33. අපූජාච අපූජනීයානං (නොපිදියයුත්තන් නොපුදන්න)

මේ මා වෙනදා ලියන හෑලි වලට සාපේක්ෂව සංක්ෂිප්ත සටහනකි. එහි නිමිත්ත ශිෂ්‍යත්වයෙන් දිවයිනේ දෙවැනි ස්ථානයට ලකුණු ලද එකොළොස් හැවිරිදි ශිෂ්‍යයා අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධනට දණ ගසා වැඳීම ප්‍රතික්ෂේප කිරීමය. මේ ඒ සිද්ධිය විශ්ලේෂණයක්ම නොව මට මතක් වූ අතුරු කතා කිහිපයක් සටහන් කිරීමකි.

යෞවනයේ ජවය

අදින් වසර විසි පහකට පමණ පෙර උසස් පෙළ සිසුවකුව සිටි සමයේ මම දිනෙක පාසල් නිල ඇඳුම පිටින්ම ලේක් හවුස් ආයතනයේ ලොබියේ වාඩි වී සිටියේ පුවත්පතක විශේෂාංග කතුවරයකුගේ කැඳවීමක් මත පැමිණ ඔහු හමුවන තුරුය. මේ මා කවර හෝ ආකාරයකින් මගේ පුවත්පත් කලාවේදී සිහිනය සැබෑ කර ගැනීමට උත්සාහ දරණ කාලයයි. රජයේ පුවත්පතකට සම්බන්ධ වීමට මට දැඩි කැමැත්තක් නොතිබුණත්, අනෙක් හැම පත්තරයකින්ම මා යවන ලිපි කුණු කූඩයට වැටෙන වාතාවරණයක් තුළ ඒ විකල්පය හෝ උත්සාහ කරන්නට මම අදිටන් කර ගෙන සිටියෙමි.

හිටි හැටියේම “අථඛෝ අඤ්ඤතරා දේවතා අභිකන්තාය රත්තියා අභිකන්ත වණ්ණා කේවල කප්පං ජේතවනං ඕභාසෙත්වා” කියන පාඨය සිහිගන්වමින් ජේතවනය නොව ලේක් හවුසිය ඒකාලෝක කරමින් ලොබියහි පාදුර්භූත වූයේ ඊට දින කිහිපයකට මත්තෙන් සිදු වූ කැබිනට් සංශෝධනයෙන් පසුව ලේක් හවුසිය භාර ගත් මහේශාක්‍ය ඇමැත්තාය. මේ නිල වශයෙන් ඔහුගේ පළමු ආයතන චාරිකාවය සිතමි.

ඇමැත්තා දුටු ගමන් ලේක් හවුසියේ සේවකයෝ හිටි හැටියේ තමන්ගේ ආසන වලට කවුරුන් හෝ කරන්ට් ඇල්ලුවාක් සේ නැඟී සිටියහ. මේ රෝගය වැළඳුනාක් මෙන් ලොබියේ සිටි අමුත්තෝද නැඟී සිටියහ. මා දෙපැත්තේ සිටියෝද නැඟී සිටියහ. නැඟී නොසිටියේ මා පමණකි. පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්නෙකුට මේ වෙනස පෙනෙන්නට ඇතැයි සිතමි.

ඇමැත්තා සේවකයින් අසළට ගොස් වචන කිහිපයක් කතා කළේය. විහිළුවක් කළේය. එහෙත් ඔහු අමුත්තන් නොදැක්කාක් මෙන් ඇතුළට ඇවිද ගියේය.

ඊට මොහොතකට පසු කෝපයෙන් කඩා ගෙන බිඳ ගෙන දුව ආවේ මා හමුවීමට නියමිතව තිබූ පුද්ගලයාය. (ඔහුගේ නම ලිවිය හැකි නම් හොඳය. ඒත් කොයිතරම් මතක් කළත් එය දැන් සිහියට නොනැඟේ. පසුව මතක් වුණොත් ලියමි.)

“ඇයි අනෙක් හැමෝටම නැඟිටින කොට ඔයාට විතරක් නැඟිටින්න බැරි? බලන්න කොයිතරම් කැතද ඔයා විතරක් වාඩිවෙලා හිටපු හැටි. ඇමැතිතුමා ඔයා කවුද ඇහුව නම් මොකද වෙන්නෙ? ඉස්කෝලෙ ඕව කියල දෙන්නෙ නැද්ද?” යනාදී වශයෙන් ඔහු දිගට හරහට මට දෙහි කපන්නට පටන් ගත්තේය.

තමන් පුවත්පත් කලාවේදියකුය කියා ගන්නා මේ මිනිසා හැසිරෙන්නේ ඉතාම බියගුළු, නිවට ආකාරයකින් බව මගේ නොවැඩුණු මොළයට පවා වැටහිණි.

මා ඔහුට මතක් කර දුන්නේ මා ලේක් හවුසියේ සේවකයකු නොවන බවත්, ඇමැති සමඟ මගේ කිසිම ගනුදෙනුවක් නැති බවත්ය. මට සම්බන්ධයක් නැති පුද්ගලයකු වෙනුවෙන් මා නැඟිටින්නේ මන්දැයි මම ඔහුගෙන් විමසීමි.

ඔහු එය පිළිගත් බවක් නොපෙනුණි. නිදහස් ලේඛකයකු වශයෙන් හෝ ලේක් හවුස් පුවත්පතකට සම්බන්ධ වීමේ අවස්ථාව මේ සිද්ධිය නිසාම මට ගිලිහී ගියේය සිතමි. (මගේ පුවත්පත් කලා දිවියේ සක්‍රිය සමය තුළ මා සම්බන්ධ නොවූ එකම මාධ්‍ය ආයතනය ලේක් හවුසියයි. පසු කලෙක මම ඉඳ හිට Daily News පුවත්පතට ලිවීමි.)

වයස විසි එකේ තරුණයකුව සිටියදී මට රටේ ජනාධිපති අතින් සම්මානයක් ලබා ගැනීමේ අවස්ථාව හිමිවිය. ඒ වසරේ දක්ෂතම සිංහල විද්‍යා ලේඛකයා හැටියටය. මම එය ඍජුව සිටගෙන, හිස නැමීමකින් හෝ තොරව ලබා ගතිමි. මේ නම් ඕනෑකමින්ම කළ දෙයකි. අප මහා සාහිත්‍යධරයන්ය මහා ලේඛකයන්ය මහා පුරුෂයින්ය කියා සිතා සිටින ඇත්තන්ම සම්මානයක් ලැබුවායැයි ඇසූ විගස පහේ පන්තියටවත් ඉගෙන ගෙන නැති දේශපාලකයකු ඉදිරිපිට දෙකට තුනට නැමී බයාදු ලෙස ඒවා ලබා ගන්නා හැටි මම දැක සිටියෙමි. මට අවශ්‍ය වූයේ එවැන්නකු නොවීමටය.

“අපිත් ටී. වී. එකෙන් දැක්කා මෝල් ගස් ගිලලා වගේ ජනාධිපතිතුමා අතින් සම්මාන ගත්තු හැටි”

මෙසේ කීවේ මගේ මිතුරකුගේ පියෙකි. කැපුවත් කොළපාට යූ. ඇන්. පී. කාරයෙකි. ජේ. ආර්. ජයවර්ධනගේ පින්තූරයක් ගෙදර එල්ලා ගෙන හඳුන්කූරු පත්තු කරන ජාතියේ කෙනෙකි. මම ඔහුට උත්තර බඳින්නට නොගියෙමි.

මේ අවස්ථා දෙකේදීම මගේ හැසිරීම සාධාරණය මම අදත් කල්පනා කරමි. එසේම බන්දුල ගුණවර්ධන ඇමතිවරයාට වැඳීම ප්‍රතික්ෂේප කළ ශිෂ්‍යයා එසේ කිරීම මම එක හෙළා අනුමත කරමි.

දේශපාලකයකු හැටියට බන්දුල ගුණවර්ධන වෙනත් බොහෝ දෙනකුට වඩා හොඳය. 1989දී ඔහු පළමු වරට මන්ත්‍රීවරයකු වන්නේද එකල මහජන එක්සත් පෙරමුණ ගැන යම් පැහැදීමක් වූ මගේද ඡන්දය ලබාගෙනය.

නමුත් බන්දුල ගුණවර්ධන මෙතැන පෙනී සිටින්නේ පුද්ගලයකු වශයෙන් නොව රටේ අධ්‍යාපන ඇමැතිවරයා වශයෙනි. අධ්‍යාපන ඇමැතිවරයා යනු රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ ප්‍රමුඛයා පමණෙකි. එතැනින් එපිටට ඔහුගේ වැදගත්කමක් නොවේ. ඔහු තව දුරටත් ගුරුවරයකු නොවේ. ශිෂ්‍යයකු ලවා ඔහු වැන්දවිය යුත්තේ මන්දැයි මට නොවැටහේ.

දේශපාලකයින් ඉදිරියේ දණ නැමීමට පුරුදු කිරීමෙන් අප බිහි කරන්නේ තාම නිවට දීන අනාගත පරම්පරාවකි. (අරුණි නම් දේශපාලකයන් හඳුන්වන්නේ සමාජයේ ලේ උරා බොන තඩියන් ලෙසිනි. මම එතෙක් දුර නොයමි.)

“නිවටයන්ගේ දෙපා අභියස – බියෙන් ඇකිළී නැමී යා නම්
එවන් සිරසක් කුමකටද මට – ගෙළින් සිඳ එය ඉවත ලනු මිස?”

මේ කාලයක් මගේ ප්‍රියතම ගායිකාව වූ නන්දා මාලිනිය ගේ ගීතයක කොටසකි.

Advertisements

49 responses to “33. අපූජාච අපූජනීයානං (නොපිදියයුත්තන් නොපුදන්න)

  1. මමත් ඔය ගැන ලිව්ව මේ වර්ස් එකම තමයි ඒකත්…අපි ඒ ලමය හරි කියල පිලිගන්න මේ තරම්ම මැලි ඇයි කියන එක මට පස්නයක්…

  2. දම්රුවන්

    //මා ඔහුට මතක් කර දුන්නේ මා ලේක් හවුසියේ සේවකයකු නොවන බවත්, ඇමැති සමඟ මගේ කිසිම ගනුදෙනුවක් නැති බවත්ය. මට සම්බන්ධයක් නැති පුද්ගලයකු වෙනුවෙන් මා නැඟිටින්නේ මන්දැයි මම ඔහුගෙන් විමසීමි.//
    ඔහොම නිර්භයව හිතන්නෙ අද කාලෙ කීයෙන් කී දෙනාද?
    අපේ ආයතනයෙත් ඔය වගේම සිද්ධියක් වුනා. එතැනට ආපු අමුත්තකුගේ ඔවැනි හැසීරීමක් දැකපු (ඔබ සෑහෙන්න වර්ණනා කරන )අපේ ප්‍රධානියාට කේන්ති ගිහින් අළුත් නීතියකුත් පැනෙව්වා.

  3. ලංකාවේ බිහිවූ විශිෂ්ඨම රාජ්‍ය නිලධාරියා යැයි ඔබ නම් කළ ගෝටාභය සමග අත් දෙක කලිසම් සාක්කුවේ දමා ගෙන කතා කළා යැයි උදහසට ලක්වූ රාජ්‍ය සේවකයා ගැන පලවූ ප්‍රවෘත්තිය ඔබ කියවූවාද?

    Employee at Land Reclamation Corporation fired for acting in a disrespectful manner in front of Gota

    ඒ සිද්ධිය, මේ ශිෂ්‍යත්ව සිසුවාගේ සිද්ධිය සහ ඔබේ ලේක් හවුස් සිද්ධිය සංසන්දනය කරන්න පුළුවන්ද?

    • Chanuka Wattegama

      @kathandarakaraya,

      හොඳ ප්‍රශ්නයක්.

      Lankanewsweb වෙබ් අඩවිය ආණ්ඩු විරෝධී අතේ රෝල් පතුරුවන්නක් හැටියට ප්‍රකටයි. නමුත් මේ කතාව ඇත්තයයි හිතමුකෝ.

      හමුදා සංස්කෘතිය කියන්නේ සාමාන්‍ය කාර්යාල සංස්කෘතියෙන් වෙනස් වූ දෙයක්. ඊට ජීවිත කාලයක් තිස්සේ හැඩ ගැසුණු කෙනෙකුට ඉන් මිදෙන්න අපහසුයි. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අපහසුව පෙන්වූ මුල් අවස්ථාවද මෙය නොවේ. කිසිම කෙනෙක් 100%ක් නිවැරදි නැහැ.

      මේ සිද්ධීන් අතර වෙනස ඔබ සඳහන් කරන මේ සිද්ධියේදී යම් සේව්‍ය-සේවක සම්බන්ධයක් තිබීම. මා සඳහන් කරන සිද්ධි වලදී එවන් සේව්‍ය-සේවක සම්බන්ධයක් නෑ. එබැවින් මට නම් මෙහි සන්සන්දනයක් පේන්නේ නැහැ.

      • ජනාධිපති රටේ භාරකාරයා නේද ?
        රටේ සියලුම දරුවන්ගේ ආඩම්බරකාර තාත්තා නේද ?

      • Chanuka Wattegama

        @Chanaka Aruna Munasinghe,

        මේ මහත්තයො, මාව පොඩ්ඩක් අමාරුවෙ නොදා ඉන්නවද? මං කතා කළේ බන්දුල ගුණවර්ධන ගැන විතරයිනෙ. 🙂

      • හී හී, හිටපු ආඩම්බොර කාර තාත්තෙකුයි වරතමාබ ආඩම්බොර කාර බාප්පයි ගැන මතක් කරල තිබ්බ හින්දයි ඇහුවෙ. හා හා අමරුවෙ නොදා ඉමු 🙂

      • චානුක
        ඔබ මුලින්ම වැරදි හොයන්න හදනවා. සෝ ටිපිකල් ඔෆ් අ හෙන්ච්මන්. ඒක නොවේ ඔබ ඇසිය යුතු ප්‍රශ්ණය. මේ ඉඩම් ගොඩ කිරීමේ මංඩලයේ පුවත ඇයි ප්‍රධාන ප්‍රවාහයේ පත්තරවල, නාලිකාවල නොගියේ කියා. එතනින්ම තේරෙනවා නේද බල පරාක්‍රමය.
        මේ මං ලියූ කතාව බලන්න. මේකේ එක කවියක් දැම්මේ නෑ එඩිටර්ලා සඟරාවේ. මොකද මං ඔබාමා ගෙන් අහනවා පෙන්ටගන් එකේ ජොබ්එක මල්ලීට දෙනවද කියලා.

        ආයතනයේ, පුද්ගලයින්ගේ නම් ගම් සහිතව පල කර තිබෙන ඒ ප්‍රවෘත්තිය බොරුවක් වෙන්න තියෙන ඉඩ සෑහෙන්න අඩුයි.

        මේ සේව්‍ය-සේවක ලොජික් එකෙන් ඔබ ඒ මාන්නක්කාරී වැඩේ සාධාරණිකරණය කරන්න හදන එක තරම් විහිළුවක් තවත් නැත.

        මුලතිව්වල දෙමල ළමයාට ඇමති වන්දනාව එපා කියන්න ඇත්තේ වැඩිහිටි ඥාතීන්, දෙමව්පියන් විය යුතුයි. ගුරුවරු සහ එතන ඉන්න නිලධාරියෝ කරන්නේ ළමයා ලවා කොස් ඇට බාගන්නයි.

        ඇමතිට වඳින්නේ අයි ඇමතිගේ පෞද්ගලික මුදලින් ද ශිෂ්‍යත්වය දෙන්නේ?
        මේ වගේ අවස්ථාවල අතට අත දීම හෝ සිංහල/දෙමල දෙඅත් බැඳ ආචාරය තමයි යෝග්‍ය.

      • මෙන්න මට දාන්න අවශ්‍ය වුනු ලින්ක් එක. පෙන්ටගන් ජොබ් එක ගැන මේකෙයි තියෙන්නේ.
        http://kathandara.blogspot.com/2011/03/kathandara-kaaraya-learns-lesson-again.html

      • Chanuka Wattegama

        @kathandarakaraya,

        මුලින්ම කියන්න ඔබ මේ සිද්ධ්ය ඇත්තක් කියලා දැන ගත්තේ කොහොමද කියලා. අනෙක් මාධ්‍ය වලට චෝදනා කරන්න කලින් ඒක තහවුරු කර ගත යුතුයි නෙ. Lankanewsweb ගැන කියනවා නම් එය මීට පෙර පැතිරූ මෙවැනි අතේ රෝල් ගාණක් මට හමුවී තියෙනවා. එනිසා මේ පුවත ඔප්පු කරන තුරු භාර ගන්න මට ඕනැ කමක් නෑ.

      • “හමුදා සංස්කෘතිය කියන්නේ සාමාන්‍ය කාර්යාල සංස්කෘතියෙන් වෙනස් වූ දෙයක්. ඊට ජීවිත කාලයක් තිස්සේ හැඩ ගැසුණු කෙනෙකුට ඉන් මිදෙන්න අපහසුයි.”
        ගෝඨාභය කියන්නෙ අවුරුදු ගානකට ඉස්සෙල්ල හමුදාවෙන් අයින් වෙලා ඇමරිකානු සිවිල් සමාජයෙ ජීවත්වෙලා බොහොම හොඳින් ඒ සමාජයට මුහු උන කෙනෙක්. ඒ නිසා ඔය තර්කය එතුමට අදාල වෙන්න බෑ. ඕක ඔන්න සරත් ෆොන්සේකටනම් හරි.

    • එක දෙයක් නම් පැහැදිලියි. මේ කතාව පලකරන වෙබ් අඩවියේ අරමුණ ගැන නම් විවාදයක් තියෙන්න බෑ . ඒ අසල පල කරලා තියන ගෝටාබය මහත්තයගේ ඡායාරූපය බලන්න. ඒක කෙනෙකුට ද්වේශයක් ඇති වෙන බිහිසුණු ආකාරයක් දෙන්න වෙනස් කරපු එකක්.
      අනිත් අතට ඒ ලිපියේ ඔහුගේ නම “නන්දසේන ගෝටාබය” කියලා සඳහන් කරනවා. මේ වගේ මධ්‍යම පාන්තික අයට තියන රෝගයක් තමයි සිරිපාල, වගේ පරන නම් පෙන්නලා උලුප්පලා ව්‍යංගයෙන් “මූ පොෂ් නෑ” කියා කීම. ඒකෙම අනිත් පැත්ත තමයි සමහරු ජනාධිපතිගෙ ‘පර්සි’ නම උලුප්පා දැක්වීම.
      ඉතින් ඒ වගේ වෙබ් අඩවියක ඉතා කුඩා සිද්ධියක් වුනත් ලොකුවට දාන එක වලක්වන්න බෑ.
      එහෙම බලනකොට රජයේ සේවකයන්ට ටයි දන්න නීතියක් ගෙනා ප්‍රේමදාස මහත්තයා එහෙම කලේ දුම් රිය සාමාන්‍යාදිකාරී හදිසියේ එය හමුවෙන්න “කැෂුවල් ආවා” කියලලු.
      හැබැයි ප්‍රෙමදාස මහත්තයයි මේ මනුස්සයයි දෙන්නම කරන්න ගත්ත වැඩ ඉවර කරන බව නම් පේනවා.(ප්‍රේමදාස එක්ක කෙනෙක් ව සංසන්දනය කරන එක දෙපැත්ත කැපෙන වැඩක් නම් තමයි ).

  4. හාමුදුරු වරුන්ටත් වඳින්නෙ නැද්ද ?

    • Chanuka Wattegama

      @Chanaka Aruna Munasinghe,

      ඔබ අහන්න අදහස් කළ ප්‍රශ්නය “හාමුදුරුවරුන්ටත් වඳින්න ඕනැ නැද්ද?” කියා හිතනවා.

      හාමුදුරුවන්ට වැඳීම අපේ සංස්කෘතියේ කොටසක්. එතැන වඳින්නේ පුද්ගලයාට නොව චීවරයට කියා අප අතර මතයක් තියෙනවා. මෙය විවාදාපන්නයි. එහෙනම් චීවරයක් දා ගත්තු මී හරකෙකුටත් වඳිනවාද ඔබ අහන්න පුළුවන්. මේ විරෝධතාව සමඟ වුවද හාමුදුරුවන්ට වැඳීම තුළින් නිවට දීන පුද්ගලයකු බිහි වෙතැයි මා සිතන්නේ නෑ.

      දේශපාලකයකුට වැඳීම යනු ඊට ඉඳුරා වෙනස් දෙයක්. දේශපාලකයින් කියන්නේ හාමුදුරුවරුන්වත් ගුරුවරුන්වත් නෙවෙයිනෙ.

  5. නෑ නෑ මම අදහස් කළ ප්‍රශ්නේ “හාමුදුරු වරුන්ටත් වඳින්නෙ නැද්ද ?” කියන එක
    හාමුදුරු වරුන්ට විතරක් නෙවෙයි වැඩිහිටි අයටත් වැඳීම අපේ සංස්කෘතියේ කොටසක් නේද ?

    අවස්ථාව අනුව සම්ප්‍රදාය අනුව වැඳීම තුළින් නිවට දීන පුද්ගලයකු බිහි වෙතැයි මා සිතන්නේ නෑ. නුසුදුසු පුද්ගලයන්ට වැඳ වැඳ පස්සෙන් යාමෙනුයි නිවට දීන පුද්ගලයකු බිහි වෙන්නේ.

    • Chanuka Wattegama

      අපේ පන්සලේ හාමුදුරුවරුන්ට නම් තවමත් වඳින්න පුළුවන් හින්දා වඳිනවා. මොකද දේශපාලනේ කළෙත් නෑ. කරන්නෙත් නෑ. බිස්නස් නෑ. අරුමෝසම් වැඩ නෑ. ආගම අතේ සම්ප්‍රදායික වැඩ ටික කරගෙන ඉන්නවා. මං දන්න කාලෙ ඉඳළම පන්සල එකයි. පහුගිය අවුරුදු හතළිහටම වුණේ පොඩි චෛත්‍යයක් හදපු එකයි දහම් පාසලට පන්ති කාමර ටිකක් හදපු එකයි විතරයි. ඒත් පිරිහීමකුත් නෑ. කලබලයක් නැති යන්න හිතෙන පන්සලක්.

  6. Chanuka hondata danna kenek

    Vissishtatama Rajya Niladhariya sakkuve atdagane hitiyata benna eka sadaranaya kirima nam bolanda wedak. kisi kenekuta aithiyak nehe thavath kenek hge athma gavrayava ballata dala katakarnna. Balyen unmathatha vunahama ehema venava

    • Chanuka seems to be a pragmatist and well aware of the current situation in the country. After all he was trained as a journalist, remember.
      So why try to a make some sort of a crusader out of him by forcing him to make comments detrimental to powers that be ! 🙂
      If this blog is about reminiscences,let it be that way 🙂
      If you guys want “something stronger” there are lot of blogs out there willing to criticize Gota/MR in strongest/vilest terms ,in third rate,one sided articles passed for “political analysis’ . and a plethora of anti-Government websites growing by the day.
      Let this blog be something different that we all can enjoy without the usual political baggage

  7. //පහේ පන්තියටවත් ඉගෙන ගෙන නැති දේශපාලකයකු //

    ජේ ආර්ට නම් මේ ලේබලය අදාල නැ (ඊට පස්සෙ රට පාලනය කරපු පිස්සට නම් අදාල ඇති ) . අනික ඉතින් ඔය සම්මානෙ ඔබතුමාට දෙන කාලේ ජේ ආර් ඔබතුමාගේ සීයගෙ වයසෙ කෙනෙක් . පොඩි ආචාරයක් දැම්මත් වැරැද්දක් නැ නේද ?

    ඇමති කෙනෙක් එනකොට ඉඳගෙන ඉන්න තැනින් නොනැගිට්ට එක තරුණයෙකු වශයෙන් ඔබ කරපු කොන්ද පණ තියන ක්‍රියාවක් (පලාත් මහ ඇමති කෙනෙකුට සහ පාර්ලිමෙන්තු මන්ත්‍රි කෙනෙකුට අපිත් ඔඅය දේ කරල තියෙයි )

    ඒත් පහ වසරේ ළමයෙක් වැඩිහිටියෙකුට නොවැඳපු එක ඊට සමාන කරන්න බැ නේද ? ඇමතිකම කියන තනතුර අමතක කරමුකො වැඩිහිටියෙකුට වඳිනවාය කියන ගුණධර්මය නරක දෙයක් නෙවෙයිනේ

    • Chanuka Wattegama

      @buwa,

      මෙතැන තියෙන්නෙ hats පිළිබඳ ප්‍රශ්නයක්.

      ජේ. ආර්. ඒ උත්සවයට සහභාගි වන්නෙ දේශපාලකයකු හැටියට මිස පෞද්ගලික සම්බන්ධයක් නිසා නෙවෙයිනෙ. ඔන්න ඔහු මගේ සීයා හම්බවෙන්න ගෙදරට ආවානම් සීයාගේ මිතුරකු හැටියට ගෞරවය දෙන්න තිබුණා.

      එසේම බන්දුල ගුණවර්ධන එතැනට එන්නෙ අධ්‍යාපන ඇමැතිවරයා හැට්ට්යට මිස වැඩිහිටියකු හැටියට නෙවෙයි. වැඩිහිටියන්ට වඳින්න ඕනැ නම් ඒ ළමයා එතැන හිටි අනෙක් හැමෝටම වඳින්න එපායැ! ඇයි එක් කෙනෙකුට විතරක්?

  8. ගොසිප් ලංකා එකට ගියානම් බලාගන්න පුලුවන් කට්ටිය මේක දෙමල-සිංහල ප්‍රශ්නයක් කරගෙන ඉන්නහැටි. ඒ ලමයා වැන්දේ නැත්තේ සිංහල නිසානම් වැරදියි. නමුත් ලමයාගේ හිතේ තිබ්බ දේ අපි දන්නේ නැති නිසා ලමයාට සැකයේ වාසිය දෙන්න වෙනවා

  9. පහුගිය දවසක ගිය ස්වාධීන රූපවාහිනියේ ගිය විමසුම විශේෂාංගයේ කිව්වා වගේ මතකයි “දරුවෙක් ශිෂ්‍යත්ව විභාගේ මුල්තැනට එනවාටත් වඩා ප්‍රීතියක් ඒ දරුවාට තියෙනවා කියලා රටේ රාජ්‍ය නායකයාව පුද්ගලිකව හම්බවෙලා එතුමන්ට වදින්න හම්බෙන එකෙන්” කියලා 🙂

    ඒ වගේම ඔය අධ්‍යාපන ඇමතිතුමාට වදින්න බැහැ කිව්ව දරුවා ජනාධිපතිතුමාට වැන්දා නේද ???

  10. Machang,Its realy wasting time & we are not addressing the actual issue if keep on highlighting,debating about these sort of incidents.Do you believe 11 year old kid have that sort of political awareness to act such a way?This kid might be in a enviorment which frequently echo anti politician slogans.Important thing is to build a society that keep him standing on the podium in similar passion after 30 years.

  11. තෑගී සම්මාන දෙන්න දේශපාලකයෝ ගෙන්නන එකනේ වැරැද්ද . ඔන්න ඒ ඒ අංශ වල ප්‍රවීනයෙක් නම් වැන්දත් මොකෝ. ඒත් ඉතින් තමන්ට ඕන නම් . ඔන්න බලන්න චානුකට විද්‍යා සාහිත්‍ය ලේඛක සම්මානය දෙන්නේ ”සාහිත්‍ය කන්නද ” [ එහෙම නේද උන්නැහේ කිව්වේ ?? මට හරියට මතක නැහැ ] අහපු ජේ ආර් උන්නැහේ . එතැනින්ම පේනවනේ නාටකයේ තරම .
    මාත් අපේ ඉස්කෝලේ දී ඩි. බි . විජේතුංග මහතා අතින් සහතිකයක් ගත්ත . සම්ප්‍රධායට අනුව පොඩ්ඩක් ඔලුව නැමුව . අපේ ගුරුවරු අපි ලව්වා වන්දවන්න එනම් ගියේ නැහැ . බන්දුල ඇමතිතුමා ”බන්දුල සර් ” වෙලා හිටිය කාලේ නම් ළමයි වඳින්න ඇති. සසෙක්ස් එකේ ෆ්‍රී කාඩ් හෙම දීල ගොඩක් දුප්පත් ළමයින්ට උදව් කළා . දේශපාලන මඩ වලට වැටුනම ආයේ මොනවද ඉතින්.

  12. වැඩිහිටියන් වැඩිහිටියන් වූ පමණින්ම වැඳිය පිදිය යුතුද කියන කාරණය මතු වෙනව සමහරු කියල තියෙන දේවල් අනුව. පුද්ගලිකව වැඩිහිටියෙක් වූ පමණින් එහෙම කිරීමක් මගේනම් නැත. ඒ නිසි ගෞරවය මා තුළ ඇති කරන්න ඔවුන් සමත් වී නැති නිසාය. ඒ අර්ථයෙන් අපිට වැඩිමහල් මී හරකෙක්ට, ගල් ඉබ්බෙක්ට වුණත් වැඳීමේ පිදීමේ දෝෂයක් නැත.
    ඒත් රාගවන් කියන දරුවාගේ හැසිරීම සමග සම්පූර්ණයෙන් මා එකඟ වෙමි. මොකද මෙවැන්නන් වැඳීම කෙසේ වෙතත් මෙවැන්නන් ඉදිරියට යාමවත් දරුවෙකුට සුදුසු නොවේ.

    “දේශපාලකයකු හැටියට බන්දුල ගුණවර්ධන වෙනත් බොහෝ දෙනකුට වඩා හොඳය. ”
    ඔබේ මේ කියමන ගැන බොහෝ සිතා බැලුවත් ඊට සාධාරණ කරුණක් සොයා ගත නොහැකි වුණා. සමහර විට මම මෝඩයෙක් නිසා වෙන්න ඇති.

  13. මෙම සිද්ධිය දුටු විගසම මට මතක් වුනේ වසර දෙකකට පමණ ඉහත කියවූ ශ්‍යාම් සෙල්වදුරේගේ “Funny Boy” නම් පොත 🙂

  14. ඔය වගේ කතාවක් ඉස්කෝලේ (ආනන්දෙදි තමා) මොකක් හරි උත්සවයකදී ආපු ආරාධිත අමුත්තා කිව්වා මට මතකයි. ආරාධිත අමුත්තා කව්ද කියලා මතක නැහැ. මට මතක හැටියට ආරාධිත අමුත්තටත් (එයා පොඩි කාලේ)වෙන කෙනෙක් කියපු එකක් තමා. කතවට සම්බන්ධ හැමෝම ප්‍රසිද්ධ අය කියලා විතරක් මතකයි. තෑග්ගක් ගනිද්දී කොන්ද නමන්නේ නැතුව ඕනෙම නම් ඔලුව ටිකක් විතර පාත් කරලා ගන්න කියලා. කොහොමටත් ඔලුව පාත් නොකර දෙන දේ ගන්න අමරුයිනේ. මොකද දෙන දේ දිහා බලද්දී ඔලුව ඉබේම පාත් වෙනවනේ. දෙන මනුස්සයටත් එකම වෙනවනේ(දාල තියෙන ෆොටෝ එකේම JR ත් එහෙමනේ ඉන්නේ).

  15. Chanuka Hondata danna kekenk

    To – The Analyst
    If Chanuka does not want to comment on something for other reasons it is fine – But if he still wants to justify and rationalize when a person working in an environment – his “Boss” can treat him as dirt is acceptable – then something drastically wrong.

  16. it is just a grade 5 (or 6) student we are arguing about. Most possibly this kid must have been asked by someone to do like that…. isn’t it?

    On the other hand, Sri Lankans are yet to identify the position of the polititians in the social hierarchies. even we Sri Lankans are often worriying about how we address someone…..

  17. Chanuka
    obage main article ekei passe comments walata deepu uththara walai hemathama JR Jayawardena, Bandula Gunawardena wage namin witharak handuwaddi Gotabayata witharak “mahatha” kiyala pawichci karanen ayi kiyala kiyanna puluwan da?

  18. එස් බී ශිෂ්‍ය නියෝජිතයෙක් හැටියට මැතිනි හම්බවෙන්න ගියාම නැගිට්ටෙ නැතුවට ඒතන හිටපු අනික් වමේද කොහෙද නියෝජිතයො කියල තිබ්බලු කියපු ඔක්කොම හොඳයි පුක ටිකක් ඉස්සුනානං වඩා හොඳයි කියල!
    ළමයි ඇමතින්ට නොවඳින එකේ වරදක් නෑ. ඇමතියො පත් කරන අපිම ඒ අයට කරන වන්දනාව නිසා උන්දැල වැඳුම් බලාපොරොත්තුවෙන එකේ වරදකුත් නෑ.

  19. Chanuka Wattegama

    @සියල්ලන්ටම,

    මෙතැන හාස්‍ය උපදවන කාරණාව තමයි අපි මේ කතා කරන ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ පුවත තවම හරි හැටි සත්‍ය යැයි තහවුරු කර ගත්තක් වත් නොවීම. මේක එක රාජ්‍ය විරෝධී කටකතා පතුරුවන වෙබ් අඩවියක් මඟින් පතුරුවන ලද කට කතාවක් විතරයි. කවුරුන් හෝ තහවුරු කර ගත් ඇත්ත කතාව කියන්න. එතකොට අපට ඒක හරිද වැරදිද කියා තර්ක කළ හැකියි. නැතිව ඇත්තද බොරුද වත් නොදන්නා කතාවක් ගැන කතා කිරීම විහිළුවක්.

    අනෙක් අතට මේ කට කතාවෙන් කියන ආකාරයේ සිද්ධියක් වුණා නම් ඒකට භාජනය වූ පුද්ගලයාට නීති මාර්ගයෙන් කටයුතු කිරීමට හොඳින්ම ඉඩකඩ තියෙනවා. ඇයි ඔහු එහෙම නොකරන්නෙ?

  20. කෙනෙක් ඉස්සරහා හිස නැමියුතු තැන් සේම නොනැමියයුතු තැන් තියෙනවා. මෙතනින් එහාට මං ලියන්නේ නෑ මේ ගැන.

  21. නීතිමය මාර්ගයට යාම අපහසු කටුත්තක් නේද
    රටේ බලවතුන් නීතිය තමන්අවශ්‍ය ආකාරයට හසුරුවනු ලබන නිසා
    උදාහරණයට ගන්න කත්‍රිආරච්චි නඩුව

  22. ‘අභිවාදන සීලිස්ස, නිච්චං වුද්ධා පචායිනො චත්තාරො ධම්මා වඩ්ඪන්ති – ආයු වණ්ණො සුඛංබලං” සිල්වතුන්ට වඳින වැඩිහිටියනට පුදන තැනැත්තාගේ ආයු පැහැ, සැප බල යන සිව් ගුණ වැඩෙත්……………..

    http://www.lakehouse.lk/budusarana/2008/01/07/tmp.asp?ID=fea03

    • Chanuka Wattegama

      @hasithag,

      මේ පාඨය ගැන තර්කයක් නෑ. නමුත් මා කලින් කීවා වගේ මෙතැන තියෙන්නෙ hats පිළිබඳ ප්‍රශ්නයක්.

      බන්දුල ගුණවර්ධන මහත්තයා මෙතැන පෙනී සිටින්නෙ දේශපාලකයකු හැටියට මිස වැඩිහිටියකු හැටියටවත් සිල්වතකු හැටියට වත් නෙවෙයි.

  23. මං මොකුත් නොලියා උන්නේ ලියන්න තරම් දෙයක් දෝ කියලා.

    මේ කොලුවා ගැන ආඩම්බර වෙන කෙනෙක් මං. ඒ චානුක කියන විදිහට ඇමති තොප්පිය නිසා අපූජාච වූ විශ්‍රාමික ගුරු දේශපාලකයාට නො වැන්ද නිසා ම නොවේ. ඔය ලොකු ලොකු තැන් වල කට්ටියට සලකන නොසලකන එක මට නම් පුද්ගලික දෙයක්. ඒ වගේම මේ කොලුවා හිතලා කල දෙයකට වඩා හැදුනු පරිසරයේ තිබී හමු වූ හෝ නැතිනම් වැඩිහිටියෙකුගේ උගන්නුම් බසක් නිසා කල දෙයක් වීමට ඉඩකඩ වැඩිය. ටිකක් මේ වගේ වැඩ වලට බර පැත්තක උපන් හැදුනු වැදුණු මා උතුරු චින්තන යේ දකුණු සහෝදරයා හොඳින් දනිමි. ප්‍රේමදාසගේ කාලේ මොකද්ද මගුලකට ඉස්කෝලෙට ආ අධ්‍යාපන ලේකම් අලස් [ඔව් අර අලස් තමා] කාරයාටත් හූ කිව්ව ඉස්කෝලයක් අපි. ඒ නිසා මේ වගේ එවුන්ට එක එක විදිහට සලකා අපට විවිධ පුරුදු ඇත. ඒ සමහර ඒවාට කොළඹ සමාජය වනචාරි ගති කියා ද කියති. මා හැදුනේ කැකිරි සුලබ ලෝකයේය.

    කොලුවාට මා ගරු කරන්නේ හරි දේ කල නිසා නොව මහා බහුතරයක් වෙනස් මතයක ඉඳිද්දී බයනැතිව තම මතයේ ඉන්න ඌට පන්නරයක් තිබ්බ නිසායි. මේ වගේ හිතන මිනිසුන් අධ්‍යාපන පෙට්ටියෙන් එලියට එනවා නම් අට අනුවක් රෝග ව්‍යාධි සැනෙකින් සනීප වී මේ රට යහපත් තැනකට එනු ඇත. ඉස්කෝලේ සම්ප්‍රධාය, කැම්පස් සම්ප්‍රධාය ඔෆිස් සම්ප්‍රධාය වගේ දේවලින් ස්ටේරියෝ ටයිප් වීම අපේ මානසික රෝගයකි. කොටින්ම පැහැදිලි මතයක් කිව හැකි රැගින් වගේ දෙයක් ගැන ද ප්‍රේශාලා බොහෝ විට තීන්දු ගන්නේ තමන් ආපු පැත්ත ඒ පැත්තේ අයියලා හිතන හැටි වගේ මොට්ට මෝල් දර්ශක අනුවයි. අවුරුදු හතරකට පසු තම “ගැට්ටට” පිටින් වෙන එවුන ආශ්‍රය කිරීමේ වරදට මගේ මෙහෙ කැම්පස් ගිය සෙට් එකේ එවුන් උන්ගෙන් එකෙකු සමග තවම කතා නොකරති.

    මෙතනින් පටන් ගන්න ගැටී වාද, අන්ධ භක්ති ස්ටේරියෝ ටයිප් හෙවත් “පොදු භාවය” [පොදු ශිෂ්‍යයා කියන්නේ] සියල්ල කෙළවර සිස්ටම් ඒකෙන එලිය්ටට එන්නේ දැනුම සමුදායක් හිස පුරවා ගත් පොටෝ කොපියක් වන් මිනිසෙකි. රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් වන්නේ මෙයයි.

    තමන් කැමති දේ කරනවාට මේ රටේ මිනිස්සු නොයෙක් අවලාද නගති. ජීවිතේට බීලා නැති [එහෙත් බොන පාටි මිස් නොකරන බයිට් කා සෙට් වෙන – කොල්ලන් කියන ලෙසට වෙනම බොන්න ඕනේ නැති] මට බොන්න කියා බල කලේ විදෙස් රටක හුන් ශ්‍රී ලාංකික සිසු කැළකි. එදා මගේ අනන්‍යතාවය තියා ගන්නට නොසෑහෙන්න කට ගහන්න සිදු විය. ලංකාවේ නම් ගුටි කා මැරෙන්නට වන ඉඩ බොහෝය. ලංකාවේ කැම්පස් ගිය හැම එකාම මහා ලොකු උප සංස්කෘතියක් දේව භාෂිතය මෙන් වදාරති. මේවා කඩන්නට පුළුවන් එවුන් නැත. [ඉන්නේ වල් හරකා එස් බී පමණි]. ආගමක් නො අදහන බව කියන්නට මා වින්ද දුකක්. මා සිටින තැන අයගේ මතයට වෙනස් අදහසක් කියා කතන්දර දුර දිග ගිය අවස්ථා අසීමිතයි. එමෙන්ම මේ බ්ලොග් අවකාශයේත් ඒක කර ගෙන තියෙන තරම එමටයි.

    ඒ හැරෙන්නට මට ඔය අපූජාච කතාවට මහත් ලොකු එකඟතාවක් නැත. පූජාචයින් නිර්ණය වන්නේ සමාජ මතයෙනි. අදටත් මා ඇතැම් සිද්ධස්ථාන වලට ගොස් වැඳුම් කරන අතර නොවඳිනා අවස්ථා ද ඇත. ආගම නොඅදහන පමණින් මිනිසුන් ගෙන් ගරු සැලකුම් ලබන්නෙකු ඉදිරියේ පොර සේ ඉන්න හෝ වම්මු වගේ බාහු බලය හෝ අන් යමක් පෙන්නන්න මට නොසිතේ. වඳින්නේ එම ගරු සැලකුමටයි. එය ඇමතිට ද පොදු වේ.

    නැතිනම් එය හරියට බුදු දහම නොඅදහන්නෙක් පන්සලට සෙරෙපපු දමාගෙන යන්නාක් වැන්නකි. එහෙමත් නැත්නම් කොනේසර් කෝවිලේ අළු ගා ගන්නට උඩු ඇඳුම නොගලවා යන්නෙක් මෙනි. මා ගරු නොකරන මුත් අන්‍යයන්ගේ දෙයකට යම් දුරකට ගරු කරන්නේ ඒ අන්‍යයන් වෙනුවෙනි. නැතිනම් එයට සහබාගි නොවීම ඉඳීමේ නිදහස හැමට හිමිය.

    චානුක ජේ ආර් ඉදිරියේ කල දෙය කාටවත් තදින් වදින්නට ඇති ඉඩකඩ අඩුයි. ඔබ දෙදෙනා නැවතත් ඉන්ටරක්ට් වෙලාත් නැහැනේ. ඒ වගේම ඔබ ඇමැත්තා ඉදිරියේ නොනැගිට්ටේ ඔබ නිකම් විසිට් එකක් දැමූ තැනකයි. මේ කොලුවා නොවඳින්නේ ඊට වඩා තම ජීවිතයට බලපෑම කල හැකි අයෙකුටයි. බන්දුල කාරයා වගේ ටිකක් නිවිච්ච පොරක් නොවෙන්න කොල්ලාට මුලතිව් ඉස්කොලේ ම ඉන්නට සිදු වන්නට තිබුණි. ඒ නිසා චානුක කල දේවල් දෙකම මට කොලුවා කල දෙය තරම් අනතුරුදායක බවක් නොපෙනේ.

    අප දෙදෙනාම යහපත් කියා ලියන ලද ගෝටා ගැන ඔබ හා එකඟයි. මැරිච්ච කොටින් ගැන වෛරයෙන් ඉන්න අයට පෙන්නන්න බැරි උනාට මිනිහා මට නම් ගරු කටයුතු පොරකි. එමෙන්ම මහා ප්‍රජාතන්ත්‍රවාදී මිනිහෙක් නොවේ. මචන් කියූ නිසා තේමිස් නම් මන්ත්‍රීට අම්බානට නෙලපු එකට සර් ජෝන් කාරයා හිරේ ගියේ නැත.

    රජෙකුට හිස නමන්නේ නැති නිසා භෞතික විද්‍යා නොබෙල් තෑග්ග ගන්නට රිචඩ් ෆේන්මන් ගියේ නැත [60 දශකයේ සිද්ධියක්]. අරුණි හිටිය නම් කියයි අන්න ඇමරිකානුවෝ කියලා. හැබැයි තෑගී මුදල හා මෙඩල් ඒක කොහොමත් ලැබෙන නිසා නොගියා යයි කෙනෙකුට කීමට ද පුළුවන.

    ඔව්වා බොහෝ සෙයින් විවාදාත්මක වන අතර, කට්ට ලෙස කරන වැඩ ඉඳහිට මෝඩයෝ ද කරති. “ඩෝන්ට් ට්‍රයි ඇට් හෝම්” කියා කිව යුතුයි.

  24. චානුක
    බොහෝ දුරට ලිබරල්වාදියෙක් වන ඔබ තුමා මහජන එක්සත් පෙරමුණ වැනි වර්ගවාදී පක්ෂයකට චන්දය දුන්නේ කුමන පදනමක් මතද ?
    නලින් ද සිල්වා මහතාද මෙම පක්ෂයේ කලක් සිටි බව මතකය
    දැනගැනීම සඳහා කරුණාකර පහදා දෙන්න

    • Chanuka Wattegama

      @බණ්ඩා,

      ඒ යුගයේ මගේ දේශපාලනය ජාතික චින්තන දැක්මට වඩාත් සමීප විය. මම මහාචාර්ය (එවක ආචාර්ය) නලින් ද සිල්වා විසින් පළ කළ ‘කාලය’ සඟරාවේ ලේඛකයකුද වීමි. මේ ගැන ඉදිරියේදී සටහනක් කිරීමට බලාපොරොත්තු වෙමි.

      • ඒ කාලයේ ජාතික චින්තනය දැන් මහින්ද චින්තනය එහෙම නේද?

      • Chanuka Wattegama

        සම්පූර්ණ ඇත්ත! ගෝටා චින්තනය කිව්වොත් තව ටිකක් නිවැරදියි!

  25. මට නම් මේක කියවා ත්‍රිල්ය. ඔබතුමා ආපහු බ්ලොගයට පන දීපුඑක නම් ඉතාම වටිනවාය. මටද ගෝඨා පොරකි. (සරත් මහත්තයාත් වීරයෙකි). බාල ජනප්‍රියත්වය පසුපස එලවන්නේ නැතිව තමන්ගෙ මතයක් නියෝජනය කරන්න ඔබට තිබෙන ශක්තිය අගය කරමි.
    JH

  26. වැදීම කවුරු කළත් කාට කලත් දීනකමකි. ගස්ගල් වලට පිලිම වලට වදින්නේ බයාදු කමටය. දේශපාලනඥයින්ට වදින්නේ ද බයාදු කමයට. හිගන්නා දීන කමට වදින්නේ කීයක් හරි ඉල්ලාගැනීමටය. අද සමහරු විශේෂයෙන්ම දේශපාලනඥයින් හාමුදුරුවන්ට වදින්නේ භක්තිය ඇති බව කියා පෑමටය. ඡන්දයට පෙර ජනතාව ඉදිරිපිට දෙකට නැමෙන දේශපාලනඥයා මැති ඇමැති වු කල තමන් ඉදිරියේ ඒ ජනතාව දෙකට නැමෙනු බලා තුටු පහටු වෙයි. මේ නයින් බැලු කල වැදීම හිගනකමකි. චානුක කියන දේ ඇත්තය. හැබැයි චානුකගේ කබර ගොයා තලගොයා දඩයමද මේ සංවාදයේදී නැවත වරක් ඔප් නැංවී ඇති බව නොසතුටට කරුණකි. එනම් ලේකම් ලාට වැදීම සාධාරණ බව හෝ ඔවුන් ඉදිරියේ දෙකට නැමීම කළ යුතු බව සාධාරණිකරනය සදහා ඔහු දරන උත්සාහයයි. එය ඔහුගේ වත්මන් දේශපාලන නැඹුරුව මත නිරායාසයෙන් ව්‍යුත්පන්න වන්නක් යැයි සිතා මා සිත හදා ගනිමි.

    • @jayhe

      only Lasantha tried to swim against the tide and look what happened to him. Others like Malinda Seneviratne for example are fairly consistent for last two decades in their political ideologies and are not parrots of the present or past regimes.
      Others who do not belong to either of these categories would love to play it safe. They are the majority and Chanuka’s one of them. Hope this explains the fact why he looks like a sycophant (though don’t believe he is)

  27. ලංකාවෙ දැන් ඉන්න දේශපාලුවන්ට වඳින්නෙ ඕනෙම නෑ……
    මහජන මුදල් ඒ ගොල්ලන්ගෙ බූදලය වගේ වියදම් කරන, රට තවත් අගාධයට අරගෙන යන අයට වඳින්න පිස්සුද …….??????

  28. අපි මේ කතා කරන දේ හරියට “ඕලෝන් චිට්” එකක් දාපු මිනිහාගේ හැඟීමේ වගේ. ඒක දාලා ඒ මිනිහා අස්සයින්ටයි ජොකියන්ටයි යෝධ බල යෝද වීරිය පතනවා. අපිට කමක් නෑ මේ රේස් එක දුවන කකුල කැඩුනත්, ජොකියා අස්සයා පිටින් වැටිලා මලත්.
    අපේ මනෝ මූල විරොධාකල්ප සිහින විජිතයේ මේ දරුවා ජොකියෙක්. නන්දක්කා කියපු ” දැඩි වී වග වල්සුන් හමුවේ වලසකු වී ඇවිදින්.. වීසිකරන්නට දරුවන් හදනා ලෝකය කා වනසන් පුතුනේ” . එහෙම අපි කවදාවත් නොකරන දෙයක් මේ කොල්ලා කරයි කියලා හිතෙනවා.
    මේකෙ මුල බැලුවොත් වයස 10 ක ළමයකුට ගැඹුරු සමාජ දැක්මක් තියනවා කියලා කියන්න අමාරුයි. එක්කෝ යම් කෙනෙකු ඔහුට මෙය නොකරන්නයි හිතා මතාම කිව්වා විය හැකියි. එසේ නැත්නම් ඔහු ජීවත් වන්නේ නිතරම රජයට විරුද්ධව හරුප දෙසාබාන සමාජයක විය යුතුයි.
    චානුක ට මේ කුඩා කොලුවා තුල ඔහු ව පෙනුන එක වරදක් නොවේ. සිද්ධියක් තුල තම අතීතය මතක් වීම කාටත් පොදුයි.
    ඒත් විරෝධාකල්ප පොඩි කාලයේම හිතට වැදුනාම කිසිවකු විශ්වාස නොකරන කෙනෙක් තමා බිහිවන්නේ. එය මේ දරුවාගේ ජීවිතයට බල පාවි. ජීවිතයේ අපි ගොඩක් කඩ ඉම් පසු කරන්න ඕනෑ. විභාග කියන්නේ සෘජු කඩ ඉම්. ඊට අමතර අදිසි කඩ ඉම් බොහොමයක් තියනවා. ජීවිතයේ සමහර වෙලාවට කම්බි වැට වල් හම්බවෙනවා. ඒවා පනින්න පාත් වෙන්න වෙනවා, කලිසම් ඉරෙනවා, ගස් බඩ ගාන්න වෙනවා එතකොට බඩ පපුව හීරෙනවා.
    වඳින්න ඕනෑ උගතුන්ට විතරද ? ඒ කියන උගතුන් ඉන්නේ කොහේද? උගතුන් කුහක නැත්ද? අතීතයට යන්න හම්බ වෙලා මම නිව්ටන් ව දැක්කොත් වඳින්නේ නෑ. ඔහු ඉතාම අසාධාරණ අන්දමට බලතල පතුරපු කෙනෙක්. ඔහුගේ නොවන දේට තම නම අලවාගත් කෙනෙක්. එවැන්නකුට වැඳිය යුතුද.
    පාසල් වල ට දේශපාලකයින්ට ආරාධනා කරන සමහර විදුහල්පති වරු එසේ කරන්නේ එමගින් හමුවන අවස්ථාව භාවිත කරවලා පාසලට මොනවා හෝ ලබා ගන්නයි.
    වැඳීමේ ඇත්තේ සංස්කෘතික, සමාජයීය වටිනාකමක් පමණයි. මේ දරුවාව ඔසවා තැබීම උඩ ඔහුට අනවශ්‍ය ගර්වයක් පහල වීම නිසා ඔහුගේ ඉදිරි ජීවිතය කටුක වන්නට පුළුවනි.
    චීවරයට වැඳීමක් ගැනත් කතාවක් තියනවා. එසේ නම් රටේ අධ්‍යාපන ඇමතිතුමාට ( ගරු කියා නමක් ඔහුට තිබෙන නිසා ඔහු කරන්නේ පඩියට රස්සාවක් නොවිය යුතුයි ) කුඩා දරුවකු වැඳීම මහා පාපයක් නොවන්නා සේම නොවැඳීම මහා වීරකමක් ද නොවෙයි නේද?
    අපි හරි ආසයි පොරවල් වලට. පාඩම් නොකර විභාග පාස් වෙන අය තමයි ප්‍රසිද්ධ වෙන්නේ. ඒත් අඟලින් අඟල වැටි වැටි නැගිට නැගිට යන අය තමයි බොහෝ ඉහලට යන්නේ. අපි හරි ආසයි නූගත් ලේබලය අලවන්න, අට පාස් පොලිස්, පෝසත් තාත්තාග මෝඩ පුතා, අපේ ලුනු මිරිසට නැතුවම බැරි අඩුම කුඩුම. ඒත් පෝසත් පුතා ලඟ වැඩ කරන උගත්තු කොපමණ ඉන්නවාද. ඒ අය අර පෝසත් පුතාට යම් ගෞරවයක් දෙනවා. එහි ඇති වරද කුමක්ද? උපාධිය ආභරණයක් සේ බෙල්ලේ එල්ලා ගන හැමටම ගැරහීම අප අඟලක් වත් ඉදිරියට ගෙන යන්නේ නෑ.
    මතවාදීව, බුද්ධිමත්ව ඉදිරියට යාම ඉතාම වැදගත්. මෝඩයින්ට අයත් යයි සම්මත ආයතන වලට පවා ඇතුල් වෙන සැබෑ දක්ෂයන් ඒ තත්ව තුල ඉඳිමින්ම නවමු යමක් කරනවා.
    සමහරවිට මෙසේ විරෝධාකල්ප වලින් පරිපෝෂිත අප වඩන්නට අපේ මව් පියන් කා හරි ඉදිරියේ දනින් වැටුනාදැයි දන්නේ නෑ. අප කවදාවත් අම්මාගෙන් තාත්තා ගෙන් එය ඇසුවේ නෑ. හිතට විරුද්ධව වුනත් අප වෙනුවෙන් ඔවුන් ඒ දේ කරන්න ඇති.
    සැබෑ විරුවෝ නම් ඔවුහුය.

    • Sam Dassanayaka

      I dont know u.But I thoroughly appriciate what u are saying.Who knows what our perants did to mold us in to present status.I saw some perants kneel dowen to doctors to save their kids(when docs strike time).Its pointless keeping ur head up if u cant hear the beat of mankinds heart.

  29. මෙ කතාවට අදාල නැති උනත් කියන්න ඔන මම පොඩි කාලයේ ඔයාගේ ලීපි හරි ආසාවෙන් බැලුවා.මම අද තමයි මෙතනට ආවෙ ආයේ හැම දාම එනවා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s