26. මඩකලපුවේ මහ ගංවතුරට බැස්සෙමි.

සර්වෝදයේ මඩකලපුව දිස්ත්‍රික් ශාඛාවේ ආධුනික ඡායාරූප ශිල්පී සොහොයුරකු විසින් ගන්නා ලද මේ ඡායාරූපය මඩකලපුවේ ගංවතුර ව්‍යසනය විදහා දක්වන හොඳම පින්තූරයය සිතමි. මවිසින් ලබා දෙනු ලදුව මේ ඡායාරූපය TIME ඇතුළු තවත් ජාත්‍යන්තර හා විදේශීය ජනමාධ්‍ය කිහිපයකම පළවිය.

2011 ජනවාරි 11 උදේ, සතුරුකොණ්ඩාල්, මඩකලපුව

“මොකද කරන්නේ?” නිශාන්ත අසයි.

මම නිහඬව සිටිමි. යමක් කීම පහසුය. එහෙත් මා නිවැරදි වීම හා නොවීම අතර දැවැන්ත වෙනසක් තිබියදී කිසිවක් නොකීම වඩා හොඳය.

හාත්පස පරිසරය වචනයට නැඟීම උගහටය. අඳුරු අහස. නොකඩවා ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව. ගහකොළ අඩු හිස් බිමෙහි බැලූ බැලූ අත පෙනෙන බොර වතුර.

මිනිස්සු, ගැහැණු ඉණ වටක්, කරවටක් ජලයේ බැස බයිසිකල්, ගෝනි, කෙහෙල් කැන්, ඇඳුම් ඔළුවට උඩින් උස්සාගෙන, කුඩා දරුවන් වඩා ගෙන යති. ඔවුන්ගේ මුහුණු මළානිකය. වෙහෙසකරය.

අප ඉදිරියේ පාර කිලෝමීටරයක් පමණ දුර ගංවතුරට යටව ඇත්තේය.

“යන්ඩ බෑ මාතිය. යඩි තුනක් හතරක් වතුර…යුදේ ඉඳන් ගියෙ ට්‍රැක්ටරේ විතරයි”

දැනමුත්තෝ අපට කැඩිච්චි සිංහලෙන් දැනමුතුකම් දෙති. පාරේ පසෙක මේ දැනමුතුකම් අසා නතර වූ වාහන පෝලිමකි.

“නිශාන්ත, යන්න බෑ මචං. අර අඩි තුනක හතරක වතුරෙ වෙහිකල් එක නතර වුණාය කියන්නෙ අපට ජීවිතේට කාල නැති කට්ටක් කන්න වෙන්නෙ” ඒ සුජීවය.

ඔහු කියන්නේ ඇත්තය. අපට මේ ධාරානිපාත වර්ෂාවේ නාගන්නවා මදිවාට, මදි නැතුව බැනුම් අහන්න වෙන වැඩකි ඒ. අනෙක මේ තීරණාත්මක අවස්ථාවේ වාහනය කැඩෙනවාය කියන්නේ අතපය කැඩෙනවාට සමාන වැඩකි.

“යමුකො බලන්න, මෙච්චර දුර ආවෙ මෙතැනින් හැරිල යන්න නෙවෙයිනෙ”

අවසානයේ රියැදුරා කථා කරයි. ඔහු ඒ කියන්නේ සියළු දුෂ්කරතා ගැන කල්පනා කර බලාය මම සිතමි. වාහනය වතුරේ නතර වී නම් වැඩිම වගකීම ගත යුතු වන්නේ ඔහුය.

යෝජනාවට පක්ෂව ඡන්ද දෙකයි.(නිශාන්ත, රියැදුරා) විපක්ෂව එකයි. (සුජීව) ප්‍රකාශ නොකළ ඡන්ද සංඛ්‍යාව එකයි. (මම!) යෝජනාව වැඩි ඡන්ද එකකින් සම්මත වේ. රියැදුරා four wheel drive පණ ගැන්වීම ඇතුළු ගත හැකි සියළු ආරක්ෂක උපක්‍රම ගෙන ඇක්සලරේටරයට පා තබයි.

අපි නේරංජනාව තරණය කරමු. යන්නේ සිව් රෝදයකද බෝට්ටුවකද හිතා ගන්නට බැරිය. බොර වතුර මැදින් අපි සීරුවෙන් ඉදිරියට ඇදෙමු. අවස්ථා දෙකකදී තත්පර කීපයකට ඩෑෂ් බෝඩ් එකේ සියළු එළි දැල් වේ. කල්පයක් සේ හැඟුණු මිනිත්තු කිහිපයකට පසුව අපි අනෙක් ඉවුරට සැපත් වෙමු.

“ඩෑෂ් බෝඩ් එකේ ලයිට් පත්තු වෙච්චි විදියට මම නම් හිතුවෙ බබා හම්බ වුණා කියල” මම කියමි.

“බොනට් එකට උඩින් වතුර ගියාම එහෙම වෙනවා” රියැදුරා කියන්නේ ගාණක් නැතිවය.

මේ අපි එරාවුර් මඩකලපු මාර්ගය ඔස්සේ ජලයෙන් යටවූ මඩකලපුවට පිවිසි හැටිය.

2011 ජනවාරියේ මා සිටියේ ගෙදරය. නියත රැකියාවක් නැතිවය. වැඩ ටිකක් තිබුණත් අළුත් අත්දැකීමකට මම කැමැති වීමි. ත්සුනාමියට පසුව වූ දරුණුම ස්වභාවික ව්‍යසනයට නැඟෙනහිර හා උතුරු මැද පළාත් ගොදුරුව ඇතිය ඇසූ විට එහි යන්නට මට ක්ෂණික ආසාවක් මතුවූයේය. මම සර්වෝදය මහ ලේකම් ආචාර්ය වින්‍යා ආරියරත්නට කතා කළෙමි.

“ඩොක්ට, මම ගෙදරට වෙලා නිකං ඉන්නෙ. මගෙන් ගන්න පුළුවන් වැඩක් ඇතිනම් ගන්න.”

“චානුක කතා කරපු එක හොඳයි. අපේ වෙහිකල් එකක් යනවා තව ටිකකින් රිලීෆ් මැටීරියල් ටිකකුයි ටීම් එකකුයි අරගෙන. ඒ ගොල්ල එක්ක ගිහින් මට සිටුවේෂන් රිපෝට් එකක් දෙන්න. එතකොට අපට තව කරන්න ඕනැ මොනවද කියල තීරණය කරන්න පුළුවන්. මං ඔයාව පික් කරන්න කියන්නම්” ඔහු කීවේය.

මා ඒ ගමනට එක්වූයේ එසේය.

මේ ගමන ගැන මා යළි සටහනක් නොතැබිය යුත්තේ ඒ කාලයේදීම ලක්බිමට ලියූ කෙටි ලිපියක් ඇති නිසාය. එයයි පහත පළ වන්නේ.

A5 මාර්ගය දින දෙකක් ජලයෙන් යටව තිබී වාහන ගමනාගමනයට විවෘත කරන ලද්දේ අප එහි ළඟාවූ දින උදෑසනය. මේ ඈත සිට ගහකොළ ගංවතුරට ගසාගෙන විත් තිබුණු අයුරුයි.

සතුරුකොණ්ඩාල් වලට කිලෝමීටරයකට පෙර

ජලයෙන් යට වූ මඩකලපු නගරය

ජලයෙන් යට වූ මඩකලපු නගරය

මඩකලපුව "කලපුව" තරණය කිරීම

ව්‍යසනයේම පාර්ශවයක් වී ව්‍යසනය දැකීම

චානුක වත්තේගම

ස්වාභාවික ව්‍යසනයක් දුරින් සිට නැරඹිය නොහැකිය. ස්වාභාවික ව්‍යසනයක් සැබෑ ලෙස දැකිය හැක්කේ එහි පාර්ශවයක් වෙමින්ම පමණෙකි.

ගල් ඔය මිටියාවතෙහි සිටියදී ගංවතුරකට කොටු වීමෙන් තමන් ලද අත්දැකීම් ගුණදාස ලියනගේ විසින් ‘ගුවනින් ගිය ගොඩයා’හි විස්තර කරනු ලදුව මා කියැවූයේ බාල අවදියේය. ජනවාරි දහවැනිදා සිට දොළොස්වනදා තෙක් මඩකලපුවෙහි මා මැදිව සිටියේ එවැනිම ගංවතුරකටය. එකම වෙනස මා මේ ගංවතුරට කොටුවූයේ සිය කැමැත්තෙන් වීමය. මගේ ඉල්ලීමකට කන් දීමක් වශයෙන් ස්වකීය සහන සේවා වැඩ පිළිවෙළකට ස්වේච්ඡා සේවකයකු සේ මා ඇතුළු කොට ගත්තේ සර්වෝදයයි. අපේ ගමනාන්තය වූයේ ගංවතුරින් දැඩිම පීඩාවට ලක්වූ මඩකලපුව දිස්ත්‍රික්කයයි.

දින කිහිපයකට පෙර නාය යෑම් වලින් මහ මඟ මත ගොඩ නැඟී ඉතා මෑතකදී ඉවත් කළයි සිතිය හැකි පස් කඳු හා කඩා වැටුණු ගස් අතුරින් රජමාවතෙහි මැදියම් රැයෙහි ඉදිරියට ඇදුණු අප රිය පදියතලාවෙහි මඳ ඉසඹුවෙකට නතර වූයේ පසුදා පාන්දර තුනට පමණය. ඒ දහවැනිදා වන විට ගංවතුර ගලා යට නොවී ඉතිරිව තිබූ එකම මාර්ගය වූ ‘ඒ5’ ඔස්සේ මහඔය, එරාවූර් හරහා මඩකලපුවට ළඟා වීමටයි. අපට ආරංචි වූ හැටියට මඩකලපුවට පිවිසිය හැකි ප්‍රධාන මාර්ගය ඒ වන විට මනම්පිටිය පාලම මත අඩි තුනෙකට වඩා ඉහළට ගොඩ නැඟුණු ජල කඳෙකින් යටව තිබුණේය.

ජනවාරි දහ වැනිදා මඩකලපුව නගරය ගොඩබිමින් සම්පූර්ණයෙන්ම වෙන්ව දූපතක්ව තිබුණේය කීම අතිශයෝක්තියක් නොවේ. සීතාණ්ඩි සිට එරාවුර් මඩකලපු ප්‍රධාන මාර්ගය කිලෝමීටර් හතරක් අඩි තුන හතරක ගැඹුරකට ජලයෙන් යටව තිබුණේය. අතුරු මාර්ග වලින්, පැය තුන හතරක වෙහෙසකින් අප නගරයට පිවිසුණේ අඩි තුනෙක පමණ ගැඹුරක කෙටිදුර සඳහා ගමන් කළ ජීප් රථය පැදවීමෙන් පසුවය. සියළු සැපැයුම් මාර්ග අවහිරව තිබුණු අතර රජයට සහන සේවා ගෙන ඒමට සිදුවූයේ ගුවන් මාර්ගයෙනි.

වචන වලට නැඟිය නොහැකි මා දුටු ව්‍යසනයක අන්දරය මේ පින්තූර වලට කියන්ට ඉඩ දීම වඩා සුදුසුය.

ඊට එක් කළ හැක්කේ මඩකලපු වැසියන් අත්දුටු ගංවතුර ව්‍යසනය මොනම ආකාරයෙකින් වත් අපට කොළඹ සිට අවබෝධ කළ නොහැකි වූ විඳිය නොහැකි වූ අත්දැකීමක් වූ බව පමණෙකි. ජනවාරි අට වැනිදා හෝ නව වැනිදා පටන් අවතැන් වූවන්ට සහන ලබාදීමට විධිමත්ව සංවිධානය වූ වැඩ පිළිවෙලක් ජනවාරි දොළොස්වනදා මා මඩකලපුවෙන් නික්මෙන තෙක්ම දකින්ට නොලැබුණේය. අපි දොළොස්වැනිදා උදයේ ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ මඩකලපු කලපුවේ එක් පසෙක සිට කලපුව හරහා අනෙක් පැත්තට ආහාර ද්‍රව්‍ය, පානීය ජලය හා අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සේම සෞඛ්‍ය පහසුකම් ලබා දීම සඳහා වෛද්‍ය කණ්ඩායම් ගෙන යන මෙහෙයුමක කොටස්කරුවෝ වීමු. කලපුව පිරී ඉතිරී ගොස් ඒ මැදින් ගමන අතිශය අන්තරාකාරී වූ නිසාද, මහ වැසි මැද ඒ කළ නොහැකි වූ බැවින්ද මේ සියළු කටයුතු කළ හැකි වූයේ බෙහෙවින් මන්දගාමීවය. මේ ත්සුනාමියට පසු අප ක්‍රියාත්මක වූවාට වඩා ඉතා සෙමෙනි. අවසානයේ වෛද්‍ය කණ්ඩායමට තම මෙහෙවර අතරමඟ නිමාකොට හැරී යන්ට සිදුවූයේ මහ වැසි ඔවුන්ගේ කටයුතු මුළුමනින්ම අඩාල කළ හෙයිනි.

උතුරු, නැඟෙනහිර හා උතුරු මැද පළාත් මුහුණ දුන් මේ ගංවතුර ව්‍යසනය ත්සුනාමියෙන් පහු අපේ රටේ ඇතිවූ භයානකම ස්වභාවික ව්‍යසනයය මම සිතමි. එය ත්සුනාමියෙන් වෙනස් වූයේ මරණ සංඛ්‍යාවෙන් පමණය. අවතැන් වූවන් සංඛ්‍යාවෙන් හා විනාශ වූ දේපොළ වලින් මේ ගංවතුරද ත්සුනාමි හා කරට කර සිටියේය. ත්සුනාමියෙහිදී මෙන් නොව සහන සේවක කණ්ඩායම් වලට මුහුණ දෙන්ට දිගින් දිගටම වර්ධනය වෙමින් පවතින ව්‍යසනයකටය. උදාහරණයක් හැටියට අපට කොළඹ එන්ට වේද නොවේද දොළොස්වැනිදා උදයේත් අපි නොදැන සිටියෙමු. මොහොතක එළියක් නැතිව පාන්දර සිට වැසි වැටුණු අතර ගංවතුර මට්ටම් ඉහළ යමින් පැවැතිණි. අප යද්දී ජලයෙන් යට නොවී තිබුණු එරාවුර් නගරය එද්දී යටවී තිබිණි. ඒ අවස්ථාවෙහි පිට නොවූයේ නම් අප තවදුරටත් මඩකලපුවෙහි සිරවනු ඇති බව නිසැකය. මේ දින කිහිපය තුළ මරණ සංඛ්‍යාවෙහිද ඍජු නැඟීමක් දැකිය හැකි වූයේ සීතටත් අයහපත් කාලගුණයටත් වඩා වෛද්‍යාධාර ලැබීම් පමාවීමෙන්ය සිතමි. බොහෝ ගම් වලට වෛද්‍යාධාර තියා ආහාර පවා ගෙනයායුතු වූයේ අඩි තුනක් හතරක් ජලයේ බැස ගෙනය.

අවතැන් කඳවුරු වලදී මට මුණගැසුණු මඩකලපු වැසියන් කැඩිච්ච සිංහලෙන් කීවේ, වැසි ජල ගැලීම් මඩකලපුවට සුලබ වුවද, මෙවන් විපතක් අත්දුටු පළමු වතාව මේ බවය. ඔවුන්ගේ ලොකුම ප්‍රශ්නයක්ව ඇත්තේ මේ අවසාන වතාවද නැතොත් ඉදිරියේදී වඩා සුලබව ඇති විය හැකි ව්‍යසන රැල්ලක පළමුවැන්නද යන්නය. ඊට දිය හැකි පිළිතුරක් මා සතුව නොවේ.

ඡායාරූප: සර්වෝදයෙනි.

_______________________________

මේ අප ඒ ගමනෙන් තවත් ප්‍රයෝජනයක් ගෙන විදේශවලින් ආධාර රැස් කිරීම පිණිස නිර්මාණය කළ වීඩියෝවකි. හදිසියේ පෙර සූදානමකින් තොරව කළ එකක් නිසා “ප්‍රොෆෙෂනල් වැඩක්” නොවේ. මෙහි සංස්කරණය සිදුවූයේ විදේශිකයන් කිහිපදෙනකු අතින් නිසා තහවුරු නොකළ දත්ත කිහිපයක් ඊට ඇතුළත්ව ඇත. ගංවතුර නිසා බිම් බෝම්බ තර්ජනයක් ඇති වී තිබේය කීම ඔවුන් The Sunday Leader පුවත්පතින් උපුටා ගත් එබඳු තහවුරු නොකරන ලද ප්‍රකාශයකි. අප විසින් ලබා දුන් දත්තයක් නොවේ. (මඩකලපුවේ එබඳු තත්ත්වයක් නොවීය.) මගේ ඉල්ලීම පරිදි කතන්දර විසින් මෙම වීඩියෝව තම බ්ලොග් එකෙහි පළ කරන ලද අතර ඊට මගේ ස්තුතිය හිමිවේ.

Advertisements

8 responses to “26. මඩකලපුවේ මහ ගංවතුරට බැස්සෙමි.

  1. සුනාමියටදවස් 3කට පස්සෙත් මඩකලපුවට ඔය වගේම ගංවතුරක් ආවා. අපි මඩකලපුවෙ ඉඳන් ආපහු ආපු ගමන ඔය වගේ. ආපහු මඩකලපුවට යන්නත් බෑ ඒ තිබ්බ තත්වෙ හැටියට, මඟ නැවතිලා ඉන්නත් බෑ. වෙනදෙයක් වෙද්දෙන් කියල 1/2 ලොරියක් බෝට්ටුවක් කරගෙන ආවා

  2. හිතුවට වඩා වැඩකොටසක් SEEDS එකෙන් වෙනව වගේ.. ඒත් සමහර වෙලාවට කරන දේවල්නම් ටිකක් හොඳ මදි.

    “ඩොක්ට, මම ගෙදරට වෙලා නිකං ඉන්නෙ. මගෙන් ගන්න පුළුවන් වැඩක් ඇතිනම් ගන්න.” – මෙහෙම කියල යමක් කරන්න හිතන්නෙ කීයෙන් කී දෙනාද.. ඔබත් එවන් කෙනෙක් වීම ගැන ගොඩක් සතුටුයි..

  3. හොඳ අත්දැකීමක්……..

  4. අපිට පිටාරයක් ආවත් පුදුම අපහසුවක් දැනෙන්නෙ…… ගං වතුර කොහොම ඇද්ද ………

  5. මමනම් ඔය ගං වතුර කරදරය සියැසින්ම දැකගත්තා ..සහ විඳ ගත්තා ..

  6. Indika Upashantha

    වාහනයක එයාර් ක්ලීනර් එකට වතුර ඇද්දනං මුලු ඇංජිමම අලුත්වැඩියා කරන්න වෙනව පිස්ටන් සහ ක්‍රෑන්ක් අලුතෙන්ම දාල. රියදුරා තත්වෙ දැනගෙන ගත්ත අවධානමක්ද නොදැන පණ්ඩිතය වගේ ගිය ගමණක්ද?
    අදාලම නොවුනත් මේක කියවන අයට පොඩි උපදෙසක්. විශේශයෙන්ම මැස්ඩ බොංගො සහ සිංහ මූණ වැනට් වල කවදාවත් පොඩි ගං වතුරකවත් යන්න හිතන්න එපා, ඒවගෙ එයාර් ක්ලීනර් ඉන්ටේක් එක තීන්නෙ ඉස්සරහ බම්පර් එක ගාව හරිම පහලින්.

    • @Indika,

      ඔය ගැටළුව ගැන කතා කළා මතකයි. මතක හැටියට එයාර් ක්ලීනර් එක තිබුණේ ඉහළින්.

  7. ඔබ නම් අගනා මනුස්ස පුත්‍රයෙක්, මිත්‍රය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s