21. ප්‍රේමදාස ඇතුළත්මුදලි මැරුවේද නැතොත් ඇතුළත්මුදලි ප්‍රේමදාස මැරුවේද?

මගේ ඉන්දීය සගයින්ට සාදයක් (1992-3 හරියේදී)

මැයි 01, 1993 (මගේ සරසවි අවසන් වසර)

රණසිංහ ප්‍රේමදාසගේ මරණයෙන් සනිටුහන් වූ භීෂණ යුගයේ අවසානය මා කෙතෙක් ප්‍රමෝදයට පත් කළේද යත් මම එවෙලේම මගේ ඉන්දීය සගයින්ට මධුපානෝත්සවයකට ඇරැයුම් කළෙමි. මට අවශ්‍ය වූයේ ඔවුන්ට ෂැම්පේන් අරන් දෙන්නටය. නමුත් ඔවුන්ගේ කැමැත්ත වූයේ පුරුදු පානයන්ම හෙයින් අපි බීර, වොඩ්කා (දේශීය) හා විස්කි (දේශීය) රවුම් කිහිපයකින් සතුටු වීමු. මේ ආර්ථික ලිබරලීකරණයෙන් පසු වසර වුවද ඒ වන විටත් විදේශීය මත්පැන් සුරත්කල් බඳු ඈත පළාත් වල සොයා ගැනීම උගහට විය.

“What Premadasa has done to you that you are so much against him?” මගේ මිතුරෝ ඇසූහ.

රණසිංහ ප්‍රේමදාස ප්‍රේමදාස නිදහස් ලංකාව විසින් බිහිකළ කුරිරුම හා දුර්දාන්තම පාලකයාය සිතමි. එබඳු ආඥාදායකයකුගේ මරණය රටවැසියන්ගේ ප්‍රමෝදයට හේතු නොවේ නම් එයයි පුදුමය. (මේ මරණය සැළවීමෙන් පසුව මුළු රට උද්දාමයෙන් ඇළලී ගිය බවද, රට පුරා රතිඤ්ඤා හඬ ඇසුණු බවද පසුදින The Hindu පුවත්පත වාර්තා කොට තිබුණේය. කොළඹ කොටස් මිළ දර්ශකයේද ඍජු නැග්මක් වාර්තා විය.) එහෙත් මගේ ප්‍රමෝදයට හේතුව එයම නොවන බැව් මම ඔවුනට කීවෙමි. රණසිංහ ප්‍රේමදාසගේ මරණයෙන් සනිටුහන් වූයේ මෙරට රටවැසියා අතිශය භීතියට පත් කළ යුගයක නිමාවයි. අප සමරන්නේ ප්‍රේමදාසගේ මරණය නොව ඒ අඳුරු යුගයේ නිමාව බව මම මගේ ඉන්දීය සගයින්ට කියා දුනිමි. කවරකුගේ හෝ මරණය නිසා සතුටු වීම අසදාචාරාත්මක වුවද, එසේ මරණයට පත්වූ තැනැත්තා අනුන් තලා පෙළා පාගා ගෙන සිටි ආඥාදායකු නම් රටවැසියාගේ මේ හැසිරීම තේරුම් ගත හැක්කේය.

මේ යුගයේදී ප්‍රේමදාස ගැන මගේ කිසිදු පැහැදීමක් නොවීය. මා සිටියේ ඉඩක් ලද විටෙක ඔහුට විරිත්තන මානසිකත්වයකිනි.

ප්‍රේමදාසගේ මරණයෙන් පසු පළ වූ "ඒෂියා වීක්" සඟරාවේ කවරය

මා සිටියේ රටින් පිට වුවද, ප්‍රේමදාසගේ මරණයට පෙර, සතියකට ආසන්න කාලය මා ගෙවා දැමූයේ දැඩි ආතතියකිනි. 1993 අප්‍රේල් මාසයේ අග සිදු වූ ලලිත් ඇතුළත්මුදලි ඝාතනය මා දැඩි ලෙස කම්පනයට පත් කොට තිබුණේය. ඇතුළත්මුදලි රෝහණ විජේවීර සේ ත්‍රස්තවාදියකු නොවීය. කපටි වුවද, ඔහු ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන් මනාව දැන හැඳින, එතුළ වගකීමකින් යුතුව හැසිරුණු, සමාජය විසින් මහාත්මයකුයැයි පිළිගත්, ජාත්‍යන්තර කීර්තියට පත් දේශපාලනඥයෙක් වූයේය. රණසිංහ ප්‍රේමදාසගේ පැවැත්මට ඔහුගෙන් වූ තර්ජනය ප්‍රජාතන්ත්‍රවාදයේ සීමා මායිම් තුළ සමාජය පිළිගත් නීති රීති වලට අනුකූල වූ එකකි. එබඳු වූ පුද්ගලයකු පවා මරා දමන තැනට ප්‍රේමදාස පත්වූයේ නම් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව තව දුරටත් බලාපොරොත්තු තබා ගත නොහැකි බවයි මගේ හැඟීම වූයේ.

“අපේ රටේ පාසලක ළමයකුගේ දවසක දිවා ආහාරය සඳහා රජය වැය කරන්නේ රුපියල් එකයි පණහයි. එකයි පණහක් කියන්නේ මොකද්ද? ටොපි තුනක් ගන්න සල්ලි. ඒ හන්ද අපේ රටේ සමහර පාසල් ළමයි ප්‍රේමදාසට කියන්නෙ ‘ටොපි තුනේ මාමා’ කියලලු. එකයි පණහෙන් කරන්න පුළුවන් මොකද්ද කියලා ඒ ළමයින්ට තේරෙනවා. ඔවුන් බුද්ධිමත් නිසා. ප්‍රේමදාසට තේරුමක් නෑ, එයා මෝඩ නිසා”

මරණයට සතියකට පෙර ඇතුළත්මුදලි කී බව මා දැන ගත්තේ පසුව පත්තර කියැවීමෙනි.

ලලිත් ඇතුළත්මුදලි ඝාතනය කවුරුන් විසින් කරන ලද්දේද යන්න මම තවම නොදනිමි. මට කිව හැක්කේ එය එල්.ටී. ටිය විසින් කරන්නට ඇති ඉඩ නම් ඉතාම අඩු බවයි. වඩමරච්චි මෙහෙයුමට නායකත්වය දීම සම්බන්ධයෙන් එල්. ටී. ටියට ඇතුළත්මුදලි කෙරෙහි වෛරයක් තිබෙන්නට ඇති බව සැබැවි. එහෙත් ඇතුළත්මුදලි ඝාතනයේ එල්.ටී.ටියට සාමාන්‍යයෙන් බැර නොකළ හැකි ආකාරයේ signature එකක් තිබුණේය. තුවක්කුවෙන් වෙඩි තබා මැරීම එල්.ටී.ටියේ සාමාන්‍ය ඝාතන සම්ප්‍රදායය නොවේ. ඔවුන්ගේ නොවරදින විධික්‍රමය වූයේ ආත්ම ඝාතක බෝම්බ කරුවන්/කාරියන්ය. මේ “low cost” විසඳුමේ අසාර්ථක වීමේ අවදානම අඩු වූ අතර ඝාතකයා ගේ පළායෑම සැලසුම් කිරීමේ අවශ්‍යතාවයක් වත් නොවීය. එහෙයින් එල්. ටී. ටිය විසින් ලලිත් ඇතුළත්මුදලි වෙඩි තබා මැරුවේය යන්න මා තවමත් විශ්වාස කිරීමට අකැමැති දෙයකි. ඔහුගේ මරණයෙන් පසුව ඊට පටුමං කිහිපයකට ඔබ්බෙන් මැරී වැටී සිටියාය කියන “රාජු” නම් ඝාතකයා හැඳුනුම්පත ඇතැතිව සිටීම බඳු එවක ආණ්ඩුව විසින් ගෙන ගිය ප්‍රචාර කිහිපයක් මේ සැකය තීව්‍ර කරයි.

දේශපාලනය කවරක් වුවද මම නායකයකු සේ ලලිත් ඇතුළත්මුදලි අගය කළෙමි. රූපවාහිනියෙන් පුවත් කීම එතරම් ප්‍රචලිත නොවූ ඒ යුගයේ අප කෙනකුගේ කථිකත්වයේ චතුර බව මනින්නේ ඔහුට සවන්දීමෙන් පමණෙකි. මම දෙවරක් ඇතුළත්මුදලිට සවන් දී ඇත්තෙමි. පළමු වර ඔහු ආනන්දයට පැමිණි විටය. ඔහු කතාව ආරම්භ කළේ “මා රාජකීයයකු වුවත් මගේ පියා ආනන්දියයෙක්. මගේ මවද යුද්ධ කාලයේ පාසල් කිහිපයක් එක් කළ යුගයක ආනන්දයේ ඉගෙනුම ලබා තිබෙනවා. ගැහැණු ළමයින් ආනන්දයට ඇතුළත් කර ගැනීම වැදගත් සිරිත තව දුරටත් පවත්වා නොගන්නේ මන්දැයි මා දන්නේ නැහැ” කියමිනි. සභාව මොහොතකින් සිනාවෙන් පිරී ගියේය.

ලලිත් ඇතුළත්මුදලිට මා දෙවන වරට සවන් දුන්නේ ඔහු මට විශ්ව විද්‍යාල අධ්‍යාපනය පිණිස ශිෂ්‍යත්වයක් පිරි නමන්නට පෙරයි. මසකට රුපියල් 350 ක මේ ශිෂ්‍යත්වය මට පිරිනමන ලද්දේ තාත්තා  සාමාජිකයකු වූ රත්නපුර සීවලී විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ අගනුවර ශාඛාව විසිනි. (1987 දී රුපියල් 350ක් යනු අද රුපියල් 1,500ක් පමණ වේ.) එදින ඔහු ‘Those who can, do; those who can’t, teach’ නම් බර්නාඩ් ෂෝගේ ප්‍රකට කියමනෙන් පටන් ගෙන සාරගර්භ දේශනයක් පැවැත්වූ බව මතකය. අද රජයේ හෝ විපක්ෂයේ ඒ මට්ටමට කිට්ටුවෙන් කථාවක් කළ හැකි දෙදෙනකුගේ නම් පමණෙකි මට මතකයට නැඟෙන්නේ. එක් අයකු විදේශ අමාත්‍ය මහචාර්ය ජී. එල්. පීරිස්ය. අනෙකා ජ්‍යෙෂ්ට අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගමය. විපක්ෂයෙන් විජේදාස රාජපක්ෂ ඊට කිට්ටු කරමින් සිටියි. අන් සියල්ලන් බොහෝ ඈතය.

එවක අධ්‍යාපන ඇමැති ලලිත් ඇතුළත්මුදලි අතින් මම සරසවි ශිෂ්‍යත්වය ලදිමි. (1987)

යළි ප්‍රේමදාසට.

මරණයෙන් වසර 18කට පසුව රණසිංහ ප්‍රේමදාසගේ භූමිකාව ගැන අර්ථවත් ඇගැයීමක් කරන්නට මේ අවස්ථාවය සිතමි.

ප්‍රේමදාස පිළිබඳව එකල මගේ වූ අන්තවාදී අදහස් මේ වන විට යම් පමණෙකට වෙනස් වී තිබේ. ලංකාවේ ආර්ථිකය, විශේෂයෙන් ග්‍රාමීය ආර්ථිකය නැංවීමෙහි ලා ඔහු අතින් ඉටු වූ මෙහය විශිෂ්ටය. ඔහු විසින් ආරම්භ කරන ලද ඇඟැලුම් කර්මාන්ත අදත් ග්‍රාමීය ආර්ථිකයෙහි ප්‍රධාන සංරචකයකි. දකුණු ආසියාවේ වෙනත් බොහෝ රටවල් 30%කට ආසන්න දරිද්‍රතා දර්ශකයක් වාර්තා කරද්දී ලංකාවේ දරිද්‍රතා දර්ශකය අද තනි ඉලක්කමක්ව ඇත්තේද ඇඟලුම් කර්මාන්තයටද, ඔහු විසින් අරඹන ලද කැපකරු මාපිය ක්‍රමය වැනි තවත් වැඩ සටහන් කිහිපයකටද එක්තරා මට්ටමකට හෝ පින් සිදු වන්නටය. අනෙක් අතට අප ඒ කාලයේ කොයිතරම් හාස්‍යයට ලක් කළද, ගම් උදාව නොවේ නම් අපේ රටේ බුත්තල, දඹුල්ල, අනුරාධපුර වැනි ඈත පළාත්වල පාරවල් වත් නොහැදෙන්නට ඉඩ තිබුණේය.

කෙසේ වුවත් රණසිංහ ප්‍රේමදාස යුගයේ වූ ආර්ථික වර්ධනය කැපී පෙනෙන්නට ඊට වඩා හේතු වුයේ ඉන් පසුව බලයට පැමිණි චන්ද්‍රිකා කුමාරතුංග යුගය ආර්ථික ක්‍රියාකාරකම් අවම වූ යුගයක් වීමය. චන්ද්‍රිකා යුගය අපේ රට මුල් වරට stagflation එකකට ගිය අවස්ථාව ලෙසද සැලකිය හැක්කේය.

Stagflation යනු ආර්ථිකයකට වැළැඳිය හැකි දරුණුම රෝග තත්ත්වයකි. සාමන්‍යයෙන් උද්ධමනය වැඩි වන විට ආර්ථිකයක වර්ධනයද වේගවත් වේ. මීට හේතුව සේ දක්වන්නේ සැබෑ පොලී අනුපාත අඩු බව වටහා ගන්නා ජනතාව බැංකුවල මුදල් තබාගෙන වැඩක් නැති බව දැන ඒවා එළියට ගෙන ආයෝජනය කිරීමය. නමුත් චන්ද්‍රිකා යුගයේදී උද්ධමනය කෙතෙක් වැඩි වුවද මෙසේ ආයෝජනයක් නුවූයේ රටේ දේශපාලන අස්ථාවරභාවය වැනි අතුරු කාරණා හෙයිනි. (උදාහරණයක් හැටියට සංචාරක හෝටල් සම්පූර්ණයෙන්ම වාගේ හිස් වූ නිසා මුදල් තිබුණත් සංචාරක ව්‍යාපාරයේ අයෝජනය ඵල රහිත විය.) මෙසේ උද්ධමනය වැඩි හා වර්ධනය අඩු විට එක තත්වයක් සුව කරන්නට ගන්නා උත්සාහය අනෙක තවත් උත්සන්න කරයි. 1996 පමණ සිට 2000 පමණ වනතුරු අප වද වින්දේ මේ ව්‍යාධියෙනි. මේ නිසා කාටත් ප්‍රේමදාසගේ අගය ඕනෑවටත් වඩා දැනුනේය. එහෙත් එසේ වූ පමණෙකින් අදහස් වන්නේ ප්‍රේමදාස ආර්ථිකයට අනුපමේය මෙහෙයක් කළ බව නොවේ.

ලලිත් ඇතුළත්මුදලි ගැන ඇගැයීමක් කළ හැකි වන්නේ ඔහුගේ අමාත්‍ය භූමිකාව පමණක් සලකමින් ඔහු රටේ නායකයා වී නම් කුමක් විය හැකිව තිබුණේද යන ප්‍රශ්නය මතු කිරීමෙනි. ඇතුළත්මුදලි උගතෙකි. ප්‍රාඥයෙකි. දක්ෂයෙකි. ප්‍රේමදාස තරමටම මිනිසුන්ට ළං නුවූවත් රනිල් වික්‍රමසිංහ සේ ඔවුන් ඈත් නොකැර ගත්තෙකි. එවැන්නකුගෙන් රටට විය හැකිව තිබුණු මෙහය ප්‍රේමදාස අතින් වූවාය වඩා විශාලය. පසුගිය වසර තිහ තුළ වූ බොහෝ ලාංකීය නායකයෝ එල්. ටී. ටිය මෝඩ ලෙස ඔඩොක්කුවේ ළාගෙන පසුව “කෑවෝ, කෑවෝ” යි කෑ ගැසුවෝය. ලලිත් ඇතුළත්මුදලි මේ ගොන්කම නොකළ බව කිවමනාය.

රණසිංහ ප්‍රේමදාස, ලලිත් ඇතුළත්මුදලි හා ගාමිණී දිසානායක එක්ව වැඩ කළේ නම් මේ රටට යහපතක් වන්නට තිබුණේය යන්න බොහෝ පරණ යූ. එන්. පී කාරයින් දරණ අදහසකි. මෙය මිථ්‍යාවකි. මෙබඳු ශක්තිමත් පෞරුෂ ඇත්තෝ කිසි විටෙක එක්ව ක්‍රියා නොකරති. වනේ වන සතුන් රංචුවක වුව alpha males ලා ඉන්නේ එකෙකි. දෙවැන්නා අනිවාර්යයෙන්ම beta male කෙනකු විය යුතුය. alpha males ලා දෙදෙනකු හෝ තිදෙනකු අතින් පාලනය වන සත්ත්ව රංචු නොවේ.

අදින් හරියටම වසර දහ අටකට මත්තෙන් රණසිංහ ප්‍රේමදාස භෞතිකව මරණයට පත් කරන ලද්දේ එල්. ටී. ටිය විසින් වුවද ඉන් පෙර ඒ වන විටත් ලලිත් ඇතුළත්මුදලි (හා ගාමිනී දිසානායක) විසින් ඔහු දේශපාලන මරණයක් කරා ඇදගෙන යමින් තිබුණේය. ප්‍රේමදාසගේ මරණයෙන් පසුව කිසිවකුට ඔහුගේ වංශය ආරක්ෂා කර නොගත හැකිවූයේ එනිසාය. ඉන් පසුව බලයට පැමිණි, ප්‍රේමදාසගේම ගෝලයා යැයි අප සිතා සිටි ඩී. බී. විජේතුංග පවා අමහර පරණ පව් ප්‍රේමදාසගේ පිටින් යවා අත හෝදා ගන්නට උත්සාහ දැරීම නිතර දකින්නට ලැබුණේය.

ප්‍රේමදාස මියගියේ 1993 මැයි මාසයේදීය. මා ඉගෙනුම නිමා කොට නැවත මව් රටට පැමිණියේ ඉන් මාස දෙකකට පසුව 1993 ජූලි මුලදීය. පරිවර්තනය කොයිතරම් වේගයකින් සිදුවීද යත් ඒ වන විට කිසිම ආණ්ඩුවේ කන්තෝරුවක බේතකටවත් ප්‍රේමදාසගේ පින්තූරයක් සොයා ගන්නට නොවීය.

Advertisements

20 responses to “21. ප්‍රේමදාස ඇතුළත්මුදලි මැරුවේද නැතොත් ඇතුළත්මුදලි ප්‍රේමදාස මැරුවේද?

  1. වැදගත් සටහනක්.. මේ කාලෙයේ තිබුන දේශපාලන වියවුල් තේරුම් ගන්න තරම් මම වයසින් මෝරල නොතිබුනත් ලලිත් ඇතුලත්මුදලි මහත්තයගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ගිය හැටි මට හොඳට මතකයි.. ප්‍රේමදාසගෙ බලකාමය කොහොම උනත් ඔහුගෙ තිබුන සමහර ගතිගුණ නායකයෙකුට අවශ්‍යයි කියලයි මන් හිතන්නෙ. මන් අහපු එක කතාවක තිබුන විදිහට ඔහුට පුලුවන් කම තිබුන පොඩි ලොකු මිනිස්සු වෙනසකින් තොරව ඔහුගෙ පැත්තට නම්මගන්න. ඒකට ඔහු පාවිච්චිකලේ හරිම සරල ට්‍රික් එකක්. මම දන්න තරමින් ඔහුට තමන්ගෙ පාක්ශිකයන්ගෙ නම් හොඳට මතක තිබ්බ. මනුස්සයකුට රටේ ජනාධිපති නම කියල කතාකලාම දැනෙන හැඟීම මොකක්ද කියල මට වඩා චානුක දන්නව ඇති. ඒත් ප්‍රේමදාසගැන විවාද කරන්න මම දැනමුත්තෙක් නෙමෙයි. ඒත් මම අහල තියෙන ප්‍රේමදාසට පුලුවන් කම තිබ්බ ඩේල් කානගී පොත්වල කිව්ව වගේ මිනිසුන්ව influence කරන්න.

    මගෙ තාත්ත තද ශ්‍රිලංකාකාරයෙක්, ඒත් අදටත් ඔහු ප්‍රේමදාසගෙ හොද පැත්තක් ගැන කියන්නෙ ඔය මිනිස්සු නම්ම ගැනීමේ හැකියාව හන්දයි කියලයි මට හිතෙන්නෙ..

  2. ප්‍රේමදාස උන්නැහේගේ හොඳක් නරකක් කියන්නතරම් මම දන්නෙ නෑ. මම එතකොට පොඩි එකා. ප්‍රේමදාස උන්නැහේ මැරුණා කියල රේඩියෝ එකෙන් කියද්දි අපේ තාත්තා අහසට වැඳගෙන මොනවදෝ කිවුවා මම බලන් හිටියා.

    උන්නැහේ ගැන මම අහල තියෙනව කතාවක්,කවුරු හරි මලයාලම් කාරයෙක් කියල තියෙනවා උන්නැහේගේ ජනාධිපති කම “විජේ” කියල නම තියෙන කෙනෙක් ගන්නව කියල. එක හින්ද ප්‍රසිද්ධ විජේලව ඔක්කොම මැරුවලු (විජය කුමාරණතුංග, රෝහණ විජේවිර, විජය විමලරත්න, රංජන් විජේරත්න etc). අන්තිමට කවුරුවත් නොහිතපු විජේතුංග උන්නැහැ ජනාධිපතිකම ගත්තලු

  3. ” උන්නැහේගේ ජනාධිපති කම “විජේ” කියල නම තියෙන කෙනෙක් ගන්නව කියල. එක හින්ද ප්‍රසිද්ධ විජේලව ඔක්කොම මැරුවලු (විජය කුමාරණතුංග, රෝහණ විජේවිර, විජය විමලරත්න, රංජන් විජේරත්න etc). අන්තිමට කවුරුවත් නොහිතපු විජේතුංග උන්නැහැ ජනාධිපතිකම ගත්තලු”

    mamath me katawa hala thiyanawa.

  4. ප්‍රේමදාස පාලනය ගැන කියන්න දේවල්නම් බොහෝ ඇත . එකක් තවම මතකයි. ඒතමා රාජ්‍ය නිලධාරීන්ට දාපු dress code එක . එක්කෝ කපටි සුට් එක අඳින්න ඕනෑ නැත්නම් ටයිකෝට්. අඩුගානේ ටයිඑක අනිවාර්යයි. ඒ දවස්වල මගේ ටයි එක සාක්කු වේවත් නැතිව මම යන්න ඔෆීස් එකෙන් එලියට යන්න බයයි මොකද ප්‍රේමදාස කොයි වෙලාවේ කඩං පාත්වෙයිද කියල බය නිසා.

  5. I too remember jubilation following the assassination of Premadasa
    Premadasa’s legacy is indeed mixed. Throughout his Presidency he suffered from low self esteem due to his humble beginnings which the Colombo chattering class did not let him forget. Even though Lalith was supposedly a liberal politician , the vernacular rag published by his Party , carried out virulent personal attacks against Premadasa including targeting his caste ! Hence when put in perspective none of these leaders were saints and none wanted to change the system of patronage and kleptocracy that was an indirect result of the Constitution of 1978 ( among many other positive aspects)

  6. Nimal Abeypala

    I just saw this blog. also your name. Do you know Jagath Lakpriya from wattegama ? Now he is living out of Sri Lanka. May be in France. He is the son in law of late prof Ediriweera Sarachchandra. If you know Jagath please leave message here. Thank you. I will comment for your postings later. Its worth to read . Thanks

  7. ඔබ වැනි උගත් මෝඩයන්ට පෙනෙන්නේ වැරදි පමණි. ඔවුන් රට වෙනුවෙන් කල තවමත් පවතින. දැන් ඉන්න එවුන් නම් වෙනස් කරගෙන කරන ඒවා ගැන මතක් නොවීම පුදුමයට කරුණක් නොවේ.

  8. නවීන්

    ලක්ෂ්මන් කදිරගාමන් ගැනත් හොද ආටිකල් එකක් ලියන්නේ.. දිවිහිමියෙන් රට වෙනුවෙන් වැඩ කරපු උදාර නායකයෙක්.. විදේශ අතපෙවීම් වැඩි මේ යුගයට එතුමාගේ අඩුව හොදට තේරෙනව..

  9. Tharindu Rathnayake

    ලලිත් කියන්නේ කොයි වගේ මනුස්සයෙක් ද කියන එක තේරුම් ගන්න උදාහරණ 2ක් දෙන්න හිතුණා. මෙයින් පළමුවැන්න මම පුද්ගලිකව දන්න දෙයක්. අනෙක් එක තිබුණේ ලලිත්ගේ නොනිමි මෙහෙවර කියන චරිතාපදානයේ.

    1. වතාවක් ලලිත් කියනවා කවදා හරි තමන් මිය ගියහම සොහොනේ කොටන්න ඕනේ වදන …

    එනම් ‍‍,

    — මෙහි නිදන මිනිසා මිනිසුන්ට බොහෝ සේ ආදරය කළේ ය. මිනිස්සු ද ඔහුට බොහෝ සේ ආදරය කළහ —

    2. ලලිත්ගේ චරිතාපදානයේ තියෙනවා මරණයට කෙටිකාලයකට පෙර තමන්ගේ දේශපාලන දිවියට 15 වසරක් සම්පූර්ණ වුණු වෙලාවේ ලලිත් ඒක ආවර්ජනය කරපු හැටි
    — මම මගේ දේශපාලන දිවියේ කිසි දවසක පුද්ග‍ලයෙකුගෙන් පළි අරගෙන නෑ. මතවාදීමය වශයෙන් මිස කිසි දවසක කිසිවෙකුට පුද්ගලික අපහාස කරලා නෑ —

    මම හිතන්නේ මේ කාරණා දෙකම ඇති ලලිත් කියන්නේ කොයි වගේ ගුණාංග තිබුණු මනුස්සයෙක් ද කියන එක දැන ගන්න.

  10. ඔබ බ්ලොග් එකක් කරන්න ගන්නව දැක්කම මම ගොඩක් සතුටු වුනා. මට කිසිම අවස්තා ඔබත් සමග වාදයකට පැටලීමේ කැමත්තක් නම් නැහැ.. ඒත් ඔබ කියන සමහර දේවල් වල අදහස පැහැදිලි නැහැ.
    ඔබ කියනවා “ඇතුළත්මුදලි රෝහණ විජේවීර සේ ත්‍රස්තවාදියකු නොවීය.” කියලා..එහෙම නම් රෝහණ විජේවීර ඇතුලු තරුණයින් මර්දනය කල ප්‍රේමදාස ගැන ඔබ මොනවද කියන්නෙ.
    ප්‍රභාකරන් ගේ ත්‍රස්තවාදය අතු ගා දැමු වර්තමාන ජනාධිපති තුමාත් අවස්තානුකූලව කටයුතු කලා.
    මම හිතන්නෙ අපි නායකයින්ව විවේචනය කල යුතුයි. එහෙත් ඒවා සාධාරණ විය යුතුයි. ( මෙයට පිලිතුරු බලාපොරොත්තු නොවෙමි )

    • @Luckey,

      ප්‍රේමදාස ගැන මා හිතූ දේ ඉතාම පැහැදිළිව මේ සටහනේ කියා තිබෙනවා. ත්‍රස්තවාදය මර්ධනය කිරීම එකක්. නමුත් ඒ උඩ දමා තමන්ගේ බලය ගොඩ නඟා ගැනීමට රාජ්‍ය ත්‍රස්තවාදය භාවිතය තව එකක්. රිචඩ් ද සොයිසා, ඇතුළත්මුදලි මැරෙන කාලේ ත්‍රස්තවාදයක් තිබුණේ නැහැ.

  11. ලලිත් ඔය කිය තරං බබෙක් නෙමෙයි මගෙ හිතේ.

    • @Kathandara,

      ලලිත් බබෙක් කියා කිසි තැනෙක කියා නැහැ. ලලිත් කියන්නේ අන්තිම කපටි දේශපාලනඥයෙක්. නමුත් කාගේ හෝ කපටිකම රටේ අභිවෘද්ධියට හේතු වෙනව නම් මා එහි වරදක් දකින්නේ නැහැ.

  12. ලලිත් ඝාතනය ගැන දිග විස්තරයක් අනුර හොරේෂස් ලියූ ගිනි අවි සහ ගිනි කෙළි පොත් පෙලේ තිබුණ වග මතකයි. පැහැදිලිවම ඒක කොටි කරපු ‍දෙයක් නෙමේය කියන සාධක එහි ස‍‍දහන්.

  13. සාලිය, ප්‍රබන්ධය හා සත්‍යය අතර ලොකු පරතරයක් තියෙනවා. ලලිත් ඝාතනයේ නූල් කවුරු අතේ තිබුණාද යන සැකය වරින් වර මතු කළත්, ඒ සිද්ධිය ගැන කෙරුනු පශ්චාත් මරණ හා අපරාධ පරික්ෂණ අනුව ඝාතකයා එල් ටී ටී ඊ සාමාජිකයෙක්.

  14. දත්ත, දත්ත, දත්ත කියමින් චානුක කාලයක් ආර්ථිකය ගැන විග්‍රහ කළා. ඒ දත්ත නිසා චානක දැක්කෙම ආර්ථිකයෙ හොද පැත්ත විතරයි. දැන් ආර්ථිකය ගැන කතා නොකර ආ ගිය කතා ලියනවා. එක අතකින් ඒක හොද දෙයක්.

    ඒත් දැන් ආගිය කතා ලියන නිසාදෝ චානකට මූලාශ්‍ර, දත්ත අවශ්‍ය නැහැ වගේ. මේ බලන්න චානක කියන කතාව,

    “……………මා ඉගෙනුම නිමා කොට නැවත මව් රටට පැමිණියේ ඉන් මාස දෙකකට පසුව 1993 ජූලි මුලදීය. පරිවර්තනය කොයිතරම් වේගයකින් සිදුවීද යත් ඒ වන විට කිසිම ආණ්ඩුවේ කන්තෝරුවක බේතකටවත් ප්‍රේමදාසගේ පින්තූරයක් සොයා ගන්නට නොවීය………..”

    ඒ කියන්නෙ චානක මහන්සිය නොබලා ලංකාවෙ හැම ආණ්ඩුවෙ කන්තෝරුවකටම ගිහින් ද මේ තීරණය ගත්තෙ? නැත්නම් තමන් අකමැති මිනිහෙකුට/දේකට පහර ගහන්න අවශ්‍ය උනාම තීරණ ගැනීමට දත්ත, මූලාශ්‍ර අවශ්‍ය බව අමතක කරනවද?

    දත්ත,දත්ත,දත්ත

  15. @sikka : අනුර හොරේෂස්ගේ ගිනි අවි සහ ගිනි කෙලි පොත් පෙල නවකතාවන් නොවේ. එහි ඇති බොහෝ කරුණු සාධක සහිතව ඉදිරිපත් කල දේවල්. මා එයින් අදහස් කරන්නේ නෑ මේ කාරණය සම්බන්ධයෙන් අනුර නිවැරදියි කියන එක. ඒත් ඔහු මතු කරන කරුණු ලෙහෙසියෙන් බැහැර කල හැකි ඒවා නොවේ.

  16. chandrka ga palanya kala apu lalith gatana komisama matkada….
    uu.n.p yata gahanna pramadasa ga aga gahanna hadapu…. atakota oya podi lamayak wanna athe maya hta…….

  17. //රත්නපුර සීවලී විද්‍යාලයීය//
    අනේ අපෙ ඉස්කෝලෙ!!…පොස්ට් එකෙ අනිත් හරිය කියෙව්වත් කිසිම අදහස්ක් එන්නෙ නැත්තෙ අපෙ කාලෙ හුගාආආආආආආආආආආක් පස්සෙ හන්දා වෙන්න ඇති අතිතය එහෙමම තිබුනාවෙ……

  18. ලලිත් ඇතුලත්මුදලි මහත්තය උගතෙක් උනාට ඔහුව ගොනාට ඇන්දුව ගාමිණී.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s