28. ඇපල් ගෙඩි තුනක් උස නැති නමුත් මේ පුතා

ඇපල් ගෙඩි තුනක් උස නැති නමුත් මේ පුතා
මහා බලගතුයි – කරන වැඩත් බෝ වෙතා

මේ පැදිය තිබුණේ මා කුඩා කළ කියැවූ “ජගත් සුරංගනා කතා” පොතේ එක් කතාවකය. කතාව හරි හැටි සිහියට නඟා ගත නොහැකි වුවද, එය ලොකු වැඩ කරන පොඩ්ඩෙක් ගැන බව මතකය.

2007දී සුපුන් සුදාරක මා හැඳින ගන්නේ මලින්ත සමරකෝන් මාර්ගයෙනි. එවක දහසය හැවිරිදි සුදාරක රාජකීය විද්‍යාලයෙහි දහවන වසරෙහි ශිෂ්‍යයෙකි. මා සේවය කළ ආයතනයට මලින්ත විසින් යම් මෘදුකාංග මෙවලමක් නිර්මාණය කළේය. ඊට අවශ්‍ය වෙබ් ඉඩද ඩොමේන් නාමයන්ද ලබා ගැනීම කරන ලද්දේ සුදාරක හරහාය. එතැන පටන් මම කිහිප වතාවක් සුදාරක කඩේ යැවීමි. වෘත්තීය කටයුතු වලදී, විශේෂයෙන්ම මා LIRNEasia අයතනයේදී නායකත්වය දුන් බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවන්හි ගුණාත්මක භාවය මැනීම පිළිබඳ වූ ව්‍යාපෘතියේදී මලින්තට හා කාලිංගට අමතරව සුදාරකගේද සහාය ලබාගන්නට මම තීරණය කළෙමි.

කොළඹ නගරය තුළ ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවන්හි ගුණාත්මක භාවය දක්වන පහත සිතියම සකස් කරන්නට කොළඹ සිට මීගමුවට, නිට්ටඹුවට, අවිස්සාවේල්ලට හා කළුතරට මා යැවූයේ සුදාරකවයි. ඔහු බසයක ගමන් කරමින් මෙහි දක්වා ඇති සියළු ස්ථාන වලදී මොබයිල් දුරකථන දෙකක් භාවිතා කරමින් ලංකාවේ ප්‍රමුඛ බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සපයන්නන් දෙදෙනකුගේ වේගයන් තෙවරක් බැගින් මැන්නේය. (ඔහු බස් රථයක යැවීමට අවශ්‍ය වූයේ සාමාන්‍ය තත්ත්වයන් හැකි තරමින් simulate කිරීමට අපට අවශ්‍ය වූ නිසාය.) මේ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් තත්ත්ව සිතියම් ගොඩ නැඟීමේ මගේ පළමු පියවර වූ අතර මගේ අරමුණ වූයේ මෙවන් සිතියම් බ්ලොග්කරුවන් යොදා ගනිමින් ලංකාවේ අනෙකුත් නගර සඳහාද සකස් කිරීමය. මා 2010 අගෝස්තුවේ LIRNEasia ආයතනයෙන් ඉවත්වීම කරණ කොට ගෙන ඒ අරමුණ ඉටුකොට ගැනීමට නොහැකි වුවද, සුදාරකගේ දායකත්වය කෘතඥතාපූර්වකව සඳහන් කරමි. (මෙහිදී අදාළ සමාගම් දෙක හිතාමතාම නම් නොකරන ලද්දේ පරීක්ෂණය කරන ලද්දේ එක දිනෙයකදී පමණක් නිසාය. මෙවැනි පරීක්ෂණයකදී දත්ත එකතු කිරීම වැඩි වන තරමට අවසාන ප්‍රතිඵලයේ නිරවද්‍යතාවද වැඩිවේ. එක් දිනෙක දත්ත පමණක් ප්‍රකාශ කිරීම එක් සමාගමකට අසාධාරණ විය හැක්කේය.)

මලින්ත සමරකෝන්ගේ ග්‍රැෆික් නිර්මාණයකි. දත්ත හා සිතියමෙහි අයිතිය LIRNEasia ආයතනය සතුය.

මේ සටහන සුපුන් සුදාරක නැමැති පොඩ්ඩා කරන ලොකු වැඩ ගැනම නොවේ. සිංහල බ්ලොගවකාශයේ ඔහුගේ භුමිකාව බ්ලොගවකාශයට රහසක් නොවේය සිතමි. මට සුදාරක වැදගත් වෙනත් හේතුවක් නිසාය.

මම ලෝකයේ අනෙකුන්ගෙන් වෙනස් පුද්ගලයෙක්මි. සේකර ඇසූ පරිදි මා වෙනස් මැට්ටෙකින් නිර්මිත කළේ මන්දැයි නිර්මාපකයාගෙන් ඇසිය යුතු තරමට වෙනස් පුද්ගලයෙක්මි. හොඳට හෝ නරකට මගේ ගතිගුණ උරුම කරගත්තෝ අති දුබලය. මා ඉගෙනගත් හෝ සේවය කළ කිසි ආයතනයකදී මගේ හැකියාවන්, පුරුදු, ගතිගුණ, සිතුම් පැතුම් වලට සමාන චරිතයක් මට හමුව නැත. මම එතරමටම අනෙකුන්ගෙන් වෙනස්මි. මට කිට්ටුවෙන් හෝ සමාන විය හැකි කෙනකු මෙලොව ඇතැයි යන අදහස මා තැර ගත්තේ බොහෝ කලෙකට පෙරදීය. එසේ හෙයින් මම මගේම මනසෙහි මැවුණු අපූරු රටෙක එකම පුරවැසියා වීමි.

පුදුමයකට මෙන් සුදාරකගේ බ්ලොග් සටහන් කියවද්දී (ඔහු ලංකාවේ සිංහල බ්ලොග් එකක් පටන් ගත් පළමු දහදෙනා අතර කෙනෙකැයි සිතමි. එසේම එබඳු ළාබාල වයෙසකින් තනිව එවැන්නක් කළ එකම පුද්ගලයාද විය හැකිය.) ඔහුගේ Facebook එකට පිවිසෙද්දී, ඔහු කරන වැඩ (හපන්කම්, චන්ඩිකම්, මෝඩකම්, ගොන්කම්) දෙස බලද්දී, ඔහු හා මංගත සල්ලාපයෙහි නියැලෙද්දී මට මේ අදහස වෙනස් කර ගැනීමට සිදුවිය. one to one match එකක් නැතද, අප දෙදෙනා අතර දසක දෙකහමාරක වයස් පරතරයක් ඇතද, සුදාරක තරම් කිට්ටුවෙන් මා කොපි කළ (හොඳ නරක දෙකම) වෙනත් ක්ලෝනයක් නැත. අප දෙදෙනා අතර සමානකම් බොහෝය. ඒවා අප දෙදෙනාම එකම ගුරුවරයකුගෙන් ව්‍යවහාරික ගණිතය ඉගෙන ගත්තාට එපිට යන්නකි.

දක්ෂ මූර්ති ශිල්පියකු රළු මැටි ගුලියකට ජීවය කවන්නාක් සේ සිංහල භාෂාවෙහි ශබ්ද, රූප, වචන වලට ජීවය කැවීමේ අපූර්ව හැකියාවක් සුදාරකට ඇත. (පහත උදාහරණය බලන්න.) අටවැන්නෙහි පටන් මෙබඳු හැකියාවක් මටද විය. (තවම එය වියැකී නැතැයි සිතමි.) මේ හුදෙක් පන්තිකාමරය තුළදී ලබන්නක් නොවේ. එහි සම්භවය අන් තැනෙකය. මගේ මව සේම සුදාරකගේ මෑණියන්ද සිංහල ගුරුවරියක වීම එය එක්තරා දුරෙකට පැහැදිළි කරනු ඇතැයි සිතමි.

දෙවැන්න සාමාන්‍ය පෙළින් භාෂා ශාස්ත්‍රාදීන් ඉගෙනීම අත්හළද තවමත් අප දෙදෙනා තුළ නොසිඳී පවත්නා සාහිත්‍යකාමයයි. තමන් ගුරු කොට ගන්නා, ආදරය කරන පත පොත අතින් සුදාරක මට වඩා වෙනස්ය. ඔහුගේ වයසේදී මා මක්සිම් ගෝර්කි, ඇන්ටක් චෙකොව් හා කරුණාසේන ජයලත් කියැවීමට දැක්වූ නොතිත් ආසාවම ඔහු තුළින් විද්‍යාමාන වන්නේ ලියනගේ අමරකීර්ති හෝ සුනේත්‍රා රාජකරුණානායක කියැවීමටය. රුචිකත්වයේ මේ වෙනස පරම්පරා බෙදුමට බැර කළ හැක්කේය. එය නොසලකා හරින්නේ නම් පොත් යනු කියැවීම පිණිස සකස් කළ මුද්‍රිත අකුරු වලින් යුතු කඩදාසි පිටු එකතු නොව ජීවත්වීම පිණිස නිර්මිත “පැන්ඩෝරා” බඳු නව ග්‍රහලෝකය මා මෙන්ම සිතා සිටින්නෙකි සුදාරකත්.

සුදාරක උසස් පෙළ කරන්නට පටන් ගන්නේ ගණිත විෂයන්ගෙනි. සති කිහිපයකින් ඔහු කලා පන්තියට මාරුවේ. නැවත ගණිත පන්තියට මාරු වේ. (මම ගණිත විෂයයන් තෝරා ගන්නැයි ඔහුට බල කළ අය අතුරින් එක් අයෙක්මි.) මෙවන් මාර්ගයක ගමන් නොගත්තද, ගණිතයද කලාවද යන සංශය උසස් පෙළ විෂයයන් තෝරා ගැනීමේදී මටත් තිබිණි. මම එකක් ගැඹුරින් හැදෑරුවද, අද වනතුරුම අනෙක අත නොහැර සිටිමි. ඔහුද එමඟ ගනු නැතැයි සිතන්නට කාරණා නොවේ.

සිව්වැනිව දේශපාලනය. ඔහුගේ Facebook පිටුවේ Political Views යටතේ Socialist සේ සඳහන් කර තිබෙණු දුටු දිනයේදීම මට පසක් වූයේ මේ පිස්සාටද ඒ වයසේදී මට වැළැඳී තිබුණු රෝමෑන්තික සමාජවාදී පිස්සුව වැළැඳී ඇති බවය. මෙය සමාජය තුළින් නොව “වානේ පන්නරය” තුළින් බෝ වෙන පිස්සුවකි. මට එය සුවකර ගත හැකි වූයේ සරසවි පළමු වසරේදීය. සුදාරක නම් මට වඩා කලින් එය සුව කර ගැනීමට සමත්ව සිටියි.

පස්වැනිව අප දෙදෙනා තුළම ඇති අපේම ස්වාධීන මනසින් සිතන්නට ඇති නැඹුරුව. මා පළ කරන සිතිවිලි මගේය. ඒවා ස්වාධීන සිතිවිලිය. කාල් මාක්ස් විසින් හෝ, අයින් රෑන්ඩ් විසින් හෝ ගංගොඩවිල සෝම හිමියන් විසින් මගේ සිතට ඇතුළු කරන ලදේ ඒවා නොවේ. වෙන කෙනෙකුට මගේ මනස අරක් ගන්නට, පාලනය කරන්නට මම ඉඩ නොදෙමි. ටික කලක් වෙන කෙනෙකුගේ ධර්මයෙන් පෝෂණය ලැබුවද ඉක්මණින්ම මම එය අත හරිමි. ගිරා පෝතකයකු වනු වෙනුවට මම මගේ දැනුම සොයා යමි. මේ ලක්ෂණය බොහෝ දුරට සුදාරක තුළද මම දකිමි. ඔහුට යමක් කියා දෙන්නට තැත් කළ යමකු වෙතොත් මා මෙන්ම එය තේරුම් ගනු ඇත්තේය.

සයවැනිව අප තුළ සිටින “නිහඬ විප්ලවවාදියා”. (the silent rebel) – මේ භයානක පුද්ගලයෙකි. ලෝකය වෙනස් කරන්නට මේ විප්ලවවාදියාට දැවැන්ත ඕනෑකමක් තිබේ. යන්නේම කළු ගල් වල ඔළුව හප්පා ගන්නට හා ඇතුන් පෙරළන්නටය. කඩු, දුණු, හී තෝමරාදිය නැති හෙයින් අපේ එකම ආයුධය වචනය. කරුමයකට අපේ වචන සැර වැඩිය. සුදාරක තුළ සිටින නිහඬ විප්ලවවාදියාද මා තුළ සිටින්නා සේම ඇතුන් පෙරළා වින්දනයක් ලබන්නාක් සේම පාඩම් ඉගෙන ගනීය මම සිතමි.

සැත්වැනිව, ඔහුගේ වයසේදී මා කළ, ඔහුද දැන් කරමින් සිටින එකම ජාතියේ ගොන්කම් – මේ සියල්ල මෙහි ලියන්නට අදහසක් නැතද, දිග ලැයිස්තුවකි. බුද්ධියට වඩා හැඟීමට ඕනෑවට වඩා තැන දී කටයුතු කිරීම, සංගම් වල වැඩ කරන්නට ගොස් වඩා හොඳ අධ්‍යපන ප්‍රතිඵල ලබා ගැනීමට ඇති හැකියාව අහිමි කර ගැනීම, පරාජිතයකු වීම මාරම වින්දනයක් සේ සිතීම හා ඒ මත අළුත්ම සාහිත්‍යයක් ගොඩ නැඟීම යනාදිය සඳහන් කළ හැකි කාරණා කිහිපයකි.

“ඕක කරන්න එපා, ඕකෙන් වෙන්නෙ මෙන්න මේකයි” බොහෝ විට මම සුදාරකට කියමි.

මේ කියන්නේ ඔහු මට සවන් නොදෙන බැව් නොදැන නොවේ. ඔහුට ඇත්තේ අනුන්ට සවන් දෙන මනසක් නොවන බැව් හොඳින්ම දන්නේ මායි. මටද ඔහුගේ වයසේදී කාටවත් සවන් දෙන්නට උවමනාවක් නොවීය. සුදාරක දැන් මට සවන් දෙතිය මා උපකල්පනය කරන්නේ ඇයි?

එහෙත් හොට බිම ඇණගත් පසුව ඔහු මා සොයා එයි.

“කොහොමද එදා ඒක හරියටම ඒ විදියටම වෙනවය කියල කිව්වෙ?”

“හරියටම කිව්වෙ මාත් ඔය පාරෙම ගිහින් ඔය වලේම වැටිල තියෙන නිසා”

මා අන් කවරක් ඔහුට කියන්නද?

අගෝස්තු මාසයේදී උසස් පෙළ විභාගයට පෙනී සිටින්නට නියමිත සුදාරක, මාද උසස් පෙළ අවසන් වසරේදී කළ සියල්ල (හපන්කම් වලට වඩා මෝඩකම්) නැවත කරමින්, පාඩම් කිරීම පැත්තෙක තියා චිත්‍රපට රසවිඳිමින්, මගේ ම මනෝ ලෝක ගොඩ නඟාගෙන ඒවා අනෙකුන් මත බලෙන් පටවමින්, අර්ධ-සත්‍ය අර්ධ-කල්පිතනිර්මාණ කරමින් සිටී. (උසස් පෙළ අවසන් වසර මගේ ජීවිතයේද කැළැඹිලි වැඩිම වසරෙකි.) ඒ සියල්ල මධ්‍යයේ මට හොඳ උසස් පෙළ ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකිවිය. සුදාරක මා සම කරනු ඇතැයි හෝ මට වඩා හොඳ ප්‍රතිඵලයක් ගනු ඇතැයි මගේ බලාපොරොත්තුවය.

Advertisements

26 responses to “28. ඇපල් ගෙඩි තුනක් උස නැති නමුත් මේ පුතා

  1. ඉතා හොද පිට කසාගැනීමකි

  2. “සුදාරක මා සම කරනු ඇතැයි හෝ මට වඩා හොඳ ප්‍රතිඵලයක් ගනු ඇතැයි මගේ බලාපොරොත්තුවය. ” – එසේම කළ හැකි වේවා…!

  3. බොහෝ දුර ගමනක් යාමට වාසනා මහිමයක් ඇති කොලු පොඩ්ඩෙකි. පසුගිය දින කිහිපය තුම මේකා නැටූ පිස්සු දැන් තරමක් අඩු වී ඇති බව පෙනේ. මුගේ ඉදිරි අනාගතය වෙනුවෙන් සුභපැතුම් එක් කරමි.

  4. පාඩම් කරන්න ගොඩගැහිලා තියෙද්දි චිත්‍රපටි බලන එකේ තියෙන විනෝදය දන්නෙ එහෙම කරන අයම විතරයි. මම හිතන්නෙ විභාග ආතතියෙන් මිදෙන්න හොඳම මග ඒ කියලායි..

  5. සාම්ප්‍රදායික විදියට නොහිතන කෙනා තමන්ගේ ගමන තමන්ගේ ම විදියකට ගිහින් දවසක ලෝකය මවිත කරනවා. එදාට ඔහුගේ සාර්ථකත්වය හමුවේ අන් අය පහුබහිනවා නියතයි…

  6. සිංහල බ්ලොග්කරුවෙක්

    “සයවැනිව අප තුළ සිටින “නිහඬ විප්ලවවාදියා”. (the silent rebel) – මේ භයානක පුද්ගලයෙකි. ලෝකය වෙනස් කරන්නට මේ විප්ලවවාදියාට දැවැන්ත ඕනෑකමක් තිබේ. යන්නේම කළු ගල් වල ඔළුව හප්පා ගන්නට හා ඇතුන් පෙරළන්නටය.”
    ලිපියේ අනිත් කරුණු සමඟ බොහෝදුරට එකඟ වෙන්න පුළුවන් මේ කරුණ හැරුනාම.
    සුපුන් සුදාර සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ඩොමේන් නාමයේද අයිතිය තිබුනේ සුපුන් සුදාරකටයි. කාලිංග ඇතුලත්මුදලි විසින් ඔහුව රවටා ඩොමේන් නාමය පවරාගනිද්දී
    ඔහු විප්ලව කලේ නැත.
    සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ආරම්භක නියමුවෙකු වූ සුදාරක පසුගියදා පැවති සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සුහද හමුවේදී කාලිංග විසින් පඩේකටවත් නොසලකා හරින ලද්දේය. සුපුන් සුදාරක සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට කරන ලද මෙහෙය සලකද්දී මෙය කාලිංග විසින් කරන ලද පාහරම වැඩක් විය. ඔහු විප්ලව කලේ නැත. ගෙදරගොස් facebook status එකක් දැම්මේය. “අපිත් සිංහල බ්ලොග් වලට වැඩ කරපු අය තමයි.” එහි අන්තර්ගතය වීය. එයද කාලිංගගේ තර්ජනයෙන් පසු මිනිත්තු 10ක් ඇතුලත මැකීගියේය.
    සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අද අරාජික වීමට සුපුන් සුදාරක ඍජුවම වගකිවයුතුය.

  7. හොඳ කොල්ලෙක්. මාත් අවවාදයක් දෙකක් දුන්නා මං දන්නා තරමින්. ඌට ඕනෑ දෙයක් ඌ කරයි.

    අපිට එදා නොතිබුණු, අද සුදාරකලාට ද හිමි නැති යැයි මා උපකල්පනය කරන දෙයක් නම් career coaching/advice ය.

  8. හ්ම්.. නියම විශ්ලේෂණයක්, සමහර විට තමන් ගැනම. තමන්ගේ මතයට වැඩ කිරීම තුලින් සුදාරක ‍ගොඩක් දේවල් කෙටි කාලයක් තුලදි ලබාගෙන තියෙනව කියලයි මට හිතෙන්නෙ. ඒ පාසැල් යන කාලය තුල කර ඇති කාර්යයන් දිහා බලලා. හුඟක් වෙලාවට සුදාරකගේ ඒලෙවල් ගැන සුදාරකට වඩා බයවෙලා ඉන්නෙ අපි ද කියල හිතෙනව. 😀

    කොහොම වුනත් ජ්‍යෙෂ්ඨ සිංහල බ්ලොග් කරුවෙක් විදියට මම මුලින්ම ආදර්ශයට ගත් කෙනෙක් සුදාරක. දැනුත් එහෙමමයි. අන්තිම පේලිය මගෙත් බලාපොරොත්තුව!

  9. Supun,

    I read your blog, I’m proud.. ‘coz I went and U r going to same school.. I too watched movies while doing A/L.. (13 yrs ago) enjoyed.. did all crazy stuff… I got through well.. 🙂 I may b boasting.. but I’m heading an IT dept of a Fortune 100 company.. believe in yourself.. u can do whatever u want..

    I don’t wish u luck.. ‘coz I don’t believe in luck..

    Chanuka,
    Thanx for the post..

  10. මං සුදාරක ගැන ලියන්නේ මොනවද කියලා කල්පනා කරනවා….

  11. නවීන්

    බුද්ධාජීවත් ඔය මොඩ්ලයේම කෙනෙක්.. හැබැයි සුපුන් දැන් ටිකක්.. ප්‍රායෝගික ජීවිතයට හැඩ ගැහුණු කෙනෙක්.. මොනව වුනත් දෙන්නම කවද හරි ලංකාවට වැඩ ඇති පුරවැසියන් දෙන්න්ක් වෙනව අනිවාර්යයෙන්ම..

    • ලොල්ස්, ඒව හඳේ තමයි බොලේ. මම මේ බස්ටෑන්ඩෙකේ රටකජු බිස්නස් එකක් පටං ගන්න බැලුවේ. 😀

  12. පළවෙනි පාරට SBU ගෙට්ටුවේදී හම්බ උනාම මම ඇත්තටම සතුටු වුනා මේ කොල්ලා මේතර්ම පොඩි වයසකින් මේ තරම් ප්‍රවීණ වෙන්නේ කොහොමද කියලා..!! මොකද අපි උසස් පෙළ ලියන කාලය වෙනකොට අත තියන්නට තබා හිතන්නටත් බියවූ කාරණා ගැන ඒ වන විටත් ඔහු ක්‍රියාත්මක කර ඇති නිසා.., සුපුන් කියන්නේ සුදාරකයෙක් මයි..!! එය මෙහිදී කිවයුතුමයි..!!

  13. කවදාවත් එකට වැඩකට බැහැලා නැතත් කරපුවා ගැන ඈත ඉඳං බලද්දි කරන වැඩේ ගැන රියල් කැසිල්ලක් තියන පුතයෙක් කියල තමා පේන්නේ. මුගේ වැඩ පොඩ්ඩකට හරි රියල් ලයිෆ් එකේ දැක්කේ පළවෙනි අසෙනිය කුසුමෙ බ්ලොග් තරගෙට පෙරාතුව රට වටේ ඉස්කෝල වල බ්ලොගින් ගැන දෙසමිං යන ගමනෙදි සුජාතෙට ආපු වෙලාවේ. ඕකට අනන්තවත් කීවා ඕක අපෙ ඉස්කෝලෙ තියහං කියලා, කොහෙද මුන්ට කෙල්ලො බලන්නත් ඕන උනා නෙ. 😉

  14. සුදාරක ගැන මං දන්නා දේ..
    01.මූට යස අගේට කේක් කත හැක..
    02.මෙලෝ ඉස්කොලේ වැඩක් කරන්නේ නැත.. 😀

  15. සුදාරකව මම මුලින් දැන හදුනා ගන්නේ අවුරුදු කිහිපයකට කලින් බිලොග්කරණය හරහා, ඊට පස්සේ මගේ ඒ කාලේ තිබුන කළා බලපාමටත් සමාජවාදී හා විප්ලවවාදී අදහස් වලට උදව්වක් වුනේ සුදාරකමයි. දැන් ඒවා නැති වුනත් තව දුරටත් නො සිතුවත්, සුදාරක ගැන තවමත් මගේ තියෙන්නේ සහෝදර බැඳීමක්. ඇතැම්විට ඊට වඩා බැදීමක් ඇති.

    පෞද්ගලික ප්‍රශ්න වලදී අපි එකිනෙකාට කතා කරලා තියෙනවා, එතැනදී අපි දෙන්නටම පොඩිම පොඩි වෙනස්කම් හැරෙන්නට බොහෝදුරට සමානයි. එත මෙතැනදී සුදාරක මං වගේ අනා ගත්තු චරිතයක් වෙනවට වඩා එයා නව මඟක් ගන්නවා, ඒ ගැන මට තියෙන්නේ ලොකු ආඩම්බරයක්. මොකක් කරත්, වුනත් ඔහු ඔහුට කරන්න ඔනේ කෙහෙල්මලක් හරි හරි කර ගන්නවා, ඒ වගේම නිහඬ චරිතයක්. 🙂

  16. දැනුම සහ ප්‍රවීනත්වය කෙසෙ වෙතත්,පිස්සු කෙලිම,නිහඩ විප්ලව වාදියා නාහෙට නැහිමෙ ගුනය සහ සිහින මැවිම(පැන්ඩෝරා කතාවෙන් මා සිතාගත් දෙය) අතින් මා සහ පසු ගිය අවුරුදු 2 තුල මගෙ හොදම යහලුවා ඔබ දෙපලට යම් තරමකින් සමාන බව පෙනේ..උසස් පෙල ගනිත පත්‍රයට ලියා ගෙදර පැමිනි විගසින් රෙඩ් අලර්ට් 3 ගැසු බව පමනක් කීමෙන් පිස්සුවෙ තරම මැන ගත හැකියැයි සිතමි 😛 😛

  17. සුදාරක සැබෑ වෙනසක් කරතැයි ‘ඉව’ කියයි. වාසනා ගුණය සහ හැකියාව දෙකෙන්ම මේ මල්ලි පොඩ්ඩා පිරිපුන් නිසාම ඒ ගමන අදහිරිය නොවී යන්නට ඉත සිතින් දිරි පතන්නෙමි… අන්තර්ජාලයේ මෙන්ම බොහෝ තැන්හි අනාගතයේදී සුදාරක නම අසන්නට ලැබෙනු නියතය !
    ලියූ චානුක මහතාටත් සුදාරක සොයුරාටත් සුබ පැතුම්… සහ ජය!

    සුදාරක මල්ලී ගෑන සිත සිතා මේ කොමෙන්ටුව ටයිප් කරද්දී මගෙ අතින් මිස්ටේක් එකක් විය,, මගේ නම ලියන තෑන සුදාරක නම ලියවුනි… පැහැදිලි වරදක් විය.,. සමාවන්න.. චානුක මහතානෙනි.. මීට ඉහතින් මේ වගේම පල වී ඇති කොමෙන්ටුව මකා දමන්නට කාරුණික වන්න…
    ස්තූතියි

  18. අනේ මන්දා සුදාරක ගැන මොනා ලියන්නද කියලා.

    වෙලාවකට කන පැලෙන්න දෙකක් ගහන්න හිතෙන තරම්… ඒත් එහෙම හිතලා මූන බැලුවම ඒක කරන්න නොහිතෙන එකයි මේ ප්‍රශ්නේ…
    සුදාරක කියන්නේ සුදාරකව තේරුම් නොගත්ත කෙනෙක් කියලායි මට නම් හිතෙන්නේ… අපිට මේ සුදාරකව හොයා ගන්න ඕනේ උනාට එයාට ඒකේ අවශ්‍යතාවයක් නෑ කියලා මට වෙලාවකට හිතෙනවා. ඒක හින්දා ඔන්න ඔහේ සුදාරකටම තේරිලා එයා හොයා ගන්න ඉඩ දෙනවා කියලායි මම හිතන්නේ…

    ඒ උනාට ඉතින් මෙයා විභාගෙන ඇනගෙන ජීවිතේ අවුල් කරගෙන ඉන්නවා මතක් වෙද්දි ආපහු අර බලෙන් හරි කන පලන්න නම් මාත් උත්සාහ කරනවා…

    ගෙම්බෙක් වගේ එකම තැනක පල්වෙන්න එපා සුදාරක. ඔයා ඔයාගේ වැලියු එක තේරුම් ගන්න. ඔක්කොටම ඉස්සර ඔයාව හොයා ගන්න…..

    චානුකට ස්තුතියි සටහනට.

  19. මා කෙලින්ම නොහඳුනන නමුත් සුධාරක නොදන්නා කෙනෙක් නම් නැති තරම්. විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. අදහස් දෙකක් පමණක් ලිව්වොත්.

    1. ඔය මොනවා කලත් උසස් පෙළ හොඳින් නොකරන්න ඒවා නිදහසට කාරනා නොවෙයි. ඔබ එය හොඳින් නොකරනවා නම එය ඔබ ඔබටම කරන අසාධාරණයක්. හැබැයි බාහිර කටයුතු නිසා මට සිරාවට එක්සෑම් කරගන්න බැරි වුනා කියන කතාව ගොඩක් අය කියන්න කැමතියි. සමාජයේ මානසිකත්වය හැදෙන්නේ මේක මාර සිරා කියලා. ඒකෙ ගොදුරක් වෙන්න එපා.

    2. බැරි වෙලාවත් උසස් පෙළ හරියට නොකලොත් [නැවත උත්සාහයකදිවත්] එයත් ජිවිතේ අවසානය නොවේ. සමහරුන්ට උසස් පෙළ අසමත් වීම ආශිර්වාදයක්. ඔබ ඒ කැප කිරීම වෙන “තේරුමක් ඇති” දෙයකට දුන්නොත් ඔබ එමගින් ජීවිතය දිනාවි. [ඩබල් කෝට් ඇතුලේ තියෙන වචන විවාදාත්මකයි.]

    කරන හැම දෙයකටම සුබ පැතුම්.

  20. මාත් කියන්න තරම් දෙයක් සුධාරක මලය ගැන දන්නේ නෑ…ඒත් කියන්න තියෙන්නේ විභාගේ හොදට කර ගනින් කියල තමා….ජයවේවා කිව්වා…!!!

  21. මේ සටහනේ තියෙන්නේ සුදාරක ගැනද? එහෙම නැත්තං සුදාරක ඇසුරින් චානුක තමන්ගේ ගුණ වර්ණනා කරගැනීමක්ද? (පොරත්වය පෙන්වීමක් කියලා වුණත් කියන්න පුළුවන්)

  22. This is is terrible. What is the big deal in going in our pathetic private (or public) buses to check quality of mobile phones?? What is the big deal in having a good Facebook page. Facebook is the best example of technology gone completely “bad”.

  23. සුදාරක කරපු හොඳ වැඩක් තමයි ඔය කැම්පස් ගාථාව යටින් තමන්ගේ බ්ලොගයේ නම ගැසීම.

    මට ඕක තුන් හර පාරක් ඊ-මේල්වලින් ආවා.

    නමුත්, ඒ වාගේම එන බ්ලොග්වලින් කොපිකරලා බෙදාහරින එක ලිපියකවත් බ්ලොග් එකේ නම නෑ.

    ඒකෙන් සිංහල බ්ලොග් කියන ප්‍රවනතාවයට ප්‍රචාරණය කරගන්ණ තියෙන හොඳ අවස්ථාවක් නැතුව යනවා.

  24. මේක දැකපු දවසෙ ඉඳන් මේ කොල්ලගේ උසස් පෙල ප්‍රතිඵල ගැන දැනගන්න කම් මටත් ඉවසිල්ලක් නෑ. මේ කොල්ලා අමුතු එකෙක් බව බ්ලොග් එක බැලුවම පේනවා.

  25. Game turned upside down.

    He has beaten a hasty retreat and not sat for A/L’s!!!

    what an anti-climax!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s