කේ. ජයතිලක මහත්තයා සමඟ අල්ලාප සල්ලාපයෙහි යෙදෙන්නට මට ඉඩ ලැබී ඇත්තේ ජීවිතයේ එක් වරක් පමණෙකි. ඒ මීට වසර පහළොවකට ඉහත දයාසේන ගුණසිංහ මහත්තයාගේ අවමඟුල් උත්සවය දාය. ලංකාදීප කර්තෘ සිරි රණසිංහයන් විසින් හඳුන්වා දෙනු ලැබීමෙන් පසුව ඔහු ටික වෙලාවක් කුළුපග සගයකු සේ මා සමඟ කතා බහ කළේය. සිංහල සාහිත්‍යාම්බරයෙහි පතාක යෝධයකු සේ නැඟී සිටින මේ දැවැන්ත මිනිසා සාමාන්‍ය ජීවිතයේදී කොයිතරම් නිවුනකු දැයි මම එදා පසක් කළෙමි.
ඉන්පසු අවස්ථාවක ගුණසිංහ මහත්තයාගේ නොපළ පොතක් ප්‍රකාශකයකු විසින් බලෙන්ම වාගේ රැගෙන ගොස්, ගිවිසුමකින් හෝ කිසිම අවසරයකින් තොරව පළකරන්නට සූදානම් වූ මොහොතෙහි එය විසඳා දෙන්නැයි මම කේ, ජයතිලකයන්ටද, ගුණසේන විතාන හා කුලසේන ෆොන්සේකා මහතුන්ටද ලීවෙමි. මගේ ලිපියට ඉතාම ඉක්මණින් ප්‍රතිචාර දැක්වූ ජයතිලකයෝ “බය වෙන්න එපා, ඒක මං බලාගන්නම්” කියා දුරකථනයෙන් පිළිතුරු දුන්හ. ඔහු ඒ පොරොන්දුව එසේම ඉටුකළ බවද කෘතඥතාපූර්වකව සටහන් කළ යුතුය. මතක හැටියට ගිවිසුම අස්සන් කරන අවස්ථාවෙහිම කර්තෘ භාගයෙන් තුනෙන් එකක් දෙන්නට ප්‍රකාශකයා කැමැති කරවා ගත හැකි විය. මේ ලේඛකයකුගේ හා ප්‍රකාශකයකුගේ භූමිකා දෙකම රඟපා තිබූ ජයතිලක මහත්තයා ලේඛකයකුගේ අයිතීන් වෙනුවෙන් මැදිහත්වීමක් කළ එකම වතාව නොවෙතැයි සිතමි.
ඒ හැරුණු විට මා කේ ජයතිලක නම් ලේඛකයා දැන සිටියේ සාහිත්‍ය ලෝකයේදී පමණෙකි. ඒ ගැන නම් බොහෝ කාරණා කිව හැකිය. නමුත් ඒ සියල්ලට පළමු මට තවත් අතුරු කතාවක් සිහි වේ.
1976 වසරේදී මමත් අයියාත් තාත්තාත් “ඇහින්දාස්” නඩයක් සමඟ තිරිකුණාමලයේ තෙදින සංචාරයකට සහභාගි වීමු. නංගී පොඩි නිසා අම්මා ඊට එක් නොවූවාය. මෙවිට මගේ වයස අවුරුදු නවයකි.
බොහෝ සංචාරයන්හිදී සිදුවන්නාක්සේම බසයේ පසුපස ආසනයන්හි සංගීත සාජ්ජයක් විය. ඉදිරි අසුනක සිටියද මේ සංගීත සාජ්ජය ගැන උනන්දුවක් ඇති වූ නිසා මා සිටියේ පසුපස හැරී ආසනය මත දණ ගසාගෙනය. ඉඳහිට තාලය දන්නා ගීයකට අත්පුඩි ගසමිනි.
ටික වේලාවකින් බස් රථයේ අපේ ආසනයට පසුපස ආසනයේ සිටි කාන්තාව මා හා කතාවට වැටුණාය. ඇය සිටියේ ඇගේ දියණියන්ය සිතිය හැකි යොවුන් වියෙහි අක්කලා දෙදෙනකු හා මට ටිකක් විතර වයස ඇගේ පුතාය සිතිය හැකි අයියා කෙනකු සමඟය. මගේ පොත් කියැවීමට ඇති රුචිය වටහා ගැනීමට ඇයට වැඩි කාලයක් ගත වූයේ නැත. (ඒ වන විටත් මම පොත් කාවකුව සිටියෙමි. තේරුණත් නොතේරුණත් ගෙදර ඇති හැම පොතක්ම කියැවීම මගේ සිරිතය.) ඉන්පසු අප අතර දෙබස මෙසේ විය.
ඇය: ඔයා වැඩියෙන්ම ආස පොත මොකද්ද?
මම: මඩොල් දූව
ඇය: ඔයා දන්නවද කවුද ඒක ලිව්වෙ කියල?
මම: ඔව්. මාර්ටින් වික්‍රමසිංහ
ඇය: මාර්ටින් වික්‍රමසිංහ ඇරුණාම ඔයා තව කවුද පොත් ලියපු කට්ටිය දන්නෙ ?
මම: ඩබ්ලිව්. ඒ. ද සිල්වා, ටී. බී. ඉලංගරත්න, කේ ජයතිලක…
ඇය: ඔයා කේ. ජයතිලකගෙ කියවල තියෙන පොත් මොනවද?
මම: චරිත තුනක්, පුනරුප්පත්තිය…
(ඇගේ ඇස් එක පාරට උඩ ගියේය.)
ඇය: (තම දියණියට) මෙන්න මෙයා ‘පුනරුප්පත්තිය’ කියවල තියෙනවලු…
(ඉන්පසු ඔවුන් සියල්ලෝම කතාකරගත්තාක් මෙන් එකපාරටම සිනාසුනෝය. ඒ ඇයිදැයි මට වැටහුණේ නැත.)
ඇය: ඇයි ඔයා, කේ ජයතිලකගෙ ඉස්සරහ බලන්නෝ, පුංචි වළාකුළ හා පුංචි පුතා, ඉරුණු බළලා වගේ ළමා පොත් කියවල නැද්ද?
මම: ආපෝ, මං ඒව කියවල තියෙන්නේ එකේ පන්තියෙදිනෙ. දැන් මම ඉන්නෙ තුනේනෙ.
ඇය තමා කවුදැයි මට නොකීවාය. මා එය දැන ගත්තේ පසුවය. ඒ කේ. ජයතිලකයන්ගේ පිය බිරිය සුමන ජයතිලක නැන්දාය. ‘නැන්දා’ කීවේ අපේ පරම්පරාවේ බොහෝ දෙනකු ඇය දැන සිටියේ එලෙස නිසාය. පසු අවස්ථාවකදී ඇය මට ඇය ගුවන් විදිලි සංස්ථාවේ එවකට මෙහෙයවූ “හඳමාමා” ළමා වැඩ සටහනට ගීයක් කීමේ අවස්ථාවක් ලබා දුන්නාය.
ලේඛකයකු හා පාඨකයකු අතර ඇති ගනුදෙනුව සුවිශේෂී එකකි. විශේෂයෙන්ම ජයතිලක මහත්තයාගේ සියළුම පොත් වාගේ කියවා ඇති හෙයින් මා සම්බන්ධයෙන් ඒ ගනුදෙනුව දිගය. ඒ ගනුදෙනුවට අදාළ සියළු කාරණා තනි වියුණු සටහනකට ගොණු කළ නොහැකිය. එනිසා කාලය හා සම්බන්ධ සීමාද සැලකිල්ලට ගෙන මෙහි සටහන් කරනුයේ මගේ මතකයට මුලින්ම එන කරුණු කිහිපයක් පමණෙකි.
තරුණ ජයතිලක සමසමාජ කාරයෙකි. ඒ බව ඔහු “පුංචි පැලේ ගස වෙනා” නම් තම ස්වයං ලිඛිත චරිතාපදානයෙහි ඍජුවද, තවත් කෙටිකතා කිහිපයක වක්‍රවද සඳහන් කරයි. ඔහුගේ අනුත්තර නායකයා වන්නේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාය.
තරුණ ජයතිලක ඇන්. ඇම්. පෙරේරා වෙත ඇදී යාමට හේතුව මට වටහා ගත හැකිය. ජයතිලකගේ පවුල් පසුබිම පහළය. ගැමිය. ඊට කිට්ටුවෙන්ම යන පවුල් පසුබිමක් ඇති සමසමාජ නායකයා ඇන්. ඇම්. පෙරේරාය. ෆිලිප් හා රොබට් ගුණවර්ධන වලව්කාරයෝය. කොල්වින් ආර්. ද සිල්වා ගමක උපත ලදුවත් පෙනී සිටින්නේ ඉංගිරිසි පන්නයට හැදුණු නාගරික උගතකු, නීතිඥයකු ලෙසිනි. වික්‍රමසිංහ වෛද්‍යවරයෙකි. පීටර් කෙනමන්ලා වෙනමම සංස්කෘතියකට අයත්ය. තරුණ ජයතිලක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා තුළින් තමා දුටුවා විය හැකිය.
ජයතිලකගේ ඇන්. ඇම්. පෙරේරා භක්තිය බිඳී යන ආකාරය අපූර්ව කථාන්තරයකි. ඔහු ඇන්. ඇම්. පෙරේරා තුළින් දකින්නට බලාපොරොත්තු වන, “අපෙන් එකෙකි මේ මිනිසා” කිව හැකි පුද්ගලයා, සමීප සගයා කිසිම දවසක ඔහුට හමු නොවේ. ඇන්. ඇම්. පෙරේරාට අවශ්‍ය මිතුරන් නොව අනුගාමිකයින්ය. තමන් සියල්ල දත්තකු සේ ඔහු පෙනී සිටී. අනුගාමිකයන්ගෙන් ඔහු බලාපොරොත්තු වන්නේ අළුත් අදහස් නොව තමන්ගේ අදහස් ක්‍රියාවට නැංවීමය. මේ අනුගාමිකයන් තමන් හා එක මේසයේ වාඩිවී ආහාර ගන්නට නිස්සන් වේ යැයි ඔහු කල්පනා නොකරයි. තමන් නායකයාය. අනුගාමිකයෝ කොඩි දාන්නෝය; පෝස්ටර් ගසන්නෝය; අසා සිටින්නෝය; අත්පුඩි ගසන්නෝය; තමන්ගේ මතයට එරෙහිව වචනයක් වත් නොදොඩන්නෝය.
තමා ඇතුළු තරුණයන් පිරිසක් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා හා ෆිලිප් ගුණවර්ධන සමඟ සල්ලාපයෙහි යෙදී හුන් අවස්ථාවක් ගැන ජයතිලක මහත්තයා තම චරිතාපදානයේ මෙසේ සඳහන් කරයි: (උපුටනය මතකිනි.) “ඔවුන් දෙදෙනාම අප සමඟ හොඳින් කථා කළහ. ඔවුන් අප සමඟ කථා කළේ සිංහලෙනි. එහෙත් ඔවුන් දෙදෙනා අතර ඉතාම සුළු අදහසක් වුව හුවමාරු කර ගත්තේ ඉංගිරිසියෙනි. මෙය හිතා මතා කළ දෙයක් නොවන්නට පිළිවන. එහෙත් මට හැඟුණේ එය අපට කළ අපහාසයක් හැටියටය. මොවුහු අපේ නායකයෝ නොවෙති. ඉහළ අහසේ සැරි සරණ අතරතුර ඉඳහිට ගොදුරක් සොයා පොළෝ මට්ටමට පහත් වන ගිජු ලිහිණියෝම වෙති.”
මාක්ස් හා ට්‍රොට්ස්කි හැරුණු විට ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා නිතර උපුටා දක්වන බටහිර දාර්ශනිකයන් කීප දෙනකුම වෙයි. (මේ නම් මට දැන් අමතකය.) මේ දාර්ශනිකයින් ගැන කෙතෙක් උනන්දුවක් දක්වන්නේද යත් අසීරුවෙන් ඉංගිරිසි ඉගෙන ගන්නා තරුණ ජයතිලක ඔවුන්ගේ පොත් කියැවීමට පෙළඹේ. ඉන්පසු ඇන්. ඇම්. පෙරේරා හා කතා බහේදී ඔහු මේ ලේඛකයන් උපුටා දක්වන්නේ තම ගුරුවරයා ඉන් සතුටුවේය යන අදහස ඇතිවය. නමුත් වන්නේ එහි අනෙක් පැත්තය. තම අනුගාමිකයා තමන්ගේම පරවේණි බුත්තියට ලියාගෙන සිටි දාර්ශනිකයන්ම ලන්ඩනයට ගොස් තමන් සේ “ශිෂ්ට අධ්‍යාපනයක්” නොලැබූ ගෝලයා විසින් උපුටා දක්වන කළ ඇන්. ඇම්. පෙරේරා කිපෙයි. ඔහුගේ මුහුණ අඳුරු වේ. ජයතිලක මහත්තයා ආචාර්ය පෙරේරාද දේශපාලනයද හැර යන්නේ මේ සිද්ධීන් නිසා ඇති වූ ඉච්ඡා භංගත්වය ඇතිවය. මෙරට සම්මත වම ඔහු වැන්නන් බලාපොරොත්තු වූ “දේශීය සමාජවාදය” ගොඩ නැඟීමට අපොහොසත් වෙයි. ජයතිලක මහත්තයාද ඔහුගේ පන්තියේ සමකාලීනයන් බොහෝ දෙනකු මෙන්ම “සිරිලංකා කාරයකු” බවට පත්වෙයි.
ජයතිලක මහතාගේ පොත් ගැන මේ සති අන්තයේ පුවත්පත් වල ඔහුගේ පොත් කියැවූ හා නොකියැවූ බොහෝදෙනකු විසින් ලියනු ඇතැයි සිතමි. ඔහු විසින් ලියන ලද සියළු පොත් අතරින් මගේ කැමැත්ත දිනාගෙන ඇත්තේ අප්‍රකට හා මේ අතර සඳහන් නොවන ග්‍රන්ථයකි. “මනඃ කල්පිත වාර්තාවක් හෙවත් අර්ධ නවකථාවක්” නම් එය මේ වන විට අලෙවියේ ඇද්ද යන්න පවා සැක සහිතය. මට හිතෙන විදියට මේ දාර්ශනික නවකතාව ජයතිලක මහත්තයාගේ නිර්මාණ ජීවිතයේ අග්‍ර ඵලයයි. එය අගක් මුලක් නැති කතාවකි. එසේම එහි වීරයෝද දුෂ්ඨයෝද නොවෙති. එය එක් ගමක එකෙනෙක හා නොබැඳුණු සරල චරිත කිහිපයක සංකීර්ණ විකසනය විස්තර කරන සාම්ප්‍රදායික නවකථා පාඨකයකු නම් මුල් පිටු කිහිපයෙන්ම ඉවත ලන ආකාරයේ නවකතාවකි. පාඨක විචාරක අවධානයට නොබඳුන් වූ මේ කෘතිය මම ඔහු විසින් ලාංකීය සමාජය වඩාත්ම හොඳින් නිරූපනය කළ එක සේ දකිමි.
ඉක්මණින් පළ කිරීම පිණිස කෙටියෙන් ලියන මේ සටහන සම්පූර්ණ වන්නට නම් ජයතිලක මහත්තයා තම ජීවිතයේ අවසාන භාගයේ ලියූ පතපොත ගැනද යමක් ඊට ඇතුළත් විය යුතුය. අසූ ගණන් වල පමණ ලියූ මා කලින් කී නවකතාවෙන් පසුව ඔහු අරඹා ඇත්තේ බහින කලාව බව මගේ අදහසයි. විශේෂයෙන්ම “වර්ණය ඡන්දය හා මනාපය” යන නවකතාවෙහි හා “සිංහලයේ ආරම්භය හා අවසානය” යන විචාර ග්‍රන්ථයෙහි ඔහු තමන්ගේ දේශපාලන දර්ශනය හා අනුගත දුර්මත රාශියක් පාඨකයාට ඉදිරිපත් කරයි. මේ ජයතිලකයන්ම වරෙක සඳහන් කළ “උගතුන් මහළු වෙද්දී විකාර දෙඩවීමේ රෝගයේ” ප්‍රතිඵලද මම නොදනිමි.
1925දී උපත ලද ජයතිලක මහත්තයා මියයන්නේ අපේ කාලයේ පරමායුෂ විඳීමෙන් අනතුරුවය. එසේම ඔහු අවසාන වසර කිහිපය සාහිත්‍යකරණයෙන් ඇත්ව සිටියේය. එබැවින් ඔහුගේ වියෝව බොහෝ දෙනකු ලියන පරිදි දරුණු සංවේගයට හේතුවක් යැයි බොරු ලියන්නට මම පැකිළෙමි. එසේම “කන්නිමහර ප්‍රාඥයා” ලෙස නම් කරමින් ඔහු මාර්ටින් වික්‍රමසිංහ මට්ටමට ඔසවා තැබීමේ වෑයමටද මට සිනා පහළ වේ. එතකුදු වුවත් ජයතිලක මහත්තයා ලේඛකයකු ලෙස සිංහල සාහිත්‍යයට අනුපමේය මෙහෙයක් කළ පුද්ගලයෙකි. ඒ ගෞරවය ඔහුට ලැබිය යුතුය සිතමි.




















