව” එක්සයිස් පොතක්, පැන්සලක්, මිරිස් තුණපහ ටිකක් වගේ දෙයක් ගන්නට පමණි, කෙනෙක් මේ කඩයට ගොඩ වන්නේ. ක්වින්ටස්ට ශීතකරණයක් තියා විදුලිය වත් නැති නිසා දූවිලි බැඳුණු ඔරෙංජං බාර්ලි, නෙක්ටෝ හා ලංකා ලයිම් බෝතල් කිහිපයක් බාගෙට හිස් අල්මාරියක තබා ඇත. ITN එකේ කෝපි කඩේ හදා ඇත්තේ ක්වින්ටස්ගේ කඩය දැක පුරුදු කෙනෙකුදැයි සැක සිතෙන තරම්ය.

මේ හැරුණු විට ක්වින්ටස් මුදලාලි ගෝපාල් දත් කුඩුද (සිග්නල් දත් බෙහෙත් නැත්තටම නැති කාලයක අපද දත් මැද්දේ එයින් බව මතකය.), “ත්‍රී රෝස්” සිගරැට්ද, ‘බුල්ටෝ’ද විකුණයි. සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවෙන් අපට වෙනත් සීනි බෝල කෑම තහනම් කොට බුල්ටෝම කන්නට දුන්නේ ඒවායේ ඇති යහ ගුණයක් නිසා නොව දේශීය නිෂ්පාදනයක් නිසා ඒවා වඩා “සමාජවාදීය” හෝ “ප්‍රගතිශීලීය”සිතූ නිසා වන්නට පිළිවන. (වර්තමාන ආණ්ඩුව “දේශප්‍රේමී” වන්නේ යම්සේද, සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව එසේම “ප්‍රගතිශීලී” හා “සමාජවාදී” ආණ්ඩුවකි. රට කරවන්නෝ මහා ප්‍රගතිශීලීහුය; මහා සමාජවාදියෝය.) පිළියෙළ කිරීමේදී මධ්‍යසාර ටිකක් එකතු කරන නිසා බුල්ටෝ කෑවාම අමුතුම කික් එකක් එයි.

70-77 යුගයේ සජීවී නියෝජනය වන මඤ්ඤොක්කාද ක්වින්ටස් ගේ කඩයේ නිතර දකින්නට ඇති වෙළඳ භාණ්ඩයකි.

මේ ක්වින්ටස් නොවේ. 1970-75 දක්වා මුදල් ඇමැතිතුමාය. මා ඉගෙනගත් ඉස්කෝලයකම අවුරුදු දෙකක් ඉගෙන ගෙන ඇති ඔහු නමින් නානායක්කාරලාගේ මාටින් පෙරේරාය.

උදේ පාන්දර පහට නැඟිටින අම්මා හෝ තාත්තා, තවත් පිරිසක් සමඟ ක්වින්ටස්ගේ කඩය ඉදිරිපස පෝළිමට එක් වන්නේ උදේ කෑමට පාන් රාත්තලක් මිළට ගැනීමටය. මඤ්ඤොක්කා රහ ගුණ ඇති කෑමක් බවත් අගමැතිනියද සතියට කිහිප වතාවක්ම දිවා ආහාරයට මඤ්ඤොක්කා ගන්නා බවත් “හුළං විදිලිය” කියයි. සමාජවාදයට යන ගමනේ අම්බලම් නොමැති බවත් පොදු ජනතාව පටි තදකොට ගෙන සමාජවාදය වෙනුවෙන් කැප කිරීම් කළ යුතු බවත් කියන්නේ මුදල් අමාත්‍ය ආචාර්ය එන්. එම්. පෙරේරා සහෝදරයාය. “මැතිනි අපට කියනව නම් පිදුරු වුණත් අපි කන්නම්” පාක්ෂිකයෝ දිවුරා පොරොන්දු වෙති. ප්‍රතිගාමියෝ (මෙය 1970 දශකයේ මුල අද “දේශ ද්‍රෝහියා” ලේබලයට සමාන ලේබලයකි.) මේ කිසිත් නොතකා පාන්ම ඉල්ලති. කොපමණ හැඳුනුම්කමක් තිබුණද ක්වින්ටස් වැරදිලාවත් අපට වැඩිපුර පාන් ගෙඩියක් නොදෙයි. තමන් වෙනුවෙන් එක පාන් ගෙඩියක් තබා ගන්නා ඔහු ඉතිරි පාන් ගෙඩි විකුණන්නේ පෝලිමේ ඉන්නා පිළිවෙළටය. එක පවුලකට එක පාන් ගෙඩියකි. පැය දෙක තුනක් පෝලිමේ සිටියකුට පාන් ගෙඩියක් නොලැබුණොත් ෆ්ලවර් ජම්ප් වන හැටි හිතා ගත හැකිය. පාන් ගෙඩියක් වෙනුවෙන් මිනී මරා ගත් අවස්ථා ගැන කතන්දර අපි අසමු.

ක්වින්ටස්ගේ පැත්තෙකින් සතයේ කාසි දැමූ බෙලෙක්කයක්ද ඇත. ඒ ඉතුරු සල්ලි දෙන්නටය. පාන් ගෙඩියක පාලන මිළ සත 99කි. “ප්‍රතිගාමී” තක්කඩි වෙළඳුන් විසින් මහ ජනතාව ගසා කෑම ආණ්ඩුව විසින් සම්පූර්ණයෙන් වළකා තිබේ. සත 99යේ පාන් රාත්තලට රුපියලක් ගැනීම කිරිමේල් වරදකි. දිනමිණ පත්තරය (අදට වඩා ලොකු වෙනසක් නැත.) රුපියලට පාන් විකුණා හිරේ ගිය වෙළඳුන් ගැන නිති පුවත් පළ කරයි. හිරේ යන්නට අකැමැති ක්වින්ටස් සියල්ලන්ටම සතය බැගින් ආපසු දෙයි. ඔවුහු නැවත ඒ සතය බෙලෙක්කයටම දමති.

සතුට පත්තරයේ කැමිලස් මහත්තයාගේ කාටූනයක පෙම් යුවළක් අතර දෙබසකි මේ.

පෙම්වතිය: ඔයාට බැණ බැණ හිටපු අම්මලාට අළුත් අවුරුද්දෙන් පස්සෙ ඔයා තරම් කෙනෙක් නෑ
පෙම්වතා: ඒ මොකද ඒ වෙනස හිටි ගමන්?
පෙම්වතිය: ඔයා අවුරුද්දට පාන් රාත්තලක් අරගෙන ආවනෙ…ඒක හිතට අල්ලලා.

ක්වින්ටස්ගේ කතාව ඉවර නැත. ඒ කතාවේ වැදගත්ම පරිච්ඡේදය ආරම්භ වන්නේ 1977න් පසුය. (ක්වින්ටස් යූ. ඇන්. පී. කාරයෙක් බව කියන්නට අමතක විය. 1977 මැතිවරණයට පෙර ඔහු කඩුවෙල ආසනයේ ඡන්දාපේක්ෂක එම්. ඩී. එච්. ජයවර්ධනගේ ලොකු පින්තූරයක් කඩේ ගහගෙන සිටියේය.)

හැම ආර්ථික ලිබරලීකරණයකින්ම පසු ප්‍රතිඵල ඇසට පෙනෙන මට්ටමට එන්නට යම් කාලයක් ගත වේ. අනිවාර්යයෙන්ම මුල්ම ප්‍රතිලාභ ලබන්නෝ ධනවත්තුය. මෙය සාමාන්‍ය දෙයකි. ප්‍රතිලාභ ගලා එන්නේ උඩ සිට පහළටය. එසේම මෙසේ ලබන ප්‍රතිලාභද වෙනස් විය හැකිය. නමුත් යම් අවස්ථාවක සමස්ත සමාජයම ආර්ථික ලිබරලීකරණයේ ප්‍රතිලාභ ලබයි.

පශ්චාත්-77 සමාජ ආර්ථික පරිවර්තනය පියවරෙන් පියවර මා දකින්නේ ක්වින්ටස් තුළිනි.

70-77 “සමාජවාදී” යුගයේ වූ ක්වින්ටස්ගේ දිළිඳු කඩය 77න් පසු අළු ගසා දමා නැඟිටී. සමූපාකාරයේ පමණක් තිබුණු වෙළඳ භාණ්ඩ එකින් එක ඔහුගේ කඩ පිළෙහිද දකින්නට ලැබේ. එක බුල්ටෝ බෝතලය වෙනුවට වර්ග කිහිපයක සීනිබෝල, ටොෆී, බෝතල මේසයට එක්වේ. උපාලි විජේවර්ධනගේ ඩෙල්ටා ටොෆිය බුල්ටෝවට අභියෝග කරයි. ගෝපාල් දත්කුඩු වෙනුවට සිග්නල් දත් බෙහෙත් ආදේශ වේ. වෙළඳාමට නව අත් උදව්කරුවන් දෙදෙනකු ගේ එකතු වීම තුළින් ක්වින්ටස් කැෂියර් කූඩුවට සිර කොට ඇත. විදිලියද, ඒ හා සමඟම වාගේ ශීතකරණයක්ද කඩයට එක් වේ. කලින් සරම හැර අන් ඇඳුමක් නොදත් ක්වින්ටස් හන්දියට යෑමටද කලිසම අඳින්නට පටන් ගනියි.

මැතිවරණයට පෙර දෙන්නට පොරොන්දු වූ ධාන්‍ය රාත්තල් අට දෙන්නේ කවදාද ඇසූ කල ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන හිනැහෙයි.

“තමුන්නාසෙලට දැන් රටේ ඕනැම කඩේකින් ඇට රාත්තල් අටක් නෙවෙයි දහයක් වුණත් ගන්න පහසුකම් විවෘත කොරල දීල තියෙනවා…” ඔහු කියයි.

කතාව ඇත්තය. 1977ට පෙර මේ කඩ වලින්ම පරිප්පු ඇටයක් ගැනීමට හැකි වූයේ නැත.

සීයා අන්තරා වන්නේ 1980 අප්‍රේල් මාසයේදීය. මේ වන විට ක්වින්ටස් අත මිට සරු වෙළෙන්දෙකි. මිනිස්සු ඔහුට ගරුසරු ඇතිව “ක්වින්ටස් මුදලාලි” කියා කතා කරති.

“මහත්තය මළ ගෙදරට සිගරැට් ගැන කරදර වෙන්න එපා” ක්වින්ටස් මුදලාලි තාත්තාට කියයි. “ඒක මං බලා ගන්නම්”

මේ “ත්‍රී රෝස්” නොව බ්‍රිස්ටල්ය.

“රණසිංහ මහත්තය දන්නවද …….. කම්පැණිය?”

මම ප්‍රකට සමාගම් නාමයක් සඳහන් කොට අසමි. රණසිංහ මහත්තයා හිස වනයි.

“ඒකෙ CEO ක්වින්ටස් මුදලාලිගෙ පුතා”

“අම්මටසිරි!”

ජාතික පුවත්පතෙක තලතුනා කතුවරයකු විසින් පිට නොකළ යුතු වචනයක් ඔහුගේ මුවින් පිටවේ. මේ හැත්තෑ හතට පෙර නිකංම නිකම් ක්වින්ටස් දැනසිටි ඔහුට වටහා ගැනීමට අසීරු විපර්යාසයකි.

“සමාජවාදී’ හා “ප්‍රගතිශීලී” සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව දිගටම පැවතියේ නම් ක්වින්ටස්ගේ පුතා තවමත් කුඩා කඩයක පාන් විකුණනවා විය හැකිය. රණසිංහ මහත්තයාද මාද ඔහුගෙන් පාන් රාත්තලක් මිළට ගන්නට උදේ පහට නැඟිට පෝලිමට එක් වනවා විය හැකිය.

මේ කතාවම දත්ත මර්ගයෙන් මීට වඩා පැහැදිළිව ප්‍රකාශ කළ යුත්තේ තවමත් මේ සමාජ ආර්ථික පරිවර්තනය සැක කරන පාඨකයින් වෙනුවෙනි.

2009 දී ලංකාවේ පවුලක මාසික මධ්‍යයන ආදායම රුපියල් 35,000කි. 1978දී මෙයම 2009 රුපියල් වලින් (එනම් උද්ධමනය නොසලකා හැර) රුපියල් 6,500කි. 2009දී වියදම රුපියල් 32,000ක් වන විට 1978දී වියදම රුපියල් 6,000ක් වේ. එනම් 1978 හා 2009 අතර ලංකාවේ සමාන්‍ය පවුලක් ආදායම් ඉපැයීම හා වියදම් කිරීම (පරිභෝජනය) අතින් පස් ගුණයකට වඩා ඉදිරියට ගොස් ඇත. සමස්තයක් ලෙස ලාංකිකයෝ 1978 ජීවත් වූවාට වඩා පස් ගුණයක් හොඳින් ජීවත් වෙති. (කියැවීමේ පහසුව තකා ඉලක්කම් රවුම් කර ඇත.)

1978දී ලංකාවේ ඒකපුද්ගල දළ ජාතික නිෂ්පාදිතය USD 193කි. 1991දී එය USD 500 පසු කරයි. 2004දී USD 1,000 පසුකරමින් දිළිඳු රටක හැව ඇර මධ්‍යම ආදායම් රටක් (middle income country) බවට පත්වේ. 2008දී එය USD 2,000 පසු කරයි. 2010 සඳහා මේ අගය USD 2,466කි. අපේක්ෂිත ඉලක්කය 2016දී USD 4,000කි. මේ අපේ දකුණු ආසියානු “ප්ලග් එක” ගලවා ගිණිකොණ දිග ටයිගර්ස්ලාගේ යටි අන්තය වන තායිලන්තයට හා ඉන්දුනීසියාවට “ප්ලග් කිරීමකි”. එතැන් පටන් ඉදිරිය අසීරු නොවේ. මා ජීවතුන් අතර සිටියද නැතද, තව වසර 20-30 කදී අප මැලේසියාවට හා යුරෝපයට සම වීම සියැසින් දකින යොවුන් පාඨකයකු වෙතැයි සිතමි.

මා විහිළු කරනවා නොවේ. පහත රූපය I බලන්න. මේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතයේ නැඟීමයි (USD වලින්) . ආර්ථික ප්‍රතිසංස්කරණ ආරම්භ වූ 1978 වර්ෂය කඩ ඉරි වලින් දක්වා ඇත. ඊට කලින් ලංකාවේ ආර්ථිකයේ සිදුවුයේ මොන කෙංගෙඩියක් දැයි ඔබ සිතන්නෙහි නම් මම පුදුම නොවෙමි. ඇත්ත. 1978ට කලින් ලංකාවේ ආර්ථිකයේ මොන කෙංගෙඩියක්වත් වී නැත. එතෙක් නිදා සිටි ලංකා ආර්ථිකය අවදි වන්නේ 1978දීය. ජවාධික වන්නේ 2004න් පසුය. අප කැමති වුවද නැතද, එසේ වීමේ ගෞරවයෙන් සැලකිය යුතු කොටසක් වර්තමාන ආණ්ඩුවට හිමි විය යුතුය.

රූපය I: ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතයේ නැඟීම (1950-2010)

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

මේ එක දර්ශකයක පමණක් වූ වෙනසක් නොවේ. පහත රූපය II අපේ රටේ අපනයන, ආනයන හා ප්‍රවර්තන ගිණුම් ශේෂය දක්වයි. (USD මිලියන ) 1978 වනතුරු සියල්ලම ශුන්‍යයට ආසන්න සරල රේඛාවකි. කවර හෝ වෙනසක් ආරම්භ වන්නේ 1978දීය.

රූපය II: ලංකාවේ අපනයන, ආනයන හා ප්‍රවර්තන ගිණුම් ශේෂය (1950-2010)

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

ආර්ථික වර්ධනය සංවර්ධනයේ එක මිනුමක් පමණෙකි. තවත් මිණුමක් නම් දරිද්‍රතාවාහරණයයි (poverty alleviation) .

1978 සිට ආරම්භ වූ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව නැඟෙන පොදු චෝදනාවක් නම් එමඟින් රටේ දිළින්දන් වඩා දිළිඳු භාවයට පත් වූ බවය. (“Rich have become richer, while poor have become poorer”) මේ චෝදනාව මොහොතක් අපේ විමසිල්ලට ලක් කරමු.

කිසිම ආර්ථික ප්‍රතිසංස්කරණයක් එක එල්ලේ දිළිඳන්ට සහන ලබා නොදේ. එසේ වන්නේ කාලයාගේ ඇවෑමෙනි. වාසනාවකට මෙන් 1978 සිට මේ වන තුරු ආර්ථික ලිබරලීකරණ ප්‍රතිපත්තීන්හි පැහැදිළි වෙනසක් නැතිව දශක තුනකට වැඩි කාලයක් ගෙවී ගොස් ඇත. එනිසා මේ එම පරිවර්තනයේ පොහොසතුන් පමණක් නොව සමස්ත සමාජය ප්‍රතිලාභ ලද දත්ත ඇසුරින් සලකා බලන්නට අපූරු අවස්ථාවකි.

1978 දී රැකියා වියුක්තිය 15% කි. (පිරිමි 9% ගැහැණු 25%) එනම් 1978දී අපේ රටේ ශ්‍රම බලකායට අයත් හැම කාන්තාවන් සිව් දෙනකුගෙන් එක් අයකු රැකියාවක් කොට නැත. 2010 දී එම මිනුම් දඬු යටතේම රැකියා වියුක්තිය 5% දක්වා අඩුවී ඇත. (පිරිමි 3%, ගැහැණු 8%)

1978දී ලංකාවේ නිවෙස් වලින් ගඩොලින් බැඳ තිබුණේ 25%කි. 2003 වන විට මෙය 55% දක්වා ඉහළ යයි. (මෙය හා මතු කියන බොහෝ දත්ත මේ වන විට වැඩි දියුණු වී ඇතිවා විය හැකිය. එහෙත් කිට්ටුම දත්ත ඇත්තේ 2003 සඳහා බැවින් එය භාවිතා කිරීමට සිදුවේ.)

1978දී මෙරට නිවාස වලින් 32% පොල් අතු සෙවිළි කළ ඒවායි. 2003 දී මේ ගණන 6% දක්වා අඩුවේ.

1978දී අපේ රටේ නිවාස වලින් විදුලිය තිබුණේ 13% කටය. 2003 දී 75%කට විදුලිය ලබා දී තිබේ. (මේ ප්‍රමාණය මේ වන විට 90% ක් වන අතර විදිලි බල මණ්ඩලයේ ඉලක්කය ලබන වසරේදී 100% ට ආසන්න වීමටය.)

1978දී මෙරට නිවෙස් වලින් 29% කට වැසිකිළියක් වත් නැත. 2003 දී මේ ගණන 6% දක්වා අඩුවේ.

1978දී ගුවන් විදිලි යන්ත්‍ර හිමි මෙරට නිවෙස් වලින් 50%කටය. 2003 දී මෙය 78% දක්වා වැඩිවේ.

1978දී දුරකථන පහසුකම් ඇත්තේ නිවෙස් වලින් 1% කටත් අඩු ප්‍රමාණයකටය. 2003දී මෙය 25%ක් වේ. (දැන් මෙය 50% ඉක්මවා ගොස් තිබේ.)

1978දී බයිසිකලයක් ඇත්තේ නිවෙස් 21% කය. 2003 දී මෙය 47% දක්වා වැඩි වී ඇත.

1978දී ශීතකරණයක් තිබුණේ නිවෙස් 2% කය. 2003 දී මෙය 30% දක්වා වැඩිවී තිබේ.

1978දී (ඒ වන විටත් නිවෙසකට අත්‍යාවශ්‍ය භාණ්ඩයකැයි සැලැකුණු) මහන මැෂිමක් තිබුණේ නිවෙස් 31% කය. 2003 දී මේ ගණන 44% දක්වා වැඩිවේ.

මේ හා සමාන්තර සංවර්ධනයක් අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහිද විද්‍යාමාන වේ. උදාහරණයක් ලෙස 1978දී 86%ක් වූ සාක්ෂරතාවය 2003දී 93%කි. 1978දී 15% වූ කිසිම අධ්‍යාපනයක් නොලැබූ ජණගහන ප්‍රතිශතය 2003 දී 8% ට අඩු වී ඇත. 2009 දී වයස 5-14 අතර පාසල් යායුතු වයසේ දරු දැරියන්ගෙන් 99.4% ක් පාසල් යති. සියළුම සෞඛ්‍ය දර්ශක ධනාත්මක වැඩි වීමක් ප්‍රදර්ශනය කොට ඇත්තේය.

මේ සියළු දත්ත ඇස් පනාපිට පෙනෙන්නට තිබියදීත් ආර්ථික ලිබරලීකරණය තුළින් සමස්ත සමාජය ප්‍රතිලාභ නොලබන බව කියන පිරිසක්ද වෙති. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) කාලයක මගේ ප්‍රධානියා වූ, මාසයකට රුපියල් වලින් මිලියනයකට වඩා වැටුප් ලැබූ ආචාර්ය තංගවේලු පලනිවෙල්ද එවැන්නෙකි. ඔහු මෝඩයෙක් නොවේ; දකුණු ආසියාවේ අග්‍රගණ්‍ය ආර්ථික විද්‍යා විශාරදයෙකි. එසේ හෙයින් මෙසේ කියන්නන් හැම දෙනෙකුම මෝඩයින් ලෙස වර්ගීකරණය කිරීම මම නොකරමි. ඒ ඔවුන්ගේ අයිඩියොලොජියයි. ඒ අයිඩියොලොජියට අනුව ආර්ථික ලිබරලීකරණය ප්‍රතිලාභ ගෙන දෙන්නේ ධනවතුන්ට පමණෙකි. දිළින්දෝ තවත් දිළින්දු වෙති. කොයි තරම් දත්ත ගෙන හැර පෑවත් මේ අයිඩියොලොජිය වෙනස් කර ගැනීමට ඔවුන් සූදානම් නැත. එනිසා මේ සටහන ඔවුන් වෙනුවෙන් නොවේ. කියවන්නට හා ඉගෙනගන්නට කැමැති විවෘත මනසකින් යුතු පාඨකයින් උදෙසා පමණෙකි.

11. අනුර පුතේ උඹෙ අම්මා – අපේ කටේ පස් දැම්මා!

1974 මාර්තු

තාත්තාට තිබුණේද මේ ජාතියේම ෆෝර්ඩ් එස්කොට් එකකි. උපරිම වේගය පැයට කිලෝමීටර් 70ක් විතරය. තාත්තා එළෙව්වේ පැයට කිලෝමීටර් 30-40ක වේගයකිනි.

තාත්තා 2 ශ්‍රී 6536 පරණ ෆෝර්ඩ් එස්කොට් රථය පාර අයිනට කර නතර කරයි. පොලිස් භටයින් දෙදෙනෙක් විත් එය පරීක්ෂා කරති. මේ හොයන්නේ තුවක්කු, බෝම්බ හෝ හොරබඩු නොව හාල්ය.

“මහත්තයල වන්දනාවෙ යනව වගේ, බත් මාලුත් උයාගෙන…” එකෙක් බත් හැළිය අරී.

“ඔව් අපි මේ කොළඹ ඉඳන් උදේ පාන්දරින් නැඟිටගෙන එන ගමන්…” ඒ ආතම්මාය. ප්‍රශ්නයක් ඇසූ විට නිදාන කතාවේ පටන් කියාදීම ඇගේ සිරිතයි.

මම අමාරුවෙන් හිනාව තද කරගෙන සිටිමි. දවස් දෙක තුනකට බත් උයා ගන්නට තරම් සෑහෙන සහල් ප්‍රමාණයක් අම්මා කොතැන හෝ සඟවා ඇති බව මම දනිමි. මොවුන් එය සොයා ගනු ඇතැයි මට සිතේ. හොයා ගන්නට බැරි වුණොත් අපේ බත් හැළිය අත්පත් කර ගනු ඇත. බත් උයන්නේ හාල් වලින් නිසාය.

අසාර්ථක මෙහෙයුම අවසානයේ ඔවුහු තාත්තාට ඩිකිය වහන්නට කියති.

“නීතිය හින්ද මහත්තයො මේ බැලුවෙ. නැතුව අපි නොදන්නව නෙවි කොළඹ ඉඳළ කතරගමට හාල් ගෙනියන්න තරම් මිනිස්සු මෝඩ නැති බව.” පොලිස් භටයෙක් කසට දත් පා සිනාසෙයි.

කොළඹ සිට කතරගමට ගාළු මාතර හම්බන්තොට පාර ඔස්සේ හාල් පොලු තුනක්ද මිරිස් පොලු දෙකක්ද මම ගණන් කරමි.

චානුක - 1973

අපේ පරම්පරාව නිදහස් ලංකාවේ උපත ලද අවාසනාවන්තම පරම්පාරාවයැයි මට සිතෙයි. සොඳුරු ළමා කාලයක් ලබා ගැනීමේ නිදහස් පවා සිරිමා බණ්ඩාරනායකගේ “සමාජවාදී ආණ්ඩුව” විසින් අපෙන් පැහැරගෙන ඇත්තේය. වෙන මොනවා කළත් නිදහස් ලංකාවේ අන් කිසිම ආණ්ඩුවක් ඒ තරම් අමානුෂික ලෙස පොඩි එකාගේ කිරි පිටි පැකැට්ටුවට වැට බැඳ නැත. බූමිතෙල් ගඳ නොගසන කමිසයක් අළුත් අවුරුද්දට ලබා ගැනීමේ සතුට පොඩි එවුන්ගෙන් උදුරාගෙන නැත. පාලකයින් සුර සැප විඳින ගමන් රටේ පොදු ජනතාවට බත් නැතිව බතල, මඤ්ඤොක්කා කෑමට බල කොට නැත. මේ සියල්ල කරන ගමන් “අප සමාජවාදය කරා යන්නෙමු” යි බයිලා කියා නැත.

ඉන්දියාවට ගොස් බොහෝ කාලයක් යන තුරුම මගේ මිතුරන්ට තිබූ ගැටළුවක් වූයේ මා ඇපල් කෑමට මෙපමණ රුචි මන්ද යන්නය. මම දවසට ඇපල් ගෙඩි පහ හයක් කමි. (කර්ණාටකයේ ඇපල් විකුණුවේ කිලෝ වලටය. ඕස්ට්‍රේලියන් ඇපල් තරම් රහ නැතද, නරකම නැත.) එක හේතුවක් මා දක්ෂිණ භාරතීය ආහාරවලට හැඩ ගැසෙන්නට කල් ගත වීමය. චපාති හා ඉට්ලි නොකන්නේ නම් බඩ පිරෙන්නට මොකක් හෝ බඩට දමා ගත යුතු වෙයි. දෙවැනි හේතුව මා කොහොමටත් ඇපල් කෑමට කෑදර වීමය.

කුඩා කාලයේ ඇපල් යනු අපට දිව්‍ය භෝජනයකි. ගෙදරකට ඇපල් ගෙඩියක් ලැබෙන්නේ හාවා හඳ දැක්කා සේ කලාතුරෙකිනි. (සමහර විට මේ කොළඹ වරායේ නැව් වලින් පැන්නූ ඒවා විය හැකිය.) ඇපල් ගෙඩියක් ලද විට එය කෑමට වෙනම චාරිත්‍ර වාරිත්‍ර සමුදායයක් ඇත. බෙදා හදා ගැනීම හොඳ සිරිතක් නිසා (අපේ දැඩි විරෝධය මධ්‍යයේ) අහළ පහළ සියළු කුඩාවුන්ට ආරාධනා කෙරේ. කෑදර නෙත් විසි තිස් ගණනෙකින් එදෙස බලා සිටියදී ඇපල් ගෙඩිය කැබලි අටකට, දොළහකට හෝ දහසයකට කපනු ලැබේ. එකෙකුට මේ එක පංගුවකි. ක්‍රියාදාමය එතෙකින් අවසන් නොවේ. ඉන්පසු දෙමාපියන්ට සිදු වන්නේ “අයියගෙ කෑල්ල ලොකුයි, මගේ කෑල්ල පුංචියි” ගැටළු විසඳීමටය.

සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව අපට තහනම් කළේ ඇපල් පමණක් නොවේ. මිදි, චීස්, සැමන් පමණක් නොව නයිස් හා මාරි හැරුණු විට වෙනත් සියළු බිස්කට් වර්ගද, අලියා බීම හැරුණු විට වෙනස් සියළු කාබනීකෘත බීම වර්ගද, ලක්ස්ප්‍රේ හැරුණු විට අනෙක් සියළු කිරිපිටි වර්ගද අපට තහනම්ය. අසූ ගණන් වනතුරුම මා හිතා හිටියේ ලෝකයේ ඇත්තේ Peacock පාට පැන්සල් හා හොම්රන් පැස් හුණු කූරු පමණක්ය කියාය. චීස් කියා දෙයක් නම් තියෙන බව වත් දැන ගත්තේ විවෘත ආර්ථික යුගයෙන් පසුවය.

අපට ලියන්නට ඇති පැන්සල් වල දෙවර්ගයක කූරු ඇත. එක්කෝ ඒවා දවසට දෙතුන් වර කැඩේ. නැත්නම් කටර් එකකින් හෝ බ්ලේඩ් තලයකින් උල් කරන්නට බැරි තරම් දැඩිය. ලියන විට මිනිරන් වලින් නොව ලී වලින් සාදා ඇත්තාක් සේ සිතේ. ආණ්ඩුවේ සේවකයෝ ‘ලඬ්කාණ්ඩුව’ සේ තඹ අකුරින් කොටන ලද කහ පාට පැන්සල් වලින් ලියති. මේ පැන්සල් නම් අපූරුයි. ප්‍රශ්නය ඒවා බත්තරමුල්ලට තිබුණු එකම පොත්හළ වූ සාලින්දි පොත්හළේ විකිණීමට නැති එකයි. තාත්තා නම් වැරදිලා වත් එවැන්නක් ගෙදර ගෙන නො එයි. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවය කළ බාප්පා සමහර විට පැන්සල් දුසිමක් අයියාටත් මටත් අළුත් අවුරුද්දට තෑගි දෙයි. අපි ‘ලඬ්කාණ්ඩුව’ බ්ලේඩ් තලයකින් සූරා ඒවා පාවිච්චි කරමු. ඊළඟ ගැටළුව මේවා දැකපු ගමන් ටීචර්ලාත් ඒවා ඉල්ලන්නට පටන් ගැනීමයි. ටීචර්ලා නිසා නොදීත් බැරිය. අපටත් තියෙන්නේ සීමිත ප්‍රමාණයක් නිසා දීලාත් බැරිය. ශ්‍රී ලංකා ජනරජයේ ගරු අග්‍රාමාත්‍යතුමිය අප පත් කරන්නේ සුළු පටු අපහසුතාවයන්ට නොවේ.

එතුමිය ඒ මදිවාට 1972දී අප පිහිටවූයේය කියන ජනරජය වෙනුවෙන් කවි, ගීත, කෙටිකතා, නිර්මාණ තරග වසරක් පාසා පවත්වයි. එකේ පන්තියේදී මටත් මේ තරගයට සහභාගි වන්නට ලැබුණේය. මගේ මිතුරන් දෙමාපියන්ගේ සාහාය ලැබ ලස්සන කවි ලියාගෙන ඇවිත් තිබුණේය. නිර්මාණ කටයුත්තකට කවදාවත් වෙන කෙනෙකුගෙන් සහායක් ලබන්නට අකැමැති මම තනිව ජනරජ-ගීතයක් ලිවීමි. ඒ මෙසේය.

ජනරජයයි
ජනරජයයි
මැයි විසි දෙක
ජනරජයයි

සත් හැවිරිදි මගේ ජනරජ-ගීතය බොල් වුවත්, බණ්ඩාරනායක නෝනාගේ ජනතාවාදී, සමාජවාදී, චීනවාදී ආණ්ඩුවේ හෙන්චයියන් ලියන “දේශාභිමානී” ගීත වලට වඩා නම් හොඳය. මේ පසුව කියූ ගීත හැමදාම උදෑසන 6.15ට “හුළං විදුලි සේවයේ” (මා නොව ඒ කාලයේ විපක්ෂය දැමූ නමකි.) සිංහල පළමුවැනි සේවයේ “අරුණ කිරණ” තුළින් අපට අසන්නට සලස්වනු ලැබේ.

අරුණ කිරණ සැලී සැලී
හෙළ දෙරණම පණ පෙවී
නැඟෙන දැයට දිරි දිදී
පිබිදෙව් පිබිදෙව් හෙළ දරුවනේ
නැඟිටිව් නැඟිටිව් හෙළ දරුවනේ

දෙමව්පියන් තමන් මුහුණ දුන් ඇබැද්දි අපෙන් සැඟවූ හෙයින් සංවෘත ආර්ථික ක්‍රමයක් යටතේ රටේ පොදු ජනතාව මුහුණ දෙන ගැටළු මා බොහෝ විට දැන ගත්තේ අත් දැකීමෙන් නොව පුවත්පත් වල කාටූන් මඟිනි.

සතුට පත්තරයේ කැමිලස්ගේ ‘ගජමෑන්’ අවුරුදු උත්සවයක පිහිණුම් තරගයට සහභාගි වන්නේ අමුඩයක් ඇඳගෙනය. ටික වේලාවකින් තරගයේ ඉදිරියෙන්ම පීනන්නේ ඔහුය. එහෙත් හදිසියේම ගජමෑන් අනෙක් පැත්ත හැරී යටි ගං පිහිනන්නට පටන් ගනී. ඒ ඇයි දැයි අසන නිවේදකයාට ඔහු මෙසේ පිළිතුරු දෙයි. “පීනුම් තරගෙ දින්නා වගේ නෙවෙයි. අමුඩෙ වතුරෙ ගහගෙන ගියොත් සලාකෙට ඊළඟට රෙදි දෙනකල් මට ඉන්න වෙන්නෙ වතුරෙ!”

දොං සේතං බයිසිකලයට ටයරයක් මිළට ගන්නට යයි. එහිදී ඇතිවන දෙබස මෙසේය.

දොං සේතං: මුදලාලි මට සයිකලේට ටයර් එකක් ඕනැ.
මුදලාලි: කෝ මහත්තය පාවිච්චි කරපු ටයර් එක ගෙනාවද?
දොං සේතං: අනේ නෑනෙ
මුදලාලි: එහෙනං මට අළුතින් එකක් දෙන්න බෑ
දොං සේතං: මුදලාලි මම ජනතා කොමිටියෙ
මුදලාලි: හි හි විහිළුවක්වත් තේරෙන්නේ නෑනෙ මහත්තයට. එකක්ද දෙකක්ද ඕනැ?

අම්මා මට බොරැල්ලේ J. S. Fernando එක ඉස්සරහ පදික වේදිකාවෙන් ටී-ෂර්ට් මිළට ගන්නේ (මතක හැටියට) රුපියල් 3.50ටය. මේවා ස්වභාවයෙන්ම බූමිතෙල් ගඳය. බැනියමක් නැතිව ඇන්දොත් ගෙදර යන විට කමිසයේ පාට ඇඟේය.

සිරිමා බණ්ඩාරනායක රජ සමයේ පොදු ජනතාව විඳි දුක් ගැහැට ඉතා සාර්ථක ලෙස චිත්‍රණය කරන නිර්මාණයක් නම් මනුකා විජේසිංහගේ Monsoons & Potholes ය. (ඇය මා හා සම වයස්ය සිතමි.) අඩ-චරිතාපදානයක් වන මෙහි කතා නායිකාව පාසලට ගෙන යන්නේ චීස්, බටර් හෝ ජෑම් තැවරූ සැන්ඩ්විචස් නොව (ඇගේම වචනයෙන් කිව්වොත්) ‘මුකුණුවැන්න සැන්ඩ්විචස්’ය. මීට සමාන අත්දැකීම් මටද වේ. වෙනස මුකුණුවැන්න වෙනුවට ‘පොල් සම්බෝල’ ආදේශ වීමයි.

මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරියකු වූ තාත්තා සමහර දින වලට මා ඉස්කෝලේ එක්ක නොයන්නේ “දවල්ට එක්කගෙන එන්න බැහැ” කියමිනි. මුදල් ඇමැති ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා තාත්තලා කොහෝදෝ හිස් ඉඩමක බෝතල් කටු ඇහිඳ එකතු කර පිරිසිදු කරන්නට යවලාය. ඉඳහිටවත් වෙනදා කම්කරුවන් කරන මෙවැනි කාර්යයන් කිරීම නිලධරයන්ගේ මාන්නය බස්සන්නට හොඳ බව එතුමා කල්පනා කරයි.

වයස ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා ඕනෑම කෙනෙකුට මාසයකට පරිභෝජනය සඳහා අවශ්‍ය සීනි ප්‍රමාණය රාත්තලක් බව ‘ලඬ්කාණ්ඩුව’ නිගමනය කොට ඇත. සත හැත්තෑදෙකට මේ රාත්තල ලබා දෙන්නේ සමූපාකාරයෙනි. දිළින්දෝ හකුරු සමඟ තේ බොමින් තම සීනි රාත්තල රුපියල් දොළහයි පණහට කළු කඩේට විකුණති. හකුරු සමඟ තේ බොන්නට බැරිය කියමින් අඬන මා වෙනුවෙන් අම්මා ගේන්නේ මේ දොළහයි පනහේ සීනිය.

1970-77 සමාජවාදයේ බිහිසුණුම ප්‍රතිඵල මේ කිසිවක් නොව රටේ දැවැන්ත රැකියා හිඟයක් ඇති වීමය. පෞද්ගලික අංශයේ කිසිම ප්‍රවර්ධනයක් නොවන නිසා එහි රැකියා ජනනය වීමක් නොවේ. ඉතිරිවන රාජ්‍ය අංශයේ රැකියා අතළොස්සට දහස් දසදහස් ගණන් තරග වදිති. උපාධිධරයෝ රැකියා නැතිව තැපැල් කන්තෝරු වලට ගැසට් පත්‍ර බැලීමට රොක්වෙති. තරුණ අසහනය එහි කූටප්‍රාප්තියට ළඟාවී තිබේ. (වසන්ත ඔබේසේකරගේ ‘වල්මත් වූවෝ’ හා ධර්මසේන පතිරාජයේ ‘අහස් ගව්ව’ මේ තරුණ අසහනයේ සිනමාත්මක ප්‍රතිනිර්මාණය.) රැකියා හිඟය අන් කවරකුටත් වඩා හොඳින් දේශපාලකයින්ට හා නිලධරයන්ට සුරතුරක් මවා දී තිබේ. මා දන්නා තරමින් මහා පරිමාණයෙන් රකියාවක් ලබා ගැනීම හා රැකියාවේ උසස් වීම් පිණිස ලිංගිකානුග්‍රහ හුවමාරු වන්නේ මේ කාලයේදීය. ශිල්ප සඳහා ලැබූ සහතික – හදේ ගින්නෙන් දවමි තොප ළඟ – මුදල අගයන තොපේ ලොවකට – උගත්කම් ගුණ දහම් කුමටද?

සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව කරදරකාරී පමණක් නොව මෝඩ ආණ්ඩුවක්ද වේ. මේ ඒ කාලයේ අතිශයින් ජනප්‍රිය ගීතයකි. ගායකයා අමතකයි.

කාගෙද ගොං වස්සා – මගෙ කුඹුරට බැස්සා
හොඳ ගානක් උස්සා – පවරා දෙමි වස්සා

දවසක් බලන කොට මේ ගීතය තහනම් කරලාය! හේතුව අග්‍රාමාත්‍යතුමියගේ පුත් රුවනට යූ. ඇන්. පී. කාරයින් “ගොං වස්සා” කීමට පටන් ගෙන තිබීමය!

සත් වසක් තිස්සේ අප පෙලූ සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවේ අවසානයද මම දෑහින් දැක ඇත්තෙමි. 1977 ඓතිහාසික යූ. ඇන්.පී. මැයි පළපාලිය මා දකින්නේ යුනියන් පෙදෙසේ එවක එම්පයර් සිනමා ශාලාවට විරුද්ධ පැත්තේ පාරේ නවතා ඇති ෆෝර්ඩ් එස්කොට් එකේ වහලයට නැඟ ගෙනය. කෙළවරක් නැතිව මූද ගොඩ ගලන්නාක් මෙන් ඇදුණු මේ පෙළපාලියේ හයියෙන්ම ඇසුණු සටන් පාඨයක් මෙසේය.

“අනුර පුතේ උඹෙ අම්මා – අපේ කටේ පස් දැම්මා!”

ජේ. ආර්. බොහෝ වැරදි කළ බව ඇත්තය. එහෙත් ආර්ථික ලිබරලීකරණය තුළින් අප “සමාජවාදයේ” සාපයෙන් මුදා ගැනීම ගැන නම් අපේ පරම්පරාවේ සියල්ලන් ඔහුගේ පින්තූරයක් බිත්තියේ එල්ලාගෙන උදේ හවා මල් පහන් පත්තු කළත් වැරදි නැති බව මගේ හැඟීමය.