2. ප්‍රසන්න අයියා

මම මේජර් ජෙනරල් ප්‍රසන්න සිල්වා සමඟ කොටි බෝම්බ සෙවීමේ මෙහෙයුමක සාමාජිකයෙක් වීමි. ආනන්දයේ ලොකුම ගොඩනැඟිලි දෙකින් එකක් වූ පස්මහලම පීරා හෙව්වත් අපට එක බෝම්බයක් වත් හමුවූයේ නැත.

ප්‍රසන්න අයියා මට හමුවන්නේ මා හය වැනි ශ්‍රේණියේ සිසුවකුව සිටියදී, 1979 අවුරුද්දේ අග භාගයේදීය. ගුණරත්න අයියා ඊට මාස කිහිපයකට පෙරය. (මේජර් ජෙනරල් කමල් ගුණරත්න – නන්දිකඩාල් කලපුව අසළදී ප්‍රභාකරන්ගේ මළ සිරුර සොයා ගනු ලබන්නේ ඔහුගේ සේනාංකය මඟිනි.) එහෙත් මම ප්‍රසන්න අයියා මුලට ගැනීමට සිතුවෙමි. මාද අයත් වූ නවකයින් තිස් හතළිස් ගණනෙකින් යුතු බාලදක්ෂ කණ්ඩායමක් බාරව උන්නා විනා ගුණරත්න අයියා මගේ ජීවිතයට ලොකු බලපෑමක් නොකළේය. ප්‍රසන්න අයියාට මම ඊට වඩා සමීප වීමි.

1979-80 හරියේ ප්‍රසන්න අයියා ආනන්දයේ පොඩි එවුන් අතර ජනප්‍රියතම ශිෂ්‍ය විධායකයාය. මේ ආනන්දය ‘තරු’ රාශියක් බිහි කළ යුගයකි. අර්ජුන රණතුංග 1980දී ඔබ්සවර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙයි. රවිනාථ ආර්යසිංහ (වත්මන් ලංකා තනාපති, බෙල්ජියම, ලක්සම්බර්ග් හා යුරෝපීය සංගමය) පාසලින් ඉවත් වීමටත් පෙර එවකටත් රටට නවමු රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදනය කරයි. මේ සියලු ‘තරු’ අතර අධ්‍යාපනයටත් හපන්කම් නොදැක්වූ, අඩු ගාණේ කැඩෙටිංවත් නොකළ පාපන්දු කණ්ඩායමේ නායකයා පමණක් වූ ප්‍රසන්න අයියා විශේෂ ස්ථානයක් දිනා සිටියේය.

මීට හේතුව එකල පවා විද්‍යාමාන වූ ඔහුගේ අපූර්ව පෞරුෂයය සිතමි.

ප්‍රසන්න අයියා අහන්නේ අමුතු ප්‍රශ්නය. කියන්නේ අමුතු කතාය.

“චානුක, තමුසෙ මොනවද මේ සැරේ වෙසක් එකට හදන්නෙ?”

“අටපට්ටමක් හදන්න ඉන්නෙ අයියෙ…”

“පැටව් කීයද?”

‘පැටව් නෑ. පොඩි කූඩුවක්…” (මා සාමාන්‍යයෙන් වෙසක් එකට ලොකු කූඩු හදපු කෙනෙකි. ඒත් 1980 අප්‍රේල් මාසයේදී සීයා නැති වූ නිසා වෙසක් එකට ලොකු කූඩුවක් හැදීම ඇණ හිටියේය.)

“මොනවද අයිසෙ, තමුසෙ යන්නෙ ලංකාවෙ ලොකුම බෞද්ධ විද්‍යාලෙට. ඒත් වෙසක් එකට හදන්නෙ පොඩි කූඩුවක්. හදනවකො අයිසෙ ලොකු එකක්”

මේ ප්‍රසන්න අයියාය. කරන දේ හරියටම තිතට ඕනෑය. නැතොත් නොකළ යුතුය.

මේ තව කතාවක්.

“චානුක, තමුසෙ මොකද්ද අන්තිමට බලපු ෆිල්ම් එක?”

“ගිය සුමානෙ හඳය බැලුව අයියෙ” (ටයිටස් තොටවත්තයන්ගේ ‘හඳයා’ මුල් වරට තිරගත වූයේ 1979දීය.)

“මොනවද අයිසෙ, හඳය බලල මොකද්ද ඇති වැඩේ? හෝල් එකෙන් එළියට එනකොට මතක අර පොඩි එකා (= දර්ශන පනංගල) බෝට්ටුව උඩ ඉඳන් අතපය වනනව විතරයි. කියනවකො අයියට එක්ක යන්න කියල ක්‍රැසන්ඩ්‍රා ක්‍රොසිං වගේ ෆිල්ම් එකක් බලන්න. අන්න බලන්න ඕනැ ෆිල්ම්ස්”

මා Cassandra Crossing නැරඹුවේ ඊට බොහෝ කාලයකට පසුවය. ප්‍රසන්න අයියා මේ සිතුවම් පටයට කැමැති වූ හේතුව මට සිතා ගත හැකිය. Cassandra Crossing ව්‍යසනයක අභියෝගයකට මුහුණ දෙන කණ්ඩායමක් සහයෝගයෙන් හා කැපැවීමෙන් ක්‍රියාකොට ඉන් ගැලැවෙන ආකාරය දක්වන වීර කතාවකි.

මෙවැනි දේ සඳහා ප්‍රසන්න අයියාට ඒ කාලයේ සිටම ‘උණක්’ තිබුණේය. 1980 ආනන්ද-රෝයල් මැච් එකේ වලියකදී එවකට දහ වන ශ්‍රේණියේ සිටි අයියලා ටිකක් රාජකීයයන් සමඟ වලියක් ඇදෙගෙන මදි නැතිව ගුටි කන්නට ඔන්න මෙන්න තිබියදී දෙපිරිස මැදට තනිව පැණ ගැටුම සමථයකට පත් කළේ ප්‍රසන්න අයියාය.

ප්‍රසන්න අයියා නායකත්වයේ ගුණාංග උපතින්ම ඇතිව උපන්නෙකි. තම කණ්ඩායමේ සාමාජිකයන්ගේ පෞරුෂත්ව වර්ධනය හැමවිටම ඔහුගේ නියත ඉලක්කයක් විය. රාජපක්ෂ යුගයේ අවසාන භාගය වූ මේ කාලයේ ආනන්දයේ විනය සඳහන් කළ යුතු තරම් ඉහළ මට්ටමක නොවීය. ආනන්දයට කොයිතරම් දේ කළත් රාජපක්ෂ සර් මෘදු පාලකයෙකි. ශිෂ්‍යයකුට ගැහුවා තියා තදින් වචනයක් හෝ කතා නොකළ විදුහල්පතිවරයෙකි. මේ වාතාවරණය තුළ අපට ඉගැන්නූ ගුරුවරුන්ට පවා විනය ගැන අපේ පස්සෙන් එළවන්නට අවශ්‍යතාවයක් නොවීය. ඉගෙන ගත්තා නම් ඇතිය යන සංකල්පය කාගේත් සිත් තුළ කිඳා බැස තිබිණි. ප්‍රසන්න අයියා මේ දිය පහරට එරෙහිව උඩු ගං බලා පිහිණුවේය.

ඔමාර් සැමිඩොන් හත්වන ශ්‍රේණියේදී අපේ පන්තියට ආවේ ශාන්ත තෝමස් විද්‍යාලයේ සිටය. පැමිණ දින දෙකකට පසු ඔහුගේ කවකටු පෙට්ටිය නැතිවිය. එය සොයා දෙන මෙහෙයුමේ ප්‍රධානත්වය ගත්තේ ප්‍රසන්න අයියාය. එපිණිස ප්‍රසන්න අයියා යා හැකි අන්තයටම ගියේය. කවකටු පෙට්ටිය නොලැබුණෙන්, අප පාසලෙන් පසු රඳවා ගන්නා ලදී. පුතා රැගෙන යාමට පැමිණ සිටි පියකු ප්‍රධානාචාර්යතුමන්ට පැමිණිලි කළේය. එතුමන් පැමිණ අප නිදහස් කළේ ප්‍රසන්න අයියාට දෝස් මුරයක් දමමිනි. කේස් එක විදුහල්පතිතුමන් දක්වා ගියේය. රාජපක්ෂ සර් නම්‍යශීලී වූ මුත් ප්‍රසන්න අයියාට මේ සිද්ධිය තදින් වැදුණේය.

“මම ඒ වගේ පියවරක් ගත්තෙ වෙන දෙයක් හින්ද නෙවෙයි මල්ලි. බලන්න, එයා අපේ ඉස්කෝලෙට අළුතින් ආපු ළමයෙක්. ඇවිල්ල දවස් දෙකකදි එයාගෙ කවකටු පෙට්ටිය නැතිවුණාම එයා අපේ ඉස්කෝලෙ ගැන මොකද්ද හිතන්නෙ? එයාගෙ අම්මල තාත්තල අපේ ඉස්කෝලෙ ගැන මොකද්ද හිතන්නෙ? ඇයි ඔය ගොල්ලන්ට පොඩ්ඩක් කල්පනා කරන්න බැරි?”

ප්‍රසන්න අයියා ඉස්කෝලෙන් අස්වී ආමි එකට ගියාය ආරංචි වූ මුත් ඉන්පසු අප අතර සම්බන්ධතාවයක් නොවීය. මා ඔහුගේ නම නැවත පුවත්පත් වලින් දුටුවේ යුද්ධය මන්නාරම පැත්තෙන් කරගෙන යන කාලයේදීය. ඒ 2008 මුල් භාගයය සිතමි.

යුද්ධයේ නිමාව පිණිස (එවකට) බ්‍රිගේඩියර් ප්‍රසන්න සිල්වා විසින් කළ කාර්ය භාරය රහසක් නොවන හෙයින් මා පුනරුච්චාරණය කළ යුතු නොවේ.

ප්‍රසන්න අයියා පොඩි උන්ට දුන් අවවාදයකින්ම මේ සටහන නිමා කරමි.

“අයිසෙ, කොල්ලො උනාම ඔක්කොම දේවල් කරල තියෙන්න ඕනැ. බලනව මම. මං සිගරැට් බීල තියෙනව. අරක්කු බීල තියෙනව. ඩ්‍රග්ස් අරගෙන තියෙනව. මේ ඔක්කොම මං කළේ ටෙස්ට් කරන්න. එක සැරයයි. මේව කිසිම දෙයක් එක සැරේකට වැඩිය කරන්න ඕනැ නැහැ. නොකර ඉන්නමත් ඕනැ නැහැ.”

ගුණරත්න අයියා (මේජර් ජෙනරල් කමල් ගුණරත්න) ගැන පසු සටහනක් තැබීමට බලාපොරොත්තු වෙමි.

Advertisements

15 responses to “2. ප්‍රසන්න අයියා

  1. රවිනාථ මං හිතන්නේ ඒඑෆ්එස් එකට අවුරුද්දක් අමෙරිකා ගිහින් හිටියා. ඉංගිරිසි නිව් නේ කිව්වේ.

    රවිනාථ ලා ගේ කාලේ ම වගේ තවත් පොරක් තමයි ගයිරික පේරුසිංහ. මෑන් ඉස්කෝලේ ඉඳිද්දීම සිනමා විචාර පවා ලිව්වා.

    එක චිත්‍රපටියක් – ගිවන්ත අර්ථසාද් ලා ගේ දුටුගැමුණු කාටුන් ෆිල්ම් එක.
    විචාරය යන්න කලින් චිත්‍රපටිය තහනම් වුණා.

    ගයිරික පස්සේ දිවයිනේ පොලිටිකල් ලිපි ලිව්වත් සැබෑ පොලිටික්ස් වලට බැහැලා වාත වෙලා ගියා මගේ හිතේ.

    • ගයිරික ගැන සම්පූර්ණයෙන් අමතක වුණා. ඔව්, අද කෙසේ වෙතත් ඒ දිනවල ඔහුත් තරුවක් තමයි.

  2. විඳින්න පුළුවන් අතීතයක් තිබෙන බව පේනවා. හරිම රසවත් මේ ලිපිය.
    ළමා විය, තුරුණු විය, මැදිවිය. මටත් එහෙමයි. සමහර දේවල් ප්‍රසිද්ධියේ කියන්න බැහැ. කියන්න පුළුවන් ළමාවිය පමණයි .
    ඒ නිසා තමයි ”මතක සුළං ” බ්ලොග් එක ලියන්න පටන්ගත්තේ.
    ඉඩක් තිබුනොත් කියවන්න.

    http://wipula123.blogspot.com/

    http://wipsuman.blogspot.com/

  3. චරිතය ගැන විචාරයක් නොකර සිද්ධි දාමය පෙලගැස්වීම මරු මොකද එතකොට කියවන්නා ස්වාධීනව අදාල චරිතය දිහා බලන්න ගන්නවා.. (මන්දා මට නම් එහෙමයි අහුවුනේ..)

  4. ඔයාගෙ බ්ලොග් ස්ටහන් වල font size එක ලොකු කරන්න. එතකොටෛ කියවන්න වඩාත් ආස හිතෙන්නෙ

  5. So interesting to read! 🙂

  6. අයියේ ඇත්තටම මේවගේ ලිපි වටිනවා. මොකද අපි පත්තරේ ප්‍රසන්න සිල්වා මහත්තයා ගැන ලියල තියෙන සටහන් ඇත්ත වුනත් ඒවයේ ස්වාභාවික ගතියක් නැහැ. ඔබලා එකට හිටි අය නිසා මේවගේ ලියල තියෙන ඒවගේ ස්වාභාවික ගතියක් වගේම අපිට හොද චිත්තරූපයකුත් මැවෙනවා…

  7. සමාවෙන්න, ඉස්සෙල්ල කමෙන්ටුවේ වචන වගයක් හැලිලවගේ ඒකේ //අපි පත්තරේ ප්‍රසන්න සිල්වා මහත්තයා ගැන ලියල තියෙන සටහන් // කියන තැන “අපි පත්තරේ දකින ප්‍රසන්න සිල්වා මහත්තයා ගැන ලියල තියෙන සටහන්” විදියට වෙනස් වෙන්න ඕන…

  8. හ්ම් ……….
    හඳයා කියන්නේ ළමයින්ගෙ සුන්දර සිහිනයක් වගේ. මට නම් හඳයා තවමත් මතකයි…

  9. ඇත්තමයි……

    පුදුම ආසයි කියවන්න……

    http://aluthkolla.blogspot.com

  10. අකුරු පොඩ්ඩක් ලොකු කරන්න පුළුවන් නම් කියවන්න වඩාත් ලේසි වෙයි.

  11. Nice post!

    Inspiring.

    We should talk more about great characters like Prasanna. So much for younger generations (who are among super starts and dancing stars) to learn from…..

    Your writing style and spirit (always writing something to help readers improve themselves in some way, may be this is something you do unintentionally but that feature is there through out all your writings I have seen) is still intact from Vidusara days!

  12. විමල්

    යුද්ධය ගැන අපක්ෂපාතීකම හින්දම මම හමුදා නිලධාරීන් ගැන තියෙන්නේ එච්චර හොඳ අදහසක් නෙවෙයි. නමුත් ඔබේ මේ ලිපිය කියෙව්වම මගේ හිතේ තිබෙන පටලය ඉවත් කරලා හමුදා නිලධාරීයා පිටිපස්සේ ඉන්න මනුස්සයා දිහා බලන්න පුළුවන් වුණා.

    වෙරි ගුඩ් පොස්ට් චානුක

  13. කියවීමේ පිපාසය දැන් දැන් දැඩිව දැනේ…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s