6. ලංකාවේ භයානකම ජනාධිපතිට විරිත්තුවෙමි.

රැකියා සමුපිරික්සුමකදී “Would you like to add anything more about you?” යි ඇසුණොත් මා දෙන ටිපිකල් උත්තරයක් ඇත.

“I am usually a risk averter. On the other hand, at rare occasions I take unimaginable risks. Given the risks that I have taken in my life, my existence is a surprise”

(මගේ ජීවිතයේ අවස්ථා තුනකදී අතේ රස්සාවක් නැතිව, තිබුණු රස්සාවන්ට සමුදී පාරට බැස ඇත්තෙමි.)

මේ අවදානම් බොහොමයක් ගැන මට කතා කළ නොහැකිය. මේ අද ප්‍රසිද්ධියේ කිව හැකි එක් උදාහරණයකි.

____________________________________

රණසිංහ ප්‍රේමදාස යුගයේ භීෂණය ගැන අටුවා ටීකා ලිවිය යුතු නොවේ. නිදහස් ලංකාවේ කිසිම රාජ්‍ය නායකයකු ජනාධිපති ප්‍රේමදාස තරම් දුර්දාන්ත,මර්ධනකාරී පාලනයක් ගෙන ගොස් නැත. එතැනින් අනෙක් පැත්තට අතීතයට යන්නේ නම් හමුවන සමානයෝ මෙසේය: ටොරින්ටන්, රොබර්ට් බ්‍රවුන්රිග්, දොන් අසවේදු, පළවැනි රාජසිංහ. මේ සියල්ලන් සිටියේ නිදහසට පෙර යුගයේදීය.

ප්‍රේමදාස භීෂණයේ උච්චතම අවදියේ මම උපාලි පුවත්පත් සමාගම විසින් පළකළ විදුසරෙහි සේවය කළෙමි. කලාතුරෙකින් විවාදාපන්න නොවන යමක් දිවයිනට ලීවෙමි. මේ පොදු සමාජයට, මගේ දෙමාපියන්ට, පෙම්වතියට, නෑදෑයින්ට, පන්සලේ හාමුදුරුවන්ට පෙණුනු විද්‍යා ලේඛක හැසිරීමයි. රාවයට මා නිර්නාමිකව ලියූ දෙයක් ඉඳහිට පළ වුවද අතුල අයියා (වික්ටර් අයිවන්) හා උපාලි අයියා (උපාලි කොළඹගේ – එවක රාවය නියෝජ්‍ය කර්තෘ) හැරුණු විට ඒ දන්නා යමෙක් නොවීය.

මේ වන විට ප්‍රේමදාසගේ මර්ධනය විකල්ප පුවත්පත් වලටත් වඩා තදින් දිවයින වෙත එල්ල වෙමින් තිබුණේය. රාවය කියෙව්වේ කොහොමටත් හාර්ඩ්කෝ ජේ. වී. පී., ශ්‍රී ලංකා කාරයින්ය. දිවයිනට ඊට වඩා ව්‍යාප්ත වූ පාඨකගණයක් විය. මේ නිසා ආණ්ඩුවට දිවයින පාලනය කිරීමට වැඩි ඕනෑ කමක් විය.

මේ ඛෙත්තාරාමයේ රාත්‍රී තරග පටන්ගත් යුගයයි. විනී අයියා (විනී හෙට්ටිගොඩ) ඒ ගැන කාටූනයක් ඇන්දේය. කුප්පි ලාම්පුවකින් එළිය ලබා ගන්නා පවුලකි. ළමයි ලාම්පු එළියෙන් පාඩම් කරති. පියා පත්තරයක් කියවමින් මෙසේ කියයි. “ඛෙත්තාරාමෙ ලයිට් දාගෙන ක්‍රිකට් ගහනවය කියන්නෙ”

මේ කාටූනය සම්බන්ධයෙන් සිරිසේන කුරේ ඇමැතිතුමා පාලනාධිකාරියට කතාකොට “කවුද ඔය කාටූන්කාරයා? දරු පවුල්කාරයෙක්ද?” අසා තිබුණු බවට රාවයක් පැතිර ගියේය. මෙහි ඇත්ත නැත්ත නොදනිමි. එහෙත් කාලයක් විනී අයියාගේ කාටූන් දකින්නට නොලැබිණි.

“වැඩිය කෑගැහුවොත් උපාලි එක ආණ්ඩුවට ගන්නවා!” නොනිල තර්ජනය විය. සිකුරාදා රෑට ‘පේස්ට් අප්’ සෙක්ෂන් එකට විත් මුද්‍රණයට යවන්නට පෙර පත්තරය කියවන ගාමිනී සුමනසේකර (තවමත් ඉරිදා දිවයින කර්තෘ) ලිපි පිටු ගණන් ඉරා ඉවත් කළේ “මේව ගියොත් අපටත් හෙට ඉඳන් රජයේ සේවකයො වෙන්න පුළුවන්” කියමිනි.

මේ මර්ධනයේ උපරිම අවස්ථාවේ උපාලි පුවත්පත් සමාගමේ පාලනාධිකාරිය සියළු පුවත්පත් සඳහා මෙවන් චක්‍රලේඛයක් නිකුත් කළේය.

“පහත සඳහන් පුද්ගලයින් හා ආයතන සම්බන්ධ කවර හෝ යමක් (ප්‍රවෘත්ති, විශේෂාංග, කාටුන්, නිර්මාණ, කවි) පළ වීමට පෙර පාලනාධිකාරයේ අනුමැතිය ලබා ගත යුතුය.

1. ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා
2. හේමා ප්‍රේමදාස ආර්යාව
3. සජිත් ප්‍රේමදාස මහතා
4. දුලාංජලී ප්‍රේමදාස මහත්මිය හා පවුලේ අය
5. ජනාධිපතිතුමන් යටතේ ඇති අමාත්‍යාංශ
6. සුචරිත ව්‍යාපාරය
7. සිරිසේන කුරේ මහතා
………..
………..”
(ලැයිස්තුව තව දිගය. ලිව්වේ මතක හිටි ටික පමණෙකි.)

චක්‍රලේඛය කියැවූ කසුරි (කරුණාදාස සූරියආරච්චි – වර්තමානයේ සිළුමිණ කර්තෘ) උපහාසාත්මක සිනාවක් පා මෙසේ කීවේ කාටත් ඇසෙන්නටය. (1980 ජූලි වර්ජනයෙන් රැකියාව අහිමි වී සිටි කසුරි උග්‍ර යූ. ඇන්. පී. විරෝධියකු බව රහසක් නොවීය.)

“මේකෙ හැටියට අපට දැන් ලියන්න පුළුවන් ප්‍රේමදාසගෙ අම්ම ගැන විතරයිනෙ”

කොහොමටත් චක්‍රලේඛය ගැන ඔරොප්පුවෙන් හිටි, මගේ එවක නව යොවුන් හිතට මින් අපූරු අදහසක් ආවේය. ප්‍රේමදාසගේ අම්මා ගැන නොලියන්නේ මන්ද?

මේ කාලයේම වාගේ පළකරන ලද ගුණදාස ලියනගේ සූරීන්ගේ චරිතකතාවේ එක තැනෙක ජනාධිපති ප්‍රේමදාසගේ මවගේ නම සඳහන් වෙයි. මා ලියමින් සිටියේ පූර්ණ සාක්ෂරතාව ලබා ගැනීම ගැන ලිපියකි. මම ඊට මෙවන් වාක්‍ය කිහිපයක් එක් කළෙමි.

“රටක් අනිවාර්යයෙන්ම පූර්ණ සාක්ෂරතාවය ලබා ගත යුතුද කෙනෙකුට ප්‍රශ්න කළ හැක්කේය. කහටගස්දිගිලියේ හේතුහාමි අකුරු දැන සිටි පමණින් ඔහු වවන මිරිස් වලට වැඩි මිළක් ලැබේද? කෙසෙල්වත්තේ එන්සිනා අකුරු දන්නවාය කියා ඇගේ ලැවරියා වෙළඳාම වැඩිවේද?…”

මේ කොලු කමට, “කික් එකට” කළ දෙයකි. දේශපාලන අරමුණක් ඒ පසුපස නොවීය. එසේම මේ හා සම්බන්ධ අවදානම පිළිබඳ කල්පනාවක් හෝ නොවීය.

ඊළඟ ගැටළුව මේ ලිපිය ‘පාස් කර ගැනීමය’. සාමාන්‍යයෙන් මගේ ලිපි ‘සබ් කළේ’ අනුරය. (අනුර සිරිවර්ධන, එවක විදුසර කර්තෘ. පසුව ස්වාධීන රූපවාහිනියේ සභාපති හා අද පොල් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්) දෙනගම මහත්තයාට (දෙනගම සිරිවර්ධන) විද්‍යාව පිළිබඳ අවබෝධයක් නොවූ නිසාය. අනුරට මෙය නිසැකවම හසුවේ. එනිසා මම දෙනගම ඉලක්ක කළෙමි. ලිපිය සබ් කරන්නට දී ඔහු එය පටන් ගත් විගස “දෙනගම මහත්තය, දැන් සේනක බිබිලෙ ගැන පොත ගැහෙනවද?” ඇසුවෙමි. මේ ඔහුට උත්තේජයක් ලැබෙන මාතෘකවකි. ඔහු දීර්ඝ විස්තරයක් පටන් ගත්තේය. සබ් කළේ මට කතා කරන ගමන්ය. අවධානය බිඳුණු නිසා වැඩේ මීටර් වූයේ නැත. ඔහු ලිපිය සබ් කර අත්සන් කොට මුද්‍රණයට යැව්වේය.

ඇත්තමට මා කළේ වරදකි. වැඩේ ගැස්සුනා නම්, අනුර හා දෙනගම දෙදෙනාටම රැකියා අහිමි වන්නට තිබිණි.

ලිපිය අකුරක අඩුවක් නැතිව පළවිය. මේ පේපර් කටිං එක තවමත් මා සතුව ඇති මහාර්ඝ වස්තුවකි. ඉන් කියැවෙන්නේ අවුරුදු විස්සක කොල්ලකුගේ නිර්භීතකමද මෝඩකමද මම නොදනිමි.

උපාලි පුවත්පත් සමාගම රජයට පවරා නොගැනිනි. දෙනගම මහත්තයා ලේක් හවුසියට පනින තුරුම එහි සේවය කළේය. අනුර ඉවත් වූයේ ඉන්ද පසුවය.

ජනාධිපති ප්‍රේමදාස විදුසර පාඨකයකු නොවන්නට ඇතැයි මම සිතමි. 🙂

සටහන ඉවර කරන්නට මත්තේන් නවක ලේඛකයින්ට “Don’t try this at home” කියා අවවාදයක් දීමට කැමැත්තෙමි.

Advertisements

25 responses to “6. ලංකාවේ භයානකම ජනාධිපතිට විරිත්තුවෙමි.

  1. පුහ්! එළ කොල්ලෙක්නේ… එතකොට ‍ප්‍රෙමදාස මහත්තයගෙ මෑණියන්ගෙ නමද කෙසෙල්වත්තෙ එන්සිනා?

    ඕක ඔහොම වුණාට ඉතිහාසගතවෙද්දි අර ගාන්ධිට වුණා වගේ හොඳ මිනිස්සු නරක සහ නරක මිනිස්සු හොඳ වෙනවනේ… 😀

  2. Sadisha Aluwihare

    great work!! e wayasedi me tharam nirbeetha deyak karanna hayiya thibunu eka gena hugak santhosa wenawa.. 🙂

  3. කසුරි ලා ගේ සුගාර ලා ගේ අද වැඩ දැක්කම ඇඬෙනව නේද දොරේ?

  4. චානුක ගේ වැඩේ ත්‍රිලින් එකක්. හැබැයි ඔය ලැවරියා කතාවේ තියෙන දේශපාලනය නම් තුච්ඡයි.

    ඔය ලැවරියා කතාව රස කර කර කිව්වේ අනුර බණ්ඩාරනායක ලා. ඒ උන් ගේ රදල චින්තනයෙන් ප්‍රේමයා ට අපහාස කරන්න. දේශපාලන විරුද්ධවාදී කම් නිසා සාමාන්‍ය මිනිස්සුත් ඒකට අහුවුණා.

    එක අතකට ලැවරිය විකුණපු ගෙදරක කොල්ලෙක් රටේ රජවෙන එක සිරාම වැඩක්. ඒක මහළු සබ් එඩිටර්ගේ කණෙ රිංගන එකට වඩා හපන්කමක්.

    අනික උපත අනුව නෙමේ නේ මනුස්සයෙක් මනින්න ඕනෑ. නජජ්ජා හෝති බ්‍රාහ්මණෝ ද මොකක්ද එකක් තියෙනවානේ.

    දැන් ඉතිං කවුරු හරි කීවොත් පොර රජ වෙලා කරපු බලු වැඩ පවුල් පසුබිම හින්ද ද කියල මට කට උත්තර නැතිවෙනවා මුලින්ම.

    ඒත් -කලින් කියපු ගාථාවේම තියෙනවානේ කම්මනා වසලෝ හෝති කියලත්. ඒ කෑල්ල නිසා මං ෂේප්!

    • @Rasika,

      මේක ඒ වෙලාවෙ තරහට, කොලුකමට කරපු වැඩක් මිස දුර දිග හිතා බලා කළ දේශපාලන ක්‍රියාවක් නෙවෙයි. ඒ එක්කම මෙතන පෙනෙන නිර්භීතකම මෝඩකමක් වෙන්න තිබුණා වැඩේ ගැස්සුනා නම්.

      ලැවරියා කතාව ගැන මාත් එකඟයි. ප්‍රේමදාස ජනාධිපතිතුමා හෙළා දකින්න ශ්‍රීලනිපයේ වගේම එජාපයේම පවා ඉහළ පැළැන්තිය මේ වගේ කතා පාවිච්චි කළා. ලෝරන්සෝ එකට ගියාය කියා නොකියා නොගිය සෙන්ට් ජෝෂප් කතාවක් පටළවාගෙන ඒවාට පෝර දැම්මෙත් ප්‍රේමදාසම තමයි.

      ප්‍රේමදාස් පාලනය යටතේ රටට යම් හොඳක් වූ බව ඇත්ත. නමුත් ඒ කියා මර්ධනය සැඟවිය නොහැකියි.

    • රසික ඉතාමත් ම හරි. දෙමව්පියන්ගේ සුල මුල හොයලා මිනිහෙක්ව පහත් කරන එක තුච්ඡ වැඩක්. රජ උනාට පස්සේ කැත වැඩ කරේ පවුල් පසුබිම නිසා වෙන්නත් පුළුවන්. එත් රජ පවුල්වලින් රජ උන අය හැසිරුණ හැටි මීට දෙවැනි නැහැ.

      කොහොම උනත් මේ වැඩේනම් නිර්භීත වැඩක්. සිරා !!

  5. දැන් ඉතින් සිංහල බ්ලොග් තියෙන නිසා , කැපිලි කෙටිලි නැතිව තමන්ගෙ මතය ලියන්න පුලුවන් ….. ( කියල විශ්වාස කරනවා )

  6. Ansh Lucky Sri Jay

    😀

  7. සිංහල බ්ලොග් තිබ්බ පලියටම ඔය විදියට කරන්නනං බැහැ මං හිතන්නෙ. 😀

    කොහොම වුනත් කරල තියෙන්නෙ දැලි පිහියෙන් කිරි කන වැඩේ. වයසක මනුස්සයෙකුත් එක්ක.

  8. ape welaawa hondai, nathi nam widusarath nikang deshapalana widya pattharayak wewi! 😛

  9. පික්සු හැදෙයි සඳ කැරකෙයි.. 😀

  10. එතුමාට එහෙම පාලනයක් කරන්න සිදුවුනේ ඊට කලින් හිටපු ජනාධිපති කල දේවල් නිසා නොවේද ?

  11. dan inna adhama, hurankana, higana ,paalakayanta wada premadasa nathi bari minusunta wada karapu janapathi kenek kiyala idiri suba anagathedi oyalata therei

  12. භයානකයි……නමුත් ත්‍රාසජනකයි…..

    http://aluthkolla.blogspot.com

  13. කතාව ඇත්ත, ප්‍රේමදාස මහත්තයට අපහාස කරන්න ඔය වගෙ කතා යොදාගන්න තැනට වැඩ කටයුතු සලස්ව ගත්තෙත් එතුමාම තමයි, අනවශ්‍ය මෝඩ පාට් දාල.

  14. Great deed (considering the age and the political environment at the time) and a great post too!

    I also once thought R.P was the worst and thought JR was better in comparison, but today I think it was JR who setup everything, RP had to face their aftershocks during his time when JR was comfortably in the retirement. Few examples :

    1) sending JVP under ground in 83 (JVP was not involved in 83 clashes and were enthusiastically following main stream politics)

    2) Referendum on the need for a general election. (Lamp and Kalaya) what a farce! what a blatant violation of democratic norms? (he did that to cunningly keep his 5/6 majority in parliament)

    3) Rigging the District council elections in Jaffna

    4) Burning down of Jaffna library

    5) unprecedented lackey foreign policy. When Britain invaded Folklands, Sri lanka and US were the only countries to approve that. JR single handedly turned India against us.

    Now, think about each of problems RP has to faced. it was all results of JRs decisions and what he did. He was just lucky to go into retirement and let RP face the music of his own devices!

    But you are correct, RP was without doubt the most dangerous president in the country! I will ad these :
    JR was the most wrong,
    CBK was the most ineffective and hollow,
    RW was the most disastrous.
    It is yet too early to rate MR, (he got a good start few years ago, have to see how he will take it from here)

    Again, a salute for your bravery! This is why I mentioned in my first comment (to your first post) that few of you journalist guys inspired a generation in those dark days!

  15. සිද්ධි දාමය දේශපාලනික මනසකින් තොරව රසවින්දෙමි. අවසානයේ එක් දෙයක් සිතට ආවෙමි. එල කොල්ලෙක්.. කොල්ලො කාලේ ඕක කලේ නැත්නම් ආයි කවදා කරන්නද කියලා මම මුලින්ම සිගරට් එකක් බීපු දවසේ අපේ ලොකුතාත්තා කිව්වා මතකයි. මමත් ඒකම කියන්නම්. මගේ වයසේ චානුක මට උත්තරයක් දෙයි නේද?

  16. ඈඟ කිලිපොලා ගියෙහිය… 🙂
    මේ බ්ලොග් එක කියවද්දි හුස්මත් හිර වෙනවාය ! ඒත් ඒ ත්‍රිල් එක නම් මාරය !

  17. මෙහෙව් ප්‍රේමදාස යුගයක් ආයෙමත් ගේන්නද අර සජිත් ගොය්යා වලි කන්නේ ??? මේ වැඩෙ නම් පට්ට ආතල් . මෙතන තිය්න දේශපාලන කතාව පහත් උනත් , තම්න් ගැන නිවැරදි විවේචනයන් වලට ඉඩ නොදී මේ වගේ දේවල් ලියවෙන තැනට ලේඛකයන්ව පත් කරපු ප්‍රේමදාස ජනාධිපති තුමාම තමා ඒකට වග කියන්න ඕනි

  18. චානුක අයියා, නුවණ සමාජයේ නෝටිස් බෝඩ් එක තහනම් වෙච්ච කතාවත් ඉඩක් ලැබෙන හැටියට ලියන්න.

  19. පළමු වතාවට තමා මේ අඩවියට ගොඩවැදුණෙ… ඒකට පාර කැපුණේ කතන්දර අයියගේ අඩවියෙන්… කතන්දර කිව්ව වගේම ඩිසපොයින්ට් වුණේ නම් නැහැ පොඩ්ඩක්වත්…
    ඇත්තටම හරිම ආසාවෙන් කියෙව්වා… මං ඔබේ ශෛලියට ගොඩක් කැමතියි… ඔබේ ලිපි ඇත්තෙන්ම අපූරුයි…. ඉතිරිවාත් ඉඩ ලැබෙන හැටියට කියවනවා….

    විදුසර කියන්නේ මගේ විද්‍යාප්‍රබන්ධ කෙටිකතාවල තිඹිරිගෙය….

  20. සුබ උදසනක් වෙවා මෙව කියවන විට මාවත් මගෙ තරුන කාලයට ඉබෙම අදී යනවා අපූරුය්. දිගටම ලියන්න

  21. වටිනා කතාවක්! නිර්භීතකමයි මෝඩකමයි අතරෙ නං ලොකු වෙනසක් නෑ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s