1. මටත් කියන්නට කතන්දරයක් තියේ. මේ එහි ඇරැඹුමයි…

“බ්ලොග් එකක් ලියන්න අමාරු නැහැ. උත්සාහ කරල බලන්න.”

‘මකර අධිරාජයා’ හෙවත් චානක අරුණ මුණසිංහ කීවේ අප සිංගප්පූරුවේ ජුරොන්ග් ඊස්ට් MRT නැවතුම්පළෙහි බිම වාඩිවී කතා කරමින් ඉන්නා අතරතුරය. මගේ ගැටළුව වූයේ ලිවීම නොවේ. දිගින් දිගට බ්ලොග් එකක් පවත්වාගෙන යාම පිණිස කාලය සොයා ගැන්මය.

සිංහලෙන් බ්ලොග් එකක් ලිවීම අත්‍යාවශ්‍ය කාරණාවක් නොවූයේ තවමත් කලාතුරෙකින් ලියන දෙයක් සුන්දර අයියා (සුන්දර නිහතමානි ද මැල් – සංස්කාරක, ඉරිදා ලක්බිම) හෝ අතුල අයියා (වික්ටර් අයිවන් – සංස්කාරක, රාවය) ප්‍රතික්ෂේප නොකරන නිසාය. ඉඳහිට යමක් මම ලංකාදීපයේ සිරි රණසිංහ මහත්තයාටද යැව්වෙමි. බ්ලොගවකාශයෙහි මා ලියන දෙයක් සුදාරක හෝ මාලින්ද මල්ලිලා තමන්ගේ බ්ලොග් වල පළ කළහ. මා සේවය කළ ආයතනයේ බ්ලොග් එකට නිතර ඉංග්‍රීසියෙන් ලිව්වද, ඒ සබඳතාව බිඳුණු පසු ඒ ලිවීම නතර විය.

‘කතන්දර කාරයා’ හෙවත් රසිකගේ තාත්තාගේ අවමඟුලට ගොස් එන අතරතුර බ්ලොග් එකක් පටන් ගත යුතුය යන සිතිවිල්ල නැවත මගේ සිතේ නැඟුණේය. ඒ අප දෙදෙනාගේ පොදු මිතුරකු වූ අරුණ මුණ ගැසී ‘විජය පරිගණක’ සඟරාව ආරම්භ කිරීම ගැන මතකය යළි අවදි වූ හෙයිනි. එහි ගමන් සගයකු වූ ප්‍රගති මහිලාල් අද අප අතර නැත. විජය පරිගණක සේම විදුසර පසුපසද වූ කතා මා නොවේ නම් කවුද ලියන්නේ?

මම බ්ලොග් කලාවට අමුත්තෙක් නොවෙමි. බ්ලොග් කලාවට බෙහෙවින් සමානකම් ඇති, එහෙත් සයිබර් ලෝකයේ නොව සැබෑ ලෝකයේ වූ දැන්වීම් පුවරු කලාවට මා අවතීර්ණ වූයේ උසස් පෙළ ශිෂ්‍යයකු ලෙසිනි. එකල මගේ ගමන් සගයා වූයේ දරයාය. (දර්ශන කරුණාතිලක) පසුව හරිත් (හරිත් ගුණවර්ධන) අපට එක් විය. මගේ ලේඛන කලාව සේම දරයාගේ කාටූන් චිත්‍ර ශිල්පයත්, කිං බානට් හා ඕල්වේස් බ්‍රේක් ඩවුන් හරහා ප්‍රකට වූ හරිත්ගේ උපහාසාත්මක රචනා ශෛලියත් බිහි වූ තිඹිරි ගෙය ‘අනඳ නුවණ’ දැන්වීම් පුවරුවයි. 

දරයා: සදාකාලික තාරුණ්‍යය

අනඳ නුවණ යුගයේ දරයාත් මාත් දා ගත් කොකු ගණන විශාලය. අපේ අමු මිරිස් කොයි තරම් සැර වුවාද කියතොත්, එකල ආනන්දයේ විදුහල්පති කුඩලිගම සර් අපට ප්‍රති උත්තර දුන්නේ පාසලේ එසෙම්බ්ලියේදීය. ආනන්දයේ එකල ‘චණ්ඩියකු’ වූ ප්‍රසන්න රණතුංග (වර්තමානයේ බස්නාහිර පළාත් මහ ඇමැති) දරයාටත් මටත් ගහන්නට මඟ රැක සිටි අතර අප ගැලැවුණේ කලින් ඔත්තුව ලැබී ක්‍රීඩාංගනය පැත්තේ කපොල්ලකින් පැණ ගිය නිසාය. (දැන් නම් හිතෙන්නේ ගුටි කෑවා නම් හොඳය කියලාය. එය පාදක කොට ගෙන මහ ඇමතිගෙන් ගුටි කෑ දවස කියා බ්ලොග් සටහනක් ලියන්නට තිබුණේය.)

මුඛ්‍ය මාධ්‍ය ධාරාවෙහි (mainstream media) මගේ භූමිකාව ඉඳුරා වෙනස් වූයේ මගේ සම්මාදම වූයේ විද්‍යා ලේඛණයට බැවිනි.

මට බ්ලොග් හඳුන්නා දුන්නේ ඉන්ද්‍රජිත් ‘ඉන්දි’ සමරජීවය. ලංකාවේ මුල්ම බ්ලොග් එක යැයි මා සිතන indi.ca හි යොමුව ඔහු මට එව්වේ 2003දීය සිතමි. “I like your diary” කියා මා ලියා යැවූ කළ “Man, it is not a diary. It is called a blog” කියූ ඉන්දි, මට බ්ලොගයක හැඩරුව කියා දුන්නේය.

ඉන්දි හරහා මම ඉංගිරිසි බ්ලොග්කරුවන්ද මලින්තද හඳුනා ගතිමි. මලින්ත හරහා සුදාරකටද කාලිංගටද සෙට් වීමි. කාලිංගද සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයද හරහා වෙනත් බ්ලොග්කරුවන් හඳුනා ගතිමි. බ්ලොග් හමු දෙකකට පාඨකයකු සේ සහභාගි වීමි.

පළමු බ්ලොග් හමුව: ඉදිරි පෙළෙහි 'අක්කණ්ඩිට' දකුණින් ඉන්නේ මායි.

දෙවන බ්ලොග් හමුව: ඉදිරිම පෙළෙහි වම් කෙළවර කළුපාට කමිසයකින් සැරසී සිටින්නේ මායි.

බ්ලොගවකාශය තුළදී මා තුළ සැඟව සිටි කැරළිකාරයා යළි උපන්නේය. නැවත එක පිට එක කොකු දා ගන්නට පටන් ගතිමි. ලංකාවේ බ්ලොග් ඉතිහාසයේ මුල්ම දැවැන්ත වලි දෙකකට මා ඈඳෙන්නේ ඒ අනුවය.

පළමු වලිය (ඉන්දි වැනි කිහිපදෙනකු හැර) සියළු ඉංගිරිසි බ්ලොග්කරුවන්ට එරෙහිව චානුක වත්තේගමය. පෞද්ගලික විශ්වවිද්‍යාල ගැනය. වලියේ අවසාන හරියේදී මට ගාමිණී ෆොන්සේකාට මෙන් විසි දෙනකු පමණ සමඟ එකවර සටන් කරන්නට වූ බව මතකය. එහෙත් සටන අත නොහැරියෙමි. මේ 2004 දීය.

දෙවැනි සටනේ මම සහාය නළුවෙක් පමණක්මි. ‘කොල්ලා’ ඩොනල්ඩ් ගාමිණීතිලකය. වලියේ තරම එයින්ම හිතා ගත හැකිය. මේ ගැන ලිවිය හැකි බොහෝ කතා ඇතද, සමහර දේ නොකියා සිටීම වඩා හොඳය. ඉංගිරිසි-සිංහල බ්ලොග් අවකාශ දෙකම කැළැඹූ, මේ වලිය අවසාන වූයේ මහාචාර්ය වී. කේ. සමරනායකගේ හදිසි වියෝව නිසාය.

මේ ලියන්නේ මේ අළුත් බ්ලොග් එකේ අරමුණ තවත් කොකු ඇද ගැන්මය කියන්නට නොවේ. දැන් මම කොකු දා ඇද ගන්නා වයස පසු කර සිටිමි. මේ කතාව මගේ පරණ බොස් වීරතුංග මහත්තයාට (ලලිත් වීරතුංග –  වර්තමාන ජනාධිපති ලේකම්) කී විට ඔහු කීවේ “චානුක පොඩ්ඩක් කෑ ගහනව නම් මගේ බය ඇරෙනව. කට වහගෙන ඉන්න කොට මට හරි බයයි” කියාය.

මගේ ලිවීම ගැන මීට වඩා ලුණු ඇඹුල් සහිත සහතිකයක් දුන්නේ සරත් සිල්වා හිටපු අග්‍ර විනිශ්චයකාරතුමන්ය. ‘අක්ෂරය’ සිතුවම් පටයට මා ලියූ දෙබස් ඛණ්ඩයෙක එහි කථා නායකයා වන කුඩා දරුවා තම මිතුරකුට “f**k off”  කියයි. ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යකුට මේ වදන් පෙළ අනුචිත නැතැයි මම අදත් සිතමි. අග්‍රවිනිශ්චයකාරතුමන් මේ දෙබස් ඛණ්ඩය අල්ලාගෙන කීවේ “මේ චිත්‍රපටයේ මුල සිට අග දක්වා කුඩා දරුවාගේ මුවට ඉතාම අසභ්‍ය වචන දා තියෙනවා” කියාය. ඒ නම් අතිශයෝක්තියෙකි. මගේ දෙබස් වල වගකීම කරට ගත් හඳයා (අශෝක හඳගම) මා අමාරුවේ නොදැමූ බව නම් ලිවිය යුතුය.

ඉතින් මම යළි ලියන්නට පටන් ගනිමි. හරියටම කිව්වොත් කොටන්නටය. දැන් මට සිංහලෙන් ලියන්නට නොහැකිය. හරියටම කිව්වොත් ලිව්වාට වෙන කෙනකුට අකුරු පැහැදිළි නැත. මේ විස්කම් කරන්නේ රුවන්ගේ (ආචාර්ය රුවන් වීරසිංහ, කොළඹ විශ්ව විද්‍යාලය) කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද යුනිකෝඩ් පරිවර්තකයක් ආධාරයෙනි. රුවන්, ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අතර කලාතුරෙකින් දැකිය හැකි ආකාරයේ විවෘත මනසකින් යුතු චරිතයකි. සින්ටෙක් හි ලංකා ඉන්ටර්නෙට් කමිටුව තියෙන කාලයේ අප දෙදෙනාම බොහෝවිට සටන් කළේ එකම අරමුණු උදෙසාය. යුනිකෝඩ් තවමත් සර්ව සම්පූර්ණ නොවතුදු, මට මව්බසින් ලියන්නට හැකියාව ලබා දීම ගැන මම ඔහුට ස්තූතිවන්ත වෙමි.

‘සිහි සටහන්’ යෙදුම මහාචාර්ය සුචරිත ගම්ලතින්ගෙන් ණයට ගත්තකි. මේ ඔහු ‘memoirs’ කියන වචනයට තම ශබ්ද කෝෂයෙහි දී ඇති එක් අරුතකි.

අටුවාව ඒ ඇති. ඊළඟ සටහනේ සිට මම මතක පොත වඩා ක්‍රමාණුකූලව දිග හරින්නට බලාපොරොත්තු වෙමි.

Advertisements

31 responses to “1. මටත් කියන්නට කතන්දරයක් තියේ. මේ එහි ඇරැඹුමයි…

  1. මම දැන් comment දාන එක නවත්වලා. නමුත් ඉතින් මේකට එකක් නොදා බෑ.
    එහෙනම් සාදරයෙන්, ආදරයෙන් සිංහල බ්ලොග් කරනයට පිලිගන්නවා… මම වගේ අකාලෙට වැස්ස වගේ නොලියා දිගටම ලියන්න කියලා ප්‍රර්ඨනා කරනවා!

  2. ගෙට් ටුගෙදර් එකේදි මුනගැහුනම බ්ලොග් නොලියනව කිව්වට, පත්තරේට අරකට මේකට නොලිය, බ්ලොග් නොලියපු එක නං සෑහෙන්න පාඩුවක් සිංහල බ්ලොග් අවකාශයට කරපු.

    දැන් ඉතින්,
    “කාලෝ අයංතේ!” 🙂

    ජයවේවා!!

  3. බ්ලොග් එක තමන්ගෙම පත්තරයක් කර ගන්න. බලධාරියා කපන තරමක් කපපුවාවෙ. ඉතුරු ටික බ්ලොග් එකේ ලියන්න

  4. බ්ලොග් අවකාශයට ඔබගෙන් අගනා මෙහෙයක් ඉටු වේවා. සුභ පැතුම්.

  5. විජය පරිගණක සඟරාව මම පොඩි කාලෙ ඉඳන් කියවපු එකක්. tutorialම පුරවන්නේ නැතුව පරිගණක ලෝකය හා සම්බන්ධ නොයෙකුත් කතා බහ ගැන අවධානය යොමු කිරීම ගැන තිබුන කතෘ සටහන මට තාම මතකයි.

    කොහොම වුනත් මුල් හමුවෙදි චානුක වත්තේගම විදියට හඳුන ගැනීමට ලැබීම සතුටක් විදියටයි මට හිතුනේ. ඒත් එක්කම අපි ලිවීම කියන දේ උඩ පැටලි පැටලි ඇවිදිනකොට ලිවීමේ පිනුම් ගහන අය බ්ලොග් නොලියා සිටීමත් ගැටලුවක්.

    දැන් ඒකත් විසඳුනා. දිගටම බ්ලොග්කරණයේ යෙදෙන්න සුබ පැතුම්!

  6. ඔබව බ්ලොග් අවකාශයෙක් හමුවී පසුව සැබෑ ලෝකයේදීත් දැන හඳුනාගන්න ලැබීම සතුටක්. (මම දාගත්තු බ්ලොග් කොක්කක අවසාන ප්‍රතිඵලයක් 😀 )
    බ්ලොග් අඩවියට සුභ පැතුම්…..

  7. මටත් මතකයි කොරිඩෝර් එකේ එක කෙලවරක ඉඳලා අනිත් කෙලවර දක්වා මං අනඳ නුවණ වගේ පුවරු වල තියෙන නිර්මාණ බලමින් යනවා.
    මං Tintin in Tibet කියන පොත මුළුමනින්ම බැලුවේ ඔය එක පුවරුක් හරහායි. ඒක තිබුනේ බෞද්ධ සංගමයේ පුවරුව තිබුණු ඉස්සරහ හරියේ.
    අර නොලියවෙනවාය කියන මහ ඇමති ගෙන් ගුටි කාපු කතාව -කෙලින් ම බැහැර කරන්නත් එපා.
    ට්‍රයි එකක් දීලා බලන්න. ආයේ චාන්ස් එකක් එන්න පුළුවන්.
    -කතන්දරකාරයා

  8. දිගටම නවත්තන්නේ නැතුව ලියන්න…ඔය ඔය ලියන තාලේට ලියන්න දේවල් මහා හුගාක් සහ දෙන්න යමක් බ්ලොග් අවකාශේට තියෙන බව පේනවා.. ලියන්න…

  9. Pardon me for spoiling this by writing in english.
    But let me wish you all the best in this new endeavor, this is a time even the formal blogging is getting out dated and sound-byte size tweets/expressions catching up, so need people like you get to the business.
    Keep it up, you got the fire.

  10. හුග කාලෙකමට පස්සෙ දැක්කෙ ලිපියක්..
    දිගටම කරගෙන යන්න. සුභපැතුම්…

  11. තැන් තැන්වල දැකලා තියේ අහලා තියේ කියවලා තියේ.. ඒ ඇතිවෙයි මයෙ හිතේ.. පිලිගන්න තරම් පොරක් නෙමෙයි.. ඒත් දිගට ලියන්න කියලා කියන්න හිතෙයි. ඒ මේ ලියලා තියෙන එක හොඳයි කියලා හිතුන නිසා..

  12. අර දර්ශන කරුණාතිලක අයියව මාත් දන්නව නෙව.. නුගේගොඩ පින්තූර කඩේ වැඩ කොරන දවස්වල හොඳ පාරිභෝගිකයෙක්. ඒ එක්කම කවදත් ඔහුගෙ රසිකයෙක්.

    පළවෙනි සටහනෙන් විදලා තියෙන විදිල්ලෙ හැටියට හොඳට කියවන්න දේවල් තියෙයි වගේ…

    එහෙනං ලියමු!

  13. අද තමා මේ බ්ලොග් එක දැක්කෙ. බ්ලොග් එකක් ලියනව කියල දැන ගන්න ලැබීම නම් ගොඩාක් සතුටට කරුණක්. දිගටම ලියන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.

  14. මීට ගොඩකාලෙකට කලින් ඔබතුමා ආවා නම් කියවන්නෙකු විතරක් නොවී, මේ බ්ලොග් කියන දේ තුලින් රටට ගොඩාක් වටිනා කියන දේ මේ වන විටත් ලැබෙන්න තිබුණා. ඒත් දැනටත් පරක්කු නැහැ.
    සුභ පැතුම්..!!

  15. යාන්තමින් කියවා තෙරුම් ගැනීමට හැකිවූදා පටන් විදුසරට අබ්බැහිවූයෙක් වූයේ එකල ඔබ, වජිර ධර්මවර්ධන, රුවිනි ප්‍රසාදිනී,ධම්මික ප්‍රේමදාස වැන්නවුන්ගේ ලිපි කියවීමෙනි. දැනුදු ඔබ ඉඳහිට හෝ ලියන ලිපි මහත් රුචියකින් කියවමි. ඇත්තෙන්ම කිවහොත් ලිවීමට, කියවීමට මා රුචි වූයේ විදුසරත්, ඔබ වැන්නවුන් ලියූ ලිපිත් නිසාය.
    බ්ලොග් අවකාෂයේ ඔබ සිංහලෙන් ලියන ලිපියක් දැකීම මහත් සතුටකි. (කරුණාකර දිගතම ලියන්න. 🙂 )

  16. Wish you all the best for the blog! Keep it going!!!!

  17. අද මා යම් තැනක සිටි නම් එයට පින් දිය යුත්තේ විදුසර ටත් ඔබ වැනි ලෙකකයින්ටත් පුවත් පත ඇරඹු දා සිට එකතු කල මගෙ ලොකු අක්කාටත් ය.

  18. විදුසර පත්තර ,පණ මෙන් සුරැකි කාලයක් මටත් තිබුනා මතකයි. හැම බදාදාම උදේට පිපෙන නැවුම් බලාපොරොත්තුවක්. අද වුනත් අහම්ඹෙන් වුනත් විදුසර දැක්කොත් පෙරලල හරි බලන්න අමතක කරන්නෙ නැහැ.
    ඒත් , ඇත්ත කියන්නම ඕනි. දැන් පත්තරයේ බාගයක්ම පාඩම් වලින් පිරිල. ළමයින්ට ඕනි තරම් පාඩම් තියෙන කාලෙක පත්තරේ අපතේ යනව ද කියල මට හිතෙනවා. හරියට අම්ම ඉස්සර මට බලෙන්ම ගෙනත් දීල පැත්තවත් නොබලන සතර පත්තරය වගේ ….

    කොහොම වුනත් එබ බ්ලොගයකින් මුණ ගැසෙන්න ලැබීම වාසනාවක්…….

    සුබ ගමන් …………….

    දැන් ඉතින් ලියමු ………….

  19. Kasun Tharanga

    නියම කතාගොඩක් අහන්න ලැබෙයි කියා සිතමි…ජය වේවා………………

    ඉතින් අරඹමු අද සිට……

  20. ඉංජිනේරු විද්‍යාව ඉගෙනීමට ගනිතය පිළිබඳ “පයිතෙකු” වියයුතුය. එවන් අයෙක් ලිවීමේ දක්‍ෂයෙක්ද වෙන්නේ කලාතුරෙකිනි. එවන් සහජ දක්‍ෂයකුගේ බොලොග ආගමනය ඉතාමත් සතුට දනවයි. ඔබට ආසිරි.

  21. දිගටම ලියන්න… ඔබෙන් අපට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා..

  22. රටින් පිටව සිටි සමයේ අහම්බෙන් දිනක අන්තර්ජාලයේදී ‘විදුසර’ ඇස ගැටුණු දා වගේම සතුටක්, මුණූ පොතේ ඔබේ මේ බ්ලොග් සටහන පිලිබඳව දුටු මොහොතෙත් මට ඇති උනා.
    ඉතිං විදුසර ගැන ඔබේ කතා කියවන්නට බලා සිටිමි..
    සුභ පැතුම්..!!

  23. කතන්දර කාරයාගෙන් පාර අහගෙන තමයි මේ පැත්තට ආවෙ.

  24. නවම් ලොක්ක කිවුව වගේ කතන්දර උන්නැහේගෙ දැන්වීම අනුව තමා මෙහාට සේන්දු උනේ.

    බොක්ක!

  25. විදුසරේ මගේ වීරයෙක් වුන චානුක වත්තෙගම කියන නම ආයෙත් දැක්කම පුදුම සතුටක් හිතට දැනුනෙ. හරියට පරන යාලුවෙක් මුන ගැහුනා වගේ.දිගටම ලියන්න.. චානුක මොනවා ලිව්වත් එතන වටිනාකමක් තියේවි කියලා මට හිතෙනවා.

    Lucky from UAE

  26. Just got the news (from Kathandara) that you have started this blog. This is the best news I have heard today!

    I was a once a fanatic Vidusara follower since it started for about 10 years. You and few other Vidusara writers were an inspiring lot to us those days. One of my class mate actually even joined vidusara staff after leaving school!

    I’m sure this blog will also be equally entertaining, educational and inspiring like your earlier endeavors.

    Best of wishes Chanuka !!

  27. කසුන්

    බ්ලොග් අවකාශයේ දීත් දකින්නට ලැබීම සතුටක්.
    සුභ පැතුම්!! දිගටම ලියන්න.

  28. සුදම්

    කතන්දරගෙන් තමයි ආරන්චිය ආවේ…. පුදුම සතුටක් දැනුනේ චානුක වත්තේගම බ්ලොග් එකක් පටන්ගත්ත කියල දැනගත්තහම. යාන්තම් කියවගන්න පුලුවන් කාලෙ ඉඳන් මමත් විදුසර කියෙව්ව ( විදුසරෙ පළවෙනි කලාපෙ ඉඳන් එකතුකරල තිබ්බ අපේ ගෙදර කෂ්ටියටත් පින්). Lucky කියල තියෙනව වගේ චානුක වත්තේගම මගෙත් වීරයෙක්. බ්ලොග් එකක් පටන්ගන්න හිතුනේ අපේ වාසනාවට…… එහෙනම් අපිත් බලාගෙන ඉන්නවා ඕන්….

  29. කාංචන

    චානුක වත්තේගම (CW-එහෙමනේ අන්තිම පිටුවේ දාන්නේ) කියන නම් ඔලුවේ තිබුනට හරියටම කවුද කින්ද මන්ද කියල ඔලුවට ආවේ කතන්දරගෙ පෝස්ට් එකෙන්. SBU හමුවෙදිත් කල්පනා කරා මේ කවුද කියලා. දැන්නම් විදුසර කියවෙනවා අඩුයි. කියෙව්වත් ලිපියයි දෙකයි. ඒත් මම ගතපු පළවෙනි විදුසරේ ඉඳන් ගතපු සියලුම පත්තර මගේ ගාව සුරැකිව තියනවා. ඒ කාලේ වගේ සාරගර්භ ලිපි දැන් නම් යන්නෙම නැති තරම්. දැනුත් පරණ පත්තර ගොඩ ඇසගැටුනොත් පරණ ලිපි කියවන්නේ පුදුම ආසාවකින්.

  30. අලුත් අවුරුද්දේ හොඳ ලියවිලි තව තව කියවන්ට ලෑබෙන බවට සුබ ලකුණක් වාගේ ඔබේ බ්ලොග් එක..
    ආයෙමත්..ජය පතමි…

  31. ඔබේ මේ පළමු ලිපියෙන්ම මා තුළ මෙතෙක් කලක් සැඟව පැවති කියවීමේ නොතිත් ආශාව නැවත දළු ලා වැඩෙනු මා මහත් වූ ඇල්මකින් යුතුව ඉවසා හිඳිමි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s