15. ලොව සිව්වැනියට බලවත්ම පුද්ගලයා හමුවීමි

1996 ඔක්තෝබර්

“චානුක, මොකෝ මේ මුළු ගැන්නිලා?, එන්න මම මහින්ද මහත්තයට අඳුන්නල දෙන්න”

(පියසේන) කහඳගමගේ මහත්තය මාවත් ඇදගෙන සෙනඟ අතරින් ඉස්සරහට ගියා. ධර්මසිරි සේනානායක ඇමැතිතුමා නම් ආවේ රූපවාහිනි කණ්ඩායම් දෙක තුනක් එක්ක.  එච්චර වැදගත් ඇමැති කෙනෙක් නොවෙන නිසදෝ අළුතින් ආපු කෙනාට ටී. වී. කණ්ඩායම් කවුරුත් හිටියෙ නෑ. පීචං ඇමතිලාට මොන පබ්ලිසිටිද?

ස්ථානය කොළඹ කලා භවන. දයාසේන ගුණසිංහ මහත්තයාගේ අවමඟුල් දවස.

මේ වසර පහළොවකට කලින් වෙච්චි සිද්ධියක් නිසාදෝ කම්කරු ඇමැතිතුමා එක්ක මොනවා කතා කළාද මට හරියටම මතකයක් නැහැ. මට කාර්ය බහුල දවසක්. වේදනාව, තරහ, ආතතිය, වෙහෙස ආදී විවිධ ආවේගයන් මැද සම්මා සතිය ඇති කර ගන්නට උත්සාහ දරමිනුයි මා සිටියේ.

“රාජපස්ස උන්නැහේ මොනවද කිව්වෙ?”

ඇමැතිතුමා පිරිවර සෙනඟ (ඩලස් අලහප්පෙරුම හා නාලන්ද එල්ලාවල) සමඟ නික්ම ගියායින් පසුව සුනේත්‍රා අක්කා (සුනේත්‍රා රාජකරුණානායක) ඇහුවා. දවස් තුනක කාලයක් හෙවනැල්ල වගේ මගේ පස්සෙන් හිටියෙ සුනේත්‍රා අක්කා. ජීවිතය ගැන මා නොදැන සිටි බොහෝ දේ ඇය මට මේ දින කිහිපයට කියා දුන්නා. මහරගම ගෙදර පඩිය උඩ වාඩි වෙලා, ඇය මා දන්නා මිනිසුන් ගැන කියපු නොදන්නා කතන්දර අහගෙන හිටියා මතකයි. (සුනේත්‍රා අක්කා ගැන වෙනම සටහනක් කළ යුතුයි, මගේ පොත් රාක්කයේ තවමත් නොකියවා තිබෙන ‘බුද්ධ දාසි’ හා ‘කවි කඳුර’ කියැවූ වහාම!)

“එන්න කිව්ව ඒ පැත්තෙ ඕනැ වෙලාවක, උදව්වක් ඕනැ උණොත්!”

“අනේ හොඳයි, චානුකත් මේ දවස්වල එල්ලෙන්න වලිගයක් හොයමින්නෙ ඉන්නෙ”

සුනේත්‍රා අක්කා හින්ට් එකට වගේ කිව්ව.

මගේ දිවි මඟෙහි කිසි දවසෙක දේශපාලකයින්ගෙන් පුද්ගලික උදව් ලබා නැති බව ලියන්නට පුළුවන් නම් මා සතුටුයි. එහෙත් කෙනකුට 100%ක් ප්‍රතිපත්ති ගරුක වෙන්න අමාරුයි. මේ ක්‍රමය යටතේ ජීවිතය ගෙනයාමේදී දේශපාලන උදව් වරින් වර ලබා ගන්නට අප කාටත් සිදු වෙනවා. ඔහු ධීවර ඇමැති යුගයේ මහින්ද මහත්තයාගෙන් වාර දෙකකදී උදව් ඉල්ලන්නට අපට සිදුවුණා. සිරි රණසිංහ මහත්තයාගේ දැඩි උනන්දුව මත ඊට හුඟාක් මහන්සි වුණේ ලංකාදීපයේ දුෂ්‍යන්ත සමරසේන. (ඒ කාලෙ මහින්ද මහත්තයාව ලංකාදීපය වෙනුවෙන් කවර් කළේ ඔහු.) එකක් සාමාන්‍ය උදව්වක්. අනෙක තීරණාත්මකව වැදගත් එකක්. (මේ අසාධාරණ හෝ අසාදාචාරාත්මක උදව්වක් නොවන බව ලිවිය යුතුයි. ඇත්තටම ඊට කලින් සිදුවුණු අසාධාරණයක් සම්බන්ධයෙන් නිවැරදි විය යුතුව තිබුණු එහෙත් නිවැරදි නොවූ දෙයක්)සාධාරණත්වයේ නාමයෙන්, මේ අවස්ථා දෙකේදීම ඔහු ප්‍රත්‍යුපකාර වශයෙන් කිසිවක් බලාපොරොත්තු නොවූ බවත්, මා කිසිම දවසක පුද්ගලිකව එවැන්නක් නොකළ බවත් සඳහන් කිරීම වැදගත්. අඩු තරමින් ඡන්දය ප්‍රකාශ කිරීම වැනි සරල උදව්වක්වත්!

මා අවසාන වතාවට ඡන්දය ප්‍රකාශ කළේ 1994දී. ඉන්පසු කිසි දවසක ඡන්දය ප්‍රකාශ නොකළේ ඉන් ඇති වූ කළකිරීම නිසා. 1994දී අපේ “නූතන විහාර මහ දේවිය” වූයේ චන්ද්‍රිකා කුමාරණතුංග. එවකට දැඩි යූ. ඇන්. පී. විරෝධියකු වූ මා අතුල අයියා (වික්ටර් අයිවන්) විසින් මෙහෙයවනු ලැබූ චන්ද්‍රිකාගේ ප්‍රචාරණ ව්‍යාපාරයේ සුළු භූමිකාවක්ද නිරූපණය කළේ එයින් වන අවදානම නොසලකමින්. (එවකට මගේ බොස් වූ Softlogicහි අශෝක් පතිරගේ අද කොහොම වුණත් එදා නම් දැඩි යූ. ඇන්. පී. කාරයෙක්.) චන්ද්‍රිකා ඉතා කෙටි කාලයක් තුළ අපේ බලාපොරොත්තු මුළුමනින්ම කඩ කළා. එවැනි අප්‍රසන්න අත්දැකීමකින් පසුව කෙනෙකුට නැවත කැපවීමෙන් ප්‍රචාරණ කටයුත්තකට සහභාගි වීමට සිතෙන්නේ නැහැ. ඉන්පසුව මා කාට හෝ ඡන්දයකදී සපෝට් එකක් දුන්නා නම් ඒ වැඩිපුරම අනෙක් පාර්ශවය සමඟ තිබූ තරහ පිරි මසා ගැනීමට.

ආයෙත් ‘මහින්ද මහත්තයා’ ගැන කතාවට. දෙවන වරට ඔහු මට හමුවන්නේ රටේ අගමැතිවරයා ලෙස, මුල් හමුවෙන් වසර නවයකින් පමණ පසු.

එවක අග්‍රාමාත්‍ය ලේකම්, මගේ පරණ බොස් ලලිත් වීරතුංග මහත්තයා හොඳින් දන්නා චීන මහාචාර්යවරයකු හිටියා හොං කොං හි. බෙයිජිං හීදී වැඩමුළුවකදී හමුවී තිබුණු හෙයින් මාද ඔහු තරමක් දුරට දැන සිටියා. මේ චීනාට ඕනෑ වුණා, ත්සුනාමියෙන් පසුව ඔහු විසින් එකතු කළ ආධාරයක් අප වෙත ලබා දෙන්නට. ඒ සඳහා ඔහු ලංකාවට පැමිණියා. ත්සුනාමි ආධාර භාරගත් ප්‍රධාන ආයතනයක් වූයේ අගැමැති කාර්යාලය.

කවර හෝ හේතුවක් නිසා එදින වීරතුංග මහත්තයාට කටුනායක යන්නට සිදු වී තිබුණා. සමහරවිට VIP කෙනෙක් පිළිගන්නට වෙන්න ඇති.

“චානුක ඔයා ගාමිණීට කතා කරල වෙලාවක් අරගෙන මේ මනුස්සයා PMට මුණ ගස්සන්න”

ඔහු මට උපදෙස් දුන්නා. මතක හැටියට මා ඒ කාලයේ වැඩ කළේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA).

එවක අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ගාමිණි සෙනරත් මහත්තයා (දැන් ප්‍රධාන විධායක, ජනාධිපති ලේකම් කාර්යාලය, තවත් තනතුරු ගණනකට අමතරව) දුරකථනයට ගැනීම අදට වඩා බොහොම පහසුයි. ඔහුම රිසීවරය ඔසවන කාලයේ. මා අවශ්‍යතාවය පැහැදිළි කළා.

“අද නම් PM ටිකාක් බිසි. කමක් නෑ ඔයා දහයමාරට විතර එක්කගෙන එන්නකො”

මට උපදෙස් ලැබුණා.

කලම්බු ප්ලාසා එකෙන්ද සිනමන් ග්‍රෑන්ඩ් එකෙන්ද මතක නැහැ, මා චීනාව පික් කළා. රටක අගැමැති හමු වෙන්නම අපූරුවට ගැළපෙන ඇඳුමක් තමයි ඔහු ඇඳගෙන හිටියෙ. ටී-ෂර්ට් එකයි, ට්‍රැක් බොටම් එකයි, ජැකට් එකයි. ජැකට් එක නැතිනම් හරියට ව්‍යායාම කරල ඉවර වෙල ගෙදර යනවා වගේ. සමහර විට මේ හොං කොං වල ජාතික ඇඳුම වෙන්න ඇති. නැත්නම් චෙක්-ඉන් බැගේජ් එක මිස් වෙන්න ඇති. මොනවා කරන්නද? වෙන ඇඳුමක් ඇඳන් එන්න කියන්නත් බෑනෙ.

මර්ෆිගේ නියමය වැඩ කරන්නට පටන් ගෙන ඇති බව තේරුණේ ෆ්ලවර් රෝඩ් එකට කිට්ටු වෙන කොට. රැකියා විරහිත උපාධිධරයන්ගේ දැවැන්ත උද්ඝෝෂණයක්. වාහන ඔක්කෝම නැවතිලා.

“We have to walk from here” මා කීවා.

දැන් චීනාගෙන් ප්‍රශ්න කෝටියයි.

“Why can’t you take a vehicle even to the Prime Minister’s office in your country?”

“Who are these people? Why they shout like this?” (හොං කොංවල උද්ඝෝෂණ නැතුවාම වගේ!)

“Will these people hit us too?”

උද්ඝෝෂකයින් එල්ලී සිටි ගේට්ටුව අමාරුවෙන් ඇරගෙන අපි කාර්යාල පරිශ්‍රයට ඇතුළු වුණා. අව්වේ ගිය නිසා දැන් චීනා ඉහේ ඉඳන් දාඩිය නාලයි ඉන්නෙ.

ගාමිණි සෙනරත් මහත්තයාගේ මැදිහත් වීම නිසා අපට වැඩි වෙලා රැඳී සිටින්නට වුණේ නැහැ. ඉක්මණින්ම අගැමැතිතුමා හමුවෙන්නට ලැබුණා. ඒ වෙනකොට දාඩිය වැඩි කමට චීනා ජැකට් එකත් ගලවලා. නමුත් අගැමැති තුමා ඒක ගණන් ගත් බවක් පෙන්නුවේ නැහැ. ස්තූතිපූර්වකට ඩොලර් නෝට්ටු ටික භාරගත්තා. වචනයක් දෙකක් කතා කළ බවත් මතකයි.

මා චීනා වෙනුවෙන් පින්තූර කිහිපයක් ගත් නමුත් දැනට ඒවා මා සතුව නැහැ.

මේ සරල කතන්දර දෙක වර්තමානයේ අපේ රටේ අසාහය නායකයාගේත් මගේත් දිවි ගමන් සම්පාත වූ අවස්ථා දෙකක් ගැන කීමක්ම නෙවෙයි. හොඳට හෝ නරකට ඔහු පමණයි මා මෙතෙක් ලංකාවේ ජාතික තලයේ දේශපාලකයින් අතරින් හමු වී කතාබහ කර ඇති එකම පුද්ගලයා. (ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මට සම්මානයක් දුන්නාට කතා බහ කළේ නැහැනෙ.) ඉතින් මෙහෙම කියනවා හැර දේශපාලකයින් ගැන කියන්නට මට ලොකු කතන්දර නැහැ.

අනෙක් පැත්තෙන් ගත්තොත් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක තුමා මා දැක ඇත්තේ ජීවිතයේ එක් වතාවක් පමණයි. ඒ අසූ ගණන් වල මුල් හරියේ බොරැල්ලේදී බිශොප් ලක්ෂ්මන් වික්‍රමසිංහ මහතාගේ අවමඟුල් පෙරහැරේ එවක අගැමැති ආර්. ප්‍රේමදාස මහත්තයා සමඟ ඇවිද යන ගමනේදී.

Advertisements

6 responses to “15. ලොව සිව්වැනියට බලවත්ම පුද්ගලයා හමුවීමි

  1. මම මහින්ද මහත්තයව දෙතුන් වතාවක් දැකල තියනව අගමැති කාලේ , මම එතුමාව පිලිගන්න තුර්ය වාදන කණ්ඩායමක ඉඳල තිය්නව , ඒ වගේ වැඩ වල්දි තමයි අනික් දෙවතාව/ එක් වතාවෙදිත් දැක්කෙ , ඔය වැඩ වලට ගිහින් සැටලයිට් නෝන නිසා කාපු කට්ට නම් අපරිමිතයි ( අවස්ථා ගාන 3 ක් විතර උනත් කට්ට නම් ආත්මා ගානකට ) එයා එන කන් පැය ගනන් බලාහිටපු අපි කියපු ඒවයෙ හැටියට අද වෙනකොට බන්ඩාරනායක සමරුවත් කුඩු පට්ටම් වෙලා තියෙන්න ඕනි

  2. / චන්ද්‍රිකා ඉතා කෙටි කාලයක් තුළ අපේ බලාපොරොත්තු මුළුමනින්ම කඩ කළා. එවැනි අප්‍රසන්න අත්දැකීමකින් පසුව….. /

    චානුක,මේ ටික දැක්කම මගේ අදහස් නොලියම බැරි උනා චානුක,

    මගෙ ජීවිතේ මම අත් විඳපු මහාම බලාපොරොත්තු කඩවීම මට උරුම කරල දුන්නෙ ඔය නෝන මහත්තය තමා. දේශපාලනඥයො කියන්නෙ බොරු කියන එක සහජයෙන්ම උරුම කරගෙන ඉපදුනු කොටසක් උනාට මගේ තියන මෝඩ කමට, මෝඩකමට නෙවෙයි ඇත්තටම කිව්වොත් සුන්දර අපේක්ෂාවන්ගෙ නිමග්න වීමට අපි තුල ඇති සහජ ආශාව මා තුලත් නොඅඩුව ඇති නිසා මම දහසක් සොඳුරු බලාපොරොත්තු තැබුවා ඔය අම්මණ්ඩි ගැන.

    බොහෝම ඉක්මනට චන්ද්‍රිකා ඒ බලාපොරොත්තු ඩයිනමයිට් ගැහුව වගෙ විනාස කරල දැම්මා.

    දැන් එව්ව ඔක්කොම මලගිය අතීතය තමයි, ඒත් තවමත් මතක් වෙන කොටත් හිතට කණගාටුයි,

  3. මහින්ද මහත්තය පාඨක චන්දෙකින් හරි ලෝක බලවත්ම හතරවැනිය වුන එක ගැන මම සතුටු වෙනව ශ්‍රී ලංකාවෙ එකෙකු හැටියට.
    දැන් ඔය ගොල්ලො හිතන්න එපා මම මහින්දට කඩේ යන මිනිහෙක් කියල. මම අගය කරන්නෙ එතුමාගෙ තියෙන නොනැමෙන ගතියටයි.
    මේ ආණ්ඩුවෙත් සමහර ගෝල බාලයො මහජන මුදල් ගසා කනව ඇති.. කාබාසිනියා කරනව ඇති. ඉතින් ඉස්සර තිබුණ ආණ්ඩුත් එහෙමනෙ. දැන් කයිය ගැහුවට එයාලත් ඒකම තමා කරල තියෙන්නෙ. ඒ මදිවට කොන්ද පණත් නෑ. සුද්දෙක් දැක්කම නැට්ට පුකේ ගහගෙන දෙකට නැමෙනව.
    ඒ අතර මහින්ද ශ්‍රේෂ්ඨයෙක්.. කොන්ද කෙලින් තියෙන මිනිහෙක්. ලෝකෙ අනිත් මිනිස්සුත් ඒ බව පිළිගන්නව. ටයිම් සඟරාවෙ මේ මත විමසුමෙන් පැහැදිළි වෙන්නෙ ඒකයි.

  4. අපේ අම්මලාගේ ගෙවල් අයිනේ තියෙනවා පරණ නෙලුම් පොකුණක් අද ගොහොරුවක් වෙච්ච. රනිල් අගමැති කාලේ බුවා ට ඕනේ කරලා තිබ්බා මේ පළාතේ රේස් කෝස් එකක් හදන්න. මේන් දවසක් මං ගෙදර එනකොට රටේ අගමැති තුමා [රනිල්] අපේ ගේ ඉස්සරහ ඉන්නවා තොප්පි දාගෙන මැප් බල බල.

    මං ඉතින් අඳුනන්නේ නැහැ වගේ පහු කරන ගියා. තේ එකක් දෙන්න තියා අපි ගණන් ගත්තේවත් නැහැ. අලියට ඉතින් දකුණේදී හම්බු වෙන්නේ ඔය තැන තමා, රටේ අගමැති වුනත්.

    රවී/චානුක, 1994 ජනපතිවරණයට පෙර මානිගේ අන්තිම තීරුව මතකද? මෙතුමිය දින්නම රස්සාවල් නැති වෙයි කියා බයේ මානි අවුල් වෙලා පාරට බහිනවා. අයි ඉතින් ඔක්කොම අප්සෙට් හදනවනේ. ඒත් කතාව ඉවර වෙන්නේ “චන්ද්‍රිකා නෝනා අප අසතුටු කරන් නැති බව ස්ථිරයි” වගේ පදයකින්.

    94 හිත කැඩිච්ච මං ආයිත් දීල තියෙන්නේ [කැන්සල්, ජෙප්පෝ හැර] චන්ද දෙකයි. දෙකම මහින්දට. හැබැයි මහින්දටම නොවේ. එකක් කොටියට එරෙහිව. ඒ ඉල්ලීම හරි. දෙවැන්න හමුදා ඒකාධිපති වාදයට එරෙහිව. සිදු නොවූ දෙයක් ගැන පේන කියන්න බැරි වුනත් එය ඉතාමත් සාධාරණව වෙන්න තිබ්බ දෙයක්. 2005 සිට චන්දදායකයා අපහසුවට පත් නොකළ විපක්ෂයක් තියෙන්නේ. මහින්ද සිරා කිව්වා නොවේ. මට දැඩි විවේචණ තියෙනෙවා. ඒත් ප්‍රතිවාදියාගේ තත්වය බියොන්ඩ් ක්රිටිසිස්ම්.

    බාන් බඩි වගේ වර්චුවල් රාජ්‍යයක් හැදුවනම් මුණු පොතේ අපිටත් රජ කරන්න තිබ්බ. බාන බඩි වගේ ගොන් වොහ්ලු හැදෙන ලෝකේ මේක විතරක් අඩු ඇයි දන්නේ නැහැ.

  5. මේක කියෙව්වම මතක් උනේ මයියා ටත් ලොක්කව රාජකාරී වැඩකදි ටිකක් පෞද්ගලිකව හම්බ වෙලා කථා කොරලා තියෙනවා නෙව..මට නම් අල්ලලා ගියේ හමේ පාට තමටි..රත්තරන් වගේ දිලිසෙනවා…ඒ වගේ හමක් මම ඊට පස්සේ දැක්කේ දඹුල්ල පන්ස්ලේ ලොකු හාමුදුරුවන්ගේ..

  6. /* ඒ වෙනකොට දාඩිය වැඩි කමට චීනා ජැකට් එකත් ගලවලා. නමුත් අගැමැති තුමා ඒක ගණන් ගත් බවක් පෙන්නුවේ නැහැ. ස්තූතිපූර්වකට ඩොලර් නෝට්ටු ටික භාරගත්තා. වචනයක් දෙකක් කතා කළ බවත් මතකයි.

    මා චීනා වෙනුවෙන් පින්තූර කිහිපයක් ගත් නමුත් දැනට ඒවා මා සතුව නැහැ. */

    හෙල්පිං හම්බන්තොට ගිනුමට දාන්න ඇති නේද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s