Monthly Archives: May 2012

37. ගුණරත්න අයියා

2009 මැයි දහ නම වන අඟහරුවාදා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අනුත්තර නායක වේලුපිල්ලෙයි ප්‍රභාහරන්ගේ මළ සිරුර ශ්‍රී ලංකා යුද හමුදාවේ 53 වැනි සේනාංක නායක (එවකට) මේජර් ජෙනරල් කමල් ගුණරත්න යටතේ වූ භට පිරිස් විසින් නන්දිකඩාල් කලපුව ආසන්නයේදී සොයා ගන්නා ලදී.

මේ පුවත පළ කළ බොහෝ පුවත්පත් මේජර් ජෙනරල් කමල් ගුණරත්නගේ ඡායාරූපයක්ද පළ කොට තිබෙණු මම දිටිමි. යුද්ධ හමුදාවේ උසස් නිලධරයකුට වඩා මට එහි කිසිදු අමුත්තක් නොපෙණුනේය.

සතියකට පමණ පසු ආනන්දයේ හිටපු උපවිදුහල්පතිවරයකු වූ කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා (හෙවත් “ගෂියා” – ජයතිලක සර්ගේ ප්‍රියතම පාඩම ‘දෛශික’ය. ඔහු එය ශබ්ද කළේ අපූරු ආකාරයකටය. මේ විකට නාමය ඒ නිසාය. අගෞරවයකට නොවේ.) යම් පුවත්පතකට  එල්.ටී.ටි.ඊය සමඟ අවසන් සටන මෙහෙයවූ ආදි ආනන්දීය හමුදා නිලධරයන් කීප දෙනෙක් ගැන කතා කොට තිබුණා මතකය.

“කමල් ගුණරත්න ගැන මට මතක ඔහුගෙ උස නිසා. නැතුව පන්තියක හෙම හිටපු ළමයෙක් නෙවෙයි. ඉගෙනීමට වඩා උනන්දුව තිබුනේ බාලදක්ෂ කටයුතු වලට!”

මගේ උරග මනසට විදිලි කෙටුවාක් මෙන් දැනිනි.

ගුණරත්න අයියා!

1979දී සයවන ශ්‍රේණියේ සිසුවකු ලෙස බාලදක්ෂ පුහුණු වීම් වලට සහභාගි වෙද්දී අපේ කණ්ඩායම භාර වූයේ ගුණරත්න අයියාටය. ඔහු වසරකට මඳක් අඩු කාලයක් අප පුහුණු කළේය. එවන් තත්ත්වයක් යටතේ වුව මට ඔහු හඳුනා ගැන්මට නොහැකි වීමට හේතු කිහිපයක් විය. එකක් ප්‍රසන්න අයියා මෙන් නොව ගුණරත්න අයියා යුද හමුදාවට එක්වූ බව මම නොදැන සිටියෙමි. අනෙක මා ඔහු අවසාන වතාවට දුටුවේ 1979දීය. දශක තුනක කාලයක් තුළ ඔහු බෙහෙවින් වෙනස්ව සිටියේය. ප්‍රතාපවත් උඩු රැවුලක් ඔහු වතට එක් වී තිබිණි.

ගුණරත්න අයියා ගැන කියන කොට ප්‍රසන්න අයියා ගැනත් අනිවාර්යයෙන්ම කිව යුතු වෙයි. (එවක) බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වා යුද හමුදාවේ 55වන සේනාංකයට නායකත්වය දෙමින් පුදුකුඩුඉරිප්පු තීරණාත්මක සටනට එක්විය. නමුත් විද්‍යාලය තුළ මේ දෙදෙනා එකිනෙකාට ඉඳුරා ප්‍රති විරුද්ධ චරිත දෙකක් වූහ. ප්‍රසන්න අයියා අතිශයින් සමාජශීලී වූ අතර සමහරවිට ඔහුගේ යුගයේදී විද්‍යාලයේ ජනප්‍රියතම ශිෂ්‍යයා විය. නිහඬ චරිතයක් වූ ගුණරත්න අයියා ගැන දැන සිටියේ ටික දෙනෙකි. බාලදක්ෂ පුහුණුවීම් වලට සහභාගි නොවන්නට මටද ඔහු මුළුමනින්ම ආගන්තුක චරිතයක් වීමට තිබුණේය.

1979දී ආනන්දයේ බාලදක්ෂ කණ්ඩායම් නායක ජනාධිපති බාලදක්ෂ අජිත් කෝදාගොඩය. මහාචාර්ය නන්දදාස කෝදාගොඩ ගේ දෙටු පුත් “කෝදාගොඩ අයියා” පසුව මගේ ගෞරවයට පාත්‍ර වූ ගුරුවරුන් අතර ඉහළින්ම සිටින ධර්මරත්න සර්ගේ දියණිය සමඟ විවාපත් විය. මේ පසු සිද්ධීන්ය. 1979දී ඔහු උසස් පෙළ සිසුවෙකි. මුල් දිනයේ අප පිළිගැනීමෙන් පසුව ගුණරත්න අයියාට අප පැවැරුවේ ඔහුය.

“ඔය ගොල්ල හිතන්න එපා බාලදක්ෂයෙක් වෙන එක ලේසි වැඩක් කියලා. ඒක අසීරු දෙයක්. නමුත් එයින් පසුව ලැබෙන ප්‍රතිඵල විශිෂ්ටයි…වැඩි දේවල් ගුණරත්න අයියා ඉස්සරහට කියලා දේවි.”

බාලදක්ෂ පොරොන්දුව, බාලදක්ෂ නීතිය ආදී මූලික කාරණා කියා දීමෙන් පසුව ගුණරත්න අයියා වඩා ප්‍රායෝගික දේවල් වලට බසී.

“කවුරු හරි දන්නවද භාජනයක් නැතුව අර්තාපල් ගෙඩියක් තම්බ ගන්න කොහොමද කියලා…”

“භාජනයක් නැතිවෙන්න නෑනෙ අයියෙ…” කවුරුන් හෝ කියයි. “ගෙදර ඕනැ තරම් හැළි වළං තියෙනවනෙ”

“මෝඩ කතා කියන්න එපා. බාලදක්ෂයින් හැටියට අපට ඝණ වනාන්තරේ මැද්දෙ ගවේෂණ චාරිකා වලට යන්න වෙනවා. ඒවට හැළි වළං උස්සගෙන යන සිරිතක් නෑ. උස්සගෙන යන්නත් බෑ. එහෙම වෙලාවක අපි කොහොමද අර්තාපල් ගෙඩියක් තම්බ ගන්නෙ?”

අපි එකිනෙකාගේ මුහුණු බලමු. ගුණරත්න අයියා අල ගෙඩියක් කොළ අතු වලින් වසා බැඳ ගිණි අඟුරු මැද තබා තම්බා ගන්නා ආකාරය අපට කියාදෙයි. ඉන්පසු ඔහු භාජනයක් නැතිව බිත්තරයක් තම්බා ගන්නා හැටි කියා දෙයි. මේවා මෙසේ විස්තර කළාට ප්‍රායෝගිකව කරන්නට හැකියාව ඇත්තේ මනා පුහුණුවකින් පසුව විය යුතු බව මට අදත් සිතෙයි. මන්ද මා ඒ කාලයේ මේ පරීක්ෂණ වලට ගොස් අලගෙඩි, බිත්තර රාශියක් විනාස කර අත්දැකීම් ඇති නිසාය.

ඊළඟට ප්‍රථමාධාර!

“දැන් ඔය ගොල්ල පාරෙ යන කොට දකිනව අනතුරක්. කාර් එකකුයි බස් එකකුයි හැප්පිලා කියමුකෝ. මොනවද මුලින්ම කරන්න ඕනැ? කාට හරි කියන්න පුළුවන්ද?”

අපට සිතා ගත නොහැකිය. අපි එකිනෙකාගේ මුහුණු බලමු.

“පුළුවන් තරම් ඉක්මණට තුවාල කාරයො රෝහලකට ගෙනියනවා” එකෙක් කියයි. එකකු හෝ උත්තරය දැන සිටීම ගැන අපට හරි ජොලිය. අපි ඔළුව වනමු.

“දැන් මෙයා කියනව තුවාල කාරයො ටික රෝහලකට ගෙනියන්න ඕනැ කියල. ඒකද අපි මුලින්ම කරන්න ඕනැ”

“ඔව්..ඔව්…” අපි එක හඬින් කියමු.

“මෝඩයො. මුලින්ම කරන්න ඕනැ ඒක නෙවෙයි කවුද මැරිල තියෙන්නෙ කවුද නැත්තෙ කියල තේරුම් ගන්න එක. මොකද මැරිච්චි මිනිහෙකුට කොයි තරම් වෛද්‍යාධාර දුන්නත් වැඩක් නෑ. කවුද මැරිල තියෙන්නෙ කියල හරියටම දන්නව නම් අපට් ඒ අය ඉතුරු කරල අපේ අවධානය අනෙක් අයට දෙන්න පුළුවන්…”

සිහින් සිනවක් සමඟ ගුණරත්න අයියා මේ ටිකද එක් කරයි.

“තුවාලකාරයන්ව හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඉස්පිරිතාලෙට ගෙනියනව කියන එක තමයි කරන්න පුළුවන් මෝඩම වැඩේ මොකද ඒ අය අතර ඉන්න පුළුවන් අස්ථි බිඳිච්චි කට්ටිය. පිටින් නොපෙනුණාට අභ්‍යන්තර තුවාල වෙච්චි කට්ටිය. නොදන්න කෙනෙක් මේ අයව එහාට මෙහාට කරල ඒ තුවාල දරුණු වෙන්න පුළුවන්…”

ඉන්පසු ගුණරත්න අයියා “ප්‍රථමාධාර” බැජ් එක ගන්නට මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ යම් පැය ගණනක් එහි කටයුතු නිරීක්ෂණය කරමින් සිටීමට සිදුවීම ගැන කියයි. “සංසාරෙ එපා වෙනව අයිසෙ එතැන ඉන්න ගියාම. ඔන්න ගේනව පිහියා ඇනුමකට ලක් වෙච්චි කෙනෙක්. එයාට බඩේ එක පැත්තකට පිහියෙන් ඇනල අනික් පැත්තට කැපෙන කල් පිහිය ඇදලා. බඩවැල් ඔක්කොම එළියෙ. තව කෙනෙක් බඩ වැල් උස්සගෙන තමයි එන්නෙ…”

යුද බිමේදී ගුණරත්න අයියාට මීට වඩා බොහෝ අප්‍රසන්න අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදු වුනාට සැක නැත. ඒ යුද්ධයේ හැටිය.

ගුණරත්න අයියා ගැන තවත් මතකයක් නම් ඔහු තමන් නිර්භීත වූවාක් පමණක් නොව අනුන්ගේද බිය නැති කිරීමට ආයාසයක් ගත් බවයි. ඒ සඳහා ඔහු ගත් අවදානම සමහර අවස්ථාවලදී පුදුම සහගතය.

ආනන්දයට වරක් හෝ පය තැබූවෝ ආනන්දයේ පස් මහල් ගොඩනැඟිලි දෙක ගැන දනිති. මින් එකක් විද්‍යාගාර ගොඩනැඟිල්ලය. (දැන් නම් එහි සාමාන්‍ය පන්ති පැවැත්වේය සිතමි.) අනෙක එවකට බහු කාර්ය පස්මහලය. තට්ටු පහක් අද නම් එතරම් උසක් සේ නොසිතෙතත් ඒ කාලයේ නම් බය හිතෙන උසකි. ගුණරත්න අයියාට අවශ්‍ය වූයේ අප කඹයකින් මේ පස් මහලේ පස් වැනි තට්ටුව දක්වා නංවන්නටය. අත්ළ රතු වී රිදෙන්නට පටන් ගත් හෙයින් මම දෙවන මහළේදී නතර වීමි. වඩා හිත දැඩි වූවෝ සිව් වන මහල දක්වා නැංගහ. අපි නඟින්නට බැරි වූ දුකට පස් මහලේ සිට කඹයෙන් බිමට බැස්සෙමු. මෙයද අවදානම් කටයුත්තකි. යන්තමින් හෝ අත ලිස්සුවොත් අප අල්ලා ගන්නට සැරහී සිටියේ ආරක්ෂිත දැළක් නොව ඝණ තාර පොළොවය.

තව විටෙක එක් බාලදක්ෂ අභ්‍යාසයකදී තිරස් කඹයක දෙපසින් බඩ ගාමින් එන බාලදක්ෂයින් දෙදෙනෙක් එකට හමුවී එකකු යටින් අනෙකා මාරු වීමෙන් පසු දෙපසට ගමන් කරති. ගුණරත්න අයියාට අවශ්‍ය වූයේ මේ අභ්‍යාසය කඹය පස් මහලේ එකිනෙකට තරමක් දුරින්, ගොඩ නැඟිල්ලට පිටතින් වූ පිය ගැට පෙළ දෙකෙහි බැඳි කඹයක කරන්නටය. ඊට නම් ඔහුට අවසර ලැබුණේ නැත.

මා බාලදක්ෂයකුව ගත කළේ ආනන්දයේ ගෙවූ පළමු වසර පමණෙකි. ඉන්පසු මට අවබෝධ වූයේ එය මට නොව මට වඩා කැපැවීමකින් කටයුතු කළ හැකි පිරිසකට ඇති දෙයක් බවයි. හතේ පන්තියේ මැද හරිය වන විට මම බාලදක්ෂ ජීවිතයෙන් මිදී චෙස් අදින්නට පටන් ගෙන සිටියෙමි. මේ මා පාසල් සමය තුළදී සහභාගි වූ එකම ක්‍රීඩාවය. 1981දී මම ආනන්ද කණිෂ්ඨ චෙස් කණ්ඩායම නියෝජනය කළෙමි.

බාලදක්ෂයකු වූ ගුණරත්න අයියාට යුද හමුදාවට බැඳෙන්නට සිත් දුන්නේ මන්ද යනු මා නොදන්නා කතාවකි.