30. කේ. ජයතිලක මහත්තයා, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා හා අතුරු කතා කිහිපයක්

කේ. ජයතිලක මහත්තයා සමඟ අල්ලාප සල්ලාපයෙහි යෙදෙන්නට මට ඉඩ ලැබී ඇත්තේ ජීවිතයේ එක් වරක් පමණෙකි. ඒ මීට වසර පහළොවකට ඉහත දයාසේන ගුණසිංහ මහත්තයාගේ අවමඟුල් උත්සවය දාය. ලංකාදීප කර්තෘ සිරි රණසිංහයන් විසින් හඳුන්වා දෙනු ලැබීමෙන් පසුව ඔහු ටික වෙලාවක් කුළුපග සගයකු සේ මා සමඟ කතා බහ කළේය. සිංහල සාහිත්‍යාම්බරයෙහි පතාක යෝධයකු සේ නැඟී සිටින මේ දැවැන්ත මිනිසා සාමාන්‍ය ජීවිතයේදී කොයිතරම් නිවුනකු දැයි මම එදා පසක් කළෙමි.

ඉන්පසු අවස්ථාවක ගුණසිංහ මහත්තයාගේ නොපළ පොතක් ප්‍රකාශකයකු විසින් බලෙන්ම වාගේ රැගෙන ගොස්, ගිවිසුමකින් හෝ කිසිම අවසරයකින් තොරව පළකරන්නට සූදානම් වූ මොහොතෙහි එය විසඳා දෙන්නැයි මම කේ, ජයතිලකයන්ටද, ගුණසේන විතාන හා කුලසේන ෆොන්සේකා මහතුන්ටද ලීවෙමි. මගේ ලිපියට ඉතාම ඉක්මණින් ප්‍රතිචාර දැක්වූ ජයතිලකයෝ “බය වෙන්න එපා, ඒක මං බලාගන්නම්” කියා දුරකථනයෙන් පිළිතුරු දුන්හ. ඔහු ඒ පොරොන්දුව එසේම ඉටුකළ බවද කෘතඥතාපූර්වකව සටහන් කළ යුතුය. මතක හැටියට ගිවිසුම අස්සන් කරන අවස්ථාවෙහිම කර්තෘ භාගයෙන් තුනෙන් එකක් දෙන්නට ප්‍රකාශකයා කැමැති කරවා ගත හැකි විය. මේ ලේඛකයකුගේ හා ප්‍රකාශකයකුගේ භූමිකා දෙකම රඟපා තිබූ ජයතිලක මහත්තයා ලේඛකයකුගේ අයිතීන් වෙනුවෙන් මැදිහත්වීමක් කළ එකම වතාව නොවෙතැයි සිතමි.

ඒ හැරුණු විට මා කේ ජයතිලක නම් ලේඛකයා දැන සිටියේ සාහිත්‍ය ලෝකයේදී පමණෙකි. ඒ ගැන නම් බොහෝ කාරණා කිව හැකිය. නමුත් ඒ සියල්ලට පළමු මට තවත් අතුරු කතාවක් සිහි වේ.

1976 වසරේදී මමත් අයියාත් තාත්තාත් “ඇහින්දාස්” නඩයක් සමඟ තිරිකුණාමලයේ තෙදින සංචාරයකට සහභාගි වීමු. නංගී පොඩි නිසා අම්මා ඊට එක් නොවූවාය. මෙවිට මගේ වයස අවුරුදු නවයකි.

බොහෝ සංචාරයන්හිදී සිදුවන්නාක්සේම බසයේ පසුපස ආසනයන්හි සංගීත සාජ්ජයක් විය. ඉදිරි අසුනක සිටියද මේ සංගීත සාජ්ජය ගැන උනන්දුවක් ඇති වූ නිසා මා සිටියේ පසුපස හැරී ආසනය මත දණ ගසාගෙනය. ඉඳහිට තාලය දන්නා ගීයකට අත්පුඩි ගසමිනි.

ටික වේලාවකින් බස් රථයේ අපේ ආසනයට පසුපස ආසනයේ සිටි කාන්තාව මා හා කතාවට වැටුණාය. ඇය සිටියේ ඇගේ දියණියන්ය සිතිය හැකි යොවුන් වියෙහි අක්කලා දෙදෙනකු හා මට ටිකක් විතර වයස ඇගේ පුතාය සිතිය හැකි අයියා කෙනකු සමඟය. මගේ පොත් කියැවීමට ඇති රුචිය වටහා ගැනීමට ඇයට වැඩි කාලයක් ගත වූයේ නැත.  (ඒ වන විටත් මම පොත් කාවකුව සිටියෙමි. තේරුණත් නොතේරුණත් ගෙදර ඇති හැම පොතක්ම කියැවීම මගේ සිරිතය.) ඉන්පසු අප අතර දෙබස මෙසේ විය.

ඇය: ඔයා වැඩියෙන්ම ආස පොත මොකද්ද?
මම: මඩොල් දූව
ඇය: ඔයා දන්නවද කවුද ඒක ලිව්වෙ කියල?
මම: ඔව්. මාර්ටින් වික්‍රමසිංහ
ඇය: මාර්ටින් වික්‍රමසිංහ ඇරුණාම ඔයා තව කවුද පොත් ලියපු කට්ටිය දන්නෙ ?
මම: ඩබ්ලිව්. ඒ. ද සිල්වා, ටී. බී. ඉලංගරත්න, කේ ජයතිලක…
ඇය: ඔයා කේ. ජයතිලකගෙ කියවල තියෙන පොත් මොනවද?
මම: චරිත තුනක්, පුනරුප්පත්තිය…

(ඇගේ ඇස් එක පාරට උඩ ගියේය.)

ඇය: (තම දියණියට) මෙන්න මෙයා ‘පුනරුප්පත්තිය’ කියවල තියෙනවලු…

(ඉන්පසු ඔවුන් සියල්ලෝම කතාකරගත්තාක් මෙන් එකපාරටම සිනාසුනෝය. ඒ ඇයිදැයි මට වැටහුණේ නැත.)

ඇය: ඇයි ඔයා, කේ ජයතිලකගෙ ඉස්සරහ බලන්නෝ, පුංචි වළාකුළ හා පුංචි පුතා, ඉරුණු බළලා වගේ ළමා පොත් කියවල නැද්ද?
මම: ආපෝ, මං ඒව කියවල තියෙන්නේ එකේ පන්තියෙදිනෙ. දැන් මම ඉන්නෙ තුනේනෙ.

ඇය තමා කවුදැයි මට නොකීවාය. මා එය දැන ගත්තේ පසුවය. ඒ කේ. ජයතිලකයන්ගේ පිය බිරිය සුමන ජයතිලක නැන්දාය. ‘නැන්දා’ කීවේ අපේ පරම්පරාවේ බොහෝ දෙනකු ඇය දැන සිටියේ එලෙස නිසාය. පසු අවස්ථාවකදී ඇය මට ඇය ගුවන් විදිලි සංස්ථාවේ එවකට මෙහෙයවූ “හඳමාමා” ළමා වැඩ සටහනට ගීයක් කීමේ අවස්ථාවක් ලබා දුන්නාය.

ලේඛකයකු හා පාඨකයකු අතර ඇති ගනුදෙනුව සුවිශේෂී එකකි. විශේෂයෙන්ම ජයතිලක මහත්තයාගේ සියළුම පොත් වාගේ කියවා ඇති හෙයින් මා සම්බන්ධයෙන් ඒ ගනුදෙනුව දිගය. ඒ ගනුදෙනුවට අදාළ සියළු කාරණා තනි වියුණු සටහනකට ගොණු කළ නොහැකිය. එනිසා කාලය හා සම්බන්ධ සීමාද සැලකිල්ලට ගෙන මෙහි සටහන් කරනුයේ මගේ මතකයට මුලින්ම එන කරුණු කිහිපයක් පමණෙකි.

තරුණ ජයතිලක සමසමාජ කාරයෙකි. ඒ බව ඔහු “පුංචි පැලේ ගස වෙනා” නම් තම ස්වයං ලිඛිත චරිතාපදානයෙහි ඍජුවද, තවත් කෙටිකතා කිහිපයක වක්‍රවද සඳහන් කරයි. ඔහුගේ අනුත්තර නායකයා වන්නේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාය.

ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා

තරුණ ජයතිලක ඇන්. ඇම්. පෙරේරා වෙත ඇදී යාමට හේතුව මට වටහා ගත හැකිය. ජයතිලකගේ පවුල් පසුබිම පහළය. ගැමිය. ඊට කිට්ටුවෙන්ම යන පවුල් පසුබිමක් ඇති සමසමාජ නායකයා ඇන්. ඇම්. පෙරේරාය. ෆිලිප් හා රොබට් ගුණවර්ධන වලව්කාරයෝය. කොල්වින් ආර්. ද සිල්වා ගමක උපත ලදුවත් පෙනී සිටින්නේ ඉංගිරිසි පන්නයට හැදුණු නාගරික උගතකු, නීතිඥයකු ලෙසිනි. වික්‍රමසිංහ වෛද්‍යවරයෙකි. පීටර් කෙනමන්ලා වෙනමම සංස්කෘතියකට අයත්ය. තරුණ ජයතිලක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා තුළින් තමා දුටුවා විය හැකිය.

ජයතිලකගේ ඇන්. ඇම්. පෙරේරා භක්තිය බිඳී යන ආකාරය අපූර්ව කථාන්තරයකි. ඔහු ඇන්. ඇම්. පෙරේරා තුළින් දකින්නට බලාපොරොත්තු වන, “අපෙන් එකෙකි මේ මිනිසා” කිව හැකි පුද්ගලයා, සමීප සගයා කිසිම දවසක ඔහුට හමු නොවේ. ඇන්. ඇම්. පෙරේරාට අවශ්‍ය මිතුරන් නොව අනුගාමිකයින්ය. තමන් සියල්ල දත්තකු සේ ඔහු පෙනී සිටී. අනුගාමිකයන්ගෙන් ඔහු බලාපොරොත්තු වන්නේ අළුත් අදහස් නොව තමන්ගේ අදහස් ක්‍රියාවට නැංවීමය. මේ අනුගාමිකයන් තමන් හා එක මේසයේ වාඩිවී ආහාර ගන්නට නිස්සන් වේ යැයි ඔහු කල්පනා නොකරයි. තමන් නායකයාය. අනුගාමිකයෝ කොඩි දාන්නෝය; පෝස්ටර් ගසන්නෝය; අසා සිටින්නෝය; අත්පුඩි ගසන්නෝය; තමන්ගේ මතයට එරෙහිව වචනයක් වත් නොදොඩන්නෝය.

තමා ඇතුළු තරුණයන් පිරිසක් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා හා ෆිලිප් ගුණවර්ධන සමඟ සල්ලාපයෙහි යෙදී හුන් අවස්ථාවක් ගැන ජයතිලක මහත්තයා තම චරිතාපදානයේ මෙසේ සඳහන් කරයි: (උපුටනය මතකිනි.) “ඔවුන් දෙදෙනාම අප සමඟ හොඳින් කථා කළහ. ඔවුන් අප සමඟ කථා කළේ සිංහලෙනි. එහෙත් ඔවුන් දෙදෙනා අතර ඉතාම සුළු අදහසක් වුව හුවමාරු කර ගත්තේ ඉංගිරිසියෙනි. මෙය හිතා මතා කළ දෙයක් නොවන්නට පිළිවන. එහෙත් මට හැඟුණේ එය අපට කළ අපහාසයක් හැටියටය. මොවුහු අපේ නායකයෝ නොවෙති. ඉහළ අහසේ සැරි සරණ අතරතුර ඉඳහිට ගොදුරක් සොයා පොළෝ මට්ටමට පහත් වන ගිජු ලිහිණියෝම වෙති.”

මාක්ස් හා ට්‍රොට්ස්කි හැරුණු විට ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා නිතර උපුටා දක්වන බටහිර දාර්ශනිකයන් කීප දෙනකුම වෙයි. (මේ නම් මට දැන් අමතකය.) මේ දාර්ශනිකයින් ගැන කෙතෙක් උනන්දුවක් දක්වන්නේද යත් අසීරුවෙන් ඉංගිරිසි ඉගෙන ගන්නා තරුණ ජයතිලක ඔවුන්ගේ පොත් කියැවීමට පෙළඹේ. ඉන්පසු ඇන්. ඇම්. පෙරේරා හා කතා බහේදී ඔහු මේ ලේඛකයන් උපුටා දක්වන්නේ තම ගුරුවරයා ඉන් සතුටුවේය යන අදහස ඇතිවය. නමුත් වන්නේ එහි අනෙක් පැත්තය. තම අනුගාමිකයා තමන්ගේම පරවේණි බුත්තියට ලියාගෙන සිටි දාර්ශනිකයන්ම ලන්ඩනයට ගොස් තමන් සේ “ශිෂ්ට අධ්‍යාපනයක්” නොලැබූ ගෝලයා විසින් උපුටා දක්වන කළ ඇන්. ඇම්. පෙරේරා කිපෙයි. ඔහුගේ මුහුණ අඳුරු වේ. ජයතිලක මහත්තයා ආචාර්ය පෙරේරාද දේශපාලනයද හැර යන්නේ මේ සිද්ධීන් නිසා ඇති වූ ඉච්ඡා භංගත්වය ඇතිවය. මෙරට සම්මත වම ඔහු වැන්නන් බලාපොරොත්තු වූ “දේශීය සමාජවාදය” ගොඩ නැඟීමට අපොහොසත් වෙයි. ජයතිලක මහත්තයාද ඔහුගේ පන්තියේ සමකාලීනයන් බොහෝ දෙනකු මෙන්ම “සිරිලංකා කාරයකු” බවට පත්වෙයි.

ජයතිලක මහතාගේ පොත් ගැන මේ සති අන්තයේ පුවත්පත් වල ඔහුගේ පොත් කියැවූ හා නොකියැවූ බොහෝදෙනකු විසින් ලියනු ඇතැයි සිතමි. ඔහු විසින් ලියන ලද සියළු පොත් අතරින් මගේ කැමැත්ත දිනාගෙන ඇත්තේ අප්‍රකට හා මේ අතර සඳහන් නොවන ග්‍රන්ථයකි. “මනඃ කල්පිත වාර්තාවක් හෙවත් අර්ධ නවකථාවක්” නම් එය මේ වන විට අලෙවියේ ඇද්ද යන්න පවා සැක සහිතය. මට හිතෙන විදියට මේ දාර්ශනික නවකතාව ජයතිලක මහත්තයාගේ නිර්මාණ ජීවිතයේ අග්‍ර ඵලයයි. එය අගක් මුලක් නැති කතාවකි. එසේම එහි වීරයෝද දුෂ්ඨයෝද නොවෙති. එය එක් ගමක එකෙනෙක හා නොබැඳුණු සරල චරිත කිහිපයක සංකීර්ණ විකසනය විස්තර කරන සාම්ප්‍රදායික නවකථා පාඨකයකු නම් මුල් පිටු කිහිපයෙන්ම ඉවත ලන ආකාරයේ නවකතාවකි. පාඨක විචාරක අවධානයට නොබඳුන් වූ මේ කෘතිය මම ඔහු විසින් ලාංකීය සමාජය වඩාත්ම හොඳින් නිරූපනය කළ එක සේ දකිමි.

ඉක්මණින් පළ කිරීම පිණිස කෙටියෙන් ලියන මේ සටහන සම්පූර්ණ වන්නට නම් ජයතිලක මහත්තයා තම ජීවිතයේ අවසාන භාගයේ ලියූ පතපොත ගැනද යමක් ඊට ඇතුළත් විය යුතුය. අසූ ගණන් වල පමණ ලියූ මා කලින් කී නවකතාවෙන් පසුව ඔහු අරඹා ඇත්තේ බහින කලාව බව මගේ අදහසයි. විශේෂයෙන්ම “වර්ණය ඡන්දය හා මනාපය” යන නවකතාවෙහි හා “සිංහලයේ ආරම්භය හා අවසානය” යන විචාර ග්‍රන්ථයෙහි ඔහු තමන්ගේ දේශපාලන දර්ශනය හා අනුගත දුර්මත රාශියක් පාඨකයාට ඉදිරිපත් කරයි. මේ ජයතිලකයන්ම වරෙක සඳහන් කළ “උගතුන් මහළු වෙද්දී විකාර දෙඩවීමේ රෝගයේ” ප්‍රතිඵලද මම නොදනිමි.

1925දී උපත ලද ජයතිලක මහත්තයා මියයන්නේ අපේ කාලයේ පරමායුෂ විඳීමෙන් අනතුරුවය. එසේම ඔහු අවසාන වසර කිහිපය සාහිත්‍යකරණයෙන් ඇත්ව සිටියේය. එබැවින් ඔහුගේ වියෝව බොහෝ දෙනකු ලියන පරිදි දරුණු සංවේගයට හේතුවක් යැයි බොරු ලියන්නට මම පැකිළෙමි. එසේම “කන්නිමහර ප්‍රාඥයා” ලෙස නම් කරමින් ඔහු මාර්ටින් වික්‍රමසිංහ මට්ටමට ඔසවා තැබීමේ වෑයමටද මට සිනා පහළ වේ. එතකුදු වුවත් ජයතිලක මහත්තයා ලේඛකයකු ලෙස සිංහල සාහිත්‍යයට අනුපමේය මෙහෙයක් කළ පුද්ගලයෙකි. ඒ ගෞරවය ඔහුට ලැබිය යුතුය සිතමි.

Advertisements

15 responses to “30. කේ. ජයතිලක මහත්තයා, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා හා අතුරු කතා කිහිපයක්

  1. පත්තර පුරා එතුමා ගැන නොයෙක් ගුණ වර්ණා විස්තර තිබුනත්, බොහෝ දෙනා නොදන්න පැත්තක් ගැන විස්තර බොහෝමයක් දැන ගත්තා.ස්තූථියි.ඒ වගේම මොන තරාතිරමෙ මනුස්සයෙක්ට උනත් දේශපාලනයෙන් තොරව ජීවත් වෙන්න බැරි බවත් තේරුම් ගන්න පුලුවන්.

    බ්ලොගය පටන් ගනිද්දි වේගවත් ව ලියපු ලිවිල්ල . දැන් වෙනකොට සීමා වීම ගැන කණගාටුයි….

    තව තාක්ෂණික කරුණක් දැන ගන්න පුලුවන් ද? මට වර්ඩ් ප්‍රෙස් බ්ලොග් බලද්දි , ඒ පිටු ලෝඩ් වෙන්නෙ නැහැ. සිහි සටහන් විතරක් නෙමෙයි, අරුණි අක්කාගේ වර්ඩ් ප්‍රෙස් ඇතුලුව හැම වර්ඩ් ප්‍රෙස් එකක්ම එහෙමයි. ඊමේලයට එන ලිපි කියෙව්වත් කමෙන්ට් කරන්න නම් බ්ලොගයට ගොඩ වදින්නම වෙනවා. පේජ් එක ලෝඩ් උනත් ලෝඩ් වෙන්නෙ බාගෙට , ඩ්‍රාෆ් එකක් වගේ…ෆයර් ෆොක්ස් තමයි භාවිත කරන්නේ.විසඳුමක් දන්න කෙනෙක් කියනව නම් ලොකු උදවුවක්…

  2. මමත් බොහෝම ආසාවෙන් මේ ලිපිය කියෙව්වා.
    ඔබගේ මතක පොත් කීයක් නම් ලියන්න පුළුවන්ද?

  3. ඉඳලා හිටලා හරි ලියන්න බලන්න.

  4. කේ. ජයතිලක මමත් ප්‍රිය කරන ලේඛකයෙක්. දක්ෂ ලේඛකයකු මියයන බව ඇසීම ඇත්තෙන්ම සංවේගයට කරුණක්. සමහරවිට කාටත් ඔවුන්ගේ අගය තේරෙන්නේ මිය ගියාට පසුව වෙන්ට පුලුවන්.

    ලිපියේ වඩාත් සිත්ගත්තේ ලමා කාලය පිලිබඳ සටහන බව අනිවාර්යෙන්ම කිව යුතුයි.

  5. මේ සටහන බැලු විට මට තේරුණේ ජයතිලක වනාගී මාටින් පෙරේරාටම ගැලපෙන මාටින් සෙවූ ආකාරයේ ම ගෝලයෙකු බවයි.

    ජයතිලක සමසමාජයට ඇදී ගොස් ඇත්තේ මාටින් ගේ ආකර්ක්‍ෂණය මත පුද්ගලාභිවාදනයක් සමගිනි.

    ඒ බොල් පිළිමය බිඳුණු විට ජයතිලකගේ සමාජවාදය ලොප් වී ඔහු සිරිලංකාකාරයෙක් වෙයි.

    මා නිවරදකරන තුරු මට වැටහෙන්නේ එළෙසයි.

  6. යන්තම් අකුරු කියවන්නට පටන් ගත් කුඩා කල සිටම මමද පොත් ගුල්ලෙක්.. මම කේ. ජයතිලක මහතාගේ පොත් කියවද්දි දැනුණ රසය අදටත් මතකයි. මම ඒ පොත් කියෙව්වේ 6, 7 වසර වලදී වුවත් කිසිම විටකවත් ඒ කතා කියවන්න එපා වෙලා නෑ. ඔහු ගැන බොහෝ දෙනා නොදත් කෝණයයකින් අදහස් අප හා බෙදා ගත්තාට තුති.

  7. Chanuka

    Per the book “The Lost Generation” ,a rather romanticized account of the JVP insurrection by former MP and lawyer for JVP, Prins Gunasekara ,states a particular incident where during 1971 Insurrection,when Dr NM Perera was visiting London ,pressmen asked him why the educated youth of his country were rebelling against the government. NM’s supposed crass response was “They are not educated,only Sinhala educated”. I never believed NM might actually said that until this post.
    Further I find it rather surprising that late Mr.K Jayathilake was a SLFP er having read a particular short story in his Vajira Pabbatha ,on 1958 race riots and its effects. I found his vision refreshingly progressive for that time. Much like the great Sinhala Buddhist thinker late ,Mr. Martin WIckremasinghe ,K Jayathilake never tried to romanticize but presented hard facts . I think this differentiates him from the Peradeniya school as well as the much later Jathika Chinthanaya school of Mr Guanadasa Amarasekara among others

    • Chanuka Wattegama

      @Lakshan Wickrema,

      One of his more recent books සිංහලයේ ආරම්භය හා අවසානය has some Jathika Chinthana bullshit. But he does not go as low as Amarasekera.

  8. කේ ජයතිලක ශූරීන්ට අපේ ගෞරවය.
    එන් එම් එක කාලයක එක පිරිසකගේ වීරයෙක්!

  9. ලස්සනට ලියලා තියෙනවා.ඔබේ උසස් ලේඛන ශෛලයට ගරු කරමි.මීට පෙර ලියා ඇති සිහිසටහන් වලට වඩා මේ ලිපියේ වෙනසක් දැක්කා.”ලංකාවේ භයානකම ජනාධිපතිට විරිත්තුවෙමි.” ලිපියේ ප්‍රේමදාස මහතාගේ මව්ට අගෞරව කර තිබීම.මැන්දිස් රෝහණදීර ලිපියේ ඔහුගේ මන්ද මානසික පුතු තමන් විසින් ගොනාට ඇන්දූ ආකාරය ගැන ලිවීම වැනි ඔබ විසින් සිදු කල පහත් ක්‍රියා මෙම ලිපියේ අන්තර් ගත නොවීම මෙම ලිපියේ වටිනාකම වැඩි කර ඇත.
    කේ ජයතිලක මහතා ගැන තැබූ මෙම සිහිසටහන කලබලේට ලියූ බවක් පෙනුනත් මා මෙම ලිපිය ඉතා ආශාවෙන් කියවූවා.

  10. ඔබ නැවත ලියන්නට පටන් ගැනීම සතුටට කරුණකි. මමද වරක් ජාතික පුවත්පතකට කේ. ජයතිලකයන් සමග සම්මුඛ සාකච්ඡාවක් කළෙමි. ඒ දස වසරකට පමණ පෙරය. එදා කළ සාකච්ඡාවේ අන්තර්ගතය ගැන දැන් මට මතකයක් නැත. එහෙත් එදා සාකච්ඡාව අවසන් කොට එන විට ඔහු මට ඔහු ලියූ පොත් පාර්සලයක් දුන්නේය. ඒ පොත් තවමත් මා ළඟ සුරැකිව ඇත. කේ. ජයතිලකයන්ට නිවන් සුව පතමි.

  11. සමාජවාදයි පුද්ගල වන්දනාවක් ලෙස අපේ රටේ මිනිස්සුන් තුළට ගොඩ නොබැස්සේනම් තත්වය වෙනස් වෙන්නට තිබුණ. ඒත් හදවතින් සමාජවාදී නොවුණ සමාජවාදී උගතුන් වන්දනීය වීම තුළ සමාජවාදී ව්‍යාපාරයක් තිබුණාද යන්න සැක කරමි.

  12. පුංචිරාළ,පුංචිරාඝගේ මරණය,අප්‍රසන්න කතාවක්,මනඃ කල්පිත වාර්තාවක් හෙවත් අර්ධ නවකථාවක්,චරිත තුනක්, මා ආසාවෙන් කියැවූ ජයතිලකයන්ගේ නව කතා (තව විශාල ගනණක් තිබේ). එතුමාට නිවන් සුව පතමු!

  13. ඔබගේ සටහන ඉතාමත් උනන්දුවෙන් කියෙව්වෙමි…මා වීශ්වාස කරන මා බලාපොරොත්තු වන බ්ලොග් කළාවට ඔබ හොඳ උදාහරණයන් සපයයි..අද බොහෝදෙනා උත්සහා කරන්නේ තම ජීවිත අතිදැකීම් හරහා ජනප්‍රියත්වයක් ලබාගැනීමටය… ඒවායින පාඨකයාට ප්‍රයෝජනයක් ඇතත් නැතත් ඔවුන් ලියති. කනගාටුවට කාරනය නම් ‍ඒවා බලන්නට පිරිසක්ද සිටීමයි.. මේ අය බොහෝවිට උත්සහ කරන්නේ තමන් දුක්වින්ඳ ආකරය කියමින් අනුකම්පාවක් ලබාගැනීමටය… ඒක හරියට නාමල් උඩුගම ගායකයෙක් වීම හා සමාන සිද්ධියකි. ඔවුන් බොහෝවිට කේ.ජයතිලකයන් හෝ මාටින් වික්‍රමසිංයහයන් ගැන කථාකරමින්… සුජීව ප්‍රසන්නආරච්චි‍ ලියන බොළඳ ප්‍රේම කථා ලියයි… එසේත් නැත්නම් එළිපිට කුණුහරැප ඇදබායි… නැතහොත් අරක්කු හෝ ගංජා ගැන ප්‍රචාරයන් ලබාදෙයි…
    තම ජීවිත ත්දැකීම්, අනුන්ට ප්‍රයෝජනවත් වන ආකාරයට යම් දැනුමක් අව‍බෝධයක් ලබාගතහැකි ලබාදෙන්නේ කෙසේද ? එහෙමත් නැත්නම් බෙදාගන්නේ කෙසේද යන්නට ඔබ හොඳ උදාරණ සපයයි…

    ඹබට ජය !!!!!

  14. K Jayathilaka: Living icon of Sinhala literature

    http://www.dailynews.lk/2010/11/03/art27.asp

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s