17. පහේ ශිෂ්‍යත්වය හෙවත් රෝයල් එකට නොයා ආනන්දයට යාමේ කතන්දරය

මේ 1978දී පහේ ශිෂ්‍යත්වය සමත් වූ මාය

පහේ ශිෂ්‍යත්වය වූ කලී මෙරට අති විශාල පිරිසකගේ ජීවිතයේ පළමු ජයග්‍රහණයයි. ගමේ ඉස්කෝලෙන් ශිෂ්‍යත්වය සමත් වන ඔවුහු, හයවැනි ශ්‍රේණියේ සිට (දැන් හත්වැනි වසරය සිතමි.) කොළඹ හෝ වෙනත් ප්‍රධාන නගරයන්හි වැඩි පහසුකම් ඇති පාසල් වල අධ්‍යාපනය සඳහා වරම් ලබති. සරසවි යති. වෘත්තිකයෝ වෙති. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ව්‍යාපාර විධායකයින්, කළමනාකරුවන් ආදී වශයෙන් රැකියාවන්හි නියැළි සමාජයේ වැදගත් පුරවැසියන් සේ දිවි ගෙවති. ඔවුන්ගේ ජීවන මාර්ගයෙහි පළමු හැරැවුම් ලක්ෂ්‍යය පහේ ශිෂ්‍යත්වයයි.

මගේ කතාවද මීට සමානය ඔබ සිතනු ඇත්තේය.

නැත. ඔබ වැරදිය.

පහේ ශිෂ්‍යත්වය මේ ආකාරයෙන් මගේ ගමන් මඟ වෙනස් නොකළේය. මා පස් වැන්න දක්වා උගත්තේ කොළඹ අසෝක කණිෂ්ඨ විද්‍යාලයෙහිය. (මා උපන් දා සිට හැදුණේ වැඩුණේ කොළඹදීය. කොළඹ හැරුණු විට කියන්නට වෙනත් “ගමක්” මට අහිමි වීමේ කතාව වෙනම කියමි.) එය ඒ වන විට ආනන්දයේ නොනිල ප්‍රාථමිකයයි. පහේ ශිෂ්‍යත්වය සමත්වී මම ආනන්දයට ඇතුළු වීමි. මට එය සමත් නුවූවත් ආනන්දයට යන්නට පුළුවන්කම තිබුණේය. අසෝක කණිෂ්ඨයේ සිසුන් සියළු දෙනාට ආනන්දයේ දොර කොහොමටත් විවර වූ හෙයිනි.

මට පහේ ශිෂ්‍යත්වය වැදගත් වෙනත් හේතුවක් නිසාය.

අපේ කාලයේ ශිෂ්‍යත්ව විභාගය පැවැතියේ අදියර දෙකකිනි. පළමු කඩඉම අභියෝග්‍යතා පරීක්ෂණයයි. මෙය IQ test එකකි. දෙවන අදියර මව්බස හා ගණිතය ප්‍රශ්න පත්තර දෙකකින් සමන්විතය. වෙනත් විද්‍යාලයකට ඇතුළත් වීම හා ශිෂ්‍යත්වාධාර ලබා ගැනීම පිණිස මේ අදියර දෙකම සමත් විය යුතු විය. දෙවන අදියරට හිඳ ගැනීමට ලැබුණේ පළමු අදියර සමත් සුළු පිරිසකටය.

අපේ අභියෝග්‍යතා පරීක්ෂණය පැවැත්වුණේ 1978 ජූනි මාසයේදීය. ඊට සති කිහිපයකට පසු එහි ප්‍රතිඵල නිකුත්වීය සිතමි. නොසිතූ ආකාරයකට එය මගේ ජීවිතයේ හැරැවුම් ලක්ෂ්‍යය බවය පත්විය.

ඒ මොහොත වනතුරු මම විද්‍යාලයයේ අතිශය සාමාන්‍ය සිසුවකු වීමි. මගේ පන්ති භාර ගුරුතුමන්ලා ගුරුතුමීලාගෙන් පිට කිසිවකුත් මා ගැන දැන නොසිටියේය සිතමි. පොඩි කාලයේ ඉස්කෝලයක කැපී පෙනෙන්නට නම් එක්කෝ මුඛරි කටක් ඇති, හැම දෙයකටම ඉදිරිපත් වන සුළු ශිෂ්‍යයකු විය යුතුය. නැතිනම් ගායන හෝ ක්‍රීඩා කෞශල්‍යයයන් තිබිය යුතුය. මේ කිසිම දෙයක් නැතිනම් අඩු වශයෙන් ඇඟපතින් වත් වැඩුනකු විය යුතුය. තමන්ගේ පාඩුවේ පැත්තකට වී අධ්‍යයන කටයුතු කළ ඇඟපතින් කුඩා මට මේ කිසිත් නොතිබිණි. එබැවින් කිසිවකුට මා ගැන විශේෂ උනන්දුවක් දක්වන්නට හේතුවක් නොවීය.

අභියෝග්‍යතා පරීක්ෂණයේ ලකුණු මේ සියල්ල වෙනස් කළේය.

බහුවරණ ප්‍රශ්න අසූවෙන් 75කට නිවැරදි පිළිතුරු දී තිබුණු මේ කිසිවකු නොදන්නා සිසුවා ලකුණු දෙසීයෙන් 187.5ක් ගෙන තිබුණේය.

මෙය පාසලේ හොඳම ලකුණු වූ බව කිවමනා නොවේ. නමුත් ඊතලය ඊට බොහෝ දුර ගොස් තිබුණේය. එය සිංහල මාධ්‍යයෙන් දිවයිනේ වැඩිම ලකුණු සංඛ්‍යාවද සමස්තයක් ලෙස දිවයිනේ දෙවැනි ස්ථානයද සනිටුහන් කළේය. මට වඩා ලකුණු ගෙන සිටි දෙමළ ශිෂ්‍යයාගේ පිළිතුරු 76ක් නිවැරදි විය. (ඔහුගේ පාසල නොදනිමි, නමුත් එකම අධ්‍යාපන කලාපයේය. ඒ කොළඹ ඉස්කෝල වලට අභියෝග කරන්නට ගමේ ඉස්කෝලවලට නොහැකි වූ යුගයකි.)

අසෝක විද්‍යාලාධිපති එම්. පී. ධර්මරත්න මහතා 1973 දී අසෝක විද්‍යාලයට ඇතුළත් කරන ලද පළමු සිසුවා සමඟ

මෙය විශේෂ වූයේ එනිසාම නොවේ. අද කෙසේ වෙතත් අසෝක විද්‍යාලයය ඒ යුගයේ “පොඩි ඉස්කෝලයකි”. එහි නමද “අසෝක කණිෂ්ඨ විද්‍යාලය” හෙවත් “Asoka Junior School” ය. 1973දී ආරම්භ වූ අසෝක විද්‍යාලයය පළමු වරට සිසු පිරිසක් ශිෂ්‍යත්වයට ඉදිරිපත් කරන්නේ 1977දීය. මා අයත් වූයේ එය දෙවන වරට ශිෂ්‍යත්වයට ඉදිරිපත් කළ සිසු කණ්ඩායමටය. මේ අසෝක විද්‍යාලය විද්‍යාලයක් හැටියට දීප ව්‍යාප්තව ලබාගත් පළමු ජයග්‍රහණයයි. විදුහල්පති එම්. පී. ධර්මරත්න මහතා එය මොනයම්ම හෝ ආකාරයකින් සුළු කොට තැකුවේ නොවේ. එහෙත් අනෙක් අතට ළාබාල වයසේ සිසුවකු ඔළුව උදුම්මවා ගැනීම වැළක්වීමට ඔහු ගත හැකි සියළු පියවර ගත්තේය. ඇසැම්බ්ලියේ මේ කාරණය සඳහන් කළත් මගේ නම පවා නොකියන්නට ඔහු පරෙස්සම් විය. කිසිම පුවත්පතෙක මා ගැන නොලියැවිණි.

නමුත් මා විද්‍යාලයය තුළ “විදූ” මෙන් වීරයකු වීම වළකන්නට කිසිවකුට නොහැකි විය. අපේ පෝතක බාලදක්ෂ කණ්ඩායම භාරව සිටි විමලරත්න සර් ස්ටාෆ් රූම් එකට මා අරගෙන ගියේ කරපිටිනි.

එතෙක් ජීවිතයේ කිසිම ජයග්‍රහණයක් නොලබා, කිසිවකුගේ අවධානයට බඳුන් නොවූ මට මේ ඉහටත් උඩි ලැබූ ජයග්‍රහණයකි. ඇත්තටම දෙවන අදියරේදී විභාගය සමත්වීමට මිස අන් කිසිම දෙයක් අත්පත් කර ගැනීමට මට උනන්දුවක් නොවීය. ඒ වන තෙක් මා ලබා තිබූ අධ්‍යාපන ප්‍රගතිය දෙස බලන විට මටද සිතුණේ මේ “කණා ෂොට්” එකක් බවය. ඇරත් මා යන විද්‍යාලය කලින්ම තීරණය වී තිබුණේය. ශිෂ්‍යත්ව විභාගයෙන් මා ලබන ජයග්‍රහණය එය වෙනස් නොකරන බව මම දැන සිටියෙමි. සමහරවිට මා උත්සාහ දරන්නට ඇත්තේ කලින් ලැබූ ජයග්‍රහණය නිෂේධ නොකරන ප්‍රතිඵලයක් උදෙසාය.

එවර මම දිවයිනෙන්ම පළමුවැන්නාව සමත් වීමි.

පහේ ශිෂ්‍යත්වයට වඩා ඉහළ විභාග වලින් දිවයිනේ පළමු තැන ලබා ගත්තන් ඕනැ තරම් පසුව දැනගත් මට මෙය අද සුවිශේෂ ජයග්‍රහණයක් සේ නොපෙනේ. නමුත් එදා එය ලොකු දෙයක් විය.

ප්‍රත්‍යාවලෝකනයේදී මෙහි ඇති අපූර්වත්වයක්ද නොපෙනේ. මම කොහොමටත් ගණිතයට හා සිංහල භාෂාවට කුඩා කල සිටම දක්ෂ වීමි. ගණිතයට නම් සීයක් නැතිව අනූනවයක් ලැබුණත් මට දුක හිතෙයි. සිංහල වලට කොහොමටත් අනූ ගණනක් අනිවාර්යයෙන් තිබුණේය. හත්වැනි ශ්‍රේණියේදී අපට සිංහල ඉගැන්නු අතාවුද මැඩම් (වර්තමාන ජ්‍යෙෂ්ට අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතාගේ බිරිඳ) මට ලකුණු අනූ නවයක් දුන්නේ “සීයක් තමයි දෙන්න ඕනැ, ඒත් සිංහල වගේ විෂයයකට සීයක් දෙන්න බැහැනෙ” කියමිනි.

මේ හා සම්බන්ධ තවත් අතුරු කථා දෙකක් මෙසේය.

කවරකු හෝ මට අත බලා සාස්තරයක් කියා ඇති නම් ඒ එකම එක අවස්ථාවකය. එවිට මට අවුරුදු පහකට නොවැඩි වන්නට ඇතිය සිතමි. ගෙදරට ආ සීයාගේ මිතුරෙක් ළඟට අඬ ගසා නිකමට මගේ අත බැලුවේය.

“හ්ම්ම්…හොඳ අතක්. ගණිතයටයි කලාවටයි එක වගේ දක්ෂකමක් තියෙනවා”

හරියටම නොතේරුණත් මට මේ සාස්තරය මතක හිටියේය.

මේ “සාස්තරකාරයා” හෙවත් සුබසිංහ සීයා, අපේ සීයාගේ මිතුරා, ප්‍රවීණ නාට්‍ය ශිල්පිණී සෝමලතා සුබසිංහගේ පියාණන්ය.

සමහරවිට මේ “සාස්තරය” පහේ ශිෂ්‍යත්වයද ඇතුළුව, මගේ පසු ජයග්‍රහණ සඳහා අවිඥානකව බලපාන්නට ඇතැයි සිතිය හැක්කේය. කෙසේ වෙතත් උසස් පෙළ සමයෙන් පසුව ගණිතයට මා දක්වා ඇත්තේ ඉංජිනේරු ශිෂ්‍යයකු සතු සාමාන්‍ය කුසලතාව පමණෙකි. උදාහරණයක් හැටියට මෑතකදී උසස් පෙළ සිසුවකු tan x වල අනුකලනය මොකක්දැයි අසා මට එය පොතෙකින් හෝ ඉන්ටර්නෙට් වලින් නොබලා කීමට දින තුනකටත් වඩා කාලයක් ගත විය. [ඉඟිය: tan x dx = d (sin x / cos x) dx හා cos x හි අවලකනය -sin x.]

දෙවන අතුරු කතාව ලංකාවේ ඕනෑම පාසලකට ඇතුළු වීමේ වරම් ලබා ගත් මා රෝයල් එකට නොයෑමය.

රාජකීය විද්‍යාලයට යන්නැයි මට බල කිරීමට දෙමාපියන්ටද ප්‍රබල හේතුවක් විය. රාජපක්ෂ සමය ආනන්දයේ විනය ඉතාම පහළට වැටුණු යුගයකි. ආනන්දයට කොයිතරම් දේ කර තිබුණද එවකට ආනන්දයේ විද්‍යාලාධිපති වූ රාජපක්ෂ සර් විවාදාපන්න පුද්ගලික ජීවිතයක් ගත කළ කෙනෙකි. ඔහු සම්බන්ධ කට කතා රාශියක් ලුණු ඇඹුල් සහිතව විද්‍යාලයේ පමණක් නොව ඉන් පිටතද පැතිර තිබුණේය. ඉන් සමහරක් කාන්තාවන් සම්බන්ධවය. සමහරක් මුදල් සම්බන්ධවය. මේවායේ සත්‍යාසත්‍යතාවය මා නොදන්නා මුත් ඔහුගේ යුගයේ අඩිතාලම දැමුණු, ඒ වෙනුවෙන් මුදල් රැස් කෙරුණු පිහිණුම් තඩාගය නොතැනුණු බව නම් කිව යුතුය. එබඳු විවාදාපන්න ප්‍රතිරූපයක් සහිත කෙනෙකුට ආනන්දය බඳු විශාල විද්‍යාලයක් එහි විනය රැක ගනිමින් පාලනය කිරීම අපහසුය. මේ නිසා සිසුන්ට ඕනෑ දෙයක් කර ගත හැකි කෙළි බිමක් බවට ආනන්දය පත්ව තිබුණේය. මත්ද්‍රව්‍ය භාවිතය නිසා ආනන්ද විද්‍යාලයේ සිසුවකු මිය යාම, හා ඒ සම්බන්ධව පළවූ පුවත්පත් වාර්තා මේ නරක ප්‍රතිරූපය විශාලනය කළේය. ආනන්දයටම ගිය අයියා ඉගෙනීමේ සැලැකිය යුතු කුසලතාවයක් නොපෙන්වීම අතුරු හේතුවක් වන්නට ඇතිය සිතමි.

එහෙත් මට රාජකීය විද්‍යාලයට යන්නට කොහෙත්ම ඕනෑකමක් නොවීය. මේ රාජකීය විද්‍යාලය ගැන වූ අහිතකින් නොවේ. ඇත්තටම ඒ වන විට රාජකීය විද්‍යාලය කළුද සුදුද මම දැන නොසිටියෙමි. අයියා ගියේ ආනන්දයටය. එනිසා අන් කවර හෝ විද්‍යාලයකට වඩා මම ආනන්දය ගැන දැන සිටියෙමි. මගේ සිහිනය වූයේ ආනන්දයට යාමය. අසෝකයට යන කාලයේ පටන් අප බස් එකේ දමාගෙන ගියේ ආනන්දයේ කොඩිය. බිග් මැච් කාලයේ අපිද නාලන්දාවේ බස් එකට “අපදාන සෝභිනී පඤ්ඤා – පරිප්පු ඕනැ තරම් දෙඤ්ඤා” කියමින් කෑගසීමු. ශිෂ්‍යත්වයට හා නාට්‍ය පුහුණුවීම් වැනි කටයුතු වලට ආනන්දයට ගොස් සිටි මට කවදා හෝ ආනන්දයට ඇතුළු විය යුතුය නිශ්චිත අදහසක් විය. මට ඒ නියත මාර්ගයෙන් ඉවත් වන්නට උවමනා නොවීය.

දෙමාපියෝ මගේ කැමැත්තට පටහැනිව මා රාජකීය විද්‍යාල ප්‍රවේශ පරීක්ෂණයට රැගෙන ගියහ. මම සියළුම ප්‍රශ්න වලට වැරදි උත්තර ලකුණු කොට මගේ විරෝධය පළ කළෙමි. පොට්ටෙ ගැහුවත් 25% අනිවාර්යයෙන්ම ලැබිය යුතු බහුවරණ ප්‍රශ්න පත්තරයකින් එක් අපේක්ෂයකු හරියටම බිංදුවක් ලබා ගත්තේ කෙසේදැයි එහි හරි වැරදි බැලූ ගුරුවරයා මවිතවීද නොදනිමි. ඒ බිංදුවක් ලබා ගත්තේ ඒ අවුරුද්දේ ශිෂ්‍යත්වයට දිවයිනෙන්ම පළමු තැන ලබා ගත් ශිෂ්‍යයා බව දැන ගැනීමට ඔහුට හැකියාවක් නොවීය.

අම්මාත් තාත්තාත් දෙදෙනාම මා රාජකීය විද්‍යාලයට නොයෑම ගැන නොසතුටු වූ බව මම දනිමි. දිවයිනෙන්ම පළමු තැන ලබා ශිෂ්‍යත්වය සමත්වීම වෙනුවෙන් වත් මට සැලකිය යුතු ත්‍යාගයක් නොලැබුණේය. මට කවරදාකවත් මගේ කියා බයිසිකලයක් නොවීය. හැමදාම පැද්දේ අයියාගේ බයිසිකලයයි.

මම පමා නොවූයෙමි.

රෝයල් එකට නොගිහින් ආනන්දෙට යෑම ඥානාන්විත තීරණයක්ද?

මේ ප්‍රශ්නය මම නොයෙක් වර මගෙන්ම අසාගෙන ඇත්තෙමි. සිදුනොවූ දෙයක් සිදුවූයේ නම් කවර ප්‍රතිඵල ලැබේද යන්න උත්තර දීමට අසීරු ප්‍රශ්නයකි. එබැවින් මේ ගැටළුවට පිළිතුරු දීමට හැකි එකම ක්‍රමය මා සමඟම අසෝකයේ සිට රාජකීය විද්‍යාලයේ ප්‍රවේශ පරීක්ෂණය සමත්ව රාජකීය විද්‍යාලයට ඇතුළු වූ මිතුරන්ට කුමක්වීද බැලීමයි.

මගේ අසෝකීය මිතුරෝ පස් දෙනෙක් 1979දී රාජකීය විද්‍යාලයට ඇතුළු වූහ. මේ ශිෂ්‍යත්වයෙන් ඉහළ ලකුණු ලබාගත්තවුන්ය.  පුදුමයකට මෙන් මින් සිව් දෙනෙකුට කුමක්වීද මම අදත් නොදනිමි. ඔවුහු කිසිවෙක් ඉන් වසර හතකට පසුව මොරටුවේ ඉංජිනේරු පිඨයට හෝ කොළඹ වෛද්‍ය පිඨයට ඇතුළු නොවූහ. (මා දන්නේ සොයා බැලූ නිසාය.) එක් අයකු පමණක් මම කාලයකට ඉහත ඉන්ටර්නෙට් වලින් සොයා ගතිමි. ඔහුට මා මතක තිබුණේය. අනෙක් සිව් දෙනාගේ නම් ගූගල් හෝ Facebook වලින් වත් සොයා ගත නොහැකිය.

අනෙක් අතට ශිෂ්‍යත්වය සමත් වුවද වෙන විදුහලකට නොයා මා සමඟම ආනන්දයට ඇතුළු වූ මිතුරෝ රාශියක් දැන් ලංකාව තුළ හා ඉන් පිටත සැලැකිය යුතු පදවි හොබවමින් සිටිති. මා දෙස කෙසේ වෙතත්, ඔවුන් දෙස බලන විට නම් පැහැදිළි ආනන්දයට යෑම වැරදි තීරණයක් නොවන බවයි.

අප්පමාදෝ – අමතපදං – මම පමා නොවූයෙමි.

Advertisements

53 responses to “17. පහේ ශිෂ්‍යත්වය හෙවත් රෝයල් එකට නොයා ආනන්දයට යාමේ කතන්දරය

  1. සාමාන්‍ය පාසල් වර්ණාවක් නොවීම ගැන නම් සතුටුයි. අපි හැමදාමත් කියවන බ්ලොග්එකක් මේක. දිග ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ​

    ප.ලි.
    මේ ඉන්නෙත් ආනන්දේ කොල්ලෙක් .
    මෙන්න පැටිකිරිය .

  2. අප්පමාදෝ – අමතපදං – මම පමා නොවූයෙමි. නියම කතාව.. ආනන්දයේ අතීත විස්තර අහන්න ලැබීමත් සතුටක්. මන් දන්න විදිහට අබෙරත්න සර් ගෙ සිද්ධියෙන් පස්සෙ ගොඩක් දේවල කඩා වැටුන. උසස් පෙල හිටපු හොදම ගුරුවරු අපෙන් ඈත් උනා.. කොහොම උනත් ආනන්දීයෙක් හැටියට ආනන්දයට ආනන්දයක් උන ඔබ වගේ චරිත අපි හැමෝටම ආදර්ශයක්.

    අනෙක් අතට ශිෂ්‍යත්වය සමත් වුවද වෙන විදුහලකට නොයා මා සමඟම ආනන්දයට ඇතුළු වූ මිතුරෝ රාශියක් දැන් ලංකාව තුළ හා ඉන් පිටත සැලැකිය යුතු පදවි හොබවමින් සිටිති. මේකනම් සහතික ඇත්ත. කොහෙ ගියත් අපෙ කොල්ලෙක් හොයා ගන්න බැරි වෙන්නෙ නැ.. අනික ගොඩක් අය ඉන්න තැන් ඇහුවාම හුඟක් සතුටුයි. මන් හිතන්නෙ ඒක ආනන්දෙ නිසාම අපි ලබන පන්නරයක් කියල.

  3. එතකොට ඔබයි නාලක ගුණවර්ධනයි හමු වුනෙත් ආනන්දෙදි ද ?
    ඇත්තම කියනව නම් පහේ ශිෂ්‍යත්වය කියන්නේ බොහෝ දෙනෙකුගේ ඉරණම තීරණය කරපු කඩ ඉමක්.. දැන් ඒක මහා යුද්ධයක් වුනාට ඉස්සර නම් බොහොම සරළ තරඟ විභාගයක් පමණයි…..

  4. නවීන්

    අපේ අම්මාත් මාව රොයල් එකට දැම්මේ නැතුව මාතර රාහුලේ තියාගත්ත.. මට නම් ඒක එච්චර අවුලක් නැ.. එත් බාහිර වැඩ කරනන් තිබුනු අවස්තාව මග හැරුන ඒ ඇරෙන්න දුකක් නම් නැ..

  5. මටත් පහේ ශිෂ්‍යත්වයෙන් තේරුනේ රෝයල් එකට. ඒ රෝයල් එකේ කඩඉම් ලකුණු තිබුන නිසා. ඒත් පොඩි කාලේ ඉඳන්ම මටත් උණ තිබුනේ ආනන්දෙට යන්න. ඒ වෙනකොට මම මගේ ජීවිතේට ආනන්දෙටවත් රෝයල් එකටවත් ගිහින් තිබුනේ නෑ. ඒත් නෑදෑ සනුහරේම ආනන්දීයයෝ වීමත්, ආනන්ද විද්‍යාලය ගැන මගේ හිතේ මැවිලා තිබුනු දැවැන්ත ප්‍රතිරූපයයත් ඒකට හේතු වෙන්නැති කියලා මට හිතෙනවා. කොහොම වුනත් මගේ අම්මා තාත්තාටත් ඕන වුනේ මාව ආනන්දෙටම ඇතුළත් කරන්න. අදටත් මම සතුටු වෙනවා ඒ තීරණය ගැන. ඒ රෝයල් කොලීජියේ නරකක් නිසා නෙවෙයි, ඒත් මට හැමදාමත් හිතුනේ මම ගැලපෙන්නේ ආනන්දෙට මිසක් රෝයල් එකට නෙවෙයි කියලා.
    ~ හිපියා

  6. xtan(x) කියන එක සීමා රහිතව අනුකළ කළ නොහැකියි. අනුකලනය යනු ශ්‍රිතයක අනුකලක අක්ශය සමග යෙදෙන වර්ගඵලය (අනුකලනයේ පෙනෙන ආකාරය) යන සංකල්පය සමග සිතූවිට xtan(x) යන ශ්‍රිතය සීමා රහිතව අනුකලනය කළ නොහැකි බැව් පෙනේ.
    කරන්න බැරිම නෑ.. හැබැයි ඕකට බහුලඝුශ්‍රිතයක් එයි උත්තරේට (polylogarithm)

    • @වැම්පයර්,

      x tan (x) නෙවෙයි නිකංම නිකං tan (x).

      අනෙක මට මතක හැටියට ඕනෑම ශ්‍රිතයක් සීමා නැතිව අනුකලනය කළ හැකියි අගට නියතයක් එකතු කරලා.

      • මේ අනුකල කථාව දැක්කමයි මතක් උනේ..උසස් පේල ගණිතය උගන්වන්න තිබ්බ ඉස්කෝලේ අතරේ 90 ගනන් වලදි ආනන්දය ඉස්සහරින්ම හිටියා. මේකට එක හෙතුවක් උනේ ඒවකට ටියුශන් ක්ශේත්‍රයේ දැවැන්තයින් උන අරියදාස, දOගල්ල, අමිත් ෆොන්සේකා, ජයතීලක..ආදි නොයෙක් දෙනා ආනන්දයේ ගණිත අ0ශයේ ඉගැන්වීමයි..
        හැබැයි මේකේ දOගල්ල හා ආරියදාස අතර එකිනෙකාට විරුද්ධ ලොකු සටනක් තිබ්බා . මේකේ ආරම්බය මේ xtanx අනුකලයට සම්භන්ද්යි. ආටියදාස සර් පන්තියට ආපු නැති වෙලාවක ලම්යි කැ ගහ ගහ ඉදලා. එහා පOතියේ හිටපු දOගල්ල සර් පන්තියේ ලමයින්ට මේ xtanx අවිනිෂ්දිත අනිකලය දීලා. ලම්යින්ට මේක හදා ගන්න බැරි උන පාර , පහුවෙනිදා මේක ආරියදාස සර් ට දීලා . ඒයත් මේක ට‍්රයි කරලා කරලා පස්සේ තමයි මේක කරන්න බැරි අනුකලයක් කියලා තේරුම් අරන් තියෙන්නේ..ඒදා ඉදන් දෙන්න නයි විරයි…මේක ලියන කොටත් මට මතක් වෙන්නේ අරයදාස -දOගල්ල දිවිත්ව සටන කියලා අපේ පOතියේ හිටපු ජණිතයා ඇදපු නිර්මානශීලි පෝස්ටරයටයි….( දැන් ඉතා ජනප්‍රිය මහබදු ලොක්කගේ ටියුශන ගුරුවරයා දOගල්ලයි..)

  7. මටත් පහේ ශිෂ්‍යත්වයෙන් රෝයල් යන්න පුලුවන් උනා.. අපෙ අම්මට ඔන උනේ මාව රෝයල් යවන්න. ඊට දවස් කීපෙකට කලින් මම ආනන්දෙ බුදු පිළිමෙ දැකල තිබුන. ඒ ගැන මට තිබුනෙ මාර පැහැදීමක්. කොහොම හරි අන්තිමේදි මම රෝයල් යන්න කැමති උනේ නැ.. ම්න් හිතන්නෙ ඒක මගෙ වාසනාව. ආනන්දෙ නිසා ලැබුනු අත්දැකීම් ආයෙ කවදාවත් මට ලැබෙන එකක් නැ.. චානුක වගේම ආනන්දෙට ගිය හැමෝම ආනන්දෙට ගිය එක ගැන පසුතැවිලි නොවෙන්නෙ අන්න ඒ හන්ද වෙන්නැති කියලයි මට හිතෙන්නෙ.

  8. Luckey from UAE

    මම හිතුවා හරි, ඔබ නිහඬ විප්ලවකාරයෙක්.

  9. මමත් පහේ ශිෂ්‍යත්වත්තෙන් පස්සෙ ආනන්දෙට යද්දි ගොඩක් දෙනෙක්ට තිබ්බ ප්‍රශ්නයක් තමයි ඇයි රෝයල් එකට නොගියෙ කියල…. ඒත් මම එදා වගේම අදත් සතුටුවෙනව ආන්දියෙක් වෙච්ච එක ගැන

  10. මෙතන ඔක්කොමල ආනන්දේ ගිය කට්ටිය වගේ. මම ගමේ ඉස්කෝලෙන් ශිෂත්වේ කරලා තේරුනේ රෝයල් එකට. මම කොළඹ තියෙන එක ඉස්කොලයක්වත් ඒ දවස් වල දන්නේ නැහැ. ඒත් මම රෝයල් ගිය එක ගැන සතුටුයි.

  11. හුහ්…..අපදාන සෝභිනී පඥ්ඥා, පරිප්පු ඕන තරං දෙඤ්ඤා…..ඈ….

    අප්පමාදෝ අමත පදං…….උදේ ඉඳලම අමර පදං………..හෙහ්, හෙහ්,

    • මාරයාගේ හෝරාව...

      අම්මපා රවි අයියේ..මාත් මේ පහළට එනකල් කියවගෙන ආවේ දෙඤ්ඤං ජම්බු කියලා..යාන්තං බොලා මෙහෙම හරි අපිව ගොඩ දාලා තියෙනවා දැක්කම හිතට පොඩි ෆිට් එකක් ආවා…

      ආ පහළ බලන කොටයි දැක්කේ උදියාත් ඉන්න විත්තිය…

      • ඒකනෙව මාරෙ මල්ලි, මෙතනට එන ඔක්කොමල මරියකඩේ සැන්ට්‍රල් එකේ කට්ටියනෙ. අපේ එකෙක් දැක්කත් ඇති බං,

  12. ඇත්තටම මම පොඩි කලෙත් ඉස්කොල හොයනකොට Royal යන්න කැමති උනේම නැ.අනේ මන්දා ඇයි කියලා.නමුත් මම නම් අතුලත් උනේ ආනන්දෙට නෙවේ.
    @Ravi තව කීයක් කියලා තියෙනවද Version නේද.

    • ඒකනෙව බං, මතක තියන එව්ව කියහංකො, හොඳ එකා වගෙ,

      • යන්තම් අයියල දෙන්නෙක්ද කොහෙද ඉන්නවා. මාත් මෙ අපේ අය කීයක් ඉන්නවද කියලා බලගෙන එන ගමන්

  13. මාත් රෝයල් එකට යන්න ලකුනු තියෙද්දි ආනන්දයට ගිය කෙනෙක්. කොහොමටත් අශෝකයේ ඉන්න කාලෙ අපේ පරමාදර්ශය වුනේ ආනන්දය. ශිෂ්යත්වයෙන් පසු පාසල් ඉල්ලුම් පත්‍රයේ වෙන පාසලක් දෙවෙනි තුන්වෙනි තෝරාගැනීම සඳහාවත් ඉල්ලන්නට මට අවශ්ය වුනේ නැහැ. අංක එකට ආනන්දය පමනක් ඉල්ලූ නිසා අශෝකයේ ගුරුවරුන්ගෙන් බැනුම් ඇහුවා මතකයි.

    1982දී ආනන්දයේ හයේ පන්තියට මා ඇතුළු වන දවසෙම තමයි කර්නල් කුඩළිගම විදුහල්පති වෙලා ආවෙ. කුඩළිගම සර් ආනන්දය යලි ගොඩනැගුව. ඔහු නියම හමුදා විදුහල්පති කෙනෙක්. ගුරුවරයෙක්, විද්වතෙක්, පරිපාලකයෙක් සහ කලමණාකරුවෙක් වශයෙන් පරමාදර්ශී චරිතයක්. මම හිතනවා චානුක කවදා හරි කුඩළිගම සර් ගැනත් යමක් ලියයි කියල.

    ආනන්දයෙ ඉගෙනගන්න ලැබීම තමයි ලංකාවෙ ආණ්ඩුවෙන් මට මෙතෙක් ලැබුනු ලොකුම තෑග්ග!!

  14. කස්ටිය කියන්න තියෙන ඔක්කෝම ටික කියලනේ.. මට හිතෙන්නෙ අපි ආනන්දෙන් ලබාගත්තෙ ශාස්ත්‍රඥානය විතරක් නෙවෙයි.. ඊට වඩා ජීවිතේට වටින, සමාජයේ ජීවත්විය යුතු ආකාරය ගැන දැනුමකුත් ඒ එක්කම ලැබුනා.. මේකට හේතුව මං හිතන්නෙ අපට ආශ්‍රය කරන්න ලැබුන පිරිස හෝ හිටිය වටපිටාව හෝ තවත් දේ හෝ විය හැකියි.. ඒත් ඒ ලැබුන දැනුම නිසා ලෝකෙ කොහේ කොතන ගියත් ඒ පරිසරයට අනුගත වෙලා ජීවත්වෙන්න හැකියාවක් අපට ලැබුනා.. එහෙමයි මට නං හිතෙන්නෙ..

    @රවි,
    රවි අයියා, “උදේ ඉඳලම අමර පදං” නෑ බං.. ඉස්කෝලෙන් පස්සෙ තමා අනුමත වුනත් ඉතිං.. ඉස්කෝලෙ වෙලාවෙ කොච්චරනං වැඩ තියේද බං කොරන්න.. අර සංගමේ වැඩ, මේ සංගමේ වැඩ, එතකොට අර අනිත් සංගමේ වැඩවලට බාලිකාවකට යන්න, කප්පරකට වැඩ නොවැ.. 🙂

    • .@ Buratheno,

      නෑ, බං උඹල කට්ටියම එකතු වෙලා නෝන්ඩිය දානකොට මමත් මොනවහරි කියන්න එපාය?, ඉස්කෝලෙ වෙනුවෙං මැරෙන්ඩ හරි සූදානං කොල්ලො අපි හරිය?, හෙහ්….හෙහ්……මේ වෙලාවෙ මතක් උනේ ඕක විතරයි,

      • අපි කිව්වේ ‘අප්පමාදො අමත පදං – පරිප්පුනන් ඕන පදං‘ කියල.

  15. අතුරු කතාවක්.

    අපි එකිනෙකා පීක් වෙන්නේ එක එක කාල වල. මගේ ත් 5 පන්තියේ විභාග ලකුණු තමයි ජීවිතේටම ගත්තු වැඩිම ප්‍රතිශතය.

    ඕඑල් වලට ඩිෂ්ටින්ෂන්ස් අටක් ගත්තත් යුනිවසිටි යන්න බැරිවුනු අය කොච්චර ඉන්නවද?

    නියම පීක් කීම විය යුත්තේ ඒලෙවල්ස් වලදීයි!

    • @kathandara,

      ඒක වෙන්න හේතු කිහිපයක් තියෙනවා.

      මට නම් හේතුව විභාගයට මා දක්ෂතම විෂයයන් දෙකක් තිබීම. ඒ නැතිව අද වගේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරයක් තිබුණා නම් ඒ වගේ හපන්කමක් හිතන්නවත් බෑ.

      ඒ ලෙවල් වලදි පීක් වුණු අයත් පසුව අනාගෙන තියෙනවා.

    • මම නම් ඔය විභාග තුනේදීම හිටියේ උපරිම තත්වයේ. ඒකත් උප ම උපරිම තමයි ඒ ලෙවල්. ඊට පස්සේ ටිකක් වැටුනා. ඒත් තවමත් තත්වයක ඉන්න බව තේරුනේ ලඟදි පස් තාච්චි අදින කොට.

      මා වරක් කිව්වා සේ චානුකලාගේ විද්‍යා ලේඛන [බන්දුසිලගේ ක්ලාක් පරිවර්තන, ඇසිමෝව් ගේ ප්‍රබන්ධ ඇතුළුව] අපට දැවැන්ත ඉන්ස්පරේෂන් එකක් වුණා. මට ක්ලාක්ගේ ඔඩිසි සෙට් එක ලැබෙන්නේ ඉස්කෝලේ ප්‍රයිස් ගිවින් එකේ. ඕ ලෙවල් එක්සෑම් අස්සේ කියෙව්වේ විද්‍යා පොත අස්සේ දාගෙන.

      කොළඹ ඉස්කෝලෙකට නොගිය ආර්ථික වශයෙන් අන්ත දුගී කැටගරියට අහුවුන, අම්මගේ පවුලේ අයගේ උදව්වෙන් ඉගෙන ගත්ත මා, මටම කියල ගේ පිටිපස්සේ ඒ ගොල්ලෝ හදා දුන්න ස්ටඩි රූම් එක නොහොත් පරණ කුකුල් කුඩුවේ ඉඳගෙන නාසා ජොයින් වෙන්න සැලසුම් කල ඒ යුගය සිහිනයක්.

      පස්සෙයි දන්නේ නාසා පට්ට චාටර් කියලා. 🙂

      මං ගිය ඉස්කෝලේ ගැන මට තියෙන්නෙත් ආදර බර හැඟීමක්. පුංචි කාලේ ඉඳලා ඉගෙන ගන්න පුළුවන් අය ගැන පුද්ගලිකව හොයන බලන ගුරුවරුන් ඉන්න, හැම අවුරුද්දෙම වැඩිම ලකුණු ළමයින්ට දැවැන්ත තෑගී බෙදා දීමක් පවත්වන, උසස් පෙළ දක්වා ඉහලින්ම අප රක බලා ගත්, මා උගත් 90 දශකයේ ටියුෂන් යන්න ඕනේ නැති ගානට ඉගැන්වූ මේ ඉස්කෝලෙට නම් සදා ණය ගැතියි. කරුමෙට ඒ අවස්තාව පාවිච්චි කලේ සුළු පිරිසයි.

  16. චානුක
    වෙලාව තියෙනවනං මේක බලන්න.
    http://sannasa.sinhalajukebox.org/2009/May/2009May_page26.pdf
    මේ ලිපි පෙලක පළමුවැන්න පමණයි.

    • 20/20 කතන්දරයකට මේකේ ප්‍රස්තුතය ලොකු වැඩිද? නැත්නම් මට ඒ වර්ෂන් එක මිස් වෙලාද?

  17. නරියා

    අපූරු මතකයන් එකතුවක්… ජීවිතේ වැඩිපුරම ආඩම්බර වෙන්ඩ පුලුවන් සහ සතුටු වෙන්ඩ පුලුවන් කාරණා අතරෙන් එකක් තමා “මමත් ආනන්දේ”කියලා කියන එක…. ලොකේ ඕනේ තැනකදි ආඩම්බරෙන් පපුව ඉස්සරහට දාලා කියන්ඩ පුලුවන් ඒ වචන දෙක කියන්ඩ තරං වාසනාවක් ලැබිච්ච එක ගැන මම අද ගොඩාක් සතුටු වෙනවා….

  18. මට ඉස්කෝල තෝරගන්න ආපු කාලෙ මට කිසි අයිඩියා එකක් තිබුනෙ නෑ ඉස්කෝලෙ ගැන. මහනුවර සීතල වගේ නිසා, මහනුවර ධර්මරාජෙට තේරිලා එයි, රෝයල් එකට ඉල්ලුම වැඩියි කියල හිතල එකට රෝයල් එකත්, දෙකට ධර්මරාජෙත් දැම්මා.

    ඒත් තේරිලා ආවෙ රෝයල් එක. 🙂

  19. “එහෙත් අනෙක් අතට ළාබාල වයසේ සිසුවකු ඔළුව උදුම්මවා ගැනීම වැළක්වීමට ඔහු ගත හැකි සියළු පියවර ගත්තේය. ”
    මෙහෙම ගුරුවරු මම ඉගෙන ගත්තු කාලෙත් හිටියා. පස්සෙ කාලෙක සහෝදර ගුරුමණ්ඩලෙත් හිටියා. 😦

  20. මම ඉගෙනගත්තේ නුවර වුනත් .. ඒ කාලෙ ඉඳලම ඔය ආනන්දෙ ගැන ලොකු ගෞරවයක් අපට තිබුණා .. ඒ නිසාම තමයි මගෙ පොඩි එකාව ඒකට දාන්න උත්සාහ කළේ..
    [ දැන් අපි ඉන්නෙ කොළඹ නිසා]
    පොඩි එකත් ආනන්දෙට යන්න හරිම ආසාවෙන් තමයි හිටියෙ. නමුත් පසුව අපට දැනගන්න ලැබුණා ඒකට යන්න නම් ලක්ෂ පහක්වත් ඕන කියලා… ඊට පස්සෙ අපි වැඩේ අල්ලල දැම්මා…..

  21. මම 1999 අපේ ඉස්කෝලෙ වැඩිම ලකුණු ගත්තා… ඒත් ලංකාවෙන් නම් කීයද මන්දා.. ලස්සන ලිපියක්

  22. මමයි ඔය උඩින් කමෙන්ට් කරලා තියෙන සුපුන් සුදාරකයි වැටුනේ එකම පන්තියට. ඒ මදිවට හොස්ටල් එකෙත් හිටියා. තාමත් හොඳම යාලුවෝ. මගේ කතාවත් මේකට ටිකක් සමානයි. මට ලංකාවේ පළවෙනියා වෙන්න නම් බැරි වුණා. ඒත් අනිත් දේවල් නම් 95%ක්ම එහෙමම තමයි. ශිෂ්‍යත්වේ ප්‍රතිඵල එනකල් මමත් බොහොම සාමාන්‍ය පොඩි එකෙක්. මට නම් ඒ දවස්වල රෝයල් එක ගැන මාර කුතුහලයක් තිබුණා. හැබැයි මගේ බලාපොරොත්තුවක් තිබුණේ නෑ රෝයල් එකට එන්න. මගේ බලාපොරොත්තුව වුණේ විභාගේ පාස් වෙන එක විතරයි. ඒ ලෙවල්වත් ලියලා නැති නිසා තවම මගේ ජීවිතේ කොයි පැත්තට ගමන් කරයිද කියලා කියන්න බෑ. 😀 හැබැයි ඕන පැත්තකට යන්න පුලුවන් තරම් පන්නරයක් මට රෝයල් එකෙන් ලැබුණා. මගේ සමකාලීන ආනන්දයේ යාලුවොත් එක්ක බැලුවම මම රෝයල් එකට ආව එක ගැන මම සතුටුයි 🙂

  23. With me I have some similarities to your story. I am also a scholar and was the one famous student in my primary school . Scholarship was all about IQ testing and I got high marks and selected to ROYAL. That was the highest opportunity I had as a student in my life.
    I had a dream to be a engineer and by force of my parents I selected biology and lost the next highest position which is be a engineering student in Mortuwa uni.. So now I am student in a private university reading a computing degree .
    What I can say with the experience is my alma mater produces highest number of engineering students in country and the looser of that bench mark still remaining unbeaten in areas that they talented at. And finally these talented brilliant people getting the help of amazing set of powerful old boys which their brothers to succeed their life story.

  24. මගේ කතාව ඕකේ අනිත් පැත්ත… :). මම හතරේ පහේ පන්තිවල ඉන්නකොට හැමදාම ගණිතයට 100, සිංහල-ලිවීම ට 99යි. ඒ නිසා මගේ ගුරුතුමා එහෙම සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන ඉඳලා තියෙනවා මගේ ගැන (මම දැන ගත්තේ පස්සේ කාලෙක ). හැබැයි මම නම් ශිෂ්යත්ව විභාගේ ගැන දැන ගත්තෙත් ඒකට ටික කාලෙකට කලින්.

    ඒත්, ශිෂ්යත්වෙට කලින් දවසෙ පාන්දර මම ලෙඩ උනා හොඳටම. තාම හිතාගන්න බෑ මොකද කියලා.

    ඉන්ජෙක්ෂන් ගහලා තමයි වමනේ යාම සහ zzzzz නැවැත්තුවේ… :). අන්තිමට අපේ අම්මටයි තාත්තටයි උනේ මාව වඩාගෙන ගිහින් ශිෂ්යත්වේ ලියන පුටුවේ වාඩි කරවන්න, යන්තම් එදා උදේ ටිකක් තත්වේ හොඳ අතට හැරිලා තිබුණ නිසා. අම්මට හදිසියකට කතා කරන පුලුවන් දුරකින් ඉන්න අවසර හම්බ වෙලා තිබුණ.

    ගණන් ටිකට නම් හරියට උත්තර ලිව්ව. සිංහලවලට උත්තර ලියද්දි මට ටිකක් නින්ද ගිහිනුත් තිබුණ. අන්තිමට ප්රතිපල ආවම තිබුණේ ලකුණු එකසිය හැත්තෑ ගණනක්. රෝයල් එකට යන්න ලකුණු 3ක් මදි උණා මට ලකුණු මට්ටම් එන කොට. ආනන්දෙට යන්න පුලුවන් ලකුණු මට්ටමක් තිබුනත් අවුරුදු කීපෙකට කලින් අපේ අයියා ආනන්දෙට ගිහින් නාගෙන තිබුණ නිසා, ආනන්දේ ඉල්ලලා තිබුණේ නැහැ මම.

    අන්තිමේදි රෝයල් එකට යන්න තිබුණ ඕනකමටත් එක්ක ඩී අටක් ගත්තා ඕ ලෙවල්වලට.

  25. ඩ්‍රයි ජින්

    මමත් ආනන්දෙට ආවෙ ශිෂ්‍යත්වෙන්..හිටපු ඉස්කෝලෙන් දෙවෙනියට වැඩිම ලකුනු අරන්..ලකුන් කඩඉම පැන්නත් මට ප්‍රශ්නයක් උනෙ මගෙ ආගම.ඒත් අත්පත්තුකන්දේ ආනන්ද ස්වාමින් වහන්සෙත් එක්ක කතා කරල, බුද්ධාගම ඉගෙන ගන්න පොරොන්දු වෙලා මම ආනන්දෙට ආව..6 වසරෙ ඉඳන් 13 වසර වෙනකල් මම ආනන්දෙන් ගොඩක් දේවල් ජීවිතේට ලබා ගත්ත..දැන් මම ඉන්න තත්වෙ ඉන්නෙ ආනන්දෙ නිසයි කියල ඔබ තුමා වගෙම මමත් ආඩම්බරෙන් කියනව..

    • ආනන්දය ට හිස නමන ගමන ම මෙන්න මේ වගේ වැඩ නම අන්ත චාටර් බව කිව යුතුයි. ඩ්‍රයි ජින් කැමති ආගම අදහන්නට ඔහුට ඇති නිදහස පාසලේ නාමයෙන් උදුරා ගැනීම වැරදියි.

      උසස් මිනිසෙකු තුල ආගමික ජාතික අන්තවාදයන් නොතිබිය යුතුයි කියා මේ ගොල්ලන්ට වැටහෙයිද? ඉස්කෝලේ ම මෙහෙම කලොත් ළමයි මේ අන්තවාදෙට අහු වෙන ඒක වළක්වන්නේ කොහොමද?

      • @ සුජීව,

        ඔය වගේ දේවල් හැමදාම ආනන්දයේ තිබුණා. ගුරුවරුන් යම් පිරිසක් කල්පනා කළා ආනන්දයට එන හැම ශිෂ්‍යයෙක්ම බුද්ධාගම ඉගෙන ගත යුතු බව. එසේම වෙනත් ආගමක සංගමයකටවත් ආනන්දයේ ඉඩක් නැහැ. (අනෙක් අතට මා දන්නා තරමින් ශාන්ත තෝමස් විද්‍යාලයේ බෞද්ධ සංගමයක් තිබුණා පෙර සිටම )

        කොහොම උණත් අපේ කාලයේ මේවා සියල්ලම කෙරුණේ නමට විතරයි. අද වාගේ ආගමික උන්මාදයක් තිබුණේ නෑ ආනන්දය ඇතුළේ වත්. දෙමළ මුස්ලිම් ළමයින්ට හිරිහැරයක් වෙන තරම මේවා වර්ධනය වුණේ නැහැ. මගේ සමහර මුස්ලිම් මිතුරන් සාමාන්‍ය පෙළට බුද්ධාගම විෂයය පවා කළා, කැමැත්තෙන්ම. අද නම් තත්ත්වය ගැන මා සහතික දෙන්නට යන්නේ නෑ.

      • ඔබ කවුරුත් දන්නවා දකුණ කියන්නේ ආගමික හා ජාතික වශයෙන් near-singular පලාතක් කියලා. අපේ ඉස්කෝලේ අන්‍ය ජාති/ආගමිකයෙකුට හිටියේ මුස්ලිම් දෙන්නෙක් විතරයි මං හිටි මුළු කාලෙදිම. ඉන එකෙක් මගේ මිතුරෙක්. ඌ ට ඉස්ලාම් ආගමක් හැටියට පමණක් නොවේ විෂයයක් හට්ටියටත් දාන්න නිදහස තිබ්බ. එකම අවුල උනේ ඌ ට විතරක් උගන්නන ගුරුවරයෙක් නොලැබීම [ඒකත් අමාත්‍යංශයේ හැටිය නිසා] පමණයි. හැමෝම අන්තවාදීන් කියන ගම අන්තවාදීන් නොවේ. ගම්මු අන්‍ය ජාතින් දැක නැති නිසයි ඔවුන්ට අමුතු. ඒත් කොළඹ තමයි මේ අදහස් වැඩියෙන් ම නැගලා යන්නේ.

  26. මටත් මගේ අතීත කතාව මතක් වුනා.

    මම ශිෂ්‍යත්වය කරන කාලේ ආනන්දය ගැන කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ. දෙමව්පියන්ගේ සිහිනය වුනේ රෝයල් එක. ඉතින් මටත් රෝයල් සිහිනයම තමයි කවලා තිබුනේ. ඒත් ශිෂ්‍යත්වයේ ලකුණු වලින් මට යන්න පුළුවන් වුනේ ආනන්දයට. එත් ආනන්දයට ඇතුළු වී ටික දවසක් යනකොට මම ආනන්දයට දැඩි ලෙස ආදරය කරන්න පටන් ගත්තා. කෙසේ හෝ තම සිහිනය ඉටු කරගන්න සිතාගත් අම්මා රෝයල් එකට මාරුවක් හදාගත්තේ පුතාලා දෙන්නම රෝයලිස්ට්ස්ලා කිරීමේ බලාපොරොත්තුව ඇතුව. ඒ වන විට ශිෂ්‍යත්වය සාර්ථක කරගන්න බැරිව සිටි මල්ලී ඉගෙන ගත්තේ 6 වසරේ. 6 වසරට ශිෂ්‍යත්වයෙන් ලමයි ගන්න නිසා 6 වසරට staff ළමයි ගන්න බැරි බවත් 9 වසරේ සිටි මාව පාසලට ඇතුළු කළ හැකි බවත් ඇසූ ඔවුන් මාව ඒ සඳහා කැමති කර ගැනීමට නොගත් උත්සාහයක් නැති තරම්. ඒත් මම නම් අදහස වෙනස් කලේ නෑ. ඊළඟ වසරේ මල්ලිව නම් රෝයල් එකට දාගත්තා.

    මම ආනන්දෙන් ඉවත්වෙලා මොරටුවට ගියේ ගණිත අංශයෙන් A හතරක් අරගෙන. එදා මම ගත්ත තීරණය නිවැරදි බව අදවන විට හොඳටම පැහැදිළියි. මොකද මම රෝයල් එකට ගියා නම් A පහක්ම ලැබෙනව යැ?

    මල්ලි AL එතරම් සාර්ථකව නොකරපු නිසා දැන්නම් අම්මලාත් හිතන්නේ ආනන්දේ තමයි වැඩිය හොඳ කියලා. කවද හරි අපේ ළමයින්වත් ආනන්දෙට දාන්න දැන්ම ඉඳන් ට්‍රයි කරන්නලු!

  27. මම පහේ පන්තියේදී ශිෂ්‍යත්වෙ ගැන ලොකු උනන්දුවක් තිබුණෙ නැති උනාට අපේ අම්මාට ආසාවක් තිබුණා මාව ආනන්දෙට දාන්න. අමරතුංග[සුදත්, කීර්ති, උදය]කුමාරතිස්ස ඇතුලු ඥාතී සහෝදරයින් හා අභාවිත වෛද්‍ය කුරූප්පු නිසා පෙළඹවීමකුත් තිබුණා. ආනන්දය තෝරාගැනීම දෛවෝපගතයි කියල තේරෙන්නෙ දැන්. රෝයල් එකට ගිහින් ලොක්කෙක් වෙන්න තිබුණා සමහරවිට. නමුත් මේ ඉන්න ‘මම’ ආනන්දෙන් එළියට ආපු නිසා රෝයල් යන්න ලකුණු තිබුණත් ආනන්දය තෝරාගැනීම හොඳ දෙයක්. එහෙමයි මට දැනෙන්නෙ. 1982 ඉඳන් හැම අවුරුද්දකම පෙබරවාරි 2 මට විශේෂ‍යි. [යාළුවොත් ගෙදර උන්දැත් හම්බු වෙන්නෙ ඒ නිසාම නෙවැ]

  28. වාසනා සම්පත්

    මටත් යන්න පුලුවන් උනා ආනන්දේට අවුරුදු දෙකකට A/L වලට. A හතරක් අරන් කැම්පස් ගියා.

  29. මගේ කමෙන්ට් එකේ පොඩි නිවැරදි කිරීමක් කරන්න තියෙනවා. දැන් ඉතා ජන්ප්‍රිය මහබදුගේ ගේ ටියුශන් ගුරුවරයා වන්නේ ද ආරියදාස සර් ලේසයි. දOගල්ල ලෙස සටහන් වී ඇත්තේ වැරදීමකින්. මහබදුගේ ත් ආදී ආනන්දියේක්

  30. මම ඔය ඉස්කෝල දෙකෙන් එකකටවත් වැස්සකටවත් නොගියේ ඇයිදැයි නොදනිමි.

  31. I went only to Ananda (1970-1982). What i realized later in life is that one reason for the troubles in our country is the school system. There should not be Buddhist, Hindu, Muslim,Catholic or Anglican Schools. Whatever the name or the history of the school, every School should have students from all the communities or atleast reflect (if possible in the area the school is located) the percentages in the country. I was fortunate enough to work in a multi-racial/cultural/religious environment AFTER leaving school but most of the people have frogs-in-the-well complex or xenophobia due to the exclusivity (not social, but religious and racial) of the schools. The Anglican Schools in the county are the best in this respect because- 1. They have a history of admitting students from other communities and it continues due to the preference given to the children of of past students in admission.
    2. The number of Anglicans in the country is limited and other communities have a better chance of getting in to those schools

  32. ආනන්දීයයෙක්

    මම ආනන්දයෙන් අවුට් වුනෙ 2009දී. අබේරත්න සර් අයින් උනාට පස්සෙ තිබුන අරාජික කාලෙදි තමයි ඒ. එ වුනත් උසස් පෙළ විභාගය නිසා එ ගැන හිත යෙදුනෙ නැහැ. නමුත් නැවතත් නිවැරදි නායකත්වයක් ආනන්දයට ලැබිලා.. එ ගැන නම් හරිම සතු‍ටුයි.. අර මම කියපු අරාජික කාලෙදි නම් බාහිර වැඩ කරන්න පුදුම බාධා කිරිම් ආවෙ. නිවැරදි නායකත්වය නම් හරිම වදගත්.. තව දෙයක් ආනන්දයෙ අපිත් එක්ක හිටිය අන්‍යාගමික ළමයි කිහිප දෙනා උනත් කවදාවත් කොන් වුනෙ නැහැ.

  33. most of people who have comented here had enough marks for royal, eventhough they had entered ananda. according to me all of them are suffering with inferiority complex. we should proud of school we studied. yes. thats true. but without copmparing. but statements above shows sound of dissapointment. if you are realy happy of your school why you are comparing with royal. royal also a good school which prodused prominant characters in the contry. ananda also a good school too. so both schools done alot to this contry.

  34. මාත් ඔන්න ඔහෙ ශිෂයත්ව ලීව්ව.ඒ කාලෙ හවස ඉස්කොලෙන් අමතර උගන්නපු දෙයක් තමයි.ටියුශන් නැ.මම හිතුවෙ ෆේල් ඇති කියල.ප්‍රතිපල බලන්න ගියෙත් නැ.බලල අම්ම එනකොට පිලිකන්න පැත්තට මාරු වුනා.ඒත් චොකලට් එකක් දැක්කම හිතුන යන්තං පාස් ඇති කියල.පස්සෙ බැලින්නම් රොයල් යන්නම පාස් වෙලා ලු.මලා මේ මොන කරුමයක් ද කියල හිතුනා.කොළඹ ගිහින් තනියෙන් ඉන්න, අනික මගුල් ලොකු ඉස්කොල මම දැකලත් නැ එහෙම එකක් තියෙනව කියල දැනගත්තෙත් එදා.
    හැබැයි ඔන්න තිලක පොත කියවලද කොහෙද නුවර ඉස්කොලෙකට යන්න ආසව තිබ්බ.අද රාජකීය විද්‍යාලයට ගිය එක ගැන මගෙ හිතේ තියෙන්නෙ බොහොම නියුට්‍රල් අදහසක්..ඒක එහෙම වුනේ ඇයි කියල මම දන්නෙ නැ.කොටින්ම විස්ස විද්දාලෙ අදටත් බහුතරයක් මම රාජකීයේ කියල දන්නෙ නැ.

  35. ශිෂත්යයේදී ඉස්කෝලවල කඩ ඉම් ලකුණු තීරණය වෙන්නේ ඉල්ලුමට වඩා සේපයුම අනුවෛ. ඔය හෙම ඉස්කොලේකටම වඩා අපේ ආනන්දෙට ළමින් වැඩියෙන් ගන්නවා.
    එහෙම නොගත්ත අවුරුදු වල අනනදෙට තමය් ඉහලම කඩ ඉම් ලකුණු තියෙන්නේ

  36. ආනන්දෙ බුදු පිළිමෙ තරම් හිත නිවෙන දෙයක් තවත් නෑ

  37. හොද කතාවක්, මම ලංකාවේ 6 වෙනියා වෙලා රෝයල් ගිය කොල්ලෙක්. මම නම් රෝයල් එකට ගිය එක ගැන සතුටු වෙනවා, මටත් තියනවා ඔය වගේ කතාවක්, මම මොරටු නොගිහින් පේරාදෙණි ඉංජිනේරු පීටයට ගියේ. දැන් අවුට් වෙලා කඩුවෙල ජොබ් එකක් කරනවා මාස 8ක් විතර. අපිත් එක්ක එකට මොරටු ගිය අය අවුට් වුනේ ඊයේ පෙරේද වගේ, මම නම් මෝරා නොයා පෙරා යාම ගැන සතුටු වෙනවා ගොඩක් දේවල් නිසා.

    මම ආනන්දේ ගැන වැඩි යමක් දන්නේ නැති වුනාට අපේ පුංචිගේ පුතා ආනන්දෙට දාන හදනකොට මම තමයි රෝයල් එකට දැම්මේ. ඒ රෝයල් එක ගැන මා තුල තිබෙන විශ්වාසයට…..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s