3. අශෝක හඳගම, අක්ෂරය හා විදූ

මට අශෝක හඳගම හඳුනා ගැනීමට ලැබුණේ ඔහුට නෙට්වර්ක් කාඩ් එකක් ඕනෑ වූ නිසාය. මම එකල ශ්‍රී ලංකා මහ බැංකුවේ පද්ධති ඉංජිනේරුවකු වීමි. අශෝක එහිම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධරයකු වීය. නෙට්වර්ක් කාඩ් එක රැගෙන මම රාජගිරියට ගියෙමි. එවක ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වූයේ රාජගිරියේ මහ බැංකුවේ මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයෙහිය. මේ වසර දහතුනකට පෙරය. එවක පහළ පන්තියක වූ අශෝකගේ දියණිය කැටිව ආ ඔහුගේ එවක බිරිය අනෝමා ජනාදරී හමුවූයේද එදිනය සිතමි. අශෝකගේ දියණිය දැන් සරසවි ශිෂ්‍යාවකි.

මා අශෝක හා පළමුවරට වැඩකට සෙට් වූ අන්දම අමාරුවෙන් හෝ මතකයට නඟා ගත නොහැකිය. සමහර විට ඒ තනි තටුවෙන් පසු විය යුතුය. තනි තටුව නරඹා මම ඊට විචාරයක් ලීවෙමි. සිනමාත්මක වැරදි ඇතත් ‘තනි තටුවෙන් පියාඹන්න’ අශෝකගේ හොඳ නිර්මාණ අතුරින් එකකි. (එය කොයි තරම් දුරට Boys Don’t Cry සිතුවම් පටයෙන් ආභාසය ලද්දේද මම නොදනිමි. මම ඒ වන විට Boys Don’t Cry නරඹා නොතිබුණෙමි. පසුව හිතුණේ Boys Don’t Cry වඩා හොඳ බවය. අශෝක එහි සිනමාත්මක ලක්ෂණ ටිකක් හෝ කොපි කළා නම් තනි තටුව මීට හොඳ නිර්මාණයක් වන්නට තිබුණේය.) අශෝක මගේ විචාරයට කැමැති විය. එය ඉංගිරිසි පුවත්පතෙක පළ කරවා ගැනීමට අප උත්සාහ දැරූ මුත් ව්‍යායාමය අසාර්ථක විය. මට සිනමා විචාරකයකු සේ කිසිම පිළිගැනීමක් නොතිබූ නිසා විය යුතුය. පුවත්පත් කතුවරු සාමාන්‍යයෙන් නිර්මාපකයාගේ මිතුරන් ලියා දෙන විචාර පළ නොකරති. ඒ හොඳ සිරිතකැයි මම සිතමි. (ඇත්තටම අශෝකගේ නිර්මාණ කිහිපයකට හැර මම වෙනත් සිතුවම් පට සඳහා විචාර ලියා නැත්තෙමි.)

තව දුර යන්නට මත්තෙන් නිර්මාණකරුවකු ලෙස අශෝක හඳගම ගැන මගේ තක්සේරුව දිය යුතුය සිතමි. මම අශෝකගේ නිර්මාණ තුනකට (‘විදූ’ත් සමඟ ඕනෑ නම් හතරකට) කැමැත්තෙමි. කොයි තරම් විචාරක ප්‍රසාදය දිනා ගත්තද ඉතිරිවායේ නම් ගන්නට දෙයක් නැත. (මේ කෙළින් කතාව අශෝක මා හා අමනාප නොවන බව හොඳින්ම දැනගෙනය. ඔහුගේ දුර්වල නිර්මාණ ඉහළින් තැබීම මිතුරකු ලෙස මවිසින් කළ හැකි ලොකුම වරදකි.)

අශෝකගේ ප්‍රථම ටෙලි නාටකය වූ ‘දුන්හිඳ අද්දර’ විශිෂ්ට ගණයේ සිත්තමකි. එය අපේ රටේ ග්‍රාමීය දරිද්‍රතාවයේ නිවැරදිවූත් නිර්දය වූත් කැඩපතෙකි. කාලයේ හා අවකාශයේ සීමා නොබිඳිමින් අශෝක මෙරට ග්‍රාමීය දරිද්‍රතාවයේ සියළු පැතිකඩ සිනමාත්මකව සිත්තම් කරයි. මනුස්සකම දුප්පත්කමට යටවේ. මිනිස්සු සතුන්ට වඩා සමීප වෙති. මානුෂීය සම්බන්ධතාවයන් කෙටි කාලීන ගනුදෙණු බවට පත්වේ. කොළු ගැටයෙක් මත්පැන් බෝතලයක් වෙනුවෙන් මිනී මරයි. මේ අපේ ග්‍රාමීය දරිද්‍රතාවයේ යථාර්ථයයි. එසේම ඔහු එහිදී භාවිතා කරන ‘තුන්වන ඇහැ’ සිනමා උපක්‍රමයේද යම් අපූර්වත්වයක් ඇත.

සමහර තැන් අදිනවා වැඩි වුණත් ‘තනි තටුවද’ හොඳ නිර්මාණයකි. අනෝමා ජනාදරී ඇතුළු සියළු නළු නිළියන්ගේ රඟපෑම්ද ඉහළ මට්ටමක තිබේ. ගාළු කොටුවේ රමණීය පසුතලය ඇස විඩාපත් නොකරයි. කථා ශරීරයට අනවශ්‍ය අවසාන නිරුවත් ජවනිකාව අත හැරියේ නම් තනි තටුව මේ තාක් නිර්දය විචාරයන්ට බඳුන් නොවන්නට තිබිණි. මේ හැරුණු විට මා අශෝකගේ කැමැති අනෙක් නිර්මාණය “නැගෙනහිර වෙරළින් ඇසෙන” නම් ටෙලි කතාංගයයි. පශ්චාත් ත්සුනාමි අත්දැකීම් ගොණු කොට ගත් මේ කතා මාලාව සමහරවිට ඔහුගේ අව්‍යාජම නිර්මාණය විය හැකිය. එය විචාරකයින්ගේ අවධානයට බඳුන් නොවීම කණගාටුදායකය.

අශෝක මට ‘ලොකු වැඩක්’ භාර දෙන්නට හිතන්නේ මේ අතරය. ඒ මා ඉංගිරිසියෙන් කළ කෙටිකථා කිහිපයක දෙබස් වලට ඔහු කැමැති වන නිසාය. මුලින් මා සිතන්නේ ඔහුට අවශ්‍ය වන්නේ සිංහල සිතුවම්පටයකට මා ලවා ඉංගිරිසි උපසිරැසි ලියවා ගැනීම පමණෙකැයි මම සිතමි. එහෙත් අශෝක කියන්නේ මේ සිතුවම් පටයේ දෙබස්ද බොහොමයක් ඉංගිරිසියෙන්ම වන බවය. මේ නිසා මම නිරායාසයෙන්ම දෙබස් රචකයකු බවට පත්වෙමි.

මේ එවකට නමක් නොතිබුණු පසුව Letter of Fire හෙවත් ‘අක්ෂරය’ ලෙස නම් කරන ලද චිත්‍රපටය සඳහාය. මේ නම් දෙකේම ඖචිත්‍යය පිළිබඳව මට තවමත් බරපතළ ගැටළු ඇත්තේය. ඒ මේ සිතුවම්පටය ගැන මට ඇති ගැටළු වැලක ආරම්භයයි.

‘අක්ෂරය’ අශෝකගේ දුර්වලම නිර්මාණය විය හැකිය සිතමි. එහි ඇත්තේ අනවශ්‍ය ලෙස සංකීර්ණ කරන ලද කථා වස්තුවකි. එක පැත්තෙකින් අශෝකට ඊඩිපස් සංකීර්ණය (Oedipus complex) ගැන කථා කරන්නට ඕනෑ වූ බව පෙනේ. අනෙක් පසින් ඔහු මේ වන විට නවකථා හා සිනමාකරුවන් අටෝ රාසියක් විසින් හම යනතුරුම පට්ටා ගසා ඇති වලව්කරුවන් විසින් සිය සේවකයින් සුරාකෑමේ තේමාවක්ද ඇද ගනී. මේ දෙකම පමණක් වුවත් තනි චිත්‍රපටයකට වැඩිය. අශෝක ඒද මදිවූවාක් සේ ගණිකාවන්ද, කෞතුකාගාරද, එහි මුරකරුවන්ද මේ කතාවට ඈඳයි. ‘අක්ෂරය’ තහනම් වීම එක අතකට හොඳය මම සිතමි. දීප්ති ගුණරත්න කීවාක් මෙන් එය ගෞරවාන්විත මරණයකි. එසේ නොවූයේ නම් එය ඉතාම අසාර්ථක සිතුවම්පටයක් වීමට ඉඩ තිබිණි.

කුඩා දරුවකුගේ නිරුවත් ජවනිකා යොදා ගැනීම සම්බන්ධයෙන් නම් මම අශෝකට මුල සිටම අනතුරු ඇඟවූයෙමි. අපේ සමාජය තම දරුවන් සම්බන්ධයෙන් අති සංවේදීය. අනෙක මේ නිරුවත් ජවනිකා එකක් වත් කථාවට අවශ්‍ය ඒවා නොවේ. නිරුවත් යුවතියක දෙස බලා ලබන වින්දනය ප්‍රේක්ෂකයෝ නිරුවත් දරුවකු දෙස බලා නොබලති. නිරුවත් දරුවකුගේ පින්තූරයක් ඇතුළත් කළ යුතුම නම් ඒ ශෝකී රසයක් උද්දීපනය කිරීම පිණිසය. එවන් ශෝකී රසයක් ඇති කිරීම සිතුවම්පටයේ අරමුණකැයි නොපෙනෙයි. මේ අනවශ්‍ය දර්ශන කිහිපය අශෝක විසින් සිය නිර්මාණය ඕනෑකමින්ම දංගෙඩියට නැංවීමකි.

තිර නාටකය සම්බන්ධව අප දෙදෙනා අතර දැඩි වාද ඇතිවිය. අශෝක සමහර අවස්ථා වලදී මට සවන් දුන්නේය. “Do you want me to be an Einstein?” දෙබස් ඛණ්ඩය ඇතුළු කිරීමට ඔහු මට ඉඩ දුන්නේ දස හැවිරිදි දරුවකු ඇල්බට් අයින්ස්ටයින් ගැන දැන සිටිය හැකිදැයි දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසුවය. මෙවන් සුළු වෙනස් කිරීම් හැරුණු විට මුල් තිර නාටකයෙන් බැහැර වීම ඔහු ඉඳුරා ප්‍රතික්ෂේප කළේය. මම මා අකැමැති කතාවකට දෙබස් කවන රචකයා පමණක් වීමි.

මේ විසංවාද ඇතිව වුවද මම ‘අක්ෂරයට’ යම් නිර්මාණාත්මක දායකත්වයක් සැපැයීමියි සිතමි. එහෙත් ඒ පිළිබඳව සතුටු විය නොහැක්කේ සමස්තයක් ලෙස මේ සිතුවම්පටයට මා අකැමැති හෙයිනි. මේ අකැමැත්තට හේතුව අපේ රටේ කුහක සදාචාරවාදීන් විසින් එය තහනම් කිරීමට හේතු වූ කාරණා වලින් වෙනස්ය.

අක්ෂරය යෝධ තිරයක තිරගත වූයේ වරක් පමණක් වන්නට ඇත. ඒ මංගල දර්ශනය සඳහා සහභාගි වූ පිරිස සියයකට නොවැඩිය. මේ සාමාන්‍ය මංගල දර්ශනයකින් වෙනස් වූවකි. මංගල දර්ශන වලට පොදු වූ උද්‍යොගයක් සිතුවම් පටය අවසානයේදී දකින්නට නොලැබිණි. ප්‍රේක්ෂකයින් සියල්ලන්ගෙන්ම වාගේ පළවූයේ අපේක්ෂාභංගත්වයේ ලකුණුය. මට පසුපස පේළියේ හිඳගෙන සිටි, එහි ප්‍රධාන නලුවා වූ, රවීන්ද්‍ර රන්දෙනිය සිතුවම් පටය අවසාන වීමටත් මත්තෙන් බිරිඳ ප්‍රීති රන්දෙනිය විසින් බලෙන්ම වාගේ එළියට ඇදෙගෙන යනු මම දිටිමි. “රවීන්ද්‍ර දරුවන්ටත් මටත් කන්න අඳින්න දෙන්නේ මේ වගේ ජරා චිත්‍රපටි වල රඟපාලා දැයි මට ලොකු කණගාටුවක් ඇති වුණා” යි ඇය පසුව ලංකාදීපයට කියා තිබුණේය.

අක්ෂරය පිළිබඳ කථාන්තරයේ ඉතිරිය නොරහසක් වන හෙයින් ඒ ගැන කතා කිරීමට වචන නාස්ති කළ යුතු නැත. එවක අග්‍ර විනිශ්චයකාර සරත් සිල්වා මා විසින් භාවිතා කළ සමහර වචන දැඩි ලෙස විවේචනට බඳුන් කළද අශෝක මට උසාවි ගණනේ රස්තියාදුවීමට ඉඩ නොසැලසූ බව කෘතඥතාපුර්වකව සඳහන් කරමි. මේ කවර හෝ සිනමා කෘතියකට මගේ පළමු හා අවසාන ඍජු දායකත්වයයි. සිනමාව මගේ මාධ්‍යය නොවේ. සිනමා ක්ෂේත්‍රයට පැනීමට තරම් ගායක් මට කවදාවත්ම නොවීය.

අශෝකගේ ඊළඟ නිර්මාණය සඳහා මගේ දායකත්වය ඍජු නොවූවද තීරණාත්මකය. අක්ෂරය වාරණය වීමෙන් පසු උකටලීව හිඳිනා අශෝක නැවත වෙනස් ආකාරයක නිර්මාණයකට අත ගහන්නේ මා ලියූ Generation Y of rural Lanka  නම් කෙටි ලිපිය කියැවීමෙනි.

From: ahandagama
Date: Mon, May 12, 2008 at 4:08 PM
Subject: Re: Genetartion Y of rural Lanka
To: Chanuka Wattegama

Dear Chanuka,

I got an invitation from an investor who would like to invest on a film directed by me for children. Initially I was not very enthusiastic about the idea, but after reading your generation Y of rural Sri Lanka, i thought of doing something inspiring for children.

I have an idea for a story line. A young boy (at the age of 10 may be) , whose mother can not afford to send him to school, gives up the idea of schooling after several attempts in vain. He being a beach boy, has the advantage of fairly good knowledge of (spoken) English, and that is his only wealth. I want to develop a story on how he can come out of the misery, by investing his only wealth ( i.e English) in a profitable venture.

(I , met a street boy in Delhi, who earns money by helping three wheeler drivers to guide tourists. He speaks good english and when I asked him from where he learnt English, he said “From the street”. Migrated from Rajasthan to Delhi, I am sure he will suceed his life).

Can we jointly develop a script ?.

Asoka

මම විදූ සිතුවම් පටයට දායක නොවීමි. විදූ ළමා හා යොවුන් සිනමාපට ධාරාවෙහි නව මානයක් ඇති කිරීම ගැන මම සතුටු වෙමි. එහෙත් ඉන් අදහස් වන්නෙ මා ඊට කොන්දේසි විරහිතව කැමැති බව නොවේ.

(අශෝකට මම සිතුවම්පටයක් පිණිස එක් ළමා කතාවක් ලියා ඇත්තෙමි. එහෙත් මගේ කාර්ය බහුලත්වය නිසා එය සිනොප්සිස් එකෙන් එපිටට නොගියේය. තිර නාටකය ලියා දෙන ලෙස කිහිප වරක් මට මතක් කළ අශෝක වැඩේ නොකෙරෙන බව අවබෝධ කරගෙන නිහඬ විය. මේ සිතුවම් පටයක් නොවූ කතාව ගැන වෙනම බ්ලොග් සටහනක් පසුව තැබීමට අදහස් කරමි.)

Advertisements

15 responses to “3. අශෝක හඳගම, අක්ෂරය හා විදූ

  1. Donald Gaminitillake

    there is a better script in Sri lanka, if you go to urugamuwa, arankahadeniya area. (off dickwella – pass Waurukannala) how difficult for children to study. If you prepare to visit I can give you contacts. Do a local one.

    Donald Gaminitillake
    Lets us change the standard

  2. තාමත් චිත්‍රපටියක කොල්ලට ඉන්න බැරිකමක් නෑ නේද?

    විජයලා, ගාමිණී ලා හිටියේ පනහ පැනලත්!

    ෂාරුක් පවා චානුක ගේ වයසේ නේ?

  3. මං අද උදේ මූණුපොතට එබුනාම අද ඔබේ උපන් දිනය බවට දැන්වීමක් තිබුනා.
    ඔබට උපන් දිනයට සුබ පතන්නයි ප්‍රෝෆයිල් එකට ගියේ. (ඔබේ නමෙත් මොකක්දෝ අපූරු සමීප බවක් තිබුනා. දන්නා හඳුනන නමක්. ඒත් තවම මගේ මීටරයට වැටුනේ නෑ) ඔබට වෝල් එකක් නෑ. පස්සේ මං පනිවිඩයකින් සුබ පැතුම යවලා ඔබ අසෝක ගැන ලියපු උක්ත ලිපිය බැලුවා.

    හරිම සතුටුයි. ඔබත් මං හිතපු ආකාරයට, හිතන ආකාරයට අශෝක ගේ චිත්‍රපට විඳලා තියෙනවා. එහෙමනම් අනෙක් චිත්‍රපට ගැනත් එහෙම හිතන, හිතෙන කෙනෙක්. ඒ නිසා හඳුනාගැනීම (මූණුපොතේ මෙතෙක් දිනක් ඇඩ් වී හිටියත්) සතුටක්. විශේෂයෙන්ම ඔබ හිතට එකඟව ලියූ ලිපියක් තුළින්.

    අශෝක මගේ යාළුවෙක් නම් නොවේ. නමුත් හොඳට අපි දෙන්නා දන්නවා දෙන්නා ගැනම. විටින් විට හමුවෙලත් තියෙනවා. මං සිනමාවටත් රූපවාහිනියටත්, කෙටිකතාවටත්, පත්තරවලටත් එවකට ළංවෙලා හිටියා. ”දිවයිනට” ටිකක් සම්බන්ධයි. දයාසේන ගුණසිංහ මහතා නම් හොඳින් දන්නවා. එතුමා තමයි මගේ ”සිටුකුලයේ ප්‍රේමයක් ” කෙටිකතා පොතට දීර්ඝ පෙරවදනක් ලියා දුන්නෙත්. පස්සේ ජීවිතයේ විවිධ පෙරළිත් එක්ක, ආධුනික රූපවාහිනී නිර්මාණ කීපයක් කළ කෙනෙක්.
    මගේ පළමු චිත්‍රපටය හා මගේම කියන්න පුළුවන් හොඳ ටෙලිනාට්‍යයක් කරන්න (Leonard Woolf රචිත නවකතාව The Village in the Jungle ඇසුරින් ”බබුන් හා පුංචි මැණිකා” – බැද්දෙගම නොවේ. ) මං උත්සාහගන්නවා තවමත්. දැන් ලියමින් යනවා එහි තිර රචනය අමාරුවෙන්. කොටස් 50ක් ලියන්න ඕනේ.

    අප දෙන්නට අදහස් හුවමාරුව මෙන්ම කිසියම් නිර්මාණශීලී දායකත්වයක් බෙදාගනිමින් එකිනෙකාට සහය දක්වන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අඩුම වශයෙන් අප දෙන්නට හොඳ සහෘදයො දෙන්නෙක් විදියට කතාබහ කරන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. කැමතිනම් මගේ ඊමේල් එකට ලියන්න. මගේ සිංහල බ්ලොග් දෙකත් බලන්න වෙලාව තිබුනොත්.

    මං දැන් ඉන්නේ බෲනායි දේශයේ. මගේ බිරිඳ මෙහි රෝහලක වැඩ කරනවා ඖෂධවේදිනියක් ලෙස. මං රැකියාවක් කරන්නේ නෑ දැන්. නවාතැනේ ඉඳගෙන රූපවාහිනී පිටපත ලියනවා. ඒක ලියාගෙන ඉක්මණින් ලංකාවට ඇවිත් නිර්මාණය කරන්න තමයි හිතාගෙන ඉන්නේ. විනෝදෙට මුහුණුපොතට එබෙනවා. හැකිනම්, කැමතිනම් මාව ඔබේ skype එකට ඇතුල්කරගන්නවාද ? මගේ skype ID එක wisura2 …. ඔබටත් විවේකයක් ඇත්නම්, මට නම් කතා කරන එක ලේසියි අකුරු කොට කොටා ඉන්නවාට වඩා. ඒකයි එහෙම ලිව්වේ.

    එහෙම නොවී, සමීප යහළුවෙක් නොවුනත් මගේ අමණාපයක් නැහැ. අර ඉහතින් අශෝක ගැන හා ඔහුගේ චිත්‍රපට ගැන ලියා තිබුනු අව්‍යාජ අදහස් හා විවේචනය මං ඉතාම ඉහළින් අගය කරනවා.

    ඔබට අද දවසේ පමණක් නොව සැම දවසකම සතුට, සැනසුම උදාවේවා.

    • ඔබේ දීර්ඝ කමෙන්ටුවට ස්තූතියි. අප හමුව තියෙනවා මීට බොහෝ කාලයකට පෙර ඔබ ගුණසිංහ මහත්තයා හමුවීමට ආ අවස්ථාවකදී.ඔබට මා මතක නැතුව ඇති. එතකොට මගේ වයස අවුරුදු විස්සකට වැඩි නෑ. Skype වලට එකතු කර ගන්නම්.

  4. වටින ලිපියක්. දිගටම ලියන්න.

  5. අක්ෂරය :චිත්‍ර පටයේ අසාර්ථකත්වයට හේතුව නිදහස් මනසින් මිදී බාහිර බලපෑම් මත (ඇතැම් විට මුදලට ) මනෝ විකාර එයට ඇතුළු කිරීමට දරන උත්සහයයි.දුර්ක්‍රියා සමාජගත කිරීමට දරණ ලද මන්ද මානසික උත්සාහයකි.මායිම් ගම්මාන වල කර්කශ සුළගේ ගැහැණුන්ගේ හෙළුවැල්ල තේමාව ලෙස ගැනීම මොහුගේ නිදහස් මනසින් මිදීමක්‌ හෝ එය විකෘති වීමක් ලෙස දැකිය හැක .ඔබ සදහන් කරන ලද කවුතුකාගාරය ඉදිරිපස නිරුවත් කාන්තා රුව, ගණිකාවන් ,නින්දිත නිරුවත් ළමයි මෙය තහවුරු කරයි . . .

  6. හඳගමගේ උඩ කියපු ටිකනම් මටත් ඔළුවට වැටුන කරුණක්. විදූ ගැන නම් මට කිසිම ප්‍රසාදයක් නෑ. මම ඒක දකින විදිහ සරලවම කියනවානම් කියන්න තියෙන්නේ හඳගම සෝමරත්න වෙන්න ගිහින් ඇණගත්තු චිත්‍රපටියක් විදිහට. හිතනවා මේක ද්වේශසහගත ප්‍රකාශයක් විදිහට නැතුව Feed back එකක් විදිහට බාරගනී කියලා. තනිතටුව මම බලනකොට මම ඉස්කෝලෙ යනවා. තනියම ගියේ වැලක් බලන්න කියලා හිතාගෙන. ඒ කාලේ ඩබල් බලන මේනියාවනේ තිබුනේ. හැබැයි මට එදත් පසු කාලීනවත් නොතේරුන කාරණය ඇයි අනෝමා ජිනාදරීගේ නිරුවත් දර්ශනය දැම්මේ කියලා. දුන්හිඳ අද්දර බලන කොටත් මම සෑහෙන පොඩියි. හැබැයි මේ පාරෙන් එන්න නම් මම බැළුවා. හැම තැනම හඳගම හිටියා. හැබැයි විදූගේ හඳගම හොයාගන්නවත් නෑ. කොටින්ම මම විදූගේ ඇතුලේ දැන්නේ සෝමරත්න බාලසූරිය මිසක් හඳගම නෙමෙයි. සමහර විට ජගත් විජේනායකට සන්නස්ගලගේ සමාජ ලකුණු කිරීමට වඩා වෙනස් ලකුණු කිරීමක් තිබුන නිසාත් වෙන්න පුළුවන්. හිතට ආපු ටික ලියලා දැම්මා නොගැලපීම් skip කරලා වැදගත් දෙයක් තියේනම් සංවාදයක යෙදෙමු…

  7. චහ්… විදූ මිස් වුණානේ… 😦

  8. විදූ නරඹා නොමැත්තෙමි. අක්ෂරය නරඹා ඇත්තෙමි.
    අක්ෂරයට බොහෝ දෙනා දොස් කීව ද, ඉහල පැලැන්තියේ නොව ශ්‍රී ලංකාවේ ඉතා දුෂ්කර ගම්බද ප්‍රෙද්ශ වල සිදු වන සිදුවීම් දකින අසන අයෙකු විදිහට, එවැනි කතන්දර නැතැයි බැහැර කරන්න බැහැ ….

  9. [said]
    එසේම ඔහු එහිදී භාවිතා කරන ‘තුන්වන ඇහැ’ සිනමා උපක්‍රමයේද යම් අපූර්වත්වයක් ඇත.
    [/said]

    මේ කියන සිනමා උපක්‍රමය කුමක්ද යන්න කෙටියෙන් විස්තර කළා නම් හෝ ඒ සඳහා සබැඳියක් දුන්නා නං හොඳයි. “third eye +cinema +movies” ලෙස ගූගල් දෙයියාගෙං ඇසුවද පිළිතුරක් නැත.

    • @budhajeewa,

      ‘දුන්හිඳ අද්දර’ නැරැඹූ අයට මතක ඇති හැම කතාංගයකම එන, කතාවට කිසිම සම්බන්ධයක් නැති චරිතය. මේ චරිතය කරන්නේ හැමදාම කවුරුන් හෝ වෙනත් චරිතයක් අල්ලාගෙන හරස් ප්‍රශ්න ඇසීම. මෙහෙම.

      “ඒයි උඹ බොරු නේද කිව්වෙ ඒ මිනිහට?”
      “ඇයි උඹ ඒ මිනිහට බොරු කිව්වෙ?”
      “ඇයි උඹ මිනිස්සු රවට්ටන්නෙ?”

      මීට දෙන උත්තර තුළින් කථාවේ චරිත වල අභ්‍යන්තරය (ප්‍රේක්ෂකයාට රංගනය තුළ නොඇසෙන ඔවුන්ගේ සිතිවිලි ) හෙළිවනවා. නිර්මාණය දකින ‘තුන් වන ඇහැ’ ලෙස අශෝක මේ ක්‍රමය නම් කළේ එනිසායි.

  10. ashoka’s first teledrama is “PRABHATHAYA” not dunhinda addara!

  11. Chanuka
    මම විදූ සිතුවම් පටයට දායක නොවීමි.
    But I thought you handled the Facebook promotion of Vidu along with a friend of yours ?

  12. @Pissu Poosa,

    A contribution to a movie means your name appears in the list of acknowledgements. A creative contribution is different from playing a small part in marketing.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s