9. දුරකථන, බ්‍රෝඩ් බෑන්ඩ් බදු 31% සිට 20% දක්වා අඩු කිරීමට මුල් වීමි.

2010 ඔක්තෝබර්

Pl see me on Wednesday 2 pm

ආචාර්ය පී. බී. ජයසුන්දරගේ කෙටි ඊ-මේල් පණිවිඩය දුටු මට මුළින්ම ඇතිවුණේ නුරුස්නා හැඟීමක්. බදාදා මහජන දිනය රජයේ නිලධරයකු මුණ ගැසෙන්නට නරකම දිනය බවයි මගේ අත්දැකීම. එකක් පෝලිම. අනෙක එදා සියයක් දෙනාගේ වැඩ අතර ඔහුගේ අවධානය ලබා ගන්නට ඇති අපහසුව. කොහොම වුණත් මට විකල්පයක් තිබුණේ නැහැ.

පුදුමයකට මෙන් නියමිත වෙලාවට මිනිත්තු දහයකට කලින් මුදල් අමාත්‍යාංශයේ ඔහුගේ පෙර කාමරයේ රැඳී සිටියේ මා පමණයි. මගේ හමුව පැය භාගයක් පමණ ප්‍රමාද වුණේ විදේශීය නියෝජිත කණ්ඩායම් දෙකකට මුල් ඉඩ සලසා දෙන්නට සිදු වූ හෙයින්.

අවසානයේ අප තිදෙනා වැඩේට බැස්සා. ආචාර්ය ජයසුන්දර, මම හා (මගේ පැරැණි වෘත්තීය සගයකු වූ) මුදල් අමාත්‍යාංශයේ බදුකරණ ප්‍රතිපත්තීන් පිළිබඳ අධ්‍යක්ෂ. අන් කිසිවකු නැහැ. පිරිස අඩු වූ තරමට වැඩේ පහසුයි.

මේ මා ආචාර්ය ජයසුන්දර මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව. ඔහු මහ බැංකුවේ සේවයෙන් ඉවත් වූයේ මා මහ බැංකුවට බැඳෙන්නට සති දෙකකට පෙර.

හඳුනා ගැනීම් නැතිව අපි කතාව පටන් ගත්තා. ඔහු කවුරුද මා දන්නා සේම මා කවුරුදැයි ඔහු දැන සිටි නිසා. When you meet policy makers don’t waste their precious time on small talk.  මේ මගේ පුහුණු සටහන්.

“So what do you want me to do?” ඔහු කතාව ආරම්භ කළා.

මා මගේ තනි පිටෙක ලියවිල්ල (policy brief) ඔහු අතට පත් කළා. චිරාත් කාලයක් තිස්සේ ප්‍රතිපත්ති මැදිහත් වීම් (policy intervention) ගැන මා උගත් දේ ප්‍රායෝගිකව ක්‍රියාවට නඟන අවස්ථාවක් මේ.

DON’T WASTE THEIR TIME. Be to the point. ONE page policy briefs. ONE minute presentations. Absolutely NO Powerpoint slides. If you cannot convince anybody with these you never will.   මේ මගේ සටහන්.

“Doctor, when a farmer in Wariyapola takes a call worth of one rupee now, he pays additional 31 cents as taxes. He pays four components of tax…”

කතාව පටන් ගත් මා හරියටම මිනිත්තු 1.37 කදී මගේ යෝජනාව පැහැදිළි කළා. (තත්පර 37ක් වැඩියෙන් අරගෙන.) වෙලාව ගැන හරියටම දන්නේ ඒ කටයුත්තටම මා මගේ සෙල් ෆෝනය මේසය උඩ මගේ ඉදිරියෙන් තබා ගත් නිසයි.

ආචාර්ය ජයසුන්දරට මගෙන් අසන්නට තිබුණේ ප්‍රශ්න කිහිපයක් පමණයි. ඔහු මා හිතුවාට වඩා කාලයක් කතා කළා. තවත් මාසයකින් ඉදිරිපත් කරන්නට නියමිත අයවැය යෝජනාවේ කෙරෙන්නට නියමිත බදු වෙනස්කම් වල ස්වභාවය සංකල්පීය මට්ටමින් ඔහු පැහැදිළි කළා. දුරකථන බදු වෙනස ඊට අදාළ වන්නේ කෙසේද යන්න ගැන අප කථා කළා. (මේ තොරතුරු බොහොමයක් පහත ලිපියේ ඇති නිසා පුනරුච්චාරණයට අදහසක් නැහැ.)

මුල් හමුවෙන් එකඟතාවයකට එන්නට බැරිවුණේ මගේ ගණනය කිරීම් කර තිබුණේ මුදල් අමාත්‍යාංශයේ අවශ්‍යතා සැලකිල්ලට නොගෙන වීම නිසා. මට නව ගණනයකට සතියක කල් ලැබුණා.

මගේ පූර්ණ සති අන්තයක්ම වැයවූ මේ ගණනය ලෙහෙසි කාරණයක් වුණේ නැහැ. රජයටත්, පාරිභෝගිකයාටත් දෙපැත්තටම සාධාරණ බදු ප්‍රතිශතය (optimal point) වුණේ 21.5%. මෙය වෙනස් කරන්න බැහැ. නමුත් මගේ අදහස වුණේ සහනයක් වෙන්නට නම් බදු ප්‍රතිශතය 20%ටවත් අඩු විය යුතු බවයි. මීට එකම විසඳුම වුණේ පෙර ගෙවුම් (pre-paid) පැකේජ වලට 20% කුත්, පසු-ගෙවුම් (post-paid) පැකේජ වලට ඊට වඩා වැඩි බද්දකුත් අය කිරීමයි. එසේ වී නම් පසු ගෙවුම් (post-paid) පැකේජ සඳහා 24% ක බද්දක් වැටෙනවා. පසු ගෙවුම් පැකේජ සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ වඩා වැඩි ආදායමක් ඇති පිරිස. මේ නිසා එහි ලොකු අසාධාරණයක් නැහැ.

“Don’t make it too complicated. We cannot have two rates.” ආචාර්ය ජයසුන්දර ඊළඟ හමුවේදී මට උපදෙස් දුන්නා. ඒ කියන්නේ 21.5% නියතයි වගේ. නමුත් ඔහු අවසානයේ තීරණාත්මක ප්‍රශ්නය ඇහුවා.

“Have you considered growth?”

ඇත්ත. බදු අඩු කළාම භාවිතය අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. මේ නිසා අඩු බදු ප්‍රතිශතයකින් වුවත් අපේක්ෂිත ඉලක්කය සපුරා ගත හැකියි. මා මේ බව දැන සිටියත් වර්ධනයද සැලකිල්ලට ගෙන අදාළ ප්‍රතිශතය ගැන අනාවැකි කියන්නට තරම් දත්ත මා සතු වූයේ නැහැ. මා ඒ බව කිව්වා.

“Let us make it 20%. The growth will take care of the 1.5% gap.” ආචාර්ය ජයසුන්දර උපදෙස් දුන්නා.

දුරකථන බදු, බ්‍රෝඩ් බෑන්ඩ් බදු 31% සිට 20% දක්වා අඩුවීමේ පසුබිම් කතාව මේ. ප්‍රතිපත්තිමය මැදිහත්වීමක් සාර්ථක වීමේ සතුට මා පළ කළේ ලක්බිමට හා රාවයට ලියූ පහත ලිපියෙන්.

__________________________________________________

බදු සැහැල්ලුව තුළ විදිලි සංදේශනයේ ඉදිරි මං පෙත්

චානුක වත්තේගම

“අපේ රටේ යෞවන යෞවනියන් ගාව විශේෂයෙන්ම තියෙන දෙයක් තමයි ජංගම දුරකථනය. නමුත් ඔවුන් බොහෝදෙනකු කියන්නේ SMS එකක් යවන්න වත් මුදල් නැහැයි කියලා. මේ හන්දා රිංග් කට් එකක් (මිස් කෝල් එකක්) දීමෙන් සෑහීමකට පත් වෙන්නයි ඔවුන්ට සිදු වෙලා තියෙන්නෙ”

කලකට ඉහත මෙසේ කීවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාය. මේ සාමාන්‍ය දකුණු ආසියාතික දේශපාලන නායකයකුගෙන් අප බලාපොරොත්තු වන ආකාරයේම හා රනිල් වික්‍රමසිංහ මහතා නිතරම කරන ‘පස්දුන් කෝරළේ’ හෝ ‘පොළොන්නරු වරාය’ ආකාරයේ මුග්ධ ප්‍රකාශයක් විනා කාරණා දැන කළ එකක් නොවේ. එක – අපේ රටේ SMS එකක් යැවීමේ වියදම කලාපයේ වෙනත් බොහෝ රටවලට සාපේක්ෂව අඩුය. දෙක – වියදම් වැඩිය කියා මෙරට යෞවන යෞවනියන් SMS යැවීම නතර කර තිබූ බවක් කිසිම සමීක්ෂණයකින් හෙළිව තිබුණේ නැත. (ඇත්තමට සමීක්ෂණ වලින් හෙළිව තිබුණේ එහි අනෙක් පැත්තය. ලර්න් ඒෂියා ආයතනය විසින් 2008 වසරේදී පවත්වන ලද සමීක්ෂණයකදී හෙළිවූයේ අපේ රටේ අඩුම ආදායාම්ලාභී ස්ථර දෙකෙහි පවා තරුණ තරුණියන්ගෙන් 67%ක් SMS භාවිතා කරන බවයි. දැන් මේ ප්‍රතිශතය මීට වැඩි විය හැකිය.) තුන – SMS යැවීමේ ගාස්තු වැඩි වීමට හේතු කාරක විය හැකි සමහර බදු හඳුන්වා දෙන ලද්දේද රනිල් වික්‍රමසිංහ මහතා අගැමැති පදවිය දැරූ කාල සීමාව තුළදීය. ජංගම දුරකථන සඳහා වූ විශේෂ බද්ද එවැන්නකි.

එහෙත් මේ මිථ්‍යාව පසුපස පවා එක්තරා මට්ටමක සත්‍යයක් තිබුණේය. ඒ අපේ රටේ විදිලි සංදේශ සේවාවන් පිණිස අයවන බදු සම්බන්ධයෙනි. මෑතක් වනතුරු විවිධ බදු වර්ග හතරක් විදිලි සංදේශ සේවා වෙනුවෙන් අය කරන ලද අතර මේ නිසා දුරකථන භාවිතය වෙනුවෙන් අය කෙරෙන හැම රුපියලක් වෙනුවෙන්ම සත තිස් එකක් බදු ගෙවීමට පාරිභෝගිකයාට සිදුවිය. SMS එකක වියදම රුපියල් 1.31ක් හෝ 2.62ක් වූයේ ඒ අනුවය. මේ සත 31 හෝ 62 බදුය.

මේ ඉතා ඉහළ බදු ප්‍රතිශතයකි. 2006-7 වර්ෂ වලදී GSMA ආයතනය විසින් කරන ලද පර්යේෂණයකට අනුව සියයට තිහකට වඩා වැඩි බද්දක් ජංගම දුරකථන සේවා වලින් අය කරන ලද්දේ ශ්‍රී ලංකාව හැරුණු විට ලෝකයේම එක රටක් පමණෙකි. ඒ තුර්කියයි. උගන්ඩාව, බ්‍රසීලය, ඩොමීනියන් ජනරජය හා සැම්බියාව සියයට තිහට ආසන්නව සිටියහ. මේ අනුව දුරකථන සඳහා අය කරන ලද බදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිටියේ දෙවැනි තැනය.

මේ බදු ව්‍යුහය (වඩා පැහැදිළිව රූපයේ විස්තර කොට ඇත.) අපූර්ව ආකාරයකට අතීතයට සම්බන්ධ විය. මහාචාර්ය කේ. එම්. ද සිල්වා මහතාට අනුව පොළොන්නරු යුගයේදී මහා පරාක්‍රමබාහු රජ දවස වී වගාව සඳහාද වූයේ මෙවැනිම සංකීර්ණ ඉහළ අහයකින් යුතු බද්දකි. වී වගාව අදියර තුනෙකදී බද්දට බඳුන් විය. පළමුව අති බහුතරය රජ වාසලය අයත් කුඹුරු වෙනුවෙන් විශේෂ බද්දක් අය කෙරිණි. දෙවනුව ‘දිය දද’ නමින් ගොවිතැනට භාවිතා කරන ලද ජලය සඳහා බද්දක් විය. තෙවනුව අස්වැන්න නෙළාගත් පසුව අතිරික්ත නිෂ්පාදනය වෙනුවෙන් බද්දක් විය.

එකම කර්මාන්තයක් තෙවරක් බද්දට නතු කරන ලද්දේ කෙසේද? එක්කෝ එය මෙසේ බදු ගැසීමෙන් පසුව පැවැතීමට තරම් ලාභදායී විය යුතුය. නැතිනම් මේ බදු ක්‍රමය මහා හිරිහැරයක් විය යුතුය. සමහට විට මේ දෙකම වන්නට පිළිවන. පරාක්‍රමබාහු යුගයේ බල පැවැත්වූ සමහර බදු ඉවත් කිරීමට ඉන්පසුව රජ පැමිණි නිශ්ශංකමල්ල කටයුතු කර ඇත්තේ එනිසා විය හැකිය.

එකොළොස් වන සියවසෙහි වී වගාවට විසි එක් වන සියවසෙහි සමතුල්‍ය වූයේ විදිලි සංදේශ කර්මාන්තයයි. කර්මාන්තයේ ලාභදායී තත්ත්වය නිරීක්ෂණය කළ විවිධ ආණ්ඩු (පසුව මේ සේවා ගාස්තු විවේචනය කළ රනිල් වික්‍රමසිංහගේද ආණ්ඩුව ඇතුළුව) විවිධ අවස්ථා වලදී, තැලෙන යකඩය දුටු කළ උඩ පැණ පැණ තැළු ආචාරියා පරිද්දෙන්, අළුතින් බදු එක් කළහ. නැතිනම් වලංගු බදු ප්‍රමාණ වැඩි කළහ. බදද 31% තරම් ඉහළ ගියේ ඒ අනුවය.

මින් සමහරක් බදු අර්ථ විරහිත විය. ගාස්තුවෙන් සියයට දෙකක් වූ පරිසර බද්ද එවැන්නකි. මේ බද්ද මුලින්ම අය කිරීම ආරම්භ කරන ලද්දේ භාවිතා කර ඉවත ලන ජංගම දුරකථන පරිසරයට හානි නොවන සේ ප්‍රතිචක්‍රීකරණය කරනු පිණිසය. නමුත් මේ බද්ද අයකොට ගොඩ නඟන්නේය එවකට පරිසර අමාත්‍යවරයා පොරොන්දු වූ ප්‍රතිචක්‍රීකරණ කම්හල කිසිදිනෙක ගොඩ නොනැඟුණේය. දැන් මේ වගකීම දුරකථන ආනයනය කරන සමාගම් වෙතම පවරා දී ඇත්තේය. නමුත් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ මේ නොකෙරෙන වෙදකම වෙනුවෙන් ජංගම දුරකථන පරිශීලකයෝ බදු ගෙවූහ.

2010 අයවැය යෝජනා තුළින් මේ සංකීර්ණ බදු ව්‍යුහය වෙනුවට සියයට විස්සක තනි බද්දක් පැනැවීමට කර ඇති යෝජනාව අපේ රටේ දුරකථන බදු සම්බන්ධයෙන් මෙතෙක් ඇතිවූ වැදගත්ම පරිවර්තනයක් සේ ගිණිය හැකිය.

මෙහි ඍජු බලපෑම විදිලි සංදේශ සේවාවන්ගේ වියදම අඩු වීමයි. උදාහරණයක් හැටියට රුපියල් 2.66ක් වූ SMS එකක් වෙනුවෙන් මින්පසු ගෙවිය යුතු වන්නේ රුපියල් 2.40කි. මෙය දුරකථන ගාස්තුවෙන් 8%ක අඩු වීමකි. බදු ප්‍රමාණයෙන් පමණක් නම් 35%ක අඩු වීමකි.

දීර්ඝකාලීන ලෙස මේ නිසා දුරකථන භාවිතා කරන්නන්ට, විශේෂයෙන්ම අඩු ආදායම් ලාභීන්ට වඩා වැඩි සේවාවන් ප්‍රමාණයක් භාවිතයට ඉඩ සැලසේ. මෙය වැදගත් වන්නේ දුරකථනය යනු අද හුදෙක් තවෙකකුට කතා කිරීමට පමණක් භාවිතා කෙරෙන මෙවලමක් නොවන නිසාය. මේ බදු අඩුවීම සියළු විදිලි සංදේශ සේවාවන් සඳහා අදාළය. උදාහරණයක් හැටියට ෆේස් බුක් භාවිතාකරන තරුණ තරුණියන්ගේ ඉන්ටර්නෙට් බිලද මෙනිසා අඩුවේ. ඉදිරියේදී ඇති විය හැකි ජංගම දුරකථන පදනම් කොට ගත් ගෙවීම් ක්‍රම සඳහාද මින් අනුබල ලැබෙතැයි සිතිය හැකිය. පොදුවේ පරිගණක කර්මාන්තයට මේ වෙනස ධනාත්මකව බලපානු ඇත.

මීට අමතරව පොදුවේ පරිගණක කර්මාන්තය සම්බන්ධව මතක ඇති කාලයක කිසිදු අයවැයකින් යෝජනා වී නැති ආකාරයේ ප්‍රශස්ත වෙනස්කම් රාශියක් මෙවර ඉදිරිපත් වී ඇත. ආනයනික පරිගණක මෘදුකාංග සඳහා වැට් බද්ද සේම ජාතිය ගොඩ නැඟීමේ බද්දද ඉවත් කොට තිබේ. මෙය පරිගණක කර්මාන්තයෙහි දීර්ඝකාලීන ඉල්ලීමකට කන් දීමකි. තව වසර කිහිපයකින් අන්තර්ජාතිකව පරිගණක සේවා සැපැයීම තුළින් රුපියල් බිලියන දෙකක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම පිණිස කටයුතු කරන වාතාවරණයක් තුළ මේ අතිශයින් වැදගත් වෙනසක් වේ.

අයවැය යෝජනා වලින් දුරකථන භාවිතා කරන්නට බරක් සේ පෙනුණු එකම යෝජනාව විදේශීය දුරකථන ඇමැතුම් සඳහා වන බද්ද මිනිත්තුවකට (ගාස්තුවට අනනුරූපව) රුපියල් දෙකක් කිරීමය. මීට අතීත කතාවක් ඇත. අනෙකුත් දුරකථන බදු සේම විදේශීය ඇමැතුම් සඳහාද එතෙක් වූයේ ගාස්තුවට අනුපාතික බද්දකි. නමුත් පසුගිය මාස කිහිපය තුළ විදේශීය දුරකථන සංවාද සඳහා වන ගාස්තු විශාල ලෙස පහත වැටුණේය. මේ නිසා ඊට සමානුපාතිකව රජයේ බදු ආදායමද පහත වැටී තිබේ. මේ එය පියවා ගැන්මේ උත්හාසයකි. සමස්තයක් ලෙස විදේශීය දුරකථන භාවිතා කරන්නන් විසින් ගෙවනු ලබන මුදල (බදුද ඇතුළුව) තවමත් මීට මාස කිහිපයකට කලින් තිබූ මිළට අඩුය.

සමස්තයක් ලෙස විදිලි සංදේශ හා පරිගණක ක්ෂේත්‍ර වලට අයවැය යහපත්ය. කෙටිකාලීන නොව දීර්ඝකාලීන ඉලක්ක වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් මෙහි පෙනේ. දශක ගණනාවක් මුළුල්ලේ විවිධ ආණ්ඩු විසින් කරන ලද වැරදි මෙම ඇයවැය මඟින් නිවැරදි කරගැන්මටද රජයට හැකිවී තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාගේම වචන වලින් කිව්වෝත් මේ රිංග් කට් නැති කරන අයවැයකි. යෞවන යෞවනියන්ට දැන් SMS යැවීමට වැඩි ඉඩකඩ ලැබීම ගැන ඔහුද සතුටු විය හැකැයි සිතනු හැකිය.

Advertisements

20 responses to “9. දුරකථන, බ්‍රෝඩ් බෑන්ඩ් බදු 31% සිට 20% දක්වා අඩු කිරීමට මුල් වීමි.

  1. Chanuka, You’re really impressing person. Thanks for fighting for something to give justice to all of us!

    Keep this blog rockin’! 🙂

  2. කොහොමහරි කරලා අන්තර්ජාල සබඳතා වල වේගය ප්‍රමාණවත් කරලා දුන්නොත් ලොකු දෙයක්. බෑමේ වේගය ගැන සෑහිමකට පත් වෙන්න පුළුවන් උනාට පැටවීමේ වේගය දැක්කාම බල්ලෝ බත් කන්නේ නෑ. තත්පරයට කිලෝබයිට් (kbps නොවේ!) තනි ඉලක්කමක ප්‍රමාණයෙන් එළියට පැටවීමේ වේගය මගේ SLT Home පැකේජයේ ඉහළ ගිය එක දවසක් වත් නෑ!!!

  3. Thanks Chanuka for reducing our bills!

    More thanks for sharing with us the details on how you executed it.

    I have a similar suggestion. (policy intervention) was looking for someone like you. 🙂

    do you think following is practical or worthwhile? (to reduce corruption at road building tenders, by using new technology). not my idea really, just saw this new technology on net and was wondering what if something like that used in SL (for small rural roads). A solution to road construction ?

    What would be the approach for (policy intervention) on something like that ?

  4. චානුක,
    ඉගෙන ගත්තු – මොළයක් පාවිච්චි කරන කෙනෙක්ගෙන් රටක් බලාපොරොත්තු වන්නේ මෙන්න මේ වගේ දෙයක්.
    ලංකාවේ බොහෝ දෙනෙක් කොපමණ ඉගෙන ගත්තත් Policy making and implementation පැත්තෙන් ගොඩක් පසුපසින් ඉන්නේ…
    මමත් හරිම ආසයි ලංකාවට සුදුසු රසායන විද්‍යා පැත්තෙන් නිසි ප්‍රමිතීන් පිළිබඳ වැඩ කරන්න. නමුත් මම ලංකාවෙ නැති නිසා ඒකට සුදුසු වාතාවරණයක් නැති එක ගැන හරිම කණගාටුයි…
    කවදා හරි මම ඒක කරන්න බලාපොරොත්තු වෙනවා.. නැත්නම් කරන කෙනෙකුට උදවු කරන්නවත්….
    හොඳ බ්ලොග් එකක්… ඉස්සර විදුසර කියවනවා වගේ මේකත් මම දිගටම කියවනවා…

  5. good initiative……..
    but I’d like to point out, at the same time govt. have increased tax for satalite TV from 12% to 20% with this reform.

  6. මේකනම් බොහෝ දෙනෙක්ට ඉතිරියක් තියන වැඩක්. මමත් බොහෝ වෙලාවට බ්ලොග් එක කියවන්නෙ Email මගින්.
    ඒත් මේකට අදහසක් දෙන්න ඕනෙ කියල හිතුන.
    චානුක බදු සැහැල්ලුව තුළ විදිලි සංදේශනයේ ඉදිරි මං පෙත් ලිපිය සම්බන්ධව මට කථාකරන වෙලාව වෙනකම් මම එහෙම කථාවක් දැනගෙන හිටියෙ නෑ. කථාකරන වෙලේ මම හිටියෙ බස් නැවතුමක. මට ගමන යනකම් හිතාගන්න බැරිඋනා. මෙහෙම බදු, මිල වැඩි වෙන කාලෙක මේ වගේ අඩුවීමක් අදහාගන්න බැරිඋනා

  7. ඉගෙන ගත යුතු බොහෝ දේවල් මේ සටහන තුලින් දුටුවා. ස්තුතියි!!!

  8. it is g8 work, thanks for reducing mobile bill 🙂

  9. නියමම වැඩක් . මමත් බ්ලොග් කියවන්නේ ලියන්නේ මගේ පෙර ගෙවුම් සම්බන්ද තාවය ගැන හිත හිත හූල්ලන ගමන් . අඩුම ගානේ 3G කඳුලක්වත් නැතුව සාමාන්‍ය සිග්නල් වලින් බඩගාන ගමන්. අන්තර්ජාලය තමන්ගේ ගෙදර කරගත්ත අපි වගේ දුප්පත් ගමක බයියොන්ටත් මේ වාසිය .. ඉහටත් උඩින් දැනේවි … බොහොම ස්තූතියි .

  10. එවැනි ඵලදායක මෙහෙයුමකට දායක වූ ඔබට බෙහෙවින්ම ස්තුතියි.

  11. //බදාදා මහජන දිනය රජයේ නිලධරයකු මුණ ගැසෙන්නට නරකම දිනය බවයි මගේ අත්දැකීම. // මුලින්ම මේ පිළිබඳව මගේ එකඟතාවය පළකරමි.

    මා අන්තර් ජාලය භාවිතයට ගත්තේ වැඩි මුදලට පැමිණි SLT CDMA දුරකථනයක් හරහායි. එයද Rs.200/= පෙර ගෙවුම් කාඩ් භාවිතය මඟිනි.

    නමුත් ඉන් පසුව පැමිණි SLT CDMA දුරකථන මා ගත් මිලට වඩා අඩු මිලට අලෙවි කරද , මුල් වකවානුවේ වැඩි මිලට ගත් පාරිභෝගියන්ට සහන සලසනවා යැයි කීවද ලැබූ සහනයක් නම් නැති.

    ඉන් වසර දෙකකට පමණ පසුව අගනුවර සිට අප ගම් ප්‍ර දේශයේ මාගේ සේවා ස්ථානයට පැමිණුන SLT කණ්ඩායමක් , අන්තර්ජාල පලල් තීරු වෙළඳ ප්‍රචාරයක නිතර වනු දැකිය හැකි විය.

    ඒ අප ගම් ප්‍රෙද්ශයට පලල් තීරු ආවරණය ලබා දුන් මුල් වකවානුව විය. ඒ වන විට අපේ ප්‍ර දේශයේ පලල් තීරු ලබා ගෙන තිබුනේ එක් ප්‍රසිද්ධ විඳේශ නියොජිත ආයතනයක් පමණි. මාතර දිස්ත්‍රිකයේ මා දන්නා තරමින් නම් පලල් තීරු පහසුකම මුලින්ම ලැබුයේ අප ගම් පෙදෙසයි. එයට හේතුව ගම් පෙදෙසේ නාමය අකාරාදි පිලිවලේ ඉහලින්ම තිබීම නිසා දෝයි මට සිතේ.

    මා ගේ නිවස පිහිටා ඇත්තේ ප්‍රධාන මාවත ආසන්නයේමය. නමුදු අපි භාවිතා කලේ රැහැන් රහිත SLT CDMA දුරකථනයකි. එයට හේතුව වූයේ ඒ ආසන්නයේ “ ලූප් “(චවනය හරිද නොදනිමි) නොමැති වීම බව දැන ගතිමි.

    නමුත් පලල් තීරු සංකල්පය රැගෙන ආ පසු රැහැන් සහිත පලල් තීරු සම්බන්ධතාවයක් රස විදීමට මට ද හැකි විය. SLT CDMA දුරකථනය නැවත බාර දුන් අතර ඒ වෙනුවට බ්‍රෝඩ් බෑන්ඩ් සබදතාවයක් නොමිලයේම ලැබුනේ, ඉහල මිලකට SLT CDMA දුරකථනය ලබා ගෙන තිබූ බැවිනි. සේවා සැපයීම ඉතා ඉහල මට්ටමක පවතින අතර , එදා සවස මා රාජකාරි ඇරී නිවසට ගොඩ වදින විට බ්‍රෝඩ් බෑන්ඩ් පහසුකම ගෙදරටම විත් තිබුනි.

    බැරිද තව ටිකක් මිල අඩු කරල දෙන්න …….. 🙂

  12. ජීවිතට පාඩම් රැසක් ඉගෙන ගත්තා.. මහත්මාණෙනි, නුඹට පින්..

  13. ඔය ළඟ තියෙන නෝට් කෑලිත් එක දෙක දාන එක නම් හොඳයි… අනික ප්‍රසන්ටේෂන් කරද්දි ඔය ෂෝට් ඇන්ඩ් ස්වීට් ක්‍රමේ තියෙන්නෙ ගොඩක් ඉහල පරිපාලනයේ වෙන්න ඇති. ප්‍රාදේශීය කාර්යාල වල වැඩකදි මොක නැතත් හෙන වැඩ දාපු ප්‍රසන්ටේෂන් තමයි නැගල යන්නෙ. ප්‍රසන්ටේෂන් එක රන් කරන මනුස්සය කල්පනා කරල වැඩ නොකලොත් ස්තූතියයි, ප්‍රස්ථාරයි, වගුයි, ස්ලය්ඩ් ට්‍රාන්සිෂන් වලට යන වෙලාවයි එක්ක ප්‍රසන්ටේෂන් පැය බාගයක් විතර තියෙනව.

  14. අද කොම්පියුටරය එදා ටෙලිවිශනයට සමානයි . එදා එක TV තිබුනේ යමක්කමක් ඇතිගෙවල්වල විතරයි. දැනි නම් පුංචි පැලෙත් TV තියනවා . මේ යුගය කොම්පියූටරයට උදාවන දිනය වැඩි ඈතක නොවේ . එත් දැන් පවතින නම් Broad brand speed ඉතා දුර්වලයි. විශේෂයෙන්ම SLT ADSL. මෙක හරියට TV එකක් අරං ඇන්ටෙනාවක් නැතුව බලනව වගේ. කවදා මේ කියන Band width හරියට ලැබෙයිද කියන ප්රරශ්ණයට උත්තරයක් ලැබෙනවනම් ?

  15. ස්තූතියි චානුක, බොහොමත්ම වැදගත් කරුණු රැසක් පිළිබඳව දැනුවත් කලාට. යම් විෂයක් සම්බන්ධව වෘත්තීයවේදීන්ගේ කාර්ය භාරය විය යුත්තේ කුමක්ද කියල ඔබේ ලිපියෙන් අගේට පැහැදිලි උනා.

    දැඩි කණගාටුවට හේතුව නම් ඔබ වැන්නන් බොහෝමත්ම දුර්ලභ වීමයි.

  16. Anuruddha Liyanage

    බොහොම ස්තුතියි, එ උනත් 2% cess බද්දකුත් ගහනව නේද?

  17. ස්තූතියි… මෙවන් හරවත් දේ ලියන ඔබට …. එක හුස්මට කියවමින්..ඔබේ බ්ලොගය… ස්තූතියි….

  18. good post,,, congratz bro“`

  19. මහත්තයෝ, ඔබතුමාගෙ බ්ලොග් එක නම් නියමයි. අන්තර්ජාල සේවාව සඳහා තිබෙන බද්ද 20%කට අඩු කලාට 2.45%ක සෙස් බද්ද කියලා එකකුත් වදිනවනෙ. බැරිද මේ සෙස් බද්දත් අහක් කරලා දෙන්න. පුළුවන්නම් ලොකු දෙයක්.

    අනික් කාරණෙ, දැනට ටික කලකට පෙර ගෙන එන ලද අය වැය යෝජනාවකදි රු 2.00 අවම ඇමතුම් ගාස්තුව රු 1.50ට අඩුකරනවා කියලා තිබුණා. ඒත් ගාස්තුව රු 1.50ට අඩුකලේ නැහැ. මේ යෝජනාවට මොකද වුනේ ?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s