42. මගේ පළමු පෙම්පත (My first love letter)

මා පළමු පෙම්පත ලියුවේ අට වැන්නේදීය. එකල මගේ වයස අවුරුදු දහ හතරකි. එය මා ඉන් පෙර හෝ ඉන් පසුව කෙදිනක හෝ මුණ නොගැසුණු සමවයස් යුවතියකට ආදරයෙන් පිරි නමනු ලැබිණි. අඩු ගණනේ එසේ වී යැයි ඇසීමි.

ඔබට පහසුවෙන් සිතා ගත හැකි පරිදි සිද්ධිය මෙසේය.

දින කිහිපයක්ම මට ඕනෑවටත් වඩා ඇගෑලුම්කමක් පෑ මිතුරකු අවසානයේ මා පසෙකට ගෙන ලජ්ජාවෙන් මෙන් සිය සිතැඟි හෙළි කළේය.

“චානුක, උඹට හොඳට ලියන්න පුළුවන්. උඹ මට ලොකු උදව්වක් කරන්න ඕනැ…”

“මොකද්ද…?”

“මචාං… මං ටිකාක් විතර ඉන්ටරෙස්ටඩ් ගර්ල් කෙනෙක් ඉන්නවා ටියුෂන් කලාස් එකේ. උඹ මට ලෙටර් එකක් ලියල දෙන්න ඕනැ ඒකිට…”

“ලව් ලෙටර් එකක්ද…?”

“හ්හ්ම්ම්ම්… ඔව්, ඒ වගේ එකක්…”

අටවැන්නේදී මම ශාන්ත දාන්ත, සිරිමත් මෙන් කීකරු ශිෂ්‍යයෙක්මි. ආදරයක් කියා යමක් ඇතිනම් එය මගේ ජීවිතයට එබිකම් කළේ ඉන් බොහෝ කලෙකට පසුවය. මේ නිසා මම ඒ වන විට කෙදිනකවත් පෙම්පතක් ලියා නොතිබිණි. අඩුම ගණනේ පිටු අසූවේ එක්සයිස් පොත් වල ලියූ මගේ කෙටිකතාවකවත්!

එසේ වුව මේ අභියෝගය භාර ගන්ට මට ප්‍රබල හේතුවක් විය. මිතුරා මේ ඉල්ලීම කරන්ට ඇත්තේ මා පන්තියේ හොඳම ලේඛකයා විය යුතු නිසාය. නැවත හැරී බලද්දී මේ උපකල්පනයේ වරදක් ඇතිය නොපෙණේ.

භාර ගත්තාක් මෙන් නොව මේ පෙම්පත ලිවීම පහසු කාර්යයක් නොවීය. පාසැලේදී එය ලිවිය නොහැකිය. අසු වුවහොත් ඇතිවන තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේද සිතන්ට වත් මම අපොහොසත් වීමි.

ගෙදරදීද එය ලිවිය නොහැකිය. මා යමක් ලියද්දී අම්මා නිතර ඇවිත් උරහිසට උඩින් එබේ. මෙය මා කෙරෙහි සැකයකින් කරන්නක් නොව හුදෙක් කුතුහලයකින් කරන්නක් කියාය, මා සිතුවේ. එවන් අවස්ථාවෙක මා ලියන දේ සඟවා ගනිමි. සාමාන්‍ය ලේඛණයක් සම්බන්ධයෙන් එය කළ හැකි වුවද පෙම්පතක් සම්බන්ධයෙන් කළ නොහැකිය.

අවසානයේ මා තීරණය කළේ ඉරිදා රාත්‍රියේ පාඩම් කටයුතු නිමවා මේ කටයුත්තට අත ගසන්ටය. රාත්‍රි එකොළහෙන් පමණ පසු නැඟිට සිටින්නේ මා පමණය. මෙය අමාරු කාර්යයක් වන්නේ, ප්‍රමාදව නින්දට පිවිස සඳුදා උදෙන්ම නැඟිටින්ටත් වන නිසාය. හිත ඇතිනම් පත කුඩාද? මම ඒ අභියෝගයද ජය ගතිමි.

කරුමෙක මහත! මගේ සේවාදායකයා මගේ උත්සාහය එක හෙළා ප්‍රතික්ෂේප කළේය.

“මොනවද බං උඹ මේ ලියලා තියෙන සිංහල? ඒකිට මෙච්චර බර වචන තේරෙන්නෙ නෑ. පොඩ්ඩක් සරල කරලා ලියපන්!”

බර වචන යොදා ගාම්භීර ලෙස ලියැවෙන රචනාවන්ට මගේ සිංහල ගුරුවරුන් වැඩි ලකුණු දුන්නද, ප්‍රායෝගික ලේඛණයන්හීදී කාටත් තේරුම් ගත හැකි වන ලෙස භාෂාව සරල විය යුතු බැව් මා මුලින්ම ඉගෙන ගත්තේ එදාය!

“මට ඔය හඩු බස ලියන්ට බෑ, උඹම ලියා ගනින්” නොකියා මම පෙම්පත නැවත ලිවීමි. මගේ තුන්වන හෝ හතරවන ව්‍යායාමයේදී සේවා දායකයා සතුටු වන ආකාරයේ පෙම් පතක් ලියා දෙන්ට මට හැකිවිය.

මේ පෙම්පත අදාළ යුවතියට භාර දෙන ලද බව පමණක් ඇසීමි. ඉන්පසු මගේ මිතුරා මගෙන් පෙම්පතක් ලියන්ට ඉල්ලුවේ නැත. එසේම ඒ ආදර කතාවට කුමක් වීද මා ඇසුවේද නැත.

නවවැනි හා දහවැනි ශ්‍රේණියට පියමනින කළ මම පන්තියේ කාර්යබහුලම කුලී පෙම්පත් ලියන්නා බවට පත්ව සිටියෙමි. අඩු තරමින් පෙම්පත් දෙකක් තුනක් වත් මට සතියකට වතාවක් ලියා දෙන්ට සිදුවිය. තව දුරටත් මේවා ප්‍රථම මූලධර්ම වලින් ව්‍යුත්පන්න කිරීම අවශ්‍ය නුවූයේ අවශ්‍ය කොටස් ඡේද පිටින් මෙමරියේ තැන්පත් කොට ගෙන තිබූ හෙයිනි. එසේ නැති වූ විට නන්දා මාලිනිය මගේ සහායට ආවාය. ඇගේ සමහර ගීත පෙම්පත් දෙක තුනෙකටම විස්තාරණය කළ හැකි විය.

තම මිතුරාට පෙම්පත් ලියා දුන් තරුණයකු පිළිබඳව රවීන්ද්‍රනාත් ඨාකූරයින් කළ කෙටි කතාවක් මම මීට බොහෝ කලකට පසුව ඉරිදා පුවත්පතෙකට පරිවර්තනය කළෙමි. මේ තරුණයා තම අසල්වාසී තරුණිය ගැන සිත් පහළ කොට ගෙන සිටියි. ඇයට ආදරය ප්‍රකාශ කරන්ට තරම් ඔහු නිර්භීත නොවේ. මේ අතර ඔහුගේ මිතුරා තම පෙම්වතියට මේ තරුණයා ලවා පෙම්පත් ලියවා ගනියි. තරුණයා ලියන්නේ තම සිහින පෙම්වතිය සිතෙහි මවා ගෙනය. ඔහුගේ පෙම්පත් ඉහළින් ඇගැයෙන බව මිතුරා කියයි. අවසානයේ මිතුරා තම පෙම්වතිය සමඟ විවාහ ගිවිස ගනියි. ඒ තමන් රහසින් පෙම්කළ, සිහියේ තබාගෙන පෙම්පත් ලියූ යුවතියම බව තරුණයා දැන ගන්නේ ඉන් පසුවය.

මට අනෙකුන්ට පෙම්පත් ලියන්ට කවදා හෝ මෙවන් උත්තේජයක් විනිය නොසිතමි. මට යම් උත්තේජයක් ලැබෙන කාලය වන විට මම මේ කාර්යයෙන් බැහැරව සිටියෙමි. ඇත්තටම ඒ උත්තේජය නිසා මා’තින් යමක් ලියැවිණි නම් ඒ කවි, කෙටිකතා හා විද්‍යා ප්‍රබන්ධ මිස පෙම්පත් නොවේ.

එසේම රවීන්ද්‍රනාත් ඨාකූරයින්ගේ කෙටි කතාව තරමටම නාට්‍යානුසාරී නුවුවද, යම් සිත් ගන්නා සුළු සිද්ධීන් මගේ පෙම්පත් ලිවීමේ නාටකයෙහිද වූ බැව සඳහන් විය යුතුය.

නවයේ පන්තියේදී මිතුරකු මට කියා දිගින් දිගටම තම පෙම්වතියට පෙම්පත් ලියවා ගත්තේය. ඔහුටද කරන්ට බැරි නැති මේ කාර්යය මටම කරන්ට දුන්නේ ඇයිද මම අදත් නොදනිමි. සමහරවිට ඔහුගේ කම්මැලිකම නිසා විය හැකිය. ඔහුට අවශ්‍ය වූයේ ලව් එකම නොව භෞතික සැපයකි. එය නිකම්ම ලබා ගත නොහෙන නිසා ඔහු ලව් එක පව්ත්වා ගැන්ම එක්තරා ආකාරයකින් මට ‘අවුට් සෝස්’ කළේය.

ඇය නොදනිතත් සන්නිවේදනය සිදුවූයේ මිතුරා හා ඇය අතර නොව ඇය මා හා අතරය. කොටින්ම ඇය මගේ මිතුරාගේ අත් අකුරු පවා දැන සිටියාය මම නොසිතමි. ඔහුගේ අත් අකුරු සේ ඇය දැන සිටියේ මගේ අත් අකුරුය. එසේම කටුවට ලියා “සේවා දායකයා” විසින් පිටපත් කරන වෙනත් පෙම්පත් මෙන් නොව මට මේ පෙම්පත් ආයාසයෙන් ඒ සඳහාම වූ වෙසෙස් කොළවල ලියන්ට සිදු විය. කොටින්ම එය ෆුල් පැකේජ් සේවාවක් විය. එය ආයාසකර කටයුත්තක් වුවද මට එයට ආසා කළෙමි.

මේ පෙම්පත් ලිවීමේ පරිච්ඡෙදය මගේ ජීවිතයේ ඉතාම සුන්දර අවදියක් සනිටුහන් කළේය. මිතුරා ඇය හා ගතින් බැඳෙද්දී මම ඇය හා සිතින් බැඳුනෙමි. අප දෙදෙනා අතර පැවැති සන්නිවේදනය මගේ ජීවිතයේ එසේ පවත්වා ගත් සොඳුරුම සන්නිවේදනයන් අතුරින් එකක් විය.

එසේම මුල් නම හැරුණු විට ඇය කවරෙක්ද කියා මට කවදාවත් අවබෝධයක් නොවීය. මම ඇය කිසි දිනෙක දැක නොතිබුණෙමි. ඇය දැක ගන්ට අවශ්‍යතාවයක්ද නොවීය. අඩුම ගණනේ “එයා පෙන්නපං මචං” කියා හෝ අයැදුමක් නොකළෙමි. අද පවා ඇය කවරකුද මම නොදන්නා සේම දැන ගැන්මට අවශ්‍යතාවයක්ද නැත. එසේ දැන ගැන්ම ඇය හා පැවැති සුන්දර සන්නිවේදනයේ රස විඳ ගැන්මට බාධාවක්ය මට සිතේ.

අපි බොහෝ විෂයයන් ගැන කතා කළෙමු. දේශපාලනය, කලාව, සාහිත්‍යය, විද්‍යාව – මේ හැම එකක්ම අපේ සංවාදයන්හි මාතෘකා විය. ඇයට මේ බොහෝ විෂයන් ගැන හොඳ දැනුමක්ද මගේ එවක දැක්ම හා කිට්ටුවෙන් යන දැක්මක්ද තිබිණි.

මට අදත් සිතා ගන්ට බැරි මේ සියළු දේ මගේ මිතුරා විසින් නොලියන බව ඇය සැක නොකළේ මන්ද යන්නයි. එක්කෝ ඇය සැක කරන්ට ඇත. නැතිනම් ඇය දැන සිටින්ට ඇත. එහෙත් ඇය ලිපි ලිවීම නතර නොකළාය.

“ඔයා කැමැතිම ගීතය මොකද්ද?”

වරෙක ගීත ගැන සංවාදයකදී මම ඇසීමි. “ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන…” ගීතය ගැන මා මුල්වරට දැන ගත්තේ එනිසාය.

ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැල වෙන කැලෑ මල් ගෙන
ඔබෙ සිරිපා පුදන්නම්

කෙලෙස් මල පිරි නුවර අතහැ‍ර
බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආයෙමි පොලෝ තලයේ
අනේ පිහිටක් නොමැති වූ විට

ඉහළ නිල්වන් අහස ‍විනිවිද
නැඟෙන ඔබගේ යෝධ බුදු බඳ
මගේ නෙත සිත මෝහනය කර
මගේ කුදු බ‍ව පසක් කර ඇත

මේ ගීය මම අසා නොතිබුණෙමි. කැසට් ගැන දැනුම අල්ප වූ, එවන් දැනුමක් තිබුණද, එවන් කටයුත්තක් පිණිස ප්‍රතිපාදන නුවූ ඒ යුගයෙහි මගේ ආසාව එක් වර සංතෘප්ත කර ගැන්මේ මඟක්ද නොවීය. මේ නිසා මේ ගීතය අසන්ට මට බොහෝ කල් ඉවසන්ට විය. අවසානයේ මා මේ ගීතය ඇසූයේ රූපවාහිනී සංස්ථාව විවෘත කළ දිනයේදීය. එදින අමරදේව ගැයූ එකම ගීය එයයි.

බොහෝ කල් බලා සිට හමුවූ සුහදෙකු සේ බැඳෙන්නාක් සේ මම මේ ගීතය හා බැඳුනෙමි. ඒ ඇයිද මම අදද නොදනිමි. එය සංසාර ගත බන්ධනයක් විය. ඒ සංසාර ගත බන්ධනය විච්ඡේදනය හෝ විශ්ලේෂණය කළ නොහැකි විය. තනිව ගත් කළ මම මේ ගීතයේ අරුතට හෝ සංගීතයට හෝ ගායනයට විශේෂ ඇල්මක් නොදැක්වීමි. එහෙත් එක්ව ගත් කල ඊට අපූරු ආත්මයක් විය. මම ඒ ගීතාත්මයට පෙම් කළෙමි.

එක් තීරණාත්මක මොහොතක නතර වන තෙක්, මේ ගීතය මගේ ප්‍රියතම ගීත ලැයිස්තුවේ මුල්තැන ගත්තේය. තනිය සමඟ එය නිතර මුමුණන රාවය බවට පත්විය.

දෙවන දෛවෝපගත සිද්ධියට එතැන් පටන් වසර දෙකක් පමණ අනාගතයට ක්ෂණිකව එමි. මේ මා පසුගිය සටහනෙහි සඳහන් කළ C90 “අමරදේව කලෙක්ෂන්” කැසටය ලැබීමෙන් සතියකට පමණ පසු දවසෙකි.

“ඒයි, You had a time to listen to the cassette?”
“Yes. Several times. Thanks ඒයි. Its great.”
“Loved the two songs?”
“Yes ඒයි, but that wasn’t the best thing…”
“What?”
“It had my favorite song…”
“Mine too ඒයි. You know what?”
“What?”
“අර බුදුගුණ ගීතයක් තිබුනේ “ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන…” කියලා…”
“What? Come again..?”
“ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන -ඔබේ සිරිපා දොවන්නම් – හදේ මැල වෙන කැලෑ මල් ගෙන –
ඔබෙ සිරිපා පුදන්නම්…”
“Hell! ඒයි, You tell me we both loved the same song all these days without knowing it?”

වැළවූ මතක ගැන කතාව එතැනින් නිමා කොට මේ කලයේම පෙම්පතක් ගැන තව එකම එක කතාවකින් පෝස්ටය නිමා කරමි.

පෙම්පත ලීවේ අපේ පන්තියේ සිටි මංගල හෙවත් වඩා ප්‍රකට නාමයෙන් “සොත්තියා” ය. (ඔහු සොත්තියා වූයේ මන්ද අදත් නොදනිමි.) සන්ධ්‍යා නම් යුවතියකටය. කරුමෙට පෙම්පත ලීක් විය. කැඩුණු සිංහලෙන් යුතු මේ පෙම්පත එකෙක් විවේක කාලයේදී පන්තියටම ඇසෙන්ට කියැවීය. මට මතක ආමන්ත්‍රණය පමණයි.

“මගේ ආදරණීය සන්දියා…”

තවකකුට නමක් හදන්නේ කොයි මොහොතේද බලා සිටි ධම්මික රූපසිංහ වහා “කැදැල්ලේ ඇතිවූ කිරිල්ලී වගේ…” ගීතයේ වචන මේ වෙනුවෙන් වෙනස් කළේය.

“බොරැල්ලෙ ඇති වූ ලව් එක වාගේ
හැට අට හෝල්ට් එකේ…
සොත්තියා සිටියේ සන්දියා සමඟින්
බොරැල්ල රජ දහනේ…”

(මෙහි ඉතිරි කොටස නිර්මාණාත්මක වුවද, මෙහි සඳහන් කළ නොහැකි මට්ටමට අසභ්‍යය.)

සති කිහිපයකට මත්තෙන් පාසලේ වූ මිතුරු හමුවකදී මම මේ ගීතය මතකදැයි කිහිප දෙනකුගෙන්ම විමසීමි. පුදුමයකට මෙන් සැලකිය යුතු පිරිසකට වසර තිහකටත් වැඩි කාලයකට පසුවත් සම්පූර්ණ ගීතයම මතක තිබුණේය.

Enter a caption

ධම්මික රූපසිංහගේ තනි පින්තූරයක් සොයා ගත නොහැකි විය. සිද්ධියට අදාළ ස්මයේම වාගේ ගත් මේ  ඡයාරූපයේ මැද සිටින්නේ ධම්මිකය.

 

Advertisements

7 responses to “42. මගේ පළමු පෙම්පත (My first love letter)

  1. මට මතකයට ආවෙ හින්දි චිත්‍රපටයක් උන ” ද ලන්ච් බොක්ස්” නොදැන යැවෙන කෑම සහ හුවමාරුවන ලියුම්. …
    ඔබගේ ලියමන් අපිව අපේ මග දමා ආපු අතීතෙට අපිව ගෙනිහින් අතාරිනවා…

  2. නිතර හමුවෙන අයට ලියුම් මොකටද?

    මා නම් විශ්වවිද්‍යාලයේ සිටි පෙම්වතියන්ට ලිපි ලියා නෑ. එයට නම් හේතුව ඒ කේස් දෙකම එක ටර්ම් එකේ ඒවා වීම. ඒ කියන්නේ මැද නිවාඩු කාලයක් නැතුව ටර්ම් එකේ මුල ඇරඹී ටර්ම් එකේ අවසානයට කලින් ටර්මිනේට් වීම නොහොත් බූට් ලැබීමයි!

    නිතර හමු නොව පෙම් සබඳතාවල දී පෙම් හසුන්වල ඇත්තේ ඉතාම සුන්දරත්වයක්.

    දැනා කාලේ උංට ඒ අත්දැකීම නෑ, නේද අංකල්?

  3. ඔබ තව තවත් ලිවිය යුතුය ..සියලුම මාධ්‍ය වලින් ජරාව ඇසෙන විට ලියන විට ඔබගේ සුවිශේෂත්වය පෙම් පත කියවූ අයට පමණක් නොව අපටත් දැනෙ..

  4. ගස්ලබ්බ

    ලියුම් තරම් දිගට යන්නෙ නැති උනාට එස්.එම්.එස් වලිනුත් ඔයිට ටිකක් විතර සමාන දෙයක් උනා.දැන් නම් එෆ්.බී චැට් එකේදි ඔය අමුතු රසය ලැබෙනවා කියල හිතන්න අමාරුයි.
    බොහොම රසවත් ලිපියක්.
    ජයවේවා..!!

  5. රසවත් ලියවිල්ලක්. සෑහෙන්න රස වින්දා. ඒත් කමෙන්ටුව දාන්න ගිහින් දෙපාරක් දුක් වින්දා..

    ඔය මුලින් කිව්ව කතාවෙදි කෙල්ලත් ලියුම වෙන කෙනෙකුට කියල ලියවගත්ත වෙන්න බැරිද?

  6. ලක්ෂාන්

    මට නම් පාසල් වියේ තිබුනේ unrequited love එකක් – ඒ නිසා පෙම්පත් ලිවීමට තරම් නිර්භිත බවක් ලැබුනේ නැහැ – හැබැයි ඒ දවස්වල (1996-97) No Mercy ලාගේ Where Do You Go සිංදුව මාර විදිහට හිතට දැනුනා මතකයි – ඉන් වසර 10කට පමණ පසු මගේ මුල්ම පෙම්පත් වූයේ දීර්ඝ එස් එම් එස් පණිවිඩයි – අවසානයේ ඒ “පෙම්පත්” යැවූ යුවතිය මගේ ප්‍රියම්භිකාව වුනා.
    ආදරය නිසා ලැබෙන උත්තේජයෙන් නිර්මාණ කෙරෙන අවස්ථා මෙන්ම එතෙක් තිබූ නිර්මාණශිලිබව නවතින අවස්ථාද තිබෙනවා – උදාහරණයකට ඊ එම් ෆෝස්ටර් නම් සුප්‍රකට ඉංගිරිසි නවකතාකරුවා (Passage to India, Howard’s End, Maurice etc. ) තම නවකතා නිර්මාණය හදිසියේ නවත්වන්නේ ඔහුගේ නිර්මාණ දිවිය කූටප්‍රප්තියට පත් ව සිටි සමයේ – ඉතාම මෑතකදී ෆෝස්ටර්ගේම දිනපොත් ඇසුරින් සොයාගැනෙන්නේ එයට ප්‍රධානම හේතුව ඔහු එතෙක් සිහින මවමින් සිටි තම දිවියේ ප්‍රථම ලිංගික අත්දැකීම ලැබීම බවයි.

  7. මම ඔහොම යාලුවෙකුට ලියුම් ලියල දුන්නා ඌට ලියන්න තේරෙන්නේ නෑ කියපු හින්දා.. උන් දෙන්නා බැන්දා.. මම මගේ හිත ගිය ළමයෙකුට ඒ කාලේ ලියුම් ලිව්වා හැබැයි ඒක හරි ගියේ නෑ.. හෙහ් හෙහ්..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s