Monthly Archives: May 2011

28. ඇපල් ගෙඩි තුනක් උස නැති නමුත් මේ පුතා

ඇපල් ගෙඩි තුනක් උස නැති නමුත් මේ පුතා
මහා බලගතුයි – කරන වැඩත් බෝ වෙතා

මේ පැදිය තිබුණේ මා කුඩා කළ කියැවූ “ජගත් සුරංගනා කතා” පොතේ එක් කතාවකය. කතාව හරි හැටි සිහියට නඟා ගත නොහැකි වුවද, එය ලොකු වැඩ කරන පොඩ්ඩෙක් ගැන බව මතකය.

2007දී සුපුන් සුදාරක මා හැඳින ගන්නේ මලින්ත සමරකෝන් මාර්ගයෙනි. එවක දහසය හැවිරිදි සුදාරක රාජකීය විද්‍යාලයෙහි දහවන වසරෙහි ශිෂ්‍යයෙකි. මා සේවය කළ ආයතනයට මලින්ත විසින් යම් මෘදුකාංග මෙවලමක් නිර්මාණය කළේය. ඊට අවශ්‍ය වෙබ් ඉඩද ඩොමේන් නාමයන්ද ලබා ගැනීම කරන ලද්දේ සුදාරක හරහාය. එතැන පටන් මම කිහිප වතාවක් සුදාරක කඩේ යැවීමි. වෘත්තීය කටයුතු වලදී, විශේෂයෙන්ම මා LIRNEasia අයතනයේදී නායකත්වය දුන් බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවන්හි ගුණාත්මක භාවය මැනීම පිළිබඳ වූ ව්‍යාපෘතියේදී මලින්තට හා කාලිංගට අමතරව සුදාරකගේද සහාය ලබාගන්නට මම තීරණය කළෙමි.

කොළඹ නගරය තුළ ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවන්හි ගුණාත්මක භාවය දක්වන පහත සිතියම සකස් කරන්නට කොළඹ සිට මීගමුවට, නිට්ටඹුවට, අවිස්සාවේල්ලට හා කළුතරට මා යැවූයේ සුදාරකවයි. ඔහු බසයක ගමන් කරමින් මෙහි දක්වා ඇති සියළු ස්ථාන වලදී මොබයිල් දුරකථන දෙකක් භාවිතා කරමින් ලංකාවේ ප්‍රමුඛ බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සපයන්නන් දෙදෙනකුගේ වේගයන් තෙවරක් බැගින් මැන්නේය. (ඔහු බස් රථයක යැවීමට අවශ්‍ය වූයේ සාමාන්‍ය තත්ත්වයන් හැකි තරමින් simulate කිරීමට අපට අවශ්‍ය වූ නිසාය.) මේ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් තත්ත්ව සිතියම් ගොඩ නැඟීමේ මගේ පළමු පියවර වූ අතර මගේ අරමුණ වූයේ මෙවන් සිතියම් බ්ලොග්කරුවන් යොදා ගනිමින් ලංකාවේ අනෙකුත් නගර සඳහාද සකස් කිරීමය. මා 2010 අගෝස්තුවේ LIRNEasia ආයතනයෙන් ඉවත්වීම කරණ කොට ගෙන ඒ අරමුණ ඉටුකොට ගැනීමට නොහැකි වුවද, සුදාරකගේ දායකත්වය කෘතඥතාපූර්වකව සඳහන් කරමි. (මෙහිදී අදාළ සමාගම් දෙක හිතාමතාම නම් නොකරන ලද්දේ පරීක්ෂණය කරන ලද්දේ එක දිනෙයකදී පමණක් නිසාය. මෙවැනි පරීක්ෂණයකදී දත්ත එකතු කිරීම වැඩි වන තරමට අවසාන ප්‍රතිඵලයේ නිරවද්‍යතාවද වැඩිවේ. එක් දිනෙක දත්ත පමණක් ප්‍රකාශ කිරීම එක් සමාගමකට අසාධාරණ විය හැක්කේය.)

මලින්ත සමරකෝන්ගේ ග්‍රැෆික් නිර්මාණයකි. දත්ත හා සිතියමෙහි අයිතිය LIRNEasia ආයතනය සතුය.

මේ සටහන සුපුන් සුදාරක නැමැති පොඩ්ඩා කරන ලොකු වැඩ ගැනම නොවේ. සිංහල බ්ලොගවකාශයේ ඔහුගේ භුමිකාව බ්ලොගවකාශයට රහසක් නොවේය සිතමි. මට සුදාරක වැදගත් වෙනත් හේතුවක් නිසාය.

මම ලෝකයේ අනෙකුන්ගෙන් වෙනස් පුද්ගලයෙක්මි. සේකර ඇසූ පරිදි මා වෙනස් මැට්ටෙකින් නිර්මිත කළේ මන්දැයි නිර්මාපකයාගෙන් ඇසිය යුතු තරමට වෙනස් පුද්ගලයෙක්මි. හොඳට හෝ නරකට මගේ ගතිගුණ උරුම කරගත්තෝ අති දුබලය. මා ඉගෙනගත් හෝ සේවය කළ කිසි ආයතනයකදී මගේ හැකියාවන්, පුරුදු, ගතිගුණ, සිතුම් පැතුම් වලට සමාන චරිතයක් මට හමුව නැත. මම එතරමටම අනෙකුන්ගෙන් වෙනස්මි. මට කිට්ටුවෙන් හෝ සමාන විය හැකි කෙනකු මෙලොව ඇතැයි යන අදහස මා තැර ගත්තේ බොහෝ කලෙකට පෙරදීය. එසේ හෙයින් මම මගේම මනසෙහි මැවුණු අපූරු රටෙක එකම පුරවැසියා වීමි.

පුදුමයකට මෙන් සුදාරකගේ බ්ලොග් සටහන් කියවද්දී (ඔහු ලංකාවේ සිංහල බ්ලොග් එකක් පටන් ගත් පළමු දහදෙනා අතර කෙනෙකැයි සිතමි. එසේම එබඳු ළාබාල වයෙසකින් තනිව එවැන්නක් කළ එකම පුද්ගලයාද විය හැකිය.) ඔහුගේ Facebook එකට පිවිසෙද්දී, ඔහු කරන වැඩ (හපන්කම්, චන්ඩිකම්, මෝඩකම්, ගොන්කම්) දෙස බලද්දී, ඔහු හා මංගත සල්ලාපයෙහි නියැලෙද්දී මට මේ අදහස වෙනස් කර ගැනීමට සිදුවිය. one to one match එකක් නැතද, අප දෙදෙනා අතර දසක දෙකහමාරක වයස් පරතරයක් ඇතද, සුදාරක තරම් කිට්ටුවෙන් මා කොපි කළ (හොඳ නරක දෙකම) වෙනත් ක්ලෝනයක් නැත. අප දෙදෙනා අතර සමානකම් බොහෝය. ඒවා අප දෙදෙනාම එකම ගුරුවරයකුගෙන් ව්‍යවහාරික ගණිතය ඉගෙන ගත්තාට එපිට යන්නකි.

දක්ෂ මූර්ති ශිල්පියකු රළු මැටි ගුලියකට ජීවය කවන්නාක් සේ සිංහල භාෂාවෙහි ශබ්ද, රූප, වචන වලට ජීවය කැවීමේ අපූර්ව හැකියාවක් සුදාරකට ඇත. (පහත උදාහරණය බලන්න.) අටවැන්නෙහි පටන් මෙබඳු හැකියාවක් මටද විය. (තවම එය වියැකී නැතැයි සිතමි.) මේ හුදෙක් පන්තිකාමරය තුළදී ලබන්නක් නොවේ. එහි සම්භවය අන් තැනෙකය. මගේ මව සේම සුදාරකගේ මෑණියන්ද සිංහල ගුරුවරියක වීම එය එක්තරා දුරෙකට පැහැදිළි කරනු ඇතැයි සිතමි.

දෙවැන්න සාමාන්‍ය පෙළින් භාෂා ශාස්ත්‍රාදීන් ඉගෙනීම අත්හළද තවමත් අප දෙදෙනා තුළ නොසිඳී පවත්නා සාහිත්‍යකාමයයි. තමන් ගුරු කොට ගන්නා, ආදරය කරන පත පොත අතින් සුදාරක මට වඩා වෙනස්ය. ඔහුගේ වයසේදී මා මක්සිම් ගෝර්කි, ඇන්ටක් චෙකොව් හා කරුණාසේන ජයලත් කියැවීමට දැක්වූ නොතිත් ආසාවම ඔහු තුළින් විද්‍යාමාන වන්නේ ලියනගේ අමරකීර්ති හෝ සුනේත්‍රා රාජකරුණානායක කියැවීමටය. රුචිකත්වයේ මේ වෙනස පරම්පරා බෙදුමට බැර කළ හැක්කේය. එය නොසලකා හරින්නේ නම් පොත් යනු කියැවීම පිණිස සකස් කළ මුද්‍රිත අකුරු වලින් යුතු කඩදාසි පිටු එකතු නොව ජීවත්වීම පිණිස නිර්මිත “පැන්ඩෝරා” බඳු නව ග්‍රහලෝකය මා මෙන්ම සිතා සිටින්නෙකි සුදාරකත්.

සුදාරක උසස් පෙළ කරන්නට පටන් ගන්නේ ගණිත විෂයන්ගෙනි. සති කිහිපයකින් ඔහු කලා පන්තියට මාරුවේ. නැවත ගණිත පන්තියට මාරු වේ. (මම ගණිත විෂයයන් තෝරා ගන්නැයි ඔහුට බල කළ අය අතුරින් එක් අයෙක්මි.) මෙවන් මාර්ගයක ගමන් නොගත්තද, ගණිතයද කලාවද යන සංශය උසස් පෙළ විෂයයන් තෝරා ගැනීමේදී මටත් තිබිණි. මම එකක් ගැඹුරින් හැදෑරුවද, අද වනතුරුම අනෙක අත නොහැර සිටිමි. ඔහුද එමඟ ගනු නැතැයි සිතන්නට කාරණා නොවේ.

සිව්වැනිව දේශපාලනය. ඔහුගේ Facebook පිටුවේ Political Views යටතේ Socialist සේ සඳහන් කර තිබෙණු දුටු දිනයේදීම මට පසක් වූයේ මේ පිස්සාටද ඒ වයසේදී මට වැළැඳී තිබුණු රෝමෑන්තික සමාජවාදී පිස්සුව වැළැඳී ඇති බවය. මෙය සමාජය තුළින් නොව “වානේ පන්නරය” තුළින් බෝ වෙන පිස්සුවකි. මට එය සුවකර ගත හැකි වූයේ සරසවි පළමු වසරේදීය. සුදාරක නම් මට වඩා කලින් එය සුව කර ගැනීමට සමත්ව සිටියි.

පස්වැනිව අප දෙදෙනා තුළම ඇති අපේම ස්වාධීන මනසින් සිතන්නට ඇති නැඹුරුව. මා පළ කරන සිතිවිලි මගේය. ඒවා ස්වාධීන සිතිවිලිය. කාල් මාක්ස් විසින් හෝ, අයින් රෑන්ඩ් විසින් හෝ ගංගොඩවිල සෝම හිමියන් විසින් මගේ සිතට ඇතුළු කරන ලදේ ඒවා නොවේ. වෙන කෙනෙකුට මගේ මනස අරක් ගන්නට, පාලනය කරන්නට මම ඉඩ නොදෙමි. ටික කලක් වෙන කෙනෙකුගේ ධර්මයෙන් පෝෂණය ලැබුවද ඉක්මණින්ම මම එය අත හරිමි. ගිරා පෝතකයකු වනු වෙනුවට මම මගේ දැනුම සොයා යමි. මේ ලක්ෂණය බොහෝ දුරට සුදාරක තුළද මම දකිමි. ඔහුට යමක් කියා දෙන්නට තැත් කළ යමකු වෙතොත් මා මෙන්ම එය තේරුම් ගනු ඇත්තේය.

සයවැනිව අප තුළ සිටින “නිහඬ විප්ලවවාදියා”. (the silent rebel) – මේ භයානක පුද්ගලයෙකි. ලෝකය වෙනස් කරන්නට මේ විප්ලවවාදියාට දැවැන්ත ඕනෑකමක් තිබේ. යන්නේම කළු ගල් වල ඔළුව හප්පා ගන්නට හා ඇතුන් පෙරළන්නටය. කඩු, දුණු, හී තෝමරාදිය නැති හෙයින් අපේ එකම ආයුධය වචනය. කරුමයකට අපේ වචන සැර වැඩිය. සුදාරක තුළ සිටින නිහඬ විප්ලවවාදියාද මා තුළ සිටින්නා සේම ඇතුන් පෙරළා වින්දනයක් ලබන්නාක් සේම පාඩම් ඉගෙන ගනීය මම සිතමි.

සැත්වැනිව, ඔහුගේ වයසේදී මා කළ, ඔහුද දැන් කරමින් සිටින එකම ජාතියේ ගොන්කම් – මේ සියල්ල මෙහි ලියන්නට අදහසක් නැතද, දිග ලැයිස්තුවකි. බුද්ධියට වඩා හැඟීමට ඕනෑවට වඩා තැන දී කටයුතු කිරීම, සංගම් වල වැඩ කරන්නට ගොස් වඩා හොඳ අධ්‍යපන ප්‍රතිඵල ලබා ගැනීමට ඇති හැකියාව අහිමි කර ගැනීම, පරාජිතයකු වීම මාරම වින්දනයක් සේ සිතීම හා ඒ මත අළුත්ම සාහිත්‍යයක් ගොඩ නැඟීම යනාදිය සඳහන් කළ හැකි කාරණා කිහිපයකි.

“ඕක කරන්න එපා, ඕකෙන් වෙන්නෙ මෙන්න මේකයි” බොහෝ විට මම සුදාරකට කියමි.

මේ කියන්නේ ඔහු මට සවන් නොදෙන බැව් නොදැන නොවේ. ඔහුට ඇත්තේ අනුන්ට සවන් දෙන මනසක් නොවන බැව් හොඳින්ම දන්නේ මායි. මටද ඔහුගේ වයසේදී කාටවත් සවන් දෙන්නට උවමනාවක් නොවීය. සුදාරක දැන් මට සවන් දෙතිය මා උපකල්පනය කරන්නේ ඇයි?

එහෙත් හොට බිම ඇණගත් පසුව ඔහු මා සොයා එයි.

“කොහොමද එදා ඒක හරියටම ඒ විදියටම වෙනවය කියල කිව්වෙ?”

“හරියටම කිව්වෙ මාත් ඔය පාරෙම ගිහින් ඔය වලේම වැටිල තියෙන නිසා”

මා අන් කවරක් ඔහුට කියන්නද?

අගෝස්තු මාසයේදී උසස් පෙළ විභාගයට පෙනී සිටින්නට නියමිත සුදාරක, මාද උසස් පෙළ අවසන් වසරේදී කළ සියල්ල (හපන්කම් වලට වඩා මෝඩකම්) නැවත කරමින්, පාඩම් කිරීම පැත්තෙක තියා චිත්‍රපට රසවිඳිමින්, මගේ ම මනෝ ලෝක ගොඩ නඟාගෙන ඒවා අනෙකුන් මත බලෙන් පටවමින්, අර්ධ-සත්‍ය අර්ධ-කල්පිතනිර්මාණ කරමින් සිටී. (උසස් පෙළ අවසන් වසර මගේ ජීවිතයේද කැළැඹිලි වැඩිම වසරෙකි.) ඒ සියල්ල මධ්‍යයේ මට හොඳ උසස් පෙළ ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකිවිය. සුදාරක මා සම කරනු ඇතැයි හෝ මට වඩා හොඳ ප්‍රතිඵලයක් ගනු ඇතැයි මගේ බලාපොරොත්තුවය.

Advertisements

27. LTTEයේ පින්කම් හා JVPයේ පින්කම්

මගේ පරම්පරාවෙහිම, මගේම වයසෙහි බටහිර සංවර්ධිත රටවල බොහෝ මිනිසුන් හා ගැහැණුන් මට වඩා වාසනාවන්තය සිතමි. ඔවුන්ගේ ජීවිත කාලයන් තුළදී ඔවුහු තමන්ගේ රට තුළ දීර්ඝ කාලීන යුද්ධයන්ට, ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට මුහුණ නොදුන්නෝය. අනෙක් අතට ලංකාවේ මගේ පරම්පරාවේ දිය සලකුණ එවන් ගැටුම්ය. අපේ ජීවිත කාලයෙන් වැඩි ප්‍රමාණයක් අපට එබඳු නොවිසඳුණු ගැටුම් මැද ජීවත් වන්නට සිදු විය.

දසක සතරහමාරක මගේ ජීවිත කාලය තුළ මම කඩින් කඩ සිදුවූ ජේ. වී. පී. ගැටුම් දෙකකටද (1971 හා 1988/9) , දීර්ඝ කාලීන එල්. ටී. ටී. ඊ. ගැටුමකටද (1979 සිට 2009 තෙක්) මුහුණ දුන්නෙමි. මින් පළමු ජේ. වී. පී. ගැටුම එවකට සතර හැවිරිදි වූ මගේ දිවියට කළ බලපෑම නොගිණිය හැකිය. නමුත් ඉතිරි ගැටුම් දෙකම නිසා මට වැඩිහිටියකු හැටියට බොහෝ දේ අහිමි විය. ඉන් පළමුවැන්න මිනිසුන්ය. අපට අහිමි වූ ඉතිරි සියල්ල අමතක කළත් මිනිසුන් අමතක නොකළ හැක්කේය. එසේම ජේ. වී. පිය හා එල් ටී. ටිය විසින් තුච්ඡ හා කෲර ලෙස අපෙන් උදුරා ගන්නා ලද අහිංසක මිනිසුන්ගේ ගැහැණුන්ගේ කතන්දරය නොකියා මගේ, අපේ පරම්පරාවේ කතාව නොකිව හැක්කේය.

එල්. ටී. ටිය හෝ ජේ. වී.පිය විසින් ලේ නොසොල්වන ලද පවුලක් ලංකාවේ සොයා ගැනීම කිසිවකු නොමළ ගෙයකින් අබ ඇටයක් සෙවීමට සමාන වේය සිතමි.

මගේ පවුලේ කිසිවකු ඉහත කී නරුමයන් විසින් මරා නොදමන ලද්දේ වී නමුදු මහ බැංකු බෝම්බය දින තාත්තා සුළු තුවාල ලැබුවේය. ඒ වන විට විශ්‍රාම ලබා සිටි ඔහු හරියට එදිනම මහ බැංකු ගොඩනැඟිල්ලට ගොස් තිබුණේ විශ්‍රාම වැටුප පිළිබඳ කටයුත්තකටය. එය නිමා වී පැරැණි මිතුරකු සමඟ සල්ලාපයේ යෙදී සිටියදීය බෝම්බය පත්තු වුණේ. සුළු තුවාල ලබා ගැලැවීම ඔහුගේ වාසනාවකිය කිව හැක්කේ, බැංකුවේ “මෙසනයින්” මහලෙහි ඔහු සමඟ කතා කරමින් සිටි මිතුරා බරපතළ තුවාල ලැබූ හෙයිනි.

මීට අමතරව රාජගිරිය හන්දියේදී එල්. ටී. ටිය මහ ජරමරයක් කළ දින මාද, සොනාලිද, නංගීද රැකියාවන් නිමා කොට නිවෙස බලා යන ගමනේදී අදාළ ස්ථානය පසුකොට ගොස් තිබුණේ දළ වශයෙන් ඊට විනාඩි හතළිස්පහත් පහළොවත් අතර කාල පරාසයක් තුළය. කාලයේ සුළු එහා මෙහා වීමක් තුළ අප තිදෙනාගෙන් එක් අයෙකුගේ ජීවිතයට හෝ අනතුරක් වීමේ සම්භාවිතාවක් තිබුණේය.

එහෙත් මේ සියල්ලෙන් අදහස් වන්නේ අපේ මිතුරන්, ළබැඳියන් එල්. ටී. ටිය හා ජේ. වී. පිය විසින් සොරා නොගන්නා ලද බව නොවේ. මේ එසේ සොරකම් කර ගන්නා ලද මා දන්නා මිනිසුන් තිදෙනකු පිළිබඳ කතාවය.

මට වඩා වසරෙකින් හෝ දෙකකින් වැඩිමහල් සුදීප පූර්ණජිත් මට සමගාමීව දිවයින කර්තෘ මණ්ඩලයෙහි නිදහස් සාමාජිකයෙක් විය. දිවයිනට “බන්ටි ටිකී” නම් පොකට් කාටූනය අඳිමින් සිටි ඔහු ඉඩ ලැබෙන අවස්ථාවන්හීදී ඊට වඩා ලොකු වැඩද කළේය. සුදීප චිත්‍ර ශිල්පියකුද විය. ඔහු විසින් නිර්මාණය කොට ඇති ලංකාවේ මුද්දර ගණනද විශාලය. ඒ මේවාය කියන්නට මා නොදත් මුත්, ලංකාවේ ප්‍රදීපාගාර දැක්වෙන මුද්දර සෙට් එක නම් ඔහුගේ නිර්මාණයක් බව දනිමි.

“පුතා මැරිල දවසකට පස්සෙ පුතාගෙ නමට ලියුමක් ආව. ඒකෙ අලවල තිබ්බෙ පුතාම ඇන්ද ප්‍රදීපාගාර මුද්දරයක්”

අවමඟුල් දිනයේදී හැඬූ කඳුලින් කීවේ ඔහුගේ සෝබර මෑණියන්ය.

සුදීප එල්. ටී. ටි මිනීමරුවන් විසින් අපෙන් උදුරා ගන්නා ලද්දේ 1996 ජූලි මාසයේදී දෙහිවලදී පානදුර කෝච්චියේ ඇටැවූ බෝම්බයකිනි.

ප්‍රේමකීර්ති ද අල්විස් මගේ කිට්ටුවන්තයෙකැයි නොකියමි. ඔහු මා දැන සිටියාද සැක සහිතය. නමුත් මා කෙටි කලෙකට සහභාගි වූ ගුවන් විදිලියෙහි “සරස්වතී මණ්ඩපය” නිෂ්පාදනය කළේ ඔහුය. ප්‍රේමකීර්තිගේ මරණයට සතියකට පමණ ඉහත මවිසින් පිටපත සපයන ලද වැඩ සටහනක් විය. මා දිලීප අබේසේකර හා සමන්ත හේරත් සමඟ ගුවන් විදිලියෙහි ලොබියෙහි කතා බහ කරමින් සිටි අතර ප්‍රේමකීර්ති ඒ අසළට විත් දිලීප සමඟ කතා කළා මතකයි.

ජ. වි. පෙ. මිනීමරුවන් විසින් මේ අහිංසක මිනිසා මරා දමන ලද්දේ තම සිඟිති පුතා වෙනුවෙන් අභයදානය දෙන ලෙසට ඔහු ඝාතකයින් ඉදිරියේ දණින් වැටී කන්නලව් කරමින් සිටියදීය අසා ඇත්තෙමි.

ජේ. වී. පී. මිනීමරුවන් විසින් අපට අහිමි කරන ලද තෙවැන්නා මගේ කිට්ටු ඥාතියෙකි. තාත්තාගේ පුංචි අම්මාගේ පුතකු වූ ඔහු අප විසින් හඳුන්වන ලද්දේ “සුදු බාප්පා” ලෙසිනි. මේ ඉතාම හොඳ අහිංසක මිනිසෙකි. ජේ. වී. පී. මරුවන්ට ඔහු මරා දැමීමට තරම් කළ වරද ගමේ එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිතියේ ලේකම් ධුරය දැරීමය.

සුදු බාප්පා තම මඟුල් දිනයෙහි අයියාද මාද (දකුණු කෙළවරෙහි ) සමඟ - 1972

පූගොඩ පෙහෙකම්හළෙහි සේවය කළ සුදු බාප්පා කැළණිවැලි මාර්ගයේ අංගම්පිටිය දුම්රිය ස්ථානය අසල පදිංචිව සිටියෙකි. ඔහු දිනපතා බයිසිකලයකින් මීපේ හන්දියට පැමිණ බස් රථය ගැනීමේ සිරිතක් විය. ජ.වි.පෙ. විසින් ඔහුට හිසට වෙඩි තබා මරා දමන ලද්දේ මෙසේ බයිසිකලයෙන් ගමන් ගනිද්දී මීපේ මුස්ලිම් පල්ලියට ආසන්න ස්ථානයකදීය.

එල්. ටී. ටී. ඊ. සේම ජේ. වී. පී. ගැටුම් ගැනද කෙනකුට තමන් සිටින තැන සිට විවිධ නිර්වචන දිය හැකිය. නමුත් පහත සත්‍ය කාරණා ප්‍රතික්ෂේප කළ නොහැකිය.

1. එල්. ටී. ටී. ඊය සේම ජේ.වී. පී.යද සන්නද්ධව සටන් කළේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කොට ගැනුණු ආණ්ඩු වලට එරෙහිවය. එසේ හෙයින් ඔවුන් අවි ගෙන විරුද්ධත්වය පෑයේ අන් කිසිවකට නොව මෙරට මහාජන කැමැත්තටයි. (මහජනයා හරිද වැරදිද යන කාරණය මෙතැනදී අදාළ නොවේ. )

2. මේ අවස්ථා දෙකේදීම රාජ්‍ය මර්ධනය සිදු වූ මුත් එය ස්වාභාවික ප්‍රතික්‍රියාවකි. ඔසාමා බින් ලාඩන් හා සදාම් හුසේන් ඇමෙරිකාවට එරෙහිව සටන් වදිද්දී කිසිම ඇමෙරිකානු ජනාධිපතිවරයකු බකන් නිලාගෙන සිටියේ නැත. අපේ රටේ ආණ්ඩු විසින් අනුගමනය කරන ලද්දේද ත්‍රස්තවාදය මැඬැලීමේ සාමාන්‍ය ක්‍රියා පිළිවෙතයි.

කොයිතරම් වැරදි, දුර්වලතා තිබුණද ඒ සියල්ල අමතක කොට වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මා ගරු කරන්නේ එල්. ටී. ටී. ඊ. සේම ජේ. වී. පී. මිනීමරුවන්ගේද හොම්බ බිම අතුල්ලන්නට සමත් වූ එකම නායකයා ඔහු බැවිනි. එල්. ටී. ටියට සේම ජේ. වී. පී.යටද තමන් සිටිය යුතු තැන කවරේද ඔහු විසින් පෙන්නා දී තිබේ. එය පක්ෂ භේදයෙන් තොරව රටේ අභිවෘද්ධිය පතන්නන්ගේ ඇගැයීමට ලක් විය යුත්තකි.

26. මඩකලපුවේ මහ ගංවතුරට බැස්සෙමි.

සර්වෝදයේ මඩකලපුව දිස්ත්‍රික් ශාඛාවේ ආධුනික ඡායාරූප ශිල්පී සොහොයුරකු විසින් ගන්නා ලද මේ ඡායාරූපය මඩකලපුවේ ගංවතුර ව්‍යසනය විදහා දක්වන හොඳම පින්තූරයය සිතමි. මවිසින් ලබා දෙනු ලදුව මේ ඡායාරූපය TIME ඇතුළු තවත් ජාත්‍යන්තර හා විදේශීය ජනමාධ්‍ය කිහිපයකම පළවිය.

2011 ජනවාරි 11 උදේ, සතුරුකොණ්ඩාල්, මඩකලපුව

“මොකද කරන්නේ?” නිශාන්ත අසයි.

මම නිහඬව සිටිමි. යමක් කීම පහසුය. එහෙත් මා නිවැරදි වීම හා නොවීම අතර දැවැන්ත වෙනසක් තිබියදී කිසිවක් නොකීම වඩා හොඳය.

හාත්පස පරිසරය වචනයට නැඟීම උගහටය. අඳුරු අහස. නොකඩවා ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව. ගහකොළ අඩු හිස් බිමෙහි බැලූ බැලූ අත පෙනෙන බොර වතුර.

මිනිස්සු, ගැහැණු ඉණ වටක්, කරවටක් ජලයේ බැස බයිසිකල්, ගෝනි, කෙහෙල් කැන්, ඇඳුම් ඔළුවට උඩින් උස්සාගෙන, කුඩා දරුවන් වඩා ගෙන යති. ඔවුන්ගේ මුහුණු මළානිකය. වෙහෙසකරය.

අප ඉදිරියේ පාර කිලෝමීටරයක් පමණ දුර ගංවතුරට යටව ඇත්තේය.

“යන්ඩ බෑ මාතිය. යඩි තුනක් හතරක් වතුර…යුදේ ඉඳන් ගියෙ ට්‍රැක්ටරේ විතරයි”

දැනමුත්තෝ අපට කැඩිච්චි සිංහලෙන් දැනමුතුකම් දෙති. පාරේ පසෙක මේ දැනමුතුකම් අසා නතර වූ වාහන පෝලිමකි.

“නිශාන්ත, යන්න බෑ මචං. අර අඩි තුනක හතරක වතුරෙ වෙහිකල් එක නතර වුණාය කියන්නෙ අපට ජීවිතේට කාල නැති කට්ටක් කන්න වෙන්නෙ” ඒ සුජීවය.

ඔහු කියන්නේ ඇත්තය. අපට මේ ධාරානිපාත වර්ෂාවේ නාගන්නවා මදිවාට, මදි නැතුව බැනුම් අහන්න වෙන වැඩකි ඒ. අනෙක මේ තීරණාත්මක අවස්ථාවේ වාහනය කැඩෙනවාය කියන්නේ අතපය කැඩෙනවාට සමාන වැඩකි.

“යමුකො බලන්න, මෙච්චර දුර ආවෙ මෙතැනින් හැරිල යන්න නෙවෙයිනෙ”

අවසානයේ රියැදුරා කථා කරයි. ඔහු ඒ කියන්නේ සියළු දුෂ්කරතා ගැන කල්පනා කර බලාය මම සිතමි. වාහනය වතුරේ නතර වී නම් වැඩිම වගකීම ගත යුතු වන්නේ ඔහුය.

යෝජනාවට පක්ෂව ඡන්ද දෙකයි.(නිශාන්ත, රියැදුරා) විපක්ෂව එකයි. (සුජීව) ප්‍රකාශ නොකළ ඡන්ද සංඛ්‍යාව එකයි. (මම!) යෝජනාව වැඩි ඡන්ද එකකින් සම්මත වේ. රියැදුරා four wheel drive පණ ගැන්වීම ඇතුළු ගත හැකි සියළු ආරක්ෂක උපක්‍රම ගෙන ඇක්සලරේටරයට පා තබයි.

අපි නේරංජනාව තරණය කරමු. යන්නේ සිව් රෝදයකද බෝට්ටුවකද හිතා ගන්නට බැරිය. බොර වතුර මැදින් අපි සීරුවෙන් ඉදිරියට ඇදෙමු. අවස්ථා දෙකකදී තත්පර කීපයකට ඩෑෂ් බෝඩ් එකේ සියළු එළි දැල් වේ. කල්පයක් සේ හැඟුණු මිනිත්තු කිහිපයකට පසුව අපි අනෙක් ඉවුරට සැපත් වෙමු.

“ඩෑෂ් බෝඩ් එකේ ලයිට් පත්තු වෙච්චි විදියට මම නම් හිතුවෙ බබා හම්බ වුණා කියල” මම කියමි.

“බොනට් එකට උඩින් වතුර ගියාම එහෙම වෙනවා” රියැදුරා කියන්නේ ගාණක් නැතිවය.

මේ අපි එරාවුර් මඩකලපු මාර්ගය ඔස්සේ ජලයෙන් යටවූ මඩකලපුවට පිවිසි හැටිය.

2011 ජනවාරියේ මා සිටියේ ගෙදරය. නියත රැකියාවක් නැතිවය. වැඩ ටිකක් තිබුණත් අළුත් අත්දැකීමකට මම කැමැති වීමි. ත්සුනාමියට පසුව වූ දරුණුම ස්වභාවික ව්‍යසනයට නැඟෙනහිර හා උතුරු මැද පළාත් ගොදුරුව ඇතිය ඇසූ විට එහි යන්නට මට ක්ෂණික ආසාවක් මතුවූයේය. මම සර්වෝදය මහ ලේකම් ආචාර්ය වින්‍යා ආරියරත්නට කතා කළෙමි.

“ඩොක්ට, මම ගෙදරට වෙලා නිකං ඉන්නෙ. මගෙන් ගන්න පුළුවන් වැඩක් ඇතිනම් ගන්න.”

“චානුක කතා කරපු එක හොඳයි. අපේ වෙහිකල් එකක් යනවා තව ටිකකින් රිලීෆ් මැටීරියල් ටිකකුයි ටීම් එකකුයි අරගෙන. ඒ ගොල්ල එක්ක ගිහින් මට සිටුවේෂන් රිපෝට් එකක් දෙන්න. එතකොට අපට තව කරන්න ඕනැ මොනවද කියල තීරණය කරන්න පුළුවන්. මං ඔයාව පික් කරන්න කියන්නම්” ඔහු කීවේය.

මා ඒ ගමනට එක්වූයේ එසේය.

මේ ගමන ගැන මා යළි සටහනක් නොතැබිය යුත්තේ ඒ කාලයේදීම ලක්බිමට ලියූ කෙටි ලිපියක් ඇති නිසාය. එයයි පහත පළ වන්නේ.

A5 මාර්ගය දින දෙකක් ජලයෙන් යටව තිබී වාහන ගමනාගමනයට විවෘත කරන ලද්දේ අප එහි ළඟාවූ දින උදෑසනය. මේ ඈත සිට ගහකොළ ගංවතුරට ගසාගෙන විත් තිබුණු අයුරුයි.

සතුරුකොණ්ඩාල් වලට කිලෝමීටරයකට පෙර

ජලයෙන් යට වූ මඩකලපු නගරය

ජලයෙන් යට වූ මඩකලපු නගරය

මඩකලපුව "කලපුව" තරණය කිරීම

ව්‍යසනයේම පාර්ශවයක් වී ව්‍යසනය දැකීම

චානුක වත්තේගම

ස්වාභාවික ව්‍යසනයක් දුරින් සිට නැරඹිය නොහැකිය. ස්වාභාවික ව්‍යසනයක් සැබෑ ලෙස දැකිය හැක්කේ එහි පාර්ශවයක් වෙමින්ම පමණෙකි.

ගල් ඔය මිටියාවතෙහි සිටියදී ගංවතුරකට කොටු වීමෙන් තමන් ලද අත්දැකීම් ගුණදාස ලියනගේ විසින් ‘ගුවනින් ගිය ගොඩයා’හි විස්තර කරනු ලදුව මා කියැවූයේ බාල අවදියේය. ජනවාරි දහවැනිදා සිට දොළොස්වනදා තෙක් මඩකලපුවෙහි මා මැදිව සිටියේ එවැනිම ගංවතුරකටය. එකම වෙනස මා මේ ගංවතුරට කොටුවූයේ සිය කැමැත්තෙන් වීමය. මගේ ඉල්ලීමකට කන් දීමක් වශයෙන් ස්වකීය සහන සේවා වැඩ පිළිවෙළකට ස්වේච්ඡා සේවකයකු සේ මා ඇතුළු කොට ගත්තේ සර්වෝදයයි. අපේ ගමනාන්තය වූයේ ගංවතුරින් දැඩිම පීඩාවට ලක්වූ මඩකලපුව දිස්ත්‍රික්කයයි.

දින කිහිපයකට පෙර නාය යෑම් වලින් මහ මඟ මත ගොඩ නැඟී ඉතා මෑතකදී ඉවත් කළයි සිතිය හැකි පස් කඳු හා කඩා වැටුණු ගස් අතුරින් රජමාවතෙහි මැදියම් රැයෙහි ඉදිරියට ඇදුණු අප රිය පදියතලාවෙහි මඳ ඉසඹුවෙකට නතර වූයේ පසුදා පාන්දර තුනට පමණය. ඒ දහවැනිදා වන විට ගංවතුර ගලා යට නොවී ඉතිරිව තිබූ එකම මාර්ගය වූ ‘ඒ5’ ඔස්සේ මහඔය, එරාවූර් හරහා මඩකලපුවට ළඟා වීමටයි. අපට ආරංචි වූ හැටියට මඩකලපුවට පිවිසිය හැකි ප්‍රධාන මාර්ගය ඒ වන විට මනම්පිටිය පාලම මත අඩි තුනෙකට වඩා ඉහළට ගොඩ නැඟුණු ජල කඳෙකින් යටව තිබුණේය.

ජනවාරි දහ වැනිදා මඩකලපුව නගරය ගොඩබිමින් සම්පූර්ණයෙන්ම වෙන්ව දූපතක්ව තිබුණේය කීම අතිශයෝක්තියක් නොවේ. සීතාණ්ඩි සිට එරාවුර් මඩකලපු ප්‍රධාන මාර්ගය කිලෝමීටර් හතරක් අඩි තුන හතරක ගැඹුරකට ජලයෙන් යටව තිබුණේය. අතුරු මාර්ග වලින්, පැය තුන හතරක වෙහෙසකින් අප නගරයට පිවිසුණේ අඩි තුනෙක පමණ ගැඹුරක කෙටිදුර සඳහා ගමන් කළ ජීප් රථය පැදවීමෙන් පසුවය. සියළු සැපැයුම් මාර්ග අවහිරව තිබුණු අතර රජයට සහන සේවා ගෙන ඒමට සිදුවූයේ ගුවන් මාර්ගයෙනි.

වචන වලට නැඟිය නොහැකි මා දුටු ව්‍යසනයක අන්දරය මේ පින්තූර වලට කියන්ට ඉඩ දීම වඩා සුදුසුය.

ඊට එක් කළ හැක්කේ මඩකලපු වැසියන් අත්දුටු ගංවතුර ව්‍යසනය මොනම ආකාරයෙකින් වත් අපට කොළඹ සිට අවබෝධ කළ නොහැකි වූ විඳිය නොහැකි වූ අත්දැකීමක් වූ බව පමණෙකි. ජනවාරි අට වැනිදා හෝ නව වැනිදා පටන් අවතැන් වූවන්ට සහන ලබාදීමට විධිමත්ව සංවිධානය වූ වැඩ පිළිවෙලක් ජනවාරි දොළොස්වනදා මා මඩකලපුවෙන් නික්මෙන තෙක්ම දකින්ට නොලැබුණේය. අපි දොළොස්වැනිදා උදයේ ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ මඩකලපු කලපුවේ එක් පසෙක සිට කලපුව හරහා අනෙක් පැත්තට ආහාර ද්‍රව්‍ය, පානීය ජලය හා අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සේම සෞඛ්‍ය පහසුකම් ලබා දීම සඳහා වෛද්‍ය කණ්ඩායම් ගෙන යන මෙහෙයුමක කොටස්කරුවෝ වීමු. කලපුව පිරී ඉතිරී ගොස් ඒ මැදින් ගමන අතිශය අන්තරාකාරී වූ නිසාද, මහ වැසි මැද ඒ කළ නොහැකි වූ බැවින්ද මේ සියළු කටයුතු කළ හැකි වූයේ බෙහෙවින් මන්දගාමීවය. මේ ත්සුනාමියට පසු අප ක්‍රියාත්මක වූවාට වඩා ඉතා සෙමෙනි. අවසානයේ වෛද්‍ය කණ්ඩායමට තම මෙහෙවර අතරමඟ නිමාකොට හැරී යන්ට සිදුවූයේ මහ වැසි ඔවුන්ගේ කටයුතු මුළුමනින්ම අඩාල කළ හෙයිනි.

උතුරු, නැඟෙනහිර හා උතුරු මැද පළාත් මුහුණ දුන් මේ ගංවතුර ව්‍යසනය ත්සුනාමියෙන් පහු අපේ රටේ ඇතිවූ භයානකම ස්වභාවික ව්‍යසනයය මම සිතමි. එය ත්සුනාමියෙන් වෙනස් වූයේ මරණ සංඛ්‍යාවෙන් පමණය. අවතැන් වූවන් සංඛ්‍යාවෙන් හා විනාශ වූ දේපොළ වලින් මේ ගංවතුරද ත්සුනාමි හා කරට කර සිටියේය. ත්සුනාමියෙහිදී මෙන් නොව සහන සේවක කණ්ඩායම් වලට මුහුණ දෙන්ට දිගින් දිගටම වර්ධනය වෙමින් පවතින ව්‍යසනයකටය. උදාහරණයක් හැටියට අපට කොළඹ එන්ට වේද නොවේද දොළොස්වැනිදා උදයේත් අපි නොදැන සිටියෙමු. මොහොතක එළියක් නැතිව පාන්දර සිට වැසි වැටුණු අතර ගංවතුර මට්ටම් ඉහළ යමින් පැවැතිණි. අප යද්දී ජලයෙන් යට නොවී තිබුණු එරාවුර් නගරය එද්දී යටවී තිබිණි. ඒ අවස්ථාවෙහි පිට නොවූයේ නම් අප තවදුරටත් මඩකලපුවෙහි සිරවනු ඇති බව නිසැකය. මේ දින කිහිපය තුළ මරණ සංඛ්‍යාවෙහිද ඍජු නැඟීමක් දැකිය හැකි වූයේ සීතටත් අයහපත් කාලගුණයටත් වඩා වෛද්‍යාධාර ලැබීම් පමාවීමෙන්ය සිතමි. බොහෝ ගම් වලට වෛද්‍යාධාර තියා ආහාර පවා ගෙනයායුතු වූයේ අඩි තුනක් හතරක් ජලයේ බැස ගෙනය.

අවතැන් කඳවුරු වලදී මට මුණගැසුණු මඩකලපු වැසියන් කැඩිච්ච සිංහලෙන් කීවේ, වැසි ජල ගැලීම් මඩකලපුවට සුලබ වුවද, මෙවන් විපතක් අත්දුටු පළමු වතාව මේ බවය. ඔවුන්ගේ ලොකුම ප්‍රශ්නයක්ව ඇත්තේ මේ අවසාන වතාවද නැතොත් ඉදිරියේදී වඩා සුලබව ඇති විය හැකි ව්‍යසන රැල්ලක පළමුවැන්නද යන්නය. ඊට දිය හැකි පිළිතුරක් මා සතුව නොවේ.

ඡායාරූප: සර්වෝදයෙනි.

_______________________________

මේ අප ඒ ගමනෙන් තවත් ප්‍රයෝජනයක් ගෙන විදේශවලින් ආධාර රැස් කිරීම පිණිස නිර්මාණය කළ වීඩියෝවකි. හදිසියේ පෙර සූදානමකින් තොරව කළ එකක් නිසා “ප්‍රොෆෙෂනල් වැඩක්” නොවේ. මෙහි සංස්කරණය සිදුවූයේ විදේශිකයන් කිහිපදෙනකු අතින් නිසා තහවුරු නොකළ දත්ත කිහිපයක් ඊට ඇතුළත්ව ඇත. ගංවතුර නිසා බිම් බෝම්බ තර්ජනයක් ඇති වී තිබේය කීම ඔවුන් The Sunday Leader පුවත්පතින් උපුටා ගත් එබඳු තහවුරු නොකරන ලද ප්‍රකාශයකි. අප විසින් ලබා දුන් දත්තයක් නොවේ. (මඩකලපුවේ එබඳු තත්ත්වයක් නොවීය.) මගේ ඉල්ලීම පරිදි කතන්දර විසින් මෙම වීඩියෝව තම බ්ලොග් එකෙහි පළ කරන ලද අතර ඊට මගේ ස්තුතිය හිමිවේ.

25. මහ බැංකුවේ සැම්සන්ගෙ කතන්දර (ඒ වාගෙ පුර්ෂයො අද කාලේ නෑහ්!)

මහ බැංකුවෙ ඔස්කාගෙ කතන්දර සටහනට හොඳ ප්‍රතිචාර ලැබුණා කියමුකෝ. කවුදෝ pdf කරලා මහ බැංකුව තුළ විසරණය කරපු ඊ-මේල් එකක් සැලකිය යුතු පිරිසක් කියවා තිබුණා. මොකද කථා නායකයා ජනප්‍රිය චරිතයක්නෙ. පහුගියදා දේශනයකට සවන් දෙන්නට ආපහු බැංකුවට ගියාම ඒ ගැන ගොඩාක් දෙනෙක් මතක් කළා. මා ප්‍රශ්නයක් අහන්න නැඟිට්ටාමත් කට්ටියට හිනා යනවා. “ඔස්කා”ව මතක් වෙලා.

අද කියන්න යන්නෙත් ඒ වගේම ජනප්‍රිය චරිතයක් ගැන. වෙනසකට මේ ලිපිය මුලින් අදාළ පුද්ගලයාගෙ නමින් ලියලාත් පසුව වෙනස් කළා කවුරුන් හෝ වරදවා වටහා ගනී කියලා. අනේ, නමින්ම ලිව්වේ අගෞරවයකට හෙම නෙවෙයි. මේ මා මහ බැංකුවේ සේවය කරද්දී ඉතාම ගරු කළ කිහිප දෙනා අතරින් කෙනෙක්. නමින්ම ලියන්නද කියලා ඔහුගෙන් ඇහුවා නම් ලැබෙන පිළිතුර මේකයි කියලා මට සහතිකයි.

“ඔන්න ඔහෙ ලියල දාන්න. චානුක දන්නවනෙ මම කෙළින් කතා කරන, හැංගි හැංගි වැඩ නැති මනුස්සයෙක් කියල”

ඒ වුණත් ඔහු මේ සටහන තුළ සිටිනවා නිර්නාමිකව.

සැම්සන් මහත්තයා මට ජීවිතයේ හමු වූ අවංකම නිලධරයෙක්. මා හඳුනා ගන්නා කාලෙ ඔහු එකල මහ බැංකුව යටතේ පැවැති චෙක් පත් නිෂ්කාශනාගාරයෙ ජ්‍යෙෂ්ට නිලධරයෙක් හැටියට තමයි වැඩ කළේ. තේරෙන බාසාවෙන් කිව්වොත් Cheque Clearing- House එකේ. වයස 50-55 විතර. ඔහු තරම් චෙක් ගැන දන්නා කෙනෙක් තවම මට හමු වී නැහැ. ඇවිදින විශ්වකෝෂයක්. මා චෙක්පත් ගැන දන්නා දේවල් වලින් 10% ඉගෙන ගත්තේ දහයෙ පන්තියෙදි වාණිජ විෂයට. ඉතිරි 90% ඉගෙන ගත්තේ සැම්සන් මහත්තයා ගෙන්.

“හරියට බැලුවොත් A/C Payee කියන රේඛණයේ කිසිම නෛතික වලංගුතාවයක් නැහැ” සැම්සන් දවසක කිව්වා.

“ඒ කොහොමද?” මා ඇහුවා. මොකද මගේ නමට A/C Payee කියලා රේඛණය එන චෙක් එකක් වෙන කෙනෙකුගේ ගිණුමකට දැම්මොත් ඒක ප්‍රතික්ෂේප වෙනවා අනිවාර්යයෙන්ම. ලංකාවෙ විතරක් නෙවෙයි, ලෝකෙ කොහෙත් එහෙමයි.

“A cheque is an order you give to your bank. How can you order the receiver’s bank?”

 සැම්සන් චෙක් ගැන කොයිතරම් ගැඹුරට කල්පනා කර තියේද කියා තේරුම් ගන්න මේ උදාහරණයම වුණත් ඇති.

 සැම්සන් අපේ දෙපාර්තමේන්තුවේ වාර්තාවකටත් හිමිකරුවෙක්. එක සැරේ කාර් හයක් හප්පලා. කාර් හයක් හප්පලා ඩැමේජ් කරන එක ලේසි පාසු වැඩක්ද? මේ සිද්ධිය වුණේ ලංකා බැංකු ගොඩනැඟිල්ලෙ රථ ගාලෙදි, සැම්සන් පළමු වතාවට තමන්ගේ auto gears සහිත වාහනේ එළවපු දවසෙ.

කොයි තරම් අවංක වුණත්, විශාරදයෙක් වුණත් සැම්සන්ටත් දුර්ලවතා දෙකක් තිබුණා. (නැත්නම් මේ කතන්දරේ මෙතැන නෑනෙ.) එකක් ඔහු කුකුල් කේන්තිකාරයකු වීම. දෙක, මෙහෙම කේන්ති ගියාම දෙයියන්නාන්සෙට වුණත් කියන දේ මූණටම කීම.

ඔන්න කණිෂ්ඨ නිලධරයකු කාලේ (ඒ කියන්නෙ මා ඔහු දැන ගන්නටත් වසර දහ පහළොවකට ඉහත) සැම්සන්ට විදේශ සම්මන්ත්‍රණයකට සිංගප්පූරුවට යන්න ලැබෙනවා ලොක්කාත් එක්කම. දැන් කොහොම වුණත් මේ යුගයෙ මහ බැංකුවෙ ලොක්කන් හා පොඩ්ඩන් අතර පරතරය අනෙක් රාජ්‍ය ආයතනයන්හි වගේම විශාලයි. කොතැනදී වුණත් ඉහළ නිලධරයාට ගරු කළ යුතුයි. දෙපාර්තමේන්තු ප්‍රධානියා එක්ක ඉන්න කොට ඔහු කියන දෙයක් මිස තමන්ට කැමැති දෙයක් කරන්න බැහැ. ඒ හන්දා දවසක හවස ලොක්කා සැම්සන්වත් ඇදෙගෙනම යනවා මොහොමඩ් මුස්තාෆා එකට ගෙදර ගෙනියන්න බඩු ටිකක් ගන්න.

ලොක්කාගෙ නම සමරසිංහ කියමුකො. (අන්වර්ථ නාමයක්) ඔහු තනිව තීරණයක් ගන්න බැරි (indecisive) චරිතයක්. බැංකුවෙ වැඩ වලට විතරක් නෙවෙයි, පිටතත් එහෙමයි. හැම එකටම second opinion එකක් ඕනැමයි.

දැන් දෙන්නා මුස්තාෆා එකේ බිම් මහලෙ සාරි තෝරනවා. හරියටම කිව්වොත් ලොක්කා සාරි තෝරනවා, සැම්සන් බලාගෙන ඉන්නවා.

“සැම්සන්, මේක කමලට හොඳයිද බං?” ලොක්කා අහනවා. කමලා කිව්වෙ ලොක්කාගෙ බිරිඳ.

“ඔව් මිස්ටර් සමරසිංහ හොඳ ඇති.” (ඒ නැතුව සැම්සන් වෙන මොනවා කියන්නයැ.)

“නෑ බං කමල මේ පාටට කැමැති වෙන එකක් නෑ”

“ඔව් මිස්ට සමරසිංහ එහෙම වෙන්න ඇති”

දැන් ලොක්ක තව සාරියක් ගන්නවා.

“සැම්සන්, මොකද කියන්නෙ මේක කමලට හොඳද?”

“ඔව් මිස්ටර් සමරසිංහ හොඳ ඇති.”

“නෑ බං කමල මේ පාටට කැමැති වෙන එකක් නෑ”

“ඔව් මිස්ට සමරසිංහ එහෙම වෙන්න ඇති”

………………

………………

ඔය විදියට එකම දෙබස් ඛණ්ඩ ටික තුන් හතර සැරයක්ම පුනරුච්චාරණය වුණා. දැන් සැම්සන්ට ෆ්ලවර් ජම්ප් වෙලා ඉන්නෙ. ඇයි මේක මළ කරදරයක් වෙලානෙ. අර හාමුදුරුවො බණ කියනකොට වගේ හැම එකකටම “එහෙයි” කියන්න වෙලා.

ලොක්කා තව සාරියක් අතට ගත්තා.

“සැම්සන්, මේක කමලට හොඳයිද බං?”

ඔන්න සැම්සන්ට රතු ඉර පැන්නා.

“තමුසෙගෙ ගෑනි ගැන තමුසෙ දන්නෙ නැත්නම් ඕයි, මමද දන්නෙ?”

ලොක්කා සිංගප්පූරුවෙ ඉඳන් සියළුම වැඩ කටයුතු අහවර කරලා ආපහු ලංකාවට එනකල්ම සැම්සන් එක්ක වචනයක් වත් කතා නොකළ බවයි ආරංචිය. ලංකාවට ආවයින් පස්සෙත් සමාව දීල තියෙන්නෙ දෙතුන් සැරයක් සමාව ඉල්ලලා දෙපාර්තම්න්තුවේ අනෙක් අයත් බැගෑපත්ව ආයාචනා කළායින් පස්සෙ. සැම්සන්ට සමාව ඉල්ලන්න කියලා බල කළෙත් දෙපාර්තමේන්තුවෙ යාළුවොම තමයි. නැතුව රස්සාව නැති වුණත් සැම්සන් දෙපාර්තමේන්තු ප්‍රධානියාටවත් නැවෙන පුද්ගලයෙක් නෙවෙයි.

කලාතුරෙකින් ඔහොම වුණාට සැම්සන් යාළුවන්ට ඕනෑම උදව්වක් කරන්න කැමැති, ස්ථානෝචිත ප්‍රඥාවකින් යුතු කෙනෙක්. නවකයකු හැටියට මාව අමාරුවේ වැටෙන්නට ගිය අවස්ථා වලදී ඔහු විසින් බේරාගත් අවස්ථා කිහිපයක් තියෙනවා. මේ එයින් එකක්.

මට මතක හැටියට ඒ මහ බැංකුවෙ අධිපති තුමා එක්ක දෙපාර්තමේන්තු හමුවක්. සමහර විට මේ වගේ මීටින් හරිම කම්මැලි වැඩක්. සැම්සන් තමයි ප්‍රසන්ටේශන් එක කරමින් හිටියේ. ඔහුටත් තමන් කැමැති විෂයයක් ගැන කතා කරන්න ගියාම කවුරුත් අහගෙන ඉන්නවාද නැද්ද ගැටළුවක් නෑ. ඔහේ කියවාගෙන යනවා. අපිත් ඉතින් කය මීටිමේ තියල හිත ලෝකෙ වටේ යවන එක තමයි කාරිය.

අධිපතිතුමා නම් මේ වගේ අවස්ථා භාවිතා කළේ වෙන වැඩකටයි. මොකද ඔහුට අපට වගේ හැන්දෑවෙ පහට පොත අස්සන් කරලා ගෙදර යන්න බැහැ. රෑට පාටි, භෝජන සංග්‍රහ වලට සහභාගි වීමත් රාජකාරියෙම කොටසක්. ඒ මදිවාට ඒ කාලෙ ජනාධිපති චන්ද්‍රිකා මැඩම් එක්ක වැඩ කරන්න ගියාම රැයක් දවාලක් නෑ. කීයට හරි එනකල් බලාගෙන ඉන්න ඕනැ. කවදාවත් වෙලාවට ආපු කෙනෙක්යැ. ඉතින් ඔය විදියට රෑට අහිමි වෙන නින්ද පොඩ්ඩක් ලබා ගන්න තමයි මේ කාලෙ අධිපති ඒ. එස්. ජයවර්ධන මහත්තයා භාවිතා කළේ. වැඩි වෙලාවක් නෙවෙයි මීටිමක් මැද්දේ මිනිත්තු තුන හතරක කුකුළු නින්දක්. මේකෙන් කාටවත් හිරිහැරයක් නොවුණා වගේම කවුරුත් ඒකෙ වැරැද්දක් දැක්කෙත් නෑ.

එදත් මීටිම පොඩ්ඩක් නෙවෙයි හොඳටම බෝරිං හන්දා ගවනර් පොඩි කුකුළු නින්දක හිටියේ, සැම්සන් ඔහේ කතා කරගෙන ගියා.

මාත් හිටියෙ පුදුම කම්මැලිකමකින්. ඒත් මට නිදාගන්න බෑනෙ. ඉතින් ඔහේ කාලෙ කන්න අතේ තිබිච්චි බෝල්පොයින්ට් පෑනයි රබර් පටියකුයි එහාට මෙහාට කරකවා කරකවා හිටියා. මේක ඉතාම නරක පුරුද්දක්. අප කල්පනා නොකළාට ප්‍රතිඵල භයානක වෙන්න පුළුවන්.

එක පාරටම රබර් පටිය ගැස්සිලා පෑනේ කොපුව (විල්ල) ඉගිල්ලුනා.

මර්ෆිගේ නියමයක් තියෙනවා A falling body always rolls to the most inaccessible spot. කියලා. මටත් වුණු දේ මීට සමානයි. විල්ල ගිහිලා වැටුණා වැටෙන්න පුළුවන් නරකම තැනෙකට. දැන් ඒක මේසේ අනෙක් පැත්තෙ වාඩිවෙලා හිටිය අධිපතිතුමන්ගේ ඉස්සරහ තිබුණු වතුර වීදුරුවෙ පාවෙනවා. (එක අතකට ඒක හොඳයි. තව ටිකක් හයියෙන් ගියා නම් අධිපතිතුමාගෙ නළලෙ වැදෙන්නත් තුබුණා මිසයිලයක් වගේ.)

අමරානන්ද සෝමසිරි ජයවර්ධන මහතා - අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව (1995-2004)

කාමරේ වෙච්චි දේ හිතා ගන්න පුළුවන්නෙ. නියෝජ්‍ය අධිපතිතුමායි, විධායක අධ්‍යක්ෂතුමායි රවනවා මාව බැල්මෙන් දවා අළු කරන්න වගේ. අපේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමිය ඈත ඉඳන් අතින් මොනවාද කියන්න හදනවා පැහැදිළි නෑ. ඒ අස්සෙ අපේ උන් ටික අතින් කට වහ ගෙන හිනාවෙනවා. අධිපතිතුමා තාම නිදි. ඇහැරෙන්න කලින් කුමක් හෝ කළ යුතුයි. ඒත් කාටවත් සිහි නෑ මොකක් කරන්නද කියලා.

අධිපතිතුමා ඇහැඇරලා, වීදුරුවෙ පාවෙන විල්ල දැකලා “How this came to my glass?” ඇහුවනම් මට විතරක් නෙවෙයි හැමෝටම බඩු බනිස් තමයි. මොකද බොරු කියලා අන්දන්න පුළුවන් කෙනෙක් නෙවෙයි ඒ. එස්, ජයවර්ධන මහත්තයා කියන්නේ. කවුරු හරි බොරු කියනවා කියල හිතුන නම් ප්‍රශ්න හැටක් හරි අහල ඇත්ත හොයා ගන්න සූරයා. ඇත්ත හොයා ගන්න කල්ම ප්‍රශ්න අහනවා.

ඔන්න ඔය වෙලේ තමයි සැම්සන් මගේ ගැලවුම්කාරයා වුණේ.

මතකයිනෙ සැම්සන් එවෙලෙ හිටියෙ ප්‍රසෙන්ටේශන් එක කරමින් කියලා. ඔහු අතට ගත්තා කිට්ටුවක තිබුණු වෙන නොඉඳුල් වතුර වීදුරුවක්. කතාවෙ ස්වරයේ හෝ වේගය පොඩ්ඩක් වත් වෙනස් නොකර කාමරේ ඇවිදින්න පටන් ගත්තා. දේශකයාට ඉතින් කාමරේ ඇවිදින්න බාධාවක් නැහැනෙ. නීතියක් නෑනෙ එක තැනම ඉඳගෙන කතා කරන්න ඕනැ කියල.

අධිපතිතුමා කිට්ටුවට ආව විතරයි, එකපාරටම වීදුරු දෙක මාරු කළා. දැන් විල්ල තියෙන වීදුරුව ඔහුගෙ අතේ. පුදුමෙ කියන්නෙ මේ සියල්ල කළේ කතාවෙ ස්වරය හෝ වේගය පොඩියක් වත් වෙනස් නොකර.

අධිපතිතුමන් ඇස් ඇරියෙ හරියටම ඊට තත්පරයෙන් කොටසකට පසු කියල කියන්න පුළුවන්. හැබැයි එතකොට සැම්සන්ගෙ මිෂන් එක ඉවර වෙලා අහවරයි.

දැන් කාමරේ ඉන්න එවුන්ට බකස් ගාල හිනා යන තරමට. අමාරුවෙන් හිනාව තද කරගෙන ඉන්නෙ. ඒත් අධිපති තුමා ඉස්සරහ හිනා වෙන්න බෑනෙ. කට්ටියම බැරෑරුම් පෙණුමක් ආරූඪ කරගෙන හිටියා. අධිපතිතුමන්ටත් තේරුණා මොකක් හරි වුණා තමයි කියලා. ඒත් විමසන්න තරම් දෙයක් නෑ. සැම්සන් දිගටම ප්‍රසන්ටේශන් එක කළා. නොන් ස්ටොප්.

(සැම්සන් මේ ආදර්ශයෙන්ම පෙන්නුවේ වැදගත් දෙයක්. කණ්ඩායමක පොඩි එකෙක් අමාරුවේ වැටුණාම තමන් අවදානමක් අරගෙන හරි ගොඩ දාන එක ජ්‍යෙෂ්ටයන්ගේ වගකීම. එතකොට තමයි “ටීම් ස්පිරිට්” එකක්, කණ්ඩායම් හැඟීමක් ඇතිවෙන්නේ. සැම්සන් එහෙම කළායින් පස්සෙ ඔහු කියන කිසිම වැඩක් මට ප්‍රතික්ෂේප කරන්න බැහැනෙ.)

මහ බැංකුවෙන් අයින් වුණාට පස්සෙ මගේ මානුෂික සම්බන්ධතා බොහොමයක් බිඳ වැටුණා. සැම්සන්ගේ මරණය මා දැන ගත්තෙ පසුව අශෝක හඳගම හමු වෙන්න ගිය වෙලාවක දැන්වීමකිනුයි. ඒ මා සැබැවින්ම දුක් වූ දවසක්.

 සැම්සන්ගැන කියන කොට මට මතක් වෙන්නේ ‘කවුද බෝයි’ ගීතය.

ඒම තමයි ඒ කාලෙ වීර පුර්ෂයෝ
ඒ වාගෙ පුර්ෂයො අද කාලේ නෑහ්.

24. ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම රජයේ නිලධරයාය.

(මේ ලිපිය ලිවූයේ මැයි දහ අට වැනිදා යුද්ධයේ නිමාවේ දෙවැනි සැමරුමට සමගාමීව පළ කරනු පිණිසය. එහෙත් ඒ වන විට මා දරණ තනතුර අනුව එවැන්නක් මගේ නමින් පළ වීම නොහොබී. එනිසා මේ ලිපිය වෙනස් කිරීම් කිහිපයකින් පසුව අද, මැයි පස් වැනිදා, පළ කරමි. මේ ලිපිය ලියන්නේ පුරවැසියකු සේ රජයේ විශිෂ්ටතම නිලධරයකුගේ සේවය ඇගැයීම පිණිසය. ඔහු එවැන්නක් බලාපොරොත්තු නොවන බව දනිමි.)

කුරුක්ෂේත්‍ර යුද්ධයට මොහොතකට පෙර අර්ජුනගේ සිතෙහි අතිශයින් සාධාරණ ගැටළුවක් මතුවේ. තව මොහොතකින් තමන් මුහුණට මුහුණ ලා සටනට එළඹෙනු ඇත්තේ තම ලේ ඥාතීන් සමඟය. තමන් අතින් මිය යනු ඇත්තේ නෑකමින් මී-මුත්තා වන භීෂ්මය. තමන් මිහි මත දක්ෂතම දුනුවායා බවට පත් කළ ආදරණීය ගුරුවරයා ද්‍රෝණය. මිතුරා අශ්වතමය. ඥාති සහෝදරයන් සිය දෙනාය. යුද්ධය මේ මහා ඥාති සංහාරය සාධාරණීකරණය කරන්නේද? ඔහු මේ උභතකෝටිකය යොමු කරන්නේ තම රථාචාර්යයා වන ක්‍රිෂ්ණාටය.

අර්ජුනගේ ප්‍රශ්න හා ක්‍රිෂ්ණා අර්ජුනට දුන් දීර්ඝ පිළිතුරුය අප භගවත් ගීතාව නමින් අද හඳුනා ගන්නේ.

මහාභාරත විශාරදයකුද, හින්දු බැතිමතකුද වූ මා මිතුරු ජයන්තන් ක්‍රිෂ්ණා අර්ජුනට දුන් අවවාදය මෙසේ වැකි සතරෙකට ගොණු කළේය.

Whatever happened has happened well
Whatever happening is happening well
Whatever will happen will happen well
Do your duty and leave the rest in my hands

සිදු වූ සියල්ල යහපතට සිදුවිය.
සිදුවෙමින් පවතින සියල්ල යහපතට සිදුවෙමින් පවතී.
මතු සිදු වන සියල්ල යහපතට සිදුවනු ඇත.
ඔබේ යුතුකම කරන්න. ඉතිරිය මා බලා ගන්නම්.

ව්‍යංගය ඉවත්කරන ලද්දේ නම් ක්‍රිෂ්ණාගේ ප්‍රකාශයේ හරය මෙසේය.

ධර්මය හා අධර්මය අතර යුද්ධයකදී අන් සියළුම කාරණා අවැදගත්ය; ධර්මය වෙනුවෙන් ඔබේ යුතුකම කරන්න. අන් කිසිම දෙයක් ගැන සිතන්නට එපා.

ප්‍රකාශ කළද නොකළද වසර පහකට මත්තෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සිතිවිලි ධාරාවන් ගමන් කරන්නට ඇත්තේ මීට සමාන මඟෙකය සිතමි.

ගෝඨාභය රාජපක්ෂ නම් චරිතය මහාභාරතය තුළින් මා දකින එකම තැන මෙය නොවේ.

යුද ශිල්ප පුහුණුවෙහි යම් අවස්ථාවෙක ද්‍රෝණ පංච පාණ්ඩවයන්ට ඉලක්කයට විදීම උගන්වයි. ඉලක්කය ඈත තුරු හිසෙක ඉන්නා ගිරවෙකි.

මුල් අවස්ථාව ලැබෙන්නේ වැඩිමහල්ලා වන යුධිෂ්ඨිරටය.

“අර බලන්න” ද්‍රෝණ ඔහුට ඉලක්කය පෙන්වයි. “තොපට කිමෙක්ද පෙනෙන්නේ?”

“ගහක්, ගහේ අතු, කොළ, ගෙඩි, ඒ ගහේ ඉන්නා ගිරවෙක්…”

“එපමණද?”

“නෑ. ඊට පස්සෙන් අහස පෙනෙනවා, වළාකුළු පෙනෙනවා…”

ද්‍රෝණ ඔහු විදීම නවතා, දෙවැන්නා භීම කැඳවයි. භීමගෙන් ලබෙන්නේද ඊට සමාන පිළිතුරෙකි.

තෙවැන්නා අර්ජුනය.

“අර්ජුන, තොප දකින්නේ කිමෙක්ද?”

“මට පේනවා ගිරවකුගේ හිසක්…”

“හොඳට බලන්න. වෙන මොකවත් පේනවාද කියා”

“නැහැ. මට පේන්නේ ගිරවාගේ හිස පමණයි”

ද්‍රෝණ අර්ජුනට විදින්නට අණ කරයි. එක ඊතලයෙන් ගිරවා මැරී වැටේ.

උතුරේ යුද්ධය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ප්‍රවේශයද මෙබඳුය. ඉලක්කය දුටු පළමුවැන්නා ඔහු නොවේ. ඉලක්කය ගත් පළමුවැන්නාද ඔහු නොවේ. එහෙත් අහක ඇති ගස්, කොළ, අහස යනාදියෙන් අනෙකුන්ගේ අවධානය බිඳී තිබුණේය. ගිරා හිස පමණක් දුටු ගෝඨාභයගේ ඉලක්කය හරි ගියේය.

ගෝඨාභය රාජපක්ෂ නම් තනි මිනිසා තුළ අර්ජුන හා ක්‍රිෂ්ණා නම් චරිත ද්වයම ජීවත් වීද? ඉතිහාසය විසින් මීට පිළිතුරු සපයා ඇත්තේය.

මම කිසි දිනෙක ගෝඨාභය රාජපක්ෂ මහතා හමුව කතා බහ කොට නැත්තෙමි. අඩු තරමින් රූපවාහිනියෙන්, පුවත්පත්වල ඡායාරූප වලින් හැරුණු විට දැක නැත්තෙමි. නමුත් ඔහුගේ කතාව නොකියා මගේ පරම්පරාවේ කිසිවකුගේ කතාව කිව නොහැකිය. මේ නොදුටු මිනිසා අපේ ජීවිත වලට කොට ඇති බලපෑම අප දන්නා හඳුනන, දිනපතා මුහුණට මුහුණ හමුවන බොහෝ දෙනා කර ඇති බලපෑමට වඩා වැඩිය. උදේ බත්මුළ අතින් ගෙන, කුඩා දුවගේ පුතාගේ හිස අතගා නිවසින් එළියට බහිද්දී නැවත සවස ගෙදර එන්නට හැකිවේද සැකය මතුවන යුගය, දරුවන්ට දෙමාපියන් දෙදෙනාම නැතිවේය බියෙන් දෙන්නා දෙමාල්ලාන් එක දුම් රියේ ගමන් නොකළ යුගය නිමා කළේ ඔහුය. තවත් බොහෝ දෙනා ඊට දායකත්වය සපයන්නට ඇත. නමුත් කුරුක්ෂේත්‍ර යුද්ධය නිමා කරන්නේ යුධිෂ්ඨිර හෝ භීම නොව අර්ජුනය. ලංකාවේ තිස් වසෙක යුද්ධයේ නිමාව සනිටුහන් කරන “අදිසි මිනිසා” ගෝඨාභය රාජපක්ෂය.

මා යුද්ධයට දැඩි සේ විරුද්ධ වූ යුගයක් තිබුණේය. ඒ අයිඩියොලොජියක් හැටියට ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රචණ්ඩත්වය මූලෝත්පාඨනය කිරීම මා විශ්වාස නොකළ නිසාය. සිව් වසරක් දක්ෂිණ භාරතයේ කොනෙක දමිළ පමණක් නොව භාරතයේ සියළු ජනකොටස් වලට අයත් සොයුරු සොයුරියන් ඇසුරු කරන්න ලැබීමෙන් වෙනත් ජන කොටසක් තලා පෙළා අප පමණක් නැඟී සිටිය යුතුය යන මෝඩ කල්පනාව මට නොතිබූ නිසාය. සියළු ජන කොටස් සමගියෙන් හා ආඩම්බරයෙන් හිස ඔසවන දේශයක් භාරතයේ තැනී තිබෙනු මා දුටු නිසාය. හුදෙක් ත්‍රස්තවාදයට පිළිතුරු දීම සඳහා පමණක් “at any cost” ප්‍රවේශය මත එල් ටී. ටිය (හා 1987ට පෙර වෙනත් දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායම්) පරාජය කළ හැකි බව දැන සිටිදද, මෙරට බොහෝ රාජ්‍ය නායකයින්ට සේම මේ cost එක කුමක්ද යන ප්‍රශ්නය මටද තිබිණි. යුද්ධයකින් තොරව එකඟතාවයෙන් මේ ගැටළුව විසඳිය හැකියයි මම කල්පනා කළෙමි. එසේ කිරීම පිණිස චන්ද්‍රිකා කුමාරතුංග වෙනුවෙන් 1994දී ඡන්දය භාවිතා කළෙමි. ඇයට එය කිරීමට නොහැකි වූ විට උරණ වී ඇය ගැන විශ්වාසය අත් හළෙමි.

යම් අවස්ථාවෙක මට වැරදී ඇති බැව් මම වටහා ගතිමි. මේ අවබෝධය ඇතිවූ එකම පුද්ගලයා මා නොවේ.

“අපි කොච්චර කෑගැහුවත් මල්ලි, යුද්ධ කරනව ඇරෙන්න වෙන මොකද්ද තියෙන ප්‍රායෝගික විසඳුම? මස් රාත්තල ඉල්ලීමෙන් පොඩ්ඩක්වත් බැහැර වෙන්න එල්. ටී. ටී එකට බැරි නම් වෙන මොකක් කරන්නද කියෙන්නෙ?”

මාවිල් ආරු සටන් ඇරැඹීමට සති කිහිපයකට පෙර මේ ප්‍රශ්නය මගෙන් ඇසුවේ “රාවය” 1986 අගෝස්තු ආරම්භක කලාපයේ සිටම යුද්ධයට එරෙහිව දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටි අතුල අයියා (වික්ටර් අයිවන්) ය. මට ඔහුට දීමට පිළිතුරක් නොවීය.

කුරුක්ෂේත්‍ර යුද්ධයට පෙර ක්‍රිෂ්ණාද මා බඳුම යුද විරෝධියෙකි (pacifist). යුද්ධය ඇතිවීම වැළක්වීමට ඔහු ගත හැකි සියළු පියවර ගත්තේය. සාම දූතයෙකු සේ කෞරවයන් මුණ ගැසීමට හස්තිනාපුරට ගියේය. දුර්යෝධන විසින් ඔහුට අවමන් කොට ඔහු අත් අඩංගුවට ගැනීමට නියම කළ අවස්ථාවේ පටන් ක්‍රිෂ්ණා යුද්ධය හැර අන් විකල්පයක් නැතැයි තේරුම් ගත්තේය. මේ රටේ බහුතරයක් ජනතාව තුළ සේම මා තුළද සිදුවූයේ මේ චින්තනමය වෙනසය. කොයිතරම් යුද විරෝධියකුට වුවද එක දිගට ගහගෙන ගහගෙන ගියොත් යම් අවස්ථාවෙක ඔහු පෙරළා පහර දෙනු ඇත.

යුද්ධය විශ්ලේෂණය කිරීමට මම යුද විශේෂඥයෙක් නොවෙමි. එහෙත් මම රණබිමට සමාන්තරව සයිබර් අවකාශයේ සිදුවෙමින් පවතින “සයිබර් යුද්ධය” ඕනෑකමින් නිරීක්ෂණය කළෙමි. මා ලලිත් වීරතුංහ මහත්තයාට මෙසේ ලිවූයේ 2009 ජනවාරි නව වැනිදාය.

Dear Mr. Weeratunga,

I am no military expert. But I take pride in my expertise in on-line wars – some of them happen parallel to the ones in the battle field.

In Sri Lanka, the best on-line war ever fought was through the site defence.lk. There are no precedents – even remotely close. Starting from scratch it did not take more than two years for this site not only to be the most accessed Sri Lankan website but beat Tamilnet which had an advantage of more than a decade. It can be argued that this happened in an information monopoly – but still dailynews.lk not making anywhere close tells a long story. (Except for the site of Examination Dept, for obvious reasons, defence.lk is the only site that makes top 100 SL sites ranked on traffic)

How great to win a war both in physical and virtual worlds!

Will be grateful if you can convey my congratulations to Mr. Gotabhaya Rajapaksa for his victory in cyberspace. (Do not have his email)

Best Rgds,
Chanuka

වීරතුංග මහත්තයා සති දෙකකට පසු මෙසේ ලියා තිබුණේය.

Dear Chanuka,

I am sorry I did not reply yours earlier. I have today forwarded your mail to Mr Gotabhaya Rajapaksa. As you know he is the first Defence Secretary, or for that matter the first Secretary to a Ministry who has put to good use IT. It may be because he himself is an ICT expert. He is a model public officer because he has set very high standards. His email: xxxxxxxx@xxxx.xxx

Sincerely,
Lalith Weeratunga
Secretary to the President
Presidential Secretariat
Colombo 1.

ලලිත් වීරතුංග මහත්තයා මේ හෙළි කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බොහෝ දෙනකු නොදත් දිවියේ පැතිකඩෙකි. යුද හමුදාවෙන් ඉවත් වීමෙන් පසු කලෙකට ඔහු පරිගණක වෘත්තිකයකු බවට පත්වෙයි. කොළඹ විශ්ව විද්‍යාලයෙන් 1992දී තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත්-උපාධි ඩිප්ලෝමාවක් ලබා ගන්නා හෙතෙම මුලින් කොළඹ ඉන්ෆොමැටික්ස් ආයතනයේද, පසුව එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි ලොයෝලා නීති විද්‍යාලයේද Unix Administrator කෙනෙකු ලෙස සේවය කරයි. 2005දී ඔහු ආරක්ෂක ලේකම් ධුරය භාර ගන්නේ මේ පදවිය අත හැරීමෙන් පසුවයි. ඉන් පසු ඉතිහාසයේ මට අළුතින් විස්තර කිරීමට දෙයක් ඉතිරිව නැත.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ පහළ වූ විශිෂ්ඨතම රාජ්‍ය නිලධරයා සේ මම දකිමි. නිදහස් ලංකාවේ වෙනත් කිසිම රජයේ නිලධරයකු ඔහු තරම් දැඩි අවදානමක් ගෙන, දැඩි අධිෂ්ඨානයෙන් යුතුව යම් කාර්යයකට අතගසා ඒ කාර්යය සාර්ථකව ඉටු කොට නැත.

වසර දෙකකට මඳක් වැඩි කාලයක් නැවැතී සිටි යුද්ධයක් නැවත ආරම්භ කිරීම සුළුපටු අවදානමක් නොවේ. මා එසේ කියන්නේ හේතු ඇතිවය.

උතුරේ සටන් ආරම්භ කළ හැමවිටෙකම එල්.ටී.ටිය විසින් සටන් විරාම ලබා ගත්තේ ප්‍රතිප්‍රහාර වලින් නොවේ. කොළඹ හා අනෙකුත් පළාත් වල අහිංසක ජනතාව බුරුතු පිටින් මරාදැමීමෙනි. මහබැංකු බෝම්බය, පිටකොටුවේ කාර් බෝම්බය, ගලධාරි බෝම්බය උදාහරණය.

මාවිල් ආරු මෙහෙයුම ආරම්භ වෙද්දී මට තිබුණු ලොකුම භීතිය මෙයයි. එල්. ටී. ටිය කොළඹ නගරයේ දැවැන්ත ජන ඝාතනයකට අර අඳින බැව් රහසක් වූයේ නොවේ. ඇත්තටම ඒ සඳහා එල්. ටී. ටිය විසින් එවන ලද බෝම්බ පිරැවූ ලොරි තුනක් පොලීසිය විසින් අනාවරණය කර ගැනීමෙන් පසුව නතර කරන ලද්දේය. (යුද්ධයේ නිමාවට, අනෙකුත් ආරක්ෂක සේවාවන්ට සාපේක්ෂව, පොලීසියේ දායකත්වයට අවම බවය සාමාන්‍ය අදහස. මේ මහා මෙහෙය එය එසේ නොවන බව විදහා පායි.) මේ එක ලොරියක් හෝ කොළඹ නගරය මධ්‍යයේ පිපිරී දැවැන්ත මනුෂ්‍ය ඝාතනයක් වී නම් යුද්ධය අතර මඟ නැවැතී “නටපු නැටුමකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ” මට්ටමකට ගමන් කළ හැකිව තිබිණි. එසේම වර්තමාන ආණ්ඩුව ඊළඟ මැතිවරණයේදී පැරැදිය හැකිව තිබුණු අතර එහි සියළු දෝෂාරෝපණ ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල වන්නට තිබිණි. එහෙත් ගිරා හිසට ඉලක්කය අල්ලමින් සිටි ඔහු මේ අතුරු කාරණා ගැන වද නොවීය. අද අප භුක්ති විඳින්නේ ඒ අධිෂ්ඨාන ශක්තියේ අස්වැන්නය.

මේ සටහන යුද්ධයේ නිමාවට දායක වූ වෙනත් කිසිම කෙනකුගේ දායකත්වය අවතක්සේරු කිරීමක් නොවේ. කුරු ක්ෂේත්‍ර යුද්ධයේදීද යුධිෂ්ථිරද, භීමද, දෘපද, විරථද, ශිඛණ්ඩිද, සත්‍යකිද, තවත් බොහෝ දෙනෙක්ද පාණ්ඩවයන් වෙනුවෙන් ධීර ලෙස සටන් කළහ. එහෙත් ඉතිහාසය විසින් මුලින්ම සටහන් කරන ලද නම අර්ජුනගේය. ට්‍රෝජන් යුද්ධයේදී එතැන ඇකිලීස්ට ලැබිණි. ලංකාවේ ත්‍රස්තවාදය හා යුද්ධය නිමා කිරීමේ ගෞරවයද ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබිය යුතුය මා කියන්නේ ඒ අරුතිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම රජයේ නිලධරයාය. එහි විවාදයක් ඇතිය මම නොසිතමි.

b. ආ විලස නික්ම යමි දෙපයින්

කාලයක් තිස්සෙ, ලියන්නට තිබුණු, නමුත් නොලියූ බ්ලොග් එකක් හිටි හැටියෙ පටන් ගත්තෙ ඇයි කියල දන්නා අය හිටියෙ ටික දෙනයි.

පහුගිය කාලෙ මට බ්ලොග් එකක් ලියන්න, පත්තරේකට ලිපියක් ලියන්න තරම් කාලයක්, නිදහසක් ලැබිල තිබුණ. මන්ද මා නිශ්චිත රැකියාවක නොයෙදී සිටි නිසා. jobless කියලම කියන්න අමරුයි පොඩි පොඩි අතුරු වැඩ ටිකක් කළ නිසා. පසුගිය මාස කිහිපය මගේ “රැකියා අතර” අවස්ථාවක් ලෙස හඳුන්වා දීම වඩා නිවැරදියි. මා ඒක ප්‍රයෝජනයට ගැනීමයි කළේ.

ඒත් දැන් ඒක වෙනස් වෙන්නටයි යන්නේ, ලබන සඳුදා (මැයි 9වැනිදා) සිට. ආරංචිය ලැබුණෙ ඊයෙ හවස. එක අතකට සතුටක්. එක අතකට දුකක්.

රැකියාවක් කරන ගමන් බ්ලොග් එකක් කරන්න අමාරුයි. එකක් කාලය පිළිබඳ දැවැන්ත ප්‍රශ්නය. රස්සාවකුත් කරන අතරේ, පෞද්ගලික වැඩ කටයුතු වලටත් වෙන් කළ යුතු කාලය වෙන් කරලා බ්ලොග් එකක් ලිවීමේ අපහසුව ගැන මා අමුතුවෙන් කිව යුතු නැහැ. අළුත් රස්සාවක් නම් ඊට වැය කළ යුතු කාලය කොහොමටත් වැඩියි. අනෙක ආයතනයක සේවය කරද්දි අපට ඒ ආයතනයේ නීතින් සම්ප්‍රදායයන් වලට ගරු කරන්න වෙනවා. ඒ සීමාවන් තුළ හිතට එන හැම දෙයක්ම ලියන්න අමාරුයි. නියත රැකියාවක් කරද්දි හැමදාම මා පොදු ජන මාධ්‍යයෙන් වෙන් වී සිටියේ එනිසා.

බාගෙට ලියූ බ්ලොග් පෝස්ට් තව තුනක් විතර ඉතිරි වී තියෙනවා. ඒ කිහිපය ඉදිරි සති අන්තයට පෙර පළවේවි. ඉන්පසු බ්ලොග් එක ලියනවාද නොලියනවාද අවිනිශ්චිතයි. “දිගටම ලියන්න” කියන එක පහසුයි. නමුත් ඒක විශාල අභියෝගයක්. යමක් බාගෙට කරන්න මගේ කැමැත්තක් නැහැ.

මේ තරමින් හරි මගේ “සිහි සටහන්” ඔබ සමඟ බෙදා ගැනීමට ඉඩ ලැබීම ගැන සතුටුයි. නැත්නම් මේ කතා හැමදාමත් මගේ ඔළුව අස්සෙ හැංගිලා, මා මළ දවසක මාත් එක්කම සොහොනට යන්න තිබුණා. දැන් ඒක එහෙම වෙන්නෙ නෑ කියලා ඇතිවන සිතිවිල්ල සහනයක්.

_____________________________________________________
පලි. මා ඉන්දියාවේ ඉන්නා කාලයේදී ඉන්දියාව ගැන ලියූ වෙනත් ජනමාධ්‍යයන්හි පළවූ ලිපි එකතුවක් වගේම විදුසරට ලියූ කෙටිකතා එකතුවක්ද මා සතුව තියෙනවා. මේවා යළි ටයිප් කර බ්ලොග් අවකාශයට එකතු කිරීමට කැමැති පින්වතකු පින්වතියක සිටීනම් ඒවායේ පිටපත් ලබා දිය හැකියි. මහන්සියට ගෙවීමක් වුණත් කරන්න පුළුවන්. ඊට කාලය ඇති, කැමැති කෙනකු ඉන්නවා නම් ඔය පසෙකින් තියෙන ඊ-මේල් ලිපිනයට ලියන්න.

23. ලෝකයේ හොඳම ඉස්කෝලේ හොඳම ගුරුතුමා

ජය දද හෙවනේ පෙරට යමු – දියුණුවෙ රන් මිණි ඇහිඳ ගමු
උදාර දෙස බස රැස නඟමු – අසෝක විදුහල් මව රකිමු

අසෝක නාමය සමරා – ශිල්ප කලා සිතේ දරා

________________________________

මේ වන විට මම ආයතන පහක විධිමත් අධ්‍යාපනය ලබා ඇත්තෙමි. මේ මා සතියක් පමණක් ගිය මොරටුව විශ්ව විද්‍යාලයද, මාසයක පුහුණු වැඩ සටහනකට සහභාගි වූ කැනඩාවේ ඔටොවාහි කාල්ටන් විශ්ව විද්‍යාලයද අතැරය.

සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව විසින් අධ්‍යාපනය ලැබීමේ අයිතිය වසරකට උදුරා ගන්නා ලද හෙයින් මා මුලින් ගියේ පළමුවැනි ශ්‍රේණියට නොව පූර්ව-පළමුවැනි ශ්‍රේණියට හෙවත් Pre-Grade one එකටයි. ඒ පෞද්ගලික විද්‍යාලයක් වූ බොරැල්ලේ කේරි විද්‍යාලයටය. වසරක් ගෙදර නොතියා, මුදල් ගෙවා මට අධ්‍යාපනය ලබා දෙන්නට මගේ දෙමාපියන්ට වත්කමක් හා ඕනෑකමක් තිබුණු නමුත් එසේ වත්කමක් හෝ ඕනෑකමක් (සමහරවිට අවබෝධයක්) නොවූ දෙමව්පියෝ රාශියක් ඒ අමතර වසර තම දරුවන් ගෙදර තියා ගත්තෝය.

කේරි විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී මම පන්තියේ දෙවැනියා වී එවක රදගුරුතුමන් අතින් ත්‍යාග ලබමි. (1973)

වසර හය පිරුණු පසුව මගේ දෙමාපියෝ දැඩි වෙහෙසක් දරා, මගේ හාල්පොත් මරදානේ සමූපාකාර ප්‍රාදේශිකයකට මාරු කර, තාත්තාගේ අයියාගේ කාර්යාලයීය ලිපිනය නිවසේ ලිපිනය සේ යොදා මා ස්ටොක්වත්ත කණිෂ්ඨ විද්‍යාලයයේ (පසුව අසෝක විද්‍යාලය) පළමුවන ශ්‍රේණියට ඇතුළු කළහ. හයේ සිට උසස් පෙළ දක්වා මම ආනන්දයට ගියෙමි. ඉන්පසු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ජාතික තාක්ෂණ ආයතනයේ (NIT-K) විද්‍යුත් ඉංජිනේරුවකු සේ ප්‍රථම උපාධිය නිම කළෙමි. පසුව පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගතිමි.

මේ සියළු ආයතන මගේ දැනුම හා ශික්ෂණය වර්ධනය කිරීමට අඩු වැඩි වශයෙන් දායක වී ඇත්තේය. මම ඒ සියල්ලට ආදරය කරමි. එහෙත් මේ ආයතන පහ අතුරින් කුමක් මා වෙසෙසින් ප්‍රිය කරන්නේද ඇසුවොත් මට ඇත්තේ එක උත්තරයකි.

අසෝක විද්‍යාලයයි.

මා අධ්‍යාපනය ලද අන් කිසි ආයතනයක් අසෝක විද්‍යාලය තරමට මගේ අධ්‍යාපනය ගැන, මා සමාජයට වැඩදායක පුරවැසියකු කිරීම ගැන උනන්දු වීය මම නොසිතමි. අසෝක විද්‍යාලයය කීවේ පාසලේ ගොඩනැඟිලි වත්, අපේ කාලයේ අසෝකයේ සංකේතය වූ, තවමත් ඇතිදැයි නොදන්නා කොට්ටං ගහ වත් නොවේ. විදුහල්පති ධර්මරත්න මහතා (ලොකු සර්), උප විදුහල්පති සුමනසේන මහතා, ගුරුතුමීලා හා ගුරුතුමන්ලාය.

අද අසෝක විද්‍යාලය පිහිටි බිම නවසිය හැත්තෑ ගණන් වල මුල යෝධ මුඩු ඉඩමකි. එක් පසෙක ලොකු දේවාලයකුත්, අනවසර පදිංචිකරුවන් කිහිපදෙනෙකුත් හැරෙන්නට මේ කැලෑ ඉඩමකි. රෑට කිසිවකුත් නොයන ජාතියේ පළාතකි. ඒ ඉඩම මැද වූ යෝධ කොට්ටං ගහ කොළඹ නගරයේ දරුණු මංකොල්ල අවසානයේ එකී මංකොල්ලකරුවන් රැස්ව කොල්ල කා ගත් වස්තුව බෙදා ගැනීමේ ප්‍රමුඛ ස්ථානයක් වූ බැව් ප්‍රචලිතය. මේ හරුණු විට තවත් කවර අපචාර ඒ හිස් කැලෑ ඉඩමෙහි වූයේද නොදනිමි.

ලොකු සර් හෙවත් අසෝක විද්‍යාලයේ පළමු විද්‍යාලාධිපති පද්මසිරි ධර්මරත්න මහත්තයාට “ඉස්කෝලයක් හදන්නට” කියා ලැබෙන්නේ මේ මුඩු ඉඩමය. එහි එකම ගොඩනැඟිල්ලක්වත් නුවූ හෙයින් ඔහුගේ මුල් කාර්යාලය තර්ස්ටන් විද්‍යාලයේ කාමරයකි. ලොකු සර්ට වැඩ කරන්නට වන්නේ රිමෝට් කන්ට්‍රෝල් එකෙන්ය. මේ යුගයේ ඔහු මුහුණ දුන් දුෂ්කරතා දන්නා කෙනෙකුන් දැන් වේය නොසිතමි.

ලොකු සර්

අසෝක විද්‍යාලයට පළමු ශිෂ්‍ය කණ්ඩායම ඇතුළත් කර ගනු ලබන්නේ 1973දීය. විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන හා වර්තමානයේ බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැති ප්‍රසන්න රණතුංග මේ ශිෂ්‍ය කණ්ඩායමේ මට එක එල්ලේ මතකයට එන දෙදෙනෙකි.

මා “ස්ටොක්වත්ත කණිෂ්ඨ විද්‍යාලයට” ඇතුළු වන්නේ ඊට වසරකට පසුව දෙවන ශිෂ්‍ය කණ්ඩායමටය. මේ වන විට ඊට හිමි පන්ති අටක් හා ඊටම යාබදව තැනුණු කාර්යාලයක් සහිත දිග ගොඩනැඟිල්ලත් පුංචි කාමරයක් වැනි තවත් කුඩා ගොඩනැඟිල්ලකුත් කුඩා වැසිකිළියත් පමණෙකි. මේ සියළුම ගොඩනැඟිලි මේ වන විට කැඩී ඒ තැන් වල නව ගොඩනැඟිලි නැංවී තිබේ. වෙනත් විදියකින් කිව්වොත් දැන් ඇති අසෝක විද්‍යාලය මා ඇතුළත් වූ ස්ටොක්වත්ත කණිෂ්ඨ විද්‍යාලයෙන් ඉඳුරා වෙනස්ය. අපේ හැම සෙල්ලමකම කොටස්කරුවකු වූ කොට්ටං ගහ වත් දැන් ඇති දැයි නොදනිමි.

පන්ති කාමර මඳ හෙයින් අපටද දෙකේ අයියලාටද ඉගෙන ගන්නට වන්නේ එකම පන්ති බෙදා ගනිමිනි. වාර දෙකක් පමණ අපට උදේ 7.30 සිට 11.30 දක්වා පන්ති පැවැත්වුණු අතර දෙකේ අයියලාට ඒ පන්තිම පාවිච්චි කරමින් දවල් 12.00ට පන්ති ආරම්භ විය. අවසාන වාරය වන විට පන්ති අටකින් යුතු තෙමහල් ගොඩනැඟිල්ලක් නිමා කොට ගන්නට ලොකු සර් සමත්වූයේ දුෂ්කරතා රාශියකට සාර්ථකව මුහුණ දීමෙන් පසුවය.

අසෝක විද්‍යාලයේ පළමු ස්ථිර ගොඩනැඟිල්ලට මුල් ගල් තැබීම - 1973 අගෝස්තු (පින්තූරයේ දකුණු කෙළවරේ ඉන්නේ ලොකු සර්ය.)

මේ කාලයේ අසෝක විද්‍යාලයේ සංඛ්‍යාන මට තවම මතකය. ශ්‍රේණි දෙකයි. එක ශ්‍රේණියකට අට බැගින් පන්ති දහසයයි. පන්තියකට ළමුන් 40 බැගින් ඉස්කෝලෙටම ළමයි 320යි. පන්ති භාර ගුරුතුමීලා දහසයදෙනාට අමතරව ගුරු මණ්ඩලය තව පස් දෙනයි. ලොකු සර්, සුමනසේන සර්, තාජුඩීන් සර්, බටහිර සංගීතය ඉගැන්නූ නම නොදන්නා ගුරුතුමිය හා නැටුම් ඉගැන්නු මැණිකේ ටීචර්. මෙයින් තාජුඩීන් සර් ඉස්කෝලයේම කුඩා කාමරයක නැවතී ඉස්කෝලේ බලා කියා ගත්තේය. සොහොයුරන් දෙදෙනකු වූ ජස්ටින් අයියා හා සිරිසේන අයියා සියළු වැඩ රාජකාරි කළහ.

මේ අනුව කොළඹ නගර මධ්‍යයේ පැවැති පාසලක් වුවද අසෝක විද්‍යාලය වඩා සමාන වූයේ ගම්බද පාසලකටය. වෙනත් කොළඹ පාසල් වලට හිමි පහසුකම් කිසිත් අපට හිමි නොවීය. මා ඉන් පෙර ඉගෙන ගත් කේරි විද්‍යාලයට සාපේක්ෂවත් ඉතාම කුඩා විද්‍යාලයකි එවකට අසෝක විද්‍යාලය.

මගේ පළමු ගුරුතුමිය පෙරේරා ටීචර් තම ජීවතුන් අතරදැයි නොදනිමි. ඇය විශ්‍රාම ගියේ 1977දීය. ඒ වන විට ඇගේ වයස අවුරුදු 60ක්ය උපකල්පනය කළොත් ඇය ඉපිද ඇත්තේ 1917දීය. ඇය ජීවතුන් අතර නම් මේ වන විට වයස අවුරුදු 94ක් විය යුතුය.

අසෝකයේ මගේ පළමු මිතුරාගේ නම චින්තකය. මුල් දින තුනම මා ළඟින් වාඩිවී සිටියේ ඔහුයි. අප දෙදෙනාම ඉන් පෙර වසර වල පාසැල් ගොස් තිබුණු හෙයින් පාසල අරුම තැනක් නොවීය. එසේම අකුරු කියවන්නටද පුළුවන්කම තිබුණෙන් අමාරුවෙන් ගැටගසා ගෙන සිංහල 1 කියැවීම් පොත කියැවීමු. ඒ වන විට සය වසරකට මඳක් වැඩි ජීවන ඉතිහාස බෙදා හදා ගතිමු. සිව් වන දිනයේදී චින්තක පාසල් නොආයේය. පස් වන දිනයේ දෙමාපියන් සමඟ ප්‍රමාද වී පැමිණි ඔහු මා ළඟට විත් “මම ඩී. එස්. එකට යනවා. යන්නම්” කියා කඳුළු පිරි දෑසින් යුතුව සමුගත්තේය. කුඩා මට ජීවිතයම හිස් වූවාක් සේ මහා පාළුවක් දැනුණේය. ඉන් පෙර ජීවිතයේ කිසි දිනෙක එවන් පාළුවක් මට දැනී නැත.

අසෝකයේදී 1B පන්තියේ මිතුරන් කිහිපදෙනෙක් දැන් - (වමේ උඩ සිට දක්ෂිණාවර්තව) උචිත ද සොයිසා, සමන්ත මුතුකුමාරණ (මුතු), ප්‍රසන්න ගුණසේකර හා හරිගුප්තා රොහණදීර (ගුප්ත)

මේ හැර 1973දී 1B පන්තියේ මා සමඟ සිටි මිතුරන් කිහිපදෙනකු තවමත් මතකයි. කැනඩාවේ පදිංචිව සිටින ප්‍රසන්න ගුණසේකර අවසන් වතාවට මට හමුවුයේ ඔටොවාහීදි 2009දීය. උචිතද සොයිසා තවමත් උචිත මෙන්ම අනුචිත අවස්ථාවන්හීදීද මුණ ගැසී උචිත මෙන්ම අනුචිත දේවල්ද කතා කරයි. ඉන් වසර දොළහකට පසු උසස් පෙළ විභාගයෙන් ගණිත අංශයෙන් A හතරක් සමඟ ලංකාවේ පළමු ස්ථානය ලැබූ සමන්ත මුතුකුමාරණ සමඟ වූ සම්බන්ධතාවය ඔහු උසස් අධ්‍යාපනයට ඕස්ට්‍රේලියාවට යෑමෙන් පසුව බිඳ වැටුණේය. නාමෙල්-මාලිනි වීරමුණිගේ පුත් උදාර වීරමුණිද පළමුවැනි ශ්‍රේණියේදී මගේ හොඳම මිතුරකු වූ මුත් වසරකට පසු දෙමාපියන් සමඟ ලන්ඩනයට සංක්‍රමණය විය. ඔහු ගැන ඉන්පසු කිසිම තොරතුරක් නොලදිමි. හරිගුප්තා රෝහණදීර (ගුප්ත) සමඟ නම් තවම වසර 38ක නොබිඳුණු සම්බන්ධයක් ඇත. මහාචාර්ය මැන්දිස් රෝහණදීරයන්ගේ කණිටු පුත් ගුප්ත දැන් ප්‍රකට නීතිඥයෙක්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි ප්‍රමුඛ දේශපාලනඥයෙක්ද වේ. ඔහුගේ මැණියන් “රෝහණදීර ටීචර්” මට හතරේ පන්තියේදී ඉංග්‍රීසි ඉගැන්වූයේය. ඇය මා තවම සම්බන්ධතා පවත්වා ගන්නා අසෝකයේ එකම ගුරුතුමියයි.

මීට අමතරව අසෝකයේදී මට හමුවූ මිතුරන් රාශියකි. ඔවුන් ගැන මතු කතාවන්හීදී කියන්නට බලාපොරොත්තු වෙමි.

අප පළමුවැනි ශ්‍රේණියේ සිටියදී අසෝකයට බොහෝ දේ ලැබුණේය. එක – නමක්. ස්ටොක්වත්ත කණිෂ්ඨ විද්‍යාලය අසෝක කණිෂ්ඨ විද්‍යාලය ලෙස වෙනස් විය. දෙක – පාසල් ගීතයක්. “අසෝක නාමය සමරා – ශිල්ප කලා සිතේ දරා” කරුණාරත්න අබේසේකර සූරීන් අතින් ලියැවුණේ මේ ගීතයේ සංගීතය අමරදේව මාස්ටර්ගේය. තුන- විද්‍යාලයීය ලාංඡනය. “අසව්-දරව්-හැසිරෙව්” විද්‍යාලයීය පාඨය සේ ඊට එක්විය.

ලොකු සර් (1973-80 සමයේදී විය යුතුය.)

සටහන දීර්ඝ වන හෙයින් අසෝකයේ මගේ ජීවිතය ගැන පසු සටහන් වලට ඉඩ තබා ලොකු සර් හෙවත් පද්මසිරි ධර්මරත්න මහත්තයා ගැන මතක කිහිපයකින් මේ සටහන නිමා කරමි.

මා අසෝකයට ගියේ ධර්මරත්න සර්ට පින්සිද්ද වන්නටය. ඒ යම් විද්‍යාලයකට ඇතුළු කොට ගන්නේ එය අවට වෙසෙන ළමුන් පමණකිය යන අතාර්කික මෝඩ නීතිය ආරම්භ වූ යුගයයි. අප පදිංචිව සිටියේ මරදානේ නොවේ. ඒත් මරදානේ ටවර් රඟහලට නුදුරින් තාත්තාගේ අයියාට අයත් කාර්යාලයක් තිබුණේය. අසෝකයට මා ඇතුළු කිරීම සඳහා මගේ දෙමාපියන් භාවිතා කරන ලද්දේ මේ කාර්යාලයීය ලිපිනයයි. ලොකු සර් මේ බව දැන සිටියේය. එහෙත් ඔහු එය නොසලකා මා අසෝකයට ඇතුළු කර ගත්තේය.

විදුහලේ කොයිතරම් පහසුකම් අඩු වුවද ඒ සියල්ලක් නොසලකා හැර අපට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට ලොකු සර් පියවර ගත්තේය. ඔහු ඒ වෙනුවෙන් කළ කැපවීම අනුපමේයය. අධ්‍යාපනය පාසලට සීමා නොකළ ඔහු අප සමාජයේ ගෙන යා හැකි හැම තැනෙකටම අධ්‍යාපන චාරිකා වලින් ගෙන ගියේ අපේ සමාජ අධ්‍යයනය පිණිසය. කටුනායක ගුවන්තොට, ඒකල බහු කාර්ය කම්හල් සංකීර්ණය, ලුණුවිල පොල් පර්යේෂණ මධ්‍යස්ථානය, විහාර මහා දේවී උද්‍යානය, පුංචි බොරැල්ල තැපැල් කන්තෝරුව, නාරාහේන්පිට කිරි මණ්ඩලය, නාත්තන්ඩිය වීදුරු කම්හල, පූගොඩ පේෂකර්ම කර්මාන්ත ශාලාව, මරදානේ දුරකථන හුවමාරු පොළ, මැනිං මාර්කෙට්ටුව, ඔරුවල වානේ සංස්ථාව මා අසෝකයේ සිටි කෙටි කාලය තුළ ගොස් ඇති අධ්‍යාපන චාරිකා අතරට එක්වේ.

ලොකු සර් සැරය. නමුත් ඉතාම හොඳ මනුෂ්‍යයෙකි. ඔහුගේ කෘතඥතා පූර්වක භාවයට උදාහරණයක් සේ එක් නිදසුනක් පමණක් කියමි. විදුහලේ මුල් ගුරු මණ්ඩලයට ගුරුවරුන් සොයා ගන්නට ඔහුට සිදුවුයේ දුෂ්කරතා රාශියක් මධ්‍යයේය. අභියෝගයේ තරම දැන කිසිවකුත් අළුත් ඉස්කෝලයට එන්නට කැමැති වූයේ නොවේ. අවසානයේ අමාරුවෙන් ඔහු ගුරුතුමීලා නවදෙනෙක්ද, එක් ගුරුතුමකුද සොයා ගත්තේය. මේ අය මුල් කාලයේ දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නට ඇතැයි සිතමි. මේ මුල් ගුරු මණ්ඩලයෙන් මගේ පළමු ශ්‍රේණියේ ගුරුතුමිය වූ පෙරේරා ටීචර් හා නැටුම් ගුරුවරිය වූ මැණිකේ ටීචර් 1977දී විශ්‍රාම ගත්තෝය. මේ වන විට අසෝකය තරමක් ලොකුය. සිසුන් සංඛ්‍යාව දහසක් පමණ වන්නට ඇත. හැම සිසුවකුටම බුලත් අත බැගින් ගේන්නට කිව් ධර්මරත්න සර් උපහාර උත්සවය අවසානයේ පාසලේ සියළුම සිසුන් ලවා ඔවුන්ට වැන්දවූයේය. එකතු වූ බුලත් අත් ගොඩ ඔවුන්ගේ උසේ මට්ටමටම වාගේ ආ බව මතකයි.

ශිෂ්‍යත්වයේ පළමු අදියර සමත් සිසුන් වෙනුවෙන් ලොකු සර් අතිරේක පන්ති සංවිධානය කළේය. මේවා සතියේ දිනවල සවසද නිවාඩු කාලයේද පවත්වන ලද්දේ අයකිරීමකින් තොරවය. අපේ ගුරුතුමන්ලා ගුරුතුමීලා සිය කාලය කැපකර අපට උගන්වන්නට ආවෝය. කොළඹ නගරයේ අනෙක් පාසල් වලට සාපේක්ෂව අඩු පහසුකම් සහිත පාසලකින් මට දිවයිනේ පළමුවැන්නා සේ පහේ ශිෂ්‍යත්වය සමත් වන්නට වරම් ලැබුණේ ලොකු සර්ගේ මේ උනන්දුව නිසාය.

අසෝක විද්‍යාලයට පහළොස් වසර සපිරුණේ 1988දීය. එවකට මා දිවයින පුවත්පතට සම්බන්ධ බව දැනසිටි ලොකු සර් “ඉස්කෝලෙ ගැන මොකක් හරි ලියන්න” යි ඉල්ලීමක් කළේය. මා ලිපියක් ලිවූ බව මතක නමුත් කවර හෝ හේතුවක් නිසා එය පළ නොවීය.

ඉන් වසර විසි තුනකට පසු අද මේ තබන සටහන ඒ නොපළ ලිපියේ අඩුව පුරවණු ඇතැයි සිතමි. එහෙත් එය කියවන්නට අද ලොකු සර් අප අතර නැත.