10. මහ බැංකුවේ ඔස්කාගේ අපූරු කතන්දර – I

අද විවේකී දවසක් නිසා (මට නොවේ, පාඨකයින්ට!) කතන්දර ලියන ජාතියේ බර නැති කතන්දර ටිකක් අහමු.

මේ මහ බැංකුවේ ටිකක් පැරණි පින්තූරයක්. (බෝම්බයටත් එපිට කාලයක.)

ඔස්කා (අන්වර්ථ නාමයක්) මට හමුවන්නේ මහ බැංකුවේදී. දැන් ඔහුද ඇතුළුව මේ කියන කතා වලට සම්බන්ධ හැමෝම වගේ විශ්‍රාම ගිහින් නිසා කතන්දර කියන්න බධාවක් නෑ. අනෙක මේවා කාටවත් හානියක් නැති සරල කතන්දර. හරිය?

ඔස්කා ඒ වනවිට මහ බැංකුවේ විදිලි ඉංජිනේරුවරයා ලෙසයි සේවය කළේ. (BSc Eng, මොරටුව විශ්ව විද්‍යාලය) පරිගණක පද්ධති ඉංජිනේරුවකු ලෙස මට නිතර ඔහු සමඟ කටයුතු කරන්න ලැබුණු නිසා අප ඉක්මණින්ම මිතුරන් බවට පත් වුණා. ‘මචං’ කියා එකිනෙකා ආමන්ත්‍රණය කර ගත්තාට ඔස්කා මට වඩා වසර 15-20ක් වත් වැඩිමල්. ඇත්තටම ඔහු අපේ තාත්තා මහ බැංකුවේ සේවය කරද්දිත් එහි එකට වැඩ කළ කෙනක්. මේ ජ්‍යේෂ්ටත්වය ඔහු මොනම ආකාරයකින්වත් ප්‍රදර්ශනය කරන්නට ගියේ නෑ. නිතරම සිනා මුසු මුහුණින් සිටි ඔහු ප්‍රිය මනාප, කාටවත් වැරද්දක් නැති හා සමානයින් අතර ඉතාම ජනප්‍රිය චරිතයක්.

ඔස්කාට ප්‍රධාන දුර්වලතාවයන් තුනක් තිබුණා. එකක් භයානක ලෙස යම් යම් දේවල් අමතක වීම. දෙවැන්න ගොත ගැසීම. තෙවැන්න දැනට අවශ්‍ය නැහැ. ඒ ඔහුට පමණක් නොව ඒ කාලයේ මහ බැංකුවේ වයස අවුරුදු පනහ පිරුණු බොහෝ දෙනාට වූ පොදු දුර්වලතාවයක් බව සඳහන් කිරීම ප්‍රමාණවත්. මේ දුර්වලතාවයන් තුනටම සම්බන්ධ කතා තිබුණත් මා පළමු දෙවර්ගයට පමණක් සීමා වෙන්නම්.

ඔස්කාගේ අමතක වීමේ රෝගය දරුණුයි. ඔහු කවුරුන් හෝ හමුවීමට එන්නේ නම් අදාළ නිලධරයා අනිවාර්යයෙන්ම විමසිල්ලෙන් සිටිය යුතුයි. එක්කෝ ඔස්කා තමන් අතේ ඇති ෆයිල් එක මේසය උඩ දමා යනවා. නැත්නම් මේසය උඩ ඇති වෙන අදාළ නැති ෆයිල් එකක් යනකොට අරගෙන යනවා. දවසක් මගේ මේසය උඩ තිබුණු PC Magazine එකකුත් ගෙන ගොස් තිබුණා එහි බරවත් නොදැනී. මේ ඕනෑකමින් කළ දේවල් නෙවෙයි. ඔස්කාගේ අමතකවීමේ රෝගය හා සම්බන්ධ ගැටළු.

දවසක් මා සගයකු සමඟ විධායක අධ්‍යක්ෂතුමාගේ කාමරයට යන විට එතුමා දාඩිය දාගෙන ලේකම්වරිය සමඟ නැතිවූ ෆයිල් එකක් හොයනවා. එදාම හවස මුදල් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු පත්‍රිකාවක් ඒකෙ ඇතුළෙලු!

“ඔස්කා මේ පැත්තෙ ඇවිල්ලා ගිහින් වගේ” සගයා මගේ කණට කෙඳිරුවේ සීරියස්ලි නෙවෙයි, විහිළුවට. ඇහෙන නෑහෙන ගාණට කිව්වත් මේක ඇහුණා විධායක අධ්‍යක්ෂකතුමන්ට!

ඔහු එකපාරටම කෙළින් වී නැඟිට්ටා.

“Yes, he was here in the morning.”

අප නිකමට දුරකථන ඇමැතුමක් ගෙන බැලුවා. අනුමානය හරි. ෆයිල් එක අරගෙන ගිහින් තිබුණේ ඔස්කා තමයි.

තව දවසක් මා බැහැරක ගොහින් එන විට මගේ මේසය මත අඳුරු නිල්පාට ෆයිල් එකක්. කාගෙද කියා දැන ගන්නට මට ෆයිල් එක පෙරළන්න වත් ඕනෑ වුණේ නැහැ. මා ඔස්කාට කතා කළා, ඔහුගේ සෙල් ෆෝන් එකට.

“මචං, උඹ සුපුරුදු පරිදි ෆයිල් එකක් දාල ගිහින් මගේ මේසෙ උඩ “

“හරි. මං මේ එනවා”

කීවා වගේම ඔස්කා විනාඩි පහකින් එතැන. ඔහු කලින් ආ කරුණ ගැනත් වෙනත් දේවල් ගැනත් කතා කර කර ඉන්න ගමන් මා නිකමට මෙහෙම ඇහුවා.

“මචං උඹ කොහොමද මෙච්චර ඉක්මනට ආවේ?” (මගේ කාර්යාලය WTC හි West Tower එකේ තිබුණාට ඔහුගේ කාර්යාලය තිබුණේ ජනාධිපති මාවතේ වෙනත් ගොඩනැඟිල්ලක. මේ මහබැංකු බෝම්බයට පස්සේ පරණ ගොඩනැඟිල්ල අත හැරදමා අප අහිකුණ්ඨකයින් සේ හැසිරෙන දවස්.)

මෙන්න මේක අහපු ගමන් ඔස්කා මටත් නොකියා පිස්සකු වගේ දුවන්න පටන් ගත්තා.

සිදුවී තියෙන්නේ මේකයි. WTC එකේ පහළ මාලයේ බැංකුවක් තිබුණා. මගේ ඇමැතුම එන විට ඔස්කා හිටියේ එහි ATM එක භාවිතා කරමිනුයි. ඇමැතුම ආ ගමන් තමන් රුපියල් 2,500 ක් ගන්නයි යන්නේ කියා ඔහුට අමතක වෙනවා. ඔහු දිව එන්නේ මුදල් පමණක් නොව තමන්ගේ ATM කාඩ් එකත් යන්ත්‍රයේ තබායි. ඔස්කාගේ වෙලාව. ටික වෙලාවක් ATM එක පාවිච්චි කරන්න කවුරුත් ඇවිත් නැහැ. නෝට්ටු ටික ආපහු ATM එක ඇතුළට ගිහින්.

දැන් බෑන්ක් මැනේජර් ඔස්කාට ලෙක්චර් එකක් දෙනවා. සංවාදය මෙහෙමයි.

මැනේජර්: මිස්ට ඔස්කා ඉතින් ඔහොම අමතකවීම් වෙනව නම් ගෙදර දොරේ වැඩ කරගන්නත් අමාරු ඇතිනෙ.
ඔස්කා: ඒකනෙ කියන්නෙ. හැමදාම මම පොඩි එවුන් දෙන්නට බනිනවා.
මැනේජර්: ඒ ඇයි?
ඔස්කා: කඩේකට යන්න බෑ උන් දෙන්නට ටොෆීද, සීනි බෝලද, චොකලට්ද ඔක්කොම ඕනැ. ඒව ගන්න ගිහින් මට ඉතුරු සල්ලි ඉල්ල ගන්න අමතක වෙනවා.
මැනේජර්: දැන් මිස්ට ඔස්කා ඕකට කරන්න තියෙන්නෙ එකම දෙයයි. ඉතුරු අමතක වෙනව කියල දන්න නිසා මතක තියාගෙනම ගිහින් ඉතුරු ඉල්ලගන්න මුදලාලිගෙන්.
ඔස්කා: ඒකත් මං කළා. හරි ගියේ නැහැනෙ.
මැනේජර්: ඇයි මොකද උණේ?
ඔස්කා: එදා ඉතුරු ඉල්ලගෙන ගියාට මං ගත්තු බඩු මල්ල කඩේ දාල ගිහිල්ලනෙ.

අමරානන්ද සෝමසිරි ජයවර්ධන - අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව (1995-2004)

ඔස්කාට කවුරු කැමැති වුණත් ඔස්කාව පෙන්නන්න බැරි එක පුද්ගලයෙකුත් හිටියා. ඒ එවක මහබැංකුවේ අධිපතිතුමා. (හෙවත් ගවනර් ඒ. එස්. ජයවර්ධන – එතුමා සම්බන්ධ රස කතා කිහිපයක් පසුව අසමු.) ඔස්කාම කියන පරිදි මේකට හේතු දෙකක් මුල් වුණා. එක – අධිපතිතුමා අසන ප්‍රශ්න වලට ඔස්කාට එකපාරට පිළිතුරු දෙන්න බැරිවීම. ලොක්කා ඉස්සරහ ඔහුගේ ගොතය තවත් දරුණුයි. මේ නිසා පිළිතුර එන්නේ ප්‍රශ්නය අසා අවම වශයෙන් මිනිත්තු බාගයකට පස්සෙ. අධිපතිතුමන් එච්චර ඉවසාගෙන ඉන්න සූදානම් වුණේ නැහැ.

ඔන්න අළුත් ගොඩනැඟිල්ල හදන කාලයේ අප යනවා නිරීක්ෂණ චාරිකාවන්හි. ගවනර්ටත් ඕනැ නැති දෙයක් නෑ. හැම එකම අරක මොකද්ද, මේක මොකද්ද කියා අසා දැන ගන්න ඕනෑ. පුදුම කුතුහලයක් තියෙන්නේ.

“Isay, what is that?”

“It…it…itt…” ඔස්කා ගොත ගහන්න පටන් ගන්නවා.

ගවනර්ට උත්තරේ එන තෙක් බලා ඉන්න ඉවසීමක් නෑ. ඔහු ඊළඟ ප්‍රශ්නෙ අහනවා.

“…and what is this?”

“…is a s..s..switch board” ඔන්න ආව උත්තරේ අන්තිමේදි.

“Oh, is this a switch board? It looks like a phone to me” (ඔව්, ඒක දුරකථනයක් තමයි, ඒත් ඔස්කා උත්තර දුන්නේ පළවැනි ප්‍රශ්නෙට මිසක් දෙවැනි එකට නෙවෙයිනෙ!)

ඉතින් ගවනර්ට ඔස්කා දකින කොටත් තරහ යන එක අරුමයක්යැ? ඔස්කා සේවයේ රැඳී හිටියෙ ඔහුගෙ සේවය ස්ථිර කර තිබුණු නිසා මිස වෙන දෙයක් නිසා නෙවෙයි.

ගවනර්ට ඔස්කාව පෙන්නන්න බැරි වෙච්චි දෙවැනි හේතුව ලොක්කා කියල බැලුවෙත් නැතිව කරල දෙන්න කියපු වැඩ මඟ හැරීම. මේකටත් ඔස්කාට බැනල වැඩක් නෑ. ලොක්කා කියල වෙනසක් නෑ. කියන දේවල් ඔස්කාට සිහියක් නෑ.

අළුත් දුරකථන පද්ධතියක් සවිකළ වෙලේ ගවනර්ට ලැබුණා කිරි කිරි programmable phone එකක්. ඉතින් ගවනර්ගෙ වැඩෙත් මේක එක එක පහසුකම් අත්හදා බලන එක. මොකද්දෝ ප්‍රෝග්‍රෑම් කරල දෙන්න ඔස්කාට කියා තිබුණා දෙසැරයක්ම, නමුත් සුපුරුදු පරිදි ඔස්කාට ඒක අමතක වෙලා. සඳුදා දවසක උදේම ගවනර්ව ඇවිත් හම්බ වෙන්න කියලා කෝල් එක එනකොටම ඔස්කා දන්නව බඩු බනිස් වෙන්න තමා යන්නෙ කියල.

මහ බැංකුවෙ අධිපතිතුමන් කියන්නෙ එක පාරටම මුණ ගැහෙන්න පුළුවන් ජාතියෙ කෙනෙක් නෙවෙයි, විශේෂයෙන්ම සඳුදා උදේක. සේනාවක් ඉන්නව පෙර කාමරයේ ගවනර් හම්බවෙන්න හරියට නොම්මර අරන් දොස්තර හම්බවෙන්න වගේ. ඔස්කාත් ගිහින් පෝලිමේ අගට එකතු වුණා. ඒ අතර අධිපතිතුමන්ගේ කාර්යාල කාර්ය සහායක (නම ‘පල්ලෙවත්ත’ වගේ මතක) එදා උදේ පත්තර ටික අරගෙන අධිපතිතුමන්ගෙ කාමරේ ඇතුළට යන්න ලෑස්තිය. ඔස්කාට පහළ වුණා ගණදෙවි නුවණ. කතා කළා පියන්ව පැත්තකට.

“කොල්ලො, උදව්වක් කරපං. හොඳ එකා වගේ ඔය පත්තරේ මේසෙ උඩින් තියන ගමන් ගවනර්ට පේන්නෙ නැති වෙන්න ෆෝන් එකේ මේ බොත්තම් ටික ඔබපං මේ විදියට”

සෙකට්‍රිගෙ ෆෝන් එක අරගෙන live demonstration එකකුත් දුන්නා. ඔස්කගෙ ගේම් ප්ලෑන් එක වුණේ තමන් සති අන්තයෙ දුරකථනය ප්‍රෝග්‍රෑම් කළා කියන එක. කොහොමද ටිකිරි මොළේ?

ඔස්කා කොච්චර ජනප්‍රියද කියනවනම් ඕනැ කෙනෙක් බෙල්ල ගලවල දෙන්න වුණත් ලැහැස්තියි. පියනුත් එක පයින් ලැහැස්තියි වැඩේට. කරුමෙට එදා ඔස්කගෙ ග්‍රහයින් වැඩ නොකරපු දවසක්.

ඉන්පසුව හරියටම මොනවා වුණාදැයි කිසිවකු තාම දන්නේ නැහැ. එක්කෝ පියන් වැරදි බොත්තම් ටිකක් එබුවා. නැතිනම් ඔහු මේ බොත්තම් එබුවේ අධිපතිතුමන්ගේ ලේකම්වරිය ඔහුව අන්තර්ජාතික නොම්මරයකට සම්බන්ධ කරන වෙලාවේ. කොහොම හරි international line එක වෙනුවට අධිපතිතුමා සම්බන්ධ වුණේ බැංකුවේම අභ්‍යන්තර නොම්මරයකට. අනෙක් පැත්තෙන් රිසීවරය ඉස්සුවේ යතුරු ලියනියක්.

“Hello, this is A. S Jayawardena from Central Bank of Sri Lanka…”

යතුරු ලියනියට දැන් හිතා ගන්න බෑ ඇයි ගවනර් තමන්ට කතා කරන්නේ කියලා. බැංකුවේ ලොක්කා කණිෂ්ඨ සේවකයින්ට මෙහම කතා කරන සිරිතක් නෑ.

“…ඒ. එස්. ජයවර්ධන කියන්නේ, මේ අපේ අධිපතිතුමා?”

“සුද්දාගෙ සෙකට්‍රි” සිංහල කතා කරන්නේ කොහොමද කියා අධිපතිතුමන්ට හිතුණාදැයි මා දන්න නැහැ. නමුත් ඔහු උත්තර දුන්නා.

“ඔව්, අධිපතිතුමා තමයි”

යතුරු ලියනියටත් මේ වෙලාවේ “ගණදෙවි නුවණ” පහළ වුණා. මේ සහතිකේටම කතා කරන්නෙ කාර්යාල සගයෙක් තමන්ව ගොනාට අන්දන්න. දන්නෙ නැද්ද, කාර්යාල වල ඔය වගේ practical jokes සුලබයිනෙ.

“අනේ, විහිළු නොකර නිකා ඉන්න මෙයා” ඇය කිව්වා.

අධිපතිතුමා දුරකථනය පොළොවේ නොගැහුවා විතරයි!

වර්තමානයේ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙක්ද එදා පෙර කාමරයේ වූ බව ලියමින් කතාව අවසාන කරන්නම්.

Advertisements

15 responses to “10. මහ බැංකුවේ ඔස්කාගේ අපූරු කතන්දර – I

  1. අමතක වීම් නං වයසට යනකොට කාටත් පොදුයි.

    සෑබෑ අමතකවීම් කියන්නේ සදහටම අමතක වෙන ඩිමෙන්ෂියා වර්ගයේ ඒවයි. ටික වෙලාවකින් නැවත මතක් වෙනවා කියන්නේ ඒක මයිල්ඩ් කොග්නටිව් ඩිස් ඕඩර් එකක්.

    චානුකත් ඉක්මනටම කතා ටික ලියාගෙන, ලියාගෙන යන්නේ අමතතක වෙන්න ඉස්සර ලියලා ඉවරයක් කරන්න වගේ.

  2. TheOldCentralBanker

    This is marvelous, Chanuka. I think you should write more of this type of anecdotes which are not ill intended but hilarious. I laughed to myself belly-fully when I read it because all these people whom you have described are well known to me. This Oskar about whom I have the greatest respect is the most friendly and helpful colleague I have met in my life. Being the humble and the man of humour, he will enjoy it more than anyone else.
    Another story not known to you about Oskar.
    It was a meeting when the top man in the country visited CB and all of us were very serious because any wrong move on our part would end up not only losing our jobs but also a term in the prison. So, the audience was in its full seriousness. Oskar who was seated closer to the podium from which the top man spoke was all with full of contended smiles on his face just like a little boy who had found some unknown treasure. This puzzled me and I asked him later why he was wearing that humorous face at that time. He told me that he was in the unique vantage position to have a peep at the prompter that was crawling out the speech line by line in big Sinhala fonts at the foot of the lectern and was reading every word of the speech before it came out from the mouth of the top man! Of course, Oskar did not have any ill intention of the top man. It was simply the display of his child like innocence.

  3. තෙවැනි දුර්වලතාවය biology සම්බන්ධ දෙයක් ද?

    උදේම හිත පුරවල හිනා වෙන්න පුලුවන් වුනා. සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබට!

  4. මතකෙහි තිබිය යුතුදේ අමතකව යන
    අමතක කරණ දේ මතකයෙම ‍රැව්දෙන
    වසරින් පනහක්ම දිවිමගේහි පේවුන
    මතකය මටත් වදයකි හොදට තේරුන

  5. හෙහ්, හෙහ්,…….. මරු කතා ටික, චානුක, හිනා වෙලා පණ ගියෙ නැතුව විතරයි.ගොග්……ගොග්……ගොත……ගැ….ග්……ගැ……ග්…. ගැහීම සම්බන්ධව මගෙත් සොඳුරු අත්දැකීම් කීපයක්ම ම……ම්…….ම……ම් …..මතක් උනා කියවද්දි.

  6. නියම කතන්දර ටික . ඔය අමතක වෙන ලෙඩේම තියන ගුරුවරයෙක් මම ඉගනගත්ත ඉස්කෝලෙත් හිටියා . එයාගේ අමතක වීමෙන් ළමයි නියම ප්‍රයෝජන ගත්තා ..ඔස්කා ගැන කියද්දී මගේ හිතේ මැවුනේ ඒ සර්ගේ රූපේ .

    චානුක අයියා ඔයාගේ බ්‍රෑන්ඩ් නිවු බ්ලොග් එක නම් සුපර් … තවත් මේ වගේ කතා තියනවනම් ලියන්න .අපිත් බලාගෙන ඉන්නේ හිනාවේලා දවස ගෙවන්නනේ ….

    එහෙනම් ඉතින් ඔයාට සුබ අලුත් අවුරුද්දක් වේවා !!

  7. හහා!
    තෙවෙනි දුර්වලතාවත් ලිව්වානං තමයි හොඳ! 😛

  8. මරු කතා ටික…. අවුරුද්දට කලින් හිනාවෙලා ලේ පිරිසිදු කරගත්තා…

    සුභ නව වසරක් වේවා!

  9. This is a great blog…keep it up…!!!

  10. මම අදමයි මේ බ්ලොගේට ගොඩ වුනේ… අදින් පසු අනිවා ඈවිත් කියවිය යුතු රසම රස බ්ලොග් එකක් කියා හිතේ තදින්ම සටහන් කරගෙන යනවා…

    රසට ලියා ඇත… ජයෙන් ජය සහෝ !!!!!!

  11. එල එල……මට නම් අල්ලලම ගියේ International කෝල් එක. මාර ලස්සන ශෛලයකින් ලියල තියෙනවා. ඉතිරි කතාත් ඉක්මනට දාන්න

  12. සුභ අළුත් අවුරුද්දක් වේවා චානුක අයියේ ! [අයියා කියන්නෙ නැතුව වෙන මොකක් කියන්නද කියල හිතගන්න බැරි හන්ද එහෙම කිව්වෙ]

  13. තේරුම් ගන්න අමාරු කතා ගොඩක් මැද්දෙ.. මේ වගේ කතන්දරත් ලියන්න කියල ඉල්ලීමක් කරන්න කැමති…

    ඔබට සහ පවුලේ සැමටත් සිහිසටහන් සමඟ සම්බන්ධ සියළුම දෙනාටත් ( විශේෂයෙන්ම ඔස්කාටත් ) සියළුම ශ්‍රී ලාංකිකයන්ටත් , සාමය සතුට පිරි සුබ දවසක් , සුබ අලුත් අවුරුද්දක් , වේවා කියල පතන්නම්………..

  14. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

  15. නියම කථාව…………මේ වගේ කඨා ටිකක් තිබුනනම් බ්ලොග් එක කියවගෙන යන්න හිතෙනවා නොනැවතීම………….

    සුබ අලුත් අවුරුද්දක් වේවා………..

    http://aluthkolla.blogspot.com

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s