Monthly Archives: October 2011

36. දකුණේ මෙන්ම උතුරෙත් හිරු නැඟෙයි උදේ

යාල්පානම්හි දෙදින සංචාරයකින් පසු කොළඹට සේන්දු වූයේ අද උදෑසනය.

“දකුණේ මෙන්ම උතුරෙත් හිරු නැඟෙයි උදේ” කියා කේයස් ලියා වසර පනහකට පසු පුන්කුඩුතිව්හි සිට උදේ හිරු නැඟීමේ ප්‍රසන්න දර්ශනය වින්දෙමි. ජීවිතයේ පළමු වතාවට (හා සමහරවිට අවසාන වතාවට – අනාරක්ෂිත මුහුදු ගමන එතරම්ම වදයකි.)  නාගදීපය පාද ස්පර්ශය කෙළෙමි. වසර 38කට පෙර සය හැවිරිදි දරුවකුව මා සෙල්ලම් කළ සුබ්‍රමනියම් ළමා ක්‍රීඩාංගනයේ දුඹුල් මතක අළුත් කළෙමි.

යාපනයට පා තබන උග්‍ර ආණ්ඩු විරෝධියකුගේ සිතෙහි වුව වර්තමාන ආණ්ඩුව පිළිබඳ අමිල ගෞරවයක් මෝදුවීම නැවතිය නොහැකිය. දෙමළාගෙන් උදුරාගත් ඔවුන්ගේ යාපනය නැවත දෙමළාට උරුම කොට දී ඇත්තේ වත්මන් රජයයි. යාපනයට නොගොස් එය තේරුම් ගත නොහැකිය. උතුරට අවශ්‍ය ඊනියා “දේශපාලන විසඳුමක්” නොව ශිෂ්ට ලෙස, මිනිසුන් ලෙස ජීවත් වීම උදෙසා අවශ්‍ය සමාජය ගොඩ නැඟීමකි.

නාගදීපයේදී බෝටුටුව එනතුරු නාවික භටයකු හා සංවාදයට එළඹීමි. “නිවුස් අහන්නවත් ලැබෙන්නෙ නෑ” කියූ ඔහු භාරත ලක්ෂ්මන් සිද්ධිය ගැන අපෙන් ඇසුවේය. අප දන්නා තරමට විස්තර කළෙමු.

“රැයක් පුරා අමාරුවෙන් කිරි දොවල, අපේ නායකයො ඒකට ගොම දා ගන්න හැටි “ ඔහු සංවේගයෙන් කීවේය. අපට ඊට දෙන්නට උත්තරයක් තිබුණේ නැත.

35. දයාසේන ගුණසිංහ (1936 – 1996) : පහළොස් වැනි අනුස්මරණය

“ගුණේ ගැන මං කතා කරන්නෙ මොකටද බං?” ‘සුනිල් අයියා ඇසුවේය. “උඹටම පුළුවන්නෙ”

අමාරුවෙන් දුරකථන අංකය දැන හොයාගෙන සුනිල් අයියාට (සුනිල් මාධව ප්‍රේමතිලක) මා කථා කළේ දයාසේන ගුණසිංහ මහත්තයාගේ පළමු සංවස්තරය වෙනුවෙන් ටී. එම්. ජී අයියා (ටී. එම්. ජී. චන්ද්‍රසේකර) ජාතික රූපවාහිනියේ කරන්නට අදහස් කළ වැඩ සටහනකට සම්පත් දායකයකු වීමට ඇරැයුම් කරනු පිණිසය.

මම කල්පනාවෙන් වචන තෝරා ගත්තෙමි.

“මෙහෙමනෙ සුනිල් අයියෙ, ගුණසිංහ මහත්තය ගැන සුනිල් අයිය දන්න දේවල් මං දන්නෙ නෑනෙ. සුනිල් අයියට අතීතයෙ ඉඳල කතා කරන්න පුළුවන්නෙ”

මා කීවේ බොරුවක් නොවේ. ගුණසිංහ මහත්තයා ලේක් හවුසියට එක් වන්නේ හැට ගණන් වල අවසානයේදීය.   සුනිල් අයියා වයසින් කෙසේ වෙතත් පළ පුරුද්දෙන් ගුණසිංහ මහත්තයාට වඩා ‘සීනියර්’ය. සිංහල පුවත්පත් කලාව තුළ මේ වන විට ගුණසිංහ මහත්තයාට වසා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු වෙති නම් ඒ සුනිල් අයියා හැරුණු විට තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්තයා පමණක් විය හැකිය. වර්තමානයේ ඉරිදා පත්තර පහකත් (ඉරිදා ලංකාදීප, ලක්බිම ඉරිදා සංග්‍රහය, සිළුමිණ, දිවයින ඉරිදා සංග්‍රහය, රිවිර), දිනපතා පත්තර තුනකත් (ලංකාදීප, දිවයින, ලක්බිම) කතුවරුන් පුවත්පත් කලාවෙහි ගුණසිංහ මහත්තයාගේ ‘ජූනියර්’ ලාය. (ගුණසිංහ මහත්තයා හිටියා නම් මින් සමහරක් තමන්ගේ කණිෂ්ඨයින් හැටියට හඳුන්නා දෙනවාට අකැමැති වීම වෙනම කතාවකි.)

අවසානයේ ඒ වැඩසටහනටත් සුනිල් අයියා සෙට් කර ගැළවෙන්නට මට පුළුවන් විය.

ගුණසිංහ මහත්තයා ගැන පසුගිය පහළොස් වස තිස්සේ මා ලියා, කියා ඇති දේ අතිශයින් අල්පය. ඊට මා සුදුස්සෙකැයි මට තවමත් නොසිතෙයි. එබැවින් මේ අවස්ථාවේදී පවා මා යමක් ලියනවාට වඩා ඔහු ගැන බ්ලොග් අවකාශයේ මින් පෙර පළ වූ ලිපි දෙකක් හා පැදි පෙළක් සංස්කරණයකින් තොරව උපුටා දැක්වීමෙන් මම සෑහීමකට පත්වෙමි. මේ සියල්ලෙහිම මට ලිවිය හැකි දෙයට වැඩි දෙයක් අනිවාර්යයෙන්ම ලියැවී තිබේ. එකඟ නොවිය හැකි තැන් තිබුණද සමස්තයක් ලෙස මා ඒ සියල්ලට කැමැතිය.

——————————

දැනේ දැනටම අඩුව නුඹේ එම අසිපතෙහි

ඒ එක්දහස් නවසිය අසූව දශකයේ මැද භාගයයයි. කොටි සංවිධානය විසින් රට පුරා පුපුරුවා හැරි බෝම්බ නිසා මිනිසුන් සිය ගණනින් මිය යමින් තිබුනි. රටම යම් අරාජික බවකින් වෙලී තිබුනු අතර පාලකයින්ද සිටියේ අන්ද මන්දවය. තත්වය පාලනය කර ගැනීමට ප්‍රමාණවත් යමක් නොකළේ යැයි එවක පැවති රජයට විවේචන එල්ල වෙමින් පැවතිණි.

මේ විවේචන නිසා කුපිත වූ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන,ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙකු විසින් කිසිදා නොකල ආකාරයේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ “ජනතාව තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලසා ගත යුතු” බවයි.

තමනට කළ නොහැක්කේ ගැහැණියෙකු පිරිමියෙකු කිරීම පමණකැයි වහසි බස් දොඩමින් සිටි නායකයාගේ මේ අමන ප්‍රකාශයෙන් කෝපයට පත් එක් පුවත් පත් කතුවරයකු එය තදබල ලෙස විවේචනය කරමින් ඒ ගැන කතු වැකියක් ලිවීය.

මෙවැනි ප්‍රකාශ කිරීමට නම් රටකට නායකයෙකු අනවශ්‍ය බවත්, මෙබඳු කතා කියන නායකයා ගැහැණියෙකු හෝ පිරිමියෙකු විය නොහැකි බවත් ඔහු ලිවීය.

w3 Lanka ලියන පැරා, දයාසේන ගුණසිංහයන්ගේ පෞරුෂය ගැන මොනවා හිතුවත් ගුණසිංහයන් එදා නොකියා කිව්වේ ජේ.ආර්. පොන්නයෙකු බවයි.

මේ කතුවැකිය දු‍ටු විගස කෝපාවිෂ්ට වූ ජනාධිපතිවරයා දිවයින පුවත්පතේ අයිතිකරුවන් වූ තම ඥාතින් වන විජේවර්ධන පවුල ලවා එම කතුවරයා දිවයින පුවත් පතින් එලවා දැමූයේය.එකල පවා මහා ප්‍රගතිශීලි මාධ්‍යවේදින් ලෙස පෙනී සිටී සුගාරලා කසුරිලා තබා අටවෙනි පි‍ටු හරහා ලාංකීය විප්ලවය කිරීමට උත්සාහ කල සුනිල් මාධවටවත් මේ අසාධාරණය හමුවේ කෙලින් සිට ගැනීමට තරම් ශක්තිමත් කොඳු ඇට නොතිබිණි.

තමනට කල නොහැක්කේ ගැහැණියක පිරිමියෙකු කිරීම පමණක් බව කියමින්, දැඩි මර්ධනකාරි ප්‍රතිපත්ති අනුගමනය කරමින් රට පාලනය කල සියලු බලතල ඇති විධායක ජනධිපතිවරයාට එරෙහිව මෙලෙස කතු වැකියක් ලිවීමට තරම් ආත්ම ශක්තියක් තිබූ ඔහු, අප යුගයේ විසූ විශිෂ්ඨතම මාධ්‍යවේදියෙකු වූ එවකට දිවයින ඉරිදා සංග්‍රහයේ සංස්කාරකවරයා වූ දයාසේන ගුණසිංහයන්ය.

මත්පැන් වීදුරුවකට, බත් පිඟානකට තම ආත්මය පාවාදෙන වත්මන් ඊනියා ජ්‍යෝෂ්ඨ මාධ්‍යවේදින් මෙන් නොව ඔහු සැබැවින්ම අභීත හා අදීන පත්තර කාරයෙක් විය.උකුස්සා, රයිගම් රාල බඳු ඔහුගේ සුප්‍රසිද්ධ තීරු ලිපි තුලින් පහර දිය යුතු තැන්වලට ඔහු නොබියව පහර දුන්නේය. හෙලි කල යුතු දෑ නොවලහා හෙලි කලේය.

නමුත් ඔහු අපක්ෂපාති මාධ්‍යවේදියෙකු නොවීය. ඔහු පක්ෂපාතිත්වය සැම විටම තිබුනේ තැලෙන පෑගෙන මිනිසුන් වෙනුවෙනි. කම්කරු සටන් වලදි ඔහු ඔහු කම්කරුවන් සමග සිටියේය. ශිෂ්‍ය අරගල වලදි ඔහු සිසුන් වෙනුවෙන් නොබියව පෙනී සිටියේය.

වත්මන් රජය ගෙනයන සිසු මර්ධනය හමුවේ ඊට උඩගෙඩි දෙමින් සිසුන් දඬුකඳේ ගැසිය යුතුයැයිද, සිසුන් එල්ලා මරා දැමිය යුතු යැයිද කියමින් පාලකයින්ටත් එහා යමින් කතුවැකි ලියන සුගාරලා කසුරිලා බඳු මාධ්‍ය පණුවන් ගැන සිතන විට ගුණසිංහයන් සැබැවින්ම මාධ්‍ය සිංහයෙකි.

ඉංග්‍රිසි,සිංහල භාෂා දෙකේම සප්‍රමාණික උගතෙකු වූ ඔහු විශිෂ්ඨ සාහිත්‍ය කරුවෙක්ද විය. ඔහුගේ ලිපි සාරගර්භ විය. ආකර්ශනීය විය. ඔහු ලිපියකට මාතෘකාවක් යොදන විට පවා බොහෝ සැලකිලිමත් විය. මැලේරියා වසංගතය ගැන ලියු ලිපියකට ඔහු යෙදූ “අනේ ප්ලීස්, ඇනෝප්ලීස්” මාතෘකාව එසමයේ ඉතා ප්‍රචලිත එකක් විය.

මහාචාර්ය සෝමරත්න බාලසූරිය වරෙක පැවසූයේ තම “කරත්තය” නම් වූ සම්මානිත කෙටි කතා සංග්‍රහය සංස්කරණය කොට, ඊට තමන් යෙදු කරත්තකාරයා යන නම වඩාත් ආකර්ශනීය “කරත්තය” ලෙස වෙනස් කලේ දයාසේන ගුණසිංහයන් බවයි.

ඔහු තම දිවියේ ප්‍රමුඛතාවය දුන්නේ පුවත්පත් කලාවට වුවත් සාහිත්‍ය නිර්මාණයෙහිලා අපූර්ව දස්කම් දැක්විය. “කැනල් පාරේ නිශාචරයෝ” හා “කේතුමති හෝටලයේ රාත්‍රියක්” යනුවෙන් කෙටිකතා සංග්‍රහ දෙකක්ද “රන් තැටියක කඳූලු”, “නොවඳිමි සිදුහත්” හා “දොරමඬලාව” යනුවෙන් කාව්‍ය සංග්‍රහ තුනක්ද ලියා පලකලේය.

1988-89 ධවල භීෂණයෙන් පසු ඔහු පලකල දොරමඬලාව කාව්‍ය සංග්‍රහයේ වූ එනමින්ම යුත් පැදි පෙලෙහි ඔහු මෙසේ ලිවීය.

ඉර හඳ පවතින තාක් කල්
මල් පිපෙනු තහනම්
පැණවී අණක් රජ
පල දී පවක් පෙර
දුගඳ වූ මල් සුවඳ

හිරුගෙන් පැහැය ලැබ
සඳුගෙන් රුසිර ලැබ
සුලඟින් සුවඳ ලැබ
මල් පිපුණි පෙර ලෙස
නොතකමින් රජ අණ

ගුගුරා හඬ තැලී රජ
වනසව් සියලු මල්
විස හතු විලස මතුවන
දිය ගොඩ සියලු තැන
නොතකා වැයද වෙහෙසද
………………
………….

තම අයිතිවාසිකම් ඉල්ලා අරගල කරන සරසවි සිසුන් උල තැබීමට පාලකයින්ට උපදෙස් දෙන කාලකන්නි පත්තර කාරයින් සිටින අද වැනි යුගයක, තරුණ පරපුර දෙස දයාවෙන් බැලූ දයාසේන ගුණසිංහ වැනි වුන්ගේ අඩුව බෙහෙවින් දැනේ.

මීට දහහතර වසකට පෙර ,1996 ඔක්තොබරයේ අප අතරින් වෙන්ව ගිය මේ ශ්‍රේෂ්ඨ මිනිසාගේ අවමගුල දා ඔහුගේම දොරමඬලාව කෘතියෙන් උපුටා ගත් කවි පෙලක් කවුදෝ විසින් මුද්‍රණයකර පැමිණි සිටි වුන් අතර බෙදා හැරියේය.

ඒ අදීන පත්තර කාරයාට ගෞරව පිණිස එම කවි පෙළ මෙසේ යලි සටහන් කරමු.

කුණා‍ටුවක් සැන්දෑවක් හා මළගමක්

සිය දහස් ළයෙහි නිහඬව හඬන වේදනා
එක්වන්ව නික්ම ගත් ලෙසින් වා ගැබ සලා
නොසිතු ලෙස හමා ආ සැඩ සුළං රළ නිසා
තුරු ලියද වැලපෙනා සේය ලැම අත් ගසා

මියැදි හිරු මොහොතකින් සිතිජයේ සැඟව යයි
කුණා‍ටුව මැදින් ‍ රැය සොර පියෙන් එනු දැනෙයි
අඳුරු ලොවකට බියෙන් මිළින වූ සැඳෑ එළි
නෙතින් නෙත කඳුලු බිඳු පහන් සිළු මවයි

මිතුරු දිවි මග මෙතෙක් අප කැ‍ටුව ගිය නිබඳ
පමා විය යුතුය අප යන අතර ඔබ තනිව
හිරු එළිය සමග යලි තව දිනක හමු වනුව
මේ සැඳෑවෙහි නොවේ සමු ගැනුම පෙර විලස

රජුන් රියසක් බිඳින අසරණුන් ගෙල මතින්
ඇස නුදූ‍ටු මල් කැකුළු පරව යන සුන් බතින්
ප්‍රශස්තිය සක්විතිව කිරුළු පලඳින රනින්
ලොවක නුඹ මැවුයෙහි අසිපතක් පන් හි‍ඳෙන්

නිමා නැති මහ සටන් ඇවිල යන පෙරමුණෙහි
දැනේ දැනටම අඩුව නුඹේ එම අසිපතෙහි
විරාමය ලද විගස උණුසුමෙන් මී විතෙහි
පිළිසඳර කුමට යළි නුඹ නොමැති සැඳෑවෙහි

දයාසේන ගුණසිංහ- දොරමඬලාව -1991

“ඇටමැස්සා”, දැනේ දැනටම අඩුව නුඹේ එම අසිපතෙහි- A Note on a Real Journalist

ගුනසිංහ.. ගුණසිංහ.. හා මම…

මම ඊයේ හවස ගුනසිංහ දුටිමි.

ගුනසිංහ පණ්ඩිතයෙකි, ගුරුවරයෙකි, කවියෙකි, කතා කරුවෙකි, විචාරකයෙකි, පෙරළිකාරයෙකි. ඔහු සිනමා කරුවෙකි.

ගුණසිංහ ගුරුවරයෙකි, කවියෙකි, කතා කරුවෙකි, විචාරකයෙකි, පෙරළිකාරයෙකි. ඔහු පත්තර කාරයෙකි.

ගුනසිංහ ද ගුණසිංහ ද පේරාදෙණි ගියහ. ගුනසිංහ ගුණසිංහ ට උගන්වන්න ඇතැයි මට සිතේ. ගුනසිංහ පේරාදෙණිකෘත විය. ගුණසිංහ ගුරුකුල වලට හසු නොවීය. රිද්මය රැක්කේය. දෛනික ඇස් රුදාවෙන් තොර විය.

පේරාදෙණියේ ‘රැග්’ වෙමින් උන් සමයක ‘සඳුන්’ පැමිණ සඳුන් තවරා ගියේ ය. එදා ද ඔහු පාසල් බස් රියේ දී මෙන් කිහිල්ලේ පොත් කිහිපයක් ගසාගෙන උන්නේ ය. ප්‍රසන්න ජ්‍යෙෂ්ඨ උත්තමයා සොනාලි අක්කා පෙන්නා අර තමයි ‘ගුණසිංහ’ ගෙ දුව යැයි කීවේ ය.

ගුනසිංහ සරච්චන්ද්‍ර ගේ සීමාවන් ඉක්මවා ගියා දැයි සැක සහිතය. ගුණසිංහ ‘ජේ ආර්’ ගේ හා ‘උපාලි’ ගේ සීමාවන් ට යට නොවූ බව පැහැදිලිය.

පේරාදෙණියේදි පිටපත් කරගත් ‘රන්තැටියක කඳුලු’, අම්මා කුමුදුනී නැන්දා අතේ ගිය පෝයදා එවා තිබුණි.

රන් තැටිය පායා තිබූ දිනෙක අඳුරු හේඩාවෙන් හෙවන නොවී තිබුණු ‘සනාතන මන්දිරය’ පසෙක බංකුවක් මත රන්තැටියක කඳුලු මතුවිය. දෙ හද එකම රිද්මයකට හඬනු මට දැනින. මහවැලියට මල් විසුරන ලිය ගොමු පවා සුවඳ විරහිත විය. බිනර අහසේ මෝදු වූ පුරහඳ රැස්වැද රන්තැටියක කඳුලු දිලිසුනි. අදත් රන්තැටියක කඳුලු නොවි‍යැලී තියෙයි.

ගුණසිංහ පඩිපෙලක් විය. එහි නැඟී විදුලි සෝපාන ගත වූ බොහෝ දෙනෙකු වෙති. ගුණසිංහ අනුදත් නිර්භය, සිලිටි, තියුණු රචනා ශෛලිය නැති නිසා ඉරිදා පත්තර නොකියවමි. රයිගම් රාළ ලියූ ගුණසිංහ මහත්තයා ‘කොලම්’ කෝළම් නොකළේය.

කොහිද ඇල්මක්
වැළඳ සමු ගැනුමට
නොදනිමිද
මුහුණු වසාලූ
මිතුරු සිරියෙන්
නොදනිමිද
හඬන හඬ කිඹුලන්

යැයි ඔහු ලිවුවේ විදුලි සෝපාන ගත වූවන් ගැන විය යුතුය.

උමතුවට ඉඩ හලෙන් මොහොතකට
මළවුන්ට යහන් වු බිම් කඩෙක
නිදන දියණියන් ළඟ උන් රැයෙක
කණමැදිරි දුරු කළා මගෙ තනිය. මට කට පාඩම් ය.

මෙන්දක ගේ රාක්කයේ හිඳ මට බොහෝ අමුත්තන් මුණ ගැසී ඇත. මට ගුණසිංහ හමුවුයේ ද එතැනිනි. ‘මම තාමත් ගුණසිංහ මහත්තයා කියවනවා’ මෙන්දක මූණු පොතේ ලියා තිබිණ.

ගුනසිංහ ද ගුණසිංහ ද ඇවිද ගිය පේරාදෙණි පෙත් මං හි ඇවිදීම ආඩම්බරයක් විය. නිසොල්මන් හන්තාන කඳු සිඛර විනිසුරන් මෙන කල් බලන නිම්නයෙහි අවාරයේ වී මුත් අදත් කහ රොබරෝසියා පිපෙයි. රන්තැටියක කඳුලු පිපුන හිල්ඩා උයනෙහි සුවඳ අමතක නොවන නිසා වැවූ කුඩා රෑ සුරඟනා පැලය අතු බෙදි බෙදී වැවෙයි.

ගුණසිංහ මහත්තයා මගේ රිද්මයේ කවියායි. අන් කවියන්ගේ රිද්මය මට ස්පර්ශවන්නේ ගුණසිංහ මහත්තයා ගෙනි.

නොනිඳයි පහන් තරු ඇස.

මම ඊයේ හවස ගුනසිංහ දුටිමි.

හෂිත, ගුනසිංහ.. ගුණසිංහ.. හා මම… රසවතිය

දයාසේන ගුණසිංහ මිතුරාට ලියූ කවියක්

උදයේ හිරු ගෙට අවුදින්
නිදි වෙරි අරගෙන යන විට
අවදිව මම නුහුරු රටක
සොයනෙමි වදනක් මිය යන

කාමරයේ අසරණ වී
වැලපෙන හෙළ කවි පොත් මැද
සොයා බලමි කවියක් මම
පැරණි මිතුරු රුව සිහිකොට

වදන් පොකුරු අතර දිනෙක
කවි පද සොයමින් ගිය විට
මතකය මට දුන් උවදන්
සෙල් ලිපියක අකුරු ලෙසින

මුලු ලොව ඔබ කවි පද හැම
අමතක කොට ඇති දිනයක
සිළුමිණ පළ කොට ඇත අද
ඔබ කවියක් මුල් පිටුවක

මිය යන මා කවි පද අද
වැලපෙන කල එතර රටක
ඔබ මතකය දුව ගෙන එයි
මිය යන රූපක අරගෙන

(අප‍්‍රියෙල් 3 2010 – ජුන්ඩලප්, බටහිර ඔස්ටේ‍්‍රලියාව)

පර්ත් කවි – සුනිල් ගෝවින්නගේ පද්‍ය නිර්මාණ