29. මහාචාර්ය මැන්දිස් රෝහණධීර නම් මිනිසා හා තවත් අතුරු කතා කිහිපයක්

මහැදුරු මැන්දිස් රෝහණධීරයන්ගේ වියෝව නැවත නො-අරඹන්නටම සිතා සිටි මේ බ්ලොග් එකට අළුතින් බ්ලොග් සටහනක් එක් කිරීමට මට උත්තේජයක් සපයා තිබේ. ඒ මේ මට නිහඬව නොසිටිය හැකි මොහොතක් නිසාය. දෙවනුව මේ ලිපිය පුවත්පතකට නොලිවිය හැකි ආකාරයේ එකක් නිසාය. එසේම මේ සටහන ඔහු ගැනම නොවන නිසාය. සිව්වනුව මවිසින් විනා අන් කිසිවකු විසින් නොලියැවෙන කොටසක්ද මේ සිහිසටහන් අහුරෙහි ඇති නිසාය.

මහැදුරු රෝහණධීරයන්ගේ කුටුම්භය සමඟ මගේ සම්බන්ධය ආරම්භ වන්නේ 1974 තරම් ඈත කාලයකදී අශෝක කණිෂ්ඨ විද්‍යාලයේදී ඔහුගේ කණිටු පුත් හරිගුප්ත රෝහණධීර (ගුප්ත) පළමුවැනි ශ්‍රේණියේදී මගේ පන්ති සගයකු වීම සමඟය. එතැනින් ඇරඹුණු අපේ නොබිඳුණු මිතුදමට මේ වන විට වසර 37ක් වයසය. ගුප්ත අද අළුත්කඩේ උසාවියේ නීතිඥයකු සේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ සංවිධායකයකුද වේ. අවංකව කියන්නේ නම් මට ගුප්තගේ දේශපාලනය හා රටේ සාමාන්‍ය දේශපාලනය අතර ලොකු වෙනසක් නොපෙනේ. නමුත් අපේ දීර්ඝකාලීන මිතුදම, දේශපාලනය මායිම් නොකොට ඔහු වෙනුවෙන් 2010 මහ මැතිවරණයේදී සුළුවෙන් හෝ යමක් කරන්නට මා පෙළඹවූ බව සටහන් කළ යුතුය.

පියා සහ පුතා - මහාචාර්ය මැන්දිස් රෝහණධීර සමඟ ගුප්ත

රෝහණධීර කුටුම්භය සමඟ මගේ දෙවන සම්බන්ධය ඇරැඹෙන්නේ මහැදුරු මැන්දිස් රෝහණධීරයන්ගේ පිය බිරිය අශෝක කණිෂ්ඨ විද්‍යාලයේදීම මගේ ඉංගිරිසි ආචාර්යවරියක වීම සමඟය. මුළු ජීවිත කාලයටම මම ඉංගිරිසිය පිණිස සියයට සීයක් ලකුණු ලබාගෙන ඇත්තේ හතරේ පන්තියේදී රෝහණධීර ටීචර් යටතේ පමණක් බව මතකය. මඟතොටදී නිතර හමුවන ඇය තවම මොහොතක් නැවතී මගේ විස්තර අසයි. “ඔය ගොල්ලො හොඳින් ඉන්නවා දැකීමෙන් තමයි අපිත් සන්තෝස වෙන්නෙ” කියයි.

පසු කලෙක මගේ වෘත්තීය සගයෙක් මහාචාර්යතුමන්ගේ දියණියක සමඟ විවාපත් විය. ඔහු හමුවීමටද මම වරෙක දෙකක රෝහණධීරයන්ගේ නිවහනට ගොඩ වැදී ඇති බව මතකයි.

මේ සියළු දේ අතර මහැදුරු රෝහණධීරයන් ගැන කියන විට මට අනිවාර්යයෙන්ම මට මතක් වන්නේ ඔහුගේ දෙටුපුත් වරුණය. මේ අහිංසකයාගේ කතාව අනිවාර්යයෙන්ම කිව යුතු එකකි.

වරුණ රෝහණධීර මට වඩා වයසින් අවුරුදු තුනක් හෝ හතරක් වැඩිමහළුය සිතමි. ඔහු අසාමාන්‍ය ළමයකු විය. ඒ ඔහුගේ කායික හා මානසික වර්ධනය අතර හිදැසක් තිබුණු නිසාය. සාමාන්‍ය ව්‍යවහාරයේ ‘මොංගල්’ ලෙස හඳුන්වන්නේ මෙවන් දරුවන්ය. වරුණ එසේ හැඳින්වීම සාධාරණද නොදනිමි. මා දැන සිටි වරුණගෙන් නම් මානසික රෝගයක ලක්ෂණ විද්‍යාමාන නොවීය. නමුත් ඔහු පන්තියේ සාමාන්‍ය වැඩ වලට අතිශයින් දුර්වල විය. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වීමට ඔහු දැඩි වෙහෙසක් දැරුවේය. එය හැම වසරෙකම ගඟට ඉණිමං කැපීමක් විය. නමුත් ඔහු ඒ නොතකා එක දිගට ටියුෂන් ආවේය. නිමලරත්න සර්ගේ ගණිත පන්තියේදී හා ගලප්පත්ති සර්ගේ විද්‍යාව පන්තියේදී මට වරුණ හමුවූයේ එසේය. මේ ඔහු සාමාන්‍ය පෙළ කරන්නට තැත්කළ තුන්වන හෝ සිව්වන අවස්ථාවය සිතමි. ගුරුවරු හැමදාම වරුණට කාරුණික වූහ. ඔහු ගෙදර වැඩ නොකළත් කවදාවත් බැනුම් නෑසුවේය. වරුණ බොහෝ විට කළේ සද්දයක් නැතුව පන්තියේ වාඩිවී සිට කළු ලෑල්ලේ ඇති දෙයක් ලියාගෙන ගෙදර යන එකය. ගුරුවරයකු වැරදිලා හෝ ප්‍රශ්නයක් ඔහුට යොමු කළේ නම් අහිංසක ලෙස සිනාසුනේය.

මේ වයසේදී මම දැනටත් වඩා තනියකු වීමි. අවබෝධකරගත හැකි ලෙසින් වරුණටද මිතුරන් වූයේ නොවේ. මේ දිනවල මම අයියාගේ පරණ බයිසිකලය පදිමින් පාර්ලිමේන්තුව පැත්තේ කරක් ගැසීම විනෝදාංශයක් කරගෙන සිටියෙමි. වරුණ ඒ හරියේම ඇවිදින්නට ආවේය. අපි ඉබේම හොඳ මිතුරන් වීමු. අප දෙදෙනා බොහෝ වේලා මේ අඩවියේ ගත කළ බව මතකය. වල්පල් කතා කරමින් කාලය කා දැමූ බවද මතකය. වරුණගේ සිත්ගත් යුවතියක අපේ ටියුෂන් පන්තියේ වූවාය. එය තනිකරම ඒකපාර්ශ්වික ආදරයකි. මා ඇය ගැන කියා නිතොර විහිළු කරද්දී වරුණ මුහුණ රතු කර ගත්තේය.

වරුණ රෝහණධීර බොහෝ දෙයින් සාමාන්‍ය තරුණයකු විය. එහෙත් නොමේරූ බුද්ධිය විසින් ඔහුට තීරණ ගැනීමේ දුබලතාවයක් දායාද කොට තිබුණේය. එනිසාම ඔහු ලෙහෙසියෙන් ඇන්දවිය හැකි විය. මිතුරන්ගේ ඕනෑ බොරුවක් ඔහු ප්‍රශ්න නො අසා විශ්වාස කළේය. මේ කෙනකුට ලෙහෙසියෙන් පාවිච්චියට ගත හැකි දුර්වලතාවයකි.

කවුරුන් හෝ ඒ දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගත්තාද විය හැකිය.

මා වරුණ සමඟ පාර්ලිමේන්තුව පැත්තේ ඇවිදින්නට යන කාලයේදීම රටේ බොහෝ දේ සිදුවෙමින් තිබුණේය.

මහාචාර්ය මැන්දිස් රෝහණධීර ජීවිතය පුරා බණ්ඩාරනායක මහත්තයාගේ සීරියස් අනුගාමිකයෙකි. “පනස් හයේ දරුවකු” වූ ඔහුගේ අදහස් පැරණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තීන් හා අපූරුවට සම්පාත විය. ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමේ බොහෝ උගතුන්ට වූ උනන්දුව ඔහුටද තිබුණද “ආසයි-බයයි” නිසා එය දිනෙන් දින කල් ගොස් තිබිණි. එක්දහස් නවසිය අසු ගණන් වල මැද හරියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියාකාරීන් නැතිව දරුණු අහේනියකට මුහුණ දුන් අවස්ථාවේ මේ තීරණාත්මක මොහොත උදාවිය. තිස්සමහාරාමය එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිම බලයක් නොවූ ආසනයකි. මැරකම් වල අන්තය තෙක් ගිය එහි සටන වූයේ යූ ඇන් පිය හා ඒ වන විට තහනම් පක්ෂයක්ව අප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වූ ජනතා විමුක්ති පෙරමුණ (දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය) අතරය. යූ ඇන් පියේ හා ජේ වී පියේ මැර දේශපාලනය අතරට මැරයකු නොවූ මහාචාර්ය මැන්දිස් රෝහණධීර රිංගවීම කෙතෙක් උචිතද යන සැකය පක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක තුළ පවා තිබුණු බව ගුප්ත මට කී බව මතකය.

කෙසේ වෙතත් අවසානයේ මහාචාර්ය මැන්දිස් රෝහණධීර තිස්සමහාරාමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ලෙස ක්‍රියකාරී දේශපාලනයට පිවිසියේය. අප ගුප්තට වද කොට මාළුපාන් පාටියක්ද ගත්තෙමු.

මීට මාස කිහිපයකට පසුව, පාර්ලිමේන්තුවේ මා සමඟ ඇවිද “යන්නම්” කියා ගිය වරුණ රෝහනධීර ගෙදර ගියේ නැත.

ඔහු උඩහමුල්ල පාර පැත්තෙන් යනු මගේ මිතුරකු වූ සඳරුවන් දැක තිබුණේය. ඒ වරුණගේ නිවෙසට කිලෝ මීටරයකට අඩු දුරෙකිනි. මේ ප්‍රේමදාස-ජවිපෙ-භීෂණ සමය බව සිහිකටයුතුය. නොම්මර තහඩු නැති සුදු වෑන් ගැන ඒ කාලයේද කතා බහක් විය.

එතැන් සිට වරුණ රෝහණධීරට කුමක් වීද යන්න අභිරහසකි. ඔහු වාතලයට අතුරුදන් වූවාක් සේ විය.

මේ සම්බන්ධ කට කතා බොහෝය. එක කතාවකට අනුව වසර කිහිපයකට පසුව ලලිත් ඇතුලත්මුදලි මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන්ට කතා කොට යම් රහස් කිහිපයක් කියා තිබේ. මෙහි ඇත්ත නැත්ත මම රෝහණධීරයන්ගෙන් හෝ අඩු තරමින් ගුප්තගෙන් වත් විමසා නැත්තෙමි. මේ ඔවුනට අතිශය සංවේදී වේදනාකාරී මතකයක් බැව් මම දනිමි. එසේම ඒ කාලය වන විට ලලිත් ඇතුලත්මුදලි දැඩි ප්‍රේමදාස විරෝධියකුවී සිටි බවද අප අමතක කළ යුතු නොවේ.

නිතර සිනා මුසු මුහුණින් සිටි රෝහණධීර ටීචර්ගේ මුහුණේ සිනාවක් එතැන් පටන් මම කිසි දෙනෙක දැක නැත්තෙමි. මීට බොහෝ පසු කාලයක මහාචාර්ය රෝහණධීරයන් සමඟ කතාකරද්දී මම වරුණ ගැන මොකද්දෝ සඳහනක් කළෙමි. ඔහු එය නෑසුණා සේ කතාව වෙනතකට හැරවීය.

රෝහණධීරයන්ට පුතකු නැති වීමත් සමඟම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උගත් සංවිධායකයකුද නැති විය. මේ රෝහණධීරයන්ගේ ක්‍රියාකාරී පක්ෂ දේශපාලනයේ අවසානයයි. දාරක ප්‍රේමය විසින් ඔහුගේ දේශපාලනය පිළිබඳ වූ උනන්දුව ගිලගෙන තිබුණේය.

“ස්වාමීනි, පුතු ප්‍රේමය සිවිය සිඳී, සිවිය සිඳ හම සිඳී, හම සිඳ මස සිඳී, මස සිඳ නහර සිඳී, නහර සිඳ ඇට සිඳී, ඇට සිඳ ඇට මිදුලු තුළට වැද නවතී.”

(මහා වග්ග පාළීයෙන් සුද්ධෝදන රජතුමාගේ වචන)

යම් අවස්ථාවෙක මහින්ද රාජපක්ෂ අගමැතිතුමන්ගෙන් ඔහුට නැවත ආසන සංවිධායක කමක් භාර ගන්නා ලෙස පුද්ගලික ඇරැයුමක් වූ බැව් මම දනිමි. ඔහු එය කාරුණිකව පිළිකෙව් කොට ඒ අවස්ථාව තම පුතුට ලබා දුන්නේය.

“ගුප්තගේ හා වරුණගේ තාත්තා” ලෙස පමණක් මා දැන සිටි මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන් හා පුද්ගලික සම්බන්ධතාවයක් ගොඩ නඟා ගැනීමට මට හැකිවුයේ මෑතකදීය. 2004දී පමණ මා එවක සේවය කළ සමාගමේ මගේ ලොක්කා වූ කිත්සිරිට අළුත් ව්‍යාපෘතියකට අදහසක් පහළව තිබුණේය. ඒ දිවයිනේ ඕනෑම සිද්ධස්ථානයකට ගොඩ වදින සංචාරකයකුට යම් අංකයක් තම ජංගම දුරකථනයට ඇතුළු කොට ඒ සිද්ධස්ථානය ගැන විස්තරයක් ලබා ගැනීමේ මෙවලමක් නිර්මාණය කිරීමය. මීට ප්‍රධාන සම්පත් දායකයා ලෙස මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන් සම්බන්ධ කර ගැනීමට අපි කල්පනා කළෙමු. කිහිප වතාවක් මේ සම්බන්ධයෙන් මහාචාර්යතුමා හමුවීමට ගිය බව මට මතකය. (යම් යම් හේතූන් නිසා මේ ව්‍යාපෘතිය සාර්ථක වූයේ නොවේ. කිත්සිරිගේ අදහස පසුව වෙනත් පාර්ශවයන්ට දැන ගැනීමට ලැබුණු අතර දැන් මොබිටෙල් විසින් මීට සමාන මෙවලමක් හඳුනා දී තිබේ.)

ව්‍යාපෘතිය අසාර්ථක වුවත්, මේ නිසා මහාචාර්යතුමන්ට තමන්ගේ පරිගණකය ලෙඩ දෙන විට හදා ගන්නට කෙනකු ගෙදර කිට්ටුවෙන්ම සොයා ගන්නට ලැබුණේය. ඒ මායි. එසේම මට මගේ ඉතිහාස දැනුම වර්ධනය කර ගැනීමට අපූර්ව උල්පතක් ලැබුණේය. පරිගණකයේ ප්‍රශ්නයක් ඇති වූ විටෙක ඔහු මෝටර් රථයෙන්ම පැමිණ මාව දාගෙන යයි. ඉන්පසු මා එය පිළිසකර කරන තුරු මගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයයි. පරංගියා 1505දී කෝට්ටේ නොගිය බවත් 1506දී මුල්වරට පෘතුගීසි නෞකාවක් මෙරටට පමිණියේ ගාළු වරායෙන් බවත් ඔහු මට දිනෙක දීර්ඝ විස්තරයක් කළේය. කොම්පියුටර් හැදීම නතර කළ පසු මම මේ කටයුත්ත ගෝලයකුට පැවරීමි. ඔහුද කිහිප වතාවක් රෝහණධීරයන්ට උදව් කළ බැව් දනිමි.

ඉතිහාසඥයකු හා උගතකු ලෙස මහැදුරු මැන්දිස් රෝහණධීරයන් පළ කළ අදහස් සමඟ මා එකඟ නොවන තැන් ගණනාවකි. අපේ බොහෝ ඉතිහාසඥයින්ට මෙන්ම ඔහුටද මහාවංශයෙන් බැහැර ඉතිහාසයක් සිතිය නොහැකි විය. මහාවංශය (එහි කතුවරයාම වක්‍රම පිළිගන්නා පරිදි) ප්‍රබන්ධයක් මිස අපක්ෂපාතී සම්පූර්ණ ඉතිහාසය නොවේය ඔහු කිසි දිනෙක නොපිළිගත්තේය. විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ආධුනික කථිකාචාර්යවරයකු ලෙස මහාවංශය කියැවීමේදී ගෛගර් පරිවර්තනය නොකියවා මුල් පාළි පොත කියවන ලෙස වැලිවිටියේ සෝරත මහතෙරුන්ගෙන් කමටහන් ලැබීම ඔහු විශාල ගෞරවයක් ලෙස සැලැකීය. නමුත් මෙයින් කියන්නේ මහාචාර්ය රෝහණධීරයන්ගේ පර්යේෂණ ශාස්ත්‍රීය නොවූ බව නොවේ. පොළොන්නරු යුගයෙන් පසු ලංකා ඉතිහාසය ගැන ඔහු ලියා ඇති සමහර දේ විශිෂ්ඨය. රයිගම හා කෝට්ටේ යුගය ගැන ඔහු තරම් ගැඹුරින් අන් කවරකු හෝ පර්යෂණ කර ඇත්ද මම නොදනිමි. මම මේ දැනුමින් ආලෝකය ලද දුහුනෙක්මි.

මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන් ගේ ඉංගිරිසි හා විද්‍යා අධ්‍යාපනය ගැන වූ අදහස්ද මම නොපිළිගනිමි. ඔහුට අනුව අධ්‍යාපන මාධ්‍යය ඉංගිරිසියෙන් සිංහලට මාරු කිරීම මෙරට “පොඩිමිනිහා” ලද අති විශාල ජයග්‍රහණයකි. මේ නිසා රටෙහි ඇති වූයේ අධ්‍යාපනික ප්‍රබෝධයක් බව කියන ඔහු අද අප මුහුණ දෙන ගැටළු වලට එක් හේතුවක් ඉංගිරිසි අධ්‍යාපනය පරම්පරා ගණනකට අහිමි කිරීම බව නොපිළිගනියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් යටතේ වුවද 1974 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා වූයේ හානියක් බව ඔහුගේ මතයයි. 1971 කැරැල්ලෙන් පසු අධ්‍යාපනයේ ඇති කළ යුතු වෙනස්කම් කිරීම සඳහා පත්කළ කමිටුවේ වැඩි හඬක් නැඟීමට ලැබුණේ ඔස්මන්ඩ් ජයරත්න නම් භෞතික විද්‍යා මහාචාර්යවරයාට බව කියමින් ඔහු විස්සෝප වෙයි. ඔහුට අනුව අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පොදු එකක් ලෙස තිබීම වැරදිය. එය විද්‍යා, කලා ලෙස වෙන් කළ යුතුය. ඉතිහාසය වැනි විෂයයන් ඉගෙනීමට සිසුන් ඇදී යන්නේ එවිටය. විද්‍යා විෂයයන් ඉගැන්වීමට වැඩි ඉඩක් වෙන් කිරීම නිසා ඉතිහාසය විෂය වෙනුවට “සමාජ අධ්‍යයනය” හඳුන්වා දීමෙන් සිරිමා බණ්ඩාරනායක රජය කර ඇත්තේ වරදකි. එහෙත් මේ ක්‍රමය නිසා කලකදී කලා විෂයයන් පමණක් හැදෑරීමට ගම්බද සිසුන්ට වූ අවස්ථාව විද්‍යා විෂයයන් උගෙන වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වීම දක්වා පුළුල් වූ බවත් රෝහණධීරයෝ පිළි ගනිති.

මා මහාචාර්ය රෝහණධීරයන් අවසාන වරට හමුවූයේ මාස කිහිපයකට මත්තෙන් බත්තරමුල්ලේ ආර්පිකෝ සුපිරි වෙළඳ හල ඉදිරිපසදීය. ඔහු තම බිරිය මිළදී ගැනීම් කටයුතු කර එනතුරු එතැන කල් මරමින් සිටියේය. මේ කවර හෝ හේතුවක් නිසා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායකගේ නම ප්‍රවෘත්ති වල නිතර කියැවුණු කාලයකි. මම ඔහු අසළට ගොස් “සර්, විද්‍යෝදයෙදි එස්. බී. දිසානායකට හෙම උගන්නල ඇති නේද?” ඇසුවෙමි. මේ මා උත්තරය දැන සිටි ප්‍රශ්නයකි. මට අවශ්‍ය වූයේ ඔහු අවුස්සා පැරණි රසාංග කීපයක් අසා ගැනීමටයි. “අපොයි, නැතුව!” කීවාක් මිස ඔහු ඒ ගැන ඊට වඩා යමක් නොකීවේය. සමහර විට මතකය හාරා ඇවිස්සීම ඔහුට වදයක් වන්නට ඇත.

මහාචාර්ය මැන්දිස් රෝහණධීරගේ අභාවයෙන් රටට හොඳ මිනිසකු නැති විය. මේ සටහන කියවන්නන් ඔහු පිළිබඳ තම මතකය අවදි කරනු ඇතැයි සිතමි.

Advertisements

19 responses to “29. මහාචාර්ය මැන්දිස් රෝහණධීර නම් මිනිසා හා තවත් අතුරු කතා කිහිපයක්

  1. කාලෙකට පස්සෙ කියවන්න ලිපියක්… ඒත් මුලින් ලියපුව තරම්ම හිතට වැදුනෙ නැ.. කොහොම උනත් කාලෙකට පස්සෙ දැක්ක එක ගැනනම් සතුටුයි.. ජය වේවා…

  2. W.A. Wijewardena

    Well written from a very impartial point of view highlighting Professor Mendis Rohanadheera’s profile.

    came to know him in mid 1060s when I was doing AL exam and at that time he was attached to Vidyodaya’s Sinhala Department. He wrote a series of articles on Sinhala novel to Silumina paper and I recall that all our friends waited for Sunday to buy the paper to read Rohanadheera. it helped us to pass our sinhala paper and improve our appreciation of Sinhala novel which still lingers on my mind.

    he is an intellect of an extraordinary impartiality. He was appointed to a committee by Mrs Bandaranayake in 1971 to examine the question of university reforms and the talk at universities was that the committee headed by the late Dr Osmund Jayaratna had been advised by the government that it should recommend the integration of all universities into a single University of Ceylon and Rohanadheera disagreeing with the rest of the committee submitted a dissenting report. For this exercise of independence of intellectuality, he was not offered any position at the newly formed University of Ceylon while all other members were appointed as Presidents of University Campuses.

    Then, in 2005, he was appointed to a Presidential commission inquiring into the deat of Rev Gangodawila Soma and, he submitted another dissenting report arguing that there was no conspiracy in the Thera’s death.

    This is Mendis Rohanadheera and as Chanuka has said we all have lost him.

  3. Vishaka Nanayakkara

    Thanks Chanuka for paying tribute to this great man. My first recollection of him is a poem I saw in a paper titled “Varuna Darsha Puthu Peniyan”. Madhurika getting married to Ashok made me getting to know this man in real life. My deepest sympathies to Aunty, Madhurika, Guptha and the family.

  4. මට මතක විදියට මැරෝ මට සිඩ්නිවල දී හමුවුණා 2008 දී. අපේ අවුරුදු උත්සවයකදී කතාවක් කරන්නට මං ඔහුව සභාවට හඳුන්වා දුන්නා.

    දෙවෙනි පුතාව දේශපාලන මඩ ගොහෙරුවේ ගිල්ලපු එක නං ලොකු වරදක්!

  5. උදේ වරුවේ එස් එම් එස් ඒක ආපු ගමන් මාර කනගාටුවක් ආවා. හැම කෙනෙකුටම යන දවසක් එනවා. ඒත් ලොකුම ප්‍රශ්නය මේ වැටෙන ගස් වල හිස් ඉඩ පුරවන්න සුදුසු ගස් වැවෙනවාද යන්නයි.

    ලංකාවේ උගතුන්ගේ අයිඩියලොජි-කරණය [දේශපාලනය ම නොවේ] නිසා මේ තැනට එන්න ඉන්න අය මේ තරම් ඉම්පාෂල් වෙන එකක් නැහැ කියා මට හිතෙන්නේ. අද උදාහරණයකින් ගත්තොත් මේ රටේ පූර්ව විජය යුගය ගැන කරන පර්යේෂණ බලන්න. සමහරුන්ට ඕනේ ඒ මිනිසුන් දෙමල බව ඔප්පු කරන්න. මොකද ලංකාව දෙමල නිජබිමක් කියා ඔප්පු කරන්න ඕනේ නිසා. ඒ මිනිසුන් දෙමල නම් එසේ වුනාවේ. වෙන්න කලින් ඔප්පු කරන්න හදන එකනේ වැඩේ.

    දැන් එක්කෙනෙක් රාවනා ප්‍රවාද හදමින් රටේ නැති තර්ක දානවා. උන්නැහේටත් පී එච් ඩී එකක් තියෙනවා. පට්ට බයස් මේ කට්ටිය.

    මේ වගේ අයවලුන් ඉදිරියේදී ලොකු පුටුවලට ඒවි. දැනටමත් වෙලා තියෙන්නේ. ආසනික් ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැනේ.

    චානුක කිව්ව මහා වංශයට ගැති වීම කොයි ඉතිහාසඥයාටත් තියෙන ලෙඩක්. එයට හේතුව මේ පොතේ දත්ත ඉදිරිපත් කරන ආකාරයයි. මහා කාව්‍යයක් උනාට බයි චාන්ස් මේක ලියලා තියෙන්නේ අද ඉතිහාස පොතක දත්ත සකසන ආකාරයටයි. ග්‍රීක රෝම ඉතිහාසයත් ඔහොම පරණ ප්‍රබන්ධ වලින් පෙළ ගස්වනවා නේද?

    මහා සිංහලේ වංශ කතාව නම් මහා වංශය හොරකම් කරගෙන ඇවිත් කෑලි කපලා තායි සෝස් අජින මොටෝ එහෙම දාලා උයලා සැශේ පැකට් වල පැක් කල ඉතිහාස ඩේවල් එක තුල මේ මිනිසා පමණක් බුද්ධියෙන් දිලිසුන බව මට මතකයි.

    වරුනලා නම් කීයක්‌ වාෂ්ප උනාද ඒ සන්දියේ. එව්වා ගැන කතා කරලා වැඩක් නැහැ. අපි බේරුනේ වයස මදි හින්දා ඒ රවුමට කොලිෆයි වෙන්න.

    අවසාන වශයෙන් ඔබේ නැවත පැමිණීම මහත් සතුටක්. දිගටම ලියන්න චානුක. මාත් කොමෙන්ට් අඩු කරලා මගේ බ්ලොග් වල ලියවෙන තරමත් වැඩිදුර අධ්‍යන වැඩත් වැඩි කර ගන්න හදන්නෙ. කොච්චර වැඩ තියෙනවා කිව්වත් ඔය පොඩි ටයිම් ස්ලොට් එක හොයා ගන්න අමාරු නැහැ නේද?

  6. දිගටම ලියනව නම් කියවන්නම් අකුරක් නෑර… 🙂

  7. මැන්දිස් රෝහණදීර කියන්නේ ගරු කල යුතු මහැදුරෙක්.එතුමා ගැන සිහිසටහනක් තැබීම අගය කළ යුතුයි.චානුක මහත්තයා මම ලියන ජ්‍යොතිෂය පිළිකුල් කළාට ඔබගේ ලිපි මා ඉතා ආසාවෙන් කියවනවා.ඔබගේ ලිපි වැඩිපුර කියවන්න පෙළඹුනෙත් ඔබ ජ්‍යොතිෂය විවේචනය කරමින් මගේ අඩවියේ අදහස් පල කිරීම සමගය.ඔබතුමා මගේ වැඩිහිටියෙක් නිසා මා වැනි අයකු කියන දේවල් පිළිගනීද නැද්ද මම දන්නේ නැහැ.”සිහි සටහන්” කිව්වම ඉතින් “මම,මට,මගේ” කියන වචන තුන වැඩි වශයෙන් භාවිතා කළ යුතු තමයි.නමුත් බ්ලොගයක් ලිවීමේදී ලියන්නා මෙම වචන තුන නිතරම භාවිතා කිරීම නරකයි.නිකමට වගේ “මම,මට,මගේ” කියන වචන තුන එක දිගට කීප සැරයක් කියාගෙන කියාගෙන යන්න.අනිවාර්යෙන් හුස්ම ගන්න අපහසුතාවක් හදවතට පීඩාවක් ඇති වෙනවා.කතාවෙදි ශරීරාංග වලට දැනෙන එම පීඩාව ලිවීමේදී ඇතිවන ආකාරය කියන්න මම දන්නේ නැහැ..නමුත් ඒක ලියන්නාට කුමන අංශයකින් හෝ පීඩාවක් මතු කරනවා.ස්තූතියි.මම කිව්වේ මට හැගෙන දේ ඔබතුමාගේ හිත රිදවීමේ අදහසකින් නොවේ.

    • “මම,මට,මගේ” කියන වචන තුන එක දිගට කීප සැරයක් කියාගෙන කියාගෙන යන්න.අනිවාර්යෙන් හුස්ම ගන්න අපහසුතාවක් හදවතට පීඩාවක් ඇති වෙනවා.

      ledakda koheda

  8. බ්ලොග් එකක් කියන්නේ එහි ආරම්භක අර්ථ දැක්වීම අනුව දිනපොතක් වගේ එකක් වුනත් සිංහල බ්ලොග් අවකාශයේ පිළිගත් සම්ප්‍රධාය අනුව බ්ලොග් සටහන් කරු තමාගේ සිතුවිලි,විෂයය මිස තමාව ඉස්මතු කිරීමක් නොකරයි.උදාහරණයකට මා ජ්‍යොතිෂය ගැන ලියන්නේ ජ්‍යොතිෂය ඉස්මතු කරවීමට මිස මාව ඉස්මතු කර ගැනීමට නොව.

    • @jhothishalanka,

      එහෙම සම්ප්‍රදායයක් තියෙනව කියල නම් මා අහල නෑ. අනෙක තිබුණත් ඔබ වගේ හණමිටි සම්ප්‍රදායයන් බදා ගෙන ඉන්න එක නෙවෙයි මා කරන්නෙ. සම්ප්‍රදායයක් කියල එකක් තියෙනව නම් ඒක කැඩීමයි මගේ සිරිත. බොහොම ස්තූතියි. මා කැමැති විදියට මා ලියන්නම්. අකැමැති නම් නොකියවා ඉන්න.

      • “නෑ මම ඔබගේ ලිපි දිගටම කියවනවා.ඔබ කැමති විදියට ඔබ ලියන්න.රටේ පිළිගත් සුවිශේෂී චරිත පිළිබද ඔබගේ සිහිසටහන් බොහොමයකම කතා නායකයා වූ පිටස්තර සුවිශේෂී පුද්ගලයාට වඩා ඔබේ චරිතය ඉස්මතු කර දැක්වීමක් පෙනුන නිසයි එහෙම කිව්වේ.මීට කලින් මගේ ලිපියක තිබූ මෙවැනි ලක්‍ෂණයක් බ්ලොග් ලියන සහෝදරයකු මා හට පෙන්වා දුන්නා.

  9. Lakshan Wickrema

    Chanuka
    Thanks for this very humanistic take on Prof. Rohandheera. I too did not agree with his views and thought negatively about him ,having seen him with the people associated with racism/bigotry in this country. But after reading what you written I feel sorry for what he had gone through. Why can’t people understand the meaning of Live and Let Live.

  10. මැන්දිස් රෝහණ්දීරයන්ගේ අගය මේ දිනවල නම් අපිට හුඟක් දැනෙනවා. මේ දිනවල විශ්වවිද්‍යාලයේදී උගන්වන ගම්පොල යුගය සම්බන්දව කියවිය යුතු පොත්පත් රැසක් කතුවරයා එතුමායි.

  11. මාරයා...

    හැකිනම් අමර හේවා මද්දුම මහත්මා පිළිබදව ඔබගේ මතකයන් ඇත්නම් ලියන්න…මට ඔහු ගැන දැන් දන්නවාට වඩා දැන ගැනීමේ උවමනාවක් තියෙනවා.

  12. මැන්දිස් රෝහණධීර මහැදුරු තුමාට නිවන් සුව පතමු.

    චානක මහතාණෙනි, ඔබතුමා ගේ ලිපි නැවත කියවීමට ලැබීම සතුටක්.කෙසේ හෝ කාලය සම්පාදනය කරගෙන සිහි සටහන් දිගටම තබන්න.

  13. What was Mr. ROhanadeera’s caste? Was he govi or K caste? I am doing MPhil on Caste issues in Sri Lanka. Any help would be appreciated.

  14. මහාචාර්ය රෝහණධීරයන්ගේ ජීවිතයේ දුක්ඛදායකම අවස්ථාව තම පුතු අතුරුදහන්වීම බව නොරහසක්. පුතු සොයා ගැනීමට ඔහු නොදැරූ වෙහෙසක් නැති තරම්. අවසානයේ පුතුගේ මාරයාම රෝහණධීරයන්ගේ පිහිටට පැමිණියා. නැති වූ පුතුට ජීවය පිබීමට පුතුගේ මාරයාටත් නොහැකි වුවත් පසුව ඒ මාරයා පියාගේ හොදම මිතුරෙක් වුණා. රෝහණධීරයන් ජනාධිපති ප්‍රේමදාසගේ කුළුපගයකු වී බණ්ඩාරනායක හෘදය සාක්ෂිය අමතක කිරීම චානකට අමතක වුණාට මේ රටේ ජනතාවට නම් අමතක නෑ.

    අදත් එදා වගේමයි, දූ පුතුන්ගේ මාරයා පියවරුන්ගේ යාළුවන් බවට පත්වන්නේ ක්ෂණිකයෙන්.

  15. ධර්මෙගෙ කවි සිතුවිලි

    මෙතුමාගෙ පුතා අතුරැදහන් වීම ඒ කාලෙ කියෙව්ව මතකයි…අපි හිතාගෙන හිටියෙ උග්‍ර ජෙප්පෙක් කියල….ඒ දවස්වල රාවය කියවල පුච්චල දානව අපෙ අම්ම. බයයි එච්චරට.. අපි වයස නිසා අතැරෙන්න ඇති

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s