ඇපල් ගෙඩි තුනක් උස නැති නමුත් මේ පුතා
මහා බලගතුයි – කරන වැඩත් බෝ වෙතා
මේ පැදිය තිබුණේ මා කුඩා කළ කියැවූ “ජගත් සුරංගනා කතා” පොතේ එක් කතාවකය. කතාව හරි හැටි සිහියට නඟා ගත නොහැකි වුවද, එය ලොකු වැඩ කරන පොඩ්ඩෙක් ගැන බව මතකය.
2007දී සුපුන් සුදාරක මා හැඳින ගන්නේ මලින්ත සමරකෝන් මාර්ගයෙනි. එවක දහසය හැවිරිදි සුදාරක රාජකීය විද්‍යාලයෙහි දහවන වසරෙහි ශිෂ්‍යයෙකි. මා සේවය කළ ආයතනයට මලින්ත විසින් යම් මෘදුකාංග මෙවලමක් නිර්මාණය කළේය. ඊට අවශ්‍ය වෙබ් ඉඩද ඩොමේන් නාමයන්ද ලබා ගැනීම කරන ලද්දේ සුදාරක හරහාය. එතැන පටන් මම කිහිප වතාවක් සුදාරක කඩේ යැවීමි. වෘත්තීය කටයුතු වලදී, විශේෂයෙන්ම මා LIRNEasia අයතනයේදී නායකත්වය දුන් බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවන්හි ගුණාත්මක භාවය මැනීම පිළිබඳ වූ ව්‍යාපෘතියේදී මලින්තට හා කාලිංගට අමතරව සුදාරකගේද සහාය ලබාගන්නට මම තීරණය කළෙමි.
කොළඹ නගරය තුළ ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවන්හි ගුණාත්මක භාවය දක්වන පහත සිතියම සකස් කරන්නට කොළඹ සිට මීගමුවට, නිට්ටඹුවට, අවිස්සාවේල්ලට හා කළුතරට මා යැවූයේ සුදාරකවයි. ඔහු බසයක ගමන් කරමින් මෙහි දක්වා ඇති සියළු ස්ථාන වලදී මොබයිල් දුරකථන දෙකක් භාවිතා කරමින් ලංකාවේ ප්‍රමුඛ බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සපයන්නන් දෙදෙනකුගේ වේගයන් තෙවරක් බැගින් මැන්නේය. (ඔහු බස් රථයක යැවීමට අවශ්‍ය වූයේ සාමාන්‍ය තත්ත්වයන් හැකි තරමින් simulate කිරීමට අපට අවශ්‍ය වූ නිසාය.) මේ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් තත්ත්ව සිතියම් ගොඩ නැඟීමේ මගේ පළමු පියවර වූ අතර මගේ අරමුණ වූයේ මෙවන් සිතියම් බ්ලොග්කරුවන් යොදා ගනිමින් ලංකාවේ අනෙකුත් නගර සඳහාද සකස් කිරීමය. මා 2010 අගෝස්තුවේ LIRNEasia ආයතනයෙන් ඉවත්වීම කරණ කොට ගෙන ඒ අරමුණ ඉටුකොට ගැනීමට නොහැකි වුවද, සුදාරකගේ දායකත්වය කෘතඥතාපූර්වකව සඳහන් කරමි. (මෙහිදී අදාළ සමාගම් දෙක හිතාමතාම නම් නොකරන ලද්දේ පරීක්ෂණය කරන ලද්දේ එක දිනෙයකදී පමණක් නිසාය. මෙවැනි පරීක්ෂණයකදී දත්ත එකතු කිරීම වැඩි වන තරමට අවසාන ප්‍රතිඵලයේ නිරවද්‍යතාවද වැඩිවේ. එක් දිනෙක දත්ත පමණක් ප්‍රකාශ කිරීම එක් සමාගමකට අසාධාරණ විය හැක්කේය.)
මේ සටහන සුපුන් සුදාරක නැමැති පොඩ්ඩා කරන ලොකු වැඩ ගැනම නොවේ. සිංහල බ්ලොගවකාශයේ ඔහුගේ භුමිකාව බ්ලොගවකාශයට රහසක් නොවේය සිතමි. මට සුදාරක වැදගත් වෙනත් හේතුවක් නිසාය.
මම ලෝකයේ අනෙකුන්ගෙන් වෙනස් පුද්ගලයෙක්මි. සේකර ඇසූ පරිදි මා වෙනස් මැට්ටෙකින් නිර්මිත කළේ මන්දැයි නිර්මාපකයාගෙන් ඇසිය යුතු තරමට වෙනස් පුද්ගලයෙක්මි. හොඳට හෝ නරකට මගේ ගතිගුණ උරුම කරගත්තෝ අති දුබලය. මා ඉගෙනගත් හෝ සේවය කළ කිසි ආයතනයකදී මගේ හැකියාවන්, පුරුදු, ගතිගුණ, සිතුම් පැතුම් වලට සමාන චරිතයක් මට හමුව නැත. මම එතරමටම අනෙකුන්ගෙන් වෙනස්මි. මට කිට්ටුවෙන් හෝ සමාන විය හැකි කෙනකු මෙලොව ඇතැයි යන අදහස මා තැර ගත්තේ බොහෝ කලෙකට පෙරදීය. එසේ හෙයින් මම මගේම මනසෙහි මැවුණු අපූරු රටෙක එකම පුරවැසියා වීමි.
පුදුමයකට මෙන් සුදාරකගේ බ්ලොග් සටහන් කියවද්දී (ඔහු ලංකාවේ සිංහල බ්ලොග් එකක් පටන් ගත් පළමු දහදෙනා අතර කෙනෙකැයි සිතමි. එසේම එබඳු ළාබාල වයෙසකින් තනිව එවැන්නක් කළ එකම පුද්ගලයාද විය හැකිය.) ඔහුගේ Facebook එකට පිවිසෙද්දී, ඔහු කරන වැඩ (හපන්කම්, චන්ඩිකම්, මෝඩකම්, ගොන්කම්) දෙස බලද්දී, ඔහු හා මංගත සල්ලාපයෙහි නියැලෙද්දී මට මේ අදහස වෙනස් කර ගැනීමට සිදුවිය. one to one match එකක් නැතද, අප දෙදෙනා අතර දසක දෙකහමාරක වයස් පරතරයක් ඇතද, සුදාරක තරම් කිට්ටුවෙන් මා කොපි කළ (හොඳ නරක දෙකම) වෙනත් ක්ලෝනයක් නැත. අප දෙදෙනා අතර සමානකම් බොහෝය. ඒවා අප දෙදෙනාම එකම ගුරුවරයකුගෙන් ව්‍යවහාරික ගණිතය ඉගෙන ගත්තාට එපිට යන්නකි.
දක්ෂ මූර්ති ශිල්පියකු රළු මැටි ගුලියකට ජීවය කවන්නාක් සේ සිංහල භාෂාවෙහි ශබ්ද, රූප, වචන වලට ජීවය කැවීමේ අපූර්ව හැකියාවක් සුදාරකට ඇත. (පහත උදාහරණය බලන්න.) අටවැන්නෙහි පටන් මෙබඳු හැකියාවක් මටද විය. (තවම එය වියැකී නැතැයි සිතමි.) මේ හුදෙක් පන්තිකාමරය තුළදී ලබන්නක් නොවේ. එහි සම්භවය අන් තැනෙකය. මගේ මව සේම සුදාරකගේ මෑණියන්ද සිංහල ගුරුවරියක වීම එය එක්තරා දුරෙකට පැහැදිළි කරනු ඇතැයි සිතමි.
දෙවැන්න සාමාන්‍ය පෙළින් භාෂා ශාස්ත්‍රාදීන් ඉගෙනීම අත්හළද තවමත් අප දෙදෙනා තුළ නොසිඳී පවත්නා සාහිත්‍යකාමයයි. තමන් ගුරු කොට ගන්නා, ආදරය කරන පත පොත අතින් සුදාරක මට වඩා වෙනස්ය. ඔහුගේ වයසේදී මා මක්සිම් ගෝර්කි, ඇන්ටක් චෙකොව් හා කරුණාසේන ජයලත් කියැවීමට දැක්වූ නොතිත් ආසාවම ඔහු තුළින් විද්‍යාමාන වන්නේ ලියනගේ අමරකීර්ති හෝ සුනේත්‍රා රාජකරුණානායක කියැවීමටය. රුචිකත්වයේ මේ වෙනස පරම්පරා බෙදුමට බැර කළ හැක්කේය. එය නොසලකා හරින්නේ නම් පොත් යනු කියැවීම පිණිස සකස් කළ මුද්‍රිත අකුරු වලින් යුතු කඩදාසි පිටු එකතු නොව ජීවත්වීම පිණිස නිර්මිත “පැන්ඩෝරා” බඳු නව ග්‍රහලෝකය මා මෙන්ම සිතා සිටින්නෙකි සුදාරකත්.
සුදාරක උසස් පෙළ කරන්නට පටන් ගන්නේ ගණිත විෂයන්ගෙනි. සති කිහිපයකින් ඔහු කලා පන්තියට මාරුවේ. නැවත ගණිත පන්තියට මාරු වේ. (මම ගණිත විෂයයන් තෝරා ගන්නැයි ඔහුට බල කළ අය අතුරින් එක් අයෙක්මි.) මෙවන් මාර්ගයක ගමන් නොගත්තද, ගණිතයද කලාවද යන සංශය උසස් පෙළ විෂයයන් තෝරා ගැනීමේදී මටත් තිබිණි. මම එකක් ගැඹුරින් හැදෑරුවද, අද වනතුරුම අනෙක අත නොහැර සිටිමි. ඔහුද එමඟ ගනු නැතැයි සිතන්නට කාරණා නොවේ.
සිව්වැනිව දේශපාලනය. ඔහුගේ Facebook පිටුවේ Political Views යටතේ Socialist සේ සඳහන් කර තිබෙණු දුටු දිනයේදීම මට පසක් වූයේ මේ පිස්සාටද ඒ වයසේදී මට වැළැඳී තිබුණු රෝමෑන්තික සමාජවාදී පිස්සුව වැළැඳී ඇති බවය. මෙය සමාජය තුළින් නොව “වානේ පන්නරය” තුළින් බෝ වෙන පිස්සුවකි. මට එය සුවකර ගත හැකි වූයේ සරසවි පළමු වසරේදීය. සුදාරක නම් මට වඩා කලින් එය සුව කර ගැනීමට සමත්ව සිටියි.
පස්වැනිව අප දෙදෙනා තුළම ඇති අපේම ස්වාධීන මනසින් සිතන්නට ඇති නැඹුරුව. මා පළ කරන සිතිවිලි මගේය. ඒවා ස්වාධීන සිතිවිලිය. කාල් මාක්ස් විසින් හෝ, අයින් රෑන්ඩ් විසින් හෝ ගංගොඩවිල සෝම හිමියන් විසින් මගේ සිතට ඇතුළු කරන ලදේ ඒවා නොවේ. වෙන කෙනෙකුට මගේ මනස අරක් ගන්නට, පාලනය කරන්නට මම ඉඩ නොදෙමි. ටික කලක් වෙන කෙනෙකුගේ ධර්මයෙන් පෝෂණය ලැබුවද ඉක්මණින්ම මම එය අත හරිමි. ගිරා පෝතකයකු වනු වෙනුවට මම මගේ දැනුම සොයා යමි. මේ ලක්ෂණය බොහෝ දුරට සුදාරක තුළද මම දකිමි. ඔහුට යමක් කියා දෙන්නට තැත් කළ යමකු වෙතොත් මා මෙන්ම එය තේරුම් ගනු ඇත්තේය.
සයවැනිව අප තුළ සිටින “නිහඬ විප්ලවවාදියා”. (the silent rebel) – මේ භයානක පුද්ගලයෙකි. ලෝකය වෙනස් කරන්නට මේ විප්ලවවාදියාට දැවැන්ත ඕනෑකමක් තිබේ. යන්නේම කළු ගල් වල ඔළුව හප්පා ගන්නට හා ඇතුන් පෙරළන්නටය. කඩු, දුණු, හී තෝමරාදිය නැති හෙයින් අපේ එකම ආයුධය වචනය. කරුමයකට අපේ වචන සැර වැඩිය. සුදාරක තුළ සිටින නිහඬ විප්ලවවාදියාද මා තුළ සිටින්නා සේම ඇතුන් පෙරළා වින්දනයක් ලබන්නාක් සේම පාඩම් ඉගෙන ගනීය මම සිතමි.
සැත්වැනිව, ඔහුගේ වයසේදී මා කළ, ඔහුද දැන් කරමින් සිටින එකම ජාතියේ ගොන්කම් – මේ සියල්ල මෙහි ලියන්නට අදහසක් නැතද, දිග ලැයිස්තුවකි. බුද්ධියට වඩා හැඟීමට ඕනෑවට වඩා තැන දී කටයුතු කිරීම, සංගම් වල වැඩ කරන්නට ගොස් වඩා හොඳ අධ්‍යපන ප්‍රතිඵල ලබා ගැනීමට ඇති හැකියාව අහිමි කර ගැනීම, පරාජිතයකු වීම මාරම වින්දනයක් සේ සිතීම හා ඒ මත අළුත්ම සාහිත්‍යයක් ගොඩ නැඟීම යනාදිය සඳහන් කළ හැකි කාරණා කිහිපයකි.
“ඕක කරන්න එපා, ඕකෙන් වෙන්නෙ මෙන්න මේකයි” බොහෝ විට මම සුදාරකට කියමි.
මේ කියන්නේ ඔහු මට සවන් නොදෙන බැව් නොදැන නොවේ. ඔහුට ඇත්තේ අනුන්ට සවන් දෙන මනසක් නොවන බැව් හොඳින්ම දන්නේ මායි. මටද ඔහුගේ වයසේදී කාටවත් සවන් දෙන්නට උවමනාවක් නොවීය. සුදාරක දැන් මට සවන් දෙතිය මා උපකල්පනය කරන්නේ ඇයි?
එහෙත් හොට බිම ඇණගත් පසුව ඔහු මා සොයා එයි.
“කොහොමද එදා ඒක හරියටම ඒ විදියටම වෙනවය කියල කිව්වෙ?”
“හරියටම කිව්වෙ මාත් ඔය පාරෙම ගිහින් ඔය වලේම වැටිල තියෙන නිසා”
මා අන් කවරක් ඔහුට කියන්නද?
අගෝස්තු මාසයේදී උසස් පෙළ විභාගයට පෙනී සිටින්නට නියමිත සුදාරක, මාද උසස් පෙළ අවසන් වසරේදී කළ සියල්ල (හපන්කම් වලට වඩා මෝඩකම්) නැවත කරමින්, පාඩම් කිරීම පැත්තෙක තියා චිත්‍රපට රසවිඳිමින්, මගේ ම මනෝ ලෝක ගොඩ නඟාගෙන ඒවා අනෙකුන් මත බලෙන් පටවමින්, අර්ධ-සත්‍ය අර්ධ-කල්පිතනිර්මාණ කරමින් සිටී. (උසස් පෙළ අවසන් වසර මගේ ජීවිතයේද කැළැඹිලි වැඩිම වසරෙකි.) ඒ සියල්ල මධ්‍යයේ මට හොඳ උසස් පෙළ ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකිවිය. සුදාරක මා සම කරනු ඇතැයි හෝ මට වඩා හොඳ ප්‍රතිඵලයක් ගනු ඇතැයි මගේ බලාපොරොත්තුවය.

































