12. ප්‍රතිගාමී පාන් සහ සමාජවාදී බුල්ටෝ

රණසිංහ මහත්තයා

“චානුකට මතකද දන්නෙ නෑ ක්වින්ටස්ව?”

සිරි රණසිංහ මහත්තයා (ප්‍රධාන කර්තෘ – ලංකාදීප) අසයි. රණසිංහ මහත්තයා කසාඳ බැඳපු අළුත, එනම් හැත්තෑ ගණන් වල මුල හරියේ පදිංචිව සිට ඇත්තේ මා උපන් දා සිට, අද වනතුරුම වාසය කරන නිවෙසට ඇවිදින දුරෙකිනි. ඉඳහිට හමුවූ විටෙක ඔහු තවමත් මේ පැරණි කතන්දර කියයි.

“මොකද රණසිංහ මහත්තයට ක්වින්ටස් මතක් වුණේ?” මම අසමි.

“ක්වින්ටස් අමතක කරන්නෙ කොහොමද ළමයෝ, ඒ කාලෙ ඒ පැත්තට තිබුණු එකම කඩේ ක්වින්ටස්ගෙ…”

“ක්වින්ටස් මුදලාලි මැරුණා…” මම කියමි. “…ඒත් මට කියන්න කතන්දරයක් ඉතුරු කරලා”

මේ ඒ කතාවය.

මට ක්වින්ටස්ගේ කඩය මතකය. එය තිබුණේ අපේ නිවෙස ඉදිරියෙන්ම වූ නිසාය. මේ ලියන මොහොතේදීත් මට මේ කඩය තිබුණු (පසුව නවීකරණය කරන ලද) ගොඩනැඟිල්ලේ පියස්ස පෙනේ.

ක්වින්ටස් දිළින්දෙකි. කියන්නට තරම් අධ්‍යාපනයක් ලබා නැතද පුවත්පතක් කියවා ගැනීමට හැකිය. හැත්තෑ ගණන් වල මුල හරියේ ක්වින්ටස්ගේ කඩය අද මොණරාගල බඳු ඈත පළාතක ඔක්කම්පිටිය පාරේවත් දකින්නට අසීරු ආකාරයේ “එදා වේල” කඩයකි. මේ කඩයේ විකුණන්නට ඇති දේ අතිශයින් සීමිතය. 1970-77 යුගයේදී කිරිපිටි (තිබුණොත් විතරක්), සහල් (සේරු දෙකක්ය සිතමි), පිටි, කරවල, සීනි (රාත්තලක්), පරිප්පු (හුණ්ඩු දෙකක්), ධාන්‍ය වර්ග යනාදිය මිළට ගත හැකි එකම ස්ථානය සමූපාකාරයයි. එබැවින් ක්වින්ටස් මේ කිසිත් නොවිකුණයි. දෙල් ගෙඩි කිහිපයක්, පළා මිටි ටිකක්, කොස්සක්, ඉදලක්, වළඳක්, බුලත් විටක්, දෙහි ගෙඩියක්, ගස්ලබු ගෙඩියක්, කොස් ගෙඩියක්, පිටු 40 “ළමා හුරුව” එක්සයිස් පොතක්, පැන්සලක්, මිරිස් තුණපහ ටිකක් වගේ දෙයක් ගන්නට පමණි, කෙනෙක් මේ කඩයට ගොඩ වන්නේ. ක්වින්ටස්ට ශීතකරණයක් තියා විදුලිය වත් නැති නිසා දූවිලි බැඳුණු ඔරෙංජං බාර්ලි, නෙක්ටෝ හා ලංකා ලයිම් බෝතල් කිහිපයක් බාගෙට හිස් අල්මාරියක තබා ඇත. ITN එකේ කෝපි කඩේ හදා ඇත්තේ ක්වින්ටස්ගේ කඩය දැක පුරුදු කෙනෙකුදැයි සැක සිතෙන තරම්ය.

මේ හැරුණු විට ක්වින්ටස් මුදලාලි ගෝපාල් දත් කුඩුද (සිග්නල් දත් බෙහෙත් නැත්තටම නැති කාලයක අපද දත් මැද්දේ එයින් බව මතකය.), “ත්‍රී රෝස්” සිගරැට්ද, ‘බුල්ටෝ’ද විකුණයි. සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවෙන් අපට වෙනත් සීනි බෝල කෑම තහනම් කොට බුල්ටෝම කන්නට දුන්නේ ඒවායේ ඇති යහ ගුණයක් නිසා නොව දේශීය නිෂ්පාදනයක් නිසා ඒවා වඩා “සමාජවාදීය” හෝ “ප්‍රගතිශීලීය”සිතූ නිසා වන්නට පිළිවන. (වර්තමාන ආණ්ඩුව “දේශප්‍රේමී” වන්නේ යම්සේද, සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව එසේම “ප්‍රගතිශීලී” හා “සමාජවාදී” ආණ්ඩුවකි. රට කරවන්නෝ මහා ප්‍රගතිශීලීහුය; මහා සමාජවාදියෝය.) පිළියෙළ කිරීමේදී මධ්‍යසාර ටිකක් එකතු කරන නිසා බුල්ටෝ කෑවාම අමුතුම කික් එකක් එයි.

70-77 යුගයේ සජීවී නියෝජනය වන මඤ්ඤොක්කාද ක්වින්ටස් ගේ කඩයේ නිතර දකින්නට ඇති වෙළඳ භාණ්ඩයකි.

මේ ක්වින්ටස් නොවේ. 1970-75 දක්වා මුදල් ඇමැතිතුමාය. මා ඉගෙනගත් ඉස්කෝලයකම අවුරුදු දෙකක් ඉගෙන ගෙන ඇති ඔහු නමින් නානායක්කාරලාගේ මාටින් පෙරේරාය.

උදේ පාන්දර පහට නැඟිටින අම්මා හෝ තාත්තා, තවත් පිරිසක් සමඟ ක්වින්ටස්ගේ කඩය ඉදිරිපස පෝළිමට එක් වන්නේ උදේ කෑමට පාන් රාත්තලක් මිළට ගැනීමටය. මඤ්ඤොක්කා රහ ගුණ ඇති කෑමක් බවත් අගමැතිනියද සතියට කිහිප වතාවක්ම දිවා ආහාරයට මඤ්ඤොක්කා ගන්නා බවත් “හුළං විදිලිය” කියයි. සමාජවාදයට යන ගමනේ අම්බලම් නොමැති බවත් පොදු ජනතාව පටි තදකොට ගෙන සමාජවාදය වෙනුවෙන් කැප කිරීම් කළ යුතු බවත් කියන්නේ මුදල් අමාත්‍ය ආචාර්ය එන්. එම්. පෙරේරා සහෝදරයාය. “මැතිනි අපට කියනව නම් පිදුරු වුණත් අපි කන්නම්” පාක්ෂිකයෝ දිවුරා පොරොන්දු වෙති. ප්‍රතිගාමියෝ (මෙය 1970 දශකයේ මුල අද “දේශ ද්‍රෝහියා” ලේබලයට සමාන ලේබලයකි.) මේ කිසිත් නොතකා පාන්ම ඉල්ලති. කොපමණ හැඳුනුම්කමක් තිබුණද ක්වින්ටස් වැරදිලාවත් අපට වැඩිපුර පාන් ගෙඩියක් නොදෙයි. තමන් වෙනුවෙන් එක පාන් ගෙඩියක් තබා ගන්නා ඔහු ඉතිරි පාන් ගෙඩි විකුණන්නේ පෝලිමේ ඉන්නා පිළිවෙළටය. එක පවුලකට එක පාන් ගෙඩියකි. පැය දෙක තුනක් පෝලිමේ සිටියකුට පාන් ගෙඩියක් නොලැබුණොත් ෆ්ලවර් ජම්ප් වන හැටි හිතා ගත හැකිය. පාන් ගෙඩියක් වෙනුවෙන් මිනී මරා ගත් අවස්ථා ගැන කතන්දර අපි අසමු.

ක්වින්ටස්ගේ පැත්තෙකින් සතයේ කාසි දැමූ බෙලෙක්කයක්ද ඇත. ඒ ඉතුරු සල්ලි දෙන්නටය. පාන් ගෙඩියක පාලන මිළ සත 99කි. “ප්‍රතිගාමී” තක්කඩි වෙළඳුන් විසින් මහ ජනතාව ගසා කෑම ආණ්ඩුව විසින් සම්පූර්ණයෙන් වළකා තිබේ. සත 99යේ පාන් රාත්තලට රුපියලක් ගැනීම කිරිමේල් වරදකි. දිනමිණ පත්තරය (අදට වඩා ලොකු වෙනසක් නැත.) රුපියලට පාන් විකුණා හිරේ ගිය වෙළඳුන් ගැන නිති පුවත් පළ කරයි. හිරේ යන්නට අකැමැති ක්වින්ටස් සියල්ලන්ටම සතය බැගින් ආපසු දෙයි. ඔවුහු නැවත ඒ සතය බෙලෙක්කයටම දමති.

සතුට පත්තරයේ කැමිලස් මහත්තයාගේ කාටූනයක පෙම් යුවළක් අතර දෙබසකි මේ.

පෙම්වතිය: ඔයාට බැණ බැණ හිටපු අම්මලාට අළුත් අවුරුද්දෙන් පස්සෙ ඔයා තරම් කෙනෙක් නෑ
පෙම්වතා: ඒ මොකද ඒ වෙනස හිටි ගමන්?
පෙම්වතිය: ඔයා අවුරුද්දට පාන් රාත්තලක් අරගෙන ආවනෙ…ඒක හිතට අල්ලලා.

ක්වින්ටස්ගේ කතාව ඉවර නැත. ඒ කතාවේ වැදගත්ම පරිච්ඡේදය ආරම්භ වන්නේ 1977න් පසුය. (ක්වින්ටස් යූ. ඇන්. පී. කාරයෙක් බව කියන්නට අමතක විය. 1977 මැතිවරණයට පෙර ඔහු කඩුවෙල ආසනයේ ඡන්දාපේක්ෂක එම්. ඩී. එච්. ජයවර්ධනගේ ලොකු පින්තූරයක් කඩේ ගහගෙන සිටියේය.)

හැම ආර්ථික ලිබරලීකරණයකින්ම පසු ප්‍රතිඵල ඇසට පෙනෙන මට්ටමට එන්නට යම් කාලයක් ගත වේ. අනිවාර්යයෙන්ම මුල්ම ප්‍රතිලාභ ලබන්නෝ ධනවත්තුය. මෙය සාමාන්‍ය දෙයකි. ප්‍රතිලාභ ගලා එන්නේ උඩ සිට පහළටය. එසේම මෙසේ ලබන ප්‍රතිලාභද වෙනස් විය හැකිය. නමුත් යම් අවස්ථාවක සමස්ත සමාජයම ආර්ථික ලිබරලීකරණයේ ප්‍රතිලාභ ලබයි.

පශ්චාත්-77 සමාජ ආර්ථික පරිවර්තනය පියවරෙන් පියවර මා දකින්නේ ක්වින්ටස් තුළිනි.

70-77 “සමාජවාදී” යුගයේ වූ ක්වින්ටස්ගේ දිළිඳු කඩය 77න් පසු අළු ගසා දමා නැඟිටී. සමූපාකාරයේ පමණක් තිබුණු වෙළඳ භාණ්ඩ එකින් එක ඔහුගේ කඩ පිළෙහිද දකින්නට ලැබේ. එක බුල්ටෝ බෝතලය වෙනුවට වර්ග කිහිපයක සීනිබෝල, ටොෆී, බෝතල මේසයට එක්වේ. උපාලි විජේවර්ධනගේ ඩෙල්ටා ටොෆිය බුල්ටෝවට අභියෝග කරයි. ගෝපාල් දත්කුඩු වෙනුවට සිග්නල් දත් බෙහෙත් ආදේශ වේ. වෙළඳාමට නව අත් උදව්කරුවන් දෙදෙනකු ගේ එකතු වීම තුළින් ක්වින්ටස් කැෂියර් කූඩුවට සිර කොට ඇත. විදිලියද, ඒ හා සමඟම වාගේ ශීතකරණයක්ද කඩයට එක් වේ. කලින් සරම හැර අන් ඇඳුමක් නොදත් ක්වින්ටස් හන්දියට යෑමටද කලිසම අඳින්නට පටන් ගනියි.

මැතිවරණයට පෙර දෙන්නට පොරොන්දු වූ ධාන්‍ය රාත්තල් අට දෙන්නේ කවදාද ඇසූ කල ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන හිනැහෙයි.

“තමුන්නාසෙලට දැන් රටේ ඕනැම කඩේකින් ඇට රාත්තල් අටක් නෙවෙයි දහයක් වුණත් ගන්න පහසුකම් විවෘත කොරල දීල තියෙනවා…” ඔහු කියයි.

කතාව ඇත්තය. 1977ට පෙර මේ කඩ වලින්ම පරිප්පු ඇටයක් ගැනීමට හැකි වූයේ නැත.

සීයා අන්තරා වන්නේ 1980 අප්‍රේල් මාසයේදීය. මේ වන විට ක්වින්ටස් අත මිට සරු වෙළෙන්දෙකි. මිනිස්සු ඔහුට ගරුසරු ඇතිව “ක්වින්ටස් මුදලාලි” කියා කතා කරති.

“මහත්තය මළ ගෙදරට සිගරැට් ගැන කරදර වෙන්න එපා” ක්වින්ටස් මුදලාලි තාත්තාට කියයි. “ඒක මං බලා ගන්නම්”

මේ “ත්‍රී රෝස්” නොව බ්‍රිස්ටල්ය.

“රණසිංහ මහත්තය දන්නවද …….. කම්පැණිය?”

මම ප්‍රකට සමාගම් නාමයක් සඳහන් කොට අසමි. රණසිංහ මහත්තයා හිස වනයි.

“ඒකෙ CEO ක්වින්ටස් මුදලාලිගෙ පුතා”

“අම්මටසිරි!”

ජාතික පුවත්පතෙක තලතුනා කතුවරයකු විසින් පිට නොකළ යුතු වචනයක් ඔහුගේ මුවින් පිටවේ. මේ හැත්තෑ හතට පෙර නිකංම නිකම් ක්වින්ටස් දැනසිටි ඔහුට වටහා ගැනීමට අසීරු විපර්යාසයකි.

“සමාජවාදී’ හා “ප්‍රගතිශීලී” සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව දිගටම පැවතියේ නම් ක්වින්ටස්ගේ පුතා තවමත් කුඩා කඩයක පාන් විකුණනවා විය හැකිය. රණසිංහ මහත්තයාද මාද ඔහුගෙන් පාන් රාත්තලක් මිළට ගන්නට උදේ පහට නැඟිට පෝලිමට එක් වනවා විය හැකිය.

මේ කතාවම දත්ත මර්ගයෙන් මීට වඩා පැහැදිළිව ප්‍රකාශ කළ යුත්තේ තවමත් මේ සමාජ ආර්ථික පරිවර්තනය සැක කරන පාඨකයින් වෙනුවෙනි.

2009 දී ලංකාවේ පවුලක මාසික මධ්‍යයන ආදායම රුපියල් 35,000කි. 1978දී මෙයම 2009 රුපියල් වලින් (එනම් උද්ධමනය නොසලකා හැර) රුපියල් 6,500කි. 2009දී වියදම රුපියල් 32,000ක් වන විට 1978දී වියදම රුපියල් 6,000ක් වේ. එනම් 1978 හා 2009 අතර ලංකාවේ සමාන්‍ය පවුලක් ආදායම් ඉපැයීම හා වියදම් කිරීම (පරිභෝජනය) අතින් පස් ගුණයකට වඩා ඉදිරියට ගොස් ඇත. සමස්තයක් ලෙස ලාංකිකයෝ 1978 ජීවත් වූවාට වඩා පස් ගුණයක් හොඳින් ජීවත් වෙති. (කියැවීමේ පහසුව තකා ඉලක්කම් රවුම් කර ඇත.)

1978දී ලංකාවේ ඒකපුද්ගල දළ ජාතික නිෂ්පාදිතය USD 193කි. 1991දී එය USD 500 පසු කරයි. 2004දී USD 1,000 පසුකරමින් දිළිඳු රටක හැව ඇර මධ්‍යම ආදායම් රටක් (middle income country) බවට පත්වේ. 2008දී එය USD 2,000 පසු කරයි. 2010 සඳහා මේ අගය USD 2,466කි. අපේක්ෂිත ඉලක්කය 2016දී USD 4,000කි. මේ අපේ දකුණු ආසියානු “ප්ලග් එක” ගලවා ගිණිකොණ දිග ටයිගර්ස්ලාගේ යටි අන්තය වන තායිලන්තයට හා ඉන්දුනීසියාවට “ප්ලග් කිරීමකි”. එතැන් පටන් ඉදිරිය අසීරු නොවේ. මා ජීවතුන් අතර සිටියද නැතද, තව වසර 20-30 කදී අප මැලේසියාවට හා යුරෝපයට සම වීම සියැසින් දකින යොවුන් පාඨකයකු වෙතැයි සිතමි.

මා විහිළු කරනවා නොවේ. පහත රූපය I බලන්න. මේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතයේ නැඟීමයි (USD වලින්) . ආර්ථික ප්‍රතිසංස්කරණ ආරම්භ වූ 1978 වර්ෂය කඩ ඉරි වලින් දක්වා ඇත. ඊට කලින් ලංකාවේ ආර්ථිකයේ සිදුවුයේ මොන කෙංගෙඩියක් දැයි ඔබ සිතන්නෙහි නම් මම පුදුම නොවෙමි. ඇත්ත. 1978ට කලින් ලංකාවේ ආර්ථිකයේ මොන කෙංගෙඩියක්වත් වී නැත. එතෙක් නිදා සිටි ලංකා ආර්ථිකය අවදි වන්නේ 1978දීය. ජවාධික වන්නේ 2004න් පසුය. අප කැමති වුවද නැතද, එසේ වීමේ ගෞරවයෙන් සැලකිය යුතු කොටසක් වර්තමාන ආණ්ඩුවට හිමි විය යුතුය.

රූපය I: ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතයේ නැඟීම (1950-2010)

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

මේ එක දර්ශකයක පමණක් වූ වෙනසක් නොවේ. පහත රූපය II අපේ රටේ අපනයන, ආනයන හා ප්‍රවර්තන ගිණුම් ශේෂය දක්වයි. (USD මිලියන ) 1978 වනතුරු සියල්ලම ශුන්‍යයට ආසන්න සරල රේඛාවකි. කවර හෝ වෙනසක් ආරම්භ වන්නේ 1978දීය.

රූපය II: ලංකාවේ අපනයන, ආනයන හා ප්‍රවර්තන ගිණුම් ශේෂය (1950-2010)

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

ආර්ථික වර්ධනය සංවර්ධනයේ එක මිනුමක් පමණෙකි. තවත් මිණුමක් නම් දරිද්‍රතාවාහරණයයි (poverty alleviation) .

1978 සිට ආරම්භ වූ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව නැඟෙන පොදු චෝදනාවක් නම් එමඟින් රටේ දිළින්දන් වඩා දිළිඳු භාවයට පත් වූ බවය. (“Rich have become richer, while poor have become poorer”) මේ චෝදනාව මොහොතක් අපේ විමසිල්ලට ලක් කරමු.

කිසිම ආර්ථික ප්‍රතිසංස්කරණයක් එක එල්ලේ දිළිඳන්ට සහන ලබා නොදේ. එසේ වන්නේ කාලයාගේ ඇවෑමෙනි. වාසනාවකට මෙන් 1978 සිට මේ වන තුරු ආර්ථික ලිබරලීකරණ ප්‍රතිපත්තීන්හි පැහැදිළි වෙනසක් නැතිව දශක තුනකට වැඩි කාලයක් ගෙවී ගොස් ඇත. එනිසා මේ එම පරිවර්තනයේ පොහොසතුන් පමණක් නොව සමස්ත සමාජය ප්‍රතිලාභ ලද දත්ත ඇසුරින් සලකා බලන්නට අපූරු අවස්ථාවකි.

1978 දී රැකියා වියුක්තිය 15% කි. (පිරිමි 9% ගැහැණු 25%) එනම් 1978දී අපේ රටේ ශ්‍රම බලකායට අයත් හැම කාන්තාවන් සිව් දෙනකුගෙන් එක් අයකු රැකියාවක් කොට නැත. 2010 දී එම මිනුම් දඬු යටතේම රැකියා වියුක්තිය 5% දක්වා අඩුවී ඇත. (පිරිමි 3%, ගැහැණු 8%)

1978දී ලංකාවේ නිවෙස් වලින් ගඩොලින් බැඳ තිබුණේ 25%කි. 2003 වන විට මෙය 55% දක්වා ඉහළ යයි. (මෙය හා මතු කියන බොහෝ දත්ත මේ වන විට වැඩි දියුණු වී ඇතිවා විය හැකිය. එහෙත් කිට්ටුම දත්ත ඇත්තේ 2003 සඳහා බැවින් එය භාවිතා කිරීමට සිදුවේ.)

1978දී මෙරට නිවාස වලින් 32% පොල් අතු සෙවිළි කළ ඒවායි. 2003 දී මේ ගණන 6% දක්වා අඩුවේ.

1978දී අපේ රටේ නිවාස වලින් විදුලිය තිබුණේ 13% කටය. 2003 දී 75%කට විදුලිය ලබා දී තිබේ. (මේ ප්‍රමාණය මේ වන විට 90% ක් වන අතර විදිලි බල මණ්ඩලයේ ඉලක්කය ලබන වසරේදී 100% ට ආසන්න වීමටය.)

1978දී මෙරට නිවෙස් වලින් 29% කට වැසිකිළියක් වත් නැත. 2003 දී මේ ගණන 6% දක්වා අඩුවේ.

1978දී ගුවන් විදිලි යන්ත්‍ර හිමි මෙරට නිවෙස් වලින් 50%කටය. 2003 දී මෙය 78% දක්වා වැඩිවේ.

1978දී දුරකථන පහසුකම් ඇත්තේ නිවෙස් වලින් 1% කටත් අඩු ප්‍රමාණයකටය. 2003දී මෙය 25%ක් වේ. (දැන් මෙය 50% ඉක්මවා ගොස් තිබේ.)

1978දී බයිසිකලයක් ඇත්තේ නිවෙස් 21% කය. 2003 දී මෙය 47% දක්වා වැඩි වී ඇත.

1978දී ශීතකරණයක් තිබුණේ නිවෙස් 2% කය. 2003 දී මෙය 30% දක්වා වැඩිවී තිබේ.

1978දී (ඒ වන විටත් නිවෙසකට අත්‍යාවශ්‍ය භාණ්ඩයකැයි සැලැකුණු) මහන මැෂිමක් තිබුණේ නිවෙස් 31% කය. 2003 දී මේ ගණන 44% දක්වා වැඩිවේ.

මේ හා සමාන්තර සංවර්ධනයක් අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහිද විද්‍යාමාන වේ. උදාහරණයක් ලෙස 1978දී 86%ක් වූ සාක්ෂරතාවය 2003දී 93%කි. 1978දී 15% වූ කිසිම අධ්‍යාපනයක් නොලැබූ ජණගහන ප්‍රතිශතය 2003 දී 8% ට අඩු වී ඇත. 2009 දී වයස 5-14 අතර පාසල් යායුතු වයසේ දරු දැරියන්ගෙන් 99.4% ක් පාසල් යති. සියළුම සෞඛ්‍ය දර්ශක ධනාත්මක වැඩි වීමක් ප්‍රදර්ශනය කොට ඇත්තේය.

මේ සියළු දත්ත ඇස් පනාපිට පෙනෙන්නට තිබියදීත් ආර්ථික ලිබරලීකරණය තුළින් සමස්ත සමාජය ප්‍රතිලාභ නොලබන බව කියන පිරිසක්ද වෙති. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) කාලයක මගේ ප්‍රධානියා වූ, මාසයකට රුපියල් වලින් මිලියනයකට වඩා වැටුප් ලැබූ ආචාර්ය තංගවේලු පලනිවෙල්ද එවැන්නෙකි. ඔහු මෝඩයෙක් නොවේ; දකුණු ආසියාවේ අග්‍රගණ්‍ය ආර්ථික විද්‍යා විශාරදයෙකි. එසේ හෙයින් මෙසේ කියන්නන් හැම දෙනෙකුම මෝඩයින් ලෙස වර්ගීකරණය කිරීම මම නොකරමි. ඒ ඔවුන්ගේ අයිඩියොලොජියයි. ඒ අයිඩියොලොජියට අනුව ආර්ථික ලිබරලීකරණය ප්‍රතිලාභ ගෙන දෙන්නේ ධනවතුන්ට පමණෙකි. දිළින්දෝ තවත් දිළින්දු වෙති. කොයි තරම් දත්ත ගෙන හැර පෑවත් මේ අයිඩියොලොජිය වෙනස් කර ගැනීමට ඔවුන් සූදානම් නැත. එනිසා මේ සටහන ඔවුන් වෙනුවෙන් නොවේ. කියවන්නට හා ඉගෙනගන්නට කැමැති විවෘත මනසකින් යුතු පාඨකයින් උදෙසා පමණෙකි.

Advertisements

15 responses to “12. ප්‍රතිගාමී පාන් සහ සමාජවාදී බුල්ටෝ

  1. Well done, Chanaka, again. I am envious of your common reader friendly language.
    I would like to add another dimension to your analysis. Those who criticise the current trends are not those with an ideology of their own. They do so because of the fear that they would lose the social and political power they have been enjoying because economic privileges become inclusive rather than exclusive, as in thecase of Quintus’s son. In ordinary language, this is called sheer jealousy.
    This jealousy is expressed not only by those so called intellectuals. I see even the Buddhist monks capitalise it to a great advantage to themselves in every sermon they preach. I was treated to several of such sermons throughout yesterday.
    Take this example. In 1977, it was only I who had a brand new Nissan Sunny car in my locality. That car I owned by saving enough having undergone innumerable hardships while I was on a scholarship in the UK. I still remember that all those neighbours of mine looking at me with a mixture of owe and jealousy at that time. Today, I still have a very old Nissan station wagon while my neighbours drive brand new Toyota Allions and some even enviable Toyota Priuses. If anyone who should be against the new trends in the country, that should be me who has lost his privileged position in the locality!

  2. චානුක Ceteris paribus ගැන අසා තිබේද? මේ විශ්ලේෂණ වලින් නිගමයනවලට එළැඹිය හැක්කේ Ceteris paribus යටතේ පමණකැයි සිතමි.

    ඒ සමගම ලංකාවට සමාන අනෙකුත් රටවල සිදුවූ, ආසියාකරයේ සිදුවූ, සමස්ත ලෝකයේ සිදුවූ ජී.එන්.පී GNP එකේ සහ බැලන්ස් ඔෆ් trade හි වෙනස් කම් මේ සමග ප්ලොට් කළොත් ඒ ප්‍රස්තාරවල trend එක කෙලෙස වෙනස් වෙයිද?

    තුන්වනුව, සාමාන්‍යය පමණක් භාවිතාකොට දත්ත විශ්ලේශනයක් කිරීම හරිද? විස්තාරණය ගැණත් සැලකිය යුතු නොවේද? උදාහරණයක් ලෙස පවුලක මාසික ආදායමේ පරතරය එදා කීයද? අද කීයද?

    • @kathandara,

      පාඨකයින්ගේ පහසුව තකා මෙහි දක්වා ඇත්තේ tip of the iceberg පමණෙකි. ඇත්තටම ආර්ථික ලිබරලීකරණය නිසා ලාංකීය සමාජයේ ඇති වූ වෙනස දක්වන්නට පර්යේෂණ අවශ්‍ය නොවේ. එය ඇස් පනා පිට පෙනෙන්නට තියෙන දෙයකි. වයස 50ට වැඩි ඕනෑම කෙනකු මේ වෙනස පහදා දෙනු ඇත.

      2011 ජන හා නිවාස සංගණනයේ ප්‍රතිඵල නිකුත් වන තෙක් සිටින්න. ලාංකීය සමාජය කොයි තරම් වෙනස් වී ඇත්දැයි ඔබට පෙනී යනු ඇත.

  3. මාරයාගේ හෝරාව...

    චානුක මහත්මා ඔබ බොහෝ හොඳින් දත්ත සමග මෙම ලිපිය ඉදිරිපත් කර ඇති ආකාරය ප්‍රසංශනීයයි.
    ඒ අතරම මට බොහෝ කාලයක සිට ඇති ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමට ඔබට හැකියාවක් ඇති බව මේ හරහා මට හැගුණු බැවින් එය ඉදිරිපත් කරමි….කරුණාකර එයට ඔබගේ කාරුණික අවධානය යොමු කරලන්නේ නම් මැනවි.
    මට දැන ගැනීමට ඇත්තේ ලංකා රජයේ විදේශ වත්කම් හා ණය බර පිළිබඳවයි..එය 1948 වර්ෂයේ සිට මේ දක්වා වෙනස් වෙමින් පැවත ආ හැටි කරුණා කර දැක්විය හැකිද..විශේෂයෙන්ම එහිදී රජයන් මාරුවන අවස්ථාවන් සන්ධිස්ථාන හැටියට සලකා කරුණු දැක්විය හැකිනම් බොහෝ වටිනා බැව්ද..?එසේ නොහැක්කේනම් පමනක් ඔබට හැකි සංධිස්ථානයන් මත පිහිටා හෝ එම කරුනු දක්වන්නේ නම් මැනවි.
    මෙවැනි ප්‍රස්ථාර ඇසුරෙන් වන විග්‍රයක් බොහෝ සේ වටිනා බවත් සිහි කරලන්නෙමි…ස්තූතියි…

    • @ මාරයාගේ හෝරාව,

      විදේශ වත්කම් හා රාජ්‍ය ණය ප්‍රස්ථාර බොහෝ දුරට මේ හැඩයම දක්වනවා. (තැන තැන පොඩි ඉහළ පහළ යාම් එක්ක.) එනිසා මා ඒවා නැවත අඳින්න යන්නේ නෑ.

      විදේශ වත්කම් ගැන දැන් ලොකු ගැටළුවක් නැහැ. 2008-9දී යුද්ධය කාලයේදී නම් අප ලොකු අර්බූදයකට ගියා විදේශ වත්කම් නැත්තටම නැතිවෙන තත්ත්වයට පත් වී. තව මාස දෙක තුනක් ප්‍රභාකරන් යුද්ධය අල්ලා සිටියා නම් මේ නිසා අප ආර්ථික වශයෙන් ඇදවැටී යුද්ධය නතර වන තැනට යන්නටත් තිබුණා. (කොච්චර බැන්නත් එවෙලේ IMF එක ලොකු ණයක් දීලා තත්ත්වය සමනය කළා.) ඉන් පසුව විදේශ වත්කම් වර්ධනය වී දැන් නිදහසින් පසු ළඟා වුණු හොඳම තැනෙක ඉන්නෙ.

      ණය බර වෙනම කතාවක්. ඇත්ත. අප ණය අරන් තියෙනවා වැඩියි. එයින් වන අවදානම නැති කරන්න ඉදිරියේදී රජයට යම් යම් ජනප්‍රිය නොවන පියවර ගන්න වේවි. ඇත්තටම මේ තත්ත්වය රනිල් වික්‍රමසිංහ වගේ නායකයෙක් නම් බිය පත් කරවන සුළුයි. නමුත් මහින්ද රාජපක්ෂ කියන්නෙ අවදානමක් ගන්න බය නැති නායකයෙක්. මේ දක්වා ඔහු ගත් අවදානම් වලින් රටට වුණු අයහපතට වඩා යහපත වැඩියි. අවස්ථාව දී බලමු. කෙටියෙන් කිව්වොත් හම්බන්තොට වරායට නැව් ආවොත් අපට ණය ගැන හිතන්න දෙයක් නැහැ.

  4. මං කිව්වේ වෙන දේවල් ගැනයි චානුක.
    1. හැත්තෑවේ දශකයට පෙර හා පසු දත්ත එක ප්‍රස්තාරයක දමා විශ්ලේශනය කර නිගමනයන්ට ඒමට නම් – අන් සියළු දේ වෙනස් නොවුණාය කියා සැලකිය යුතුයි. Ceteris paribus කියන්නේ එයයි.

    2. වසර 1950 සිට 2010 දක්වා ඇ.එ.ජ. යේ ප්‍රස්ථාරය පවා, ලංකාවේ එකෙන් ලොකු වෙනසක් නැති බව මගේ අදහසයි.

    3. වසර 1979 සහ 2009 අතර පවුලක මධ්‍යයන ආදායම කිහිප ගුනයකින් වැඩි වුනද, ඒ සමගම ආදායම විහිදී ගිය පරාසය ද නෙකිවහොත් විශ්ලේෂණය සම්පූර්ණ නැත. ( ie, mean පමණක් නොව standard deviation ගැනද කිය යුතුය).

    • @kathandara,

      1. ස්වාභවික විද්‍යාවන්හි වගේ ආර්ථික විද්‍යාවේ එසේ සමහර පරාමිතීන් නියතව තබා ගැනීමේ හැකියාවක් නැහැ. (උදාහරණයක් හැටියට ජනගහණය කාලයත් සමඟ වැඩිවෙනවා.) මේ ගැටළුවෙන් මිදෙන වෙනත් ක්‍රම අප එනිසා භාවිතා කරනවා. වෙනත් පරාමිතීන්ගේ ලොකු බලපෑමක් නැතිනම් ගැටළුවක් නැහැ. දත්ත ටිකක් එහා මෙහා වුණා කියා නිගමනයට බලපෑමක් නෑ, ස්වාභාවික විද්‍යාවන්හි වගේ.

      2. බොහෝ රටවල ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදනය කාලයත් සමඟ ඉහළ යන එක ඇත්ත. නමුත් ලංකාව සම්බන්ධ ප්‍රස්ථාරයේ turning point එක පැහැදිළියි. (මෙය මේ ප්‍රස්ථාරයේ හරි හැටි නොපෙනෙන්න හේතුව 70-77 අතර කෘතිමව රුපියලේ අගය ඉහළ මට්ටමක පවත්වා ගැනීම. එය නොසළකා හැරියොත් මේ කාරණය පැහැදිළියි. – මා ඒ සියල්ල පැහැදිළි කරන්න ගියේ නෑ අනවශ්‍ය ලෙස සංකීර්ණ වන නිසා)

      3. 1978 සිට 2009 දක්වා ගිනි සංගුණකයේ ඇත්තේ ඉතා සුළු වෙනසක්. මේ නිසා අපේ කටයුත්ත පිණිස standard deviation සමානයි කියා උපකල්පනය කළ හැකියි.

  5. හැමදාම පටලැවෙන වාද අතර විවාදය.

    පළමුවෙන්ම කියන්න ඕනේ, මේ වාද අන්ධභක්තියෙන් අදහන කෙනෙකු ගෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. මා ඔවුන් සලකන්නේ ආගමිකයන් හැටියට. කතෝලිකයෙකුට දෙවියන් වහන්සේ නැත කියා ඔප්පු කිරීමට උත්සාහ කිරීමෙන් මහත් පලයක්‌ ලැබේද, එවැනිම පලයක්‌ තමයි මේ ආගමිකයන් සමග තර්ක කිරීමෙන් අප ලබන්නේ.

    සංවාදයට විවෘත මනසක් ඇති නම්, ඔප්පු කලයුත්ත කලින් ම දැනගෙන ජ්‍යාමිති හරඹ කරන්නට ආ අයෙකු නොවේ නම්, අන්‍යයෙකු කියන මතයෙහි ඇති සාධාරණ ඇත්ත ඩිංගිත්ත පිලි ගන්නට තරම් නිහතමානි කමක් ඇත්නම් විතරයි චානුකගේ කොමෙන්ටු අවකාශය පිරෙන තරමට සාධාරණය ඉටු වන්නේ.

    කොයි අතකින් බැලුවත් ලිබරල් කරණයෙන් වෙලා ඇති යහපත අයහපතට වඩා වැඩියි. සමහරුන් කියන බල්ලන් මරා හෝ සල්ලි හොයන ගතිය, ගුණ දහම් වල පිරිහීම වගේ කතා සංවෘත නොවීමත් සමග ඇති වෙන බව ඇත්ත. ඒත් ඒ තරම් අපි නුගුණ නොදකින, වැඩ වසම් ගති [ටැබූගෙන් ණයට ගත් මතයක් කිව්වොත් ප්‍රායෝගික සමාජවාදයත් එක්තරා වැඩවසම් ක්‍රමයක්], පසුගාමී වැඩ, මිනිසුන් තලා පෙලා දැමීම, උපන් වලේම මියැදෙන ගතිය, ජිවිතේ අවස්ථා විරල වීම, පෙර කල වරදකට ජීවිතේම පලදීම වගේ ගතිගුණ මැකිලා හැම දවසකම අලුත් ඉරක් පායන අලුත් දවසක් බවට පත්වන්නේ විවෘත හා ලිබරල් කරණයකින්.

    හැබැයි ධනවාදය සාධාරණ නැහැ. ලිබරල් වාදය තාත්වික නැහැ. ඔය දෙක ආගම වගේ අදහ ගන්න කට්ටියත් සමාජවාදී ආගමිකයන් වගේම තමයි. මේ දෙක පෙන්වන දුර්ගුණ මැඩලන කේන්ද්‍රීය රේගියුලේෂන් එකක් අවශ්‍යයි. එහි සමාජවාදී ගතිගුණ නැතියයි කියන්න බැහැ.

    පිස්සන් වගේ විප්ලව කරලා න්‍යායිකව චරිත වන්දනාවේ යෙදී බිහිකළ සමාජවාදී වැඩවසම් රාජ්‍ය [සෝවියට් කඳවුර, මුල කාලේ චීනය] තුල නොදකින උසස් සමාජවාදී උදාහරණ කිහිපයක් මෙහි ලිව්වොත්: ඔසියන්ගේ හෙක්ස්‌-ඔස්ටඩි අධ්‍යාපන ණය සැලසුම, ඇමරිකාවේ සෝෂල් සෙකියුරිටි ක්‍රමවේදය, නොර්වේ තෙල් අරමුදල වගේ දේවල් ගන්න පුළුවන්. මේවා ස්වභාවයෙන් සමාජවාදියි. ලේබල් රහිතයි.

    සමාජවාදීන් දකින විදිහට ලාභය යක්ෂයෙක්. මා දකින විදිහට මානව ශිෂ්ටාචාරයේ ප්‍රගමනයේ මුලික රහස ලාභය. අපි පහුගිය දහස්වස් හත අටක වෙන වෙන ක්‍රම කරලා බැලුවා, ඒත් ද්‍රව්‍යමය දියුණුව ලැබුනේ නැහැ. ලාභය ඒ වෙනස කළා. අවංකව එය අගයන්න.

    ලාභය වෙනුවට විකල්පය මොකද්ද සමාජවාදයේ. හොඳ නම, යුතුකම, පිළිගනිම, කෝටා ලිස්ට් එකේ ඉදිරි අංකයක්. ඔව්වා තනිකර බයිලා. ඕවා හැදෙන්නේ එක්කෝ වැඩවසම් ක්‍රමයක් බිහි කරමින්. නැත්නම් මානවයා දෙවියාගෙන් බිහිවූවා කියන පරමාදර්ශී මෝඩ විහිළුවෙන්. මානවයා බල්ලන් හරකුන් කොටියන් වගේ එකිනෙකා පරයමින් අනික් ජීවින් මරමින් කමින් පැවතගෙන ආ ජානමය ගති සිරිත්වලින් මිස පරමාදර්ශි දේවතත්වයෙන් නොවේ ක්‍රියාකරන්නේ. ඔතනයි සමාජවාදයේ බිඳවැටීම.

    මේක පිලි නොගන්න අය තවමත් ජාත්‍යන්තර සමාජවාදයක් හා පරමාදර්ශි ක්‍රමයක් වෙනුවෙන් වෙහෙසෙනවා. තනි මතයක් දැරීම හා උත්සාහය නම් අගය කල යුතුයි, ඒත් මේක කවදාවත් සැබෑ නොවන විකෘති සිහිනයක්. හැරි පොටර් වගේ ෆැන්ටසියක්.

    සමාජවාදය කියන්නේ ලෝකයේ අසාධාරණය දැකලා ඇතිවෙන විසංවාදය වලකා ගන්නට දරන පරමාදර්ශී රැවටීමක්. තමන්ගේ හිත රවටා ගන්නවා මේක කලාම ඔක්කොම හරි යයි කියලා. ලෝකය 100% සාධාරණ කරනවට වඩා පෙරට වඩා හොඳ තැනක් කරන්න හිතනවා නම්, මිට වඩා යහපත් හෙට දවසක් එවි. චානුකලට ඉස්කෝලේ කාලේ හොඳ ෂර්ට් අඳින්න අපිට චුටි කාලේ හරි හමන් කිරි ටිකක් බොන්න ඉඩ තියෙන්න තිබ්බා. කාම්බෝජියන් හා චීන කාරයින්ට වැරහැලි වගේ මියැදෙන්නේ නැතුව ඉන්න තිබ්බ.

    ක්‍රමයක වහලෙකු නොවී යහපත් දෙය තෝරා ගන්න උත්සාහ කළා නම ලෝකය මිට වඩා හොඳ තැනක්.

    දිග කොමෙන්ටුව ගැන සමා වන්න. චානුක ට සුබ පැතුම්. විදුසරේ ලියපු මගේ හොඳම ලේඛකයා වන චානුකගෙන් ලේඛකයෙකු වන්නට මගේ තිබ්බ ආසාවට ලොකු තල්ලුවක් ලැබුනා [අ/වාසනාවට එක තවමත් ආසාවක් විතරයි] . ඒ වගේම විද්‍යා අධ්‍යාපනයට යොමුවෙන්න මට බලපාපු ප්‍රධාන සාධකයක් විදුසර. කොටින්ම විද්‍යාවේ මුල්ම අකුරු කියෙව්වේ ඔබ කිහිපදෙනාගෙන්.

    හරි නම් චානුක බ්ලොග් කරණයේ ඉන්න ඕනේ සැහෙන කාලෙක ඉඳං. කොහොම උනත් ඔබට සුබ පැතුම් දිගටම ලියන්න. කියවන්න නොසෑහෙන පිරිසක් ඉන්නවා [චානුක බ්ලොග් කරන ආරංචියට හොයාගෙන එන කට්ටියත් ඉන්නවා].

    • @සුජීව,

      ‘ධනවාදය’ හා ‘සමාජවාදය’ කියන වචන වලින් නැතුව ප්‍රතිපත්ති වලින් කතා කරන්නට මා කැමැතියි. මොකද අද ලෝකයේ පෙරාපු ධනවාදයක් වත් පෙරාපු සමාජවාදයක් වත් නැති නිසා. එක පැත්තකින් චීනය වෙළඳපල ආර්ථිකය කරා යොමුවන විට අනෙක් පැත්තෙන් ඇමෙරිකාව සෞඛ්‍ය සුභ සාධන වැඩපිළිවෙලවල් ගැන කතා කරනවා. නිදහස් වෙළඳපල ගැන කතා කරන සිංගප්පූරුවේ ව්‍යාපාර වැඩි හරියක් තියෙන්නෙ රජය යටතේ. ධනවාදී රටක්ය කියන දකුණු කොරියාවේ සිස්ටම් එක කියුබාව මට්ටමේම සංවෘත ආර්ථිකයක්. මේ නිසා ‘ධනවාදී රටවල්’ හා ‘සමාජවාදී රටවල්’ කියන යෙදුම් තවදුරටත් වලංගු නැහැ. මේ යෙදුම් යොදා ගැනෙව්මම අප අනවශ්‍ය ලෙස අයිඩියොලොජි වලට තල්ලු කිරීමක්. ප්‍රතිපත්ති මට්ටමින් කතා කිරීම වඩා පහසුයි. ඒවා සමාජවාදීද ධනවාදීද කියා ලේබල් ගහන්නට ඕනැ නැහැ. අපට ගැලපෙන එක තෝරා ගනිමු.

  6. Donald Gaminitillake

    Now we have a digital development. (2 to the power)
    That is the reason for a wider gap
    Person who has one unit will get two units
    BUT the person who has 8 units will get 16 units
    Similar way it will go negative. One becomes minus two
    No more linear scales all digital scales.

  7. බ්ලොග්ස්පොට්

    බ්ලොග් අවකාශයට හරවත් දෙයක් එක් කිරීම පිලිබඳව චානුකට බොහොම ස්තුතියි. වසර ගණනක පත්තර අත්දැකීම් එක්ක චානුකට ගොඩක් දේවල් ලියන්න තියෙනව ඇති. බ්ලොග් එකේ ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා.
    ———
    70-77 කාල පරිච්ඡේදය පිලිබඳව හෝ, 71, 89 කැරළි පිලිබඳව හෝ කිසිදු අත්දැකීමක් මා සතුව නැත; ඇත්තේ නොයෙක් ආකරයෙන් දැන කියාගත් තොරතුරු ඇසුරින් නිපදවා ගත් මතවාදයක් පමණි.

    කෙසේ වෙතත් විවෘත ආර්ථිකය සමඟ ලංකාවට යහපත් බලපෑමක් සිදු වූ බව විශ්වාස කරමි. වගකීමකින් තොර දේශපාලකයින්ගේ වංචා සහ දූෂණ නොවන්නට මෙරට මීටත් වඩා යහපත් තැනකට පත් වන්නට ඉඩ තිබිණි. අඩුම තරමින් ලබාගත් විදේශ ණය වලින් හෝ සාධාරණ යමක් ඉටුවන්නට තිබිණි. බලයේ සිටිනා දේශපාලකයින් රාජ්‍ය දේපල අයුතු ලෙස පරිභෝජනය කිරීම විවෘත ආර්ථිකයේ වරද නොවේ, සමාජවාදී රටවලද තත්වය එසේමය.

    කතන්දර කියනා පරිදි ලෝකයේ අනෙක් රටවලද ආර්ථික වර්ධනයක් සිදුවන්නට ඇත. එබැවින් ලංකාවේ තත්වය අහඹු දෙයක් හෝ, අනියමයක් නොවන්නට ඇත. නමුත් යම්හෙයකින් හෝ පාලනය වෙනස් නොවී, විවෘත ආර්ථිකය නොපැමිණියා නම් ලංකාව පත් වන්නට තිබූ තත්වය ගැන සිතා බැලීම පමණක් සෑහේ යැයි සිතමි. ජීවන වියදම, බඩුමිල මෙන්ම ඒක පුද්ගල ආදායම, අපනයන පමණක් නොව, තාක්ෂණය, සන්න්නිවේදනය, අධ්‍යාපනය අතින්ද ලංකාව ඉදිරි පිම්මක් පැන්නේ විවෘත ආර්ථිකයට පිං සිදු වන්නටය.

  8. චානුක සොයුර ඔබ යලි හමුවීම සතුටක් . මා විදුසර මුල සිටම කියවූ අයෙක්. පරිගණකය , අන්තර්ජාලය අතැඹුලක් වූ අද දවසේ මෙන් නොව එදා නිබඳවම දැනුම් පිපාසයෙන් පෙළුණු පරපුරකට විදුසර කොතරම් සේවයක් කලාදැයි අද දරුවන් හට අනුමානයෙන් වත් සිතා ගත නොහැකි යයි සිතේ. ඔබ විද්‍යා ලේඛනයෙන් ඔබ්බට වෙනත් ක්ෂේත්‍ර වල දුර ගොස් ඇති බව පෙනේ.
    70 දශකයේ උපන්නද ඒ යුගයේ දුෂ්කරතා මට ඒ හැටි මතක නැත . වත්ත පුරා වැවු මය්යොක්ක [ ඔන්න ලියන්න ගිහින් අර ටිච‍ට වෙච්ච වැඩේ වුණා. ] පාත්ති සහ බතල පාත්ති මතකයි. කඩේ යැවුවම හොරෙන් කපු බුල්ටෝ සහ රෝස පාට සිනි කුරුත් මතකයි. ඉස්කෝලෙත් නොගිය පුංචි එකෙක් නිසා මට තිබු අවශ්‍ය තාවයන් අඩුයි . එත් මැරෙන තුරුම මගේ තාත්තට UNP පක්ෂිකත්වයෙන් මිදෙන්න බැරි වුනේ ඒ කාලේ නිසා වෙන්න ඇති .
    77 මිනිස්සු JR ට පෙළපාලි ගිය හැටි ..ඒ මැතිවරණය මට හොඳට මතකයි . ඊට පස්සේ JR එපා වෙලා ..විවුර්ත ආර්ථිකයටත් බනින්න පටන් ගත්තනේ. මගේ පුද්ගලික අදහස 70- 77 ත් අන්තගාමියි. ඕනවට වඩා ඕනෑම දෙයක් තිත්තයි. එත් JR ගෙනා විවුර්ත ආර්ථිකයත් ඕනවට වැඩියි නේද? ඉන්දියාවත් මන් දන්නා තරමින් විදේශ ආනයන සිමා කර තිබෙනවා. ලෝකේ පුරාම තියෙන හැම කුණු ගොඩකටම වෙළද පොලක් නොවී යම් පාලනයක් තිබුන නම් හොඳයි කියල හිතෙනවා.
    70- 77 තිබු හොඳ ලක්ෂණ ඉතුරු කර ගෙන යම් පමණක විවුර්ත ආර්ථිකයක් ගොඩ නැගුන නම් කොපමණ හොඳද . උදා; ලංගම , පේෂකර්මාන්තය .
    සින්ගප්පුරුව කොළඹ වගේ කරනවා කියූ ලි කවන් යු පස්සේ කාලෙක කියා තිබුණා කොළඹ අසාර්ථක නගරයක් ලෙස.
    ප්‍රේමදාස යුගය නම් මතක් වෙන කොටත් බයයි . ඕව ටිකක් නැවත ලියවෙන එක නම් හොඳයි. නොදන්නා අලුත් පරපුරට 71 සහ 88-89 ගැන කියා දෙන්න . මොන හේතුවකටවත් ඒ වගේ කාලයක් නම් එපෝ……
    සිහිසටහන් වලට සහ තව ලිවීමට ඔබට සුබ පැතුම්.

  9. @ සුජීව ,සහ සිහිසටහන්,
    මම ඔබේ මතයට එකඟයි, මොකද කවුරු කොහොම කීවත් 78′ නව ආර්තික ප්‍රතිපත්තිවලින් දැන් රටට දියුනුවක් තියෙනවා. ජේ . ආර් ගෙ විව්ර්‍ත ආර්තිකෙන් රට විනාස වෙනවා කියලා මමත් කාලයක් හිතුවා, [ඉස්කෝලෙ ගිය කාලෙ සහ පස්චාත් ඉස්කෝලෙ කාලෙ] යම් යම් වැරදි තිබුනත්, 78′ ඒ ක්‍රමය ගෙනාපු එක හොඳයි කියලා අද මටත් හිතෙනවා. ඇත්තටම මෙතන තියෙන්නෙ ආර්තික ක්‍රමයෙ වැරැද්දක් නෙමෙයි, අප තුල තියෙන දේශපාලන දැක්මෙ වැරැද්දක්.

  10. SihiSatahan,
    Among other things, liberalization of the economy might have helped sri lanka to reduce the brain drain out from it. I wonder whether someone has statistics on this.

    Nice, post. You have made clear your views and arguments. Nowadays, most people do agree that the opening up of the economy was at least a necessity (if not a good thing). Probably another topic to discuss in this manner is the brain drain. Why are we unable to keep best brains within the country. Hope, you will touch this item as well one day. Until now, here’s my 2 cents on that. Would like to hear Sihisatahans thoughts on this.

    Thanks for the post.

  11. Chanuka, some recent thoughts led me to post this comment on last two paragraphs of this article.

    Improvements in educational and health indexes after 1978. One might need to reason out how these improvements have resulted from the free market policy. For example, Cuba is boasting of far superior health facilities in the whole world yet a communist country. One can argue a welfare driven society is more capable of improving general health and education of a population. Even the sick man in the Europe was converted into mighty Soviet Union under communism with improvements in health and educational levels.

    Also, free educational system in sri lanka was there before 1978 and was producing results in educational levels, even without free market economy, free educations system could have further decrease the illiteracy rates as the time goes. Similarly one could also argue (reasonably as well) that general improvements in science and technology will over the time improve life expectancy in any population regardless of it’s economical and political backgrounds. Health also was free for all in sri lanka even before 78.

    I’m not saying communist/socialist policies to be preferred over free market policies. If we are saying free market policies have increased those figures positively then we may need to show how, as there are other legitimate reasons (given above) as well. For instance, see these figures again, these were improvements recorded in 25 years! some indexes (1978දී 86%ක් වූ සාක්ෂරතාවය) were already very good figure even without free market economy, so it is only natural to expect them to register slight growth in 25 years.

    1978දී (ඒ වන විටත් නිවෙසකට අත්‍යාවශ්‍ය භාණ්ඩයකැයි සැලැකුණු) මහන මැෂිමක් තිබුණේ නිවෙස් 31% කය. 2003 දී මේ ගණන 44% දක්වා වැඩිවේ.
    මේ හා සමාන්තර සංවර්ධනයක් අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහිද විද්‍යාමාන වේ. උදාහරණයක් ලෙස 1978දී 86%ක් වූ සාක්ෂරතාවය 2003දී 93%කි. 1978දී 15% වූ කිසිම අධ්‍යාපනයක් නොලැබූ ජණගහන ප්‍රතිශතය 2003 දී 8% ට අඩු වී ඇත.

    Don’t you get the feeling that the free education policy and free health system in the country could have been more responsible for above particular indexes than the free market ?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s