31. කිංස්ලිලාව හයේ පන්තියේදී බස් පහකින් ග්‍රහලෝකාගාරය බලන්නට රැගෙන ගියේ සේනකය.

“දැන් ඉස්කෝලෙ වෙන දෙයක් නෑ” කිංස්ලි (කිංස්ලි රත්නායක – සිරස) වසර කිහිපයකට මත්තෙන් ආනන්දයේ මාධ්‍ය කවයේ හමුවකදී පොඩි චෝදනාවක් කළේය.

“අපි හයේ පන්තියෙ ඉන්න කාලෙදි චානුක අයියලා කොයිතරම් දේවල් සංවිධානය කළාද? අපිව ග්‍රහලෝකාගාරය බලන්න එක්කගෙන ගියා. අපි එඩ්වින් ආරියදාසලා කාලෝ ෆොන්සේකලාගෙ දේශන අහලා කොයි තරම් දේවල් ඉගෙන ගත්තද? අද වෙනවද ඒ වගේ දේවල්?”

“මාත් පැත්තකින් හිටියා තමයි…” මම ඔහුට බාධා කරමින් කීවෙමි. “…ඒත් ඒවා සංවිධානය කිරීමේ ගෞරවය යන්න ඕනැ වෙන කෙනෙකුට”

කිංස්ලිලාව හයේ පන්තියේදී බස් පහකින් ග්‍රහලෝකාගාරය බලන්නට රැගෙන ගියේ සේනකය.

අනඳ නුවණ යම් ව්‍යාපෘතියකින් පසු ගත් ඡායාරූපයක්. සේනක (දකුණේ සිට තෙවැන්නා - ටයි පටියක් පැළඳ ) හා මම (වමේ සිට සිව්වැන්නා) දැන් ශත සංවස්තර ගොඩනැඟිල්ල ඇත්තේ අප සිටගෙන සිටින බිමෙහිය. පසුපසින් පෙනෙන්නේ දෙමහල් විද්‍යාගාරයයි. (1984-5)

සේනක කළුබෝවිල අපේ උසස් පෙළ පන්තියට එක්වන්නේ මාස දෙකක් ප්‍රමාද වීය. හේතුව ඔහුට යම් කිසි සැත්කමකින් පසුව විවේක ගැනීමට සිදුව තිබීමයි. ඔහු පන්තියට ආවේද කිහිලිකරු දෙකක ආධාරයෙනි.

සුලෝචන සර් ඒ වන විට ත්‍රිකෝණමිතිය අවසන් කොට අවකලනය පටන් අරගෙනය. විජේතුංග සර් බල විභේදනය හා ඝූර්ණ අවසන් කරන්නට ඔන්න මෙන්නය. හයවැනි ශ්‍රේණියේ පටන් සාමාන්‍ය පෙළ දක්වාම පන්තියේ පළමුවැනියා වූ සේනක මාස දෙකක අඩුව තමන්ට පුරවා ගත හැකිය මුලදී සිතුවේය. නමුත් උසස් පෙළ ගණිතය සාමාන්‍ය පෙළ ගණිතයෙන් කොන්ටම් පිම්මක් බව ඔහුට මඳ කලකින්ම අවබෝධ විය.

“මචං මට පොඩි උදව්වක් ඕනැ” සේනක මා පැත්තකට කරගෙන කීවේය.

“මොකද්ද?”

“මචං මෙහෙම ගියොත් මට වෙන්නෙ අවුරුද්දක් මිස් කර ගන්න. මට මේ ඔක්කොම ග්‍රීක් වාගෙ. ටියුෂන් ගියත් වැඩක් නෑ, මේ කොටස් කරල ඉවරයි. උඹට බැරිද මට ඉස්කෝලෙ ඇරිල මඟ හැරුණු පාඩම් කියල දෙන්න? ෆිසික්ස්, කෙමිස්ට්‍රි ප්‍රශ්නයක් නෑ. මැත්ස් සබ්ජෙක්ට්ස් දෙකට විතරයි. කරදරයක් නෙවෙයි නම් විතරයි”

එය ඇත්තටම කරදරයක් විය. මන්ද යලට මහට පමණක් පන්තියට ගිය මටද ඒ වන විට මේ විෂයයන්හි සමහර කොටස් අල්ලා ගැනීමට තරම් හැකියාවක් ලැබී නොතිබුණු නිසාය. නමුත් මේ බෑ කියන්නට බැරි ආයාචනයකි.

මාස දෙකක පමණ කාලයක් මම සතියට දිනක්, දෙකක් පාසලින් පසු නැවතී සේනකට පාඩම් කියා දුන්නෙමි. සේනකගේ පවුල ඒ වන විට සිටියේ බැලුම්මහරය. කිහිලිකරු වලින් ඇවිදින ඔහුගේ අපහසුව සලකා පාසලට නුදුරින් විසූ මුස්ලිම් මිතුරකු සේනක මාලිගාවත්තේ තම නිවසෙහි නතර කර ගෙන තිබුණේය. පාඩම් කියා දීම සිදුවූයේ මෙහිදීය.

මේ මා නාගරික මුස්ලිම් සංස්කෘතියේ සැබෑ ස්වරූපය දැනගත් පළමු වතාවයි. සේනකගේ මිතුරා දුප්පත්ම කිව නොහැකි වුවද පහළ මධ්‍යම පන්තියටද පහළින් වූ පවුලකට අයත් විය. පිටතින් බැලූ විට අතිශයින් කුඩාවට පෙනෙන මේ ගෙදර ගුහාවක් බඳුය. ලී බඩු තිබුණේ අල්ප වශයෙනි. අඩුම ගණනේ මිනිස්සු ගැහැණු හා ළමයි විසි පහක් තිහක් විස්තෘත පවුලක් වශයෙන්
මේ කුඩා ඉඩ බෙදා ගත්තෝය. අප වැඩ කරන මේසයට යාබද ඇඳෙහි සමහරවිට දෙතුන් දෙනකු නිදිය. සාලයේ හැම විටම දහයක් පහළොවක් දෙමළෙන් කෑ කෝ ගසමින් රූපවාහිනිය නරඹති.  අල්ලපු ගෙදර ගෝරියකි. මට නම් මේ ඉගෙන ගන්නට තියා කෙටි කලකට වත් නතර වෙන්නට නොහිතෙන පරිසරයකි. එහෙත් සේනක මේ කට්ට කාගෙන හරි හැටි ඇවිදින්නට පුළුවන් වෙන තෙක් එහි රැඳී සිටියේය.

සේනක මගේ ජීවිතයේ හමු වූ ධෛර්යසම්පන්නම පුද්ගලයෙකි. උසස් පෙළ සමයේ පටන්ම ඔහුට දරුණු සෞඛ්‍ය ගැටළු තිබුණේය. නමුත් මේ සෞඛ්‍ය ගැටළු රුසියාවට ගොස් ඉංජිනේරු උපාධියක් ලබා ගැනීමට හෝ ඉන්පසු ලන්ඩනයට සංක්‍රමණය වී එහි රැකියාවක් කරමින් පදිංචි වීමට හෝ බාධාවක් කර ගත්තේ ඔහු නොවේ.

සේනක මේ ලියන්නේ 2009 දෙසැම්බර් මාසයේදීය.

Some days I can not speak clearly and I am getting tired very quickly. I’ll call you when possible. Herewith I have attached the Full History of my illness. This illness has been giving problem to me since age of ten. But it wasn’t diagnosed until few years ago. Do you remember I came to the A/L class by clutches as it had effected the bone of my right ankle? Then in Russia I cam back with the fluid in my left lung. That was also the progress of the illness. Then in the UK I had fluid in the Right Plural Cavity. So this illness has been haunting me through out my life without me knowing about it.

මේ ලිපිය කියැවීමේදී සේනකගේ අප්‍රතිහත ධෛර්යය මට යළි සිහිවිය.

උසස් පෙළ සමයේදී ඔහු සභාපතිත්වය දැරූ අනඳ නුවණ සමාජයෙන් අපි ආධාර චිත්‍රපටයක් සංවිධානය කළෙමු. ටිකට් විකුණුවේ රුපියල් දහයට හා විස්සටය. චිත්‍රපටය මතක හැටියට “සිරිපාල සහ රන් මැණිකා”ය. එය වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටයක් නොවේ. අපට එය දර්ශනය පිණිස විද්‍යාලයෙන් අනුමැතිය ලැබී තිබුණේය.

දර්ශනයට පෙර දින සේනකට විදුහල්පතිතුමන්ගෙන් කැඳවීමක් ලැබිණි. ඔහු කාර්යාලයෙන් එළියට ආවේ මුහුණ ඇඹුල් කර ගෙනය.

“මචං කවුද සර් කෙනෙක් ප්‍රින්සිපල්ට කියල තියෙනව මේකෙ ඉස්කෝලෙක පෙන්නන්න නුසුදුසු සීන්ස් ටිකක් තියෙනව කියල. මං පුළුවන් තරම් උත්සාහ කළා එහෙම නෑය කියල කියන්න. කුඩලිගම සර් කැමැති වුණේම නෑ. ඉස්කෝලෙක පෙන්නන්න පුළුවන් දෙයක් පෙන්නන්න නැත්නම් කැන්සල් කරන්න කියලයි කියන්නෙ” ඔහු කීය.

“කැන්සල් කරන්න බෑ. අපි අනෙක් ඉස්කෝල වලත් ටිකට් විකුණුව. දැන් ඒ ළමයි ආවාම මොකද කියන්නෙ?” අනෙක්හු සේනක ගිරයට හසු වූ පුවකක් කළහ.

“උඹ ටිකක් මෙතැන බලාගෙන ඉඳපං. මං මොකක් හරි විසඳුමක් හොයා ගන්නම්” කියූ ඔහු අත තිබූ ෆයිල් කවරය මට දී එළියට ගියේය.

ඔහුගෙන්ම දැන ගත් පරිදි කථාවේ ඉතිරි කොටස මෙසේය.

ආදේශක චිත්‍රපටයක් හොයමින් සේනක තනිවම සිනමා ශාලාවෙන් ශාලාවට ගොස් තිබේ. මුල් සිනමා ශාලවල තුනේදීම ඔහුගේ වෑයම සාර්ථක නොවීය.  එක්කෝ චිත්‍රපටයක් නොතිබිණි. (වැඩිපුර චිත්‍රපටයක් සිනමා ශාලාවක ඇත්තේ පෙන්නා අවසන් කොට නැවත ගෙන යන තුරු පමණෙකි.) නැතිනම් තිබුණු චිත්‍රපටය නොගැළපුණි. දැන් සේනක අඬන ගානට ඇවිත්ය. සිව්වැනි සිනමා ශාලාවේදී ඔහුට යාන්තම් වැඩක් ගත හැකි චිත්‍රපටයක් ලැබුණේය. එහෙත් ඒ ඉංග්‍රීසි චිත්‍රපටයකි.

“කට්ටිය එන්නෙ ජනප්‍රිය සිංහල චිත්‍රපටියක් බලන බලාපොරොත්තුවෙන්. ඉංග්‍රීසි චිත්‍රපටියක් පෙන්නකොට අපට හූ තියාවි” සේනක ඇඬුම් මූණින් සිනමාහල් කළමණාකරුට කීවේලු. මේ බොරුවට නොව ඇත්තටම ඇති වූ ඇඬීමකි.

සේනක ගැන මැනේජර්ට කොයි තරම් දුක හිතුනාද කිව්වොත් එවේලේම තවත් සිනමාහල් කිහිපයකට කථා කළේලු. (මේ ජංගම දුරකථන භාවිතයට පෙර යුගයේය.) සෑහෙන වෙහෙසකින් පසුව මේ සාමූහික ප්‍රයත්නයෙන් කරදරයකින් තොරව ආදේශ කරගත හැකි චිත්‍රපටයක් – “ගැහැණු ළමයි” – සොයා ගත හැකිවිය. අපි දර්ශනය අවලංගු නොකර අවමානයෙන් ගැළවුණෙමු.

මා විද්‍යාලයේදී සංගම් වැඩ වැඩි හරියක් කර ඇත්තේ සේනක සමඟය. මේ ඒ කිසිදු සංගමයක ප්‍රධාන නිලයක් වත් නොදරමිණි. නිකම්ම උණට කළ මේ වැඩ ගැන මගේ පාසල් හැරයාමේ සහතිකයේවත් කිසිම සඳහනක් නොවේ. නෙල්සන් සර් හදිස්සියට ලියා දුන් එහි ඇත්තේ මා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය විධායකයකු වූ බව පමණෙකි.

ආනන්දයේ ශත සංවස්තර සමරු ප්‍රදර්ශනය පිණිස සේනක, මම, ෆරීඩ් (දැන් ආචාර්ය නව්ශාබ් ෆරීඩ්), කමල් (කමල් පෙරේරා දැන් විදිලි බල මණ්ඩලයේ ඉහළ නිලයකය ) හා චේතිය (ඔහුට නම් මක්වීද නොදනිමි.) එකතුව “2050 ලෝකය” නිර්මාණය කළෙමු. මා ජීවිතයේ පළමුවරට ආචාර්ය ආතර් සී. ක්ලාක් හමුවූයේ එපිණිස උපදෙස් ලබා ගැනීම සඳහාය. මේ හමුව පවා සංවිධානය කළේ සේනකය. ඔහුගේ ලෝකයේ බැහැය කියා දෙයක් නොතිබිණි. හිතුන හැම දෙයක්ම කළේය. අපට බොහෝ විට තිබුණේ පස්සෙන් යාම පමණෙකි.

උසස් පෙළින් පසු අපේ පන්තිය තුනට කැඩුණේය. විශ්ව විද්‍යාල ප්‍රවේශය ලද අපි ඊට සූදානම් වීමු. ප්‍රතිඵල මඳ වූවෝ දෙවන වර විභාගයට සැරසුනහ. සේනක සිටියේ මේ අතරමැදය. එසේ වුවද ඔහු සමඟ මගේ යම් කිසි සන්නිවේදනයක් තිබුණේය. එය බිඳුනේ උසස් අධ්‍යාපනය පිණිස ඔහු රුසියාවටත්, මා ඉන්දියාවටත් ගිය පසුවය.

සේනක සිය බිරිඳ හා දරු දෙදෙනා සමඟ (2011)

අප ෆේස්බුක් එකෙන් හමුවූයේ තවත් බොහෝ කාලයකට පසුවය. වර්තමානය දීර්ඝ මිතුරුදම් පවත්වාගත හැකි කාලයක් නොවේ. අපි ඉඩ ලද විටෙක චැට් කළෙමු. ඊයක් දෙකක් හුවමාරු කර ගතිමු. මා සිටියේ කොළඹය. ඔහු සිටියේ ලන්ඩනයේය.

“ලංකාව පැත්තෙ හෙම එන්නෙ නැද්ද ළඟදි?” මම වරෙක ඇසුවෙමි.

කලින් රෝගය තවමත් ඔහුට වදදෙමින් ඇති බැව් මා දැන ගත්තේ එවිටය.

“මට ආයෙ කවදාවත් ලංකාවට එන්න බෑ, චානුක” ඔහු කීවේය. “මගේ පෙනහළු දුර්වයි. දූවිලි වැදුනොත් ජීවත් වෙන්න බැහැ කියලයි දොස්තරලා කියන්නෙ”

සේනක ඊයේ මිය ගිය බව දැන ගතිමි. ආරංචිය කිව්වේ දැනට චිකාගෝවේ පදිංචි, උසස් පෙළ සමයේ මගේ දේශපාලන සගයා වූ නන්දන කුරුවිටගේය. (නන්දන කුරුවිටගේද වෙනම සටහනක් ලිවිය යුතු තරම් අපූර්ව චරිතයකි. එය පසුවට.)

මේ මරණයට දිනකට පෙර සේනක නන්දනට යැවූ ඊයකි.

How are you? I couldn’t contact you recently. I have been having a very difficult period since 27th July as I suffered from a major heart attack on that day. My wife and children were in Sri Lanka for the summer holiday. They went 20th July for six weeks. But they had to return early due to my heart attack. I had a good friend and a couple to look after me.

I had an ‘Angioplasty’ to put a stent in my ‘Left Main Stem’ artery. It was 100% blocked for some reason. I am still not fully recovered. That’s why I couldn’t contact you by Skype. It’s very difficult for me to speak in the evening as I am getting tired. I could not reply last night ..

ඔහුගේ අවසාන ඉල්ලීම පරිදි සේනකගේ දේහය අවසන් කටයුතු පිණිස ලංකාවට රැගෙන ඒමට සූදානම් කොට ඇති බව විකුම් සිංගප්පුලිගේ ආනන්ද විද්‍යාලයීය ශත සංවස්තර කණ්ඩායම් සගයින්ට දන්නා තිබුණු බව දිටිමි.

Advertisements

17 responses to “31. කිංස්ලිලාව හයේ පන්තියේදී බස් පහකින් ග්‍රහලෝකාගාරය බලන්නට රැගෙන ගියේ සේනකය.

  1. Manohara S. Tillakawardana

    It was a real shock when Chanuka called me in the morning with the news of Senaka’s demise. As Chanuka very correctly said Seanka was a very courageous person who never wanted to give up anything in life. Unfortunately I did not have any contact with him since 1990, now I regret for it, but it’s little too late! We are only left with cherished memories of our school days!! “Senaka” our dear friend, may you attend Nibbhana!!!

  2. Well Chanuka, you have been a little late and this would have been written before Senaka left this world. But, what can be done now and who would have expected such a great man to leave you so suddenly!

  3. අනාගතය නිර්මාණය වෙලා තියෙන්නේ ඉතිහාසෙන්. මංද මට දැනෙනව දෙයක් අකුරුවලිං කියන්න බැරි. විෂය භාහිර ක්‍රියාකාරකම් දවසක ජීවිතේ අඩිතාලම දාන බව මං ළමයින්ට නිතර කියනවා.
    මං සේනක මහත්තයව දන්නේ නෑ.ඒත් චානුක සර්
    ඒ අඩුව මැකෙන්න ලියලා තියෙනව. සේනක මහත්තයාට නිවන් සැප ලැබේවා.

  4. ගොඩක් උත්සහවන්ත කෙනෙක්.ඔහුට නිවන් සුව අත්වේවා!!!

  5. සේනක ඔබට නිවන් සුව…

  6. May he attain nibbana….

  7. Machang,your blogs are a stimulus package for me,specialy as a person who deals with completly alien enviorment what we used be.

    I am still sailing,moved to Australia-Adelaide recently.Eventhough i was a silent admirer of your blogs,your blog about Senaka pushed me hard to write this few lines.

    You & Senaka were in M4,I was in M1, My memory went back to 1984 oct/nov, Senaka on cluches slowly walking in the alley between hostel & the 5 storied labs. Dubba (helmet) made nasty coment asked him “ado kotuwak panala kakula kadenna kevada ?”

    Your description about Senaka amazed me even in this age.As a hyperactive(bit stupid as well) young lad I used to under estimate lot of great characters.But later on in my life understood, outer glow of personality is not what matters it is inside spark which lights the world.So Adios to Senaka.

    If i am right we met 3 times after we left Ananda.first @

    Thevendrum(Kerala) airport in 1994,secondly during our get together in GOH.Finaly I came & meet you to fix a job for my bil.All the stories about loku sir & Asoka took me dowen the memory lane of my childhood which still i consider as the best chapter during this 44 years.So machang well done & keep it up,your blogs are more importent to us than what you imagine.

    dasaya(holman)

  8. this post changed my life. i am also an anandian of 2001 batch. this post force me to be courageous. thanks

  9. Kuruwitage Nandana

    Chanuka, thanks so much for making this note within few hours. Now this blog post has become the place we all can leave a note about our dear friend Senaka.

    Chanuka has nicely put some of Senak’s school day adventures that portrays how courageous kid he was. For last one year I saw even more courageous side of him. Even though he was not healthy enough to talk more than few minutes he used to Skype with me for at least 30 to 40 minutes every now and then. It was so painful for me to see him do this but I knew that it rejuvenates him at least mentally for some times. It was not just talking about our old days, mostly it was about what he wanted to do in future or what he think about the current situation.

    Even though it was hard for him to concentrate on any thing more than few minutes, few months back he was learning Drupal and in few days he demoed me a nice web site he was planing to bring up.

    It was so amazing to see him answering several phone calls while he was on Skype with me. I asked him why he answer so many calls every day, he casually said yeah those are our community Mallila tikak, they are organizing a neighborhood function. I realized it is still whiten him, restless man, our real Senaka, this illness couldn’t slow him down.

    As early as grade 7 – 8 we both had very strong political views, mostly opposing views but it did not affect our friendship. When he was a hard core nationalist (Anandian style) I was a leftist. When he preferred things in order, I wished it to go out of order. When he was preferring to get in the system, I wanted to be out of the system. One time we had long argument on “minorities right for self-determination” He got really pissed by some of my arguments and went on writing article on AnandaNuwana notice board titled “Dakunu Athin liyami” or some thing like that, which could even make Champika or Wimal feel jealous.

    Then he slowly but steadily transformed to a Gandhiyan and then to a leftist and he was talking me out of my new adoption “Jatiwadaya” (Mage lookaya/Ganaduru madiyama etc.. ) but still we both could go to the public library, Russian cultural center or American Center (it really did not matter who’s library it was, we found what we wanted) and could read and talk for hours and hours, mostly about a book, Boris Polevoi’s “A Story about a Real Man” or Nikolai Ostrovsky’s “How the steal was tempered” for it’s true sense. (Before we get to Sartre or Kundera, he left the country.)

    Yes Senaka you were that Alexiei to me, a true story about a real man !!!

    May you attend Nibbana!!!

    – Nandana

  10. Bandula Sisira Kumara

    Chanuka, for a number of years Senaka was my best friend.(grade 7,8,9,&10) But, after leaving the School I Missed him. There was no way to know about him.At last he has been missed permenently. I knew it after you accepted my fb request.

  11. අතිශය සංවේදී සටහනක් , මෙවැනි සටහන් මින් පෙර මා දැක ඇත්තේ කිහිපයක් පමණයි. ඒවා ද දැන් කියවිමට බ්ලොග් අවකාශයේ නැත…
    ඉතාම හෘදයාංගම ලෙංගතු මිතුරන් මිතුරියන් අහිමි වීමත් , දරුණු අසනීප සහ ලෙඩ රෝග වලට ගොදුරු වීමත් පවුලේ අයට පමණක් බැදී ඇති සිතේ වෙනත් අයට ද ඉඩ ඇති බව මතක් කර දීමට සමත් වේ.
    අකාලයේ මිය යන සොඳුරු ජීවි. වෙත නිවන් සුව පතනවා හැරෙන්න කළ හැක්කේ කුමක් ද?

  12. මගේ සාතිශය සංවේගය. දරු පැටවුන් දෙදෙනෙකුට පියෙකුත් බිරිඳකට සැමියෙකුත් අහිමි වෙනවා මේ එක්කම. ඔය ගමන යන කෙනාටත් වඩා ඔහු/ඇය සමග ජීවත් වී ඉතිරි වන්නන්හට අපහසු කාරණයක්.

    මරණය කලුයි අන්ධකාරයි බියකරුයි.

    ඒ අන්ධකාරෙට උඩින් ඉස්මතු වෙන දැවැන්ත චරිතය ඔබ මැනවින් මේ සටහන තුලින් හෙළි කර තිබෙනවා. නැවත වරක් උසස් ලියමනක්.

    සේනකගේ පුද්ගලික දෙයක් වුනත් මේ භයානක රෝගයේ නම කුමක් දැයි කියනවාද? මේ ගැන කියවන්න මට සිතුනේ, මේ සටහනින් ලද කුතුහලය නිසා. නැවත වරක් කිව යුතුයි, සේනක ගේ පුද්ගලිකත්වයට හානි නොවන්නේ නම් පමණයි.

  13. අටේ පංතියේ උන් අපිට මේ අයියලා බොහෝ දේ කියා දුන්හ. සේනක අයියා පමණක් නොව පාලිත අයියාද සිහිපත් වෙයි [පාලිත දයාරත්න- ඔහු අපි හතේ පංතියේදී කොටුවේ බෝම්බයෙන් මිය ගියේය] සීනුව අසල දේශනාගාරය අසල මුල්ලේ දැන්වීම පුවරු අදත් මනස් ව්‍යුහයන් ගොඩනගන උපකාරකයන් වෙති. මට කීර්ති විජේගුණසිංහ පසුගිය දා හමු විය. ඔහු හෙමින්ග්වේ ගෙ පොතක් [මහල්ලා සහ මුහුද] කියවීමට දෙමින් මගේ කියවීමේ වපසරිය පුළුල් කළේය. ගාමිණී කුමාර අල්විස් මුද්‍රණ ශිල්පය විජේරාමේ සිට ආනන්දය තෙක් කියවමින් ගිය නිසා අදත් ප්‍රෙස් කාරයෙකු හා කේවල් කිරීමේ හැකියාව ඇත. 1986 ආනන්දය සඟරාව ඔෆ්සෙට් මුද්‍රණයෙන් නිකුත් කළ ගාමිණී වනසේකර, නලින් කිතුල්වත්ත ඇතුලු පිරිස අභියෝග ජයගන්නා අයුරු ක්‍රියාවෙන් පෙන්වූහ.. සේනක අයියා ඔබට නිවන් සුව..!

  14. Dear Chanuka

    This is a very emotional article , thanks for sharing .

    Dr Ruwan M Jayatunge

  15. මම ආනන්දයේ කෙනෙක් නෙවෙයි. ආනන්දයි විද්‍යාර්ථයි ගොපල්ලව පළිහට රගර් ගහද්දි මම කෑගැහුවෙ අනිත් පැත්තට. ඒ මගේ ඉස්කෝලෙ ඒක නිසා. අපේ ඉස්කෝලෙදි මට හම්බ වුණු විශිෂ්ටම විදුහල්පතිවරයා වුණු දමුණුපොළ සර් පස්සෙ පෙන්ෂන් ගියෙ ආනන්දෙ ඉඳල. අපේ ඉස්කෝලවල සර්ල ප්‍රින්සිපල්ල ප්‍රමෝෂන් අරන් යන්නෙ ආනන්දෙ වගේ ඒවට තමයි.

    මේ ලියවිල්ල කියවපු මට දමුණුපොළ සර් එහෙ ගිය එක හොඳයි හිතුණ. එහෙට යන්න කලින් ධර්මරාජෙට යද්දි සර් යන එක නවත්තන්න අපි උත්සාහ කළා. ඒත් අවසානෙ සර් ගිහින් තියෙන්නෙ සේනකලගෙ පරම්පරාව ළඟට. චානුකලගෙ පරම්පරාව ළඟට.

    සේනකල හැම ඉස්කෝලෙකම ඉන්න ඇති. ඒත් ඒ වගේ විශිෂ්ටයො ගැන විශිෂ්ට විදියට ලියන්න පුළුවන් චානුකලත් ළඟ පාතක හිටියමයි වැඩේ සම්පූර්ණ වෙන්නෙ!

    සංවේදි ලිපියක්!!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s