Daily Archives: April 1, 2017

43. දුරු රටක වෙනස් මිනිසකු වීම හෙවත් මගේ සරසවි ප්ලේ-ලිස්ට් එක

“When your playlist changes, it’s not your playlist, it’s you who is in a transition.”

“මගේ අනෙකා” (මීට වඩා ටිකක් වැඩිපුර වචන භාවිතා කොට) ලියා තිබුණේය.

ඇත්ත. ඔබ වෙනස් වෙද්දී ඔබේ ප්ලේ ලිස්ට් එක වෙනස් වේ; අනෙක් පැත්තට නොවේ.

මා භාරතයට යන්නේ ලංකාවෙන් ලබා ගත නුහුණු සරසවි අධ්‍යාපනය පිණිසය. ඒ වසර දෙකක පමණ ප්‍රමාදයකින්ද යුතුවය. පෞද්ගලික අධ්‍යාපනය කියා යමක් නොතිබුණු ඒ යුගයේ සරසවි අධ්‍යාපනය ලබා ගැනීම පිණිස වෙනත් විකල්පයක් මට නොවීය.

භාරතයට යද්දී සපුරා වෙනස් මිනිසකු විය යුතුය යන තිර අදිටන මට විය. ඒ වන විට මම පශ්චාත් උසස්පෙළ යුගයෙන් ඇරැඹි මගේ ජීවිතයේ එක්තරා අප්‍රසන්න පරිච්ඡෙදයක කුරිරු මතකයෙන් 90% පමණ මිදී සිටියෙමි. ඒ සිද්ධිමාලාව නිසාම දරුණු ලෙස බිඳ වැටුණු ඊගෝවද පිළිසකර කොටගෙන හුන්නෙමි. (එහි මතක හිටින මඟ සලකුණක් වූයේ වසර විසි එකක තරුණයකු සේ රටේ ජනාධිපති අතින් වසරේ විද්‍යා ලේඛකයාට හිමි සම්මානය ලබා ගැන්මයි.) වඩා තිර බැම්මකින්ද බැඳී සිටියෙමි. ඉදින් වෙනස් මිනිසකු වීමේ කිසිම බාධාවක් මට නොවීය.

බලාපොරොත්තු වූ ආකාරයෙන්ම මම භාරතයේදී වෙනස් මිනිසකු වීමි. මා කෑවේ බිව්වේ ඉන්දියානු කෑම බීමය. (විකල්පයක් නොවීය.) කියෙව්වේ ඉන්දියානු පතපොතය; වින්දේ ඉන්දියානු සංගීතයයි; නැරැඹුවේ ඉන්දීය සිතුවම් පටය. ඇන්ඳේ කුර්තා පිජාමාය. (විකල්ප තිබුනද) සිතුවේ ඉන්දියානුවකු විදියටය. කථා කළේ දකුණු ඉන්දියානු ඇක්සන්ට් එකකින් යුතු ඉංගිරිසියයි. රෝමයට ගියා නම් රෝමානුවකු සේ ජීවත් විය යුතුය කතාවක් තියේ.

ඉතින් මගේ සරසවි ප්ලේ ලිස්ට් එක උසස් පෙළ ප්ලේ ලිස්ට් එකෙන් ඉඳුරා වෙනස් වීම පුදුමයක්ද?

10. තුම්සේ මිල්කේ ඈසා ලගා තුම්සේ මිල්කේ… (සිතුවම් පටය: පාරින්දා)

‘පාරින්දා’ මා නැරැඹූ පළමු හින්දි සිතුවම්පටයයි. වැහිබර දිනයෙක කොයි වෙලේ වහීදෝ සැකයෙන් අපේ එළිමහන් රඟමඬලේ, අතිශය උද්‍යෝගිමත් ප්‍රේක්ෂක පිරිසක් මධ්‍යයෙහි මේ ප්‍රේම කාව්‍යය නැරැඹූ අයුරු කෙසේ නම් අමතක කරන්නෙම්ද?

9. තෙන්පාණ්ඩි සීමයිලෙයි…(සිතුවම්පටය: නායගන්)

‘පාරින්දා’ මගේ පළමු හින්දි චිත්‍රපටය වූවාක් සේම ‘නායගන්’ පළමු දෙමළ චිත්‍රපටය විය. දෙමළ චිත්‍රපට නැරැඹීමේ ලොකු උනන්දුවක් නොතිබුණු මා එපිණිස යොමු කිරීමේ පූර්ණ ගෞරවය මගේ දමිල මිතුරන් අතර සමීපතමයා වූ ප්‍රසන්නට හිමිවිය යුතුය. “Chanuka, This is an excellent film man, You should not miss this man” යි ඔහු මගේ කරේ එල්ලී මා එන තුරුම වදයක් විය.

මා ලංකාවට පැමිණි විටෙක ඒ හා සමාන පෙරැත්තයකින් මගේ ඥාති සොහොයුරු චන්දික ‘නායගන්’ ප්‍රදර්ශනය කළ වත්තල පැත්තේ සිනමා හලකට ගෙන ගියෙමි. එතැනි ඇරැඹුණු චන්දිකගේ දෙමළ සිතුවම්පට කාමය අද දක්වාම එක ලෙසින් පවත්නේය. “මාව මුල්ම දෙමළ ෆිල්ම් එකට ගෙනිච්චෙත් චානුක අයියා තමයි” ඔහු තවම කියයි.

8. ආජා රේ…(සිතුවම්පටය: මධුමතී)

මේ ගීය අඩංගු වූයේ හින්දි චිත්‍රපටයක වුව මා මෙය සෝ සමඟ නැරැඹුයේ නිවාඩුවකට ලංකාවට පැමිණි විටෙකය. මතක හැටියට ඒ අප දෙදෙනා නැරැඹූ පළමු හින්දි චිත්‍රපටය හා දෙවන චිත්‍රපටයයි. (මුල් චිත්‍රපටය මොකද්දෝ වියට්නාම් යුද්ධ කතාවකි.) නැරැඹුයේ පරණ එම්පයර් තියෙටර් එකේදීය.

බාගෙට තේරන හින්දියෙන් ඇයට කතාව කියා දීම මේ සිතුවම්පටය නැරැඹීමේ අපූරු අත්දැකීමක් විය.

7. නුඹේ වත දෙස බැලිමි…

මේ ගීතයක්ද නැද්ද මම නොදනිමි. මම එය ඇසීමට කැමැතිව සිටියෙමි. එපමණයි.

භාරතයේ සිටි සිව් වසෙක කාලය තුළ මුල් යුගයේ මා සතුව පැවැති එකම කැසට් පටය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ‘ගොළු හදවතින් තුන්වැනි යාමයට’ ය. වසර දෙකක පමණ පට්ටා ගසමින් මා ඇසූයේ මේ කැසට් පටයයි.

නිවාඩුවට ආ විටෙක සෝ ‘කිඳුරියකගේ විලාපය’ නම කැසට් පටයක් මට තෑගි කළාය. ඒ නන්දා මාලිනිය විසින් ගී කොට ගැයූ කවි දහයකි. ඇගේ පියාගේ පහත කවිය ඉන් එකකි. සෝ මට දුන්නේද, ගීයේ කර්තෘ භාග සේ රුපියල් දහසක තුටු පඬුරකුත් සහිතව, නන්දා මාලිනියගෙන්ම ලද කැසට් පටයයි. අවාසනාවකට පසුව එය නැති විය. මේ කැසට් පටය දැනට අලෙවියේ නැති අතර ගීත කිහිපයක් පමණක් YouTube වලට එකතු වී තියේ.

මෙය මා ගුණසිංහ මහත්තයාගේ කැමැතිම නිර්මාණ අතුරින් එකකි.

නුඹේ වත දෙස බැලිමි දකිනු වස් ප්‍රභාතය..
පුතුනි කිම එහි ළහිරු මුවා කල ඝන අඳුර..
දුටු මතින් සිත් සතන් පහන් කල යුතු දෑස..
නොදිලූණේ කියනු කිම උදා තරු යුගලක්ව..

අරා විනිසුරු අසුන බලන සේ නුඹ ම දෙස..
හැඟෙන්නේ ඇයි ම සිත නුඹේ වත දුටු විගස..
මා නොවේ සොරාගත්තේ නුඹේ ප්‍රභාතය..
කියා හඬ නගනු බැරි සේ ගොළුය මගේ දිව..

නොමළ මුත් මළ මිනිස් කැළ අඳුරු සළු පැළඳ..
නුඹේ උරුමය සොරා රැගෙන ගිය මහ රැයක..
හඬ නැගූයෙන් සැවොම අවදි කරලනු විලස..
අසිපතින් සිඳ දමා ගියේ උන් මගේ දිව..

දෙබෑකර ගොහොරු මඩ මුදුන් වෙයි දරු කැකුළ.
ධූම කේතුව දෙපළු කරයි නුබ අගාධය..
ඉරාගෙන ඝන අඳුරු විෂ ඝෝර අමාවක..
හෙට දිනේ පායන්න ස්වර්ණ හිරු මඬලක්ව..

6. බහුත් ප්‍යාර් කර්තේ හේ තුම්කෝ සනම්… (සිතුවම් පටය: සාජන්)

කර්ණාටක ප්‍රාන්තයේ රාජ්‍ය භාෂාව කන්නඩය. කන්නඩ හා හින්දි චිත්‍රපට පෙන්වන ශාලා කිහිපයක්ම (අපට නුදුරුම වූ) මැංගලෝරයේ තිබුණද ඉංගිරිසි චිත්‍රපට ඉඳහිට හෝ පෙන්වන ශාලාවකට එවක වූයේ ‘නිව් චිත්‍රා’ පමණෙකි. මාත් චිර්පිත් වරෙක ‘නිව්චිත්‍රා’ වට ගියේ ඉංගිරිසි සිතුවම්පටයක් නරඹන අටියෙන් වුවද එහි ප්‍රදර්ශනය කළේ හින්දි සිතුවම්පටයක් වූ ‘සාජන්’ ය. පාඩු නැත. එහි මේ ගීය මගේ ප්‍රියතම ගී අතරට එක් විය.

පසු කලෙක යම් ව්‍යාපෘති කටයුත්තක් පිණිස පැමිණි ඉන්දියානු මිතුරන් පිරිසක් විවේකයට නුවරඑළියට ගෙන යද්දී මගේ ඉපැරණි සාජන් කැසට් පටය රථයේදී ඔවුන් වෙනුවෙන් වාදනයට කළෙමි. පුදුමයකට මෙන් ඔවුන් තිදෙනාගෙන් කිසිවකු මේ ගීය අසා තිබුණේ නැත! (“Chanuka you know Hindi music more than we do!”)

5. තෙරේ මේරේ මිලනි කීයේ රෙනා… (සිතුවම්පටය: අභිමාන්)

මේ සිතුවම්පටයද සෝ සමඟ නැරැඹූයේ ලංකාවට නිවාඩුවකට ආ විටෙක පැරැණි ඉම්පාලා තියෙටර් එකේදීය. එහෙත් ඉන් බොහෝ කලෙකට ඉහත මම මේ ගීය අසා ඊට පෙම් බැඳ සිටියා නොවන්නෙම්ද?

4. චින්න චින ආසෙයි… (සිතුවම්පටය: රෝජා)

‘රෝජා’ මා කිහිපවතාවක් නරඹා ඇති සිතුවම් පටයකි. එහත් නැවත අවස්ථාවක් ලැබුණොත් නරඹමි. ඒ තරමටම සුන්දරය. මේ දමිල ගීතයේ විෂුවල් එක තරම් අපූරුවට දකුණු ඉන්දියානු භූමි සෞන්දර්යය කැටි කොට ගන්නා වෙනත් අවස්ථාවක් මම නොදනිමි.

3. බිම්බරක් සෙනඟ ගැවසුණු…

සිව් වසක් මුළුල්ලේ මම සිංහල සංගීතයෙන් මුළුමනින්ම වාගේ ඈත්ව සිටියෙමි. මේ කාලය තුළ බිහි වූ නව නිර්මාණ ගැන මට තිබුණේ අල්ප දැනුමකි. ගුණදාස කපුගේ නම් වූ, පෙර දැන සිටි, එහෙත් එතරම් ප්‍රකට නොවූ ගායකයා සුවිශේෂී ජනප්‍රියතාවයක් දිනා ගන්නේ මේ යුගයේදීය. කොටින්ම ඒ බවක් වත් මම නොදැන සිටියෙමි. මා සිටියේ හින්දි හා දෙමළ ගීත අසමිනි.

ගුණදාස කපුගේගේ මේ ගීතය පළමුවර මා අසන්නේ (ඒ වන විට අළුත්) නුවර ඉන්ටර්සිටි බස් එකකට ගොඩ වූ යොවුන් ගායකයකුගෙනි. ඒ සෝ හමුවීම පිණිස පේරාදෙණියට යද්දීය. කපුගේගේ හඬින්ම ගීතය ඇසීමට වූ ආසාව නිසාම මම සල්ලි සල්ලි කියා නොබලා කැසට් එකක් මිළට ගත්තෙමි. ඒ සාමාන්‍යයෙන් අතේ වැඩිපුර මුදල් නොගැවසුණු ඒ යුගයේ කළ දෙයක් නොවේ.

2. රඝුපති රාඝව රාජාරාම්…

මෙය සාමාන්‍ය අර්ථයෙන් ගීයක් සේ නම් කළ හැකිද නොදනිමි. එසේ වුව මේ යුගයේ නිතර ඇසූවක් නිසා එක් කරමි. මේ ගීයට මා පෙම්කළේ භාරතයට පිය මැනීමට බොහෝ කාලයකට පෙරය. භාරතයේදී මගේ මිතුරන්ගේ ආධාරයෙන් වචනයෙන් වචනය එහි අර්ථය අවබෝධ කොට ගතිමි. මේ අදත් විවේකයේදී අසන ගීයකි.

1. රිදී පහන් වැටක් වගේ…

ඉන්දියන් සාගරය හරහා ගොළුබෙලි වේගයෙන් එහා මෙහා ගිය හසුන් වල නිරන්තරයෙන් පදයක් හෝ දෙකක් අඩංගු වූ “අපේ ගීතය” !

රිදී පහන් වැටක් වගේ..
අමාවකේ අඳුරු රැයේ
අනාථ වූ ලොවට මගේ…
සිනා සපිරි මුහුණ ඔබේ…

වසන්තයත් වසන්තයක්
නොවේය ඔබ ළඟ නැති කල…
සදෙව් ලොවත් සදෙව් සැපත්
රැදේය මට අද ඔබ ළඟ…

ගිමන් ඇතත් ගිමන් නිවී
දැනේය මට සඳුන් සිසිල…
විකල් සිතින් අවුල් ලිහී
සිඳේය දුක් ඔබෙන් නිබඳ…

පද රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය – ස්ටැන්ලි පීරිස්.