40. ජනාධිපතිවරණය 2015 ජනවාරි 8 (දෙවැනි කොටස)

පළමු කොටස මෙතැනින් බලා එන්න.

2015 ජනාධිපතිවරණයේදී මා කිසිදු අපේක්ෂකයකුට ඡන්දය භාවිතා නොකිරීමේ කතාව කෙටියෙන් එතැනින් මෙතැනින් ලියා ඇතද, එහි දීර්ඝ අන්දරය කිව යුතුය සිතමි.

මා කලින් කී පරිදි, 2014 අගෝස්තුවේ මැද හරියේ පටන් මා සිටියේ රැකියාවක් නැතිවය. විය යුතු පරිද්දෙන්ම, මගේ ප්‍රමුඛතාවය වුයේ හැකි ඉක්මණින් රැකියාවක් සොයා ගැන්මයි. එසේ වුවද සමහරවිට ඊට අවශ්‍ය තරම් අවධානය නොලැබෙන්ට ඇත. එසේම දීර්ඝ කාලීන අපේක්ෂා වෙනුවෙන් සිතන්ට වීම නිසා ලැබුණු සමහර අවස්ථාවන් එක එල්ලේ භාර ගන්ට හැකියාවක්ද නොතිබිණි. මේ නිසා නොවැම්බර 20 වැනිදා, අනපේක්ෂිත මොහොතක ජනාධිපතිවරණය නිවේදනය කරන විටද තත්ත්වයේ වෙනසක් වී නොතිබුණේය.

ජනාධිපතිවරණ නිවේදනයත් සමඟම මා කබලෙන් ලිපට වැටිණි. මැතිවරණයක් අබිමුව රාජ්‍ය ආයතන හැමෙකක්ම අළුතින් බඳවා ගැනීම නතර කරයි. පෞද්ගලික ආයතනද කවුරු එනවාද, මොනවා වෙනවාද අවිනිශ්චිතව කල් මැරීම ආරම්භ කරයි. එනිසා 2015 ජනාවාරියෙන් මෙපිට මට රැකියාවක් සොයා ගන්ට නොලැබෙන බව පැහැදිළිව පෙනෙන්ට තිබුණේය.

රැකියාවක් සොයා ගැන්ම තාවකාලිකව අමතක කොට වෙනත් ඵලදායක කටයුත්තකට සිත යොමු කළ යුතු බැව් මම තීරණය කළෙමි. එහෙමට කියා කරන්ට ඵලදායක කටයුත්තක්ද නොවීය. මේ වන විට පොත ලියා අහවර කොට තිබිණි. කළ හැකි එකම ඵලදායක කටයුත්ත වූයේ ෆ්‍රන්ස භාෂාව ඉගෙනීමය.

මගේ කාමරයේ සාමාන්‍යයෙන් භාවිතයට නොගැනෙන, පොත් පත් පුරවා තබන්ට පමණක් යොදා ගන්නා ලියන මේසය මත වූ පොත් ටික අස්කොට එය මගේ ෆ්‍රන්ස අධ්‍යයන කේන්ද්‍රය බවට පත් කොට ගතිමි. (මේ මේසය අවසාන වරට අධ්‍යයන කටයුත්තකට භාවිතා කළේ 2000-2002 අතර මා ව්‍යාපාර කළමණාකාරිත්ව ශාස්ත්‍රපති උපාධිය හදාරන කාලයේය.) මේ දිනවල මාස කිහිපයක් දිනෙකට පැය 4-6 දක්වා කාලයක් මා ෆ්‍රන්ස ඉගෙනුමට දිනපතා වැය කරන්ට ඇතැයි සිතමි. මේ කාලය ඊට වඩා වැඩි නුවූයේ, මඳ වූ නිසා නොව, මේ මගේ පාසල් කාලයේත් කොහොමටත් දිනකට පාඩම් කරන්ට උපරිම වැඩ කළ පැය ගණන වූ නිසාය.

ෆ්‍රන්ස ඉගෙන ගත් හැටියි මේ

මා ෆ්‍රන්ස දැනුම දියුණු කොට ගත් වේගය මගේ ෆ්‍රන්ස ගුරුවරයා විස්මය පත් කළේය. ඔහු මට කීවේ මෑතක තමන්ගේ කිසිදු සිසුවකු ඒ තරම් වේගයෙන් ෆ්‍රන්ස ඉගෙන ගනු නුදුටු බවයි. මෙහි අරුමයක් නොවීය. අනෙකුන් ෆ්‍රන්ස ඉගෙන ගත්තේ රැකියාවක් කරද්දී හෝ වෙනත් විභාගයකට පෙනී සිටිද්දීය. මට ෆ්‍රන්ස ඉගෙනීම පිණිස මගේ මුළු කාලය වැය කරන්ට හැකියාව ලැබී තිබුණේය.

ජනාධිපතිවරණය සම්බන්ධව මට වූයේ අවම උනන්දුවකි. මහින්ද රාජපක්ෂ නැවත බලයට ඒම සහතික බව මුල් දින වලදීම පෙනෙන්ට තිබුණු නිසාය. එනිසා කිසිවක් වෙනස් වන බලාපොරොත්තුවක් නොවීය. මගේ සැලසුම් කල් යෑම නිසා මේ මඟුල මේ මොහොතේම ඇද වැටීම ගැන මට වූයේ කේන්තියකි.

මේ කාලයේ යම් දවසක මා මිතුරු අජිත් පී. පෙරේරා (පසුව විදේශ කටයුතු හා දැන් විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය) මට දුරකථන කළේය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට තරග නොකරන්ට තීරණය කොට ඇති බවත් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ‘සෝභිත හාමුදුරුවන්’ සමහරවිට තරග කරනු ඇති බවත් ඔහු කීයේය. පරදින්ට වුවත් රනිල් ඉල්ලනවා නම් ඔහුට ඡන්දය දෙනවා නම් විනා ආතක් පාතක් නැති ඊනියා පොදු අපේක්ෂකයින්ට ඡන්දය දෙන්ට මා සූදානම් නැති බව මම ඔහුට තරහින් කීමි. මේ අජිත් මට ජනාධිපතිවරණයට පෙර කථා කළ අවසාන හා එකම අවස්ථාවයි.

ඉන් දින කිහිපයකට පසුව මෛත්‍රිපාල සිරිසේන තමන් දැරූ සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්ව විපක්ෂයේ “පොදු අපේක්ෂකයා” ලෙස තරග කරන්ට තීරණය කිරීමද මගේ ආස්ථානය වෙනස් කරන්ට තරම් ප්‍රබල සිදුවීමක් නොවීය. මම “අසරණයාට” අනුකම්පා කළෙමි.

මේ කාලයේ මා ගෙදරින් එළියට බැස්සේ නම් ඒ එක්කෝ මොනවා හෝ මිළට ගැන්මට බත්තරමුල්ල හන්දියටය. නැතිනම් ෆ්‍රන්ස පන්තියට හෝ පුස්තකාලයට – අලියොන්ස් එකටය. මේ තැන් දෙකේදීම දේශපාලන කතාවක් නොවීම නිසා මගේ දේශපාලන කතා බහ ෆේස්බුක් එකට සීමා වී තිබුණේය.

ජංගම දුරකථනය සක්‍රිය කළේ මට ඇමැතුමක් ගන්ට අවශ්‍ය විටෙකය. “කතා කළා ඒත් ඕෆ් කරලා තිබුණා” කියූ කෙනෙක් නොවූහ. කලාතුරෙකින් මිතුරකු සමඟ වූ සන්නිවේදනය බොහෝ දුරට ඊ-මේල් වලට සීමා විය.

හුදෙක් ක්‍රියාරහිත බව නිසාම වෙහෙස පත් වූ මම පහත පණිවිඩය දිනක් ප්‍රදර්ශනය කොට, නොවැම්බර් 24 වැනිදා ෆේස්බුක් ගිණුම අක්‍රිය කළෙමි.

“රාජපක්ෂ මුදලිතුමාද පොල් කඩන බවක් නොපෙණේ. වික්‍රමසිංහ මුදලිතුමාද පොල් කඩන බවක් නොපෙණේ. පට්ට කම්මැලිය. ජනාධිපතිවරණය අවසන් වනතුරු කඩේ වසා දමමි. අල්ලපු කඩෙන් බඩු ගන්න.”

ෆේස්බුක් ගිණුම අක්‍රිය කිරීම නිසා මගේ දේශපාලන අදහස් හුවමාරුව සම්පූර්ණයෙන්ම වාගේ නැවතුණේය.

අවශේෂ ලෝකයට “නැති වූ” මා ගැන සොයන්ට අවශ්‍යතාවයක් හෝ අවකාශයක් නොවීය. ජනපතිවරණ උණුහුම කූඨ ප්‍රාප්තියට ළඟාවෙමින් තිබිණි.

කාට ඡන්දය භාවිතා කරනවාද දීර්ඝ ලෙස කල්පනා කරන්ට මට අවශ්‍යතාවයක් නොවීය. කොහොමටත් මහින්ද රාජපක්ෂ මුල් වටයේදීම රයිට් ඕෆ් කොට තිබිණි. අන් සියළු කාරණා පසෙකට කළද, ඔහු මැතිවරණ ව්‍යාපාරය ගෙන ගිය පහත් ආකාරය නිසා ඔහුට ඡන්දය දෙන්ට හිත හදා ගැන්ම ඉතාම අසීරු විය.

පරදින්නේය මා උපකල්පනය කර සිටි මෛත්‍රිපාල සිරිසේනට “නිකම් ඇළේ ගසා ගෙන යන” ඡන්දය භාවිතා කරන්ට මම මුලදී සිතා සිටියෙමි. එක අතකට මෙය තනිකරම අනුකම්පාව නිසා ගත් තීරණයකි. ඔහු කොහොමටත් පරදින නිසා ඡන්දය දුන්නත් නැතත් එහි වෙනසක් නොවේ.

මේ තීරණය වෙනස් වූයේ සුවිශේෂී සිදුවීමක් නිසාය.

බාන්ස් පෙදෙසේ කොණෙක ඇති අලියොන්ස් පුස්තකාලයට ගිය යම් දවසක (මේ දිනවල මම පැය ගණන් මේ පුස්තකාලයේ ගත කරන්ට පුරුදුව සිටියෙමි.) විහාර මහා දේවී උයන පැත්තෙන් මට ලොකු ගෝසාවක් ඇසුණේය. වෙන කරන්ට වැඩක් නුවූ නිසාම ගෙදර යන ගමන් මම නිකමට ඒ පැත්තට හොට දැමුවෙමි.

ඒ මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දුටු දවසය. මා යන විට උත්සවය අවසාන වී අස් පස් කිරීමේ කටයුතු ආරම්භ වී තිබුණේය. ඒ අතර විහාර මහා දේවී උද්‍යානයේ, අජිත් සමරනායක ‘සැන්ඩෝ’ වැනිය කී ලොකු බුදුරුවට නුදුරින් සිව් දෙනෙක් ඉතාම සැහැල්ලුවෙන් කතාබහක නිරතව සිටියහ. මේ එකකු වත් මා නොදනිතත් මම ඔවුන් හඳුනා ගතිමි. දෙදෙනෙක් ධර්මසිරි බණ්ඩාරනායක හා ගාමිණී වියන්ගොඩය. අනෙක් දෙදෙනා, මා නම් සඳහන් කරන්ට පවා අකැමැති, ජාතික හෙළ උරුමය නම් ජාතිවාදී දේශපාලන පක්ෂයේ දෙවන පෙළ සාමාජිකයින් දෙදෙනෙකි.

මේ සිව් දෙනා කතා කරමින් සිටි කුළුපග ලීලාව දුටු මට වමනය යන්ට තරමට දැඩි පිළිකුලක් දැණිනි. ධර්මසිරි බණ්ඩාරනායක හා ගාමිණී වියන්ගොඩ යනු මා අතිශයින් ගරු කළ චරිත දෙකකි. (ධර්මසිරිගේ ‘ට්‍රෝජන් කාන්තාවෝ’ නරඹා ඔහු සමඟ එහි එක් ජවනිකාවක් ගැන මා සංවාදයක යෙදී තිබුණේද ඉන් සති කිහිපයකට පෙරය. ධර්මසිරි කී යමක නිරවද්‍යතාවය තහවුරු කොට ගැන්ම පිණිස මා Trojan Women  සිතුවම් පටයක්ද සම්පූර්ණයෙන් නැරැඹීමට පෙළඹීමි.) මගේ “වීරයින්” දියෙහි ගසා ගෙන යනු දුටුවද දණ්ඩක් විසි කරන්ට මා උත්සුක නොවන ආකාරයේ පාදඩ ජාතිවාදීන් දෙදෙනකු සමඟ ගජේ ගසා ගෙන සිටිනු දැක්ම මට දිරවිය නොහැකි විය. මේ නව හවුල තුළින් බිහිවන්නේ එවන් අශිෂ්ට පාදඩ දේශපාලන සංස්කෘතියක් බව මට වැටහුනේය. තව දුරටත්, මොනම කාරණයක් නිසා හෝ ඊට සම්මාදම් වෙන්ට මට අවශ්‍යතාවයක් නොවීය.

ධර්මසිරි බණ්ඩාරනායක හා ගාමිණී වියන්ගොඩ

ජනාධිපතිවරණයට සතියකට පෙර මෙතෙක් ජීවිතයේ ගිය පිස්සුම චාරිකාවේ යෙදෙමින් සීගිරියට ගියෙමි. “පිස්සුම” කීවේ ඒ චාරිකාව ආරම්භ කරන විටත් සීගිරිය ඇතුළු රජරටට නාකපන වැහි වැටෙමින් තිබුණු බව අප දැන සිටි නිසාය. කොටින්ම ගංවතුර නිසා දුම්රිය ධාවනය නැවැතී තිබී එය පොළොන්නරුව තෙක් ආරම්භ වූයේද අප චාරිකාව සඳහා යොදා ගත් දින උදයේය. දින තුනක් නවාතැනට කොටුවී සිටින්ට වන බැව් අපි හොඳින්ම දැන් සිටියෙමු. එසේ වුව ඒ වන විට ගෙදරට කොටුවී යමක් නොකරමින් සිටීම කොයිතරම් අමාරු දෙයක් වී තිබුනේද යත් මේ චාරිකාවේ යෙදෙන්ට මට උවමනා විය.(ඇත්තටම එය ඵලක් නැති චාරිකාවක් විය. ඉතාම තදින් වැස්සේය. අපට සීගිරියට නඟින්ට පවා බැරි විය. නමුත් මේ චාරිකාවේදී හැඳින ගන්ට හැකි වූ අපූරු පුද්ගලයින් කිහිප දෙනෙක් විය.)

උදය දේවී දුම් රියේ කොළඹ කොටුවේ සිට හබරණට මම මහින්ද රාජපක්ෂ කටවුට් 64 ක්ද මෛත්‍රිපාල සිරිසේන ඉතාම කුඩා ප්‍රමාණයේ කටවුට් එකක්ද ගණන් කළෙමි. හබරණ සීගිරිය යනු මෛත්‍රිපාල සිරිසේන වැයික්කියයි. මෙයද තනිකර නිල්පාටින් වැසී තිබුණේය. පොදු අපේක්ෂකයාගේ පෝස්ටරයක් පවා දැක ගත හැකි වූයේ හාවා හඳ දැක්කාක් සේය.

“මෙහෙ මිනිස්සු මෛත්‍රිපාල මහත්තයට ගමේ මිනිහා නිසා ඡන්දය දෙයි නේද?”

මම හබරණදී කුළුපග වූ දුම්රිය ස්ථානාධිපතිවරයාගෙන් කටට උත්තරය දී ඇසීමි. (එන ගමනේදී දුම්රිය ප්‍රමාදය නිසා පැය හතරක් අපට හබරණ දුම්රිය ස්ථානයේ රැඳී සිටින්ට සිදුවිය.)

“මොන පිස්සුද මහත්තයා? මෙහේ මිනිස්සු ඔක්කෝම දෙන්නෙ මහින්ද මහත්තයාට. යුද්දෙ නතර කළ එක මිනිස්සුන්ගෙ හිතේ තාම තියෙනවා.”

ඔහු ස්ථිර හඬින් කීයේය.

ඔහුගේ වැයික්කියේදීම මෙසේ අසා ගන්නේ නම් මෛත්‍රිපාල සිරිසේනට ජනාධිපතිවරණයේදී අවස්ථාවක් නැතිම බව මම නිගමනය කළෙමි. මේ නිගමනය මත මම ලිපි කිහිපයක් ලිවීමි.

කවුරු දිනනවාද යන කාරණය ඉඳුරා බැහැර කොට, මෛත්‍රිපාල සිරිසේන ප්‍රතිපත්ති ප්‍රකාශය අපක්ෂපාත විචාරයකට හසු කරමින් මා ලියූ දීර්ඝ ලිපි දෙකක්ද ජනාධිපතිවරණයට දින කිහිපයකට මත්තෙන් Daily Mirror පුවත්පතේ දින දෙකක පුරා පිටුව බැගින් මගේ ලොකු ඡායාරූපද සහිතව පළ විය. මේ ජනාධිපතිවරණයේදී මා පැත්තක් නොගත් බවට මට ඇති හොඳම සාක්ෂියයි.

ජනවාරි නව වැනිදා උදෑසන මම නැවත ෆේස්බුක් ගිණුම විවෘත කලෙමි. ඉන්පසු එහි මා පළ කළ පළමු ඡායාරූපය එදින දිනය පෙනෙන සේ Daily Mirror පුවත්පතක් මත තැබූ මගේ තීන්ත නොතැවරුණු ඇඟිල්ල සහිත අත හා මගේ භාවිතා නොවුණු ඡන්ද කාඩ් පත දක්වා ලීය.

2015 ජනාධිපතිවරණයේදී මගේ ඡන්දය භවිතා නොකිරීමට ගත් නිවැරදි තීරණය ගැන මම අද උදක් සතුටු වෙමි.

Advertisements

2 responses to “40. ජනාධිපතිවරණය 2015 ජනවාරි 8 (දෙවැනි කොටස)

  1. /* ව්‍යාපාර කළමණාකාරිත්ව ශාස්ත්‍රපති උපාධිය */

    වැරදි යෙදුමකි.

    ශාස්ත්‍ර යනු Arts ය.
    ශාස්ත්‍රවේදී Bachelor of Arts යනු ය.
    ශාස්ත්‍රපති යනු Master of Arts ය.

    අදාල කරුණු ගැන විස්තරයක් 2015 ඔක්තෝබරයේ මගේ බ්ලොගයේ ලියා ඇත.

    ඔබ මේ කියන Master of Business Administration (MBA) යන්න ව්‍යාපාර පරිපාලනපති උපාධිය වේ.

    මා දන්නා පරිදි කළමණාකරණය යනු Management සහ Administration යනු පරිපානය වේ.

  2. දේශපාලනික කතාවට වඩා මගේ සිත් ගත්තේ ඔබේ ෆ්‍රන්ස ඉගෙනීමයි. මා සිතා සිටියේ ඉගෙන ගැනීමේ දී යොදා ගන්නා ටෙස්ට් බුක්ස් මෙසේ විනාශ කරන්නේ මා පමණක් බවයි. ඒ පුරුද්ද අතහැර ගැනීමට නොහැකි අතර , ඇතැම් විට දරුවන්ට යමක් පැහැදිලි කිරීමේ දී ද පෙළ පොතෙහි අවශ්‍ය තැන් වල සටහන් තැබීම නොදැනීම සිදු වේ. ඇතැම් දරුවන් තමන්ගේ පෙළ පොතෙහි කුරුටු ගානවාට කැමැති නැත. ඔබේ අතුරුදන් වීම ගැන මා පුදුමයට පත් නොවී සිටියේ විටින් විට ඔබගේ අතුරුදන් වීම් මා ඇස ගැටී තිබුනි බැවිනි. නමුත් ඔබ ඔබගේ වටිනා ඡන්දය ප්‍රකාශ නොකර සිටීම ගැන නම් උදක්ම මාගේ විරෝධය මෙසේ ප්‍රකාශ කරමි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s