7. ඉතින් ඊට පස්සෙ ආදර කොමා දුටු පාට පාට හීනය

සුමේද ලංකා විශ්ව විද්‍යාලයේ විද්‍යෝදය මණ්ඩපයේ (අද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) දෙවන වසර ශිෂ්‍යයෙක්. සුමේදගෙ පවුල් පසුබිම ඒ යුගයේ බොහෝ සරසවි සිසුන්ගේ පවුල් පසුබිමට සමානයි.  ග්‍රාමීය. දිළිඳු. තමන්ගෙ හාම්පුතා විසින් මිනීමැරුමකට පටලවනු ලදුව, සුමේදගෙ අයියා හිරබත් කනවා. ඔහුගෙ මල්ලි පවුලේ බරට වගේම සුමේදගෙ අධ්‍යාපනය සඳහා වන වියදමටත් කර ගහන්නෙ පාරුවෙන් ගිහින් වැලි ගොඩ දමමින්.

ඉනෝකා හා නිමාලි සුමේදට හමුවෙන්නෙ නවක වද කාල සීමාව තුළ. සුමේද කෙල්ලන්ව රැග් කරන්න පටන් ගන්නෙම ඒ අවුරුද්දෙදිවත් ගොඩ යන බලාපොරොත්තුවෙන්මයි. නිමාලි සුමේද වගේම දිළිඳු පවුලක, වියළි කලාපයේ ගොවියකුගේ දියණියක්. ඉනෝකා ඊට හාත්පසින් වෙනස් කොළඹ පොහොසත් පවුලක දඟකාර යුවතියක්. සුමේද මේ දෙදෙනාටම සම සමව ආදරය කරනවා. ඔහුට තෝරාගැනීමක් කරන්න බැහැ. මෝටර් රථ ධාවන ශූරයකු වන ඉනෝකාගේ පැරැණි පෙම්වතා යොහාන් මේ අතර සුමේදට අපූරු අභියෝගයක් කරනවා…

මේ වන විට හැත්තෑව දශකය තුළින් තම දිවි මඟ වැටුණු බොහෝ දෙනකුගේ මතක සෛල උත්තේජනය වී තිබෙනවා වන්නට පුළුවන්…

මේ හැත්තෑව දශකයේ අග භාගයේ ‘සතුට’ පත්තරයේ පිටු පුරා මැවුණු…

පා පා හීක්!

අර අපි නින්දෙදි දකින කළු-සුදු හීනයක් හෙම නෙවෙයි.

ලංකාවෙ පළමු සතිපතා චිත්‍රකථා පත්තරය ‘සතුට’ ආරම්භ වෙන්නෙ 1972දි. (ආරම්භක මිළ සත 50යි.) යමක් මතක තබා ගත හැකි තරම් මෙමරි කැපෑසිටි එකක් ඒ වන විට මට නැහැ. ඒත් 1975 අවසානයේ ආරම්භ වූ සිත්තර පත්තරය (සත 75යි.) නම් ආරම්භක චිත්‍රකතා නම් කළ හැකි තරමටම මතකයි.

බලන්ගොඩ සරත්මධුගේ ‘ඉතින් ඊට පස්සෙ’ හා ‘යුනිකෝ’ – සිත්තර ආරම්භවී සති කිහිපයක් තුළ මියයන, නම මතක නැති චිත්‍ර ශිල්පියාගේ ‘කළු සිංහයෝ’ -කැමිලස්ගේ ‘ගජමෑන්’ – සරත් කවිරත්නගේ චීන කතාව (‘හිතට වහල් වීමි’ පටන් ගන්නේ එය අවසන් වූවායින් පසු) -

මේ සියල්ලටම වඩා මගේ ප්‍රියතම විද්‍යා ප්‍රබන්ධය ‘සල්ෆා’ – 2016දී ක්‍රයිටන් ග්‍රහලෝකයේ අධිරාජ්‍යයා විසින් පැහැරගෙන යන ලද තම දියණිය සල්ෆා සොයාගෙන ඒම පිණිස ලිට්මස් හා සිලිකාව අතීතයේ මහා වීරයින් බෘස්-ලී හා හර්කියුලීස් කැඳවාගෙන ඒමට අතීතයට යවන ලෝකාධිපති කොපර්!

කොම්පියුටර් නැති, රූපවාහිනී නැති අපේ ලෝකය ගොඩ නැඟෙන්නේ පුවත්පත්වල මුද්‍රිත පිටු තුළින් අප දකින වීරයින් හරහා. කොටින්ම චිත්‍රකථා කියන්නේ අපේ පරම්පරාවේ (Generation X) මුද්‍රාව. අපේ පරම්පරාව තරමට ඊට පෙර හෝ පසුව වෙන කිසිම පරම්පරාවක් චිත්‍රකථා කියවා නැහැ. අනෙක් අතට චිත්‍රකථා තරම් අප පිස්සු වට්ටපු වෙනත් කිසිවක් තිබුණාද මට සැකයි.

මේ මතකයට එන විදියට, ඉහත කියූ ඒවාට අමතරව, හැත්තෑව දශකයේ ජනප්‍රිය වූ චිත්‍රකතා කිහිපයක්.

මිහිරේ ‘ඔන්න බබෝ’ – සතුටේ ‘මේඝ’, ‘බට්ටි’, ‘රක්තා’, ‘අත්තික්කා මල්’, ‘කබලෙන් ලිපට’, ‘සුසීමා’, ‘තනි තරුව’ – සිත්තරේ ‘ටෝගා’ හා ‘ස්පාටකස්’ – සිළුමිණේ ‘සත්වැනි දවස’, ‘අනුපමා’ හා ‘සක්විති සුවය’ – දිනමිණේ ‘ආදර කොමා’ (මා මුල් වරට රොබෝලා ගැන දැනගත්තේ දයා රාජපක්ෂගේ මේ කතාවෙනුයි.) හා ‘යකාගෙ බෝතලේ’.

මේ යුගය පිළිබඳව තොරතුරු හොයන කෙනෙකුට මෙන්න ෆස්ට් හෑන්ඩ් තොරතුරු දෙන්න පුළුවන් කන්ටැක්ට් එකක්. සිංහල බ්ලොග්කරුවකුවන මලින්ත සමරකෝන්ගේ අප්පච්චි මේ යුගය නියෝජනය කළ චිත්‍රකථා ශිල්පියෙක්. වැඩි ඈත නැති දවසක ඉර බහින යාමයේ අපි ඒ ගැන දීර්ඝ ලෙස කතා බහ කළා මතකයි.

චිත්‍රකථා මගේ ක්ෂේත්‍රය නෙවෙයි. නමුත් කුඩා කාලයේ මගේ ලෝකයේ වීරයින් වූ චිත්‍රකථාකරුවන් කිහිපදෙනකු පසුව දිවි ගමනේදී මට මුණ ගැසෙනවා.

පළමුවැන්නා ජනක අයියා. (ජනක රත්නායක) – මා විතරක් නෙවෙයි, මලින්තගේ අප්පච්චිත් ඔහුට කතා කරන්නේ ‘ජනක අයියා’ කියලා ලොකු ගෞරවයකින්.

ජනක අයියා මගේ ජීවිතය කෙරෙහි ඇති කළ බලපෑම සුවිශේෂයි. තවමත් මා අස්සන් කරන්නේ දෙපේළියට. මේ දෙපේළියට අස්සන් කිරීම මා කොපි කළේ ජනක අයියාගෙන්.

පසු කාලයක ‘සවාකෝ’ නමින් මගේ කතාවක් ජනක අයියා විසින් විදුසරට ඇඳීම මගේ ජීවිතයේ සුවිශේෂී සිදුවීමක්. මේ අත්දැකීම තුළින් මා චිත්‍රකථාකරණය පිළිබඳව නොමිළේ පුහුණුවක් ලබනවා, මෙහෙම.

මම: අයියෙ, ප්‍රධාන චරිතයට මට හිතුනෙ අයියගෙ ‘යළි පිපුණු මලක්’ කතාවෙ ආකිටෙක්ගෙ මූණ හොඳයි කියල.
ජනක අයියා: කලින් පාවිච්චි කරපු මූණක් ආපහු ගන්න එක හොඳ මදි මල්ලි. අපි අළුත් මූණක් නිර්මාණය කරමු. ඔයා ඒ රැවුළට කැමති නම් මම ඒක පාවිච්චි කරන්න බලන්නම්. අපි කොණ්ඩෙ වෙනස් කරමු.

තව වෙලාවක:

මල්ලි, මේක මෙහෙම කරන්න බැහැ. අඩු ගානෙ කතාවක එක ෆ්‍රේම් එකකටවත් ගෑනු කෙනෙක් ඕනැ. නැත්නම් අනුර මේක තව මාසෙන් ගලවනවා රීඩර්ස්ලා නැතුව.

නැත්නම්:

ජනක අයියා: මල්ලි දැන් ඔය දෙන්න කැලෑව මැදින් ගියා ඇති. අපි ගෙනෙමු දෙන්නව දිය ඇල්ලක් ළඟට. කොල්ලව යවමු කෑමට මොනව හරි හොයන්න. එතකොට කොටියෙක් පනිනවා කොල්ලගෙ ඇඟට. එතැන පොඩි වීරත්වයක් ගන්න පුළුවන්, ෆයිට් එකෙන් . ඒ අතරෙ කෙල්ලට නාන්න දුන්න නම් අපි දෙන්නම ගොඩ.
මම: හපොයි, දැන් අනුර බනිනවා මේක ඉස්කෝලෙ ළමයින් කියවන පත්තරයක් කියල.
ජනක අයියා: ඒක මං බලා ගන්නම්කො. අනුරට බනින්න බැරි විදියම මම නියුඩිටි පාවිච්චි කරන්නම්.

බන්දුල මාස්ටර් (බන්දුල හරිශ්චන්ද්‍ර) මීට ඉඳුරාම වෙනස් චරිතයක්. බන්දුල මාස්ටර් සේම කැමිලස් මහත්තයාද (කැමිලස් පෙරේරා) මා හඳුනා ගන්නේ ගුණසිංහ මහත්තයා මාර්ගයෙන්. බන්දුල මාස්ටර් සමඟ මා අඩුවෙන්ම කතා කරන මාතෘකාවක් චිත්‍රකථා. බොහෝ පැරණි චිත්‍රකථා ශිල්පීන්ට පොදු අතීත හපන්කම් කතාකිරීමේ පුරුද්ද ඔහුට නැහැ. ඒ වෙනුවට ඔහු කතා කරන්නේ දර්ශනය, ආගම වැනි ගැඹුරු මාතෘකා. ජීවිතය ගැනද අප බොහෝ දේ කථා කළා මතකයි. තමන්ගේ ජීවිතය පිළිබඳ අව්‍යාජ සිතුවමක් ඔහු පින්සලෙන් අඳිනවාටත් වඩා හොඳින් වචන වලින් මා ඉදිරියේ අඳිනවා. පුද්ගලික කාරණා නිසා ඒ ගැන වැඩිදුර කතා කරන්නට මා කැමැති නැහැ.

මට මුහුණට මුහුණ හමුවී නැති, තවත් කුසලතා පූර්ණ ශිල්පියෙක් දයා රාජපක්ෂ. මා විජය පරිගණක සඟරාව සංස්කරණය කරන කාලයේ ඔහු ලවා මුල් පිට අන්දවා ගන්නට උත්සාහ කළා මතකයි. (ඒ කාලයේ අපි මුල් පිට කරනවාට රුපියල් තුන්දාහක්ද කොහෙද ගෙව්වා. ඊට වැඩි මුදලකට වුණත් විශේෂ අනුමැතියක් ලබා ගන්නයි මා සූදානමින් සිටියේ.) නමුත් එකම ගොඩනැඟිල්ලේ මහලක් පහළින් කාර්යාලයක සිටි රාජපක්ෂ මහත්තයා විජය පරිගණක සඟරාවේ මුල් පිට අඳින්නට කැමැති වුණේ නැහැ.

ජාතික ලේඛනාරක්ෂකාගාරයේ කුරුබිලිය තුළට වැද හැත්තෑව දශකයේ සතුට, සිත්තර පත්තර ගොනුව ගෙන පෙරළා බැලීම තවමත් මගේ නොසන්සිඳුණු ආශාවක්. මා ඊට කවදාවත් උත්සාහයක් නොගත්තේ මන්ද?

මෙන්න ලංකාවේ චිත්‍රකථා ඉතිහාසය ගැන තොරතුරු රාශියක් අඩංගු වෙබ් අවඩියක්. මෙහි දක්වා ඇති රූප සියල්ලම උපුටා ගත්තේද එයින් බව කෘතඥපූර්වකව සඳහන් කරනවා.

ප. ලි. චිත්‍රකථා පත්තර එකතු කිරීම අපේ කාලයේ බොහෝදෙනා අතර තිබූ පිස්සුවක්. ආරම්භයේ සිට එහි ස්වර්ණමය යුගය අවසාන වන තුරුම ‘සිත්තර’ පත්තර එකතුවන් සතු වූ අඩු තරමින් දෙදෙනකු ගැන මා දන්නවා. එක්කෙනෙක් දැනට ඕස්ට්‍රේලියාවේ කැන්බරාහි ඕස්ට්‍රේලියානු ජාතික සරසවියේ සහාය මහාචාර්යවරයකු වන (මගේ පන්ති සගයකු වූ) තුෂාර අභයපාල. දෙවැන්නා ප්‍රකට ජීව විද්‍යා / සත්ත්ව විද්‍යා දේශක අසංග අබේසුන්දර.

23 Responses to 7. ඉතින් ඊට පස්සෙ ආදර කොමා දුටු පාට පාට හීනය

  1. මං ගාව “සවාකෝ” එකතුවක් තිබුණ, ඒ වගේ රටක් තියෙනව නම් හොඳයි ගිහින් ඉන්න.

  2. ඒ කියන්නෙ මමත් එය පරම්පරාවෙ අග්ගිස්සෙ ගෑවිගෙන තමයි ගිහින් තියෙන්නේ… පුංචි කාලෙ අපේ මාමල චිත්‍රකතා පිස්සො. එයාල ගත්තෙනම් රසික කියන පත්තරේ.. බන්ධුර හරිශ්චන්ද්‍ර මහත්තය ඒකෙ ඇන්ද හර්කියුලිස්, ‍බෙරලපන් වගේ ඒව. තව ඇන්ටන් තානාපති, රෆීක් ඩීන් කියන ශිල්පියො ඇන්ද නින්ජා, කුංග්-ෆු කතා මම මල පෙරේතකමේ බැලුවෙ. තව… ආරියසිරි කොඩිතුවක්කු (ලිව්වද ඇන්දද කියල මතක නෑ) කුමුදු තාරක වගේ අයත් නියම කතා ඇන්දා… දයා රාජපක්ෂ මහත්තයව මම දන්නෙ විජය පත්තරේ නිසා.. ඒකෙ හැමදාම එයාගෙ කතා ගියානේ… ඇයි ඒකෙම ඇඳපු හිඟුල්වල දිසානායක මහත්තයගෙ රජ කතා සෙට් එකයි පියල් උදය සමරවීරගෙ මල්මාමායි ඉවර වෙන්නෙම නෑනේ…

    තව ඔය ත්‍රාස කියල ගහපු පොත් දෙක තුනකුත් කියවල තියෙනව.

    ඇත්තටම ඒව දැන් කියවන්න තියෙනවනම් මාර ආසයි. මගෙ ගාව තිබුණ සේරම මම චිත්‍රකතා එකතු කරපු යාළුවෙක්ට දුන්නා හෙන ඉස්සර.

    අනේ මේව ළඟ තියෙන කවුරු හරි ස්කෑන් කරල සයිට් එකක් හදනවනම්…. :-(

  3. ස්පාටකස් මම ටිකකට කලින් බලලා ඉවර කලා. මේ අපේ මුද්‍රාව. නාටක මාලා හෙවත් tv series.

  4. කතන්දරගෙ පෝස්ට් එකක තිබුන ලිංක් එකකින් මේ පැත්තට ආවෙ. ලස්සනට ලියල තියනව. කොහොමත් ඔබේ සටහන් කීපයක්ම රාවයෙන් කියවල තියනව මගෙ මතකය නිවැරදි නං. මම කොමෙන්ට් එකක් දාන්න මේ පෝස්ට් එකම ‍තෝරගත්තෙ . . . . ජීවිතයේ එක්තරා කාලයකදි මමත් චිත්‍රකතා සාහිත්්‍යයෙන් මන්මත් වෙලා හිටපු එකෙක් නිසා.
    සතුට පත්තරේ කියවන්න ලැබුනෙ පොඩිකාලෙ අඹහැර (නාරම්මල පසු කර කුරුණෑගල දෙසට යද්දී හමුවෙන උහුමීය ග්‍රාමයෙන් හැරී මද දුරක් යනවිට හමුවන ගම්මානයකි) හිටපු අපේ “රංජි නැන්දා” ලඟ තිබුන එකතුවකින්. ඇත්තටම කල්පනා කලොත් එතනින් තමයි මම බරපතල විදියටම චිත්‍රකතා රසිකයෙක් වෙන්නෙ. ඊට පස්සෙ සිත්තර . . . එයිනුත් පස්සෙ සත්සිරි . . . අන්තිමටම හිතවත . . . මම හිතන්නෙ හිතවත පත්තරෙන් පස්සෙ ලංකාවෙ චිත්‍රකතා සහිත්්‍යය බිඳවැටීම ඇරඹුනා.
    කැමතිම සහ කියවපු චිත්‍රකතා ගැන කියන්න ගියොතින් ඉතිං . . . ඒක වෙනමම පෝස්ට් එකක් වෙලා තමයි නවතින්නෙ . . . ඒකනිසා මම මෙහෙම දෙයක් කියන්නං . . . . ඔබ චිත්‍ර කතා රසිකයෙක් නං . . මතකද බලන්න . . .

    චිත්‍ර කතා කියවන අපෙ රසිකයින්ට මේ කියන්නෙ . . .
    හිතවත පත්තරෙ අලුතින් හැඩ වැඩ වී එනව ඔන්න . . .
    ජනක සමර රත්නායක කුමාර උදයකාන්ත . . .
    සිනෙත් බැද්දගේ සමගින ඇන්ටන් සී පෙරෙර අඳින . . .

    (මේකෙ අන්තිම ටික දැං මතක නෑ . . . . .)

  5. ඩිලාන්

    කතන්දරගේ ඔත්තුවකට ආවේ,,,නම අහලා තියන හින්දා කඩාගෙන බිදගෙන ආවේ.

  6. නියම චිත්‍රකතා ශිල්පියෙක් හිටියා බෙම්මුල්ලේ හැන්රි කියලා. මිනිහගේ චිත්‍රකතාවේ එක ෆයිට් එක සති දෙකතුනක් එක දිගට යනවා.

    ඇත්තටම සිත්තර පත්තරේ නැතිවුනේ කොහොමද? කොයි කාලෙද?
    සතුට නං, මධුර වුනා ලේක්හවුස් එකේ. සතුට අළුතින් පටන් ගත්තා විජය එකේ.

  7. ලන්දේසි හටන චිත්‍ර කතා පොතක් හැටියට කියවන කාලෙදි තමයි සතුට පත්තරය පටන් ගත්තේ….චානුක කිව්වා වගෙ හැත්තෑවෙ මුල…මම එතකොට හතේ ශිෂ්‍යත්වයට ලියන කාලේ. මමයි මගේ පන්තියෙ හිටිය සනත් දිසානායකයි එකතුවෙලා චිත්‍ර කතා පොතක් ලියලා ඇන්දා…මට දැන් ඒකේ නම මතක නෑ.
    ජනක රත්නායක ආකිටෙක්ට් කෙනෙක් වගේ නිර්මාන එකතු කලා එයාගෙ ෆ්‍රේම්ස් වල.
    අද මම ආකිටෙක්ට් කෙනෙක්…ජනකගේ චිත්‍ර කතා තමයි සමහර විට මටත් පන්නරය දෙන්න ඇත්තේ…

  8. @කතන්දර: මගෙ මෙමොරිය මට බොරු කරන්නෙ නැත්තං . . . සිත්තර පත්තරේ වැටෙන්න පටන්ගත්තෙ අසූ ගනන් වල අග භාගයේ . . . . මට මතක විදියට කැමිලස්, ගුනපාල ජයලත් (එයා වෙන්න ඕනෙ ඉන්ස්පෙක්ටර් ශ්‍රීනාත් කතාව ලිවුවෙ) ඇතුලු කට්ටියක් සිත්තර පත්තරෙන් අයිං වෙලා සත්සිරි පටන්ගත්ත. ඒකෙන් තමා එතකන් සිත්තරේ මැද පි‍ටුව අරක්ගත්ත ගජමෑන් සත්සිරියට ගිහිං සිත්තර පත්තරේ මැදට ගැටයා ආවෙ. යුනිකෝටත් උනේ ඔය සන්තෑසියම තමයි . . .

  9. Donald Gaminitillake

    You missed susil premaratne artist and sing a song writer who wrote chitrakatha in 60 & 70
    These were published in vanita vitthi, Lankadeepa
    namely : Landesi Hatana, Bili pujawa, Ridi Kumara etc

  10. කතන්දරගෙන් පාර අහගෙන හොඳ පොරක්ගේ හොඳ බ්ලොග් එකක් කියවන්න මමත් සෙට් වුණා…

    දයා රාජපක්ෂ මහත්මයාගේ චිත්‍රකතා වල මම ආසම දෙබස් කඩන විදියට… ඒ ශෛලියට මම කොච්චර ආසා කලාද කිව්වොත් මම පුරුදු වෙලා හිටියා පලවෙනි කෑල්ල කියවද්දී දෙවෙනි කෑල්ල ට ඇස් යවන්න කලින් හිතින් අනුමාන කරන්න… ගොඩක් අවස්තාවලදි වැරදෙනවා… ටිකක් අවස්තාවලදී හරියනවා… :)

    මේ පෝස්ට් එක මුලට අංකය දාන එක නියමයි… මම දැක්ක පළවෙනි වතාව…

  11. චානුක, කෙලින්ම කාල යානයකින් හැත්තෑව දශකයට මොහොතකින් ආපසු ගියා වගෙයි ඇත්තටම.

    ඒ කාලෙ අපිට පිස්සුවක් වගෙ තිබුනෙ සතුට, සිත්තර බලන එක.එක සතියක කතාව බලල අනික් සතියෙ පත්තරේ එනකල් කලේ ඊලඟ කොටසෙ මොනව වෙයිද කියල වාදකරපු එක තමයි.

    / සිත්තර ආරම්භවී සති කිහිපයක් තුළ මියයන, නම මතක නැති චිත්‍ර ශිල්පියාගේ ‘කළු සිංහයෝ’ -/

    මට මතක විදිහට මේ ජිනප්‍රේම බෝදාහන්දි.

    සරත් කවිරත්නගෙ චීන කතාව – මැණික් දෙවඟන

    තව තිබුන සිත්තරේ පලවුනු ක්ලින්ට් ඊස්ට්වුඩ්ගෙ චිත්‍රපට ඇසුරෙන් කල චිත්‍රකතා මාලාව. ශිල්පියා නම් මතක නැහැ. හැබැයි ස්පාටකස් ඇන්දෙත් එයාම කියලනම් මතකයි.

    ඔය කාලෙ මම මගෙ සිත්ගත්තු කතා කීපයක්ම පොත්වල අලවගෙන එකතුකරගෙන හිටියා. ගෙදර කොහෙ හරි මුල්ලක ඇති. වෙලාවක හොයල බලන්න ඕනෙ.

    බන්ධුල හරිශ්චන්ද්‍ර – හෙලන්, පෙනිලෝපා,බෙලරෝපන්,සින්බෑඩ්, දේවස්මිතා,

    ජනක රත්නායක – අත්තික්කා මල්

    දයා රාජපක්ෂ – අනුපමා,පොඩි මාමා, ආදර කොමා, ප්‍රධාන චරිතය පිංතු නම් වුනු විකට කතාවක්,

    ඊටත් කලින් ඒ කිව්වෙ හැත්තෑව දශකයෙ මුල් වසර කීපයෙ තිබුනෙ චිත්‍ර කථා,

    බිලි පූජාව, සඳ කුමරී, මුතු කුමාරි, ලංදේසි හටන,

    ලංදේසි හටන මම දැක්ක වසර හතර පහකට ඉස්සර නැවත මුද්‍රණයක් නිකුත් වෙලා තිබුනා.ගන්න හිතාගෙනම හිටියට අවාසනාවට ඒ වැඩේ මඟ ඇරුනා.

    ස්තූතියි චානුක, අගේ ඇති ලිපියක්, ඇත්තටමමතක මංපෙත ඔස්සේ සොඳුරු ආපසු ගමනක්,

    • @Ravi, ස්තූතියි.

      එකතු කිරීම්.

      බන්දුල මාස්ටර් හෙලන්, පෙනිලෝපා දෙකම ඇන්දෙ නවයුගයට. මේ මට එකතු කරන්න බැරිවුණු පත්තරයක්. ඔහු නවයුගයට ඇන්ද අවසාන කතාව (මට සම්පූර්ණයෙන් මතක එකම කතාව ) ‘සද්දන්ත’. පරමාණු විකිරණ වැදී යෝධයකු වන යව්වනයකුගේ කතාව.

      සිත්තරට ස්පාටකස් ඇන්දේ පී.ලීලාරත්න. මා දන්නා තරමින් මේ ඔහුගේ නියම නම නෙවෙයි. මේ ශිල්පියා සේවය කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ. ඒ නිසා ඔහුට වෙනත් වැඩ වලට ප්‍රසිද්ධියේ දායකත්වය සපයන්න පුළුවන් වීය මට හිතෙන්නේ නැහැ. කව් බොය් කතා ඇන්දෙ ඔහුමද මට මතක නැහැ. (සුහද පත්තරේ ‘ෂේන්’)

      • no Bro, Helen was in Dinamina. It was one of my favourites.

      • .@ lokka,

        ඔබ හරි හෙලන් පලවුනේ දිණමිනේ තමයි.පෙනිලෝපා පලවුනේ සිලුමිණේ.

        .@ sihisatahan,

        නවයුගයෙ සද්දන්ත කතාවට කලින් බන්ධුල මහත්තයගෙ අපූරු කතාවල් පලවුනා මතකද…….. හේලෝ?, හරි,……… චානුක, කව්බෝයි කතා ඇන්දේ පී. ලීලාරත්න තමයි……..ස්පාටකස්ට පස්සෙ ඔහු ඇන්දා ස්කාගස් කියල කතාවක්, ස්පාටකස්ගෙ පුතා ගැන.

      • @Ravi,

        ඔන්න ඓතිහාසික වැරද්දක් කළා!

        ස්කාගස් මට මතක හැටියට ඇන්දේ අද චිත්‍රකතා හැරුණු විට වෙනත් බොහෝ දේ ගැන ප්‍රසිද්ධ ජැක්සන් ඇන්තනි!

      • .@ sihisatahan,

        අපොයි, සමාවෙන්න ඕනෙ,…… ඔය කතා ඔක්කොම මගෙ ඔලුව ඇතුලෙ පැටලිලානෙව, ……නිවුරෝ,……යුනිකෝ,…..මිස්ටර් ෂොක් ……මේඝ,……ස්පාටකස්,……ස්කාගස්,…..වීරෝ,…. හේලෝ,….. තව කීදෙනෙක්ද? හෙහ්,හෙහ්,…. අනික අවුරුදුම කීයකට නම් ඉහතද?

      • තෑන්ක්ස්. මට ‘මිස්ටර් ෂොක්’ අමතක වෙලා තිබුණේ මේ සටහන ලියන වෙලාවේ. මතක් කළා කළා මතක නෑ. මගේ ෆේවරිට් කතාවක් සතුට පත්තරේ. ‘මේඝ’ පටන් ගත්තේ ඒක ඉවර වෙලා. මිස්ට ෂොක් දෙවැනි කොටස එනවා කීවාට ආවේ නෑ. ඉතින් මට හරි තරහයි මේඝ එක්ක. (ඒ වුනාට පස්සේ ‘මේඝ’ හොඳ වුණා.)

      • තෑන්ක්ස්. මට ‘මිස්ටර් ෂොක්’ අමතක වෙලා තිබුණේ මේ සටහන ලියන වෙලාවේ. මතක් කළා කළා මතක නෑ. මගේ ෆේවරිට් කතාවක් සතුට පත්තරේ. ‘මේඝ’ පටන් ගත්තේ ඒක ඉවර වෙලා. මිස්ට ෂොක් දෙවැනි කොටස එනවා කීවාට ආවේ නෑ. ඉතින් මට හරි තරහයි මේඝ එක්ක. (ඒ වුනාට පස්සේ ‘මේඝ’ හොඳ වුණා.)

  12. මම නම් මුලින්ම චිත්‍රකතාවක් කියවන්නේ විජය පත්තරෙන්.. පියල් උදය සමරවීර තමා ඒ කාලේ කාටුන් ඇන්දේ. මකාගේ යලක් තමා ඒ කාලේ ජනප්‍රිය කාටුන් එක. මල් මාමා දොස්තර එක්ක අපි හැම සතිතයෙම විජය බලනවා. චිත්‍රකතා පත්තර ගැන නම් මගේ අත්දැකීම් නැති තරම්.. නියම සටහන.

  13. එතකොට ඇන්ටන් බී පෙරේරා ගෙ ටෝරස් මතකද.ක්ලින්ට් ඊස්ට්වුඩ්ගෙ චිත්‍රපට ඇසුරෙන් ඇන්දෙත් ඇන්ටන් බී පෙරේරා .

  14. @චානුක,
    බොහොමත්ම ස්තූතියි සුන්දර අතීතයක මතක සටහන් ආයෙමත් ගෙනාවට. මම චිත්‍රකතා පිස්සෙක් වුනේනං මෙන්න මෙහෙමයි. අපේ තාත්තගෙ ගමේ ගියාම එහෙ තිබුනා චිත්‍රකතා පොත්. ඒ කියන්නෙ ඔයා ඔය කියන පත්තරවල ගිය චිත්‍රකතා එකතුතරලා පොත්වල අලවලා නැන්දල බාප්පල හදලා තිබුනා. ඔය කියන ලිස්ට් එකේ තියෙන චිත්‍රකතා බොහොමයක් – පාට පාට හීනයක්, සද්දන්ත, හෙලන්, පර්සියස්, පෙනිලෝපා, යකාගේ බෝතලේ, සුසීමා, සුබෝධා, පෙතිගෝමර, පොඩිමාමා, ෆැන්ටම්, ප්ලෑෂ් ගෝර්ඩ්න්, සෙනෙහසක කදුළු, තවලම, සත්වෙනි දවස,
    ඊරෝස්… මගෙ අම්මේ තව කියන්න ගියොත් මේක අද ඉවරවෙන්නෙ නෑ :)

    ඉතිං එක නිවාඩුවට ගමේ ගිහිං මේ පොත් ටික ඔක්කොම කියවලා ඉවර කරන මම ඊළග නිවාඩුවට ගියාම ආයෙමත් ඒ ටික කියවනවා. කොච්චර කියෙවුවද කියනවනං මට තාමත් ඒ කතා බොහොමයක් මතකෙන් කියන්න පුළුවන්.

    සිත්තර පත්තරේ නං ගන්න බැරිවුනා, මම එතකොට චූටි එකා. හැබැයි සත්සිරි හා රසික දෙකනං නොවරදවාම ගත්තා. ගත්තා විතරක් නෙවෙයි පරම්පරාවෙ පුරුද්ද ඉස්සරහට ගෙනියන්න කියලා පොත්වල ඇලෙවුවත් එක්ක. රෆීක් ඩීන්ගෙ නින්ජා කතා ටික, බන්ධුල හරිස්චන්ද්‍රගෙ හර්කියුලීස්, බෙලරපන්, ඇන්ටන් තානාපතිගෙ කුන්ෆු කතා ටික
    එහෙම තවම ගෙදර ඇති. ලංකාවට ගියාම ආයෙමත් අවුස්සලා බලන්න ඕන. මීට අමතරව තව ආසාවෙන් බලපු පත්තරයක් තමා දසුන. ඒකෙ ලස්සන කතා ඇන්දා ප්‍රගීත් අබේධීර වගේ අය (චිත්‍රාවක්, ජනනි ඇවිදින්). තවත් හොද පත්තරයක් තමා චිත්‍රමිත්‍ර.

    @ඕනයා,
    ඔයා හරි. සිත්තර පත්තරේ වැටුනෙ කැමිලස් ඇතුළු කට්ටියක් ඒකෙන් අයින්වෙලා සත්සිරි පටංගත්ත නිසා. ඔය මට මතක විදියට 1986 කාලෙ විතර. ගුණපාල ජයලත් තමා ඒකෙ ඉන්ස්පෙක්ටර් ශ්‍රීනාත් ඇන්දෙ. හිතවත පත්තරෙන් පස්සෙ මට චිත්‍රකතා පත්තර වැඩිය කියවන්න හම්බවුනෙත් නෑ, ඒ වෙනකොට ඒවගෙ කියවන්න තරම් දෙයක්
    ඉතිරිවෙලා තිබුනෙත් නෑ. ක්ෂේත්‍රය එහෙම්මම කඩා වැටුනා. ඒවා හරිම සුන්දර මතක.

    පලි: අමතක වෙන්න කලින් කියන්න ඕන. චානුක, විදුසරට ලියන කාලෙ ඉදන්ම ඔයා මගෙ ප්‍රියතම ලේඛකයෙක්. ඒ වෙනුවෙන් ස්තූතිකරන්න අවස්ථවක් එයි කියලා මම කවදාවත් හිතුවෙ නෑ. ඉතිං ඒකටත් අවස්ථාව මේ. බොහොම ස්තූතියි.

  15. I am artist in camillus publication. My name is Augustine Fernando. I drew some comics for rasika chithrakatha paper and asiri religious paper. I am now in Doha Qatar as designer in Qatar Art Center.Dear will meet again say God Bless

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s