16. සොෆ්ට්ලොජික් වල රංජිත්ගේ කතන්දර

ආයෙමත් සරල කතන්දර වලට – බර දේවල් කියැවීමට අකැමැති පාඨකයින් සඳහා.

සොෆ්ට්ලොජික් වලට මා එකතු වෙන්නේ 1994 ජනවාරියෙදි. 1995 අගෝස්තු වන තුරු මා එහි සේවය කරනවා. මගේ වැටුප් පත්‍රිකාවේ අංකය 35. ඒ කියන්නේ ආරම්භයේ සිට මා 35 වැනියා. (ඔවුන්ගේ වෙබ් අඩවියෙ දැක්වෙන පරිදි සොෆ්ට්ලොජික් ආරම්භ වෙන්නෙ 1991දි. මට මතක හැටියට ඉන් පසුව.) ජනක රත්නායක වැනි කිහිපදෙනෙක් ඒ වනවිටත් සොෆ්ට්ලොජික් අතහැර ගොසින්. (දැන් ඔහු ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ EDB සභාපති හා ප්‍රධාන විධායක.) 1994දි සොෆ්ට්ලොජික් කාර්ය මණ්ඩලය වැඩිම වුණොත් 25ක් ඇති. අපේ නිවහන ලකී ප්ලාසා ගොඩනැඟිල්ලේ එක් කඩ කාමරයක්. ජෝන් කීල්ස් වල ඉඳල මේ වගේ තැනෙකට ආවා කියන්නත් ලැජ්ජයි, මුලදි.

අශෝක් පතිරගේ

මේ යුගය ගැනත් දැනට ලංකාවේ ධන කුවේරයකු සේ ගිණිය හැකි එකල මගේ බොස් අශෝක් පතිරගේ ගැනත් කිව හැකි කතා බොහෝයි. (ඔහුගේ නියම නම අශෝක, නමුත් කවුරුත් කතාකළේ අශෝක් නමිනුයි. දැන් ඒ නම රිජිස්ටර් වෙලා.) ඒ වුණත් ඒ භයානක කාර්යයට අත ගහන්න ඕනැ නැහැ. සොෆ්ට්ලොජික් වලින් මා ඉවත් වුණෙත් සිත් නොහොඳ වීමකින් පසුව. පොඩ්ඩක් වැරදුණොත් නඩු කියන්නෙ වෙන්නෙත් කෝටිපතියෙක් එක්ක. ඒ නිසා ඒ අදහස් අත හරිනවා.

ඒ වෙනුවට මම රංජිත් ගැන කියන්නම්. (අන්වර්ථ නාමයක්) දන්නා තරමින් ඔහු දැන් සොෆ්ට්ලොජික් එකේ නැහැ. අස් වෙලා ගොඩක් කල්.

රංජිත් කියන්නෙ කාර්යාලයක සිටිය යුතු කෙනෙක් නෙවෙයි. ඉතාම අසාර්ථක සේවකයෙක්. ඔහුට කළ හැකි කිසිම දෙයක් නැහැ. ඒ වන විටත් අංශ ගණනක අවස්ථා ලබා දී තිබුණත් ඒ හැම එකකින්ම ඔහු අසාර්ථක බව ඔප්පු කොට හමාරයි. ඒ මදිවාට බාල්දියක් පෙරළා නොගන්නා දවසක් නෑ. කොටින්ම රංජිත් කියන්නෙ manager’s nightmare එකක්. ඒ වෙනකොට ඔහුට වයස අවුරුදු 30-35ක් විතර ඇති.

මොනවා කරන්නද? රංජිත් අශෝක්ගේ ප්‍රාණසම දීර්ඝ කාලීන මිත්‍රයෙක්. ඉතින් ඔහුව ගෙදර යවන්න අශෝක් කැමැති වුණේ නෑ. ඇත්තම කතාව ඔහුව තුන් සැරයක් අස්කර නැවත රස්සාවට ගත්තා.

කොහොම වුණත් රංජිත්ව ඔෆිස් එකේදි බයිට් වෙන එක වළක්වන්න නම් අශෝක්ටත් පුළුවන් වුණේ නෑ.

මේ ඔෆිස් පාටියකදි ඇහුණු කතාවක්.

“…මොනවද බං උඹල මේ ඕඩර් කර තියෙන බයිට්ස්? මේව කන්න පුළුවන්ද…?” (එහා මේසයක සිටි රංජිත්ට) “…රංජිත් මෙන්න මෙහාට වරෙන්, අපට බයිට් එකක් නෑ.”

කොම්පියුටර් පහක් දහයක් කොහාට හරි තනියෙන් ගිහින් දාන්න වුණොත් අපෙන් කෙනෙක් (මා මේ කාලේ පරිගණක ඉංජිනේරුවෙක්) හා අශෝක් අතර මේ වගේ කතා බහක් ඇති වෙනවා.

මම: අශෝක් මම කුන්ඩන්මාල්ස් වලට යනවා, රංජිත්වත් එක්ක යන්නද?
අශෝක්: ඒ මොකටද?
මම: එතන ගර්ල්ස්ලා ටිකක් වර්ඩ් පර්ෆෙක්ට් ඉගෙන ගන්න ඕනැ කිව්ව.
අශෝක්: මාවත් අන්දන්නද යන්නෙ? ඔය එක්ක යන්නෙ වර්ඩ් පර්ෆෙක්ට් උගන්නන්න නෙවෙයි කම්පියුටර් කර කර ගස්ස ගන්නනෙ. හා, හා, අරන් යනවා. අරන් යනවා. පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්නවා මොනව කරයිද කියලා.

ඔය විදියට ඔෆිස් එකේ පියන් ගාණට තමයි කවුරුත් රංජිත් ගණන් ගත්තේ. රංජිත් බයිට් නොවෙන ඔෆිස් ඉවෙන්ට් එකක් නැති තරම්.

දවසක් බොරැල්ලේ සෞඛ්‍ය අමාත්‍යාංශ ක්‍රීඩාංගනයේ අපි තවත් කවුද ටීම් එකක් එක්ක ක්‍රිකට් මැච් එකක්. තරගය මැද කාර් එකට ගිහින් ආපු රංජිත් මෙන්න මල පැනලා බනිනවා.

“ජඩ වැඩ කරන්න එපා යකෝ. කොයි එකාද මගේ කාරෙක උඩට කුණු වෙච්චි වැල ගෙඩියක් දැම්මෙ?”

“උඹ කොස් ගහක් යට කාර් එක නතර කරන්න ඇති” මම කිව්වෙ නිකමට. (කවුරු කළාද හරියටම නොදනිතත් මටත් හිතා ගන්න පුළුවන් මේක අපේ සෙට් එකේ වැඩක් කියලා.)

රංජිත්ට කොච්චර ෆ්ලවර් ජම්ප් වෙලා තිබුණද කිව්වොත් පැනපු ගමන් අල්ල ගත්තා මගෙ බෙල්ලෙන්. මගේ දැඟලිල්ල මැද කොලර් එකෙන්ම ඇදගෙන ගියා එළියට. (ඔහු මට වඩා ටිකක් උසයි.) දැන් හරස් ප්‍රශ්න ඇසීමේ වාරය.

රංජිත්: අර ගහ මොකද්ද?
මම: (නිහඬයි)
රංජිත්: කියපන්, නැත්නම් උඹ ගුටි කනවා (දණහිසෙන් බඩට අනියි.)
මම: කොස් ගහක්
රංජිත්: අර ගහ මොකද්ද?
මම: අඹ ගහක්
රංජිත්: මගෙ කාර් එක පාක් කරල තියෙන්නෙ අඹ ගහ යටද, කොස් ගහ යටද?
මම: අඹ ගහ යට
රංජිත්: ඉතින් කොහොමද හු** අඹ ගහ යට පාක් කරල තියෙන කාර් එකට වැල ගෙඩියක් වැටෙන්නෙ?

ඔන්න දවසක් ඔෆිස් යනකොට රංජිත් පොලීසියෙන් රිමාන්ඩ් කරලා. ඒකෙ අතීත කතාව මෙහෙමයි.

එක මුදලාලි කෙනෙකුට ඕනැ වෙනවා සොෆ්ට්ලොජික් වලින් ජෙනරල් ලෙජර් (GL) පැකේජ් එකක් මිළට ගන්න. ඒත් ඔහුට දරන්න බැරි තරමට මිළ වැඩියි. මේ අතරෙ රංජිත් දෙනවා විසඳුමක්. “මුදලාලි ඕක මගෙන් GL එක අරගෙන මට රුපියල් දහ දාහක් දෙන්නකො.”

මුදලාලිත් එක පයින් කැමති වෙලා රංජිත් ගෙන් ඔහු හොරෙන් පන්නපු සොෆ්ට්ලොජික් එකේම GL එක අර ගන්නවා. (අශෝක් මේවා නොදන්නවා නෙවෙයි. ඒත් යාළුවා නිසා ඉවසනවා.) GL එක විකුණුවාට රංජිත්ට ඒක maintain කරන්නත් බෑ. මුදලාලිට අවශ්‍ය customization කරන්නත් බෑ. ඒව නැතුව මුදලාලිටත් ඒකෙන් වැඩක් නෑ. රුපියල් දහදාහම වතුරේ. දැන් මුදලාලි රංජිත් එක්ක නයි වෛරෙන් ඉන්නෙ.

ඔය අතර දවසක් මුදලාලිගෙ කඩේ හොරු බිඳලා. ගෙනිහින් තියෙන්නෙ කම්පියුටර් එක විතරයිලු. මුදලාලිගෙ හිතේ කොම්පියුටරයක් හොරකම් කරන්නත් විශේෂඥ දැනුමක් ඕනැ කියලා. ඇයි ගලවන්නම කියලා වයර් කීයක්ද? ඉතින් පොලීසියෙන් ඇහුවාම කවුද සැක කියලා දුන්නා රංජිත්ගෙ නම. පොලීසියත් හෙවිල්ලක් බැලිල්ලක් නෑ, රංජිත් රිමාන්ඩ් කළා.

ඊට කලින් දවසෙ රංජිත් අපේ Microsoft Excel ඩිස්කට් ටික අරගෙන ගිහින්. ඒ කාලෙ CD එතරම් ප්‍රචලිත නැහැ. ඔක්කොම වැඩ ඩිස්කට් වලින්. Excel පැක් එකේ ඩිස්කට් පහයි. ඒක නැතුව අපේ වැඩ සම්පූර්ණයෙන්ම අවුල්. ඒ නිසා අපි දෙන්නෙක් ගියා පොලීසියට. කරදරයක් නෑ, රංජිත්ට කතා කරන්න දුන්න. දැන් රංජිත් අඬන්නෙ නැතුව විතරයි.

“බලපන් මචං උඹල දෙන්න විතරයි මට යාලුවො විදියට ඉන්නෙ. මං මෙච්චර අමාරුවක වැටිල ඉන්නව, එකෙක් ආවෙ නෑ බලන්න. උඹල දෙන්නට විතරයි මාව මතක් වුණේ…”

අපේ වැඩෙත් කර ගන්න එපායැ. එන්න ලැහැස්ති වෙලා මම ඇහුව ප්‍රශ්නෙ.

“රංජිත් උඹ ඊයෙ Excel පැක් එක තිබ්බෙ කොහෙද?”

ඔන්න මනුස්සයට වැඩේ මීටර් වුණා.

“යකෝ, තොපි ආවෙත් මේ අමාරුවක වැටිල ඉන්න මාව බලන්න නෙවෙයි. Excel පැක් එක ගැන අහන්න. උඹල තමයි යාළුවො. මාව අමාරුවෙ වැටුනම එකෙක් නෑ බලන්න. තුහ් විතරක්. පලයව් යන්න…”

තව එකම කතාවක්.

විවාහ මංගල්‍යෝත්සවයකදී මනමාලයාට “රැග දීම” අනූ ගණන් වල ප්‍රචලිත වූ නරක පුරුද්දක්. අපේ සෙට් එකටත් මේ නරක පුරුද්ද බෝවී තිබුණා. කොහොමත් කට්ටියම ටිකක් අනුමත වන දවසක්නෙ වෙඩින් එකක් කියන්නෙ. අපි මනමාලිට නම් මොකුත් කළේවත් කිව්වෙවත් නැහැ. හැමදාම කළේ කම්පැණියෙ කවුරු හරි බැන්දොත් ඌව ස්විමිං පූල් එකට අත අරින එක තමයි. හනිමූන් යන්නෙ තෙමිච්චි කුකුළා වගේ.

මේක කලින්ම දැනගෙන හිටපු ජයන්තයා (අන්වර්ථ නාමයක් – මේ අනෙක් උන් පූල් එකට දැමීමට හැමදාම මුල් වූ එකෙක්) අපට දුන්නා ගේම. තමන්ගෙ මඟුල දවසෙ මනුස්සයා මනමාලිවත් ඇදෙගෙන හිමින් සීරුවෙ වෙනත් දොරකින් අතුරුදහන් වුණේ අපටත් නොකියා. දැන් කට්ට්ටියටම අප්සෙට්. ඇයි ගන්න හිටපු ෆන් එක නැතිවුණානෙ.

“හරි, ඌ නැතිවුණාට කමක් නෑ. රංජිත් ඉන්නවනෙ” කීවා එකෙක්.

මිනිත්තුවකින් මෙන්න රංජිත් පූල් එකේ! අපට කුණුහරුපෙන් බැණ බැණ ගොඩට එන්න දඟලනවා. ටයි කෝට් පිටින්මයි.

ඒ අස්සෙ කවුද තට්ටෙ තියෙන අන්කල් කෙනෙක් ඇවිත් දුව දුවා අත් දෙක වන වනා අපට දේශනාවක් පටන් ගත්තා. මනුස්සයට කොච්චර මල පැනලද කියනව නම් කියන දේවල්වත් පැහැදිළි නෑ. එහෙන් රංජිත් බනිනවා. මෙහෙන් අන්කල් බනිනවා. වැඩ කෝටියයි. දැන් අපේ කතාබහ මෙහෙමයි.

මම: කවුද බං මේ. ජයන්තයගෙ තාත්තද?
පළමුවැන්නා: නෑ නෑ, මේ ජයන්තගෙ තාත්ත නෙවෙයි.
දෙවැන්නා: මනමාලිගෙ තාත්තද දන්නෙ නෑ
පළමුවැන්නා: නෑ බං මනමාලිගෙ තාත්තත් නෙවෙයි.
මම: උඹට ෂුවර්ද?
පළමුවැන්නා: ඔව් බං මම ෆොටෝ ගත්තනෙ. ඒ වෙලාවෙ මූ පැත්තකවත් හිටියෙ නෑ. මේ හෝටලේ එකෙක්ද කොහෙද.
තෙවැන්නා: මුගේ කට ටිකක් වැඩියි. දාමුද මූවත් පූල් එකට?
දෙවැන්නා: අන්න හරි. මූට මොකද්ද තියෙන රුදාව අපි රංජිත් පූල් එකට දැම්මට? හරි. අල්ලපන්…එකායි…දෙකායි…

බාගෙට වැදිච්චි කොල්ලො ටිකකට අවවාදානුශාසනා දීමේ ආදීනව තේරෙන්නත් කලින් තට්ට අන්කලුත් පූල් එකේ. දැන් පූල් එකේ ටයි කෝට් කාරයින් දෙන්නයි. තාරවන් වගේ ගොඩට එන්න දඟලනවා.

ඔන්න අශෝක් දුවගෙන එනවා කෑ ගහගෙන. “Are you mad? What the hell are you doing?“

බලාගෙන යනකොට තට්ට අංකල් රංජිත්ගෙ තාත්තලු. ජයන්තලාගෙ පවුල දන්න නිසා වෙනම ඇරැයුමක් ලැබී තිබුණාලු වෙඩින් එකට. (රංජිත්ගෙ අම්ම නැතිවෙලා, මතක හැටියට) කවුද ඕව දන්නෙ? කලින් කියන්න එපායැ.

ඉතින් අපි කට්ටියටම අන්කල් ගෙන් සමාව ගන්න වුණා. අශෝක් තමයි කූල් ඩවුන් කළේ. අළුත්ම කාරෙක කියලත් නොබලා අශෝක් දෙන්නවම ගෙදරටත් ගිහින් දැම්මලු. සීට් තෙත බරියන් වෙලා. අශෝක්ට හරිම දුකයි.

ඊළඟ දවසෙම අශෝක් ස්ටාෆ් මීටින් එකක් කියලා අළුත් නීතියක් දැම්මා.

“මීට පස්සෙ කවුරු හරි පූල් එකට තල්ලු කළොත් වෙන කිසිම දෙයක් බලන්නෙ නෑ. ඊළඟ දවසෙම රස්සාවෙන් අස් කරනවා!”

Advertisements

23 responses to “16. සොෆ්ට්ලොජික් වල රංජිත්ගේ කතන්දර

  1. මරු කතාව… මේ සටහන් හැම එකක්ම පටන් ගත්තු දවසෙ ඉදන්ම කියවන කෙනෙක් මන්. ඒත් අද තමා මුලින්ම ප්‍රතිචාර දක්වන්නෙ. මේ ලියන හැම එකක්ම අන්තිමෙ පොතක් වෙලා එලි දකිනවනම් ගොඩක් ලස්සනට තියෙයි… ජය වේවා.. දිගටම ලියන්න…

  2. රංජිත් මේක කියවන්නෙ නැතුව ඇති 😀

  3. Udema asawen kiyewwa… thwa liyanna…
    subapathum…

  4. ” රංජිත්: මගෙ කාර් එක පාක් කරල තියෙන්නෙ අඹ ගහ යටද, කොස් ගහ යටද?
    මම: අඹ ගහ යට
    රංජිත්: ඉතින් කොහොමද හු** අඹ ගහ යට පාක් කරල තියෙන කාර් එකට වැල ගෙඩියක් වැටෙන්නෙ? ”
    හිහි මේක මරු !!

  5. පවු අහිංසකයා.., මොනවා උනත් ඔය වගේ සර්වකාලීන බයිට් අපි අතරත් ඉන්නවා.

  6. නියම කතාව. මේ වගේ ඒවා දිගටම ලියන්න . දැන් නම් ඔය මනමාලයට රැග් දෙන පුරුද්ද ටිකක් අඩුවෙලා මගේ හිතේ

  7. ඇත්තටම ඇයි කීල්ස් එකේ ඉඳන් එතනට ගියේ? ඒ දවස්වල, 1995, හැටියට ඒ ගාන ලොකු පඩියක් නෙමේ නේද?

    • @kathandara,

      සමහර විට අපි තරුණ කාලෙදි දුර දිග හිතන්නේ නැතුව තීරණ ගන්නවා. කීල්ස් එකේ පඩිය ඔයිටත් සෑහෙන්න අඩුයි. ඒත් මං කීල්ස් එකෙන් අයින් වුණේ ඒ නිසාම නෙවෙයි. සොෆ්ට්ලොජික් එකේදි සෑහෙන දෙයක් ඉගෙන ගන්න ලැබුණා. මට තිබුණේ විදිලි ඉංජිනේරු උපාධියක් මිස පරිගණක උපාධියක් නෙවෙයි. පරිගණක ගැන මා දන්නා දේ සියල්ලම රැකියාවෙදි ඉගෙන ගත්තුවා. ඒ නිසා මා යමක් ඉගෙන ගන්නට ලැබීම වාසියක් සේ සැලකුවා. (මේ මා රැකියාවකට ප්‍රවේශ වූ මුල් යුගය.)

      අද නම් සොෆ්ට්ලොජික් කියන්නේ ලංකාවේ අංක එකේ පරිගණක සමාගම.

      1995දි රුපියල් 9,000ක් කියන්නෙ අද රුපියල් වලින් 20,000ක් විතර. ඒ තරමටම ලොකු නෑ. තරමක් අමාරුවෙන් මාසයක් දුවතෑකි. ඉතුරු කරන්න තරමට වැදගත් පඩියක් ගන්න මට තව අවුරුදු පහක් විතර ගියා.

    • Luckey from UAE

      අනේ කතන්දර, ගැහැණු අයගෙ වයසයි පිරිමි අයගෙ පඩියයි ගැන ප්‍රශ්න කරන්න එපා කියලා කවුද මන්දා දැනුමැත්තෙක් තමන්ගෙ බ්ලොග් එකේ (මමත් නොවරදවාම කියවන )ලියලා තිබුනා දැක්කෙ නැද්ද ?

  8. හොයලා බැලුවොත් රන්ජිත්ලා ගොඩ දෙනෙක් හොයගන්න පුලුවන් හැම කාර්යාලෙකම වගේ. මෙයා ඇවිත් හරිම ප්‍රසිද්ධ චරිත ගනයකට වැටෙන කෙනෙක්….. නියම කථාව…

  9. හහ්.. හා…. මරු…මරු……

  10. / “මීට පස්සෙ කවුරු හරි පූල් එකට තල්ලු කළොත් වෙන කිසිම දෙයක් බලන්නෙ නෑ. ඊළඟ දවසෙම රස්සාවෙන් අස් කරනවා!” /

    මේක හරිම අසාධාරණයි නෙව, ගොනා ඇනල ගහ උඩ හිටිය මිනිහ බිමට වැටුන වගේනෙ.ඇඳුම් පිටින්ම පූල් එකේ නෑව මදිවට පහුවදා රස්සාවත් නැහැ……හෙහ්,……..හෙහ්,

    නියම කතා……චානුක, අන්තිම ඉහළයි,

    • @Ravi,

      නෑ, නෑ, රස්සාවෙන් අස් කරනව කිව්වෙ තල්ලු කරපු එවුන්ව. වැටිච්චි එකා නෙවෙයි.

  11. ඇතිවෙන්න හිනාවුනා. සමහරවිට අශෝක්, රංජිත්ව තියාගන්න ඇත්තේ යාළුෆිට් එකටමත් නෙවෙයි, මනුස්සයාගෙන් ඔෆිස් එකේ එන්ටෙර්ටේන්මන්ට් පැත්තට වෙන සේවය සලකලා. ඒ කාලේ දැන් වගේ සේවකයන්ගේ විනෝදාස්වාදයට අරක මේක නැහැ වෙන්නැතිනේ.. 🙂

  12. අශෝක් බොස් ගැන කතා ටිකත් ෂේප් එකේ කියලා දාන්න බැරි වෙයිද?

    • මෘදුතර්ක කියලා ආයතනයක අයිතිකාරයෙක් වෙන ධර්මාශෝක කියලා මනංකල්පිත චරිතයක් ගැන කතා ලියන්න බැරිද?

  13. සිහි සටහන් බ්ලොග් එකේ තවම ලියැවුණු කතා කීපය අතරින් මේ කතා කීපයට මම හරිම කැමතියි ..මේ බ්ලොග් එකට ආවම පොඩ්ඩක් වත් අවධානය පිටයන්නේ නෑ .වටේන් පිටෙන් මොන තරම් සද්ද බද්ද ඇහුනත් ඒ ඔක්කෝම යටපත් කරගෙන කතාව කියවන්න පුළුවන් නිකම්ම … චානුක කියන්නේ ලිවීමට අති දක්‍ෂයෙක් !!

    ඇත්තම කීවොත් බර කතා කියෙවුවට ඒවට කමෙන්ට් කරන්න මට ඒතරම් අදහස් එන්නේ නෑ ඒක නිසා මම බර අදහස් කියවලා බලල විතරක් යනවා .. මේ වගේ සරල කතා වලට මම එක පයින් කැමතියි …

  14. Well, Chanuka, I had to laugh by holding my hand to the stomach, because otherwise it would have split into two. Once again, you have done it again. Congratulations!

  15. සිහි සටහන් කතා පෙල මරු… වැදගත් ඒවත් එක්කම සරල කතන්දරත් නියමෙට යනවා…

  16. Luckey from UAE

    කැමැත්තෙන් කියවුවා..දේශපාලනයත්, දේශපාලකයොත් ගැන නම් මට කියවන්න වැඩි කැමැත්තක් නැහැ .ඔබ ඊට වඩා එහා ගිය දැනුමක් ඇති කෙනෙක්. විශේෂයෙන්ම 80 දශකයත් 90 මුලත් ඔබට ගොඩක් අත්දැකීම් දුන් කාලයක් කියලා හිතනවා. ඒ කාලෙ ගැන තවත් ලියන්න.

  17. හි හි එල කතාව නෙව..සමහරුන්ගේ කේන්දර අවුලක් වෙන්නැති..උපදින්නේම බයිට් වෙන්න නෙව..

  18. Asanga Chandrawansa

    “All matters concerning salary and allowances are strictly confidential…”
    He he..

    @Luckey from UAE
    This discloses salary and age both !!

  19. ප්‍රථම වතාවටයි මම අද මේ බ්ලොග් එකට ආවේ. එක දිගට පෝස්ට් ඔක්කොම වගේ කියෙව්වා. ඔබ ලියන විදිහ නිසාම කොච්චර දිග ලිපියක් උනත් කම්මැලි නැතිව කියවන්න පුලුවන් අගටම.
    ස්තූතියි මාව හිනහගැස්සුවට සහ මම නොදන්න ඉතිහාසයෙන් බිඳක් කියලා දුන්නට.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s