38. ජෝන් බාස්ගේ මිනීමැරුමේ සැඟවුණු අභිරහස

ෂර්ලොක් හෝම්ස් කුඩා කළ කියැවූ බොහෝ දරුවනට සේ මටද කාලයක් රහස් පරීක්ෂක උණක් වැළැඳී තිබුණේය. නමුත් මේ කතාවේ සඳහන් “ජෝන් බාස්ගේ මිනීමැරුම” මා දැන ගත්තේ වැඩිහිටියකු වශයෙනි. ලියන්නට දොස්තර වොට්සන් කෙනෙකු නැති නිසා මවිසින්ම ලියන මේ සටහන ඒ කතාවයි. මා මුල සිට පටන් ගත යුතුය. පාඨකයාට වෙහෙසකර වුවද ඉතාම අවැදගත් සේ පෙනෙන තොරතුරුද මා මෙහි එක් කරන්නේ ඒ නැතිව කතාව අසම්පූර්ණ වන නිසාය.

මගේ ඥාතිවරියකට පිටිසරබද පළාතක, පරම්පරාවෙන් උරුම වූ, අක්කරයක විතර ඉඩමක් තිබුණේය. ඉඩමක් කීවාට කවමදාවත් ගෙයක් ඉදි නොකරන ලද, වගාවක් නොකළ, වල් වැවුණු මුඩු බිමකි. ඔහේ වැවෙනවාට වැවුණු කණාටු පොල් හා තවත් නොවටිනා ගස් කිහිපයක් හැරෙන්නට මේ ඉඩමෙහි වෙනත් කිසිවක් නොවිණි. ඉඩමට 1980 ගණන් වල ලියන ලද ඔප්පුවක් තිබුණද කෙදිනකවත් හරි හැටි මැනීමක් කර නොතිබිණි. තැනින් තැන දිරාගිය කටු කම්බි මිසෙක වැටක් කියා දෙයක් නොවීය. (යටින් ඇති ඡායාරූපය මේ කතාවේ කියැවෙන විභාගය සිදුවූ දාම ගත් එකකි.)

මගේ ඥාතිවරියගේ පදිංචිය කොළඹය. ඇය ගමෙන් කොළඹට සංක්‍රමණයව ඇත්තේ කාලයකට පෙර, විවාහයත් සමඟය. අල්ලපු ඉඩමේ මනුස්සයා මුරකාරයකු නැති ඉඩමේ හූරා ගන්නට පුළුවන් දෙයක් හූරා ගනියි. විටෙක ඔහු පොල් අතු ටිකක් ඇදගනී. තව විටෙක පොල් ගහක් කපා විකුණයි. මේ දකින ගමේ මිනිස්සු එක දෙක කොට දුරකථන ඇමැතුම් දී මගේ ඥාතිවරිය වයින් කරති. ඇයද සියළු කටයුතු පසෙක ලා දිව ගොස් මේ මනුස්සයා හා වලියට පැටලෙයි. ගමේ මිනිස්සු මේ වලි එන්ජෝයි කරති.

මගේ ඥාතිවරිය කාලයත් සමඟ මේ ප්‍රශ්නය මෙසේ ඉදිරියට ගෙන ගිය නොහැකි බව වටහා ගත්තාය. ඇය මේ සම්බන්ධයෙන් කිලෝ මීටර 10-15ක් පමණ ඈතින් වූ P නගරයේ පොලෝසියට පැමිණිළි කළේ ඒ අනුවය.

සතියක පමණ ඇවෑමෙන් පොලෝසිය ඉඩමට ගොස් යම් “පරීක්ෂණයක්” කර තිබුණේය. එහා වැටේ මනුස්සයා කියා තිබුණේ අපූරු කතාවකි.

“මං ඒ ඉඩම බුක්ති විඳින්නෙ මටත් ඒකෙ හවුල් අයිතියක් තියෙන නිසා. මට පුළුවන් ඔප්පු පෙන්නල මගේ අයිතිය තහවුරු කරන්න.”

මේ හතර බීරි කතාව විසඳීමට නොහැකි නිසා පොලෝසිය තමන්ට කළ හැකි එකම දේ කළේය. ඒ දෙපාර්ශ්වයටම නියමිත දිනෙක වැඩිදුර විභාගය පිණිස P නගරයේ පොලෝසියට එන මෙන් දැනුම් දීමය. මගේ ඥාතිවරිය දින දෙකක්ම පොලෝසි ගියාය. අනෙක් පාර්ශ්වය පැමිණ තිබුණේ නැති නිසා ඒ දෙවරම විභාගය කල් ගියේය. ඇය මගේ සහාය පැතුවේ තෙවන වරට කැඳවූ හමුව පිණිසය.

මෙවැනි අවස්ථා වලදී හඳුනන්නකු මාර්ගයෙන් යමක් කරවා ගැනීමට ප්‍රතිපත්තියක් වශයෙන් මම අදත් විරුද්ධ වෙමි. නීතිය ඉදිරියට හිස් අතින් යන්නට මම කැමැත්තෙමි. එහෙත් පොලෝසිය ගැන මට පූර්ව අත්දැකීම් කිහිපයක් තිබුණේය. හඳුනන්නකු මාර්ගයෙන් නොයෑමෙන් සිදු වන්නේ නිස්කාරණයේ කාලය නාස්ති වීම පමණක් බව මම දැන සිටියෙමි.

කොළඹ පාසලකට යෑමේ අවස්ථාව නිසා මගේ මිතුරන් අතර කොළඹ ප්‍රධාන පොලෝසි දෙකක ප්‍රධානීහු වෙති. එයින් K නගරයේ ස්ථානාධිපති සමඟ මගේ කිට්ටු සම්බන්ධතාවයක් නොතිබිණි. මම ඊට වඩා හොඳින් දැන සිටි M නගරයේ ඕ. අයි. සී. මහත්තයාට කතා කළෙමි. පාසලේදී ඔහු හිටියේ මට වසරක් පහළ පන්තියේය.

අපේ කතා බහ මෙසේ විය.

මම : අරුණ, මම මේ චානුක කතා කරන්නෙ. මතකද …
M නගරයේ ස්ථානාධිපති (අරුණ) : ඔව්, චානුක අයියෙ කියන්න…
මම : මල්ලි මගේ ඥාතියෙකුට පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනව ඉඩමක් සම්බන්ධයෙන්. P නගරයේ පොලීසියට පැමිණිල්ලක් කරල මේ ඉරිද විභාගයට එන්න කියල තියෙන්නෙ. මං කතා කළේ ඔයා දන්න කෙනෙක් නැද්ද කියල අහන්න.
M නගරයේ ස්ථානාධිපති (අරුණ) : අපොයි P නගරෙ ඕ. අයි සී. මගේ හොඳ යාළුවෙක් නෙ. පෙරේරා කියල කෙනෙක්. මං කියල තියන්නම්. අයිය ගිහින් කෙළින්ම එයාටම කතා කරන්නකො.
මම : තෑක්න්ස්, අරුණ.

දීර්ඝ කතාවක් කෙටියෙන් කියන්නේ නම් ඉන්පසු ඉරුදින මම මගේ ඥාතිවරියද සමඟ P නගරයේ පොලිස් ස්ථානාධිපති ඉදිරිපස අසුන් ගෙන සිටියෙමි. අප අතර සංවාදය මෙසේය.

මම : මගේ නම චානුක වත්තේගම. මම අරුණගෙ යාළුවෙක්…අරුණ කියන්න ඇති නේද?
P නගරයේ ස්ථානාධිපති : ඔව්. ඔව්. මට අරුණ කිව්ව මිස්ටර් වත්තේගම ගැන. දැන් මොකද මගෙන් කෙරෙන්න ඕනැ?
මම : මේ ඉන්නෙ මගේ ඥාතිවරියක්. එයාගෙ ඉඩමක් තියෙනව n ගමේ. ඒකට එහා පැත්තෙ ඉඩමෙ ඉන්න මිනිහගෙන් ටිකක් කරදරයි. නිතරම වත්තට පැනල තියෙන දෙයක් ඇදගෙන යනව. ළඟකදි පොල් ගස් වගේකුත් කපල…
P නගරයේ ස්ථානාධිපති : ඇත්තට? ඉන්න මං දැන්මම කියන්න ජීප් එක අරගෙන ගිහින් ඕකව ලකප් කරන්න කියල…
මම : නෑ. නෑ. මේක එච්චර දුර ගෙනියන්න ඕනැ දෙයක් නෙවෙයි. ඒ මනුස්සයත් මේ ඉඩමට අයිතියක් කියනවලු. අද දෙපැත්තටම මෙහාට එන්න කියල තියෙන්නෙ විභාගයක් කරන්න. අපට ඕනැ දෙපැත්තෙම ඔප්පු බලල මේක සාධාරණව විසඳල දෙන එක විතරයි…
P නගරයේ ස්ථානාධිපති : ඕකනෙ කියන්නෙ. ඔය ගොල්ල මෙහේ මිනිස්සු කොච්චර අණ්ඩයොද දන්නෙ නෑ. උන්ව ලකප් කරල දෙකක් ඇන්නහම තමයි ඇත්ත කියන්නෙ…හොඳයි කමක් නෑ. අද මෙහාට ආපුදෙන් මම ක්‍රයිම් ඕ. අයි. සීට කියන්නම්කො මේක ඉක්මනට විසඳල දෙන්න කියල. (දුරකථනයෙන්) සුරේ, මේ පොඩි කේස් එකක් තියෙනව පොඩ්ඩක් බලන්න. මගේ යාළුවෙක්ගෙ ඇඳුනුම්කම පිට ඇවිත් තියෙන්නෙ…

නැවත දීර්ඝ කතාවක් කෙටියෙන් කියන්නේ නම් අප අදාල නිලධරයා ඉදිරියේ සිට ගෙන සිටිමු. බැලූ බැල්මට ඔහුට වයස අවුරුදු පනහකට වැඩි බව පෙනේ. විශ්‍රාම යන වයසට කිට්ටුව විය හැකිය.

එක පසෙක මාත් මගේ ඥාතිවරියත්ය. අනෙක් පස අල්ලපු වැටේ මනුස්සයා (අසල්වැසියා) හා අඩු ගණනේ වයස අසූවක් වත් විය හැකිය සිතිය හැකි ඔහුගේ මහළු පියාත්ය. මේ පියා දෙස බලන විට අපේ රත්නසිරි වික්‍රමනායක ඇමැතිතුමාත් නාඹර තරුණයකු මෙන්ය. මගේ ඥාතිවරිය අත 1980 ගණන් වල ලියූ ඔප්පුවකි. අනෙක් පාර්ශ්වය අත 1950 ගණන් වල ලියූ කහ ගැහුණු, දිරාපත් වුණු, කාවුන් කෑ ඔප්පුවකි.

අප අතර සංවාදය මෙසේය.

පොලිස් නිලධරයා : (මගේ ඥාතිවරියට) මිස් මෙතැන වාඩි වෙන්න. (විත්ති පාර්ශ්වයට) ආ තමුසෙලත් ඔතැනින් වාඩි වෙනව. (අසල්වැසියාට) මොකද මේ තමුන් අනුන්ගෙ වතුවල පොල් ගස්, රඹුටන් ගස්, අඹ ගස්, කෙහෙල් ගස් කපනව කියන්නෙ?
අසල්වැසියා : අමූලික බොරු සර්, ඒ ඉඩමෙ රඹුටන් ගසුත් නෑ, අඹ ගසුත් නෑ…
පොලිස් නිලධරයා : ඒ වුණාට තමුන් පොල් ගස් කැපුවනෙ…අල්ලල ලකප් කරන්නයි තිබුණෙ තමුන්ව අපට…
අසල්වැසියා : කැපුවෙ සර් අපේ පොල් ගස්. ඒ ඉඩමට අපට අයිතියක් තියෙන නිසා.
පොලිස් නිලධරයා : කොහොමද තමුන්ට ඒකට අයිතිය තියෙන්නෙ?
අසල්වැසියා : පරම්පරාවෙන්. මෙන්න සර් ඔප්පුව…
පොලිස් නිලධරයා : (ඔප්පුව පෙරළමින්) එතකොට මිස්ලට මේකට අයිතිය තියෙන්නෙ කොහොමද?
මගේ ඥාතිවරිය : පරම්පරාවෙන් ආපු ඉඩමක් සර්.
පොලිස් නිලධරයා : කෝ ඔප්පුව ගන්න

ඉඩම් පිළිබඳව අවම දැනුමක් ඇති මට පවා පැහැදිළි වූ කාරණාව නම් මේ ඔප්පු දෙක අතර මොනයම්ම හෝ සම්බන්ධතාවයක් නැති බවයි. ඔවුන්ගේ ඔප්පුව කියැවීමට පවා බැරි දුර්වර්ණ එකකි. අප සතුව ඔප්පුවක් තිබුනද පැලෑනක් නොවේ. ඔප්පු දෙකේ මායිම් අතර කිසිම ගැලැපීමක් නැත. ඔප්පු දෙකේ ඉඩම් දෙකේ නම් දෙකකි. එක ඔප්පුවක සඳහන් එකම පුද්ගල නාමයක් වත් අනෙකෙහි සඳහන් නොවේ. කොටින්ම පාර්ශ්වයන් දෙකෙන් එකකට වත් තමන්ගේ අයිතිය තහවුරු කිරීමට ඔවුන් අත ඇති ලියැවිලි වලින් පමණක් නුපුළුවන.
ඉඩම් සම්බන්ධ මෙවන් සංකීර්ණ ගැටළුවක් පොලෝසියට විසඳීමට හැකි කාරණාවක් නොවේ. ක්‍රයිම් ඕ. අයි. සීලා ඉඩම් ගැන දන්නා මඟුලක් නැත. එය දිස්ත්‍රික් හෝ මහේස්ත්‍රාත් උසාවියකින් සමථයට පත් කළ යුතු කාරණාවකි. පොලෝසිය විසින් කළ යුතුව තිබුණේ සිවිල් නඩුවක් දමා විසඳා ගන්නා ලෙසට දෙපාර්ශ්වයටම උපදෙස් දී චැප්ටර් ක්ලෝස් කිරීමය. ඒත් පොලෝසිය ඒ තරම් ලේසියෙන් පරාජය පිළිගන්නට කැමැති නැත. ඉන්පසු සංවාදය මෙසේය.

පොලිස් නිලධරයා : හොඳයි, දැන් තමුන් මේ නෝනව දන්නවද?
අසල්වැසියා : තාත්තම කියන්නකො…
මහළු පියා : ….මක් කිව්ව?
පොලිස් නිලධරයා : (හයියෙන්) තමුන් දන්නවද මේ නෝන කවුද කියල?
මහළු පියා : (නින්දෙන් ඇහැරුණාක් මෙන්) මොකක්?
පොලිස් නිලධරයා : (අතින් පෙන්වමින්) කවුද මේ?
මහළු පියා : ආ… මේ අර ජෝන් බාස්ගෙ අයියගෙ මිනිපිරීනෙ…
පොලිස් නිලධරයා : කවුද ජෝන් බාස් කියන්නෙ?
මහළු පියා : අර වස දීල මරපු ජෝන් බාස්…(හෙමින්, තමාටම කියා ගන්නාක් සේ)…පොලීසිය දන්නෙත් නෑ මේව
පොලිස් නිලධරයා : ජෝන් බාස් මැරුව? කවුද මැරුවෙ?
මහළු පියා : කවුද ඉතින් ලේලිල තුන්දෙනා මිසක…දේපළ ගන්න ජෝන් බාස්ව මැරුව.
පොලිස් නිලධරයා : (මගේ ඥාතිවරියට) මොකද්ද මේ කියන කතාව?
මගේ ඥාතිවරිය : ජෝන් කියල නම් අපට සීය කෙනෙක් හිටිය තමයි සර්, ඒත් එයා ඉස්පිරිතාලෙදිනෙ මැරුණෙ…
පොලිස් නිලධරයා : දැන් ජෝන් ඉස්පිරිතාලෙදි මැරුණ නම් තමුන් කොහොමද කියන්නෙ ඒක මිනීමැරුමක් කියල?
මහළු පියා : සර්… ඉස්පිරිතාලෙට ගෙනියන්න කලින් වස දුන්නෙ. ලේලිල වස දුන්නයින් පස්සෙ තමයි ලෙඩ වෙලා ඉස්පිරිතාලෙට ගෙනිච්චෙ. එහෙදිම මළා. ගමට වත් ගෙනාවෙ නෑ බොඩිය ආදාහනේට වස දීපු එක හංගන්න
පොලිස් නිලධරයා : දැන් කවුද ඔහොම වස දීල කියල කියන්නෙ?
මහළු පියා : ගමේ මිනිස්සු තමයි
පොලිස් නිලධරයා : ඇසින් දුටු සාක්ෂි තියෙනවද?
මහළු පියා : ගමේ කතාවෙන දේවල් තමයි අපි කියන්නෙ…බොරු නෙවෙයි
පොලිස් නිලධරයා : තමා තමන්ගෙ සැකය පොලීසියට කිව්වද?
මහළු පියා : (නිහඬය)
පොලිස් නිලධරයා : මං අහන්නෙ තමුන් මිනීමැරුවක් වෙලා කියල හොඳටම දැන දැන ඒක පොලීසියට කිව්වද?
මහළු පියා : (බැගෑපත්ව) නෑ සර්
පොලිස් නිලධරයා : තමුන් ඒක ග්‍රාම සේවක රාළහාමිට කිව්වද?
මහළු පියා : (තරමක් කල්පනා කොට) නෑ සර්…
පොලිස් නිලධරයා : දැන් තමුන් දන්නවද තමුන් කරල තියෙන්නෙ භයානක වරදක් කියල මේ මිනීමැරුම ගැන දැන දැනම වසන් කිරීමෙන්…
මහළු පියා : (නිහඬය)
පොලිස් නිලධරයා : හොඳයි කවද්ද මේ තමුන් කියන මිනීමැරුම වුණේ?
මහළු පියා : (නිහඬය)
පොලිස් නිලධරයා : (සැරෙන්) මං අහන්නෙ කවද්ද මේ මිනීමැරුම වුණේ?
මහළු පියා: …හතළිස් පහේදි විතර සර්…
පොලිස් නිලධරයා : තමුසෙට පයිත්තියන්ද ඕයි, තමුසෙ මේ කිව්වෙ 1945දි වෙච්චි සිද්ධියක්ද?
(මේ අවස්ථාවේදී එතෙක් නිහඬව සිටි පුතා ගේමට බැස්සේය.)
අසල්වැසියා : එහෙම කතා කරන එක වැරදියිනෙ සර් තාත්තට. සර්මනෙ දැන් හාර හාරා විස්තර ඇහුවෙ…
පොලිස් නිලධරයා : (සැරෙන්) තමුසෙගෙන් ඇහුවෙ නෑනෙ. තමුසෙ කට වහ ගන්නව!
අසල්වැසියා : ඒ වුණාට සර් ඔහොම තාත්තට කතා කරන එක වැරදියිනෙ. වයස වත් බලලද කතා කරන්නෙ? ඔන්න මට ඔහොම කතා කළා නම් කමක් නෑ.
පොලිස් නිලධරයා : තමුසෙට කට වහ ගන්න නේද කිව්වෙ?
අසල්වැසියා : ඕකනෙ සර්, සර්ලත් මිනීමැරුමක් යට ගහන්න හදනවනෙ…
පොලිස් නිලධරයා : (සැරෙන්) කවුද මිනිහො මිනී මැරුමක් යට ගහන්න හදන්නෙ?
අසල්වැසියා : දැන් ඔය තාත්තම සර්ට කිව්වෙ, ජෝන් බාස්ට වස දීල මැරුවයි කියල. ඉතින් සර්ල ඉන්නෙ ඕව විභාග කරන්න නෙවෙයි නම් මොකටද?
පොලිස් නිලධරයා : ඉතින් ඕයි හතළිස් ගණන් වල වෙච්චි මිනී මැරුමක් ගැන අද කියල හරියනවද? ඒක ඒ කාලෙ පොලීසියටනෙ කියන්න ඕනැ. ඒකාලෙ P නගරෙට පොලීසියක් වත් නැතුව ඇති. A නගරෙ පොලීසියට තමයි කියන්න තිබුණෙ.
අසල්වැසියා : හරි දැන් අද හරි කිව්වනෙ. දැන් පුළුවන්නෙ සර්ලට ඒකෙ ඇත්ත නැත්ත හොයල බලන්න…
පොලිස් නිලධරයා : (ශාලාව දෙදෙරුම් කන සේ) කට වහ ගනින් වේසිගෙ පුතා. තොට කූඩුවට යන්න ඕනැ වෙලාද දඟලන්නෙ?
අසල්වැසියා : (හිමින් තමටම යමක් කියා ගනී)
පොලිස් නිලධරයා : මොනවද ඩෝ උඹ කිව්වෙ?
අසල්වැසියා : (බයාදු ලෙස ) නෑ සර්… මොකුත් නෑ
පොලිස් නිලධරයා : හුජ්ජ කොල්ලො, තොපි අපට ගෙම්බර් දාන්න එනව…අල්ලල ලකප් කරන්නයි තියෙන්නෙ…

මේ කතා බහෙන් පසුව “විභාගය” තවත් ඉදිරියට ගෙන යාමට පොලිස් නිලධරයාට කිසිම ඕනෑකමක් ඇති බව නොපෙණිනි. සමහරවිට තමන්ගේ නොහැකියාව ඔහු අවබෝධ කොට ගන්නට ඇත. අපටද එය අස්වැසුමක් වූයේ ඔහුගේ කුණුහරුප අසා සිටින්නට අවශ්‍ය නොවූ නිසාය. ඔහු නැවත ඔප්පු දෙක අප අතට දුන්නේ “අදට විභාගෙ මෙතනින් ඉවරයි. ලබන ඉරිදට එන්න අයිතිය කියන්න තව තියෙන සාක්ෂි අරගෙන” කියමිනි.

අපේ මේ විභාගය පැවැත්වුණු කාලය සම්පුර්ණයෙන්ම වාගේ ගතව තිබුණේ වසර හැටකටත් කලින් සිදු විණිය කියන සිද්ධියක් ගැන, ඕපාදූපයක් පාදක කොට ගත් ඵල රහිත කතාවක් වෙනුවෙනි. අද උද්ගතව තිබෙන ගැටළුව ගැන කතා කිරීමට වැයව තිබුණේ විනාඩි පහකටත් අඩු කාලයකි. අප පොලෝසියට ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලු තැනින් අඟලක් වත් ඉදිරියට ගොස් නොතිබිණි.

මේ අදාළ කාරණාව සම්බන්ධයෙන් අප පොලෝසිය සමඟ ගනුදෙනු කළ අවසාන වතාවයි. පොලෝසියට මීට කළ හැකි දෙයක් නැතැයි අපි තීරණය කළෙමු. ඔවුන්ගේ “විසඳුම” සැකකාරයා ලකප් කිරීමය. බඩට දෙකක් ඇනීමය. කුණුහරුප වර්ෂාවකින් සංග්‍රහ කිරීමය. අපට එවැනි විසඳුමක අවශ්‍යතාවයක් නොවීය. සිවිල් නඩුවක් පවරන බව කියා චෝදනාව ඉල්ලා අස් කර ගත්තෙමු.

මගේ ඥාතිවරිය මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ පෙත්සමට අනුව ඉඩම යළි මැනීමක් වූ අතර අසල්වැසියාට අයිතියක් නැතැයි තහවුරු විය.

ඉඩම මැන්නායින් පසුව අල්ලපු වැටේ මනුස්සයාද මගේ ඥාතිවරිය සමඟ මිත්‍ර විය. ඇගේ ඉඩමට හවුල් අයිතියක් තිබුණාය යන්න ඔහුගේ සැකයක් පමණක් වූ අතර එවැන්නක් නැති බව ඔප්පු වීමෙන් පසු ඔහු තව දුරටත් වාද කිරීමට නොපැමිණියේය. එසේම නොමිළයේ තමන්ගේ වත්තේ මායිම් නිරවුල් කර ගැනීම ඔහුගේ තව යටි අරමුණක් විය. නඩුව නිසා එය සාක්ෂාත් විය.

මෑතකදී අසල්වැසියාගේ දියණියගේ මල්වර මඟුලට සහභාගි වූ මගේ ඥාතිවරිය ඇයට රුපියල් දෙදහසක්ම දුන් බව කීවාය.

තවම විසඳී නැති දෙයක් වේ නම් එය “ජෝන් බාස්ගේ මිනීමැරුම” පමණක් විය හැකිය.

Advertisements

10 responses to “38. ජෝන් බාස්ගේ මිනීමැරුමේ සැඟවුණු අභිරහස

  1. බාගයක් කියවල තනියම හිනා වුනා… පොලිසියත් දෙපාර්ශවයත් යටිගිරියෙන් කෑගහන කතානායකයාවත්(මට නම් කතානායක ඔහු තමයි) මැවිල පෙනුන.

    බොහෝ කලකට පස්සේ අපූරු කතාවකුත් අරන් ඇවිත්. හාස්‍ය රසයත් එක්ක ගන්නට පාඩමක් ඇති විදිහට කතා ලියනෙක හැකියාවක්. අනිත් අතට බැලුවම, අපේ ආරවුල් විසඳ ගන්න පොලීසියට යෑමම හාස්‍යයක් තමා…

  2. මේකයි ගැටලුව. සාමාන්‍ය තත්ත්ව යටතේ ඉඩම් නඩුවක ප්‍රතිපල එන්න යන කාලය ජෝන් බාස්ගේ අභිරහස හෙළිවීමට ගිය කාලය තරම්ම වෙනවා. අසල්වැසියාට නඩුවෙන් කන්න වෙන කෑම, ක්‍රයිම් යුනිට‍ එකේ ලොකප් එකේ බඩට අනින දෙක තුනට වඩා බරපතලයි. පොලිසියේ වීරත්වය උත්කර්ෂ කරන මුත් උසාවියේ සත්‍ය වීරත්වය මෙයින් නොපෙනේ. පොලිසිය, පැමිණිලි හා විත්ති පාර්ශ්ව මෙලෙස හැසිරීමට මූලික හේතුවකි උසාවියේ හපන්කම්.

  3. නියමයි චානුක

    උපහාසාත්මක ආකාරයෙන් සරල සිද්ධියක් විස්තර කරන ගමන් අපේ රටේ ප්‍රධාන, ඇත්තෙන්ම නීතිය සුරකින්න කියලා ඉන්න මූලිකම සංස්තාවේ නිරුවත අපූරුවට පැහැදිලි කරලා තියෙනවා.

    දහ අටවැනි සංසෝදනේ අපිට ඕනය, අගවිනිසුරුවරිය ගෙයදර යවනු, සාරුවා සුනිල් නිදහස් කරනු . . . වගේ දේවල් වලට පෙළපාලි යන ලෝකෙන් උතුම් රටේ ජීවත් වෙන මිනිස්සුන්ට නම් පොලිසිය, පොලිසියට නෙමේ ගෙදරට ඇව්ත් බඩට ගහලා කුනුහරුපෙන් බැනලා ගියත් . . . . හෙට පෙලපාලි යයි පොලිසියේ ගුටි මාස 6කට සැරයක් නෙමේ මාසෙකට සැරයක් ගානේ ලබා දියව් කියලා . .

  4. උසාවියට පෙත්සමක් දැම්මට පස්සේ සුරංගනා කතාවක් වගේ ලස්සනට මේක මෙහෙම ඉවර උනා කිව්වම හරි පුදුමයි… මම හිතාගෙන හිටියේ එතකොට තමයි ප්‍රශ්න පටන් ගන්නේ කියලා…

    මට මෙහෙම දෙයක් උනානම්, මේ වෙනකල් මම හිතාගෙන හිටියේ පොලිසියෙන් බඩට දෙකක් ඇනලායි මේ ප්‍රශ්නය විසඳන්න පහසුම සහ ලාභදායිම ක්‍රමය කියලා… ජෝන් බාස් ගේ මිනීමැරුම ගැන උසාවියෙදි සඳහන් උනානං හෙම මිනී වළවල් හාරන්න වෙන කේස් එකක් නෙමෙයිද..? පොලෝසියෙ විසඳුම ඊට වඩා ගොඩක් ලේසියිනේ… “ඒ කාලේ මිනීමැරුමක් දැන් කියලා හරියනවද ඕයි…” එච්චරයි…

  5. මේ වගේ මිනීමැරුම් තුනක් මතක් වුණා.

    1. බෙනට් රත්නායක ගේ අස්වැසුම කියන චිත්‍රපටිය – ඒකේ ජැක්සන් ඇන්තනි ගේ චරිතය මහලු වී (ජෝ අබේවික්‍රම) පාපෝච්චාරණය කරනවා.

    2. තිස්ස අබේසේකර ගේ පිටගම්කාරයෝ ටෙලි නාටකය. ඒකේ මිනීමැරුම කවදාවත් එලිවෙන්නේ නෑ.

    3. ටැබූ ලියු මීනීමැරුමක් ගැන කෙටිකතාව. ඒකේ මිනීමරුවා ගේ සේයාවක් පසුව කතානායකයාට මුණ ගැසෙනවා.

    • මෙතැන මිනී මැරුමක් වුණාය කියන්නේ ගම් වැසියන් පිරිසකගේ මතයක් පමණයි. මා දන්නා තරමින් සිදු වී තියෙන්නේ මහළු මිනිසකු රෝහල් ගත වී මිය යෑම.

  6. චානුක මාමාට කාලෙකට පස්සේ මතක් වෙලා තියෙන්නේ blog එකක් තියෙනවා කියලා. කොහොම උනත් ඇත්ත ලියලා තියෙනවා ලංකාවේ ප්ලෝසියේ මාමලා ගැන 🙂

  7. කෙටි කරල ලියුවට,ඇස් පනා පිට ලොකු දර්ශනයක් මැවෙන අයුරින් ලිවීම නම් ඉතාමත් ප්‍රශංසනීයයි.පොලෝසියේ ලොක්කන් අදුරන කමින් ගිහිල්ල අදටත් කොතරම් අකටයුතු වෙනවද????

  8. “වැඩේ ජෝන් බාස්ට ගියා“ කියන ප්‍රස්තාව පිරුල ඇතිවුණේ මීට පස්සේ ද? 🙂

  9. චානුක

    නැවතත් බ්ලොලය යාවත්කාලීන කළොත් හොඳයි නේ ද ?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s