13. රැග් නොවූ සරසවි ශිෂ්‍යයාගේ රැග් එක ගැන කතන්දරය

“ඒයි, උඹට පේනවද අර බස් හෝල්ට් එක ගාව හිටගෙන ඉන්න බඩුව?”

ජ්‍යෙෂ්ට උත්තමයෝ වාකියාගෙන් (වාකිෂ්ඨ) ඇසූහ.

“ඔව්” වාකියා බයෙන් බයෙන් කීවේය.

“ගිහින් අහගෙන වරෙන් ඒකි ඇඳගෙන ඉන්න ජංගියෙ පාට. තෝ බොරු කළොත් හෙම ටොයිලට් එකේ ඩිප්ස් පණහක් ගස්සනවා” ඔවුහු ගර්ජනා කළහ.

වාකියා කොහොමටත් නාහෙට නාහන, වෙනම අච්චුවක තැනු පොරකි. ඔහු බස් හෝල්ට් එක දෙසට ඇවිද ගියත් ඇස් දෙක වට පිට ගැන අවධානයෙන් කැරැකුණේය. බස් එකක් අදින්නට සැරසෙයි. වාකියා දිවි අමතක කොට දිව ගොස් එහි පාපුවරුවේ එල්ලුනේය. බස් එක කටුබැද්ද පිළියන්දල පාරේ ඉදිරියට ඇදෙයි. ගොදුර මඟ හැරීමටත් වඩා ඇතිවුණු අවමානයෙන් කෝපයට පත් ජ්‍යෙෂ්ට උත්තමයෝ බසය පසුපස දිව ආහ. ඔවුන්ට එය අල්ලා ගැනීමට හැකිවුණේ නැත.

“අනේ උඹ වගේ මැට්ටෙක්. දැන් උඹ ආයෙත් කැම්පස් නොයා ඉන්නද? උඹව අල්ල ගන්නව ෂුවර්” මිතුරෝ වාකියාට කීවෝය.

ඒත් වාකියා ඒ ජ්‍යෙෂ්ට උත්තමයන්ට හසු නොවූයේය. දින පහක නම්නීකරණ වැඩ සටහනින් පසුව අපට ඉංගිරිසි පන්ති පැවැත්වුණේ වේල්ස් කුමාර හා කුමරි විද්‍යාලයන්හි බැවිනි.

මේ මගේ බැච් එකේම සගයකුගේ අත්දැකීමකි. නවක වදය සම්බන්ධ මගේ අත්දැකීම් මීටද අල්පය. උසස්පෙළින් A දෙකක් (භෞතික විද්‍යාව, ව්‍යවහාරික ගණිතය) B එකක් (රසායන විද්‍යාව) හා C එකක්ද (ශුද්ධ ගණිතය) ලකුණු 305/400ක්ද ලබා ඉංජිනේරු පිඨයට තේරුණත් මා මොරටුව සරසවියට ගියේ දින පහක නම්නීකරණ වැඩ සටහන වෙනුවෙන් පමණක් බැවිනි. මාසයක හෝ දෙකක ඉංග්‍රීසි පන්ති පැවැත්වුණේ සරසවියෙන් පිටතය. මෙයින් පසු සරසවිය දින නියමයක් නැතිව වැසුණු හෙයින් සැලකිය යුතු කාලයක් එය විවෘත වනතුරු බලා සිට නොවුණු තැන මම මොරටුව සරසවියටත් එහි මගේ මිතුරු කැලටත් ආයුබෝවන් කීමි. ඉන් පසු මා මොරටුව සරසවියට පා තබා ඇතොත් ඒ විශාඛාගේ ඇරැයුමකට පමණෙකි. මොරටුව සරසවියෙහි ගත කළ අතිශය කෙටි කාලය තුළ මගේ කිට්ටුම යෙහෙළිය වූ විශාඛා (විශාඛා නානායක්කාර – වර්තමානයේ එහි පරිගණක ඉංජිනේරු හා විද්‍යා අංශයේ අංශ ප්‍රධානි) තවමත් මට තමන් සංවිධානය කරන උත්සව හා දේශන සඳහා ආරාධනා පත්‍ර එවීමෙන් නොනැවත දුරකථනයෙන්ද මතක් කරයි. ඉසඹුවක් ලැබෙතොත් මා මේවාට සහභාගි වන්නේ මා යන්නට තේරුණු එහෙත් කවදාවත් පන්තියකට නොගිය මොරටුව විශ්ව විද්‍යාලය පිළිබඳ සොඳුරු මතක යළි අවදි කර ගනු පිණිසය.

මගේ "මොරටුව ගැන්සිය"

මගේ සරසවි දිවිය තුළ මම කිසිදිනෙක රැග් වී නැත්තෙමි.

ඇයි ඉන්දියාවෙ සරසවි වල රැග් එකක් කියල දෙයක් නැද්ද? ඔබ අසනු ඇත.

තියේ. එහෙත් මම රැග් නොවීමි. ඒ කතාව මෙසේය.

මා අධ්‍යාපනය ලැබූ කර්ණාටක ජාතික තාක්ෂණ ආයතනයේ (NIT-K) රැග් එක ලංකාවේ රැග් එකට වඩා බොහෝ වෙනස්ය. එහි ඉන්දියාවේ සියළු ප්‍රාන්තවලට අයත් ශිෂ්‍යයෝ ඉගෙනුම ලැබූහ. මොවුන් විවිධ ජාතීන්ට, ආගම්වලට, කුලයන්ට, ජන වර්ග වලට අයත් වූ වෙනස් භාෂා කථා කළ පිරිසකි. කිසිම එකමිතියක් නොවීය. මේ ජන වර්ග අතර දරුණු ජාතික හා දේශපාලන බෙදීම් තිබුණේය. එනිසා රැග් කිරීමේදී එක පොදු නීතියක් තිබිණි. නවක වදයට ලක් කළ හැකි වූයේ තමන්ගේම ‘පාටියේ’ කණිෂ්ඨයින් පමණෙකි. ‘පාටි’ හැදුණේ බොහෝ විට ප්‍රාන්ත බෙදීම් අනුවය.(උදාහරණ: පන්ජාබ් පාටිය, තමිල්නාඩු පාටිය, මධ්‍ය ප්‍රදේශ් පාටිය) වෙනත් පාටියක කණිෂ්ඨයකු රැග් කිරීම සලකන ලද්දේ කිසි විටෙක නොකළ යුතු දෙයක් හැටියටය. එය එක අතකට හොඳය. මන්ද එසේ නොවිණි නම් සරසවිය තුළ වාර්ගික අර්බූද ඇතිවිය හැකිව තිබුණු නිසාය.

මා අයත් වූයේ ‘ශ්‍රී ලංකා’ පාටියටය. එය සාපේක්ෂව කුඩාය. සාමාජිකයන් ගණන (අළුතින් එක් වූ අප දෙදෙනා නැතිව) හයක් හෝ හතකි. මගේ ජ්‍යෙෂ්ටයන් සියල්ලන්ම, එක් සිසුවියක හැරුණු විට, දෙමළය. අප දෙදෙනා සිංහලය. මේ වාර්ගික අර්බූදයේ කූඨ ප්‍රාප්තියයි. නවක අප දෙදෙනා රැග් කිරීම තුළින් වාර්ගික හැඟීම් අවුස්සා නොසිටීමට මගේ ජ්‍යෙෂ්ටයෝ ඥානාන්විත පියවරක් ගත්තෝය. ඒ වෙනුවට ඔවුහු අපට හැකි සෑම ආකාරයකින්ම උදව් කළහ. මේ දූර්දර්ශී ක්‍රියාව නිසා මා එහි ගත කළ සතර වසර තුළ කිසිම දවසක අප අතර සිංහල-දෙමළ ගැටුමක් ඇතිවූයේ නොවේ. අපි එක පවුලෙක දරුවන් වීමු.

නවක වද කාල සීමාව අවසන් වන තුරු කණිෂ්ඨයන්ට කමිස යට කිරීම තහනම්ය. සපත්තු වෙනුවට සෙරෙප්පු පැළඳිය යුතුය. උදේ පාන්දර ජ්‍යෙෂ්ටයන්ගේ කාමර වලට ගොස් “Good morning, sir” කියා ඔවුන් අවදි කළ යුතුය. ජ්‍යෙෂ්ටයින් “සර්” ලෙස ඇමැතිය යුතුය. ඔවුන්ගේ පැවරුම් කර දිය යුතුය. (පරිගණක අද මෙන් සුලබ නොවූ ඒ යුගයේ ඉංජිනේරු ශිෂ්‍යයින්ට බොහෝ දේ අඳින්නට තිබුණේය.) අපට මේ නීති කිසිත් අදාළ නොවීය. කලිසම් යට කර ගෙන, සපත්තු පැළඳ දේශන වලට ගිය අප සමහර සගයෝ ජ්‍යෙෂ්ටයන් සේ වරදවා තේරුම් ගත්හ. එහෙත් අපි කැමැත්තෙන්ම අපේ ජ්‍යෙෂ්ටයින්ගේ පැවැරුම් කර දුනිමු.

අනෙකුත් ජ්‍යෙෂ්ටයෝ ඉඳ හිට විහිළුවක් කළා මිසෙක අප රැග් නොකළෝය. ඔවුන්ට ලොකු කුතුහලයක් තිබුණේ විවිධ අසභ්‍ය යෙදුම් පිණිස සිංහල වචන අසා ගැනීමටය. සරසවියේ සිංහල දන්නා කෙනකු නොවූ හෙයින් අපි කටට ආ යමක් කීවෙමු.

මේ හරුණු විට මගේ ඉන්දියානු ජ්‍යෙෂ්ටයෝද මිතුරෝද අපේ හින්දි නොදැනුම බයිට් කළහ. ගණිත මහාචාර්යවරයා ඔවුන් විසින් මට හඳුන්නා දෙන ලද්දේ “ප්‍රොෆෙසර් උල්ලුකා පට්ඨා” ලෙසිනි. “උල්ලුකා පට්ඨා” (son of an owl) යනු හින්දියේ අසභ්‍ය නොවුවත් අවමාන පදයක් බව මම පසුව දැන ගතිමි.

මගේ ඉන්දීය සගයින්ගේ රැග් අත්දැකීම් මීට ඉඳුරා වෙනස්ය. සමහරුන්ට දරුණු ශාරීරික වදයන්ට ලක් වීමට සිදු විය. කෙසේ වෙතත් නිරුවත් කිරීම, ලිංගික හිංසන යනාදිය සාමාන්‍යයෙන් එහි කොටසක් වූයේ නොවේ. නවකයින් ඒ තරමටම මානසිකව පහළට ඇද දමන සිරිතක් ඔවුන්ගේ නොවීය. ලොකුම වදය වූයේ කම්මුල් පාර කෑමට සිදුවීමයි. සාමාන්‍යයෙන් නවකයකුට රැග් සමය තුළදී කම්මුල් පාර 200-300 අතර ප්‍රමාණයක් ලැබේ. (තමන්ට වැදෙන කම්මුල් පාර සංඛ්‍යාව හරියට මතක තබා ගැනීමද ඔවුන්ගේ එක් රාජකාරියකි.) සමහරවිට නවකයින් දේශන සඳහා පැමිණෙන්නේද රතු වූ කම්මුලින් යුතුවය. ඇඟිලි පහර පවා සමහරවිට හොඳින් දකින්නට තියේ.

මීට අමතරව ලොකුම වදය ජ්‍යෙෂ්ටයින් විසින් උදේ පාන්දර පහේ සිට මැදියම හෝ සමහර විට පසු දින උදේ දෙක තුන වනතුරු අර්ථ විරහිත කාර්යයන් උදෙසා නවකයින්ගේ කාලය කෑමය. නවකයින් දේශන මැද නිදා ගැනීම මේ කාලයේදී සාමාන්‍ය සිදුවීමකි. එහෙත් මේ හරුණු විට මොනයම්ම හෝ අවස්ථාවක ආහාර ගැනීම, ශරීර කෘත්‍යයන් කිරීම, ස්නානය බඳු දෛනික ක්‍රියාවන්ට ඔවුනට ඇති අයිතිය අහුරනු නොලැබේ. කොටින්ම කම්මුල් පාර කෑමේ වේදනාව දරාගත හැකි නම් රැග් එක ඒ තරමටම අවුලක් නොවේ.

අසූ ගණන් වල අග හරියේ ඉංජිනේරු ශිල්පය යනු ඉන්දීය යුවතියන්ට ආකර්ෂණීය විෂයයක් නොවූ හෙයින් අපේ සිසු අනුපාතය පිරිමි පහකට ගැහැනු එකකටත් වඩා අඩුවිය. අපට ලොකු හොස්ටල් බ්ලොක්ස් පහක් වූ අතර ඔවුන්ට වූයේ එක කුඩා හොස්ටල් බ්ලොක් එකකි. සිසුවියන් රැග් කරන ලද්දේ සිසුවියන් විසින් පමණකි. සිසුන්ට ඒ සඳහා කිසිදු අවසරයක් නොවීය. කාන්තා බ්ලොක් එකෙහි “අන්ටි-රැග්” සංරචකය ප්‍රබල වූ නිසා බොහෝ විට සිසුවියන් රැග් වූයේම නැත.

රැග් සමය වැඩිම වුණොත් මාස දෙකකි. විභාග නිසා එය ඊට වඩා ඇදගෙන යාමට ජ්‍යෙෂ්ටයින්ට වුව කාලයක් නැත. මින් පසුව ජ්‍යෙෂ්ටයින්ගේ තනි වියදමින් පැවැත්වෙන ‘වෙල්කම් පාටියෙන්’ පසුව නවකයින් සාමාන්‍ය ශිෂ්‍යයන් ලෙස පිළි ගනු ලැබේ.

මේ NIT-K හිදී පාටියකදී ගන්නා ලද ඡායාරුපයකි. අවස්ථාව මතක නැත.

රැග් සමය ගැන මට තව මතක එකම එක සිදුවීමකි. ඒ මා දෙවන වසරෙහි සිටියදී මගේ සගයින් පිරිසක් විසින් වැරැදීමකින් ශාස්ත්‍රපති (masters) පාඨමාලාව සඳහා ඇතුළු වූ නවකයකු රැග් කිරීමයි. සාමාන්‍යයෙන් ඉන්දියානුවේ අඩු වයසින්ම උසස් අධ්‍යාපනයට යොමු වෙති. එසේම ඔහුට තිබී ඇත්තේද ළාබාල පෙනුමකි. එක්කෝ නොදැනුවත්කමින්, නැත්නම් ඕනැකමින්ම මොහු “රැග් වී” තිබේ. අවසානයේ “ජ්‍යෙෂ්ට උත්තමයින්ට” ඔහුගෙන් සමාව ගැනීමට සිදුව ඇත්තේ “Sorry sir, we didn’t know you were a masters student” කියමිනි.

“උඹලා ඊළඟට ලෙක්චර්ලස්ලවත් රැග් කරාවි” මේ කණ්ඩායමේ සාමාජිකයින්ට තවක් බොහෝ කාලයක් යනතුරු අසන්නට ලැබුණේය.

Advertisements

21 responses to “13. රැග් නොවූ සරසවි ශිෂ්‍යයාගේ රැග් එක ගැන කතන්දරය

  1. මමත් ගියේ මොරටුවට. අපේ කාලේ වෙනකොට ඉංජිනේරු පිඨයේ රැග නවත්තලා තිබුනේ. සිනියර්ස්ලා අපෙන් ඉල්ලා හිටියා පිළිවෙලකට අත්දිග කමිස ඇඳලා සපත්තු දාලා එන්න කියලා. නමුත් අපිට ඒ ඉල්ලීම දැනුනේ හරියට රැගක් වගේ. මොකද මොරටුවේ සිනියර්ස්ලා සාමාන්‍යයෙන් කමිස උඩින් දාල රබර් සෙරෙප්පු දාලා තමයි ආවේ. ඉතින් සතියක් යන්න කලින් අපේ අයත් ජ්‍යෙෂ්ටයන්ගේ කනින් රිංගලා කමිස යටනොකර රබර් සෙරෙප්පු දාලා එන්න ගත්තා.

  2. Luckey from UAE

    බොහොම කැමැත්තෙන් කියවුවා. ඒ කාලෙ සරසවියෙන් පිටත ඉන්දියානු සමාජයේ අත්දැකීම් ගැනත් ලියන්න,

  3. /* C එකක්ද (ශුද්ධ ගණිතය)
    */

    හූ, හූ, මැත හොරයි වගේ!

  4. මාත් ආසාවෙන් කියවපු ලිපියක් … හොඳට ලියල තියෙනවා.

  5. කැම්පස් යන්න පින නොතිබුන හින්දා . මට රැග් කියලා මතකයකට තියෙන්නේ ඉස්කෝලේ ඒලෙවල් බැච් එකට දුන්න රැග් විතරයි … රැග් කියලා ඔය පොඩි පොඩි ඇඟට දැනෙන අභ්‍යාස කිහිපයක් පමනක් දිලා ඒලෙවල් රැග් එක අපි දවස් දෙකකින් අවසන් කරනවා .. මගේ ජීවිතේටම රැග් දෙකකට සහභාගී වෙච්ච හැටි මට මතකයි . පොඩි කාලේ ඉඳලාම එකම ඉස්කෝලේ ගියපු නිසා මට රැග් කන්න චාන්ස් ලැබුනෙත් නෑ !

    කොහොමත් අපි වැඩි පුරම කලේ නවකයොන්ට කියලා කෑම බීම අරගෙන කාපු බීපු එක විතරයි … නාහෙට නාහන කීප දෙනෙකුට විතරයි .ෂාරීරික අභ්‍යාස දුන්නේ

  6. එක හුස්මට කියවන් ගියා…අපිට රෑග් කරන්න කියල නම් කිසිම කෙනෙක් හිටියෙ නෑ.ඒ අපි කෑම්පස් එකේ මුල්ම බෑජ් එක වෙච්චි නිසා.ඒත් එක සිද්දියක් මතකයි.පලවෙනි සෙමෙස්ටරයේ අවසන් විභාගය විභාගය ඉවරවෙලා පිරිමි ලමයි වතුර ගහන්න පටන් ගත්ත,ගෑණු ලමයින්ටත් වතුර වලින් බේරෙන්න හම්බුනේ නෑ.ඔය අතරෙ යුනි එකේ ලේඛකාධිකාරීතුමිය ලෙක්ච හෝල් එක ලගින් යන්න ආව.එයා ලමයෙක් ගෙ පෙනුමක් තිබ්බෙ,කෙට්ටු කොන්ඩෙ කපල,පොඩිම පොඩි කෙනෙක්,ඇදල හිටියෙ ඩෙනිම් & ටී .ආ…නංගි ඔන්න ඔයාටත් වතුර‍පාරක් කියල වතුර පුරවපු ශොපින් එකක් විසි කරා එක ලමයෙක්.හොදවෙලාවට එයාට වෑදුනෙනෑ. ඔරවගන යන්න ගියා.

  7. සිත් ගන්නා සුලු කරුණු කිහිපයක්. ලංකාවෙ මේ මාතෘකාව බොහෝ වෙලාවට සාමාන්‍යකරණය කරලා කතා කරන්නෙ. තැනින් තැනට‍ වෙනස් වුන බොහොම හැල හැප්පීම් තියෙන රැගක් ලංකාවෙ තියෙනවා.

  8. ‍රැග කෑමේ වාසනාවක් නොවුනි . . . . ඒ අප, අප ආයතනයේ පලමු කන්ඩායම වීම හේතුවෙනි . . . .

  9. මං ගිය කැම්පස් එකේ රැගින් තිබ්බේ නැහැ. විහිළු හා විනෝදයට කැමති වුවත් රැගින් කියන්නේ අනවශ්‍ය දෙයක්. මේ විහිළුව අස්සේ වෙනත් දේවල් විකිනෙන නිසා, ඇතැමුන්ට අනවශ්‍ය අවස්ථා සපයන නිසා, සිසුන් භේද වන නිසා මෙන් ම අධ්‍යන කටයුතු වලට බාධා වන නිසා.

    රැගින් වල ලොකුම දුර්වලතාවය ස්ටේරියෝ ටයිපින් [චානුකගේ වචන මැෂිමෙන් එකක් සපයන්න]. ලංකාවේ බොහෝ විද්වතුන් හැසිරෙන්නේ කතා කරන්නේ එකම ආකාරයට. හිතන්නෙත් කිසියම් ගුරුකුලයක. පෙර සටහනේ අප කතා කල අන්ධ භක්තිය, අයිඩියලොජිය හා ගැටී වාදය බිහි වන්නේ උපතින් හා පැවැත්මෙන් ගෙනා වෙනස්කම නෝමලයිස් කර දමන නිසයි. සුද්දන් තුල මේ ගතිගුණ අඩු වන්නේ ඔවුන්ගේ සමාජයේ කිසිම තැනක අනික් අය කියන විදිහට ඉන්නට බල නොකරන නිසා වෙන්න පුළුවන්.

    මොරටුවට යන්න ඉඩ තිබියදී පිටරට ගිය මට මොරටුව කියන්නේ නිවාඩුවට ඇවිත් කට්ටියට සෙට් වෙන තැනක් වුනා. ඩිග්රිය ඉවර වෙලා ලංකාවට ආවාම මගේ වයසේ උන්ගේ පේරා බැච් එකට සෙට් වුනේ හයික්ස් යන්න. එක නිකම් මගේ බැච් එක වගේ. අක්බාර් එකේ ගජේ ගහලා සති අන්තේ ඇවිදලා ආපු ඒ කාලේ මරු. දැන්නම් මොරටුව මගේ විශ්ව විද්‍යාලය වෙලා කතන්දර ඇද්ද ජාතියේ පස්තාච්චියක් නිසා.

  10. @කතන්දර;

    [C එකක්ද (ශුද්ධ ගණිතය)]

    චානුක 87 නේද කරන්න ඇත්තේ [පාස්පෝට් ඇනලයිසිස්]. ඔය කාලේ තිබ්බේ මරුසි ගණන්. 87 හරි 88 හරි සරල රේඛාව ගානක් තිබ්බා ලියන්න ඕනේ කොලේ මීටර කිහිපයක් දිගට. මට මතක මං ඒක චැලේන්ජ් එකක් හැටියට අරන් වෙනස් විදිහකට හැදුවා මගේ උසස් පෙලටත් පස්සේ.

    ඔය කාලේ පියෝ පේපර් කාරයා අන්තගාමියෙක් කියලයි හිතෙන්නේ.

  11. Read all your posts.
    Nice 🙂

  12. ඔයා ලියන විදිය නම් නියමයි.
    ඔය රැග්වලට අහුඋනේ නෑ කැම්පස් යන්න තවම ඒලෙවල් නොකරපු නිසා.ඒත් ඊටපස්සෙත් කැම්පස් නොයන නිසා රැග්වලට අහුවෙන්න වෙන එකක් නෑ.
    මමත් ඔය වැඩේට විරුද්දයි.සීමාවක් ඇතිව කලාට කමක් නෑ කිව්වත් ප්‍රායෝගිකව එහෙම සීමාවක් ඇතුලෙ කරන්න අමාරුයි.ඒ විවිධ පුද්ගලයන් ඔය අතරෙ ඉන්න නිසා.මගේ අදහසත් ඒ රැග් කිරීම නැති කරන්න ඕනෙ කියලයි.

  13. මේ බ්ලොගයෙ තියෙන කථා එක හුස්මට කියවන්න පුලුවනි. ඒ තරමටම භාෂාව ලස්සනට හසුරවල තියෙනවා……

  14. oyage hodama yeheliya nam dan apita maara Anayak welaa thiyenne 😛

    • දේශප්‍රේමී

      ඒකනම් සහතික ඇත්ත, මම මේ අහන්නම කියලා හිටියේ එයා ඒ දවස් වලත් ඔය වගේම ද?? :-p

  15. ඉන්දියාවෙ ජිවිත තොරතුරු බොහොම රසවත් ඇති..ලියමුද ?

  16. මම නම් අලයෙක් නිසා යුනියේදී රැග් නොවුවත් ජෙප්පන් සමග කිහිප විටක් වලි දමාගනීමටනම් සිදු විය
    විද්‍යා පිඨය පමණක් අල වීම නිසාද අනෙක්ව සියල්ල ජෙප්පන්ට සපෝර්ට් කිරීම නිසාද වරක් සිදුවීමට ගිය සංහාරයක් යන්තම් වැළකුණේ මම පුද්ගලිකව ඉතාම අප්‍රිය කරන අචාර්වරයෙකුගේ මැදිහත් වීමෙන් බව නොකියාම බැරිය

  17. විශාඛා මැඩම්, මම මාර ගරු කරන චරිතයක්. තනිකරම අවුට් ඔෆ් ද බොක්ස් හිතන්නේ. මොකක්දෝ නොතේරෙන පොඩි අවුලකුත් තියෙනවා හැබැයි. එහෙම අවුල් ඉතින් අපි හැමෝගෙම තියෙනවනේ.

  18. මම චානුකටත් කලින් මොරටුවේ හිටියේ. මට හරි දුකයි චානුක ට මොරටුවේ ඉගෙන ගන්න නොලැබිච්ච එක ගැන. මොරටුව කියන්නෙ ශිෂ්‍යයන්ගේ පැත්තෙන් සාධාරණව හිතන ගුරුවරු ඉන්න තැනක්. ඒ කාලේ ‘ඇන’ වගේ පෙනුන සෑම් කරුණාරත්න, චන්ද්‍රකීර්ති වගේ මහාචාර්ය වරුත් රස්සා කරන කාලය එනකොට කොච්චර උදව් කරනවාද?
    ඒ කාලේ ලංකාව තිබුන හැටියට නම් ඔයා රටින් ගිය එක තමයි හොඳ! දැන් මානව හිමිකම් කතා ගැන ඇහෙන කොට ඒ කාලේ මතක් වෙලා මට හිතෙනවා ඒ කාලෙ ලංකාවේ හිටියේ මානවයෝ නෙවෙයි වත්ද කියලා.

  19. ” මගේ ඉන්දීය සගයින්ගේ රැග් අත්දැකීම් මීට ඉඳුරා වෙනස්ය. සමහරුන්ට දරුණු ශාරීරික වදයන්ට ලක් වීමට සිදු විය. ලොකුම වදය වූයේ කම්මුල් පාර කෑමට සිදුවීමයි. සාමාන්‍යයෙන් නවකයකුට රැග් සමය තුළදී කම්මුල් පාර 200-300 අතර ප්‍රමාණයක් ලැබේ. ”

    කොතරම් හින්සනයක්ද ? කම්මුල් පාර 200-300 අතර ප්‍රමාණයක් ලැබේ. ” ඊ මේ විදියට නවකයන්ට හිංසා කරන්නේ.
    ලංකාව , ඉන්දියාව වැනි රටවලය විශ්ව විද්‍යාල වල නවක වදය ඇත ඊට හේතුව ලංකාව , ඉන්දියාව වැනි රටවල් තවමත් නොදියුණු ගෝත්‍රික සමාජ නිසාය. . මෙම රටවල මිනිසෙකු තව මිනිසෙකුට ගව්රව නොකරති. බටහිර රටවල විශ්ව විද්‍යාල වල මේ අන්දමේ තිරිසන් නවක වැඩ නැත ඊට හේතුව ඔවුන් මනසින් උසස් ශාස්ත්‍ර ඥානයට මුල් තැන දෙන නිසාය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s