4. ජෙය් හින්ද්! : “ප්‍රාග් ඓතිහාසික” භාරතයට ඇතුළු වීමි.

අගෝස්තු 29, 1989
ගුවන් තොට, බැංගලෝරය

මළ හිරු ඈත තල් ගස් අතර සැඟැවෙන්නට ආසන්නය. ඉන් පෙර මිනිත්තු කිහිපයකට මලානික සූර්ය රශ්මිය විසින් සමස්ත පරිසරයම තඹවන් සිතුවමක් බවට පත්කොට ඇත්තේය. පසු උර මල්ලක් ලා ගත් විසි දෙහැවිරිදි කෙසඟ යොවුනෙක් ශ්වේත හා කසා වර්ණ Indian Airlines ගුවන් යානය දෙසට පිය මනී. දැඩි සුළඟින් අවුල් වන කෙහෙරැළි ඔහු වරින් වර අතින් සකසා ගනී. මේ ඔහු එතෙක් පතපොතින් පමණක් කියවා තිබුණු, කුඩා කල මිත්තණිය ගෙන් අසා තිබුණු බුදුන් උපන් රටට පා තැබූ මුල් දවසය. භාරතය පිළිබඳව කවදා හෝ තම අතින් ලියැවෙන පොතක පෙරවදන මේ තඹවන් සිත්තමින් ආරම්භ කළ යුතු යැයි ඔහු කල්පනා කරයි.

මේ සිහින සිතුවමක් බඳු වත්මන් බෙන්ගලූරු ගුවන්තොට නොවේ. දුම්රියපොළකට වඩා ලොකු නැති පරණ ගොඩනැඟිල්ලකි. මඟීන් පර්යන්ත ගොඩනැඟිල්ලෙහි සිට ගුවන් යානය දක්වා ගෙනයන බසයක් හෝ එහි නොවේ. වැසිකිළි අපිරිසිදුය. බිත්තිවල නොසේදූ බුලත් කෙළය. පුටු මඳ හෙයින් මඟීහු බිම ඈඳිගෙන හෝ සමහර විට නිදාගෙන සිටිති. විනාඩි පහ දහයකට සැරයක් කුපිත වූ මඟියකු හා කාර්ය මණ්ඩලය අතර ආරෝවකි. ගුවන් යානය අභ්‍යන්තරය දුම්රියක සේ අපිරිසිදුය. හින්දියෙන් පමණක් දොඩන ගුවන් සේවිකාවෝ රෝස පැහැ කුඩා තැටියකට වඩේ දෙකක් හා ඉට්ලියක් දෙති.

අද ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත්ව ඇති මැංගලෝර් ගුවන් තොට එදා තට්ටු දෙකක ගෙදරකට පොඩ්ඩක් ලොකුය. (නවක පාඨකයින් විසින් බැංගලෝර් Bangalore හා මැංගලෝර් Mangalore පටලවා නොගත යුතුය. මේ නගර දෙකකි. බැංගලෝර් කර්ණාටකයෙහි අගනුවරයි. මා අධ්‍යාපනය ලැබුවේ එහි දෙවන ප්‍රධාන නගරය වූ මැංගලෝරයෙහිය. මේ නගර දෙක අතර දුර බස් එකෙන් හෝ දුම්රියෙන් පැය දොළහකි. ඉන්දියාවේ දුර කියන්නේ කිලෝ මීටර් වලින් නොව පැය වලිනි.) මේ ගෙදර අරින්නේ සතියකට දෙවතාවකි. බැංගලෝරයේ ගුවන් යානයක් එන්නේ සතියේ අඟහරුවාදා හා සිකුරාදා පමණක් නිසාය. මහ වන මැද සිට අපි ඇම්බැසඩර් ටැක්සියකින් කිලෝ මීටර් හතළිහක් එපිට නගරය බලා ගමන් කරමු.

මේ 1989දී මා පිළිගන්නට සැරසී සිටි “ප්‍රාග් ඓතිහාසික” ඉන්දියාවය.

“පුංචි කොදෙව්වක ඉගෙන ගන්නවට වැඩිය විශාල මහාද්වීපෙක උප ඉගෙන ගන්න එක ගොඩාක් හොඳයි”

මා ඉන්දියානු විශ්ව විද්‍යාලයකට තේරී ඇති බැව් කියූ විට කීවේ අතුල අයියා (වික්ටර් අයිවන්) ය.

“So, what do you think of India?” සරසවියේදී මගේ මිතුරෝ අසති.

“Its like going 10-20 years back to history. Sri Lanka too was like this in early seventies.” මම පිළිවදන් දෙමි.

පරින්දා - 1989 හින්දි සිනමාව

1989 ඉන්දියාවත් අද ඉන්දියාවත් අතර ඇත්තේ සමානකම් කීපයක් පමණෙකි. Illustrated Weekly of India සඟරාව එකල කවරයේ කතාවක ඉන්දියාව නම් කරන්නේ ‘Nation of the Losers’ හැටියටය. මේ පරාජය වූ දේශයට අපේ යැයි උදම් අනන්නට ඇත්තේ අතළොස්සක් දේවල් පමණෙකි. බොලිවුඩ් සිනමාව ඉන් එකකි. ශාරුක් ඛාන්ගේ මෙගාගමනයට තව කල් ඇතද, 1989 බොලිවුඩ් සිනමාව අව තක්සේරු කළ යුතු නැත. 1989දී ඉන්දියාවේ නම තැබූ හින්දි සිතුවම් පට දෙකක් වූයේ ජැකී ශෙරොෆ්, අනිල් කපූර්, නානා පටෙකර් හා මධුරි දික්සිත් රඟපෑ ‘පරින්දා’ (The Bird) හා සල්මන් ඛාන්-භාග්‍යා ශ්‍රීගේ ‘මේනේ ප්යාර් කියා’ (I Fell in Love) ය.

අද භාරතයේ ඕනෑම ප්‍රධාන නගරයකදී රූපවාහිනී චැනල සියයකට අධික සංඛ්‍යාවක් නැරැඹිය හැකිය. 1989දී භාරතයට වූයේ එකම එක රූපවාහිනී චැනලයකි. ඒ ආණ්ඩුවේ ඍජු පාලනය යටතේ වූ ‘දූර්දර්ශන්’ය. දූර්දර්ශන් විසින් ‘මහා භාරත්’ වීර කාව්‍යය ප්‍රචාරය පටන් ගන්නේ මේ යුගයේදීය. ඉරිදා උදෑසන මුළු රටම රුපවාහිනී යන්ත්‍ර ඉදිරියට රොක්වෙති. පාරවල් හිස් වේ. කැබිනට් රැස්වීමක් පවා පවත්වා ගත නොහැකි තැනකට රට පත් වේ.

කර්ණාටක ජාතික තාක්ෂණ ආයතනය - අද

මේ කතන්දරය ඉදිරියට ගෙන යන්නට සිව් වසක් තිස්සේ මා සිප් සතර හැදෑරූ National Institute of Technology – Karnataka (එවකට Karnataka Regional Engineering College) ‘විද්‍යාලය’ ගැන කෙටි පූර්විකාවක් අත්‍යාවශ්‍යය. (පසුව දීර්ඝ වශයෙන් ලියන්නට බලාපොරොත්තු වෙමි.)

ඉන්දියාවේ තාක්ෂණ අධ්‍යාපනයේ ඉහළම ස්ථරය ඉන්දියානු තාක්ෂණ ආයතන (Indian Institutes of Technology හෙවත් IIT) ය. 1989 දී සමස්ත ඉන්දියාවටම IIT වූයේ පහක් පමණක් වූ අතර ප්‍රවේශය අති තරගකාරීය. දෙවන ස්ථරය අද ජාතික තාක්ෂණ ආයතන (National Institutes of Technology හෙවත් NITs) ලෙසින්ද එදා කලාපීය ඉංජිනේරු විද්‍යාල (Regional Engineering Colleges හෙවත් RECs) නමින්ද හැඳින්වුණු ආයතන පහළොවයි. මින් දෙවැන්න වූ අපේ විද්‍යාලය සමන්විත වූයේ අක්කර සිය දහස් ගණනෙක මුඩු බිමෙක කෙළවරකට වන්නට වූ ගොඩනැඟිලි සංකීර්ණයකිනි. විද්‍යාලයයේ බටහිර මායිම ඉන්දියානු සාගරයයි. අපට අපේම කියා කිලෝ මීටර් දෙක තුනක වෙරළ තීරයක් තිබුණේය.

කර්ණාටක ජාතික තාක්ෂණ ආයතනය සුන්දර වෙරළ තීරයක් හිමි එවන් එකම ආයතනයයි.

REC එකකට සිසුන් ගැනීමේ නිශ්චිත ක්‍රමවේදයක් විය. ඉඩෙන් 50%ක් වෙන්වූයේ විද්‍යාලය පිහිටි ප්‍රාන්තයේ සිසුන් සඳහාය. ඉතිරි 50% ඉන්දියාවේ අනෙකුත් ප්‍රාන්ත අතර ඒවායේ ජන අනුපාතයට බෙදාදෙනු ලැබේ. (විදේශීය සිසුන් 15ක් හැරුණු විට) උත්තර ප්‍රදේශය, මධ්‍ය ප්‍රදේශය වැනි විශාල ප්‍රාන්තවලට මේ නිසා වැඩි අවස්ථා හිමිවූ නමුත්, ගෝව, අන්දමන් දූපත් වැනි කුඩා ප්‍රාන්ත හා ප්‍රාන්ත රාජ්‍ය වලින්ද වසරකට අඩු තරමින් සිසුහු දෙදෙනෙක් වත් ඇතුළු වූහ. මේ ක්‍රමවේදය නිසා විද්‍යාලය අනිවාර්යයෙන්ම නිවාසී අධ්‍යාපන ආයතනයක් (Residential Campus) විය. සිසුන්ගේ නේවාසිකාගාර සේම ආචාර්යවරුන්ගේ නිල නිවාසද වූයේ විද්‍යාල පරිශ්‍රය තුළමයි.

මගේ ආචාර්යවරුන් බොහොමයක් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම බහුශ්‍රැතයෝද, ඉගැන්වීමට අවංකවම කැපැවූ ගුරුවරුද වූහ. ඔවුන්ගේ ඥාන සම්භාරය ගැන කතා කිරීම පසෙක ලා වෙනත් නිරීක්ෂණයක් කිරීමට මේ අවස්ථාවය.

ඒ මේ සියළු දෙනාම ඉතාම සරල මිනිසුන් වූ බවය.

මීට එක හේතුවක් 1991-92 ඉන්දීය ආර්ථික ලිබරලීකරණයට පෙර “ප්‍රාග්-ඓතිහාසික” ඉන්දියාව තුළ ඔඩු දුවා තිබුණු දුප්පත්කමයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුද රටේ අනෙකුත් බොහෝදෙනකු සේ දිළින්දෝ වූහ.

එවක ඉහළම මට්ටමේ ජ්‍යෙෂ්ට මහාචාර්යවරයකුගේ පවා මාසික වැටුප ඉන්දීය රුපියල් (INR) 8,000 කි. ලංකා රුපියල් වලින් (LKR) විසිදහසකට සමානය. ආචාර්ය උපාධියක් සහිත ජ්‍යෙෂ්ට දේශකයකු INR 6000-6,500 අතර මුදලක් සෙවූ අතර විශ්වවිද්‍යාල අචාර්ය මණ්ඩලයේ ආරම්භක වැටුප INR 4,000ක් පමණ විය. සහායක දේශකයින් බඳවා ගන්නා ලද්දේ INR 2,500ක වැටුපකටය. මේ අඩු වැටුප් රටාව විසින් සමස්ත ඉන්දියාවේම පාරිභෝගික රුචිකත්වයන් පාලනය කොට තිබුණේය.

ලංකාව මෙන් තුන් ගුණයක් ලොකු කර්ණාටක ප්‍රාන්තයේ ඉහළම ඉංජිනේරු විද්‍යාලය වුවද අපේ ආචාර්යවරුන් අතුරින් මෝටර් රථයක් තිබුණේ අතළොස්සකටය. මරුති එකක් තිබීම විශේෂ සමාජ තත්ත්වයක් සේ සලකන ලද්දේය. (එදා අද මෙන් මරුති බහුල නොවූ අතර තිබුණේද එක මොඩලයක් පමණෙකි.) වැඩිපුර වූයේ මේ සම්ම ජාතියේ මොඩ්ල් එක වෙනස් නොවූ ඇම්බැසඩර් කාර්ය. වඳුරකුට සමාන මුහුණකින් යුතු නිසා ‘හනුමන්’ ලෙස විකට නාමකරණය කරනු ලැබූ මහාචාර්ය පර්ශුරාම් සතුව සුදුපාට ඇම්බැසඩරයක් තිබුණු අතර එය අතිශය උචිත ලෙස ‘moving cage’ ලෙස හඳුන්වන ලද්දේය.

ආර්ථික ලිබරලීකරණයකට පෙර ඉන්දියානුවන්ගේ හැසිරීම සමහර විට විසුළු සහගතය. මහාචාර්ය ෆකෘද්දින් සරසවියට ආයේ එහිම සිසුවකු වූ තම පුත්‍රයා විසින් පැදවූ මෝපෙඩි එකේ ලගේජ් එකේ හිඳගෙනය. මෝටර් රථයක් ගැනීමේ නිබඳ ආසාවෙන් පෙළුණු අපේ දෙපාර්තමේන්තුවේ ආචාර්යවරු තිදෙනෙක්, තනියම එකක් ගන්නට තරම් ආර්ථික තත්ත්වය යහපත් නොවූ හෙයින් ‘තුන්දෙනාම සල්ලි දමා’ ඇම්බැසඩර් එකක් මිළට ගත්තෝය. මාරුවෙන් මරුවට තිදෙනා විසින් සහයෝගයෙන් මේ වාහනය පාවිච්චි කළෝය. මගේ තවත් දෙමළ ආචාර්යවරයකු හැම නිවාඩුවකටම පෙර මට ලැයිස්තුවක් දෙයි. ඒ එරට නැති මැලේසියන් බාම්, විදේශීය බිස්කට්, පෑන් වැනි සිල්ලර දේ කිහිපයක් ගෙන ඒම පිණිසය. කොයිතරම් පරෙස්සම් කළත් නැවත ඒමේදී ඉන්දියානු රේගු නිලධරයෝ මින් කිහිපයකට විදිති. රේනෝල්ඩ් පෑනක් පවා ඔවුන්ට එකල මහාර්ඝ වස්තුවකි.

(මේ මගේ පෞද්ගලික අත්දැකීමයි. මීට වඩා විස්තර සොයන්නෝ Gurcharan Das ගේ India Unbound කියවත්වා!)

No one ever gave me directions like this on a golf course before: “Aim at either Microsoft or IBM”

මේ Thomas Friedman තම The World Is Flat ග්‍රන්ථයෙහි පශ්චාත් සහස්‍රක බැංගලෝරය ප්‍රතිනිර්මාණය කරන අයුරුයි. ප්‍රාග්-ලිබරලීකරණ බැංගලෝරය හාත්පසින් වෙනස්ය. එහි IBM හෝ මයික්‍රොසොෆ්ට් තියා හොඳ හෝටලයක් වත් නැත. මැංගලෝරයේ සිට බටහිර ගාට්ස් කඳු වැටිය හරහා බසයෙන් බැංගලෝරයට යද්දී හිමිදිරි පාන්දර හිස් ඉඩම් වල සිය ගණනින් පෙළට වාඩි වී ශරීර කෘත්‍යයෙහි නියැළෙන මිනිසුන් ගැහැණුන් හා ළමුන් දැක ගත හැකිය. සමාජය ආර්. කේ. ලක්ශ්මන්ගේ කාටූනයක් වැන්න. පොඩි මිනිහා දරිද්‍රතාවයේ පත්ලෙහිය. නීටලා (දේශපාලකයෝ) හා බාබුලා (පරිපාලකයෝ) මේ මිනිසාගේ කර උඩ නැඟගෙන නීටා-බාබු රාජ්‍යයක් (Neta-Babu Raj) නිර්මාණය කරති. සන්තෝසමක් අතමිට මෙළවීමකින් තොරව කරගත හැකි කිසිම කාර්යයක් නොවන්නාක් සේම මිළට ගත නොහැකි දෙයක්ද නැත. (මගේ දෙමළ ජ්‍යෙෂ්ඨයන් සියළු දෙනාම පාහේ හොර පාරෙන් ගොස් ඉන්දියානු ගමන් බලපත්‍ර ලබා ගෙන සිටියහ. ඔවුන් ඉන්දියානුවන් සේ ඇමෙරිකාවට හා කැනඩාවට ගියේ මේ බලපත්‍ර වලිනි.) “මල්හෝත්‍රා සහීබ් කා චිට්ඨි හෛ” මේ යුගයේ වැඩිපුරම භාවිතා වන කියමනක් බවට පත්වී තිබිණි. රස්සාවක් ලබා ගැනීමට සේම ආණ්ඩුවේ කන්තෝරුවකින් වැඩක් කරවා ගැනීමටද මේ “මල්හෝත්‍රා මහත්තයාගේ ලියුම” අවශ්‍ය විය. පහත පෙනෙන පරිදි එය ඉතා කෙටි ලියුමකි. (මල්හෝත්‍රා මහත්තයා ගොඩක් වැඩ ඇති කෙනකු වූ නිසා දිග ලියුම් ලියන්නට වෙලාවක් නැතිවුණා වන්නට පිළිවන.) ඒ මෙසේය.

I promise to pay the bearer the sum of XXX rupees.

R.N. Malhotra,
Governor,
Reserve Bank of India

1991දී මහා පුරුෂයෝ තිදෙනෙක් මා දන්නා මේ ඉන්දියාව වෙනස් කළෝය. තවත් දහස් ගණනකගේ නම් සඳහන් විය යුතු වුවද මේ තිදෙනා අවශ්‍යයෙන්ම කැපී පෙනේ. පළමුවැන්නා හිටපු අගැමැති නරසිංහම් රාඕය. දෙවැන්නා වත්මන් ඉන්දීය අගැමැති, එවක මුදල් ඇමැති ආචාර්ය මන්මෝහන් සිං ය. තෙවැන්නා වත්මන් ස්වදේශ කටයුතු අමාත්‍ය පී. චිදම්බරම්ය. මේ වෙනස් කිරීමේ කතාවද ගුරුචර්න් දාස් විසින් රමණීය ලෙස ලේඛන ගත කොට තිබේ. මේ වෙනස මම එය සිදුවන අවස්ථාවේ එමැද සිට ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කොට ඇත්තෙමි. පැරැණි ජරපත් ඉන්දියාව මැරී වැටී අප අද නව ඉන්දියාව සේ හඳුන්වනු ලබන දේශය ගොඩ නැඟෙන්න්නේ මගේ ඇස් අබිමුවෙහිය.

අද මම වසරකට දෙකකට වරක් බැංගලෝරයට යන්නේ වෘත්තීය කටයුතු පිණිසය. බොහෝ විට මම වැඩිපුර දවසක් දෙකක් චිර්පි (චිරදීප්) හා සෞම්‍යා සමඟ නතර වෙමි. චිර්පි අළුතින් සදූ නිවෙස ඇත්තේ බෙන්ගලූරු ගුවන්තොටට කිලෝමීටර් හතරක් දුරිනි. එනිසා ඔහුම බොහෝ විට මා ඇරලවයි. එවන් අවස්ථාවක ඔහු අනිවාර්යයෙන්ම අසන ප්‍රශ්නයක් ඇත.

“So Chan, how you find Bangalore this time?”

“Hmmm… Impressive. I wish we can bring Colombo to this level by another 10-20 years.” මම පිළිවදන් දෙමි.

Advertisements

19 responses to “4. ජෙය් හින්ද්! : “ප්‍රාග් ඓතිහාසික” භාරතයට ඇතුළු වීමි.

  1. Chan, This changed many of my beliefs about India so far. Learned something importnat within this 15minutes too.
    Thanks very much!

  2. ඇත්තටම ආසයි. ඒක ලිවීමේ හැකියාවද ඉන්දියාවට තියෙන කැමැත්තද කියලා කමෙන්ටුව දාන වෙලාව වෙනකොට මට හිතාගන්න බෑ.. අම්මා මාව කියුබාවේ වෛද්‍ය විද්‍යාලයකට යවන්න දත කනකොට මම නේපාලෙට ගිහින් එන්න ආසාවේ හිටියේ. දැනුත් ඒක මගේ ඇඟ ඇතුලේ තියෙනවා. ඒ කුසිනාරාව බලන්න නෙමෙයි. සමහර විට මම නේපාලය කියන නමට ආස නිසා වෙන්න පුළුවන්. ප්‍රාග් ඓතිහාසික කියන වචනයෙන්ම ඉන්දියා ඒ කාලේ හිටියේ කොතැනද කියන එක මට නම් හිතාගන්න පුළුවන්. දැන් සිනමාවත් දියුණු වෙලා. මම පොඩි කාලේ මල්හෝත්‍රා, සක්සේනා පවුල් දෙකේ ආදර තරුණයෙක්ගේ තරුණියක්ගේ ආදරයට වඩා එහා ගිය දෙයක් අද ඉන්දියාවේ චිත්‍රපටිවල තියෙනවා. (සමාව, මම ඉන්දියාව දැකලා තියෙන්නේ චිත්‍රපටවලින් විතරයිනේ). බලලා යන්න හිතුනේ නැති නිසා හිතට ආපු දේ ලියලා ගියා….

  3. මාරයි සහෝ හරිම ලස්සන ලිපිය …මාත් ආගන්තුකය වගේම චිත්‍රපටියකින්, රූපවාහිනියෙන් , අන්තර්ජාලයෙන් මිසක් ඉන්දියාව දැකලා නැ . ඒත් මමත් බොහොම ආස කරන රටක් . අද ඉන්දියාව ඉන්න තැන බැලුවාම මීට අවුරුදු 20 කට කලින් මෙහෙම තිබුනාද කියල හිතා ගන්නත් බැ , (ඔබ කිව්ව ගුවන් තොටුපලේ වර්ථමාන ඡායාරූප දැක්කාම ඒ බව හොඳින්ම තේරෙනව )

  4. Carry on Chanuka, this is like reading a travel story. I love it very much. Your writing skills are marvelous.

  5. මේ සටහන නම් අනර්ඝයි. අයියේ ඔයා ඉන්දියාවේදී ලබපු අත්දැකීම් ලිපි පෙලක් විදියට දාන්න හැකියාවක් තියෙනවද?

  6. Mate, this is not just a story posted on a blog.

    This is indded an excellent short story.

  7. ඉන්දියාව ගැන නම් දාන ඕන දෙයක් ආසාවෙන් කියවනවා. ඔබේ ලිපියේ වටිනා කරුණු රැසක් අඩංගු වෙලා තියෙනවා. දිගටම ලියන්න.

  8. මම මැරෙන්න මොහතකට කලින් යන්න උත්සාහ කරන මාගේ දෙවැනි මව්බිමයි මිට අවුරැදු 2600 ට පෙර උතුම් වු බුදුන් රදුන් පහළ වු දේශයට මම හිස නමා අචාර කරමි.

  9. නියම සටහන… හරියට චිත්‍රයක් වගේ… කවුරු මොනව කිව්වත් ලංකාවට පස්සෙ අපට දැණෙන්නෙ ඉන්දියාවෙ පරිසරය, සංස්කෘතිය කියන එක වෙනස් කරන්න බෑ කියල මට හිතෙන්නේ… ඒක චිත්‍රපටි වලින් වගේම වන්දනාවට හැර වෙනත් සංචාර වල‍ට ඉන්දියාවෙ ගිහින් ආපු අය කියන කතා වලින් පැහැදිලි වෙනවා…

    ඔබතුමා බොහොම හොඳ කාලයක් ගෙවල තියෙනව වගේ… 1989 පටන් ගත්ත කියන්නෙ දිගටම කියවන්න දේවල් සෑහෙන්න තියෙයි.

  10. Indika Upashantha

    @ MAMA,

    U Better go and understand how they will treat you! fxxxx “dewani mawbima”

  11. බුදුන් උපන් රටේ බුදු දහම නැත්තෙ ඇයි කියලත් ලියන්න පුලුවන් නම් අගේ කරනවා …..

  12. බොහොම උවමනාවෙන් කියෙව්වා!

    චෙන්නායි, බැන්ගලෝර් නගර වලින් කි.මී. 20ක් පැන්නාම තියෙන ජන ජීවිතේ තාමත් ප්‍රාග් ඓතිහාසිකයි කියලයි මට දැනෙන්නෙ.. ගොවි/කම්කරු ප්‍රාජාවයි, නගර ප්‍රජාවයි අතර තියෙන පරතරය එහෙ ජනගහනය තරම්ම විසාලයි!

    පහුගිය අවුරුද්දෙ තමිල්නාඩු-කේරල අධිවේගී පාරක යද්දි, හදිසි බරකින් නිදහස් වෙන්න පාර අද්දර ඉඩම් කීපයක් උඩින් ඇවිද යන්න උනා.. මට හැඟුනෙ බද්දේගම වගෙ.. මෙතන කිසිම සමච්චලයක් නැහැ.. ඒ ජීවිතෙ එක්තරා සරල බර-අඩු ගතියක් තියෙනවා කියලා නම් මට හිතුනා..

  13. ඉන්දියානු දේශපාලකයන්ගේ, බොහොමයක් ක්‍රීඩකයන්ගේ (ඉන්දියාව කියන “දේ” අපිට දැනෙන්නේ ඔය දෙගොල්ලොංගෙ කෙරුවාව නිසා නෙ.) තියන අලි ඔළුව – අනුංගෙ වැඩ වලට ඇඟිලි ගැහීම වැනි ගති ගුණ, සහ ඉහත ක්‍රියා අනුමත කිරීම සාමාන්‍ය ජනතාව කරනවාද?

    • @budhajeewa,

      තමිල් නාඩු දේශපාලකයන් ඉන්දියානු දේශපාලකයන් සේ වරදවා වටහා ගත යුතු නැහැ. ඉන්දියානු දේශපාලකයින්ට ලංකාව අවැදගත්. අවිෂයයි. ක්‍රීඩකයින් ගැන මගේ අවබෝධයක් නැහැ. මා දන්නා තරමින් මෙවැනි ‘අලි ඔළුවක්’ තියෙන්නේ ඉන්දියාවේ නිලධර පැලැන්තියට මිස වෙන කාටවත් නෙවෙයි.

      • මන්මෝහන් සීයා මාස දෙකකට පාරක් මෙහාට ලේකම් කෙනෙක් හරි ඇමති කෙනෙක් හරි එවන්නෙ තමිල්නාඩුවෙ අඬන බබ්බු නලවන්න විතරක් නං අපිටත් අවුලක් නෑ. 😀

  14. අද තමයි ඔබේ බ්ලොග් එකට ආවේ. ලිපි ගොඩක් කියෙව්වා. ඉගෙන ගන්න් දේ බොහොමයි. දිගටම ලියන්න.

  15. චනුක අයියා…
    දැනට වලට ඇවිල්ලා අවුරුදු තුනක්. මැoගලොර් වලින් එන්න ලැස්ති වෙලා බඩු පැක් කරන දවසක තමයි මම මේක දැක්කේ. තවත් ටිකක් දුක වැඩි උනා. මට තව දවස් කීපයයි තියෙන්නේ මෙහේ ඉන්න. බොහොම හිත ගිය බ්ලොග් සටහනක්. පස් හය පාරක්ම කියෙව්වා.

    යමුද තව අවුරුද්දකින් විතර මැoගලොර් පැත්තෙ?

    නදීශ

  16. An exceptionally good article. Unlike most of our Sri Lankan writers you write about your experiences in a very professional and objective manner without getting religious and political biases involved. This is truly international-class writing!

  17. කතන්දර අයියා කීවාක් මෙන් අපූර්වතම කෙටිකතාවක් මෙන් බොහෝ සෙයින් රසවින්දෙමි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s