34. වසන්ත දේශප්‍රිය සමඟ ඉලෙක්ට්‍රොනික් රාජ්‍යය ගොඩ නැඟූ දවස්

වසන්ත

වසන්ත දේශප්‍රිය යනු අප්‍රකට නාමයක් නොවේ. ශ්‍රී ලංකා පරිපාලන සේවය තුළ වසන්ත ජනප්‍රිය නිලධරයෙකි. එසේම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඔහු ගැන අසා නැත්තකු වෙතැයි සිතිය නොහැකිය. එහෙත් සමස්තයක් ලෙස සැලැකීමේදී බොහෝදෙනකු දන්නේ වසන්තට වඩා ඔහුගේ අයියලා ගැනය.

සුනන්ද දේශප්‍රිය දේශපාලන ක්‍රියාකාරිකයෙකි. පුවත්පත් කලාවේදියෙකි. ඔහු වසන්තගේ ලොකු අයියාය.

මහින්ද දේශප්‍රිය වත්මන් මැතිවරණ කොමසාරිස්තුමා වසන්තගේ පොඩි අයියාය.

“Great. Now ayya can hold malli responsible for election malpractices!”

මහින්ද දේශප්‍රිය මහත්තයා මැතිවරණ කොමසාරිස් ධුරයේ වැඩ භාරගත් බව ආරංචි වූ වහාම මම වසන්තට ටෙක්ස්ට් කළෙමි.

(මේ අයියා-මල්ලී සටන තවමත් දකින්නට නොලැබීම මට නම් පුදුමයකි. මන්ද ඕනෑම මැතිවරණයක් අපේ රටේ දේශපාලන ක්‍රියාකාරීන්ට අනුව ඉබේම ලෝකයේ දූෂිතම මැතිවරණයද, මැතිවරණ කොමසාරිස්තුමාට අනුව දැඩි පාරදෘශ්‍යභාවයකින් හා කාර්යක්ෂ්මතාවයකින් පවත්වන ලද ලෝකයේ විශිෂ්ඨතම මැතිවරණයද වන නිසාය.)

මට වසන්ත දේශප්‍රිය හමුවන්නේ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනයේදී (ICTA) මාස හතරක කෙටි පැවරුමකට සම්බන්ධ වීමත් සමඟය. වසන්ත ඊ-ශ්‍රී ලංකා (e-Sri Lanka) ව්‍යාපෘතියේ මා සම්බන්ධ වූ ඉ-රාජ්‍ය සංරචකයේ අධ්‍යක්ෂකය.

වසන්තගේ පූර්වගාමියා දැනට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්තයාය. එහෙත් 2004දී අග්‍රාමාත්‍ය ලේකම් හැටියට ඔහු අරලිය ගහ මන්දිරයට වාර්තා කිරීමට පටන් ගත් තැන පටන් ඉ-රාජ්‍ය වැඩ සටහනෙහි තෝන් ලනුව අල්ලා ගත්තේ වසන්තය. එහිදී ඔහු අතින් සිදුවී ඇති කාර්යභාරය විශිෂ්ටය සිතමි. අඩුපාඩු ඇතිව වුවද ලංකාවේ මහජනයා වෙත පිරිනැමෙන රාජ්‍ය සේවයේ කැපී පෙනෙන ප්‍රගතියක් පසුගිය වසර පහ හය තුළදී දැකිය හැකිය. එසේම රාජ්‍ය නිලධරයන් මහජනයා කෙරෙහි දක්වන ආකල්පද අති විශිෂ්ටය නොකිව හැකි වුවද වෙනසකට භාජනය වී තිබේ. රාජ්‍ය සේවාවන් ඉලෙක්ට්‍රොනීකරණය කිරීම එසේ වීමේ එක් වැදගත් පියවරක් සේ මම දකිමි.

අතීත කතාව මඳක් සඳහන් කරන්නේ නම්, තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනය (ICTA) 2003දී පමණ ආරම්භ කළ අවදියේදී මට ඊට බැඳෙන්නට දැඩි උවමනාවක් විය. එයට මම සුදුසුකම් සපුරා ඇතැයි මම අවංකව කල්පනා කළෙමි. 1996 පමණ කාලයේ පටන්ම මම තොරතුරු තාක්ෂණය ජනතාව අතරට ගෙන යාමේ ක්‍රියා දාමයෙහි සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කොට තිබුණු බැවිණි. ඉන්ටර්නෙට්, ඊ-මේල්, පරිගණක ජාලකරණය ආදී බොහෝ විෂයයන් ගැන මුල්වරට සිංහලෙන් ලියා ඇත්තේ මවිසින් බව කියන්නේ මඳ ආඩම්බරයකිනි. මේ පරිගණක සඟරාවක් තබා ජාතික පුවත්පතෙක පරිගණක හා සම්බන්ධ ලිපියක් වත් දක්නට නොලැබෙන යුගයකය. මට වූ සීමිත පාඨක පිරිස අතර වුව මම උත්සාහය අත නොහැර ඉදිරියට ගෙන ගියෙමි. පරිගණක විද්‍යාව අද තරම් ප්‍රචලිත නොවූ යුගයක අදහස් ප්‍රකාශනයට සිංහල වදන් නොමැති වූ විට වදන් නිර්මාණය කළෙමි. (වෙබ් අඩවිය, බාගත කිරීම, ජව ගැන්වීම යනාදිය මා එසේ නිර්මාණය කළ වදන් කිහිපයකි.) ඉන්පසු 1997දී මම ලංකාවේ පළමු පරිගණක ප්‍රකාශනය අනේක ගැටළු මැද නිර්මාණය කළෙමි. මගේ සංස්කාරකත්වයෙන් යුතුව 1999දී විජය පරිගණක නමින් එය සඟරාවක් බවට පත් වූ අතර වසර දෙක තුනෙක කාලයක් තුළ අලෙවිය පිටපත් 20,000 ඉක්මවා ගොස් තිබිණි. මේ හැරුණු විට මට බැංකු ක්ෂේත්‍රයේ පරිගණක භාවිතය ගැන නොමඳ දැනුමක් වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවේදී බැංකු අධීක්ෂණ කටයුතු වලට සම්බන්ධව සිටි හෙයිනි. අන්තර්ජාතික මට්ටමින් මම නාලක ගුණවර්ධන හා එකතුව ලංකාවේ ඉන්ටර්නෙට් ව්‍යාප්තිය පිළිබඳව පර්යේෂණ පත්‍රිකා දෙකක් ඒ වන විට ලියා පළ කොට සිටියෙමි. මේ නිසා තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනයට (ICTA) එක් වීමට මා මූලික සුදුසුකම් සපුරා ඇති බැව් මම අවංකව විශ්වාස කළෙමි.

පුදුමයකට මෙන් මට තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනයට (ICTA) සම්බන්ධ වීමට ඉඩ ලැබෙන්නේ නැත. ඊට හේතුව මම තවමත් හරියටම නොදනිමි. එහෙත් අනුමාන වශයෙන් සිතා ගත හැකිය. ඊ-ශ්‍රී ලංකා (e-Sri Lanka) යනු ඉන් පෙර ක්‍රියාත්මක වූ මහාචාර්ය වී. කේ. සමරනායකගේ නායකත්වයෙන් යුතු සින්ටෙක් (CINTEC) ආයතනය ප්‍රතිස්ථාපනය පිණිස වෙනත් ආයතනයක් නිර්මාණය යෝජනා කළ වැඩ සටහනකි. එහිදී එවක බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ රජයට මහාචාර්ය සමරනායක වෙනුවට වෙනත් නායකත්වයක් ඊට ලබාදීමේ දේශපාලන අවශ්‍යතාවයක් විය. ඊ-ශ්‍රී ලංකා (e-Sri Lanka) වැඩ පිළිවෙළෙහි ආරම්භක සභාපති වන්නේ දැනට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු වන එරාන් වික්‍රමරත්නය. මෙහිදී මහාචාර්ය සමරනායක කොන් කිරීම පිණිස ඔහු හා කලින් වැඩකළ බොහෝ දෙනකු ඕනෑකමින්ම කතුරට හසු කිරීමට උත්සාහයක් තිබිණි. මම මහාචාර්ය සමරනායක සමඟ සින්ටෙක් (CINTEC) ආයතනයේදීද ඉන් පිටතදීද කිට්ටුවෙන් වැඩ කළ කෙනෙක්මි. මට විරුද්ධව ක්‍රියාත්මක වන්නට ඇත්තේද මේ කතුරම විය හැකිය.

තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනයට (ICTA) එකතු වීමට නොහැකි වීම නිසා මට මුහුණ දෙන්නට වූ ගැටළු විශාලය. මන්ද තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ මගේ සම්මාදම ගැන දැන සිටි බොහෝ පිරිස් නිසැකවම මේ අලකලංචිය වන්නට ඇත්තේ මා යූ. එන්. පී. විරෝධියකු බව උපකල්පනය කළ නිසාය. යූ. එන්. පී. ආණ්ඩුවක් බලයේ සිටියදී “යූ. එන් පී. විරෝධී” හංවඩුව වැදීම භයානකය. විශේෂයෙන්ම එවක රැකියාවක් සොයමින් සිටි මට එය ප්‍රශ්න ගණනාවකට මුල පිරීමකි. රාජ්‍ය අංශය මට අත තියන්නට බියවීම තේරුම් ගත හැකිය. පෞද්ගලික අංශය පවා මා ගාවා ගැනීමට අකැමැති වූයේ එසේ වීම රාජ්‍ය අංශයේ ව්‍යාපෘති දිනා ගැනීමට බාධාවක් වෙතැයි සලකා විය හැකිය.

තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනයේ (ICTA) රැකියාවක් ලබා දීම කෙසේ වෙතත්, අඩුම වශයෙන් මට වැදී ඇති “යූ. එන්. පී. විරෝධී”, “ආණ්ඩු විරෝධී” ලේබලය ගලවා ගනු පිණිස ස්වේච්ඡා පදනම යටතේ, වැටුපක් නැතිව හෝ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනයේ (ICTA) ව්‍යාපෘතියකට සහභාගි වන්නට ඉඩ දෙන ලෙස ඉල්ලමින් මම එවක විද්‍යා හා තාක්ෂණ ඇමැති මිලින්ද මොරගොඩට ඊයන්ද, එය සාර්ථක නොවූ කල්හි සාමාන්‍ය තැපෑලෙන් ලියුම්ද යැවීමි. ඒ මගේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දායකත්වය ගැන නිදර්ශන ලබා දෙමිනි. මේ කිසිවකට අඩු තරමින් ලැබුණු බව දන්වා වත් පිළිතුරක් නොවීය. මේ අද තොරතුරු දැන ගැනීමේ අයිතිය, මහජන සේවය ගැන කතා කරන මිලින්ද මොරගොඩමය!!

මහාචාර්ය වී. කේ. සමරනායක, ලලිත් වීරතුංග හා මංජු හත්තොටුව

මට මාස හතරක පැවරුමකට තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනයට (ICTA) සම්බන්ධ වීමට ලැබෙන්නේ 2004දී යූ. එන්. පී. ආණ්ඩුව පෙරළුනායින් පසුවය. එහිදී ලලිත් වීරතුංග මහත්තයාගේ සේම එවක තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන විධායක මංජු හත්තොටුවගේද මැදිහත්වීම කෘතඥතාපූර්වකව සඳහන් කරමි. මා අනුයුක්ත කරන ලද්දේ වසන්ත දේශප්‍රියගේ නායකත්වයෙන් යුතු ඉ-රාජ්‍ය වැඩ සටහනටය.

තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනයේ සේවය කළ සිව් මසෙක කාලය තුළ මවිසින් රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කරන ලදෙදේය කීවොත් එය මුසාවෙකි. නමුත් අඩු තරමින් අපට ජනගහණ රිජිස්ටරය (population registry) සම්බන්ධ ව්‍යාපෘතිය ඇරැඹීමට ලැබීම විශාල ජයග්‍රහණයකි. එසේම මේ කාලයේ ක්‍රියාත්මක වූ තවත් ව්‍යාපෘති රාශියකට මගේ සම්මාදම ලැබිණි. කිසි දිනෙක භාවිතයට නොගන්නා ලදත්, ඊ-ශ්‍රී ලංකා තේමා ගීතය විය හැකිව තිබුණු පහත ගීතය මවිසින් රචනා කරන ලද්දේද මේ කාලයේදීමය.

විදු යොතින් නුබ ගැබෙන් ඇදෙනා -ලොවම එක ගමක් වී බැඳුනා
නව දැයක මං ලකුණු හැඳිනා -පරිගණක නුවනගර මැවුනා

විදුහලට – වැඩපලට – කම්හලට – නිවහනට
විදුලි නැණ පවනක්ව හමනා

හෙට දවස ලොව දිනන – මතු රැකෙන සිප් සතර
දැනුම දෝතින් රැගෙන අමිලා
ගම් දනව් අගනගර – බෙදෙන වැට කඩුලු බිඳ
සදන පුරවැසි අරුත් විපුලා
සතරදිග නව පුවත් – දුටුමතින් එකතුකොට
හනික අතැඟිලි තුඩට ගෙනෙනා
විදුහලට – වැඩපලට – කම්හලට – නිවහනට
විදුලි නැණ පවනක්ව හමනා

සකල ලක් දුපුතුන් එකම මහ නදියක්ව
ගලන ඉදිරිය බලා නිතිනා
එමඟ ඉඳුකිලක් වී – උන්ට පෙරමඟ කියන
විදුරුමිණි මන එකට බඳිනා
දිනිඳු නැණ අඳුරු බිඳ – නැණස පහණින් විදුල
සහස්වස නියමුවන් තනනා
විදුහලට – වැඩපලට – කම්හලට – නිවහනට
විදුලි නැණ පවනක්ව හමනා

එතැන් පටන් ඊ-ශ්‍රී ලංකා වැඩ සටහනට මගේ වැඩිම දායකත්වයක් තිබුණේ විවේචකයකු ලෙසිනි. 2010දී ලක්බිම පුවත්පතට ලියන ලද පහත ලිපිය විවේචනයට අවශ්‍ය වූ විටෙක මම මිතුරන් වත් අතැර නැති බව සාක්ෂියකි. (අදත් මේ ලිපිය වසන්ත දේශප්‍රිය මල්ලීට සේම මහින්ද දේශප්‍රිය අයියාටද වැදගත් විය හැකි ආකාරයේ එකකැයි මට සිතේ.)

_______________________________________

ඡන්දෙට නැති පරිගණක කොස් කොටන්නද?

චානුක වත්තේගම

පසුගියදා පවත්වන ලද ජනාධිපතිවරණය හා සම්බන්ධ එක් සුවිශේෂී සිදුවීමක් වූයේ ඉන් දෙවන ස්ථානයට පත් ජනරාල් සරත් ෆොන්සේකාට තම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව පවා අහිමි වීමයි. ඔහුගේ නම ඡන්දදායකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වී නැත්තේ යම් ‘තාක්ෂණික දෝෂයක්’ (technical error) නිසා බව කියැවිණි.

මෙහි පසුබිම මම නොදනිමි. එහෙත් මේ සිද්ධිය ඉතා වැදගත් කාරණයක් හෙළි කරයි. එනම් අපේ රටේ ඡන්ද දායක ලැයිස්තුවල මේ රටේ අවශ්‍ය වයස සම්පූර්ණ කළ පුරවැසියන් යම් පිරිසකගේ නම් නොමැති බවය. වෙනත් විදියකින් කිව්වොත් ‘තාක්ෂණික හේතූන්’ නිසා තම නම ඡන්ද දායක ලැයිස්තුවට ඇතුළුකොට නොගැනීමට ලැබීමෙන් යම් පිරිසකට සිය මූලික අයිතියක් වන ඡන්ද බලය පවා අහිමි වන බවය. සංඛ්‍යාත්මකව මේ පිරිස කෙතෙක් විශාල දැයි මම නොදනිමි. එහෙත් ජනරාල් ෆොන්සේකා මුහුණ පෑ අවස්ථාව කලාතුරෙකින් කෙනකු මුහුණ දෙන අහඹු සිද්ධියක් විය නොහැකිය.

ඡන්ද ලැයිස්තුවල හා සැබෑව අතර ඇති පරස්පරය නිසා අවුල් ඇතිවූ මුල් අවස්ථාව මෙය නොවේ. 2006 දී කොළඹ නගරසභා මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම ප්‍රතික්ෂේප වූයේ එහි එක් අපේක්ෂකයකුගේ නම ඡන්ද දායක ලැයිස්තුවේ නැති නිසාය. එහෙත් ඒ අපේක්ෂකයා දහ අට වන විය සපිරූ තරුණයෙකි. මෙහිදීද සිදුව ඇත්තේ ලැයිස්තු සෑදීමේ ඇති අකාර්යක්ෂමතාව විසින් සැබැවින්ම ඡන්ද අයිතිය ලැබිය යුත්තකුට එය ලබා නොදීම තුළ ඇතිවූ ව්‍යාකූල තත්ත්වයයි.

එසේම ජනාධිපතිවරණ ක්‍රියාවලිය තුළදී මේ සම්බන්ධව ඇති වූ කතා බහේදී පැහැදිළි වූයේ මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් අදාළ මැතිවරණය සඳහා භාවිතා කරන ලද්දේ අඩු තරමින් වසරකට වත් ඉහත පිළියෙළ කරන ලද ලැයිස්තුවක් බවය. එවැන්නක් කෙතෙක් සම්පූර්ණ විය හැකිද? අදාළ වසර තුළ දහ අටවන විය සම්පූර්ණ කරන තරුණ තරුණියක් කිසිවකුගේ නම් ඊට ඇතුළත් නොවේ. එසේම එම වසර තුළ මියයන හෝ විදේශ ගතවන (එනිසා ඉවත් කළ යුතු) පිරිසගේ නම් ඊට ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ අනෙකුත් සංඛ්‍යාලේඛන හා සන්සන්දනය කොට බැලීමෙන් මේ තුන් පිරිස ලක්ෂ හතක් පමණ වේ යැයි උපකල්පනය කළ හැකිය.

මීට අමතරව තවත් කාරණාවක් මේ ලැයිස්තුව අසම්පූර්ණ කරයි. ඒ එකම පුද්ගලයාගේ නම තැන් දෙකක ලියා පදිංචි වී තිබීම නිසාය. දත්ත පරිගණක ගත කොට තිබියදීත් මෙසේ වන්නේ කෙසේද මම නොදනිමි. අද කෙසේවෙතත් එක් යුගයක මෙරට එකම හැඳුනුම්පත් අංකය ඇති කිහිපදෙනකු සිටි බව නම් මම වෘත්තීය අත්දැකීමෙන් දනිමි.

මේ සියල්ලෙන් බැස ගත හැකි නිගමන කිහිපයක් වේ. එනම් හුදෙක් ඡන්ද ලැයිස්තු පිළියෙළ කිරීමේ ක්‍රමයේ ඇති දෝෂයන් හා අකාර්යක්ෂමතාව නිසාම ඡන්ද බලය හිමිවිය යුතු යම් පිරිසකට එය හිමි නොවන බවය. අනෙක් අතට ඡන්ද බලය හිමි නොවිය යුතු පිරිසකගේ නම් ඊට ඇතුළු වීමෙන් යම් මට්ටමක ඡන්ද දූෂණවලට මඟ පාදන බවය.

අවාසනාවන්තම කාරණාව මේ රටේ තොරතුරු තාක්ෂණය මේතරම් ඉහළින් භාවිතා වන්නේය කියන යුගයක මෙවැනි දේ සිදු වීමයි.

රාජ්‍ය අංශය තුළ තොරතුරු තාක්ෂණය භාවිතාව ගැන කතා කිරීමේදී ඒ සම්බන්ධව කේන්ද්‍රීය වගකීම් හිමි තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනයේ (ICTA) කාර්යභාරය සාකච්ඡාවට ලක්වීම නොවැළක්විය හැකිය. තම ආයතන තුළ කටයුතු පරිගණකකරණය කිරීම ඒ ඒ රාජ්‍ය ආයතනයේ වගකීම මුත් සමස්ත රාජ්‍ය අංශය ඒ මට්ටමට ඔසවා තබන දැක්ම තීරණය කිරීම එම ආයතනයේ වගකීම නිසාය.

ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික ආණ්ඩු හා ආණ්ඩු ප්‍රතිනිර්මාණය (Re-engineering Government) පිළිබඳ දැක්ම පිළිබඳව කතා කිරීමේදී ප්‍රධාන වූ පුද්ගලයන් දෙදෙනෙක් වෙති. දැනට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ ආණ්ඩු ප්‍රතිනිර්මාණය පිළිබඳ අධ්‍යක්ෂක වසන්ත දේශප්‍රියයි. මේ දෙදෙනාම දීර්ඝ කාලයක් ආණ්ඩුවේ පරිපාලන සේවයේ නිරතවූ පළපුරුදු නිලධරයන්ය. එසේම දැනට ජනාධිපති ලේකම්වරයා පරිපාලන සේවයේ උසස් නිලධරයකු හැටියට පූර්ව-පරිගණක යුගයන්හීදී පවා රජයේ ආයතන වල කටයුතු පුරවැසියන්ට පහසුවෙන් කරගත හැකිවනසේ කරන ලද ප්‍රගතිශීලී වෙනස්කම් රාශියකට මුල් වූවෙකි. (උදා: දශක කිහිපයකට ඉහත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියා පිළිවෙල ප්‍රතිනිර්මාණය කිරීම) ඔවුන් රටට සේවය කිරීමේ පැහැදිළි උවමනාවක් හෙවත් ‘උණක්’ ඇති, නම්‍යශීලී, හැමවිටම අනුන්ට කන්දෙන නිලධරයන් බවටද සැක නැත. මේ දෙදෙනා සමඟම මම රාජකාරි කොට ඇත්තෙමි. පුරවැසියකු හැටියට ආණ්ඩුවේ සේවාවන් ලබා ගැනීමේදී මට මුහුණ දෙන්නට සිදුවූ යම් යම් මෙහෙයුම් ගැටළු (Operational issues) පිළිබඳව පුද්ගලිකව මා නැඟූ අඳෝනා වලට කන් දීමට පමණක් නොව මගේ නිරීක්ෂණ මත ගත යුතු ක්‍රියා මාර්ග ගත් බවද මෙහිදී සඳහන් කරන්නේ කෘතඥපූර්වකවය.

එහෙත් අවාසනාවකට මෙන් ආණ්ඩු සේවයේ ඔවුන් ලද දීර්ඝකාලීන අත්දැකීම් ඉලෙක්ට්‍රොනික ආණ්ඩු දැක්ම පුළුල් කිරීමට මෙන්ම එය සීමා වීමටද හේතුවී ඇත්තේය. ආණ්ඩුවේ නිලධර දැක්ම අනිවාර්යයෙන්ම පුරවැසි අවශ්‍යතා සමඟ සම්පාත විය යුතු නොවේ. සමහරවිට මේ දෙක අතර විශාල හිඩැසක් තිබිය හැකිය. පුරවැසියකු හැටියට රාජ්‍ය පාලනය කිරීමේ ක්‍රියාවලියන්ට තොරතුරු තාක්ෂණය නිසිසේ බද්ධ නොවීමෙන් විශ්ලේෂණය කිරීම මේ ලිපියේ අරමුණයි. මෙහෙයුම් ගැටළු නොව ඊට ඉහළ තලයක දැක්ම ගැන කතාකරන හෙයින් එය රටේ අනෙකුත් පුරවැසියන් සමඟ බෙදාහදා ගැනීමේ අවශ්‍යතාවය මම දකිමි. මේ නිර්මාණාත්මක විවේචනයට මා යම් දවසක මේ වැඩ සටහනේම කොටස්කරුවකු වී සිටීම බාධාවක් සේ මම නොදකිමි.

ඊ-ශ්‍රී ලංකා වැඩ සටහන ආරම්භ වන්නේ එවක අගමැති රනිල් වික්‍රමසිංහගේ උත්ප්‍රේරණයෙන් ලෝක බැංකු ව්‍යාපෘතියක් සේ 2002දීය. ඉලෙක්ට්‍රොනික ආණ්ඩු සංකල්පය මත ආණ්ඩු සේවා ප්‍රතිනිර්මාණය කිරීම තුළින් වඩා පහසු, ඉක්මන් සේවාවන් පුරවසියාට ලබා දීම තුළින් පුරවැසියා සවිබල ගැන්වීම මෙහි එක් සංරචකයක ප්‍රධාන අරමුණ වේ. මගේ මතකය නිවැරදිනම් සම්පූර්ණ ඊ-ශ්‍රී ලංකා වැඩ සටහන සඳහා වෙන් කරන ලද ලෝක බැංකු ණය මුදල ඩොලර් මිලියන 50 (රුපියල් කෝටි 500) වන අතර ඉන් ඩොලර් මිලියන 11ක් ඉලෙක්ට්‍රොනික ආණ්ඩු සංරචකය සඳහාය. පසුව ආණ්ඩුවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල යනාදිය සම්බන්ධ කරන දීප ව්‍යාප්ත පරිගණක ජාලයක් ගොඩ නැඟීම සඳහා තවත් ඩොලර් මිලියන 15ක කොරියානු ආධාරයක් ලැබේ.

ඊ-ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කරන ලද පළමු කාර්යයක් වන්නේ ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ආණ්ඩු සේවාවන් හඳුනා ගැනීම සඳහා වන උපදේශක ව්‍යාපෘතියකි. අද පවා ඉලෙක්ට්‍රොනික ආණ්ඩු දැක්ම බොහෝ දුරට ගොඩ නැඟී ඇත්තේ (සුළු වෙනස් කිරීම් කිහිපයක් සහිතව) රනිල් වික්‍රමසිංහ යුගයේ ආරම්භ කරන ලද මේ ව්‍යාපෘතියේ උපදෙස් අනුවය. ඉලෙක්ට්‍රොනික ආණ්ඩුකිරීම පිළිබඳ මගේ අත්දැකීම් වලට අනුව, මේ ව්‍යාපෘතිය සිදුකරන ලද ආකාරයේ මූලික ලුහුඬුතාවක් මම දකිමි. මතකය නිවැරදි නම්, රුපියල් මිලියන විස්සක වියදමින් කරන ලද මෙහි එක් ප්‍රධාන භූමිකාවක් සම්පූර්ණයෙන් අමතකකොට දමා තිබේ. ඒ ඉලෙක්ට්‍රොනික ආණ්ඩු ක්‍රමයක අවසාන ප්‍රතිලාභියා විය යුතු පුරවැසියාය. මේ උපදේශක කණ්ඩායම මොනම අවස්ථාවකවත් පුරවැසි අදහස් ලබා නොගනී. අනෙක් අතට එය දිගින් දිගටම අවධානය යොමු කරන්නේ නිලධර අදහස් කෙරෙහිය. මේ නිසා පුරවැසියා වෙනුවට නිලධරයා සවිබල ගැන්වෙන දැක්මක් නිර්මාණය වේ. මේ දැක්ම අනුව ගොඩ නැඟෙන ඉලෙක්ට්‍රොනික ආණ්ඩුව නිලධරයකුට ජීවිතය බෙහෙවින් සැපපහසු එකක් කරයි. එහි වරදක් නැත. නමුත් අනෙක් අතට නිලධරයාට තම ජීවිතය සුව පහසු කර ගැනීමට අවකාශය ලැබෙන්නේ පුරවැසියා මත පටවන ලද අමතර බරක් නිසා නම් එය අපේ අවධානයට බඳුන් විය යුතුය.

ඡන්ද ලැයිස්තු සකස් කිරීමේදී සිදුවන ව්‍යාකූල තත්වයන්ටද මෙය අදාළය. කොයිතරම් පරිගණක සන්නිවේදන තාක්ෂණය භාවිතාකළද තවමත් ඡන්ද ලැයිස්තු පිළියෙළ කිරීමේ කාර්යය වන්නේ නිලධරයාට පහසු විදියටය. නැතිව පුරවැසියාට ඕනෑ ආකාරයට නොවේ.

ඡන්ද හිමියන්ගේ නාම ලේඛනය තවමත් ග්‍රාම නිලධාරින් හරහා ලබා ගැනෙන්නේ පුරවැසියන් සපයා දෙන දත්ත මත පදනම්වය. මේ ක්‍රමය යටත්විජිත යුගයේ සිටම පැහැදිළිව වෙනස් වී නැතැයි සිතමි. මේ දත්තයන්ගේ සම්භවය පුරවැසියා වන නිසා ඒ සැකසීමේදී වන වැරදි වලින් නිලධරයන්ට අත සෝදා ගැනීමට හැකිය. උදාහරණයක් හැටියට වැරදීමකින් යම් ඡන්දදායකයකුගේ නම ඇතුළත් කිරීම මඟ හැරුනොත් එය යළි ඇතුළත් කිරීමක් සිදු නොවේ. (ස්ථාන දෙකක වසන්නන් සම්බන්ධයෙන් මෙය සුලබව සිදු විය හැකි වරදකි.) එසේම පදිංචිය මාරු කිරීමේදී නව පදිංචි ස්ථානයට අදාළ ග්‍රාම නිලධරයා අතින් පෝර්මයක් නොලැබුණේ නම්ද ඡන්ද ලැයිස්තුවට නම ඇතුළත් නොවීමේ ඉඩක් පවතී. අතරමැදි ක්‍රියාවලියේ වැරදි කා අතින් සිදුවුවද අවසානයේ සියළු වැරදිවල පව් ගෙවීමට සිදුවන්නේ පුරවැසියාටය. නිලධරයෝ ඒ සම්බන්ධව කිසිම වගකීමක් නොගනිති.

මෙහිදී අනිවාර්යයෙන්ම ඇසිය යුතු ප්‍රශ්නය මේ පරිගණක යුගයේ පවා මේ කාර්යය වඩා කාර්යක්ෂ්ම ලෙස, පුරවැසියාට වඩා ඵලදායක ලෙස සිදුකළ නොහැකිද යන්නය. කළ හැක්කේ කෙසේද කියා දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට අදහස් නොකළත් අනිවාර්යයෙන්ම මෙය පරිගණක සන්නිවේදන තාක්ෂණය භාවිතා කොට ඉතා පහසුවෙන් කළ හැකි බව පමණක් කිව යුතුය. ලෝකයේ වෙනත් බොහෝ රටවලින් ඒ සඳහා උදාහරණ සැපයිය හැකිය.

2010 නොව 2005 ජනාධිපතිවරණයට නිකුත්කළ මහින්ද චින්තන වැඩ පිළිවෙලෙහි තොරතුරු තාක්ෂණය රාජ්‍ය පාලනය ක්‍රමවත් කිරීමට යොදා ගැනීම ගැන මෙසේ සඳහන් වේ.

1. විදුලි සංදේශ සේවා සහ තොරතුරු සන්නිවේදන සේවා දිවයින පුරා ප්‍රචලිත කිරීමට අවශ්‍ය වන දීප ව්‍යාප්ත යටිතල පහසුකම් ජාලයක් ඇරඹීමට කටයුතු සලසනු ඇත.

2. විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණය උපයෝගීකර ගනිමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන ව්‍යුහය මඟින් සපයනු ලබන සේවාවන් කාර්යක්ෂම අයුරින් හා කඩිනමින් ජනතාවට ලබා දීමට අවශ්‍ය පහසුකම් යොදනු ඇත.

3. කාලයක් තිස්සේ අඩුවක්ව පවතින සංඛ්‍යාන දත්ත පද්ධති, හදිසි ආපදා සේවා පද්ධති, හා භූ විෂමතා සේවා පද්ධති ගොඩ නැඟීම සඳහා නොපමාව ක්‍රියා කරමි.

මින් සමහරක් සාර්ථකව ඉටුවී ඇත. විශේෂයෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලද ඇතුළත්ව රාජ්‍ය ආයතන ගණනකට පරිගණක හා සන්නිවේදන උපකරණ සපයා තිබේ. සන්නිවේදන ජාලද ගොඩ නැඟී ඇත. නමුත් මේ පද්ධති කිසිවක් තවම පුරවැසියා වෙනුවෙන් සේවය කරන බවක් නොපෙනේ. මේ පද්ධතීන් පුරවැසියා වෙනුවෙන් සේවය කරන්නේ නම් මෙවැනි සරල වැරදි සිදු විය නොහැකිය. තාක්ෂණය හා පුරවැසියා අතර යා කළ නොහැකි පරතරයක් ඇති බව පමණි අපට පෙනෙන්නේ.

මෙය ඉටු නොවීමේ ප්‍රධාන ගැටළුව සේ මා දකින්නේ තාක්ෂණය නොමැති වීමවත් (නැතොත් ඒ සඳහා මුදල් නොමැති වීමවත්) තෝරාගනු ලැබූ තාක්ෂණයේ ඇති වරදක් වත් නොව මේ විසඳුම් තුළින් තවමත් පුරවැසියා සවිබල නොගැන්වීමය. ඊට අවශ්‍ය වන්නේ අළුතින් පරිගණකකරණයක් නොව ක්‍රියාවලිය වෙනස් කිරීමකි. (Process change) නිලධරයා සවිබල ගැන්වීම යහපති. එහෙත් ඒ සිදුකිරීමේ මූලික අරමුණ විය යුත්තේ පුරවැසියාට අවශ්‍ය සේවාවන් ලබා දීම පිණිසය. මෙහිදී කේන්ද්‍ර විය යුත්තේ නිලධරයා නොව පුරවැසියාය. පද්ධති සකස් විය යුත්තේ නිලධරයන්ට නිදහසට කාරණා ඉදිරිපත් කිරීම පහසු කිරීමට නොව පුරවැසියාට අවශ්‍ය සේවාවන් සැපයීම පිණිසය. එසේ නැතිව නිලධරයා පමණක් සවිබල ගැන්වෙන දැක්මක් තුළින් සිදුවනු ඇත්තේ කොටිතරම් පරිගණක භාවිතාවන පරිසරයක් තුළ වුවද පුරවැසියාට ඉන් ප්‍රතිලාභයක් අත් නොවීමයි.

Advertisements

9 responses to “34. වසන්ත දේශප්‍රිය සමඟ ඉලෙක්ට්‍රොනික් රාජ්‍යය ගොඩ නැඟූ දවස්

  1. //තාක්ෂණය හා පුරවැසියා අතර යා කළ නොහැකි පරතරයක් ඇති බව පමණි අපට පෙනෙන්නේ.//

    ඔබ හරි. මෙතනදි ලොකු ම ගැටළුව වෙන්නේ තාක්ෂණය කෙරෙහි පොදු ජනයා වගේම රාජ්‍ය සේවයේ ඇතැමුන්ගේ තියෙන අවිශ්වාසය විදිහටයි මං දකින්නේ.රාජ්‍ය සේවයේ බොහෝ කාාර්යයන් පරිගණකගතවී ඇති බව පේන්න තිබ්බත් .
    උදා- පැමිණීම- පිටවීම සඳහා ඇති පරිගණක වැඩසටහන
    වැටුප් ගෙවීම්- පේ රෝල්
    මුදල් පොත – සිගාස්
    ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම පරිගණක ගත වී ඇති අතර අවශ්‍ය සියළුම ලියිවිලි සපයා ඇත්නම් උපරිම විනාඩි 5ක් ඇතුලත ආදයම් බලපත්‍රය ලබා ගත හැකි වේ.

    නමුත් දැකිය හැකි අනිත් ප්‍රධාන ලක්ෂණය වන්නේ , පරිගණත වැඩසටහන හා සමගාමීව සියළු පොත් පත් ද එලෙසම භාවිත වීමයි.ඒ කියන්නේ රාජකාරි දෙගුණ වෙලා. පොතෙත් ලියනවා පරිගණකත් ගත කරනවා. ඒ මොක ද? තාක්ෂනය ගැන විශ්වාසයක් නැති නිසා .

    අනික රටේ ඉන්න ජනතා නියෝජිතයන්ට වුනත් තාක්ෂනය පිලිගන්න බැහැ නේ…. “ මේ ඔක්කම කම්පියුටර් ජිල්මාට් “ඉතින් කොහොම ද මහජනතාව තාක්ෂණය විස්වාස කරන්නේ.

    රාජ්‍ය සේවකයන් බහුතරයකට ලබා දුන් ඊ-සිටිසන් පුහුණූ වැඩසටහනත් ICDL සහතික පත්‍රය ලබා ගැනීමේ පුහුණූ වැඩසටහනත් පිළිබද ව ස්තූතිය පුද කරන්නට මෙය අවස්ථාවක් කර ගනිමි.

  2. you are a multifaceted ,complex guy !
    excellent post BTW

  3. රාජ්‍ය අංශය සඳහා වන තොරතුරු තාක්ෂණ ව්‍යවස්ථාව තවම ක්‍රියාත්මක නැත්තේ ඇයි? (පළාත් සභා සඳහා)

  4. Use of ICT need to be more ubiquitous, ie, people using the technology without really knowing a great detail about it.

  5. Asanga Chandrawansa

    @චානුක
    වෙබ් අඩවිය, භාගත කිරීම වැනි වචන ඔබේ නිර්මාණ බව මා දැනගත්තේ අදයි.

    සුනන්ද දේශප්‍රියගේ එක සහෝදරයකු ගැන මට කතාවක් මතක් වුනා. මෙය මට කීවේ ඔහුගේ සමකාලීන සරසවි සගයෙක්. මේ කොයි සහෝදරයා ගැනද කියා මා දන්නේ නැහැ. මොහු තරුණ අවධියේ අයදුම් කළා සිවිල් සේවයට. ඔහුගේ සම්මුඛ පරීක්ෂණය පැවැත්වුනේ කොළඹ මුහුද පෙනෙන මායිමේ තිබුණු යම්කිසි ගොඩනැගිල්ලකයි. පරීක්ෂණ මණ්ඩලයට ඔහු වැඩිය දිරෙව්වෙ නැති ගතියක් තිබුනා. ඔහු තරමක් දඩබ්බර චරිතයක්. අයදුම්කරු උපාධියට භුගෝල විද්‍යාව හදාරා තිබුණු බව දත් පරීක්ෂණ මණ්ඩලය සාවඥ ලීලාවෙන් ඇසුවා සිතියමක ඉන්දියන් සාගරයවත් පෙන්විය පෙන්විය හැකිදැයි කියා. ඔහු ගත් කටටම කිව්වා ජනේලෙන් පිටත බලන්න කියලා.
    (මා ඔවුන්ගේ සමකාලීනයෙක් නොවෙයි. මට එතරම් වයස නැහැ. ඔබ විදුසරෙහි සේවය කරන කාලයේ මා ඔබේ ලිපි කියවූවා අවුරුදු 12-13 විතර. උඩ කියූ කතාවේ සත්‍යතාවය ගැනත් මා දන්නේ නැහැ. එය urban legend එකකුත් විය හැකියි.)

    • අනිවාර්ෙයන්ම ඔහු වර්තමාන මැතිවරණ ෙකාමසාරිස්තුමා වන මහින්ද දේශප්‍රිය මහතා විය යුතුයි.

  6. කොහොමත් සිහිසටහන් බලනා මම මේ සටහන දෙසට වේගයෙන් යොමු වූයේ ‘වසන්ත දේශප්‍රිය සමඟ ඉලෙක්ට්‍රොනික් රාජ්‍යය ගොඩ නැඟූ දවස්‘ නම් මාතෘකාව නිසාම විය යුතුයි. මාතෘකාවේ කොටස් තුනක් මා පෙළඹවීමට හේතුවන්නට ඇති බව පසුව සැලකිල්ලෙන් බැලූ විට අවබෝධ කර ගත්තෙමි. ‘(1) වසන්ත දේශප්‍රිය (2) ඉලෙක්ට්‍රොනික් රාජ්‍යය (3) ඉලෙක්ට්‍රොනික් රාජ්‍යය ගොඩ නැගූ දවස්‘ ඒ කොටස් තුනයි. මුල් කොටස් දෙකම මා අසන්නට දකින්නට වඩාත් ප්‍රිය කරන දේය. ඒ නිසා ම ඉක්මනින් ලිපිය වෙත මා ඇදී එන්නට ඇත.එසේම නුදුරු අනාගතයේ දකින්නට බලාපොරොත්තුවන තත්වයක් අතීත කාලයෙන් දුටු විට ඇති වූ විමතිය තවත් උත්පේරකයක් වන්නට ඇතිය.
    ලිපිය වසන්ත දේශප්‍රිය ගැන හා ඉලෙක්ට්‍රොනික් රාජ්‍ය ගැනම නොවූවත් මේ මාතෘකා දෙක පිළිබඳවම තවත් බොහෝ දේ ලිය විය යුතුමය. චානුක මේ ලිපිය ලියන්නට අද දිනය තෝරා ගැනීමට හේතුව ටක්කෙටම හිතා ගැනීමට නොහැකි වුවත් (හෝ ‘විශේෂ හේතුවක් නොමැත‘ වුවත්) අද දිනය වසන්තගේ ජීවතයේ තවත් බලාපොරොත්තුවක් ඉටු වූ දිනයක් බව නමු සැබෑය. http://www.foss4gov.gov.lk/
    එසේම චානුක කියන්නා වාගේම ඉලෙක්ට්‍රොනික් රාජ්‍ය ගොඩ නැගීමේ කාර්යයේ දී වසන්තගේ භූමිකාව වයසට නොගැලපෙන ‘කේෂ කලාපයෙන්‘ ම පෙනේ.

  7. Wasantha Deshapriya

    චානුකගේ සිහි සටහන දැක්කේ වෙනත් කෙනෙක් මේ ගැන කිව්වටත් පස්සෙයි.
    චානුකට ස්තුතියි සතුටින් සිහිපත් කළ හැකිදේ සිහිපත් කිරීම ගැන.
    චානුක ගැන කලින් අසා තිබුනත් ඔහු ගැන වැඩි පුර දැන ගත්තේ ඔහු සිංහල යුනිකේතයේ මූලික අවුල් ගැන ලිවූ පුවත්පත් ලිපිවලිනුයි. ඉන්පසු කෙටි කල් පැවරුමකට ඔහු අපේ නියෝජිතායතනයට ආපසු මගේ කාර්යාල අසල්වැසියා වුනා. ඔහුට පැවරුනේ ඉ-ජනගහණ ලේඛණයේ සංකල්පය සාක්ෂාත් කිරීමයි. ඒ සදහා අවශ්‍ය වුන ප්‍රධාන දෙයක් දැනට පවතින හැදුනුම් පත් අංකයට වඩාත් නිවැරදි පදනමක් දැමීමයි.
    මේ සදහා ඔහු ගෙනා සාක්‍ෂියක් තවමත් මා ළග සුරැකිව තියෙනවා. ඒ ඔහුගේ සීයාගේ හැදුනුම්පත.
    නම- වත්තේගමගේ අප්පු සිංඤොා්
    උපන් දිනය – 1893-05-03
    හැදුනුම්පත් අංකය – 931240021v
    මෙම අංකය දැනටමත් 1993 උපන් අයෙකුට දී ඇතුවාට සැක නැහැ.
    එයයි ඔප්පු කළ යුතුව එක් දෙයක් වුනේ.
    වසන්ත දේශප්‍රිය

  8. Prasad Siriwardana

    චානුක ඔබ මාතෘකාවේ තිබෙන බරසාරකම ලිපියේ නැහැ. වසන්ත දේශප්‍රිය කියන්නේ වචනයේ පරිසමාප්ත අරුතින්ම දේශයට ප්‍රිය වූවන් අතලොස්සෙන් කෙනෙක්.
    ඹබේ බ්ලොග් අඩවිය මගේ නෙතු ගැටුනේ අපේ ඉ- ව්‍යාපෘතියක මතුවූ ගැටලුවක් පිළිබඳ තොරතුරු සෙවීමේදී අහම්බෙන්.
    ඹබ ඇතැම් ලිපි වල විදුසරට භාවිතා කළ නැවුම් රටාව භාවිතා කර තිබෙන අයුරු අපූරුයි. ඔබට මුණ නොගැසුනු ඔබෙන් පසු විදුසරට එක්වූ මා කුලේ අයියාත්(රාජේන්ද්‍ර කුලසිංහ), මහේන්ද්‍ර අයියා සමඟ ඔබේ ලිපිගැන කථා කළ අවස්ථා සිහිපත් වුනා. යම් ලිපියක් වරක් ලියා දෙවරක් කියවිය හැකි නම් හැම ලිපියක්ම අපූරු ලිපි වේවි.
    ප්‍රසාද් සිරිවර්ධන

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s