18. රජීව් ගාන්ධි හෙවත් අපේ කාලයේ බැං කි මූන් ඔටු හමුදාවෙන් ගැහීම

1991 මැයි 21 (මගේ සරසවි දෙවන වසර අග හරියේ)

රාත්‍රිය මුළුල්ලේ කාමරයෙන් පිටත ලොකු ගෝසාවක් තිබුණේය. මේ කුමක් හෝ තීරණාත්මක දෙයක් වූ බවට ඉඟියකි.

“ක්‍යා හුවා?”

විටින් විට අඩ නින්දෙන් අවදිවන “රූමී” අසයි.

“කුච් නහී”

මම පිළිවදන් දෙමි.

“Can’t be. What’s this noise then?”

“Sleep now, we will find in the morning.”  මම අනෙක් පසට හැරෙමි.

අප දෙදෙනාගේ කම්මැලිකම නිසා රාත්‍රී දහයට පමණ, තමිල් නාඩුවේ චෙන්නායි වලට කිලෝ මීටර 30ක් දුරින් ශ්‍රීපෙරුම්බුදුර් හීදී සිදු වූ රජීව් ගාන්ධි ඝාතනය අප දැන ගන්නේ උදෑසනය.

අද නම් NIT-K හි නේවාසිකාගාරයේ කාමරයෙන් කාමරයට පරිගණක හා රූපවාහිනී ඇතැයි සිතමි. 1991දී අපේ එකම එසැණ පුවත් මූලාශ්‍රය ගුවන් විදිලියයි. හොස්ටල් බ්ලොක් එක ඉදිරිපස අපි තනි ට්‍රාන්සිස්ටර් රේඩියෝවක් වටා වටවෙමු. තවමත් පුවත සම්පූර්ණ වී නැත. හැම මිනිත්තුවකම අළුතින් යමක් එක්වේ. මුලදී මල්මාලාවක සඟවන ලදැයි සැක කරනු ලැබූ ඝාතක බෝම්බය උදෑසන වන විට නියත ලෙස ආත්මඝාතක බෝම්බයක් සේ අනාවරණයව ඇත. ඒ සමඟම සැකයේ ඇඟිල්ල නියත ලෙස එල්.ටී.ටි.යට යොමු වේ.

BBC නිවේදකයාගේ හඬ සෝ බරය.

“With this assassination, India loses one of the finest leaders it has ever produced in the post independence era. Rajiv Gandhi, a political innocent in the harsh Indian politics…”

රජීව් ගාන්ධි පිණිස මීට වඩා ගැළපෙන විස්තරයක් නැතැයි සිතමි. පක්ෂ පාට අමතක කර ගත් කල්හි රජීව් ගාන්ධි ඉන්දියාවේ පහළ වූයේද සිතන්නට වත් බැරි ආකාරයේ “අහිංසක” දේශපාලනඥයෙකි. එය තේරුම් ගැනීමද අපහසුවක් නොවේ. ඔහු දේශපාලනයට නූපන්නෙකි. දේශපාලනය අතහැර “ඉන්දියන් එයාර්ලයින්ස්”හි ගුවන් නියමුවකු සේ සේවය කරන රජීව් අකැමැත්තෙන් දේශපාලනයට එක් වන්නේ තම මෑණියන්ගේ මරණින් ඇති වූ හිඩැස පුරවනු පිණිසය. ඉන්දිරා ගාන්ධි ඇයගේ සික් ආරක්ෂකයින් අතින් ඝාතනය වන්නේ 1984 ඔක්තෝබරයේය. උසස් පෙළ රසායන විද්‍යා ටියුෂන් පන්තියට යන ගමනේදී එපුවත ඇසූ බවකි, මතකයේ ඇත්තේ.

ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කිරීම. පසු කලෙක ඉන්දීය මාධ්‍ය මේ ගිවිසුම විස්තර කළේ මෙසේය: A document not worth the paper it was written on…

1989දී මා භාරතයට පය තබන අවස්ථාවෙහි එහි අග්‍රාමාත්‍ය පදවිය දරන්නේ රජීව් ගාන්ධිය.

පෝක් සමුද්‍ර සන්ධියෙන් මෙපිට එකල රජීව් ගාන්ධි ගැන පවතින්නේ අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කි මූන් ගැන ඇත්තාක් බඳු වෛරය මුසු වූ හැඟීමකි. ඊට මුල් වූ ඔහුගේ හා ඔහුගේ මෑණියන් ඉන්දිරා ගාන්ධිගේ පෙර ක්‍රියා කලාපය ඒ හා සබැඳි සිදු වීම් පෙළ කෙටියෙන් මෙසේය.

  • ශ්‍රී ලංකාවේ උතුරේ සන්නද්ධ දෙමළ කණ්ඩායම් වල ක්‍රියා කලාපය ශ්‍රී ලංකා ආණ්ඩුවට විශාල හිසරදයක් වෙමින් තිබියදී, ඉන්දියාව තමිල්නාඩුව තුළ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පාලනය කිරීමට ඵලදායී ක්‍රියාමාර්ගයක් ගැනීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි. (මේ ඉන්දීය කොන්ග්‍රසයේ තමිල් නාඩු දේශපාලන සගයා වූ එම්. ජී. ආර්. ගේ බලපෑම නිසා බැව් සිතිය හැකිය. ඇරත් මේ අවදියේදී ශ්‍රී ලංකාවේ ගැටළුව ඉන්දියාවට ඍජු බලපෑමක් නොකරයි.)
  • 1987දී ලලිත් ඇතුලත්මුදලි ආරක්ෂක ඇමැතිවරයා ලෙසද බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව යුදහමුදාපති ලෙසද සිටියදී දියත් කරන ලද වඩමරච්චි මෙහෙයුමේ අවසාන අදියරේදී රජීව් ගාන්ධි ආණ්ඩුව යාපන අර්ධද්වීපයට සහනාධාර සැපැයීම මුවාවෙන් ලංකා ගුවන් පථයට ඉන්දියානු යානා එවයි. මෙය පොදු ලාංකීය ජනතාවගේ හා සමහර දේශපාලනඥයින්ගේ දැඩි අප්‍රසාදයට ලක්වේ. (එවක අගමැති ආර්. ප්‍රේමදාසගේ වචන: “මේක නිකං හරියට බල්ලෙක් අල්ලපු වත්තට පැනල කක්ක කරල ගියා වගේ වැඩක්”)
  • 1987 ජූලි මාසයේදී ඉන්දීය මධ්‍යම රජයේ බල කිරීම මත හා රටේ සැලකිය යුතු පිරිසකගේ විරෝධය මධ්‍යයේ රජීව් ගාන්ධි හා ජේ. ආර්. ජයවර්ධන ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කරති. රජීව් ගාන්ධි ගාළුමුවදොරදී නාවුක හමුදා භටයකුගෙන් රයිපල් පාරක් කයි. (එවකට තහනම් ව්‍යාපාරයක් වූ) ජනතා විමුක්ති පෙරමුණේ මෙහෙයවීමෙන් රට පුරා පොදු දේපළ විනාශ කෙරෙන දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වේ. (මා ඇසින් දුටු පරිදි රත්මලාන ඩිපෝවේ පමණක් ජවිපෙ විසින් ගිණි තබා විනාශ කරන ලද බස් රථ සංඛ්‍යාව 25කට අධිකය.)
  • ඉන්දු ලංකා ගිවිසුමට අනුව ලංකා හමුදාව උතුරේ පාලනය ඉන්දියානු සාමසාධක හමුදාවන්ට (Indian Peace Keeping Force – IPKF) භාර දෙන අතර රට තුළ ඒ සම්බන්ධව දැඩි විරෝධයක් ගොඩ නඟනු පිණිස ජවිපෙ ඍජුවද, ශ්‍රීලනිපය ඇතුළු සම්ප්‍රදායික විපක්ෂය වක්‍රවද ක්‍රියා කරති. ලසසප, කොප හා විජය කුමාරතුංග ගේ නායකත්වයෙන් යුතු ශ්‍රීලමප රජයට සහාය පළ කරයි. හැත්තෑ ගණන් වල මුල හරියේ යට ගසා තිබුණු “ඉන්දීය ව්‍යාප්තවාදයේ” තියරිය හමස් පෙට්ටියෙන් එළියට ගන්නා ජවිපෙ රට පුරා දැවැන්ත ඉන්දීය විරෝධයක් ඇති කරමින් ඉන්දීය හමුදා දකුණට පැමිණීම “කාලය පිළිබඳ ප්‍රශ්නයක්” පමණක් බව කියයි.
  • එල්. ටී. ටිය හැරුණු විට අනෙකුත් සියළුම සන්නද්ධ කණ්ඩායම් ආයුධ අතැර ප්‍රජාතන්ත්‍රවාදී මාවතට ප්‍රවේශ වෙති. (අද ඇමැතිවරයකු වන ඩග්ලස් දේවානන්දගේ දේශපාලන ගමන් මගෙහි ආරම්භය එතැනය.) උතුරු නැඟෙනහිර පළාත් සභා මැතිවරණය පවත්වනු ලබන අතර ඉන්දියාවේ රූකඩයක් වූ, උතුරේ මහජන සහාය නොලත් වර්ධරාජා පෙරුමාල් මහ ඇමැති ලෙස පත් වේ. දයාන් ජයතිලක මේ පළාත් සභාවේ එකම සිංහල ඇමැතිවරයායි. (මේ පළාත් සභාව කෙටි කාලයක් තුළ බිඳ වැටෙන අතර එතැන් පටන් ඉන්දීය රජය වර්ධරාජා පෙරුමාල් නඩත්තු කරන බැව් ප්‍රසිද්ධ කාරණාවකි.)
  • ජවිපෙ ඉන්දියාවේ නිෂ්පාදිත භණ්ඩ භාවිතය “තහනම් කරයි”. “බොම්බයි ලූණු” ලංකා ලොකු ලූණු ලෙස නව නාමකරණයක් ලබයි. “මයිසූර් පරිප්පු” ලංකා පරිප්පු වේ.

නාවුක සෙබළකු විසින් රජීව් ගාන්ධිට ගාළු මුවදොරදී පහර දීම

 මේ කාලය සම්බන්ධව පැතිර ගිය යාන් හෑලි බොහෝය. මේ මතක ඇති එකකි.

1987දී ඉන්දීය නිදහස් දිනයේ ආරාධිත අමුත්තා සේ සහභාගි වූයේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනය. මෙහි තෝරාගත් දර්ශන ලංකාවේද රූපවාහිනිය මඟින් පෙන්වන ලදී. පෙරෙට්ටුවේ තැනෙක වූයේ ඔටු හමුදාවකි. මේ ඔටු හමුදාව පීඨිකාව පසු කරත්ම රජීව් ගාන්ධි තමන් අසළ සිටි ජේ. ආර්. ජයවර්ධනට යමක් කියනු පෙණුනේය. මේ ඒ කියන්නට ඇති දෙය ගැන තතු දත්තන් ප්‍රකාශ කළ අදහසකි.

රජීව්: ඕයි, තමුසෙට පේනවද අර ඔටු හමුදාව?
ජේ. ආර්: ඔව්, ඇයි?
රජීව්: කවදහරි අපට තමුසෙලට ගහන්න හිතුනොත් ගහන්නෙ අන්න ඒකෙන්.

මේ “ඉන්දීය ව්‍යාප්තවාදය” පිළිබඳව මගේ අද අදහස පළ නොකොට ඉදිරියට යෑමට මට සිත් නොදෙන්නේය.

වඩමරච්චි මෙහෙයුම ජයග්‍රහණයට කෙතෙක් ළංව තිබුණේද යන්න විවාදාපන්නය. තව සතියක් ගැහුවා නම් එල්.ටී.ටිය කම්මුතුය කියන එවක රජයේ කියමන අප පිළිනොගත්තද, 2009 යුද ජයග්‍රහණය දෙස බලන විට ජයග්‍රහණය අත්පත් කර ගත නොහැක්කකැයි නොසිතේ. ඊට මැදිහත් වීමෙන් ඉන්දියාව ලංකාවට කළ හෝ අඩු තරමින් තමන්ට කර ගත් යහපතක් නොවේ.

ඉන්දු ලංකා ගිවිසුම බැලූ බැල්මට හොඳ ක්‍රියා මාර්ගයක් සේ පෙනුණද, එහි දෙපාර්ශවයම ඊට අස්සන් කරන්නේ වංක චේතනාවෙනි. ඉන්දියාවට අවශ්‍ය තමිල් නාඩු පීඩනය මත “කුමක් හෝ කිරීමටයි”. ලංකාවට ඊට එකඟ වෙනවා හැර විකල්පයක් නොවේ. ලංකාවේ දෙමළ හෝ සිංහල ජනතාවගේ ගැටළු ගැන මේ දෙපිරිසටම අවබෝධයක් වත් ඒවා විසඳීමට උනන්දුවක් වත් නොවේ.

අනෙක් අතට ලාංකීය ජනතාව මොන ආකාරයෙන් සිතුවද රජීව් ගාන්ධි ඉන්දියාව ලද හොඳම පාලකයෙකි. ඔහු අනාගෙන ඇත්තේ ලංකාව සම්බන්ධ සිද්ධිය ඇතුළු සිද්ධි අතළොස්සක් පමණෙකි. ඉන්දියාව නූතන රාජ්‍යයක් කරනු පිණිස ඔහු ගෙන ඇති ක්‍රියා මාර්ග විශිෂ්ටය. ඉන්දියාවේ ආර්ථික වර්ධනය සඳහා ප්‍රබලම බාධකය සේ ගැණුනු කුප්‍රකට ස්වයංපෝෂිත වීම පිළිබඳ මිථ්‍යාව බිඳ දැමීම ආරම්භ කළ පුද්ගලයා ඔහුය. සංවෘත ආර්ථික ක්‍රමය බිඳ හෙළීමේ පළමු පියවර ඔහු ගන්නේ එතෙක් ආනයනයන් සඳහා තිබූ බාධක පරිගණක ඇතුළු තාක්ෂණ උපකරණ සඳහා ලිහිල් කරමිනි. අකල්හි මිය නොගියේ නම් පසුව නරසිම්හ රාඕගේ නායකත්වයෙන් කෙරුණු පරිවර්තන විය හැකිව තිබුණේ රජීව් ගාන්ධි අතිනැයි සිතමි.

රජීව් ගාන්ධි ඝාතනය කළ සැණින් ප්‍රශ්න දෙකක් මතු වූයේය.

1. ඔහු ඝාතනය කරන ලද්දේ කවුරුන් විසින්ද?
2. ඒ කවර අරමුණෙකින්ද?

මින් පළමු පැණයට මේ වන විට නිශ්චිත පිළිතුරක් ලැබී ඇත්තේය. ඍජුව පිළිගත්තාද නැත්ද මතක නැතත්, එල්. ටී ටිය මොනම අවස්ථාවකවත් තමන් එය කළ බව නිෂේධ කොට නැත. සටන් විරාම සමයේ ප්‍රභාකරන් හා ඇන්ටන් බාලසිංහම් සහභාගි වූ ඓතිහාසික ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඒ ගැන ඉන්දියාවේ NDTV වාර්තාකරු ඇසූ ප්‍රශ්නයට බාලසිංහම් පිළිතුරු දුන්නේ “There is no point talking about it now. It was a great tragedy, a monumental historical tragedy which we deeply regret.” ලෙසය. මෙය පැහැදිළිව වරද පිළි ගැන්මකි.

දෙවැනි ප්‍රශ්නයට පිළිතුරු අපැහැදිළිය. IPKF සමඟ ගැටුම් වලින් සැලකිය යුතු එල්. ටී. ටී. ඊ. කාඩරයන් පිරිසක් මරු දුටු බවට සැක නැත. මේ නිසා රජීව් ගාන්ධි මරා දැමීමට එල්. ටී. ටියට යම් පෙළඹවීමක් ඇතද, එය කිරීමෙන් ඔවුන් අහිමි කර ගන්නා අවස්ථා දෙස බලන විය එවැන්නක් කළේ මන්ද යන ප්‍රශ්නය නිරායාසයෙන්ම පැණ නඟියි.

මීට පිළිතුරු දෙකකි.  (a) ප්‍රභාකරන්ගේ උද්ධච්ඡකම හා ඊට සමාන්තර ගොන් කම. (b)වෙනත් පාර්ශ්වයක බලපෑම පිට මුදල් හෝ වෙනත් වාසියක් පිණිස එල්. ටී. ටිය එසේ කළේය යන්න. (එනම් එල්. ටී. ටිය මෙහිදී හුදෙක් mercenaries ලෙස පමණක් හැසිරුණු බව.) මෙහි දෙවන හැකියාව අප පිළිගත්තද, එසේ රජීව්ගේ මරණයෙන් වාසි ලත් පාර්ශ්වයක් මේ දක්වාම අපැහැදිළිය.

රජීව් හා සෝනියා යොවුන් වියේදී

රජීව් ගාන්ධි පිළිබඳ අප්‍රකට කාරණා කිහිපයක් මෙසේය.

  • 1944දී රජීව් ගාන්ධි උපත ලබන්නේ ඔහුගේ මව හා පියා දෙදෙනාම කාලයෙන් කාලයට බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් සිර ගත කරනු ලබන යුගයකදීය.
  • ඔහු විදෙස් සරසවි කිහිපයකටම ගියත් ඒ කිසිවකින් උපාධියක් නොලබයි. ඔහු සෝනියා ගාන්ධි හමු වන්නේ කේම්බ්‍රිජ්හි ඉගෙනුම ලබමින් සිටියදීය.
  • ඔහුගේ මව ඉන්දිරා, පියා ෆේරෝස් ගාන්ධිට කිසි විටෙක ආදරය නොකළ බවද, ඔවුන්ගේ විවාහය තනිකරම ඇයට දේශපාලන වශයෙන් වැදගත් “ගාන්ධි” නම ලබා ගැනීමට කළ එකක් බවද කට කතා පවතී. එසේම ෆේරෝස් ගාන්ධි පසුව ඇය විසින් මරණයට පත් කළ බව කියන්නෝද වෙති. (මතක හැටියට සල්මන් රෂ්ඩි මේ බව Midnight’s Children හි සඳහන් කරයි.)
  • රජීව් ගාන්ධි ඝාතනය සැලැසුම් කළ සිවරාසන් අල්ලා ගත හැකි වූයේ, එම සිද්ධියේදී මියැදුණු “ෆ්‍රන්ට් ලයින්” වාර්තාකරුවාගේ කැමරාවෙහි ඔහුගේ පින්තූරය සටහන් වී තිබුණු හෙයිනි.

රජීව් ගාන්ධි මරණයෙන් පසු මට හා මගේ සරසවි සගයින්ට මුහුණ දෙන්නට සිදු වූ ඇබැද්දි කිහිපයක් පසු සටහනෙකින් අසමු. මේ සටහන ඊට හොඳ පිවිසුමෙකි.

Advertisements

17 responses to “18. රජීව් ගාන්ධි හෙවත් අපේ කාලයේ බැං කි මූන් ඔටු හමුදාවෙන් ගැහීම

  1. A good piece…

  2. Everything happens for a reason.

  3. “1944දී රජීව් ගාන්ධි උපත ලබන්නේ ඔහුගේ මව හා පියා දෙදෙනාම කාලයෙන් කාලයට බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් සිර ගත කරනු ලබන යුගයකදීය.
    ඔහුගේ මව ඉන්දිරා, පියා ෆේරෝස් ගාන්ධිට කිසි විටෙක ආදරය නොකළ බවද, ඔවුන්ගේ විවාහය තනිකරම ඇයට දේශපාලන වශයෙන් වැදගත් “ගාන්ධි” නම ලබා ගැනීමට කළ එකක් බවද කට කතා පවතී. එසේම ෆේරෝස් ගාන්ධි පසුව ඇය විසින් මරණයට පත් කළ බව කියන්නෝද වෙති. (මතක හැටියට සල්මන් රෂ්ඩි මේ බව Midnight’s Children හි සඳහන් කරයි.)”

    ???????? is that the same thing we are thinking ??

  4. Rajiv Gandhi’s reputation was tarnished as a result of the infamous Bofors arms deal involving kick backs,which was exposed by journalist Nirmala Subramanium and his inaction during anti-Sikh pogrom in the immediate aftermath of the Indira Gandhi Assassination.

    • @Lakshan,

      A bit about Bofors scandal:

      V. P. Singh, Rajiv’s finance minister exposed corruption within the government. Rajiv foolishly did a reshuffle and made him defence minister. He then discovered gold – the Bofors deal. The charges made by Indian Express and The Hindu was so critical that Rajiv lost 1989 general elections and the same V. P. Singh with the support of Janata Dal and BJP became the PM.

      After more than 20 years, the Bofors case was closed last month. A Delhi court discharged Quattrocchi, the key accused from the case, as there was no credible evidence against him, on 4 March 2011.

  5. Asanga Chandrawansa

    “…බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව යුදහමුදාපති ලෙසද සිටියදී…”
    A correction; Lt Gen Kobbekaduwa (then Brig or Maj Gen) was not the army commander. He was the commander of north.

    “…ඔවුන්ගේ විවාහය තනිකරම ඇයට දේශපාලන වශයෙන් වැදගත් “ගාන්ධි” නම ලබා ගැනීමට…”
    But she had her well honoured nee name Nehru. Also her husband was not descendant of Mahatma Gandhi’s family. Did she want the surname Gandhi to cheat the public? I think she and her father were too honourable to do such a thing.

    “…එය කිරීමෙන් ඔවුන් අහිමි කර ගන්නා අවස්ථා දෙස බලන විය එවැන්නක් කළේ මන්ද යන ප්‍රශ්නය නිරායාසයෙන්ම පැණ නඟියි…”
    Wasn’t there a possibility that LTTE is brought to knee and under the patronage of India, the other tamil organizations (India’s favourites) would win public support over a time? Then LTTE would fade away soon. If so, LTTE would have avoided a long term consequence by assassinating Rajiv Gandhi.

    Since my childhood I was a fan of Vidusara. Even now I read it when I have time. Now it is not as rich in content as it was once, regret to say. But still I love it like an old friend. So I remember you from that time. Where is Nalaka now?

    Best of luck !

    • @Asanga Chandrawansa,

      Response to No. 2.

      Indira was different from her father. Her father too wasn’t the real statesman as he is typically portrayed – but agreed he was a cut above the rest.

      The surname Gandhi had a magical power which Nehru does not – even when Feroze was not related to Bapu. Again, all these are accusations. Nobody proved or unproved them.

      Thanks for the correction.

  6. I still remember the article I red on Divaina then about a group of SAARC university students debating (in an Indian university hostel room) about Rajiv assassination.

    Was it you who wrote it ?

  7. @Ashoka,

    No, not me. Winee Hettigoda wrote something similar but not about Rajiv’s assassination, but SAARC summit.

  8. / මීට පිළිතුරු දෙකකි.  (a) ප්‍රභාකරන්ගේ උද්ධච්ඡකම හා ඊට සමාන්තර ගොන් කම. /

    රජීව් ඝාතනයට තීරණය කිරීමට ප්‍රභාකරන්ට ඉවහල්වූ කරුණු කීපයක් මම දකින විදිහට මෙසේයි.

    1. 1991 මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ( මෙම මැතිවරණයෙන් රජීව් ජයගන්නා බව ඒ වනවිට පැහැදිලිය ) 1987 ඉන්දු-ලංකා ගිවිසුම කඩ කිරීමෙන් ප්‍රභාකරන් කල මදි පුංචිකමට පළි ගැනීම උදසා එල්.ටී.ටී.ඊ. සංවිධානයට දැඩි ලෙස බාධක පමුණුවනු ඇතැයි කල අනුමානය.

    2. රජීව් ඝාතනයෙන් එල්.ටී.ටී.ඊ යට එරෙහිව ඉන්දියාවේ ඇති වියහැකි විරෝධය පාලනය කල හැකියැයි කල සාවද්‍ය තක්සේරුව.

    3. Mr. Prabhaakaran’s immense super ego, in the belief that he can do nothing wrong being the living sun god.

    මට මතක විදිහට බාලසිංහම් ප්‍රකාශ කලේ මෙසේයි.

    ” It was a great tragedy, a monumental historical blunder which we deeply regret.”

    A historical & monumental blunder it definitely was as at that precise moment in Sriperumbudur the fate of L.T.T.E. To be annihilated was determined. There were several other factors that contributed but the assassination of Rajiv was the most important turning point that alienated India irrevocably.

  9. ඉන්දිරා ගාන්ධි ඝාතනය ගැනත්, ඒ පසුබිම ගැනත් හොයලා බලද්දි ‍රජිව් ගාන්ධි ඝාතනය සමඟ ශ්‍රී ලාංකිකයින්ට අත්දකින්න සිදු වුන දේවල් ගැන දැන ගන්න කැමතියි. සීක් සංහාරය ගැන තියෙන කරුණු කියවද්දි ලංකාවෙන් වැඩි වෙනසක් බලාපොරොත්තු වෙන්න පුලුවන් කියල මම හිතන්නෑ.

  10. ගාන්ධිට ගැසූ ‍‍‍සෙබළා මට වීරයෙකි. අල්ලපුගෙදර අහිංසකයාට ලොකු පාට් දමන, ඌ කන්න බොන්න *න්න ඕන විදිය තීරණය කරන්න හදන ගං චණ්ඩියෙකු හා රජිව් අතර මම වෙනසක් නොදකිමි.

    ඌ අල්ලපුගෙදරට චණ්ඩිපාට් දමන්න එන්නේ ගෙදර උන්දෑගේ බල පෑම මත නම්, අල්ලපුගෙදර මිනිහාට තඩිබාන්න කලිං ගෙදර උන්දෑ හදාගන්න ඌ දැනගතයුතුය!

    ගාන්ධිට පමණක් නොව මන්මෝහන් සීයාටද අදාළය.

    • @budhajeewa,

      රජීව් ගාන්ධි වේවා, බැං කි මූන් වේවා, තමන්ගේ විෂය පථයට අයිති නැති දේ කරයි නම් ඒවාට මුහුණ දෙන ශිෂ්ට ක්‍රම තිබේ. අපේ මතය ප්‍රකාශ කිරීම වෙනුවෙන් අපට අශිෂ්ටයින් හෝ මෝඩයින් සේ හැසිරීමට අවශ්‍ය නොවේ.

  11. කියවන්නෙක්

    ඉන්දිරා ගාන්ධි ශ්‍රී ලාංකික තරුණයෙකුට ආදරය කල පුවතක් මා අසා තිබේ..

  12. ඉන්දිරා ගාන්ධි ශ්‍රී ලාංකික තරුණයෙකුට ආදරය කල පුවතක් මා අසා තිබේ..
    The story is that Indira was in love with musician Lionel Edirisinghe at Shanthi Nikethan but Indira had to drop out from the institute ending the love affair too.

    At a later stage SL government made Edirisinghe the High Commissioner to India. We can guess why.

  13. During Vadamarachchi battle Prabhakaran was loosing and India came to his rescue and air lifted him to India.This is one of the heinous crimes India commited against SL as they were directly interfering with the internal affairs of a foreign country. JR was under direct command of Dixit who was the then Indian ambassador to SL.They forced JR to add 13th amendment to the constitution although after his retirement he revealed in his interview with Ravaya newspaper that he even does not like the 13th amendment which was added to the constitution but he had no other option because West did not come to help him when he needed their support. J.R antagonise India by siding with the West but West never want to go against India’s will and abandonned JR..This he told during an interview with the Time magazine.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s