8. ප්‍රගති මහීලාල් (1964 – 2009): ඔහු නොවූයේ නම් ‘විජය පරිගණක’ සඟරාවද නොවන්නේය

2009 අප්‍රේල් 12 වැනිදා, A7 මාර්ගය, කොටගල

“Pragathi Mobile” – මගේ සෙල් ෆෝනය.

වසර කිහිපයකට මත්තෙන් දිනෙකට හතර පස් වාරයක් කතා කරන ලද සුපුරුදු අංකයකින් ලැබෙන ඇමතුමට කතා කරමිද නොකරමිද විඡිකිච්චාවෙන් මම තත්පර කිහිපයක් හිස් බැල්මෙන් බලා හිඳිමි. මේ දුරකථනයේ හිමිකරුගේ හා ඔහුගේ දියණියගේ වියෝව පිළිබඳ සෝබර පුවත මා ඇසූයේ ඊයේ මැදියම් රැයේදීය.

අවසානයේ ඊට ප්‍රතිචාර දක්වන්නට මම තීරණය කරමි.

“චානුක….ප්‍රගති අන්තරා වුණා…”

මේ වචන පිට කරන ලද ගැහැණු කට හඬේ ස්වරය විස්තර කිරීමට මම නොවෙහෙසෙමි. මගේ වචන ඊට නොපොහොසත් බව දන්නා නිසාය.

ජීවිතයේ මෙතක් මා ලද කිසිම දුරකථන ඇමැතුමක් මා මේ තරම් කම්පනයකට ලක් කොට නොමැත. කල්පයක් සේ හැඟුණු කාල පරාසයකට පසු මම දැඩි අසීරුවකින් වචන ගැට ගසා ගනිමි.

“මම කොළඹින් පිට ඉන්නෙ. මේ කොළඹ එන ගමන්. ආපු ගමන්ම මම එන්නම්…”

මම දුරකථනය විසන්ධි කරමි. මා ඇයට මීට වඩා යමක් කිව යුතුය මට සිතෙයි. එහෙත් එකම දවසකදී පැය තුනක කාල අන්තරයකදී තම සැමියාද දියණියද අහිමි වූ පටාචාරාවකට මම කුමක් කියම්ද?

දින දෙකකට පසු එක් මූසල සැන්දෑවක අපි ප්‍රගතිගේ දේහය පොළොවට යට කරමු. මම ඉන්දි (ඉන්ද්‍රජිත් සමරජීව) සමඟ, වෙන් වෙන් වශයෙන් අප දෙදෙනාගේම ජීවිතයේ එක් උල්ලාසයක නිමාව දෙස බලා හිඳිමි.

ප්‍රගතිගේ මරණයට පසුදා, පහත සටහන ලියන ලද්දේ ලංකාදීපය වෙනුවෙනි. සුදාරක හා මාලින්ද මල්ලිලාද ඒ අවස්ථාවේ මගේ ඉල්ලීම මත එය තම බ්ලොග් වල පළ කළහ.

______________________________

පළමු පරිගණක සඟරාවේ කවරය

අද විජය පරිගණක සඟරාව නොදන්නකු නැති තරම්ය. මගේ දැනීමේ හැටියට එය දකුණු ආසියාවේ දේශීය භාෂාවකින් පළවන, වැඩිම අලෙවියක් ඇති පරිගණක/සන්නිවේදන මාසිකයයි. එහෙත් මේ දීර්ඝ ගමනද 1997 ජූලි මාසයේදී ආරම්භ වූයේ තනි කුඩා පියවරකිනි. එහි මුල්ම කාර්ය මණ්ඩලයේ වූවෝ දෙදෙනෙකි. එක් කෙනක් ඒක පුද්ගල කතෘ මණ්ඩලය වූ මමය. අනෙකා දින කිහිපයකට පෙර අපෙන් වියෝ වූ ප්‍රගති මහීලාල්ය. ප්‍රගතිගේ රාජකාරිය වූයේ – ලිපි ලිවීම හැරුණු විට අනෙක් සියළුම දේවල්ය. වෙළෙඳ දැන්වීම් සොයා ගැනීම, මුද්‍රණය, බෙදාහැරීම පමණක් නොව මට අවශ්‍ය පොත්පත් සොයා පොත්හල් ගානේ රස්තියාදුවීමද ඒ අතර විය.

“කළු මහත ළමයෙක්. කඩියා වගේ වැඩ!” මේ ලංකාදීප ප්‍රධන කතෘ සිරි රණසිංහයන් දෙවැකියකින් මට ප්‍රගති හඳුන්වා දුන් හැටිය. සහතික ඇත්ත. ප්‍රගති කඩියෙකි. වැඩක් බාරගත් මොහොතේ සිට සාර්ථකව ඉවර කරන තුරු ඔහුට නිවනක් නැත. උදේ සිට රෑ වනතුරු කළේ ඒ වෙනුවෙන් දුවන එකය.

මුල්ම පරිගණක සඟරාව එළි දක්වන්නට අප දෙදෙනාට මසක කාලයක් ලැබිණි. (මෙය ‘විජය පරිගණක’ වූයේ පසුවය. කලින් පුරුද්දට මට තවමත් එය කියැවෙන්නේ ‘පරිගණක’ සඟරාව හැටියටය.) අද නම් එවැන්නක් සතියකින් කළ හැකිය. එදා එය විශාල අභියෝගයකි. වසර දොළහකට පෙර පරිගණක තාක්ෂණය ගැන හොඳ ලිපියක් සරල භාෂාවෙන් ලියන්නට පවා කෙනකු නොවිණි. ලියූවන් ලිව්වේද එක්කෝ බාග ඉංගිරිසියෙනි. නැතිනම් පාඨකයන්ට තියා ලේඛකයාටවත් නොතේරෙන භාෂාවකිනි. නිසි වදන් නැතිවීම තවත් අඩුවක් විය. (බොහෝ වදන් බන්දුසීල, එඩ්වින් ආරියදාස වැනි වියතුන්ගේද සහාය ඇතිව අපි තනා ගතිමු. ‘වෙබ් අඩවි’, ‘බා ගත කිරීම’, ‘ජව ගැන්වීම’,’සංගත තැටි, ‘තැටිති’ අප එදා නිර්මාණය කළ යෙදුම් කිහිපයකි.) ‘සිංහලෙන් ඕවා ලියන්න පුළුවන්ද?’ ඇසුවෝත් වූහ. එඩ්වින් ආරියදාස, මහාචාර්ය වී. කේ සමරනායක වැනි සුළු පිරිසක් අප දිරිමත් කළද ඔවුනගේ අදහස වූයේද සිංහල මාධ්‍ය පරිගණක සඟරාවකට පිටපත් දස දහසකට වඩා අළෙවියක් නැති බවය. මේ කතා කරන්නේ 1997 ගැනය. දහයකින් කෙනකුවත් පරිගණකයක් දැක නොතිබිණි. රටේ භාවිතා වූ මුළු ජංගම දුරකථන සංඛ්‍යාව ලක්ෂයකට අඩුවිය. වෙනෙකක් තියා මුළු ලංකාදීප කතෘ මණ්ඩලයටම එකම පරිගණකයක් වත් තිබුනේ නැත.

විජය පුවත්පත් සමාගමේ පාලනාධිකාරියෙන් අපට සඟරාව පළ කරනවාට අමතරව තවත් අභියෝගයක් ලැබුණේය. ඒ සමාගමේ සියළුම ප්‍රකාශනවල පිටු සැකසීම පරිගණීකරණය ආරම්භ කරන ලෙසය. ඒ වන තුරුම විජය පුවත්පත් සමාගමට සිංහල පිටු සැකසීම් අංශයක් කියා දෙයක් නොතිබිණි. සිටියේත් පිටු සැකසීම් ශිල්පීන් නොව පරිගණක යතුරු ලියන්නන්ය. ඔවුන් කොලම් මහතට යතුරු ලියා දෙන ලිපි පරණ විදියට සුදු කඩදාසියේ ඇළවීමෙන්ය පිටු සකසා ගත්තේ. පේජ් මේකර් හා ෆොටෝ ෂොප් පරිගණකයන්හි ස්ථාපනය කොට තිබුනද භාවිතාවක් නොවීය. පළමු වරට ඒවා භාවිතා කළේ පරිගණක සඟරාව වෙනුවෙනි. අද මතක් වන විට සිනා පහළ වුවත්, වැඩි වැඩ නැතිව පළමු පිට සකසා ගැනීමට මටත් චන්දන, ගුණතිලක දෙසොහොයුරන්ටත් පැය තුනකට ආසන්න කාලයක් ගතවිය.

මේ දීර්ඝ අටුවාව ලීවේ ප්‍රගතිත් මාත් භාරගත් අභියෝගයේ තරම කියන්නටය. මම ප්‍රගතිගේ බොස් වීමිද, නැතහොත් ප්‍රගති මගේ බොස් වීද මම අදත් නොදනිමි. එවැන්නක් සිතීමට වත් අවකාශයක් වූයේ නොවේ. අගෝස්තු 12 වැනිදා ලංකාදීප පුවත්පත සමඟ නිකුත් වීමට නියමිත පළමු පරිගණක කලාපයේ වැඩ කටයුතු අප නිමා කළේ ඉන් පෙරදිනය. මුද්‍රණයට යන්නට පැයකට පෙරත් ප්‍රගති පිටු මාරුවක අවුල් ඇරියා මතකය. මුල්ම සඟරාව මුද්‍රණය වී එනතුරු විජය පුවත්පත් ආයතනයේ පහළ මහලේ බලා සිටීම ප්‍රගතිටත් මටත් නවමු අත්දැකීමක් විය. අපේ උත්සාහයේ මිහිර විඳ ගැනීමට ලැබුනේ පසුවදා පාරේ තැඹිලි විකුනන්නන්ද පරිගණක සඟරාව කියවනු දැකීමෙනි.

ප්‍රගති ගැනත් පරිගණක සඟරාව ගැනත් මට තවත් බොහෝ මතකයන් ඇත. එහෙත් ඒ වෙනුවට අප දිනාගත් දේ ගැන කතාකිරීම වඩාත් අවස්ථෝචිතය. 1999දී තනිව නැඟී සිටීම ආරම්භවූ පරිගණක සඟරාවට මුලදී දස දහසක මාසික අළෙවියක් වත් නොතිබිණි. මගේ මතකය නිවැරදි නම් දෙවැන්න කලාප 6,000 කටද, තෙවැන්න 5,000 කටද පහත වැටුණේය. මේ වනවිට අපේ උත්සාහය ගැන අපටම සැක පහළ වුවද අවසාන මොහොත දක්වා සටන අත නොහැරීමට අපි අධිෂ්ඨාන ශීලී වීමු. මාසයකට දහස දෙදහස ගණනේ අළෙවිය ඉහළ නැංගේය. 2001 ආර්ථික අවපාත සමයේ වෙනත් බොහෝ ප්‍රකාශනවල අළෙවිය වැටෙද්දී අපි නොකඩවා ඉහළ නැංගෙමු. අවසානයේ ප්‍රගති හා මා 2004 දී ඉන් ඉවත් වන විට විජය පරිගණක සඟරාවේ මාසික අළෙවිය 42,000 ඉක්මවා තිබුණේය. අපෙන් පසු ඒ කටයුත්ත භාරගත් පාලිත අමරසුරිය සොහොයුරා දැන් එය එමෙන් කිහිප ගුණයක් ඉහළ නංවා කිසිම තරගයක් නැතිව එය වෙළෙඳපළ නියමුවා කොට ඇත.

මීට අමතරව විජය පරිගණක සඟරාව මඟින් අපි ශ්‍රී ලංකාවේ පළමු වරට ජාතික මට්ටමේ පරිගණක සම්මේලන පැවැත් වූයෙමු. පදනම් ආයතනයේ විශාල ශාලාව පිරෙන්නට මේවාට සෙනඟ එක් රැස්වූ බව මට මතකය. පළමු සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා වුයේ එවකට ජනමාධ්‍ය ඇමති ධර්මසිරි සේනානායකය. මහාචාර්ය වී. කේ සමරනායක, මහාචාර්ය ගිහාන් ඩයස්, ආචාර්ය බන්දු රණසිංහ, ක්‍රිශාන්ත සිල්වා (දැනට ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති), ගාමිණි ගුණවර්ධන, එස්. එම්. බන්දුසීල, ටී. එම්.ජී. චන්ද්‍රසේකර (ඔහුගේ ‘අන්තර්ජාලය ඔබේ නිවසට’ වැඩසටහන එවකට අතිශය ජනප්‍රිය විය.) හා නාලක ගුණවර්ධන  මේවාට සම්පත් දායකයින් සේ සහභාගි වූයේ සතයක් වත් නොගෙනය. මෙහි සම්පූර්ණ ගෞරවය යායුත්තේ ප්‍රගතිටය. ඔහුගේ අපූර්ව සංවිධාන ශක්තිය නොවීනම් මේ කිසිවක් සිදුවිය නොහැකිව තිබිණි.

වෘත්තීය සගයකු හැටියට ප්‍රගති සමඟ තරම් පහසුවෙන් මම වෙනත් කිසිවකු සමඟ කටයුතු කළේ යැයි නොසිතමි. සාමාන්‍යයෙන් මා සමඟ වැඩ කිරීම කෙනකුට පහසු නැත. මාධ්‍ය ජීවිතයේදී එය වඩාත් දැනේ. එහෙත් ඔහු සමඟ කටයුතු කළ දීර්ඝ කාලය තුළ වරක් හෝ අප අතර වාදයක්, උනුසුම් කතාබහක් නොවීය. අප දෙදෙනා එකකු ලෙස හැපුණේ අනුන් සමඟය.

විජය පරිගණක සඟරාව පිළිබඳ බොහෝ කටයුතු මා කළේ නිර්නාමිකව හෝ ආරූඪ නම් වලිනි. විවිධ නම් විසි පහකට වැඩි සංඛ්‍යාවකින් මම ඊට ලියා ඇත්තෙමි. හේතුව මාධ්‍ය භාවිතාව මගේ අනෙකුත් රැකියා කටයුතු වලට බාධාවක් වීමය. මට සේම ප්‍රගතිටත් ඒ වෙනුවෙන් ලැබුනේ සොච්චමකි. එහෙත් ඒ ගැන අප දෙදෙනාටම අවංකව සතුටුවීමට කරුණු කාරණා තිබිණි. අද අපට හමුවන පරිගණක ක්ෂේත්‍රයේ දැනුමැති යව්වනයෝ ජීවිතයේ එක්තරා වයසක විජය පරිගණක සඟරාවෙන් එක්තරා මට්ටමකට උගැන්මක් ලැබූවෝය. ඔවුන් ඒ මට්ටමට ගත්තේ අපයැයි මම නොකියමි. එහෙත් අප ඔවුනට රුකුලක් වී නම් ඒ ගැන අවංකව සතුටු විය හැකිය.

පරිගණක සඟරාවෙන් ඉවත් වූ පසු ප්‍රගතිගේත් මගෙත් සන්නිවේදනය එක්තරා මට්ටමකට සීමා විය. එය වසර ගණනාවකට පසු මෑතක යළි අළුත් වූයේ ඔහු ‘ඩේලි මිරර්’ පුවත්පතෙහි වෙළඳ දැන්වීම් කළමනාකාර ධුරයට පත්වීම සමඟය. බොහෝ කාලයකට පසුව රැකියාවේ ධනාත්මක වෙනසක් වන්නට යෑම ප්‍රගතිට සුභ ආරංචියක් විය. (පරිගණක සඟරාවෙන් ඉවත් වීමෙන් පසු ඔහු කළේ තොරතුරු තාක්ෂණ අංශයේ වැඩි අභියෝගයක් නැති වැඩ කටයුතුය.) කෙසේවෙතත්, ආර්ථික අර්බූදයක් ඉදිරියේ තබාගෙන රැකියාවේ වෙනසක් වීමේ අවදානම ගත යුතුද යන්න ඔහුට ගැටළුවක් විය. ප්‍රගති ගැන දන්නා මම ඊට දිරි දුනිමි. ප්‍රගතිට අවශ්‍ය වූයේ අභියෝගය. අභියෝග නැති තැන ඔහු උදාසීන වෙයි. අළුත් රැකියාව ඔහු දීර්ඝ කාලයක් තිස්සේ බලාපොරොත්තු වූ අභියෝගය ඔහුට ලබා දෙනු ඇතැයි මම කල්පනා කළෙමි. ඒ සති කිහිපයකින් ඇසෙන්නට යන අසුභ ආරංචිය නොදැනය.

ප්‍රගති ‘පරිගණක’ පවුලේ අපට අහිමි වූ පළමුවැන්නා නොවේ. අප මුලින් සෝපත් කළේ PC Quest- Sri Lanka හි ආරම්භක කතුවරයා වූ ඇන්තනි ඩේවිඩ් රාජුය. ප්‍රගති සේම ඩේවිඩ්ද මියගියේ අඩු වයසිනි. ඩේවිඩ් පසට යටකළ ඒ අවාසනාවන්ත උදෑසන අපි ප්‍රගති සමඟ කඳුළ බෙදා ගතිමු. අද ප්‍රගතිද අප හැර ගොසිනි. අපි ඔහුද ඩේවිඩ් සේම දෙව් මව් තුරුළට යවමු.

Advertisements

15 responses to “8. ප්‍රගති මහීලාල් (1964 – 2009): ඔහු නොවූයේ නම් ‘විජය පරිගණක’ සඟරාවද නොවන්නේය

  1. හදවතින්ම කියනවනන් සහෝදරයා (ඔබට සහෝදරයා යනුවෙන් ඇමතීමට ඔබ අකමැති නොවේයයි මා සිතමි). . . . . . මාගේ පරිගනක ගුරුවරුන් දෙදෙනෙකි . . . . එක් අයෙක් නම් පසුගිය වසරේදී අප අතරින් සමුගත් “කුමුදු පින්ටෝ” ගුරුතුමාය. අනිත් ගුරුවරයා “විජය පරිගනක සඟරාවයි”. ඉඳින් යම් තරමක හෝ පරිගනක දැනුමක් මා සතුව ඇත්ද . . . . ඒ දැනුම සම්බන්දයෙන් මා ඒ දෙපොලට නයකරුවෙක්මි.
    ප්‍රගති සහෝදරයාට නිවන් සුව . . . .

  2. පළමු කලාපයේ සිටම මිළදී ගත් පරිගණක සඟරාව තමයි මගේ පරිගණක ජීවිතයටත් අත්පොත වුණේ. ඒ වගේ කාලෙක ඒ සඟරාවෙන් කරපු මෙහෙය මෙච්චරයි කියන්න බැහැ. ඔබ දෙපළට ඒ වෙනුවෙන් ගොඩක් දෙනෙක් ණය ගැතියි.

  3. Luckey from UAE

    පරිඝනක සඟරාව අකුරක් නැර කියවුවාට ඒක පිටිපස්සෙ මේ වගේ කතාවක් තියනවා කියලා නම් මම කවදාවත් හිතුවෙ නැහැ.ප්‍රගති සොයුරා ගෙ ශෝකාකූල කතාවත් එක්ක ඔබ දිරිය ඇති සැබැ සේවයක් කර සැඟවුන මිනිසුන් ගැන අපුරු කතාවක් කියලා දෙනවා. ප්‍රගති සොයුරාටත් , ආදරනීය දියනියටත් මොක් සුව පතමි.

  4. විජය පරිගණක අතිරේකයක් විදියට ලැබුන කාලෙ මගෙ අතට ගෙනත් දුන්නෙ තාත්තා. ඒ කාලෙ ඉඳන් 2005 විතර වෙනකන් මම එක දිගටම විජය පරිගණක ගත්තා. තාම ඒ මිටිය තියෙනවා රාක්කයක ගොඩ ගහලා. ඇත්තටම අපිව තොරතුරු තාක්ෂණ විෂය පථයට තල්ලු කරල දාන්න විජය පරිගණක ලොකු කාර්ය භාරයක් කලා. නමුත් ඔබ දෙපලගේ මේ කාර්යයන් ගැන දැන ගත්තේ අදයි.

  5. චතුවා(ළමයා)

    2007 ජනවාරි ඉඳලා මේ වෙනකම් නොවරදවාම මමත් විජය පරිගණක ගන්නවා.. ඇත්තටම ගොඩාක් ස්තූතියිවන්ත වෙන්න ඕන මේ දැනුම බෙදාගන්න ඔබලා ‍අරඹපු මේ කර්තව්‍ය ගැන..

    ප්‍රගති මහතාටත් , ඔහුගේ ආදරනීය දියනියටත් නිවන් සුව පතමි.

  6. මමත් නොකඩවා ගත්තු සඟරාවක් “පරිගණක”, ඒත් ඒක ආරම්භය ගැන මේ ඇහුවමයි.ඇත්තටම හොඳ මිනිස්සු කලින්ම මේ ලෝකෙ අතඇරල යනව කියන කතාව ආයෙ සැරයක් ස්ථිර උනා කියලයි මට හිතෙන්නෙ.

  7. පරිඝණක මාත් පිස්සුවෙන් වගේ ගත්තු කාලයක් තිබුනා. ඒ කම්පියුටරේ ගත්තු අළුත. දැන් නම් වැඩිය කියවෙන්නේ නෑ. ඒත් දෙයක් මුලින්ම ආරම්භ කරනවා කියන්නේ අමාරු වැඩක් සහ වටින වැඩක්. ප්‍රගතිව මම දන්නේ අද වෙන්න පුළුවන් ඒ වුනාගේ ප්‍රාගතිගේ ක්‍රියාවේ ළුල ප්‍රයෝජන මම ලැබුවේ මීට අවුරුද ගාණකට කලින්.. හොඳ මිනිස්සු කොහොමත් ඉක්මනට යන්න යනවා. ඒ වගේම ඒ අය හොඳ තැන්වල ඉන්නවා කියලා අපේ ආත්තම්මා කියනවා. ප්‍රගතිටත් ඒක එහෙමම වෙයි..

  8. මමත් ආරම්භයේ ඉඳන් අද වෙනතුරුත් නොකඩවා විජය පරිගණක සඟරාව මිලදීගෙන එයින් බොහෝ දේවල් ඉගෙන ගත්තා. මේ වගේ ඉතා වටිනා මෙහෙවර ඒ වගේ අඩු පහසුකම් යටතේ පටන් අරන් මේ සා විශාල දුරක් ගෙන එන්නට අඩිතාලම දමපු ප්‍රගති සහෝදරයට මම හදවතින්ම මොක්සුව ප්‍රාර්ථනා කරනවා. අපි මේ ලබාගන්න දැනුම වෙනුවෙන් ඔහුට වගේම මේ ගැන වෙහෙසෙන සියල්ලන්ටම ණය ගැතියි.

  9. ඩිලාන්

    මමත් 2000 විතර ඉදන් විජය පරිඝනක සගරාව කියවන්නෙක්,,මාව බ්ලොග් වලට ගෙනාවෙත් මේක.අනික මම පරිඝනක පාථමාලා සම්පූර්න කරපු කෙනෙක් නොවේ.කියන්න සතුටුයි විදේශයක සිට මම විජය පරිඝනක සගරාව කියවන්නෙක්,මාසේ අන්තිම වෙනකන් මම මග බලාගෙන ඉන්නේ.
    ගොඩක් දුක හිතුනා මේ සගරාවේ මුල්ම නියමුවෙක් මෙහෙම ඉක්මනින්ම යන්න ගිය එක ගැන.

  10. 2003 ජනවාරි සිට පසු ගිය වසර වනතුරුම පරිගණක සඟරාව මිලදී ගත්තා. නවතන්නට හේතුව උනේ දහ දොළොස් පාරක්ම “මුල සිට ඇරඹෙන MS Office” ඇතුළු පාඩම් මාලා කෙරුවාව නිසා, 50-50 මට්ටමටම දැන්වීම් පැමිණිම පසෙක තැබුවොත්. දැන්වීම් අඩුකොට, පාඩම් මාලා වෙනුවට පරිගණක ලෝකයේ නැඹුරුතා ගැන කතා වන විශේෂාංග ලිපි වලට මූලිකත්වය දුන්නේ නම්, සඟරාවේ මිල දෙගුණයක් කළද පාඨකයන් වැඩි මිස අඩු නොවනු ඇති.

    (මේ ලිපියට අදාළ නොවුනත්, විදුසර ගැනද මගේ අදහස ඒකයි, දැනටත් එය මිලදී ගත්තත්. ටියුෂන් අංකල්ලාගේ “පාඩංvertisements” වෙනුවට වෙනත් ලිපි යෙදුවා නම් හොඳයි.)

    ඒ කතා කෙසේ වෙතත්, පරිගණක වැනි සඟරාවක් ආරම්භ කොට පවත්වාගෙන ඒම ගැන මගේ ස්තුතිය.

  11. බදාදා ලංකාදීපය සමග පරිගණක අතිරේකයක් දෙන පුවත අදාල බදාදාවට පෙර ඉරිදා ලංකාදීපයේ පලවී තිබුණේ මා බිත්තියේ කී බෝඩ් එකක පින්තූරයක් අලවාගෙන සිටි කාලයේය. මා එවක සාමාන්‍ය පෙල විභාගය කට අතේ සිටියෙකි. අදාල දින බයිසිකලයෙන් පාන්දරින්ම ටවුමට ගොස් ලංකාදීපය මිලට ගත්තේ එදින එය ඉක්මනින් අවසන් වේවිය යන බලාපොරොත්තුවෙනි. එතැන් පටන් පුරා වසර තුන හතරක් ම විසින්ද, ඉන්පසු මලයා විසින්ද පරිගණක අතිරේකය සහ සඟරාව මිලට ගන්නා ලදී. එයින් වූ මෙහෙය ගැන කතා කර අවසන් කල නොහැකි වන්නේ දත් දෙයින් අඩක ගෞරවය නිතැතින්ම එය වෙනුවෙන් පිදිය යුතු බැවිනි…

    ප්‍රගති පිළිබඳ ලියූ ලිපිය මම සුදාගේ බ්ලොග් එකෙන් කියවා ඇත්තෙමි. ජීවිතේ හැටි ඒකය.

  12. මේ ලිපිය කියවන්න ලැබුණේ “කතන්දර“ මහතාගේ අඩවියට යන විටයි.පරිගණක සඟරාව මා කියවන්න ගත්තේ මා පහේ පන්තියේ ඉන්න දවස් වල. විවාදයකින් තොරවම මෙය මගේ මුල් ගුරුවරයාද වෙනවා.මා මුලින්ම වෙබ් අඩවියක් තනිවම නිමවූයේ මෙයට පින්සිදු වන්නටය…..

  13. මම 2003 ඉඳලා මේ වෙනකම්ම පරිගණක සඟරාව මිළදී ගන්නවා …. මගෙත් මුල් ගුරුවරයා විජය පරිගණක ….විජය පරිගණක සඟරාව ලාංකිකයන් කීදෙනෙක්ගේ දෑස් පාදන්නට ඇත්ද ?

    මමත් ප්‍රගති මහතාටත් , ඔහුගේ දුවනියටත් නිවන් සුව පතනවා

  14. Dear Chanuka,
    While I was reading the weekend papers I was thinking about you and Pragathi. I remembered the article you wrote. Sri Lanka lost a wonderful man who really could have made a difference. Today, at a time where we need to have different modes of helping people gain the ICT related knowledge we feel this loss more.

  15. මම විජය පරිගණක සඟරාව 2008 ජනවාරි ඉදන් ගන්න පටන් ගත්තේ.මේ සඟරාවෙන් පරිගණක ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඉතින් මම සුබ පතනවා තවත් දිගටම පරිගණක සඟරාව පවත්වාගෙන යන්න කියලා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s