5. මෙරා භාරත් මහාන්! (My India is Great!): ගාන්ධිගේ “ග්‍රාම රාජ්‍ය” හා නේරුගේ “සමාජවාදය”

“හැමදාම කියනව කතා කරන බාසාවෙන් ලියන්න එපා කියල. විදුසර කියවන්නෙ ඉස්කෝලෙ යන ළමයි. ඒ අයට කියවල යමක් ඉගෙන ගන්න පුළුවන් විදියට ව්‍යාකරණානුකූලව, වැදගත් විදියට ලියන්න.”

මේ විදුසර කර්තෘ අනුර සිරිවර්ධන නිතර කියූ කතාවක්.

“කතා කරන බාසාවටත්” ව්‍යාකරණයක් ඇති බවත්, ඒ ව්‍යාකරණය රකිනවා නම් කට වහර වුණත් වැරද්දක් නැති බව මුනිදාස කුමාරතුංග පඬිතුමා පවා කියා ඇති බවත් අනුරට මතක් කර දෙන්නට කවුරුත් හිටියෙ නැහැ. එයා කර්තෘ. අපි කවුද? (ව්‍යාකරණානුකූලව: “අප කවුරුද?”) ඒ-ලෙවල් කරපු අවුරුදු විස්සෙ කොල්ලො ටිකක්.

එහෙම වුණත් අපි අහයි එයා කියන දේවල්! අපි අපට පුළුවන් විදියට ලිව්වා. අනෙක පැයකින් පිටු දහයක ලිපියක් ලියල දෙන්න කියන කොට ව්‍යාකරණය, ලිඛිත සම්ප්‍රදායයන් වගේ දෙවල් හිත හිතා ඉන්න වෙලාවක් නැහැ.

මේ බ්ලොග් එකත් එහෙමයි. මට ලැබෙන කාලය අනුව, ඉන්න මූඩ් එක අනුව ඉදිරියේදී ශෛලිය වරින් වර වෙනස් වේවි.
_______________________________________________________

සටහන් සීරීස් ලියන්නට අදහසක් තිබුණේ නැහැ මුලදි. නමුත් මුල් ඉන්දියන් කතාවට ලැබුණු හොඳ ප්‍රතිචාර මත එහි දෙවන කොටස ලියන්නට සිතුවා.

1989දී මා පය තැබුවේ දේශපාලන වශයෙන් ව්‍යාකූල, වල්මත් වී හසරක් නොදුටු භාරතයකට බව ලිව්වා මතකයි.

මේ ව්‍යාකූල බව පැහැදිළි කිරීමට මා අපේ බියර් මේසයක කතා බහ උපයෝගී කර ගන්නම්, සිංහලයට අනුවර්තනය කරලා. බියර් කිවාට මේ කාලයේ අපට බොන්නට තිබුණේ වර්ග දෙකයි. එකක් Kingfisher. (දැන් නම් ඔවුන් වඩා ප්‍රකට ගුවන් සේවාවන් සඳහා.) අනෙකේ නම මතක නැහැ. දේශීය නිශ්පාදනයක්. (ඒ කියන්න හැදුවේ කර්ණාටකයේම.) අප වඩා භාවිතා කළේ මේ දෙවැනි වර්ගය. ගාණ අඩු නිසා.

පළමුවැන්නා: චානුක උඹ මොකද්ද හිතන්නෙ ඉන්දියාව ගැන?
මම: සමහර දේවල් වලින් මම ඉන්දියාව අගය කරනවා. උදාරණයක් හැටියට උඹලා කාර් හදනවා. ටෙලිවිෂන් හදනවා. කම්පියුටර් වලත් හදන්න පුළුවන් දේවල් හදනවා. ලංකාවෙ අපි බයිසිකලයක් වත් හදන්නෙ නැහැ… (මේ තනිකරම ‘මාකට් සයිස්’ එක පිළිබඳ ගැටළුවක් කියල තේරුම් ගන්න තරම් මගේ ආර්ථික විද්‍යා දැනුම ඒ වෙනකොට මෝරලා නැහැ.)
පළමුවැන්නා: ග්‍රේට්, උඹ විතරයි අපි ගැන ඔහොම සහතිකයක් දෙන්නෙ…
මම: …කියන්න දීපංකො ඉතින්. එහෙම උනත් ඉන්දියාව ඉස්සරහට යනව කියල මට පේන්නෙ නෑ. අපේ කොලේජ් එක බලපන්. 1960දි හැදුව ගොඩනැඟිලි වලට අමතරව කීයක් එකතු වෙලා තියෙනවද? පුස්තකාලෙ තියෙන්න හැට හැත්තෑ ගණන් වල ගත්තු පොත්…මේකද උඹලගෙ දියුණුව?
දෙවැන්නා: අන්න උඹ හරි තැනට ආව. උඹ දන්නවද ඒකට හේතුව. අපට සුභාෂ් චන්ද්‍ර බෝස් වගේ නායකයින් නැතිවීම. උඹ දන්නවද මහත්මා ගාන්ධි කියල බැල්ලිගෙ පුතෙක් හිටිය අපේ රට විනාශ කරපු…
තෙවැන්නා: ඒයි, හිමින් හිමින්. Be cool yaar.
දෙවැන්නා: කාට බය වෙන්නද බං. උඹ කියන්නෙ ගාන්ධි නෙවෙයිද මේ රට කෑවෙ?
සිව්වැන්නා (‘freedom fighter’ කෙනෙකුගේ මුණුබුරෙක්): සාධාරණව කතා කරපං. බාපුට (=ගාන්ධි) දකුණු අප්‍රිකාවෙ හොඳ ලීගල් ප්‍රක්ටිස් එකක් හදාගෙන කරදරයක් නැතුව ඉන්න තිබුණ. එයා ඒ කැපකිරීම කළේ හේතුවක් ඇතුව. Admit it. He was a great man. No doubts about it.
තෙවැන්නා: ඒකට නම් මට එකඟවෙන්න අමාරුයි. බාපු යම් දෙයක් රටට කළා. නමුත් බාපු කියන්නෙ ඔළුව උඩ තියාගෙන වන්දනා කරන්න තරම් සාන්තුවරයෙක් නෙවයි. ගෑනු දෙන්නෙක්ගෙ කරේ එල්ලිලා ගියපු, අල්ලපු කාමරේ තමන්ගෙ තාත්තා පණ අදිනකොට බිරිඳත් එක්ක සංසර්ගයේ යෙදුණු මනුස්සයෙක් ගාන්ධි කියන්නෙ…
දෙවැන්නා: මං කිව්වේ ඒක නෙවයි. ඔය පුද්ගලික දේවල් මට වැදගත් නෑ. මං කිව්වේ ගාන්ධිට ඉන්දියාව ගැන දර්ශනයක් නොතිබිච්චි එක. ගාන්ධිට ඕනැවුණේ අපිව ‘ග්‍රාම රාජ්‍ය’ කියල ගම් වලට කොටු කරල ගම්බට්ටො කරන්න. මේකද සංවර්ධනේ කියන්නෙ? පණ යන කල් ගමේ. අපේ වාසනාවට නේරු අගමැති වුණේ ගාන්ධි නොවී.
මම: නේරු මොකද කළේ?
දෙවැන්නා: නේරුට තිබුණ දර්ශනයක්. නේරු වැඩකළේ ඒ අනුව. නේරුට ඕනැ වුණා විද්‍යාව හා තාක්ෂණය උපරිම ලෙස ඉන්දියාවේ යහපතට යොදා ගන්න. වැඩිය ඕනැ නැහැ. අපේ ‘කොලේජ් එක’ ගනින්. ප්‍රාන්තෙකට එක ගානෙ රීජනල් ඉන්ජිනියරිං කොලේජස් හැදුවෙ නේරුගෙ සංකල්පයකට. මේන් බිල්ඩිං එක ඉස්සරහ ඵලකය බලපන්. ඒක නේරු විවෘත කරපු එකක්.
මම: එතකොට ඇයි උඹලා තවමත් මෙහෙම ඉන්නෙ? ඉංජිනේරුවෙකුට මාසික පඩිය රුපියල් පන්දාහයි. දොස්තරෙකුට හාරදාහයි. දොස්තරලා ලෙඩ්ඩු බලන්නෙ පස් දෙනෙක් එකට. Coca cola ගැන අහල වත් නෑ. ඩෙනිමක් ගන්න නෑ. හරි බියර් එකක් නෑ. මම කොළඹින් Carlsberg උස්සං එන්න ඕනැ උඹලට. මොනව උනත් ලංකාව මීට වඩා දියුණුයිනෙ.
තෙවැන්නා: උඹ දන්නවද එහෙම උණේ ඇයි කියල? නේරු කොච්චර පණ්ඩිතය උනත් නොබැඳි පිළිවෙත කියල ඉන්දියාව ගිහින් එල්ලුව රුසියාවෙ, ඇමරිකාවෙ නැතුව. පකිස්තාන්කාරය අවස්ථාව ප්‍රයෝජනේට අරගෙන ඇමෙරිකවෙ එල්ලුනා. අපටත් ඇමෙරිකාවෙ එල්ලුනා නම් Carlsberg බොන්න තිබුණ තමයි.
හතරවැන්නා: ඒක නේරුගෙ පණ්ඩිතකම නෙවෙයි බං. නේරු සමාජවාදියෙක්. ඒක නේරුගෙ ඉන්දියාව ගැන දර්ශනේ කොටසක්.
තෙවැන්නා: අනේ, උගෙ අම්මගෙ සමාජවාදෙ! Bullshit.

මා ගැන පෞද්ගලිකව කිව්වොත් මේ කාලයේ (1989) මාද එක්තරා දුරකට “නේරුගේ සමාජවාදය” ගැන විශ්වාසය තබා තිබුණා, සැබෑ ලෝකයේ හැම සාධකයක්ම ඊට පටහැනි බව පෙනි පෙනීම. මේක එක්තරා විදියක පැරඩොක්ස් එකක්. මා 1970-77 යුගයේ සිරිමා බණ්ඩාරනායක රජයේ “සමාජවාදයෙන්” දරුණු ලෙස බැට කෑ පරම්පරාවක් නියෝජනය කළ කෙනෙක්. (ඇපල්, මිදි, චීස් දෑහින් නොදැක, බූමිතෙල් ගඳගහන කමිස අඳිමින් ගතකළ ළමා කාලය ගැන වෙනම ලිවිය යුතුයි.) 1978න් පසුව මේ “සමාජවාදය” බිඳවැටී ඇතිවන විවෘත ආර්ථික පරිසරය තුළ මා ඍජු ප්‍රතිලාභ ලබනවා. නමුත් ඒ පුද්ගලයාම ඉන්දියාවේදී කල්පනා කරනවා ආරක්ෂණය (protectionism), පොදු දේපළ ක්‍රමය (public ownership), දේශීය නිශ්පාදනය ආන්තික ලෙස නඟා සිටුවීම වැනි පියවර වලින් තොරව භාරතයට ඉදිරියට යන්නට බැරි බව. ඉන්දියාවට විවෘත ආර්ථිකය ගෙනාවොත්, ඉතාම සුළු පිරිසක් ඉන් ප්‍රතිලාභ ලබද්දී බහුතර දිළින්දන් තවත් ආගාධයට ගමන් කරනු ඇති බවයි, මට සිතෙන්නේ. එසේම 1989දී මා නේරු ඉන්දියාව ඇමෙරිකාවේ නැතිව සෝවියට් දේශයේ එල්ලීම යහපතකැයි සිතනවා.

මීට හේතු නොතිබුනාම නෙවෙයි. එකක් මා ඉංජිනේරු ශිෂ්‍යයෙක්. ආර්ථික විද්‍යා විද්‍යාර්ථියකු නෙවෙයි. ලංකාවට, ඉන්දියාවට තමන් වැටී ඇති වලෙන් ගොඩගිය හැක්කේ තාක්ෂණය උපරිම ලෙස ප්‍රයෝජනයට ගෙන බව මා විශ්වාස කරනවා. (මේ විශ්වාසය අදත් බිඳී නැහැ. නමුත් එහි තාක්ෂණයට අමතරව ආර්ථික විද්‍යා සාධක මට පෙනෙනනවා, දැන්.) ඉන්දියාව ඇම්බැසඩර් කාර් හැදීමත් විදේශීය වාහන ආනයනය නවතා තිබීමත් මාරයි කියා මට හිතෙනවා. (ඇත්තටම මේ යුගයේ ඉන්දියාව පරිගණක පවා තැනුවා – ඒ කතාව පසුවට.)

දෙවනුව ගාන්ධිගේ, නේරුගේ රෝමෑන්තීකරණය කරන ලද සංකල්ප වලට අප රැවටෙනවා. එක උදාහරණයක් Mother India චිත්‍රපටය. Mother India මාරයි කියා හිතුවේ මා පමණක් නෙවෙයි. ඉන්දියාවේ එක් පරම්පරාවක් Mother India තමන්ගේම කතාව සේ දකිනවා. දුප්පත්කමේ පතුළේ ඉන්නා ඉන්දීය ගොවියන්ට, කම්කරුවන්ට සමස්ත සමාජයේ ක්‍රියාත්මක වන සමූහ ආර්ථික ක්‍රියාවලියකින් තොරව තම ජීවන තත්ත්වයන් නඟා සිටුවිය නොහැකි බව අප සිතනවා. “සමාජවාදය” හා ආරක්ෂණවාදය (protectionism) ඊට අනිවාර්ය පූර්වකොන්දේසි.

මීට සමාන චින්තයක් 1970-77 යුගයේ ලංකාවේද තිබුණු බව මතකයි. ඉස්කෝලෙ යන කාලේ බොරැල්ලෙ රිට්ස් එකට අල්ලපු ගොඩනැඟිල්ලෙ ලොකුවට මෙහෙම ලියා තිබුණා.

සියරට දේ – සිරිසැප දේ!

රට සිට ගෙනෙන බඩු සීමා කරන තුරු
මෙරටට නොපායයි හරි නිදහසක හිරු

1989දි ඉන්දියාවත් මේ වගේමයි. කොටින්ම ආර්ථික ලිබරලීකරණය තුළින් පැරණි භාරතය සම්පූර්ණයෙන් කඩා බිඳ දමා, ඒ සුන්බුන් මත දැවැන්ත ශක්තිමත් ගොඩනැඟිල්ලක් නැවත ගොඩනැඟිය හැකි බව එය සිදු වීමට යාන්තම් වසර දෙකකට මත්තෙන් ඉන්දීය සමාජය විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් Carlsberg ගැන හිත හිතා තිත්ත බියර් බොමින් වුවත් විමුක්තිය ලබා ගත හැක්කේ ඒ ක්‍රමය තුළ “නේරුගේ සමාජවාදය” තුළින් පමණක් බව විශ්වාස කරනවා. මා මේ කියන්නේ කොන්ග්‍රසය ගැන නෙවෙයි. සමස්ත ඉන්දීය සමාජයම එහෙමයි.

මා කලින් කී ලෙස මේ “පැරැණි ඉන්දියාවේ” අවසන් වසර කිහිපය තුළ සිදුවන සමහර ක්‍රියා විකට ස්වරූපයක් ගන්නවා. කිහිපයක් මා කලින් විස්තර කළා. මේ තව එකක්.

සත්‍යනාරයන් ගංගාරාම් පිට්‍රෝඩා හෙවත් සෑම් පිට්‍රෝඩා (Sam Pitroda) ඉන්දියාවේ තාමත් ප්‍රකට චරිතයක්. ඔහු විදිලි සංදේශ ඉංජිනේරුවෙක්. ව්‍යාපාරිකයෙක්. අසූව දශකයේ අග භාගයේ ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධිගේ තාක්ෂණ උපදේශකවරයා. ඇමරිකාවේ පුරවැසි භාවය ලබා සිටියත් රජීව් ගාන්ධි රජයට සේවය කිරීම පිණිස ඔහු ඇමරිකානු පුරවැසිභාවය ප්‍රසිද්ධියේ අතහරිනවා.

පිට්‍රෝඩාට භාරවන එක් කාර්යයක් එවකට භාරතයේ විදිලි සංදේශ සේවාවන් සඳහා වූ ඉල්ලුම හා සැපයුම අතර වූ දැවැන්ත ඉඩ පිරවීම. සරලව කිව්වොත් සාමාන්‍ය මිනිහෙකුට දැරිය හැකි මිළකට දේශීය, අන්තර්ප්‍රාන්ත හා අන්තර්ජාතික දුරකථන ඇමැතුම් ලබා ගැනීමේ ක්‍රමයක් සකස් කිරීම. මීට පිට්‍රෝඩාගේ විසඳුම තමයි, අදත් ඉන්දියාවේ සමහර තැනෙක දැකිය හැකි කහ පාට, Public call office (PCO) ලෙස හඳුවනු ලැබූ පොදු දුරකථන කුටි. (පහත පින්තූරය මා ගත්තෙ වසරකට පමණ පෙර බැංගලෝරයෙදි.)

නමුත් මේ සම්පූර්ණ විසඳුමක් නෙවෙයි. ඉල්ලුම ඒ තරමටම විශාලයි. ලංකාවට කතා කරන්න ඕනෑ නම් මා ඒ දිනවල කිලෝ මීටර් 28ක් ගෙවා මැංගලෝරයට එනවා මේ වගේ දුරකථන කුටියක් භාවිතා කරන්න. (අපේ හොස්ටල් බ්ලොක් එකටම තිබුණේ එකම දුරකථනයයි. එයද දේශීය ඇමැතුම් පිණිස. ඇමැතුමක් ගන්නා විට ගන්නේ කොහාටද කියා පොතේ ලිවිය යුතුයි. ලැයිස්තුවේ 90% විතර තිබුණේ Girls’ Block කියලා.) ඉන්දියාවේ විදිලි සංදේශ සේවාවන් සඳහා වූ දැවැන්ත ඉල්ලුම තෘප්ත කළ හැකි වූයේ පශ්චාත්-ආර්ථික ලිබරලීකරණ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් සේ ඇති වූ ජංගම දුරකථන විප්ලවය තුළින් පමණයි.

ගාන්ධිගේ “ග්‍රාම රාජ්‍ය” හා නේරුගේ “සමාජවාදය” ඔවුන්ගේම ගෝලයින් අතින් බිඳවැටීම ඉතිහාසයේ සරදමක් සේ සැලකිය හැකියි.

1989දී භාරත දේශපාලන පරිසරය හෙවත් රජීව් ගාන්ධි-වී. පී. සිං හා එල්. කේ. අද්වානි තුන් කොන් සටන ගැන ඊළඟට කියන්නම්.

Advertisements

12 responses to “5. මෙරා භාරත් මහාන්! (My India is Great!): ගාන්ධිගේ “ග්‍රාම රාජ්‍ය” හා නේරුගේ “සමාජවාදය”

  1. An excellent article which should open our eyes today.
    Unfortunately, people do not learn from the past mistakes. This is because, the past is something which has already happened and alien to us living in the world today. We are taught about the past, not in a realistic sense, but to hail what others have done and repeat it in a world which is completely different today.
    Dr Mahathir Mohamed, when he visited Sri Lanka in 2004 said that one should learn history not to make the same mistake again.
    Similarly, Chanuka, I see in today’s Sri Lanka, what you castigate is being repeated in full force like Maubima Lanka etc.
    So, people are destined to suffer because of their own weaknesses!

  2. දිගටම ලියන්න

  3. ඔබගේ මේ ලිපිය අතිශය වැදගත් කරුණු රැසකින් සමන්විත වීම ඉහළින්ම අගය කරමි. විශේෂයෙන් ම ඉන්දියාව සම්බන්ධයෙන් අප විශ්වාස කරන සම්ප්‍රදායික අදහස් ඔබගේ ලිපියේ අඩංගු කරුණු හමුවේ බිද වැටීම ද සුවිශේෂී වේ.

  4. වසර 1989 දී ලංකාවේ කාල්ස්බර්ග් හැදුවාද?
    මේ කියන්නේ ඩියුටි ෆ්‍රී බඩු විය යුතුයි.

  5. 2007 වසර වෙද්දිත් ඔබ ඇසු පරිදිම මහත්මා ගාන්දිගෙ අම්මා මතක් කර දුන්නේ මා රැකියා කළ ස්තානයේ සහ නවාතැනේ මිතුරන්. මේ සියලු දේ මෙන්ම ගාන්දි තම දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා නොදිම ගැනද වරක් මිතුරෙක් ඔහුට බැන වැදුනා.

    මා ඉංදියානුවන් තුළ දුටු එක් දෙයක් නම් බටහිර පිරිස් ඉදිරියේ බුදුන් වහන්සේ සහ මහත්මා ගාන්දි එරටින් පහලවූ වන් ලෙස හුවා දක්වන්නට යෙදිම.. ඒ කතාවේ වැරද්දක් නැ. නමුත් බුදුදහම නැති කරගත්තෙ ඉංදියානුවන් එවගේම ගාන්දිගේ අම්මට බනින්නෙන්ත් ඔවුන්.

    බියර් ගැන කිව නිසා මෙන්න දැන් තත්ත්වය….

    BPO නිසා දැන් ඔවුන්ගේ සමාජ වෙනසක් තියෙනවා. තරුණියන් පවා මත්පැන් 2,3ක් මිශ්‍ර කර බොන අතර විලාසිතා සහ අනෙකුත් දැ ඔන තරම්. හැබැයි මේ බැංගලෝරය නොව 50% කට වඩා වෙනත් ප්‍රාන්ත සහ විදේශිකයන් ගැව සෙන පූනේ නගරයයි. නගරයක් කීවට මෙහි වපසරය ගාලු දිස්ත්‍රික්කයටත් වඩා ලොකුයි. 😉

    ගොඩ නැගිලි… ඔවුන් ගහන්නේ නගර .. ඇතත්ටම හිතා ගන්න බැ. නමුත් ඒ ගොඩනැගිලිවල ගැවෙන නොගැවෙන ගානට තියෙන දුගී (අහිකුන්ටක නිවාස වැනි) නිවාස සුලග දසුනක්.

    අධ්‍යාපනය:
    මේ වන විට වසරකට තොරතුරු තාක්‍ෂණිකයින් 200,000ක් පමණ එරටින් බිහි වෙනවා. එවගේම කොල් සෙන්ටර් වලත් ඉංජිනේරු උපාදි කාරයෙන් ඕන තරම්..

    අසල් වැසි තමිල් නාන්ඩුව:
    ඉංදියාවේ ප්‍රාන්ත සියල්ලටම අනන්න්‍ය බසක් ඇති අතර ප්‍රධාන බස හින්දි වේ. නමුත් තමිල්නාන්ඩු වැසියන් හින්දි බස ගනන් ගන්නේ නැ. මේක මට තෙරුනේ මා සේවය කළ ස්තානයෙ සිටි දමිළ මිතුරන්ගේ හැසිරිමෙන්. බැරි බැරි ගාතේ හරි අපි කතා කරන හින්දිත් මැජික් වගේ ඔවුන්ට. 😉

    තාක්‍ෂණය…
    අලුත නිකුත්වන ජංගම දුරකතන ඇමරිකා වෙළදපොලින් පසුව ඉක්මනින් ඉංදීය වෙළඳ පොලට එනවා.

    දැන් නම් සමස්තයක් ලෙස අපි ඉංදියාවට පසුපසින්. අධ්‍යානය සහ සෞඛ්‍ය අංශවලින් අපි උඩින් ඉන්නේ කළමණාකරනයට පහසු මට්ටමේ අඩු ජනග්‍රහණය නිසා.

    තව දෙයක් අපේ රටේ ඩොලරය ඉහල යද්දි ඉංදියාවේ දි ඩොලරය අඩු වෙනවා.

    දිගටම ලියන්න චානුක 🙂

  6. ගාන්ධි ගැන කියද්දිම මට දැන් මතක් වෙන්නෙ ලගේ රහෝ මුන්න භායි. කොහොමත් පරමාදර්ශ කියල ජාතියක් තියෙන්න බැරි එකේ ගාන්ධි සම්බන්ධව තියෙන ධන ඝෘන ආකල්ප සේරම සාධාරණයිනේ..

    ඩනිෂ්කගේ එකතු කිරීමත් නියමයි. ඔය ජනගහන සාධකේ නෙවෙයිනම් ඉන්දියාව ගැන අපට හිතාගන්නත් බැරි වෙයි තමයි…

  7. Samantha Dassanayaka

    Machang, Its really fascinating to read these blogs.After long time u guys are taking me to the place where I should be.Talk more about India.Chanuka, what is the great difference btwn Indians & us? i sincerely believe there is nothing.We all have the same subcontinent attitude.I can remember once one German shipmate asked how to differentiate & identify Srilankan from Indian (presence of some Indians).My quick answer was Srilankans never shit in the streets. I was young that time, Later in my life I realized how stupid i was.Really like to write some thing in sinhala,can u help me to do it,I will get my daughters help as well.

  8. ගාන්ධි ව වෙඩි තියලා මරපූ බවත් අමතක කරන්න එපා.
    හැමදේකම දෙපැත්තක් තියෙනවා. මගේ පැත්ත සහ වැරදි පැත්ත.

  9. ඉන්දීය නිදහස් අරගලය වෙනුවෙන් මහත්මා දක්වා ඇති මතවාදීමය හා ප්‍රායොගික දායකත්වය විවාද කරන්න බැරි තරම් ඉහල එකක්. මයියා අනුව නම් ලOකාවේ දේශපාලනයට ඒ වගේ දායකතවයක් දෙන්න කෙනෙක් හිටපු නැති එක අපේ රට සමාජීයව අවුරුදු ගානක් පස්සට අදලා දාලා තියෙනවා. මොනා උනත් මහත්මා ගේ නිදහසින් පසු ඉන්දියාව ගැන හා එහි ආර්ථිකය ගැන දර්ශනය, ඔහුගේ දේශපාලන දර්ශනය තරම් ප්‍රභල එකක් නොවෙන්න පුලුවන්. තාගොර් මැතිතුමත් එක්ක මහත්මා අති කර ගත් විවාද වල එම චිනතනයේ අඩුපාඩු දැක්වෙනවා. අපේ ආසියාතිකයන්ගේ තියෙන එක වැරැද්දක් තමයි ‘පුද්ගලවන්දනාව’. මහතමා හරි යන්නේ ඉන්දියවට නිදහස ගන්න විතරයි.නිදහසින් පසු ඉන්දියාව වෙන අයෙගෙන් නිර්නමාණය විය යුතුයි. නමුත් වරැද්ද , දේශපාලනයට හරි ගිය මනුස්සයට ඉතිරි ටිකත් හරියට කරන්න පුලුවන් කියලා මිනිස්සු හිතපු එකයි..
    මහින්ද මහත්තය නම් මේක හොදට අධයනය කරලා තියෙන් පාටයි. ඒක නේ යුද්දෙට හරි ගිය මනුස්සයට වෙන දෙයක් භාර දුන්නේ නැත්තේ . වැඩේ කරගත්තම එච්චරයි. එතනින් එහාට දේයක් නැ..(මේක කලගුන නොසැලකිල්ලක් නේමේ ). වඩේ තියෙනේ කමහින්ද මහත්තයට , මේ තියරියම තමන්ට අදාල වෙන හටි ගලපගන්න බැරි වීමයි…

  10. ගාන්ධි ගැන මා සිතා සිටි දේවල් වැරදිද ? කියල හැඟීමක් මුලින්ම මට ඇති උනේ මේ ලිපියෙන් , වටිනා ලිපියක් දිගටම ලියන්න

  11. සමාජ සේවකයෝ කියන හැමෝටම තමන්ගේ කියලා මාකටිං එකක් තියෙනවා ඒක ගාන්ධිටත් පොදුයි. ගාන්ධිටත් වැරදුනේ ඔය චානුකගේ යාළුවා කියපු තමා. රට මුදාගත්තාම ඒක කලේ අපරාදේ කියලා එක මිනිහෙක්ට හරි හිතුනොත් එතන ගාන්ධි ෆේල්. මම ලංකාව සම්බන්ධයෙනුත් ඕක විටින් විට හිතෙන කරුණක්… ඒක මගේ අවුලක් වෙන්නත් පුළුවන්..

  12. කොච්චර වහ වැටිලද කිව්වොත් මේ කියවගෙන ඉස්සරහට යන ගමන්…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s