25. මහ බැංකුවේ සැම්සන්ගෙ කතන්දර (ඒ වාගෙ පුර්ෂයො අද කාලේ නෑහ්!)

මහ බැංකුවෙ ඔස්කාගෙ කතන්දර සටහනට හොඳ ප්‍රතිචාර ලැබුණා කියමුකෝ. කවුදෝ pdf කරලා මහ බැංකුව තුළ විසරණය කරපු ඊ-මේල් එකක් සැලකිය යුතු පිරිසක් කියවා තිබුණා. මොකද කථා නායකයා ජනප්‍රිය චරිතයක්නෙ. පහුගියදා දේශනයකට සවන් දෙන්නට ආපහු බැංකුවට ගියාම ඒ ගැන ගොඩාක් දෙනෙක් මතක් කළා. මා ප්‍රශ්නයක් අහන්න නැඟිට්ටාමත් කට්ටියට හිනා යනවා. “ඔස්කා”ව මතක් වෙලා.

අද කියන්න යන්නෙත් ඒ වගේම ජනප්‍රිය චරිතයක් ගැන. වෙනසකට මේ ලිපිය මුලින් අදාළ පුද්ගලයාගෙ නමින් ලියලාත් පසුව වෙනස් කළා කවුරුන් හෝ වරදවා වටහා ගනී කියලා. අනේ, නමින්ම ලිව්වේ අගෞරවයකට හෙම නෙවෙයි. මේ මා මහ බැංකුවේ සේවය කරද්දී ඉතාම ගරු කළ කිහිප දෙනා අතරින් කෙනෙක්. නමින්ම ලියන්නද කියලා ඔහුගෙන් ඇහුවා නම් ලැබෙන පිළිතුර මේකයි කියලා මට සහතිකයි.

“ඔන්න ඔහෙ ලියල දාන්න. චානුක දන්නවනෙ මම කෙළින් කතා කරන, හැංගි හැංගි වැඩ නැති මනුස්සයෙක් කියල”

ඒ වුණත් ඔහු මේ සටහන තුළ සිටිනවා නිර්නාමිකව.

සැම්සන් මහත්තයා මට ජීවිතයේ හමු වූ අවංකම නිලධරයෙක්. මා හඳුනා ගන්නා කාලෙ ඔහු එකල මහ බැංකුව යටතේ පැවැති චෙක් පත් නිෂ්කාශනාගාරයෙ ජ්‍යෙෂ්ට නිලධරයෙක් හැටියට තමයි වැඩ කළේ. තේරෙන බාසාවෙන් කිව්වොත් Cheque Clearing- House එකේ. වයස 50-55 විතර. ඔහු තරම් චෙක් ගැන දන්නා කෙනෙක් තවම මට හමු වී නැහැ. ඇවිදින විශ්වකෝෂයක්. මා චෙක්පත් ගැන දන්නා දේවල් වලින් 10% ඉගෙන ගත්තේ දහයෙ පන්තියෙදි වාණිජ විෂයට. ඉතිරි 90% ඉගෙන ගත්තේ සැම්සන් මහත්තයා ගෙන්.

“හරියට බැලුවොත් A/C Payee කියන රේඛණයේ කිසිම නෛතික වලංගුතාවයක් නැහැ” සැම්සන් දවසක කිව්වා.

“ඒ කොහොමද?” මා ඇහුවා. මොකද මගේ නමට A/C Payee කියලා රේඛණය එන චෙක් එකක් වෙන කෙනෙකුගේ ගිණුමකට දැම්මොත් ඒක ප්‍රතික්ෂේප වෙනවා අනිවාර්යයෙන්ම. ලංකාවෙ විතරක් නෙවෙයි, ලෝකෙ කොහෙත් එහෙමයි.

“A cheque is an order you give to your bank. How can you order the receiver’s bank?”

 සැම්සන් චෙක් ගැන කොයිතරම් ගැඹුරට කල්පනා කර තියේද කියා තේරුම් ගන්න මේ උදාහරණයම වුණත් ඇති.

 සැම්සන් අපේ දෙපාර්තමේන්තුවේ වාර්තාවකටත් හිමිකරුවෙක්. එක සැරේ කාර් හයක් හප්පලා. කාර් හයක් හප්පලා ඩැමේජ් කරන එක ලේසි පාසු වැඩක්ද? මේ සිද්ධිය වුණේ ලංකා බැංකු ගොඩනැඟිල්ලෙ රථ ගාලෙදි, සැම්සන් පළමු වතාවට තමන්ගේ auto gears සහිත වාහනේ එළවපු දවසෙ.

කොයි තරම් අවංක වුණත්, විශාරදයෙක් වුණත් සැම්සන්ටත් දුර්ලවතා දෙකක් තිබුණා. (නැත්නම් මේ කතන්දරේ මෙතැන නෑනෙ.) එකක් ඔහු කුකුල් කේන්තිකාරයකු වීම. දෙක, මෙහෙම කේන්ති ගියාම දෙයියන්නාන්සෙට වුණත් කියන දේ මූණටම කීම.

ඔන්න කණිෂ්ඨ නිලධරයකු කාලේ (ඒ කියන්නෙ මා ඔහු දැන ගන්නටත් වසර දහ පහළොවකට ඉහත) සැම්සන්ට විදේශ සම්මන්ත්‍රණයකට සිංගප්පූරුවට යන්න ලැබෙනවා ලොක්කාත් එක්කම. දැන් කොහොම වුණත් මේ යුගයෙ මහ බැංකුවෙ ලොක්කන් හා පොඩ්ඩන් අතර පරතරය අනෙක් රාජ්‍ය ආයතනයන්හි වගේම විශාලයි. කොතැනදී වුණත් ඉහළ නිලධරයාට ගරු කළ යුතුයි. දෙපාර්තමේන්තු ප්‍රධානියා එක්ක ඉන්න කොට ඔහු කියන දෙයක් මිස තමන්ට කැමැති දෙයක් කරන්න බැහැ. ඒ හන්දා දවසක හවස ලොක්කා සැම්සන්වත් ඇදෙගෙනම යනවා මොහොමඩ් මුස්තාෆා එකට ගෙදර ගෙනියන්න බඩු ටිකක් ගන්න.

ලොක්කාගෙ නම සමරසිංහ කියමුකො. (අන්වර්ථ නාමයක්) ඔහු තනිව තීරණයක් ගන්න බැරි (indecisive) චරිතයක්. බැංකුවෙ වැඩ වලට විතරක් නෙවෙයි, පිටතත් එහෙමයි. හැම එකටම second opinion එකක් ඕනැමයි.

දැන් දෙන්නා මුස්තාෆා එකේ බිම් මහලෙ සාරි තෝරනවා. හරියටම කිව්වොත් ලොක්කා සාරි තෝරනවා, සැම්සන් බලාගෙන ඉන්නවා.

“සැම්සන්, මේක කමලට හොඳයිද බං?” ලොක්කා අහනවා. කමලා කිව්වෙ ලොක්කාගෙ බිරිඳ.

“ඔව් මිස්ටර් සමරසිංහ හොඳ ඇති.” (ඒ නැතුව සැම්සන් වෙන මොනවා කියන්නයැ.)

“නෑ බං කමල මේ පාටට කැමැති වෙන එකක් නෑ”

“ඔව් මිස්ට සමරසිංහ එහෙම වෙන්න ඇති”

දැන් ලොක්ක තව සාරියක් ගන්නවා.

“සැම්සන්, මොකද කියන්නෙ මේක කමලට හොඳද?”

“ඔව් මිස්ටර් සමරසිංහ හොඳ ඇති.”

“නෑ බං කමල මේ පාටට කැමැති වෙන එකක් නෑ”

“ඔව් මිස්ට සමරසිංහ එහෙම වෙන්න ඇති”

………………

………………

ඔය විදියට එකම දෙබස් ඛණ්ඩ ටික තුන් හතර සැරයක්ම පුනරුච්චාරණය වුණා. දැන් සැම්සන්ට ෆ්ලවර් ජම්ප් වෙලා ඉන්නෙ. ඇයි මේක මළ කරදරයක් වෙලානෙ. අර හාමුදුරුවො බණ කියනකොට වගේ හැම එකකටම “එහෙයි” කියන්න වෙලා.

ලොක්කා තව සාරියක් අතට ගත්තා.

“සැම්සන්, මේක කමලට හොඳයිද බං?”

ඔන්න සැම්සන්ට රතු ඉර පැන්නා.

“තමුසෙගෙ ගෑනි ගැන තමුසෙ දන්නෙ නැත්නම් ඕයි, මමද දන්නෙ?”

ලොක්කා සිංගප්පූරුවෙ ඉඳන් සියළුම වැඩ කටයුතු අහවර කරලා ආපහු ලංකාවට එනකල්ම සැම්සන් එක්ක වචනයක් වත් කතා නොකළ බවයි ආරංචිය. ලංකාවට ආවයින් පස්සෙත් සමාව දීල තියෙන්නෙ දෙතුන් සැරයක් සමාව ඉල්ලලා දෙපාර්තම්න්තුවේ අනෙක් අයත් බැගෑපත්ව ආයාචනා කළායින් පස්සෙ. සැම්සන්ට සමාව ඉල්ලන්න කියලා බල කළෙත් දෙපාර්තමේන්තුවෙ යාළුවොම තමයි. නැතුව රස්සාව නැති වුණත් සැම්සන් දෙපාර්තමේන්තු ප්‍රධානියාටවත් නැවෙන පුද්ගලයෙක් නෙවෙයි.

කලාතුරෙකින් ඔහොම වුණාට සැම්සන් යාළුවන්ට ඕනෑම උදව්වක් කරන්න කැමැති, ස්ථානෝචිත ප්‍රඥාවකින් යුතු කෙනෙක්. නවකයකු හැටියට මාව අමාරුවේ වැටෙන්නට ගිය අවස්ථා වලදී ඔහු විසින් බේරාගත් අවස්ථා කිහිපයක් තියෙනවා. මේ එයින් එකක්.

මට මතක හැටියට ඒ මහ බැංකුවෙ අධිපති තුමා එක්ක දෙපාර්තමේන්තු හමුවක්. සමහර විට මේ වගේ මීටින් හරිම කම්මැලි වැඩක්. සැම්සන් තමයි ප්‍රසන්ටේශන් එක කරමින් හිටියේ. ඔහුටත් තමන් කැමැති විෂයයක් ගැන කතා කරන්න ගියාම කවුරුත් අහගෙන ඉන්නවාද නැද්ද ගැටළුවක් නෑ. ඔහේ කියවාගෙන යනවා. අපිත් ඉතින් කය මීටිමේ තියල හිත ලෝකෙ වටේ යවන එක තමයි කාරිය.

අධිපතිතුමා නම් මේ වගේ අවස්ථා භාවිතා කළේ වෙන වැඩකටයි. මොකද ඔහුට අපට වගේ හැන්දෑවෙ පහට පොත අස්සන් කරලා ගෙදර යන්න බැහැ. රෑට පාටි, භෝජන සංග්‍රහ වලට සහභාගි වීමත් රාජකාරියෙම කොටසක්. ඒ මදිවාට ඒ කාලෙ ජනාධිපති චන්ද්‍රිකා මැඩම් එක්ක වැඩ කරන්න ගියාම රැයක් දවාලක් නෑ. කීයට හරි එනකල් බලාගෙන ඉන්න ඕනැ. කවදාවත් වෙලාවට ආපු කෙනෙක්යැ. ඉතින් ඔය විදියට රෑට අහිමි වෙන නින්ද පොඩ්ඩක් ලබා ගන්න තමයි මේ කාලෙ අධිපති ඒ. එස්. ජයවර්ධන මහත්තයා භාවිතා කළේ. වැඩි වෙලාවක් නෙවෙයි මීටිමක් මැද්දේ මිනිත්තු තුන හතරක කුකුළු නින්දක්. මේකෙන් කාටවත් හිරිහැරයක් නොවුණා වගේම කවුරුත් ඒකෙ වැරැද්දක් දැක්කෙත් නෑ.

එදත් මීටිම පොඩ්ඩක් නෙවෙයි හොඳටම බෝරිං හන්දා ගවනර් පොඩි කුකුළු නින්දක හිටියේ, සැම්සන් ඔහේ කතා කරගෙන ගියා.

මාත් හිටියෙ පුදුම කම්මැලිකමකින්. ඒත් මට නිදාගන්න බෑනෙ. ඉතින් ඔහේ කාලෙ කන්න අතේ තිබිච්චි බෝල්පොයින්ට් පෑනයි රබර් පටියකුයි එහාට මෙහාට කරකවා කරකවා හිටියා. මේක ඉතාම නරක පුරුද්දක්. අප කල්පනා නොකළාට ප්‍රතිඵල භයානක වෙන්න පුළුවන්.

එක පාරටම රබර් පටිය ගැස්සිලා පෑනේ කොපුව (විල්ල) ඉගිල්ලුනා.

මර්ෆිගේ නියමයක් තියෙනවා A falling body always rolls to the most inaccessible spot. කියලා. මටත් වුණු දේ මීට සමානයි. විල්ල ගිහිලා වැටුණා වැටෙන්න පුළුවන් නරකම තැනෙකට. දැන් ඒක මේසේ අනෙක් පැත්තෙ වාඩිවෙලා හිටිය අධිපතිතුමන්ගේ ඉස්සරහ තිබුණු වතුර වීදුරුවෙ පාවෙනවා. (එක අතකට ඒක හොඳයි. තව ටිකක් හයියෙන් ගියා නම් අධිපතිතුමාගෙ නළලෙ වැදෙන්නත් තුබුණා මිසයිලයක් වගේ.)

අමරානන්ද සෝමසිරි ජයවර්ධන මහතා - අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව (1995-2004)

කාමරේ වෙච්චි දේ හිතා ගන්න පුළුවන්නෙ. නියෝජ්‍ය අධිපතිතුමායි, විධායක අධ්‍යක්ෂතුමායි රවනවා මාව බැල්මෙන් දවා අළු කරන්න වගේ. අපේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමිය ඈත ඉඳන් අතින් මොනවාද කියන්න හදනවා පැහැදිළි නෑ. ඒ අස්සෙ අපේ උන් ටික අතින් කට වහ ගෙන හිනාවෙනවා. අධිපතිතුමා තාම නිදි. ඇහැරෙන්න කලින් කුමක් හෝ කළ යුතුයි. ඒත් කාටවත් සිහි නෑ මොකක් කරන්නද කියලා.

අධිපතිතුමා ඇහැඇරලා, වීදුරුවෙ පාවෙන විල්ල දැකලා “How this came to my glass?” ඇහුවනම් මට විතරක් නෙවෙයි හැමෝටම බඩු බනිස් තමයි. මොකද බොරු කියලා අන්දන්න පුළුවන් කෙනෙක් නෙවෙයි ඒ. එස්, ජයවර්ධන මහත්තයා කියන්නේ. කවුරු හරි බොරු කියනවා කියල හිතුන නම් ප්‍රශ්න හැටක් හරි අහල ඇත්ත හොයා ගන්න සූරයා. ඇත්ත හොයා ගන්න කල්ම ප්‍රශ්න අහනවා.

ඔන්න ඔය වෙලේ තමයි සැම්සන් මගේ ගැලවුම්කාරයා වුණේ.

මතකයිනෙ සැම්සන් එවෙලෙ හිටියෙ ප්‍රසෙන්ටේශන් එක කරමින් කියලා. ඔහු අතට ගත්තා කිට්ටුවක තිබුණු වෙන නොඉඳුල් වතුර වීදුරුවක්. කතාවෙ ස්වරයේ හෝ වේගය පොඩ්ඩක් වත් වෙනස් නොකර කාමරේ ඇවිදින්න පටන් ගත්තා. දේශකයාට ඉතින් කාමරේ ඇවිදින්න බාධාවක් නැහැනෙ. නීතියක් නෑනෙ එක තැනම ඉඳගෙන කතා කරන්න ඕනැ කියල.

අධිපතිතුමා කිට්ටුවට ආව විතරයි, එකපාරටම වීදුරු දෙක මාරු කළා. දැන් විල්ල තියෙන වීදුරුව ඔහුගෙ අතේ. පුදුමෙ කියන්නෙ මේ සියල්ල කළේ කතාවෙ ස්වරය හෝ වේගය පොඩියක් වත් වෙනස් නොකර.

අධිපතිතුමන් ඇස් ඇරියෙ හරියටම ඊට තත්පරයෙන් කොටසකට පසු කියල කියන්න පුළුවන්. හැබැයි එතකොට සැම්සන්ගෙ මිෂන් එක ඉවර වෙලා අහවරයි.

දැන් කාමරේ ඉන්න එවුන්ට බකස් ගාල හිනා යන තරමට. අමාරුවෙන් හිනාව තද කරගෙන ඉන්නෙ. ඒත් අධිපති තුමා ඉස්සරහ හිනා වෙන්න බෑනෙ. කට්ටියම බැරෑරුම් පෙණුමක් ආරූඪ කරගෙන හිටියා. අධිපතිතුමන්ටත් තේරුණා මොකක් හරි වුණා තමයි කියලා. ඒත් විමසන්න තරම් දෙයක් නෑ. සැම්සන් දිගටම ප්‍රසන්ටේශන් එක කළා. නොන් ස්ටොප්.

(සැම්සන් මේ ආදර්ශයෙන්ම පෙන්නුවේ වැදගත් දෙයක්. කණ්ඩායමක පොඩි එකෙක් අමාරුවේ වැටුණාම තමන් අවදානමක් අරගෙන හරි ගොඩ දාන එක ජ්‍යෙෂ්ටයන්ගේ වගකීම. එතකොට තමයි “ටීම් ස්පිරිට්” එකක්, කණ්ඩායම් හැඟීමක් ඇතිවෙන්නේ. සැම්සන් එහෙම කළායින් පස්සෙ ඔහු කියන කිසිම වැඩක් මට ප්‍රතික්ෂේප කරන්න බැහැනෙ.)

මහ බැංකුවෙන් අයින් වුණාට පස්සෙ මගේ මානුෂික සම්බන්ධතා බොහොමයක් බිඳ වැටුණා. සැම්සන්ගේ මරණය මා දැන ගත්තෙ පසුව අශෝක හඳගම හමු වෙන්න ගිය වෙලාවක දැන්වීමකිනුයි. ඒ මා සැබැවින්ම දුක් වූ දවසක්.

 සැම්සන්ගැන කියන කොට මට මතක් වෙන්නේ ‘කවුද බෝයි’ ගීතය.

ඒම තමයි ඒ කාලෙ වීර පුර්ෂයෝ
ඒ වාගෙ පුර්ෂයො අද කාලේ නෑහ්.

Advertisements

15 responses to “25. මහ බැංකුවේ සැම්සන්ගෙ කතන්දර (ඒ වාගෙ පුර්ෂයො අද කාලේ නෑහ්!)

  1. ‍ලොල්ස්, ඒක පට්ට! 😛

  2. අද ඉන්න වීර පුරුසයො ඔහොම එකක් දැක්කොත් “දෙන්නං බැටේ” කියල නිදාගෙන ඉන්න ලොක්කට ඇඟිල්ලෙන් හරි ඇනලහරි පෙන්නයි කොපුව.

  3. නියමයි… 😀

  4. (සැම්සන් මේ ආදර්ශයෙන්ම පෙන්නුවේ වැදගත් දෙයක්. කණ්ඩායමක පොඩි එකෙක් අමාරුවේ වැටුණාම තමන් අවදානමක් අරගෙන හරි ගොඩ දාන එක ජ්‍යෙෂ්ටයන්ගේ වගකීම. එතකොට තමයි “ටීම් ස්පිරිට්” එකක්, කණ්ඩායම් හැඟීමක් ඇතිවෙන්නේ.
    ඇත්ත ..,

    සැම්සන් එහෙම කළායින් පස්සෙ ඔහු කියන කිසිම වැඩක් මට ප්‍රතික්ෂේප කරන්න බැහැනෙ.)

    ඔහු මොහොතකටවත් මේ ගැන නම් නොසිතන්නඇති ඒ වෙලාවේ…

  5. දසක සතරක මතක —– දශක සතරක මතක විදියට වෙනස් වෙන්න ඔනේ නේද?

  6. එළ කොල්ලෙක්……….

  7. කතාව නම් සුපිරි,
    කණ්ඩායම් හැඟිම ගැන කියපු දේ නම් ඊටත් වඩා වටිනවා.
    මම දන්නෙ නැහැ ඔබ ආයෙත් ලියාවිද, නොලියාවිද කියලා. ඒත් මේ වගේ අත්දැකීම් බෙදා නොගෙන වැලලිලා යන්න ඉඩ හරින ඒක හරි නැහැ නේද ?
    ඒ ගැන හිතලා පුලුවන් විදියට ලියන්න බලන්න

  8. TheOldCentralBanker

    Samson has been one of my great friends in the CB. He was the first person in CB who published a journal for banking in Sinhala. He got me also to write an article for the journal and unlike others, paid me a handsome amount by the standards of the day. He was also a person with entrepreneurship. He bought a land for a small sum from Mount Lavinia area and sold it for a thumping sum in the property boom of JRJ’s first few years of reigning. Chanuka is correct. He was a mobile encyclopedia on banking, having lectured in that subject for more than three decades for IBSL exams. There have been thousands of students who have studied that subject under him and holding high positions in banks today.
    His untimely death is really a loss to everyone who knew him.

  9. තමන්ගේ කෙනෙක් පාවා නොදීම තමයි මම දකින් හැටියට කන්ඩායමක තියෙන්නේ ඕන වැදගත්ම ලක්‍ෂනය ..

    ආසාවෙන්ම කියාවාපු තවත් එක් සිහි සටහනක් !

  10. ඒකත් නියමයි ඈ.

  11. බැරි වෙලාවත් මාට්ටු වුනානම් තමා එල …………..

  12. කතන්දර කරපු එකම පිං අතේ වැඩේ ඔබතුමාට බ්ලොග් ලියන්න උනන්දුවක් දීම වෙන්න ඇති.
    දිගටම ලියන්න.

  13. පට්ට කතාව… මේක කියවන්න කලින් අද පෝස්ට් එක ගැන වෙන එකෙක් කිව්ව..කෝකටත් කියල බස් එකේ එන ගමන් බලන්න ගත්තෙ. හරියටම නුගේගොඩ පාලම උඩ…හික්ස් පැන්නෙ නැතැ කියන්නෙත් නැතුව… පට්ට කතාව.. දැන් ආපහු කියොල කමෙන්ට් කරන්නෙ…දිගටම ලියන්න ඔය කරන්න යන අපරාදෙ කලොත් වෙන්නෙ අර ඩොයිල් හෝම්ස් මරල දාල කතාව ලියපු දවසෙ වෙච්ච දේ… ඒ වචන වලින්ම කිව්වොත් — “උඹ මහ යක්ෂයෙක්”

  14. ඔබ ලිවීම අත්හැරලාද? දිගටම ලියන්න…

  15. අනේ අපොයි, මහ බැංකුවෙ මීටිං වල හැටි, අනෙක් තැන් ගැන කුමන කතාද?

    සැම්සන්, මං ඇහැරෙන්නද බං දැන්?
    තමුසෙ නෙ බොස්; තමුසෙ දැනගන්න එපායෑ ඇහැරෙන වෙලාව..
    මොකක් කිව්ව තමුසෙ?
    නෑ නෑ සොරි සර් තව ටිකක් නිදාගන්න,
    සර්ගෙන් කවුද explanation letter ඉල්ලල ලියුම් ගහන්නෙ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s