24. ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම රජයේ නිලධරයාය.

(මේ ලිපිය ලිවූයේ මැයි දහ අට වැනිදා යුද්ධයේ නිමාවේ දෙවැනි සැමරුමට සමගාමීව පළ කරනු පිණිසය. එහෙත් ඒ වන විට මා දරණ තනතුර අනුව එවැන්නක් මගේ නමින් පළ වීම නොහොබී. එනිසා මේ ලිපිය වෙනස් කිරීම් කිහිපයකින් පසුව අද, මැයි පස් වැනිදා, පළ කරමි. මේ ලිපිය ලියන්නේ පුරවැසියකු සේ රජයේ විශිෂ්ටතම නිලධරයකුගේ සේවය ඇගැයීම පිණිසය. ඔහු එවැන්නක් බලාපොරොත්තු නොවන බව දනිමි.)

කුරුක්ෂේත්‍ර යුද්ධයට මොහොතකට පෙර අර්ජුනගේ සිතෙහි අතිශයින් සාධාරණ ගැටළුවක් මතුවේ. තව මොහොතකින් තමන් මුහුණට මුහුණ ලා සටනට එළඹෙනු ඇත්තේ තම ලේ ඥාතීන් සමඟය. තමන් අතින් මිය යනු ඇත්තේ නෑකමින් මී-මුත්තා වන භීෂ්මය. තමන් මිහි මත දක්ෂතම දුනුවායා බවට පත් කළ ආදරණීය ගුරුවරයා ද්‍රෝණය. මිතුරා අශ්වතමය. ඥාති සහෝදරයන් සිය දෙනාය. යුද්ධය මේ මහා ඥාති සංහාරය සාධාරණීකරණය කරන්නේද? ඔහු මේ උභතකෝටිකය යොමු කරන්නේ තම රථාචාර්යයා වන ක්‍රිෂ්ණාටය.

අර්ජුනගේ ප්‍රශ්න හා ක්‍රිෂ්ණා අර්ජුනට දුන් දීර්ඝ පිළිතුරුය අප භගවත් ගීතාව නමින් අද හඳුනා ගන්නේ.

මහාභාරත විශාරදයකුද, හින්දු බැතිමතකුද වූ මා මිතුරු ජයන්තන් ක්‍රිෂ්ණා අර්ජුනට දුන් අවවාදය මෙසේ වැකි සතරෙකට ගොණු කළේය.

Whatever happened has happened well
Whatever happening is happening well
Whatever will happen will happen well
Do your duty and leave the rest in my hands

සිදු වූ සියල්ල යහපතට සිදුවිය.
සිදුවෙමින් පවතින සියල්ල යහපතට සිදුවෙමින් පවතී.
මතු සිදු වන සියල්ල යහපතට සිදුවනු ඇත.
ඔබේ යුතුකම කරන්න. ඉතිරිය මා බලා ගන්නම්.

ව්‍යංගය ඉවත්කරන ලද්දේ නම් ක්‍රිෂ්ණාගේ ප්‍රකාශයේ හරය මෙසේය.

ධර්මය හා අධර්මය අතර යුද්ධයකදී අන් සියළුම කාරණා අවැදගත්ය; ධර්මය වෙනුවෙන් ඔබේ යුතුකම කරන්න. අන් කිසිම දෙයක් ගැන සිතන්නට එපා.

ප්‍රකාශ කළද නොකළද වසර පහකට මත්තෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සිතිවිලි ධාරාවන් ගමන් කරන්නට ඇත්තේ මීට සමාන මඟෙකය සිතමි.

ගෝඨාභය රාජපක්ෂ නම් චරිතය මහාභාරතය තුළින් මා දකින එකම තැන මෙය නොවේ.

යුද ශිල්ප පුහුණුවෙහි යම් අවස්ථාවෙක ද්‍රෝණ පංච පාණ්ඩවයන්ට ඉලක්කයට විදීම උගන්වයි. ඉලක්කය ඈත තුරු හිසෙක ඉන්නා ගිරවෙකි.

මුල් අවස්ථාව ලැබෙන්නේ වැඩිමහල්ලා වන යුධිෂ්ඨිරටය.

“අර බලන්න” ද්‍රෝණ ඔහුට ඉලක්කය පෙන්වයි. “තොපට කිමෙක්ද පෙනෙන්නේ?”

“ගහක්, ගහේ අතු, කොළ, ගෙඩි, ඒ ගහේ ඉන්නා ගිරවෙක්…”

“එපමණද?”

“නෑ. ඊට පස්සෙන් අහස පෙනෙනවා, වළාකුළු පෙනෙනවා…”

ද්‍රෝණ ඔහු විදීම නවතා, දෙවැන්නා භීම කැඳවයි. භීමගෙන් ලබෙන්නේද ඊට සමාන පිළිතුරෙකි.

තෙවැන්නා අර්ජුනය.

“අර්ජුන, තොප දකින්නේ කිමෙක්ද?”

“මට පේනවා ගිරවකුගේ හිසක්…”

“හොඳට බලන්න. වෙන මොකවත් පේනවාද කියා”

“නැහැ. මට පේන්නේ ගිරවාගේ හිස පමණයි”

ද්‍රෝණ අර්ජුනට විදින්නට අණ කරයි. එක ඊතලයෙන් ගිරවා මැරී වැටේ.

උතුරේ යුද්ධය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ප්‍රවේශයද මෙබඳුය. ඉලක්කය දුටු පළමුවැන්නා ඔහු නොවේ. ඉලක්කය ගත් පළමුවැන්නාද ඔහු නොවේ. එහෙත් අහක ඇති ගස්, කොළ, අහස යනාදියෙන් අනෙකුන්ගේ අවධානය බිඳී තිබුණේය. ගිරා හිස පමණක් දුටු ගෝඨාභයගේ ඉලක්කය හරි ගියේය.

ගෝඨාභය රාජපක්ෂ නම් තනි මිනිසා තුළ අර්ජුන හා ක්‍රිෂ්ණා නම් චරිත ද්වයම ජීවත් වීද? ඉතිහාසය විසින් මීට පිළිතුරු සපයා ඇත්තේය.

මම කිසි දිනෙක ගෝඨාභය රාජපක්ෂ මහතා හමුව කතා බහ කොට නැත්තෙමි. අඩු තරමින් රූපවාහිනියෙන්, පුවත්පත්වල ඡායාරූප වලින් හැරුණු විට දැක නැත්තෙමි. නමුත් ඔහුගේ කතාව නොකියා මගේ පරම්පරාවේ කිසිවකුගේ කතාව කිව නොහැකිය. මේ නොදුටු මිනිසා අපේ ජීවිත වලට කොට ඇති බලපෑම අප දන්නා හඳුනන, දිනපතා මුහුණට මුහුණ හමුවන බොහෝ දෙනා කර ඇති බලපෑමට වඩා වැඩිය. උදේ බත්මුළ අතින් ගෙන, කුඩා දුවගේ පුතාගේ හිස අතගා නිවසින් එළියට බහිද්දී නැවත සවස ගෙදර එන්නට හැකිවේද සැකය මතුවන යුගය, දරුවන්ට දෙමාපියන් දෙදෙනාම නැතිවේය බියෙන් දෙන්නා දෙමාල්ලාන් එක දුම් රියේ ගමන් නොකළ යුගය නිමා කළේ ඔහුය. තවත් බොහෝ දෙනා ඊට දායකත්වය සපයන්නට ඇත. නමුත් කුරුක්ෂේත්‍ර යුද්ධය නිමා කරන්නේ යුධිෂ්ඨිර හෝ භීම නොව අර්ජුනය. ලංකාවේ තිස් වසෙක යුද්ධයේ නිමාව සනිටුහන් කරන “අදිසි මිනිසා” ගෝඨාභය රාජපක්ෂය.

මා යුද්ධයට දැඩි සේ විරුද්ධ වූ යුගයක් තිබුණේය. ඒ අයිඩියොලොජියක් හැටියට ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රචණ්ඩත්වය මූලෝත්පාඨනය කිරීම මා විශ්වාස නොකළ නිසාය. සිව් වසරක් දක්ෂිණ භාරතයේ කොනෙක දමිළ පමණක් නොව භාරතයේ සියළු ජනකොටස් වලට අයත් සොයුරු සොයුරියන් ඇසුරු කරන්න ලැබීමෙන් වෙනත් ජන කොටසක් තලා පෙළා අප පමණක් නැඟී සිටිය යුතුය යන මෝඩ කල්පනාව මට නොතිබූ නිසාය. සියළු ජන කොටස් සමගියෙන් හා ආඩම්බරයෙන් හිස ඔසවන දේශයක් භාරතයේ තැනී තිබෙනු මා දුටු නිසාය. හුදෙක් ත්‍රස්තවාදයට පිළිතුරු දීම සඳහා පමණක් “at any cost” ප්‍රවේශය මත එල් ටී. ටිය (හා 1987ට පෙර වෙනත් දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායම්) පරාජය කළ හැකි බව දැන සිටිදද, මෙරට බොහෝ රාජ්‍ය නායකයින්ට සේම මේ cost එක කුමක්ද යන ප්‍රශ්නය මටද තිබිණි. යුද්ධයකින් තොරව එකඟතාවයෙන් මේ ගැටළුව විසඳිය හැකියයි මම කල්පනා කළෙමි. එසේ කිරීම පිණිස චන්ද්‍රිකා කුමාරතුංග වෙනුවෙන් 1994දී ඡන්දය භාවිතා කළෙමි. ඇයට එය කිරීමට නොහැකි වූ විට උරණ වී ඇය ගැන විශ්වාසය අත් හළෙමි.

යම් අවස්ථාවෙක මට වැරදී ඇති බැව් මම වටහා ගතිමි. මේ අවබෝධය ඇතිවූ එකම පුද්ගලයා මා නොවේ.

“අපි කොච්චර කෑගැහුවත් මල්ලි, යුද්ධ කරනව ඇරෙන්න වෙන මොකද්ද තියෙන ප්‍රායෝගික විසඳුම? මස් රාත්තල ඉල්ලීමෙන් පොඩ්ඩක්වත් බැහැර වෙන්න එල්. ටී. ටී එකට බැරි නම් වෙන මොකක් කරන්නද කියෙන්නෙ?”

මාවිල් ආරු සටන් ඇරැඹීමට සති කිහිපයකට පෙර මේ ප්‍රශ්නය මගෙන් ඇසුවේ “රාවය” 1986 අගෝස්තු ආරම්භක කලාපයේ සිටම යුද්ධයට එරෙහිව දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටි අතුල අයියා (වික්ටර් අයිවන්) ය. මට ඔහුට දීමට පිළිතුරක් නොවීය.

කුරුක්ෂේත්‍ර යුද්ධයට පෙර ක්‍රිෂ්ණාද මා බඳුම යුද විරෝධියෙකි (pacifist). යුද්ධය ඇතිවීම වැළක්වීමට ඔහු ගත හැකි සියළු පියවර ගත්තේය. සාම දූතයෙකු සේ කෞරවයන් මුණ ගැසීමට හස්තිනාපුරට ගියේය. දුර්යෝධන විසින් ඔහුට අවමන් කොට ඔහු අත් අඩංගුවට ගැනීමට නියම කළ අවස්ථාවේ පටන් ක්‍රිෂ්ණා යුද්ධය හැර අන් විකල්පයක් නැතැයි තේරුම් ගත්තේය. මේ රටේ බහුතරයක් ජනතාව තුළ සේම මා තුළද සිදුවූයේ මේ චින්තනමය වෙනසය. කොයිතරම් යුද විරෝධියකුට වුවද එක දිගට ගහගෙන ගහගෙන ගියොත් යම් අවස්ථාවෙක ඔහු පෙරළා පහර දෙනු ඇත.

යුද්ධය විශ්ලේෂණය කිරීමට මම යුද විශේෂඥයෙක් නොවෙමි. එහෙත් මම රණබිමට සමාන්තරව සයිබර් අවකාශයේ සිදුවෙමින් පවතින “සයිබර් යුද්ධය” ඕනෑකමින් නිරීක්ෂණය කළෙමි. මා ලලිත් වීරතුංහ මහත්තයාට මෙසේ ලිවූයේ 2009 ජනවාරි නව වැනිදාය.

Dear Mr. Weeratunga,

I am no military expert. But I take pride in my expertise in on-line wars – some of them happen parallel to the ones in the battle field.

In Sri Lanka, the best on-line war ever fought was through the site defence.lk. There are no precedents – even remotely close. Starting from scratch it did not take more than two years for this site not only to be the most accessed Sri Lankan website but beat Tamilnet which had an advantage of more than a decade. It can be argued that this happened in an information monopoly – but still dailynews.lk not making anywhere close tells a long story. (Except for the site of Examination Dept, for obvious reasons, defence.lk is the only site that makes top 100 SL sites ranked on traffic)

How great to win a war both in physical and virtual worlds!

Will be grateful if you can convey my congratulations to Mr. Gotabhaya Rajapaksa for his victory in cyberspace. (Do not have his email)

Best Rgds,
Chanuka

වීරතුංග මහත්තයා සති දෙකකට පසු මෙසේ ලියා තිබුණේය.

Dear Chanuka,

I am sorry I did not reply yours earlier. I have today forwarded your mail to Mr Gotabhaya Rajapaksa. As you know he is the first Defence Secretary, or for that matter the first Secretary to a Ministry who has put to good use IT. It may be because he himself is an ICT expert. He is a model public officer because he has set very high standards. His email: xxxxxxxx@xxxx.xxx

Sincerely,
Lalith Weeratunga
Secretary to the President
Presidential Secretariat
Colombo 1.

ලලිත් වීරතුංග මහත්තයා මේ හෙළි කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බොහෝ දෙනකු නොදත් දිවියේ පැතිකඩෙකි. යුද හමුදාවෙන් ඉවත් වීමෙන් පසු කලෙකට ඔහු පරිගණක වෘත්තිකයකු බවට පත්වෙයි. කොළඹ විශ්ව විද්‍යාලයෙන් 1992දී තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත්-උපාධි ඩිප්ලෝමාවක් ලබා ගන්නා හෙතෙම මුලින් කොළඹ ඉන්ෆොමැටික්ස් ආයතනයේද, පසුව එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි ලොයෝලා නීති විද්‍යාලයේද Unix Administrator කෙනෙකු ලෙස සේවය කරයි. 2005දී ඔහු ආරක්ෂක ලේකම් ධුරය භාර ගන්නේ මේ පදවිය අත හැරීමෙන් පසුවයි. ඉන් පසු ඉතිහාසයේ මට අළුතින් විස්තර කිරීමට දෙයක් ඉතිරිව නැත.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ පහළ වූ විශිෂ්ඨතම රාජ්‍ය නිලධරයා සේ මම දකිමි. නිදහස් ලංකාවේ වෙනත් කිසිම රජයේ නිලධරයකු ඔහු තරම් දැඩි අවදානමක් ගෙන, දැඩි අධිෂ්ඨානයෙන් යුතුව යම් කාර්යයකට අතගසා ඒ කාර්යය සාර්ථකව ඉටු කොට නැත.

වසර දෙකකට මඳක් වැඩි කාලයක් නැවැතී සිටි යුද්ධයක් නැවත ආරම්භ කිරීම සුළුපටු අවදානමක් නොවේ. මා එසේ කියන්නේ හේතු ඇතිවය.

උතුරේ සටන් ආරම්භ කළ හැමවිටෙකම එල්.ටී.ටිය විසින් සටන් විරාම ලබා ගත්තේ ප්‍රතිප්‍රහාර වලින් නොවේ. කොළඹ හා අනෙකුත් පළාත් වල අහිංසක ජනතාව බුරුතු පිටින් මරාදැමීමෙනි. මහබැංකු බෝම්බය, පිටකොටුවේ කාර් බෝම්බය, ගලධාරි බෝම්බය උදාහරණය.

මාවිල් ආරු මෙහෙයුම ආරම්භ වෙද්දී මට තිබුණු ලොකුම භීතිය මෙයයි. එල්. ටී. ටිය කොළඹ නගරයේ දැවැන්ත ජන ඝාතනයකට අර අඳින බැව් රහසක් වූයේ නොවේ. ඇත්තටම ඒ සඳහා එල්. ටී. ටිය විසින් එවන ලද බෝම්බ පිරැවූ ලොරි තුනක් පොලීසිය විසින් අනාවරණය කර ගැනීමෙන් පසුව නතර කරන ලද්දේය. (යුද්ධයේ නිමාවට, අනෙකුත් ආරක්ෂක සේවාවන්ට සාපේක්ෂව, පොලීසියේ දායකත්වයට අවම බවය සාමාන්‍ය අදහස. මේ මහා මෙහෙය එය එසේ නොවන බව විදහා පායි.) මේ එක ලොරියක් හෝ කොළඹ නගරය මධ්‍යයේ පිපිරී දැවැන්ත මනුෂ්‍ය ඝාතනයක් වී නම් යුද්ධය අතර මඟ නැවැතී “නටපු නැටුමකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ” මට්ටමකට ගමන් කළ හැකිව තිබිණි. එසේම වර්තමාන ආණ්ඩුව ඊළඟ මැතිවරණයේදී පැරැදිය හැකිව තිබුණු අතර එහි සියළු දෝෂාරෝපණ ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල වන්නට තිබිණි. එහෙත් ගිරා හිසට ඉලක්කය අල්ලමින් සිටි ඔහු මේ අතුරු කාරණා ගැන වද නොවීය. අද අප භුක්ති විඳින්නේ ඒ අධිෂ්ඨාන ශක්තියේ අස්වැන්නය.

මේ සටහන යුද්ධයේ නිමාවට දායක වූ වෙනත් කිසිම කෙනකුගේ දායකත්වය අවතක්සේරු කිරීමක් නොවේ. කුරු ක්ෂේත්‍ර යුද්ධයේදීද යුධිෂ්ථිරද, භීමද, දෘපද, විරථද, ශිඛණ්ඩිද, සත්‍යකිද, තවත් බොහෝ දෙනෙක්ද පාණ්ඩවයන් වෙනුවෙන් ධීර ලෙස සටන් කළහ. එහෙත් ඉතිහාසය විසින් මුලින්ම සටහන් කරන ලද නම අර්ජුනගේය. ට්‍රෝජන් යුද්ධයේදී එතැන ඇකිලීස්ට ලැබිණි. ලංකාවේ ත්‍රස්තවාදය හා යුද්ධය නිමා කිරීමේ ගෞරවයද ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබිය යුතුය මා කියන්නේ ඒ අරුතිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම රජයේ නිලධරයාය. එහි විවාදයක් ඇතිය මම නොසිතමි.

Advertisements

67 responses to “24. ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම රජයේ නිලධරයාය.

  1. Fully agreed.
    If it wasn’t for strategies developed by Mr Gotabaya Rajapakse, we would not have won this war .

  2. නරියා

    yah agree…

  3. කුහක පටු දේශපාලන මති මතාන්තර ඇති ස්ව්ල්ප දෙනෙක් මතු කරන්නේ සහෝදර සමාගම පිලිබඳව පමණක් නිසා සාමාන්‍ය මිනිසුන්ගෙ හිත් වලට මේ අදහස කා වැදුනේ නැහැ.

    කෙසේ වුණත් මෙවැනි ලිපියකට කොල්ලා ඇලුම් කරන්නෙ කිසිම දේශපාලන මතයක් කර පින්නගෙන එහෙම නෙමෙයි. සමහර දේවල් වලට පෞද්ගලිකව අකමැති උනත් සත්‍යය කියන දේ අමතක කල යුතු නැහැ.

  4. ඩිෆෙන්ස්වයර් කියන්නේ ලංකාවේ බ්ලොග් එකක් ගිය උපරිමය. එතන වෙච්ච දේවල් හා එහි පුංචි හෝ කොටසක් වෙන්න ලැබීම මා ජිවිතයේ ලද ලොකුම භාග්‍යයක්.

    ගෝටා ගැන ඉතින් ඉහේ කෙස් ගානට කතා කරලා ඇතිනේ. අති විශිෂ්ටයි සර්.

    මාත් 2001 දී යුධ විරෝධියෙක්. ඒත් 2005 වෙද්දී මේක යුද්ධෙන් මිසක් වෙන මොකෙන් කරන්නද කියන මතයේ හිටි එකෙක්.

  5. Best article of yours I have red so far from you in this blog! reasons :
    1) Unlike other articles, here you took a personal risk of being labeled as a partisan.
    2) You knew some of your liberal fans who reading this blog might leave you, yet you mentioned what you honestly felt.
    3) Appreciating the war effort is not the fashion of the day 🙂 specially among well to do elite Colombo crowd, majority of INTERNET users are also them.
    4) Writing style, organization and reasoning, as usual.
    5) If “Weerathunga Mahattya” is reading, you risked hurting his feelings too by the topic you have chosen ( — kidding –)

    I would have mention Sarath Fonseka’s name as well, (for he too saw only the eye of the bird, at least till the end of the war I believe) but seems like you have chosen the topic carefully so you don’t need to mention too many names. 🙂

  6. How come SF try to take the full credit then?

  7. නවීන්

    මහින්ද රාජපක්ෂ ආණුඩුවේ සිටින එකම වැදගත් පුද්ගලයා තමයි ගෝඨාභය රාජපක්ශ මැතිතුමා..
    1000% එකගයි..
    ජෙනරල් සරත් ෆොන්සේකා හමුදාපති කරන්න මෙතුමා තරම් මහන්සි වූ වෙන කෙනෙක් නැති තරම්.. එත් අවසාන භාගයේ මෙතුමා ආණ්ඩුවේ ගොඩ දෙනෙක්ගේ උදහසට ලක් වුනා… informatics දිවිය ගැන තව ගොඩක් විස්තර තියෙනව.. මවැනි රාජ්ය නිළධාරීන් රටට සම්පතක්..

  8. Thanks for this post. Unfortunately most people dont understand this truth. Good that you put this in Sinhala blog sphere which is polluted by anti-sri lankan pricks!

  9. Agree….. I think we need some one like him to reform the “education sector” as well……

  10. Yes. Agreed with you.
    Like to appreciate the way you have written this ( no SF factor, no MR factor either).
    As you have said in one of earlier post, people who got strong personalities would never work together. But my feeling is, gota is the one who kept this strong people together to get the full use of them in order to complete the mission.
    That is why I respect him.

  11. හ්ම්ම්ම් 100% එකඟයි. පටු දේශපාලනේ කරපින්නා ගෙන ඔය මනුස්සයට බනින මිනිස්සුන්ට අමතක දේ තමයි ඔය මනුස්සය නොහිටියනම් තාමත් අපිට බය සැක නැතිව කොළඹ ඇවිදින්න ලැබෙන්නෙ නෑ කියන එක.

    යාපනයට යාගන්න බැරි වෙනව කියන එක.
    අද අපි නිදහසේ අවිදගෙන යන සමහර පාරවල් ඒ කාලෙ වහල තිබ්බ කියන එක.

  12. කාංචන

    සම්පූර්ණ ඇත්ත..
    (හෙට අනිත්දා උසස්වීමක් ලැබෙන්න වගේ යන්නේ.. සුබ පැතුම්..)

  13. මහි භාරතය රාමායනය නොව එම භාරතයේම තවත් පොත් ඇත තමන්ගේ තර්කය සාධාරනය කිරීමට අසරන මහා භාරතය ගැනීමෙන්ම කමක් නැහැ දැනුම නොව තොරතුරුය යන්න ගැන හිතන්න

  14. what a good article! nicely said!

  15. බුද්ධික

    නිදහසින් පසු බිහිවූ විශිෂ්ට රාජ්‍ය නිලධරයා බවට කිසිදු සැකයක් නැහැ .

  16. සරත් ෆොන්සේකා එතකොට නිදහස් ලංකාවේ බිහිවූ විශිෂ්ටතම හමුදාපතිද?මේක හරිම හිනා යන වැඩක්.යුද්ධයේදී ඇත්තටම ගෝඨාභය රාජපක්ෂගේ මොලය වගේම හමුදා මෙහෙයුම්වලදී සරත් ෆොන්සේකාගේ දක්ෂතාවය හරි හරියට වැඩ කලා.සරත් ෆොන්සේකාගේ ඒ දායකත්වය ගැන (කා කොටා ගන්න ඉස්සර) සහතිකයක් දුන්නෙත් ගෝඨාභයමයි.හැබැයි දැන් ෆොන්සේකාගේ නම ඉතිහාසයෙන් ඩිලීට් කරල.එහෙම කෙනෙක් හිටියේ නැත.අපි පාරේ බැහැලා නිදහසේ යන්නේ ගෝඨාභය නිසාය.ඇකිලිස් ඔහුය.අර්ජුන් ඔහුය.ෆොන්සේකා සයිඩ් සපෝර්ට් එකට සිටි කෙනෙකි.චානුක වත්තේගම මේ ස්වයං වාරණයක් පනවාගෙන ඉන්නේ ලලිත් විරතුංග සමග ලිපි හුවමාරු කරන මට්ටමේ ෆිට් එක නැති වෙයි කියන බයටද?

  17. ලංකාවේ සිටි විශිෂ්ටතම රාජ්‍ය නිලධාරියා යනුවෙන් වත්තේගම මුරුංගා අත්තේ තබන නිලධාරියාගේ රාජ්‍ය තාන්ත්‍රික නුවණ පහත වීඩියෝව නැරඹිමෙන් පැහැදිලි කරගත හැක.

    http://www. youtube. com/watch?v=VdhuM9zTovE

    අප සමග එකග නොවන සියල්ලෝ ත්‍රස්තවාදින්ය යන කුප්‍රකට ජෝජ් බුෂ් පන්නයේ සූත්‍රය මෙතුමා දෙසා බාන්නේ ජාත්‍යන්තර මාධ්‍යයක් ඉදිරියේය.ලංකාවේ පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ගරු නොකරන ඒකාධිපති ආන්ඩුවකි යන අදහස ජාත්‍යන්තරව ප්‍රමෝට් වෙන්නේ මෙවැනි වල්බූරු කතාවලට පිං සිද්ද වෙන්නටය.යුද්ධය “විජයග්‍රහනය” කලාට ජාත්‍යන්තරව ලංකාව මේ වනවිට පජාත වී තිබෙන බව අවාසනාවකට ඇත්තකි.එය විජාතික කුමන්ත්‍රණයක් නොවේ.කිසිදු රාජ්‍යතාන්ත්‍රිකත්වයක් නොපෙන්වන මෙවැනි ප්‍රකාශයන් විසින් ඇතිකල ප්‍රතිඵලයකි.

    මෙතුමාගේ රාජ්‍ය නිලධාරීත්වයේ විශිෂ්ටත්වය පෙන්වන තවත් නිදසුනක් මෙන්න.

    http://www. youtube. com/watch?v=tC5EOEs6b6A

    එක්සත් ජාතින්ගේ සංවිධානයේ සේවකයන් නිවාස අඩස්සියට පත්කරමින් වීරවංශ යකා නටද්දී එතනට නීතිය හා සාමය සුරැකිමට එන පොලිස් නිලධාරියාට වහාම withdraw කරගන්නා ලෙස කියමින් කෑ ගසන්නේ නිදහසින් පසු මෙරට බිහිවූ විශිෂ්ටතම රාජ්‍ය නිලධාරියාය.නීතිය රකින්නට සද්භාවයෙන් ඉදිරිපත් වන පොලිස් නිලධාරින්ට තග දමා ඔවුන් නිහඩ කරන්නෙකු රටේ විශිෂ්ටතම රාජ්‍ය නිලධාරියා වන්නේ නම් – එවැනි රටකට දෙවියන් වහන්සේ ආශිර්වාද කරත්වා!

    මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී දූෂිත තන්ත්‍රයක නියමුවන් “විශිෂ්ට රාජ්‍ය නිලධාරීන්” ලෙස අභිෂේක කරද්දි චානුක වත්තේගම ගැන අපිට දුක හිතෙනවාය.

    • @lali,

      ඔබේ කමෙන්ට් අනුව ඔබ සිටින දේශපාලන කඳවුර පහැදිලිය. එනිසා ඔබට දීර්ඝ ලෙස පිළිතුරු දීමේ අවශ්‍යතාවයක් පැණ නොනඟී.

      කෙටියෙන් කිව යුත්තේ කිසිවකු 100% නිවැරදි නැති බවයි. එවැන්නන් සොයන්නෝ එක්කෝ ලෝකය ගැන අබමල් රෙණුවක් නොදත්තෝය. නැතිනම් කුහකයෝය. විමල් වීරවංශ සිද්ධියේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාකළ ආකාරය නිසා තිස් වසරක යුද්ධය නිමා කිරීමෙන් ඔහු විසින් කරන ලද මෙහෙය නිශේධ වීය කීම හුදෙක් බොළඳ සිතිවිල්ලක් විතරය.

  18. ගෝඨාභය මැතිතුමාට මමත් ඉහලින්ම ගරුකරනවා.එතුමා මෑත කාලයේ විශාල වැඩ කොටසක් රට වෙනුවෙන් ඉටුකල පුද්ගලයන්ගෙන් කෙනෙක්.මම හිතන්නේ එතුමාට රටෙන් කිසියම් සැලකිල්ලක් මීට වඩා ලැබුණනම් හොඳයි…මොකද එතුමා රට වෙනුවෙන් යුතුකම් ඉටුකරන්නේ කිසිදෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව…..ඒක නිසා මමනම් වඩාත්ම ගරුකරන පුද්ගලයන්ගේන් කෙනෙක් තමයි එතුමා………..

  19. @ සිහිසටහන්

    //ඔබේ කමෙන්ට් අනුව ඔබ සිටින දේශපාලන කඳවුර පහැදිලිය. එනිසා ඔබට දීර්ඝ ලෙස පිළිතුරු දීමේ අවශ්‍යතාවයක් පැණ නොනඟී.//

    එතකොට පිලිතුරු දෙන්නේ තමන්ගේ කදවුරේ අයගේ කමෙන්ටුවලට විතරද?ඒකත් අපේ ආණ්ඩුවේ ප්‍රජාතන්‍ත්‍රවාදය වගේනෙ.වෙනස් මත වලට සැලකීමක් නැහැ.විසිල් පාරවල් පමණක් භාරගනු ලැබේ!:)

    මා සිදුකර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ “විශිෂ්ටතම” රාජ්‍ය නිලධාරියා කියන ඔබේ අලංකාර ප්‍රශස්තිය නිශ්චිත කරුණු උඩ ප්‍රශ්න කිරීමය.උදාහරණ 3ක් උඩ දී තිබේ.තව ඕනෙ නම් දිය හැක.සරත් ෆොන්සේකා ගැන ඇසූ ප්‍රශ්නයටත් ඔබ නිහඩය.බැරි වෙලාවත් ‍ෆොන්සේකා මේ වෙලාවෙ රාජපක්ෂ ආන්ඩුවේ ගජයෙක් වෙලා හිටියා නම් මේ ලිපියේ ඔබ ෆොන්සේකාවත් වර්ණනා කරනවාට කිසිදු සැකයක් නැති.මේවාට ඔබ පිලිතුරු නොදෙන්නේ මේවාට දිය හැකි පිලිතුරක් නැති නිසා මිස දේශපාලන කදවුරක් නිසා නොවේ.බොරු නිදහසට කාරණා නොදක්වා ඒ බවවත් පිලිගන්න.

    • @lali,

      වෙනස් මත වලට ඉඩ දෙන නිසාය (නිර්නාමිකව ආවත්) ඔබේ කමෙන්ට් පළ කර ඇත්තේ. ඔබේ මත සියල්ලන්ම විසිල් පාර ගැසිය යුතුය සිතන්නේ නම් මුළාවෙකි. බොළඳ ප්‍රකාශ සඳහා උත්තර දීමට තම් කාලයක් මට නැත. වැඩකට ඇති තර්කයක් තිබුණොත් උත්තර දෙමි. සරත් ෆොන්සේකා ගැන ඔබට මතුවී ඇති ප්‍රශ්නයට මා සටහන තුළම පිළිතුරු සපයා තිබේ. එය තේරුම් ගැනීමට නොහැකි නම් කණගාටුයි.

      • වරද ඇත්තේ ගෝටාගෙ නෙවෙයි, චානුකගෙයි. මිනිසෙකු ගැන විචාරයක් කරනවා නම් හොද පමණක් නොව නරක ද කිව යුතුය. නමුත් චානක ගෝටාගේ නරක නොකියා හොද පමණක් කතා කළේය. එහෙමනම් ගෝටාගේ නරක කතා කරන්නාට ද ඉඩක් තිබිය යුතුය. එහෙත් චානක ගෝටාගේ නරක පැත්ත කියන්නාගේ දේශපාලන කදවුර ගැන කතා කරයි.

        චානක, දැන් ඔබේ දේශපාලන කදවුර ද ඉතාම පැහැදිලිව අපට පෙනේ.

      • @Dinuka,

        සමබර අදහස් දැක්වීමකට තමයි කමෙන්ට් තීරුව ඇරලා තියෙන්නෙ. (තමන්ගේ ප්‍රකාශ ගැන වගකීමක් නොගන්නා නිර්නාමික කමෙන්ට්කරුවන්ට සමඟ) කතාවේ එක පැත්තක් විතරක් කියන්න ඕනැ නම් කමෙන්ට් තීරුව වහන්න තිබුණනෙ.

  20. ඉතාමත් කදිම ලිපියක් සහ ඔබගේ අදහස ඉතාමත් ඉහලින්ම පිලිගනිමි, උතුරේ යුද්දයට සම්ගාමීව සයිබර් යුද්දයට සහභාගී වූවෙකු ලෙස. ඒ වකවානුවේ එල්.ටී.ටී සහචරයන්ගේ මතවාද පරාජය කිරීමට “defencenet.blogspot.com”, “defencewire.blogspot.com” යන බ්ලොග් අඩවි කරනා ලද කාර්යයත් සැලකිය යුතු යැයි සිතනවා. අවසනාවකට පටු දේශපාලනයේ ගොදුරක් වූ හමුදාපති ෆොන්සේකාද අප ලද ජයග්‍රහණයේ කොටස් කරුවෙක් කියන දේ නම් ඉතිහාසයේ වැලිතලාවට යට කල නොහැක්කක්. අනිත් කරුණ නම් ෆොන්සේකා තමන් විසින් ඉල්ලාගෙන නොකෑවානම් අද ජනතාවගේ වීරයෙක් ලෙස ඉතාමත් ඉහලින් වැජබෙන්න තිබුනා.

    අද පිටියේ වීරයන් වී ගෝඨාභය රාජපක්ෂ සහ අනෙකුත් විරුවන්ගේ කාර්ය භාරය ප්‍රශ්න කරන්නවුන්, යුද්දය පැවති කාලයේදි ‘ප්‍රභාකරන් වීරයෙක්’ යන මන්ත්‍රය යමෙකු මතුරන කල කටත් පුකත් වසාගෙන සිටියවුන් සහ අද යන එන මං නැත්තවුන්.

    ඔබගේ ලිපියේ සඳහන් ලෙස, ගෝඨාභය රාජපක්ෂ මහතා තම පරිඝණක ඩිප්ලෝමාව ලබාගත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ නොව ජාතික ව්‍යාපාර කලමනාකාරීතව ආයතනය (NIBM) වෙතිනුයි.

    • දුමි;

      යුද්ධය නොකළ යුතුය, කොටි මොනවා කලත් සාකච්චා කල යුතුය, දෙමල ජනතාවට වෙනම රාජ්‍යයක් හෝ තමන් කැමති විදිහට කෑල්ලක් කඩා දිය යුතුය, වගේ ටෝක් දෙමින් හමුදාව අද පරදියි හෙට පරදියි කියා පෙන බලමින් සිටි මොලේ කුරුවල් වුන සෙට් එකට ගෝටා ගේ යහපහක් නොතේරේ. ලංකාවට එරෙහිව බෙදුම්වාදයට හිත යටින් සහය දුන් මේ අය ට වහ කදුරු වීමත් රටට වැඩක් ඇති මිනිහෙකු බවට‍ සාධකයකි.

      යුද්ධය පැරදීමත් එක්කම බ්ලොග් ටිකක් අටවා ගන්න මේ ඇත්තන් දන 24*7 වපුරන්නේ බෙදුම්වාදයයි. අදටත් මේ ගොල්ලන්ට ඇති එකම ප්‍රාමාණික සතුරා ගෝටා පමණි. තරහ ගන්නේ ඒකයි.

  21. @ සිහිසටහන්

    //බොළඳ ප්‍රකාශ සඳහා උත්තර දීමට තම් කාලයක් මට නැත. වැඩකට ඇති තර්කයක් තිබුණොත් උත්තර දෙමි.//

    මගේ අදහස් දැක්වීමේ තියෙන “බොලද” ප්‍රකාශය මොකක්ද කියල පෙන්නල දුන්නනං කෘතඥ වෙමි.රජය සමග එකග නොවන ඕනෙම කෙනෙකු ත්‍රස්තවාදියෙකු ලෙස සැලකීමට තමන්ට සිද්ද වෙන බව ජාත්‍යන්තර මාධ්‍යකට කියන ඒ හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඉතාම නරක සංඥාවක් ලෝකයට දෙන රාජ්‍යතාන්ත්‍රික නුවණක් රහිත නිලධාරියෙකුගේ තිබෙන විශිෂ්ටත්වය කුමක්ද?නීතිය රැකීමට යන පොලිස් නිලධාරින්ට මහජනයා ඉදිරියේ අවමන් කොට ‍නිතිය අතට ගත් දේශපාලකයෙකු වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින තමන්ගේ බලය අයුතු ලෙස යොදාගන්නා නිලධාරියෙක්ගේ තිබෙන විශිෂ්ටත්වය කුමක්ද?යුද්ධය අවසන්ව වසර දෙකක් ගතවූ තැනත් යාපනයේ ජනයා මත අනිවාර්ය ලියාපදිංචි නීති යනාදිය පනවමින් උන් පෙලන නිලධාරියෙකුගේ තිබෙන විශිෂ්ටත්වය කුමක්ද?මෙබදු දුර්වලතා සහිත නිලධාරියෙකු ලංකාවේ “විශ්ෂ්ටතම” රාජ්‍ය නිලධාරියා ලෙස නම් කිරීම සත පහක් වංචා නොකර,අවංකව,ජීවිත කාලය පුරා තමන්ගේ බලය අයුතු ලෙස පාවිච්චි නොකරමින් මේ රටේ සේවය කරන වෙනත් සිය ගනන් රාජ්‍ය නිලධාරීන්ට කරන අගෞරවයකි.මෙතුමා යුද්ධයේදී කරන කාර්යභාරය ( යුද්ධය ගැන මට වෙනම කියවීමක් තිබුනත්) විශාලයැයි සැලකුවත් ඉහත බරපතල දුර්වලතා හේතුවෙන් ඔහු “විශිෂ්ටතම” නිලධාරියා යැයි කිසිලෙසකින්වත් පැවසිය නොහැක.

    තර්කයක කරුණු වලට උත්තර නොදී ඕව බොලද කතා කියල මග හරින එක දහයෙ පන්තියේ විවාද කරන කාලෙ යොදාගත්ත ඇග බේරා ගැනීමේ උපක්‍රමයකි.අවශ්‍ය කරන්නේ නිශ්චිත කරුණු වලට නිශ්චිත උත්තරය.එබදු පිලිතුරු ඔබට නැති බව මම දනිමි.ඔබ නියෝජනය කරන ස්ථරය ජීවත් වන්නේ මෙම දූෂිත තන්ත්‍රය මත වසා එහි ලේ උරා බීමෙනි.එම තන්ත්‍රය ඔබ විසින් අලංකාර වචන වලින් වර්ණනා කිරීම මේ නිසා පුදුම විය යුත්තක් නොවේ.අපි ප්‍රශ්න කරන්නේ එසේ කරන ගමන් – අපි හරි තාර්කික මිනිස්සු.කරුණු හා දත්ත අනුව මිස නිගමනයකට එන්නේ නැහැ – වගේ බයිලා මිනිස්සුන්ට කියමින් සිවිල් පොරවල් ලෙස පෙනී සිටීමට දරන උත්සාහයයි.

    • @lali,

      ඔබේ යටි අරමුණු දැන දැනම, එසේම මගේ බ්ලොග් එකේ අන්තර්ගතය ගැන මා වගකීමක් ගත යුතුය කියා දැන දැනම නිර්නාමිකව ඔබ ලියූ මේ සටහන පළ කරන්නේ මෙබඳු බොල් ප්‍රකාශ පළ කරන්නට බියක් නැති නිසා.

      ඔබට අවශ්‍ය වී තිබෙන්නේ වගකීම මා මත පවරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඔබේ ඇති පෞද්ගලික වෛරයක් පිරිමසා ගැනීම. ඔබ ඉන්නා කඳවුරේ එහෙම පිරිස් ඉන්නා බව මා දන්නවා. තැලෙන යකඩේ දුටුවාම ආචාරියා උඩ පැන පැන තලනවා කීවාලු. මාර චාන්ස් එකක් නේද ඔබටත් හම්බවුණේ?

      හුදෙක් පුවත්පත් කලාවේදීන් කිහිපදෙනකුට වූ අතවර නිසා අප යුද්ධය නිමා නොකර තවදුරටත් තබා ගත යුතුය ඔබ කියන්නේ නම් ඊට දිය හැකි එකම පිළිතුර හාස්‍යය පමණයි. ඔන්න මා ඒ පිළිතුර දුන්නා.

  22. යුද්ධය හොඳම විසඳුම නොවුනත් එය ප්‍රායෝගික තලයේ දිය හැකි සාර්ථකම විසඳුම බවට තහවුරු වෙමින් පවතී . ගෝඨාභය මහතාගේ ක්‍රියාශීලි බාවය හෝ හැකියාවන් ගැන ප්‍රශ්න කල නොහැක , ඔහු විශ්ෂ්ටතම රාජ‍ය නිලධාරියා ද විය හැක , නමුත් යුද්ධයේ සම්පුර්ණ ගෞරවය හෝ වැඩි ගෞරවය ඔහුට ලබාදීම සාධාරන නොවේ යන්න මගේ හැඟිමයි / “ගෝටාබය නොසිටියා නම් යුද්ධය ජය ගත නොහැක ” කියා ඇතමෙකුට කිව හැක , ( එය සත්‍යයක් විය හැක ) නමුත් එවැනිම තත්වයේ භුමිකාවන් තවත් තිබූ බවද කිව යුතුය

  23. හහ්….

    මෙවැනි ලිපියක් දැකීමට සතුටක්. මට ප්‍රශ්නෙ තියෙන්නෙ ඔක්කොම දැන් ෆොන්සේකා ගැනම විතරයි කතාව. හරියට තනියම කලා වගේ. හැබැයි මතක තියා ගන්න ඕනේ ගුවන්, නාවික හමුදා මෙහෙය. නාවික හමුදාවෙන් කොටින්ගෙ පාවෙන යුද ගබඩා විනාස කලේ නැත්නම් අපි තාමත් යුද්දෙ පැටලිලා.

    ඒත් එක්කම ගුවන් හමුදාවෙ ප්‍රහාරයන්. තමිල්සෙල්වම්ට නැටි කරකැවෙන්න දුන්නු හැටි…

    ෆොන්සේකා අනවශ්‍ය වැළලී යන දේශපාලන පක්ෂයකට තාවකාලික සටන් පාඨයක් වීමෙන් අද ඔය තත්වෙට වැටිලා තියෙන්නෙ.

  24. එතකොට ඔසාමා බින් ලාඩ්න් මැරුවෙ හමුදාව. නමුත් වීරයා ඇමෙරිකාවෙ ජනාධිපති. ලංකාවෙ ප්‍රභාකරන් මැරුවෙ හමුදාව. හැබැයි ජනාධිපති වීරයා නෙවෙයි. පිට රටවල් වලින් යුද්ධය නවත්තන්න උත්සාහ කරන කොට ඒවට ඇහුම්කන් නොදී යුද්ධයට දේශපාලන නායකත්වය දුන්න අපේ ජනාධිපති වීරය කියල පිළිගන්න කැමති නෑ. ඒත් කාගෙන්වත් බාධාවක් නැතිව හමුදාව ලවා බින්ලාඩ්න් අල්ලපු ඇමෙරිකා ජනාධිපති විරයෙක් කියල පිළිගන්නවා.නොදකින් පිටරටට ආවඩන අවස්ථාවාදී මෝඩ හැත්ත.

  25. Chanuka, have you translated this to English ?

    I think it will be lot better if we can publish an article like this in some Indian media. Indian general public and some unbiased people in Southern India should know our side of the story as well.

    This is the time we should take these type of arguments/views towards international audiences, specially Indians who are capable of understanding us more than other nations due to parallels our fight had with theirs.

    At least send a translation to some of your Indian friends 🙂

  26. කොපමන විවේචන ආවත් චෝදනා ආවත් ඉතිහාසය හා කාලය එක්ව සියලු දේට පිළිතුරු සපයනවා ඇත. මේ දිනවල සමරන සමහර මියගිය නායකයින්ගේ ගුණ කථන අසා සිටින විට දැනෙන්නේ ඔවුන් පෙර සිටි දෙවිවරුන් කියායි. නමුත් ඉතිහාසය අමතක නොකල පිරිස් සබෑව දන්නවා. ඒ නිසං කාලය සුදුස්සාට සුදුසු තැන ලබා දේවී.එහිදි ගෝඨාට අවශ්‍ය තැන ඔහුටත් සරත්ට අවශ්‍ය තැන ඔහුටත් කාලය විසින් ලබා දෙනු ඇත. කෙසේ වෙතත් ජනතා හදවත් තුල ගෝඨා ගැන ඇති ආකල්පය හොදින්ම දන්නේ ජනතාව සමග සිටිනා අය පමණි. එසේ නොමැතිව විවිධ සංකල්ප මත ඔහු ගැන ජනතාවගේ ආකල්පය මැන බැලිය නොහැක.

  27. ඔහු, තමා භාරගත් වගකීම අකුරටම ඉටු කළ දක්ෂ නිලධාරියෙකු විනා නිදහස් ලංකාවේ ‘විශිෂ්ටතම රාජ්‍ය නිලධාරියා’ නොවේ! එසේ කීම පදනම් විරහිතය; සාවද්‍යය.

  28. චානුක,

    සිහි සටහන් යනු ඔබගේ බ්ලොගයයි. එහි ඔබට කැමති අදහසක් පලකිරීමට ඔබට හැකිය. එහෙත් “නිදහස් ලංකාවේ පහළ වූ විශිෂ්ඨතම රාජ්‍ය නිලධරයා” වන් විරුදාවලි ප්‍රධානය කරන විට එය ප්‍රශ්න කිරීමට, ඊට ප්‍රතිපක්ෂ මත ප්‍රකාශ කිරීමට අවස්ථාව තිබිය යුතු සේම ඒ වෙනුවෙන් ඉදිරිපත් කරන සාධක වලට තාර්කිකව පිළිතුරු ද ලැබිය යුතුය.

    Lali විසින් ඉදිරිපත් කල ඉතාම වලංගු තර්ක වලට ඔබ දී ඇති පිළිතුරු ගැන කිසිසේත්ම සෑහීමට පත් විය නොහැක.” යටි අරමුණු” ” බොලඳ තර්ක ” මෙවන් පිළිතුරක් ඔබ වැන්නෙක්ගෙන් මම කිසිදාක බලාපොරොත්තු නොවූයෙමි.

    අවසාන වශයෙන් මෙසේ කියමි.

    Chanuka, I am dissapointed , really, really, dissapointed.

    • @Ravi,

      මා ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් ලංකාවේ විශිෂ්ඨතම රජයේ නිලධරයා සේ ප්‍රකාශ කරන විට එයට එකඟ නොවන කෙනකු වේ නම් කළ යුත්තේ තමන්ට අනුව විශිෂ්ඨතම රජයේ නිලධරයා කවුද ප්‍රකාශ කිරීමයි. ඒ සංවාදයේ ආරම්භයයි. තවම කිසි කෙනකු ගෝඨාභය රාජපක්ෂ චරිතයට මඩ ගහනවා හැරෙන්නට එවන් නමක් යෝජනා කර ඇති බව මට නොපෙනේ. කිසිවකු හෝ එබඳු අර්ථවත් සංවාදයකට නොපැමිණීම තුළ සංවාදයක් සිදු විය නොහැකිය.

      හොඳයි, ඔබෙන් එකම එක ප්‍රශ්නයක් අහන්නට අවසර දෙන්න. ඔබට අනුව නිදහස් ලංකාවේ විශිෂ්ඨතම රජයේ නිලධරයා කවුද?

      • චානුක,

        එහෙම කෙනෙක් ඉන්නම ඕනද චානුක? අනික ඔබේ මතයට විරුද්ධ වෙනවාය කියන්නෙ මමත් එහෙම කෙනෙක් නම් කරන්නම ඕනෙද? මට හිතෙන්නෙ ඉහත ප්‍රශ්න දෙකටම පිළිතුර නැත යන්නයි.

        අනෙක් කාරණය “නිදහස් ලංකාවේ විශිෂ්ඨතම රාජ්‍ය නිලධරයා” කියල විරුදාවලියක් ප්‍රධානය කරන්න ඕනෙ උනේ ඔබටයි. මට එහෙම අවශ්‍යතාවයක් කොහෙත්ම නැහැ.

      • @Ravi,

        එහෙම කෙනෙක් ඉන්නම ඕනද චානුක? ඔබේ මතයට විරුද්ධ වෙනවාය කියන්නෙ මමත් එහෙම කෙනෙක් නම් කරන්නම ඕනෙද?

        ප්‍රශ්න දෙකටම උත්තරය ඔව්. අනිවාර්යයෙන්ම.

        ඔබට ගෝඨාභයට වඩා දක්ෂ එක් පුද්ගලයකු හෝ (වැඩි ගණනක්) නම් කල නොහැකි නම් ඔහු අනිවාර්යයෙන්ම by default විශිෂ්ටතමයා වෙනවා. එසේම ගෝඨාභය විශිෂ්ටතමයා නොවේය ඔබ කියනවා නම් ඔහුට වඩා විශිෂ්ට කවුද කියා ඔබ කිව යුතුයි නෙවැ.

      • චානුක,

        ඔබේ තර්කය උපමාවකින් ගත්තොත් මෙහෙම කියලයි මට හිතෙන්නෙ.

        චානුක මට අඹ ගෙඩියක් දීල කියනවා ” මේක තමයි මේ ලෝකෙ හොඳම අඹය” කියල. මම කියනවා ” මට ඒකට එකඟ වෙන්න බෑ, මේ අඹය පණුවො කාල, ඒ නිසා ඒ කතාවට මම විරුද්ධයි”

        චානුකගෙ උත්තරේ තමයි, ” එහෙනම් ඔබ මගේ කතාවට විරුද්ධ වීම වලංගු වෙන්නෙ, මීට වඩා හොඳ අඹයක් පෙන්නන්නට ඔබට පුලුවන් නම් විතරයි, නැත්නම් නිතරඟයෙන් මගේ අඹය හොඳම අඹය වෙනවා ”

        හරි චානුක, එකඟයි, ඔබට අවශ්‍ය එහෙම දෙයක් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ, මම එකඟයි,ඔබේ තෝරාගැනීම අනුව ඒ අඹය ලෝකේ හොඳම අඹ ගෙඩිය තමයි,මම එකඟ නොවීම වෙනම දෙයක්.

      • @Ravi,

        ඔබට ඊට වඩා හොඳ අඹයක් පෙන්වීමට නොහැකි වීම තුළම ඔබ මා හා එකඟ වී තිබේ. එබැවින් ඔබේ එකඟ වීම ගැන කිසිම ගැටළුවක් නැත.

  29. රවී/ලලි;

    කෙනෙකු “විශිෂ්ඨතම” කෙනා තෝරන්නේ කිසියම් ක්‍රමවේදයකින්. එහෙම කරන්නට සිදු වන්නේ සියල්ලම පරිපුර්ණ වූ මිනිසුන් නොමැති නිසා.

    ගෝටා ගෙ කතා හැකියාව අන්තිමයි කියා ඔහු වීරයෙකු සේ සලකන මා ඇතුළු සියල්ලෝම පිලි ගනිති. එහෙම නොපිළිගන්නා කෙනෙකු මට හමු වී නැත. එසේ වන්නේ ගෝටා හමුදා කාරයෙකු නිසා කියන්න ඇති දේ කෙලින් කියන බැවිනි. ඩිප්ලෝමට්ලා ඔව්වා කියන්නේ වටේ යමින්. [මා මෙය සාධාරණ කරනවා නොවේ]

    චානුක භාවිතා කල ක්‍රම වේදය තුල සුමට අදහස් ප්‍රකාශන හැකියාවට ඔහු ලබාදෙන “ලකුණු ගණන” අඩු ඇති. ඔබ එය අගය කරන තරමටම ඔහුත් අගය කල යුතු නැහැ.

    උතුරේ කල යුද්ධය ගැන මිනිසුන් දරන මත වෙනස් වුනාට යුධ විරෝධීන් හා බෙදුම්වාදීන් පවා යහතින් ඉන්නේ ඒ යුද්ධය නිමා කල අය නිසයි. යුද්ධයේ මුල හා හේතුව හොයන කොට අපි දෙපැත්තක ඉන්න පුළුවන්. ඒත් විනාශකාරී යුද්ධයක අවසානය දැකීම යහපත් දෙයක් බව ඔබ පිළිගන්නේ නැද්ද?

    ගෝටා කියන්නේ ඔය යුද්දයේ අවසානය හා නැවත ඇති නොවීම කියන ගිරා හිසට අන්තිම ඊ තල දෙක තුනින් විද්ද මනුස්සයා. [දෙක තුනක් කිව්වේ කොලටරල් ඩමේජ් වලට ඉඩකුත් තියලා – අර්ජුනලා ඉන්නේ පොත් වල නෙ] මේ වැඩේ කල හැකි රජයේ නිලධාරින් හිටියේ නැහැ මිට පෙර. කොටින්ම වෙන පැත්තක කෙනෙක් වුනත්, තම මුලික කර්තව්‍ය හඳුනා ගෙන එය අකුරටම කල බවක් අපේ ඉතිහාසේ නැහැ. චානුක මේකට මහා ගොඩක් “ලකුණු දෙන්න” ඇති. ඔහු විතරක් නොවේ මාත් ලකුණු දෙනවා.

    මේ සටහනේ කිසි වරදක් නැහැ. වෙනස් මිම්මකින් මැනීම නිසා වෙනස් මතයක කෙනෙක් ඉන්න පුළුවන්. කාටවත් ඩිසපොයින්ට් වෙන්න තරම් මහා වරදක් මේ කතාවේ නැති බවයි මගේ මතය.

    කෙනෙකු යුද්ධය වරදක් සේ දකිනවා නම් ඔහු ගෝටා විශිෂ්ටයෙකු සේ දකින්න ඉඩක් නැහැනේ. එහෙම කට්ටියට කියන්න තියෙන්නේ සාමයේ නාමයෙන් ඔවුන් සත්‍යග්‍රහ කලෙත් හමුදා පොලිස් රැකවල් වලින් සුරැකුණු කොළඹ හා නුවර මිස කොටියා රජ කල කිලිනොච්චියේ නොවන බවයි. උතුරේ මිනිසුන්ගේ ජිවන ප්‍රශ්න ගැන කතා කරන්නට මේ කට්ටියට එහි පය ගහන්නවත් අවස්තාවක් ලැබුනේ ගෝටලා ගිරා හිසට හරියටම විද්ද නිසා.

    අමතක කරන්න එපා බෝම්බයට අනුකම්පාවක් හෝ පැත්තක් තිබුනේ නැති බව. දැන් නම් අපිට ලොකු කතා කියන්න පුළුවන් යුධ විරෝධය ගැන.

  30. මිනිස්සු නිහඩව ඉන්න තාක් වීරයන් ය. බුද්ධිමතුන් ය. විරලයන් ය. එහෙත් කට ඇරිය සැනෙන් බිය සුළු, මෝඩ,නොවටිනා තවත් එකෙක් පමණක් බව හෙළිදරව් වේ.

    චානකටත් වී ඇත්තේ එයයි.

    ලක්බිමේ කොළමක් ලියන්න ගිය ආචාර්ය සරත් අමුණුගමටත් ඔය දේ ඔය විඩිහටම මීට කලින් සිදු වුණි.

    • @Dinuka,

      මා නිහඬව නොසිටි බවත් 1985 පටන්ම ලියූ බවත් ඔබ නොදන්නෙ කොහොමදැයි මා දන්නේ නෑ.

  31. සුජීව,

    යුද්ධය අවසන් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කල මෙහෙය විශිෂ්ඨ බවට තර්කයක් නැහැ. ඒ සඳහා සරත් ෆොන්සේකා මහතාගේ දායකත්වය අපි මොහොතකට අමතක කරමු.

    මම කියන්නෙ ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ආරක්ෂක ලේකම්. අද සිදුවන නීති විරෝධී ක්‍රියා, මාධ්‍ය මර්ධනය, විපක්ෂයට පහරදීම්, දේශපාලකයන්ගේ මැර ක්‍රියා සියල්ල සිදුවෙන්නෙත් ඔහු ආරක්ෂක යාන්ත්‍රණයේ ප්‍රධානියාව සිටියදීමයි.

    යුද්ධය අවසන් කිරීමේ සම්පූර්ණ ගෞරවය ඔහුට දෙනවා වගේම මේ සියලුදේවලත් වගකීම ඔහුට දිය යුතුමයි.මට ඇති ගැටලුව නම් මේ සියලු දේ නොසලකා හැර චානුක ඔහු දායකත්වය ලබාදුන් යුද්ධය අවසන් කිරීම පමණක් පදනම් කරගෙන ඔහුට සම්මාන ප්‍රධානය කිරීමයි.

    / කෙනෙකු “විශිෂ්ඨතම” කෙනා තෝරන්නේ කිසියම් ක්‍රමවේදයකින් /

    ඔබේ කරුණු පැහැදිලි කිරීමට ස්තූතියි. බොහෝවිට සිදුවන්නට ඇත්තේ චානුක භාවිතකල ක්‍රමවේදය වන්නට ඇති. යුද්ධය අවසන් කිරීමට චානුක 99% ලකුණු දුන්නා විය හැකියි. ඒ ක්‍රමවේදය අනුව නම් කිසිම ගැටලුවක් නැහැ, ඔහු තමා අති විශිෂ්ටයා. සම්පූර්ණයෙන්ම එකඟයි සුජීව.

    / මේ සටහනේ කිසි වරදක් නැහැ. වෙනස් මිම්මකින් මැනීම නිසා වෙනස් මතයක කෙනෙක් ඉන්න පුළුවන්. කාටවත් ඩිසපොයින්ට් වෙන්න තරම් මහා වරදක් මේ කතාවේ නැති බවයි මගේ මතය. /

    මම Dissapointed කියා සඳහන් කලේ චානුකගේ ලිපියෙහි පලවූ අන්තර්ගතය සම්බන්ධයෙන් නොවන බව එක හෙලාම කියා සිටිමි. ඒ පිලිබඳව වැරදි අදහසක් ඇති වූවානම් වරද මගේය. සමාවන්න.

    මම එසේ පැවසුවේ චානුක Lali ඉදිරිපත් කල කරුණු බොළඳ තර්ක හා යටි අරමුණු ලෙස හැඳින්වීම පිළිබඳවය. චානුකගේ ලිපිය පිළිබඳ මට Dissapoint වීමට කිසිදු කරුණක් නැත. මම මුලින්ම පැවසූ සේම තම අදහස ඉදිරිපත් කිරීමට ඔහුට පරම අයිතියක් ඇත.

    • @Ravi,

      ඔබේ තර්කය හරියට මා බංග්ලාදේශය දුප්පත් රටක් කියන කොට එහෙම කියන්නෙ කොහොමද බංග්ලාදේශයෙත් පොහොසතුන් ඉන්නවා කියනවාට සමානයි.

      ඔබ ඔය කියන සියළු කාරණා තිස් වසරක යුද්ධය නිම කිරීම හා සන්සන්දනය කරන විට නොගිණිය හැකි තරම් අල්පයි.

      අනෙක් අතට ඔබ කියන ඔය “නීති විරෝධී ක්‍රියා”, “විපක්ෂයට පහරදීම්” යනාදිය අපේ රටේ මට මතක ඇති හැම යුගයකදිම හැම ආරක්ෂක ලේකම් කෙනකු යටතේම සිදුවුණා. ලංකාවේ විතරක් නෙවෙයි හැම දකුණු ආසියානු රටකම සිදු වෙනවා. ඔබ කියනවානම් මේවා එක පුද්ගලයකු යටතේ පමණක් වුණා කියලා ඒ ඔබේ කුහකකම පෙන්වීමක්. මේවා තනි පුද්ගලයකු සම්බන්ධ දෙවල් නෙවෙයි, අපේ සංස්කෘතියෙ කොටස්.

      බරක් ඔබාමා බින් ලාඩන් මැරුවාම ඇමරිකාවේ කවුරුත් ඔබාමාගේ වැරදි හොයන්නේ නැහැ. අවාසනාවකට අපේ රටේ තියෙන්නේ වෙනස් සංස්කෘතියක්.

    • [[ඒ සඳහා සරත් ෆොන්සේකා මහතාගේ දායකත්වය අපි මොහොතකට අමතක කරමු.]]

      සරත් ෆොන්සේකා මහතාගේ දායකත්වය ගැන මගෙනුත් කිසිම තර්කයක් නැහැ. මේ දෙන්නම කලේ වටපිට බල බල ඉන්නේ නැතුව හරිම නිලය බලා ගැසීම. මේ දෙදෙනාගෙන් එකෙකුට විතරක් මේ වැඩේ මෙච්චර හොඳින් කරන්න බැරි වෙන්න තිබ්බා. එසේම අවශේෂ නිලධාරිනුත් මේ සඳහා සුවිසල් දායකවයක් දුන්නා. සටන් බිමේ විතරක් නොවේ යු එන් එකේ දයාන් ලා දක්වා. ඔවුන් විරසක වෙලා මිනි මරා ගත්තට අපට කට්ටියක් අයින් කරන්න බැහැ. [අද වනතුරු සරත් ෆොන්සේකාට විරුද්ධව මොකුත් නොකිව්වේ – චන්දය දෙන්න එපා කීම හැර – මේ නිසායි. මා මුල් වරට පවතින රජය විවේචනය කලේ ඔහුගේ අත් අඩංගුවට ගැනීම ගැනයි]

      [[යුද්ධය අවසන් කිරීමට චානුක 99% ලකුණු දුන්නා විය හැකියි.]]

      ඉවලුෂන් එකක් කලොත් මාත් ඒ විදිහට දෙනවා රවී. එක මහා ලොකු වැඩක් නිසා. ඒ වගේ මහා වැඩක් වෙන නිලධාරියෙක් මොන ක්ෂේත්‍රයක වත කර නැහැ. බොහෝ දුරින් පෙන්නේ රේල්වේ එකේ රම්පාල වගේ උදවිය. වරායේ වික්‍රම අලුතින් ලොකු වික්‍රම කරන්න ගත්ත කෙනෙක් ඒත් ඔබට ඔහුව ගෝටා හා සැසඳිය හැකිද? ඔහු බාරගත් කාර්යයන් අද රටේ දැවැන්ත විවාද බවට පත වෙලා. නමුත් රටේ හතුරෙක් වත් සැක කරනවද යුද්ධේ ජය ගැන?

      [[මම කියන්නෙ ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ආරක්ෂක ලේකම්. අද සිදුවන නීති විරෝධී ක්‍රියා, මාධ්‍ය මර්ධනය, විපක්ෂයට පහරදීම්, දේශපාලකයන්ගේ මැර ක්‍රියා සියල්ල සිදුවෙන්නෙත් ඔහු ආරක්ෂක යාන්ත්‍රණයේ ප්‍රධානියාව සිටියදීමයි]]

      1948 සිට අද දක්වා මේවා ප්‍රස්තාර ගත කලොත්, ගෝටා යුගයේ මෙම ප්‍රස්තාරය අසාමාන්‍ය ලෙස ඉහල ගොස් ඇත්නම් ඔබ හරි. මගේ ලේමන් මිම්මෙන් නම් එහෙම වූ බවක් දැනෙන්නේ නැහැ. සමහර යහපත් දේ [උදා: පෑලියගොඩ මාළු සිද්ධිය, ජිනා මැඩම් ඇල්ලීම වගේ] මිට පෙර ක්‍රියාකාරිත්වයට වඩා යහපත්. එක මිනිහෙකුට මුළු රටම හදන්න බැහැ. සමහරු කියන හැටියට ගෑනු කේස් එකකට කොල්ලෝ දෙන්නෙක් මැරුවා කියා නඩු කියන අඟුලානේ පොලිස් ලොක්කගේ වැඩේ බිලත් ගෝටා ගෙවන්න ඕනේ.

      ගෝටා නම් ගෝටා පමනයි. වටේ එවුන් කරන එව්වටත් මිනිහට වග කියන්න අමාරුයි ඔහු නිලබලයෙන් බැඳී හිටියට. ගෝටා ට උඩින් ඉන්නේ සාමාන්‍ය ශ්‍රී ලාංකික දේශපාලකයින්.

  32. ඇත්තටම රජයේ web site වලින් ඉතාම යවත්කාලීන web site එක defence .lk කියන එක ගැන විවාදයක් නැහැ, ඒත් මගේ ප්රශ්ණය අනෙත් රජයේ වෙබි සයිට් ගැනයි. ඒ ගැන කතාකරල වැඩක් නැති ගානයි. ලගදී මම treasury .gov.lk එකට ඊ මේල් එකක් ගැහුවා තොරතුරක් දැනගන්න ඒත් ඒක return වුනා. හුගක් රජයේ වෙබ් සයිටි වල තියෙන telephone numbers වලට ඩයල්කරාම ලැබෙන පිළිතුර “ඔබ ඇමතු අංකය විසංඳිකර ඇත ” කියල පටිගත කළ පනිවිඩයක් විතරයි..
    BTW, how do you rate Lalih Weeratunga ?

  33. 1. කමෙන්‍ටු වලට නම් ඉඩ දීල තියෙනව තමයි, නමුත් කමෙන්‍ටු වලින් ඔබගෙ මතය අනුමත කරන නොකරන විට ඔබේ ඒ ප්‍රජාත්න්ත්‍රවාදයේ දිග පළල කදිමට පෙනෙන්නට ගන්නව. විරුද්ධ අදහස් දරන්නාගේ අදහස සංවාදයට ලක් නොකර ඔහුගේ දේශපාලන කදවුර පෙන්වා දීමට ඇගිල්ල දිගු කරන්නේ එබැව්නි.

    2. ඔබ 1985 ඉදන්ම ලිවුවා වෙන්නට ඇති. ඒත් ඒ ලිව්වේ දේශපාලනය නොවේ. ඔබ ප්‍රසිද්ධ විද්‍යා ලේඛකයෙක් ලෙසයි. නමුත් දැන් එළිපිට දේශපාලනය කතා කරයි. කණ කොක් සුද ඉගිලෙන කොට පෙනෙනා සේ ඔබ හෙළිදරව් වන්නේ දැන්ය.

    • @Dinuka,

      1. මෙබඳු නොසැලකිලිමත් ප්‍රකාශ කරන්නට පෙර මුලින්ම විරුද්ධ අදහස් දක්වන්නන් ලියා ඇති දේ හා මා ඔවුන්ට දී ඇති පිළිතුරු සැලකිල්ලෙන් කියවා බලන්න. මට විරුද්ධ පමණින් කෙනෙකු කඳවුරකට අයත්ය කියා නැත. උදාහරණ: Ravi. ඔහු නඟා ඇති සියලු අදහස් වලට සාමාන්‍ය ලෙස පිළිතුරු දී තිබේ. නමුත් ප්‍රශ්න අහනවාට අමතරව, ඒවාට උත්තර ලැබෙන්නටත් කලින් අපට ලේබල් අලවන පිරිස් එන්නේ කොහි සිටද, ඔවුන්ගේ අවශ්‍යතා මොනවාද කියා අපට අවබෝධයක් තිබේ.

      2. වැරදියි. මම 1985 සිටම දේශපාලන ලිපි ලියා ඇත්තෙමි. (නමින් හා නොනමින්)

  34. චානුක අහන්නෙම නිදහස් ලංකාවේ පහළ වූ විශිෂ්ඨතම රාජ්‍ය නිලධරයා ගෝටා නෙවෙයි නම් වෙන කව්ද කියලයි. කවුරුත් පිළිතුරක් නොදෙන්නෙත් චානුකගෙ මේ දොළ දුකට. මම කියන්නම් පිළිතුර. නිදහස් ලංකාවේ පහළ වූ විශිෂ්ඨතම රාජ්‍ය නිලධරයා කියල මම හිතන්නෙ වර්තමාන ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග කියලයි මා හිතන්නෙ.

    • @Dinuka,

      මෙහෙම නමක් කිව්වට මදිනෙ. ඇයි ලලිත් වීරතුංග විශ්ෂ්ට රජයේ නිලධරයෙක් වෙන්නෙ, ඔහුගේ සුවිශේෂ ජයග්‍රහණ මොනවද කියලත් කිව්ව නම්. මොකද මා දන්නා ලලිත් වීරතුංග නම් ගෝඨාභය රාජපක්ෂ තමන්ට වඩා බොහෝ දේ කර ඇති බව ඉතාම නිහතමානීව පිළි ගන්නා කෙනෙකි.

  35. 1චානුක ගෝටා සම්බන්ධයෙන් දකින සියළුම ගුණාංග ඊටත් වඩා දකින්නට ඇත්තේ ලලිත් වීරතුංග තුළ ය.

    2. ගෝටා ඇතුලු සියළුම රාජ්‍ය නිලධාරීන් ඉන්නේ ලලිත් වීරතුංගයන් යටතේ නිසා ඔහුට වඩා විශිෂ්ඨයෙක් පහළ සිටී නම් ජනාධිපති ලේකම් තනතුරට ජනාධිපතිවරයා විසින් ඒ විශිෂ්ඨයා පත් කරනවා නො අනුමානය. නො එසේනම් ලලිත් වීරතුංග ඉල්ලා අස් වී ඒ විශිෂ්ඨයාට ඉඩ දිය යුතුය. ජනාධිපතිවරයා හා ලලිත් වීරතුංග එසේ නොකරන්නේ ඔවුන් සුදුස්සාට සුදුසු තැන නොදෙන නිසාද?

    3. ගෝටා මිලිටරිකාරයෙකි. ලලිත් වීරතුංග අත්දැකීම් බහුල පරිපාලන සේවයේ නිලධාරියෙකි. මේ දෙදෙනා රාජකාරීන් කරන්නේ තම ක්ෂේත්‍රයන්ට අදාළ සංස්කෘතීන් තුළ ය. ගෝටාගේ මිලිටරි බලය නැති වූවාට ලලිත් රාජ්‍යතාන්ත්‍රික හා ප්‍රජාතාන්ත්‍රික භාවිතයෙන් කටයුතු කරයි. එය නොදැක මිලිටරි බලය නිසා කැපී පෙනෙන ගෝටාගේ දක්ෂතා පමණක් චානුක දකින්නේ ලලිත්ගේ ප්‍රජාතන්ත්‍රවාදී යහ ගුණයට වඩා ගෝටාගේ මිලිටරි බලය කෙරෙහි වැඩි විශ්වාසයක් තබන නිසාද?

    4. නිලධාරියකු පිළිබදව තීරණය කළ යුත්තේ ඔහුට ඇති බලයට සාපේක්ෂවය. එසේම ඒ බලය හසුරුවන සංස්කෘතියට සාපේක්ෂවය. ගෝටාට ඇති මිලිටරි බලය ලලිත්ට නැති වූ පලියටත්, ගෝටාට නැති රාජ්‍යතාන්ත්‍රික හා ප්‍රජාතන්ත්‍රවාදී යහගුණය ලලිත්ට තිබූ පලියටත් ලලිත් විශිෂ්ඨයකු යැයි මගේ නිගමනය අහෝසි වන්නේ නැත.

    5. විශිෂ්ඨයා ගෝටා යැයි ලලිත් කියූ පලියට ද මගේ නිගමනය අහෝසි වන්නේ නැත.

    • @Dinuka,

      1. නැත. කිසිසේත්ම නැත.

      2. මේ පැහැදිළිව ක්ෂේත්‍ර දෙකකි. එක් ක්ෂේත්‍රයක ප්‍රවීණයකුට වෙනත් ක්ෂේත්‍රයක් පාලනය කළ නොහැකිය.

      3. නැත. හුදෙක් ලබා ඇති ජයග්‍රහණ (achievements) මත පමණෙකි.

      4. මෙතැන ඇත්තේ බලය පිළිබඳ ප්‍රශ්නයක් නොව ජයග්‍රහණ පිළිබඳ ප්‍රශ්ණයකි.

      5. ඔබට ඔබේ මතය දැරීමට අයිතියක් තිබේ. අනෙක් සියළු දෙනාම ඊට එකඟ විය යුතු නැත.

  36. චානුක දැන් නම් ඔබ නිවැරදි ය. ඉහත 5 ට දී ඇති පිළිතුර කලින්ම තේරුම් ගත්තා නම් මේ කාලය කා දැමීම සිදු වන්නේ නැත.

  37. ගෝරිං ලා, රොමෙල් ලා හොද නිලධාරී නොවුනේඋං යුද්ධය පැරදුණු නිසා ද?
    අයිසන්හවර්ලා, මවුන්ට්බැටන් ලා හොඳ නිලධාරී වුනේ උං යුද්ධය දිනූ නිසාද?
    අපි ඉන්නා පැත්ත අනුව මෙය වෙනස් වෙනවාද?
    මේ නිකං rhetorical ප්‍රශ්ණ ටිකක්!

    • @kathandara,

      මේ ප්‍රශ්න වලට පිළිතුරු කුමාර් සංගක්කාරට දිය හැකිය සිතමි.

    • ගෝරිං රොමෙල් යනු හමුදා නිලධාරින්. ගෝටා එක්ක සංසන්දනය හරියටම හරි නැහැ. සරත් ෆොන්සේකා වගේ කෙනෙක් එක්ක තමයි සංසන්දනය කරන්න පුළුවන්.

      හමුදා නිලධාරීන්ගේ බලන්නේ තරමක් වෙනස් ක්‍රයිටිරියා එකක් නේද? එකේදී මං හිතන්නේ සරත්ලා, අයිසන්හවර් ලා, ගෝරිං ලා රොමෙල් ලා ඉන්නේ එකම පන්තියේ. ඒක මිත්රපාර්ශ්වය පවා පිලිගන්නවා නේද? ඔවුන් මේ හමුදාකාරයින්ට පෙන්වූ සැලකිල්ල හා බිය තුල ඒක පේනවා. ඔබ දන්නවද භානු මල දවසේ දකුණේ මිනිසුන් මෙන්ම හමුදාවේ ඉහල අය පවා ඔහුගේ සටන්කාමිත්වය ගැන සිහිපත් කල බව? භානුලා කිව්වා ඉලක්ක වලට විද්ද අයයි. උන්ව ඉලක්ක ගත කල උන් තමයි මේකේ නරුමයින්.

  38. ලංකාවේ ඉන්න විශිෂ්ඨම රාජ්‍ය නිලධාරියා (ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, වගේ දෙවල් ඒ මැනුම් ඒකකය තුළ අන්තර්ගතද කියන එක ප්‍රශ්ණයක්) අපේ ජීවිතයට කොච්චර බලපෑම් කරනවාද කියලා කිව්වොත් මට මගේ කමෙන්ට් එකවත් අවංකව පළකරන්න හැකියාවක් නැහැ.
    කෙසේ වුවත් මගේ පුංචි මොළයට නොතේරෙන ප්‍රශ්ණයක් ඇත.
    එනම් මේ අපූරු නිලධාරියාගේ සහෝදරයා රටේ ජනධිපතිවරයා නොවන්නට මොහුට ලංකාවේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයට ඇතුළුවීමට හැකියාවක් තිබුණද? ඒ අනුව ඔහුගේ රාජ්‍ය සේවයට පැමිණීමම පවා ගැටළුවකි.

  39. මට මතක ලෙස කව්දෝ මීට පෙර පැවසුවේ ඇතැම් අය ගැන ඕනා නැති කොමෙන්ටු පල කිරීමෙන්ට් alphabat සුපයක් වීමට හැකි බවය් ( එසේ පවසුටේ චානුක නොවන බව කරුණාවෙන් සලකන්න)

  40. Well said. I also had the very same feeling, but I could not express that in this way. Thanks for the writer. If at least few other government officers acquire at least few of his characters, country could be better.

  41. Neutral Sri Lankan

    I am thinking is Mr. Gotabaya a real hero. I mean he left the army, I have heard due to not being promoted to full colonel. So he goest to US and after 15 years comes back only becuase his brother is President. In 15 years a person looses all what he has learnt earlier and I hear Mr. Gotabaya was working as a Unix Net Admin. How can somebody like that that suddenly after 15 years be made Secretary of Defense?? How can somebody like that function if it wasn’t the simple fact that the Brother was the president???

    Also, we have to know that Gen SF was 1 year senior to Mr. Gotabaya. So imagine a junior officer being made Sec of Defence when you are the army commander?? How fair is this? Do you REALLY consider him as a real hero? Can you compare him with somebody who has being in the 3 services for over 30 years???

  42. @විමල්:
    “ලංකාවේ ඉන්න විශිෂ්ඨම රාජ්‍ය නිලධාරියා (ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, වගේ දෙවල් ඒ මැනුම් ඒකකය තුළ අන්තර්ගතද කියන එක ප්‍රශ්ණයක්) අපේ ජීවිතයට කොච්චර බලපෑම් කරනවාද කියලා කිව්වොත් මට මගේ කමෙන්ට් එකවත් අවංකව පළකරන්න හැකියාවක් නැහැ.”

    දේශපාලන මත ගැන බ්ලොග් කරන ඕන තරම් කට්ටිය ඇති නිසාත්, මොන විරුද්ද මත බ්ලොග්(වල) ලීවත් තවමත් ජීවිතයට බලපෑම් ඇති වූ කෙනෙක් ගැන අසා නැති නිසාත් ඔබ බිය වන්නේ කුමකටද යන්නේ අපැහැදිලිය. ඇරත් බ්ලොග් වල, මුහුණු පොතේ මේ ගැනේ පල කරනා ප්‍රමාණය ගත විට මේවා පසු පස එළවීම කාලය හා සම්පත් අපතේ යැවීමකි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s