Daily Archives: April 5, 2017

44. “මම මිනිහෙක් මැරුවා, චානුක සර්” හෙවත් සඳරු සමඟ දවසක්

“මම මිනිහෙක් මැරුවා චානුක සර්. මට පෙන්නන්න බැරි එකෙක්. මගේ තරහකාරයෙක්. අම්පාරෙ.”

(මේකා මට තාමත් ‘චානුක සර්’ කියන්නේ පරණ පුරුද්දටය. ඇත්තටම දැන් එවැන්නක අවශ්‍යතාවයක් නැත. එහෙත් අප මුලින්ම හමුවූයේ ඔහු මීට බෙහෙවින් අඩු වයසකදීය.)

මම පරෙස්සමෙන් වචන තෝරා ගනිමි. හයිලෙවල් පාරේ රිය පැදවීමත් මේකාගේ කතාවට කන් දීමත් එකවිට කළ යුතුව තියේ. Multitasking යනු අන්තර්වර්තිකයින්ට හෙවත් introvertsලාට කරන්ට අමාරුම වැඩකි.

“මදි, මට ඊට වැඩිය විස්තර ඕනෑ. හරියටම වෙච්චි හැටි මට කියන්න…”

“මෙහෙමයි. මං හිටියෙ කොළඹ. මූ හිටියෙ අම්පාරෙ. දැන් මේක කාටවත් අහු නොවෙන විදියට කරන්න ඕනැ. මං සති ගණනක් හිත ඇතුළෙන් කල්පනා කළා ඒ ගැන…”

“කොයි කාලෙ විතරද ඔය…?”

“එහෙම කාලයක් කියන්න බෑ චානුක සර්. ඔය අදහස් මගේ ඔළුවට ඇවිත් ගොඩක් කල්. සෑහෙන කාලයක් තිස්සෙ මං ඔය ගැන කල්පනා කළා…”

“හරි. ඊට පස්සෙ…?’

“දන් මේක කරන්න ඕනැ කාටවත් නොදැනෙන හැටියට. ඊට පස්සෙ සිරුර හංගන්න ඕනැ. මං කල්පනා කළා ගොඩක් කල් තිස්සෙ කොහොමද මේක කරන්නෙ කියලා. හරි වලක් හාරලා තියන්න ඕනැ. මරපු ගමන්ම ඒකාව වළ දාන්න…”

“ඉතින්…?”

“ඔයා කියවල තියනවද සමනල විප්ලවය කියල බ්ලොග් නවකතාවක් තිබුනා…”

“ඔව්. දැන් කාලෙකට ඉස්සරනෙ…”

“මං කාලයක් හිතාන හිටිය ඒක ලියන්නෙ ඔයා කියලා… පස්සෙ මට තේරුණා ඒක වෙන්න බෑ කියලා”

“එහෙම තමයි. මං නොකරපු ගොඩක් වැඩ මගේ එකවුන්ට් එකට බැර වෙලා තියෙනවා…”

“ඒකෙ මාර චැප්ටර් එකක තිබුණා චානුක සර්, රතු හාමුදුරුවන්ගෙ කතාව කියලා. මං ඒ කාලෙ සේව් කරගෙන හිටියෙ. මාර වචන භාවිතයක්. ඇමැතියගෙ සේවකයා විස්තර කරන්නෙ ගෝටයිම්බරයා කියලා. උන් කතා කරන්නෙ සංජය බෙල්ලට්ඨිපුත්තගෙ භාෂාවෙන්…”

“මට මතක නෑ. කියවන්න ඕනැ ආපහු, ඒක නෙවෙයි අර මිනිහා මරපු කතාව…?”

“ඔව්, දැන් මං කාටවත් හොරෙන් අම්පාරට යන්න ඕනැ. මොබයිල් එක ගෙනියන්නෙ නෑ. කාමරේ දාල යන්නෙ. නැත්නම් එක දිගට ටවර් එකෙන් ටවර් එකට මගේ ගමන සටහන් වෙනවා. කාමරේ දාල ගියාම කාටවත් කියන්න බෑ මං අම්පාරට ගියා කියලා…”

“කොහොමද ඉතින් මිනිහා මැරුවෙ…?”

“තාම දන්නෙ නෑ. ඔය ඔක්කෝම හිතල නෑ තාම. ප්‍රශ්නයක් ආවාම මං නවතිනවා. නැවතිලා වෙන දෙයක් හිතනවා, පස්සෙ ඒකට විසඳුමක් හොයා ගන්න කල්…”

මේ දක්වා මේ දෙබස කියැවුවකු එය මුන් දෙන්නා ජොයින්ට් එකක් ඇදපු වෙලාවක වෙච්චි කතාවක් යැයි සිතන්නේ නම් ඒ සාධාරණය. ඒත් මේ කතාව වෙද්දී සඳරු සේම මාත් සිටියේ පියවි සිහියෙනි. නිර්මාණාත්මක දෙමනසකට “හයි” වෙන්ට බාහිර උත්තේජක අවශ්‍ය නොවේ. සඳරු කිසිම බාහිර උත්තේජයක බලපෑමකින් තොරව මා සමඟ ‘හයි” වෙන්ට හැකි කිහිප දෙනා’තුරින් එකෙකි.

“සඳරු දැන් තමයි හරියටම “හයි” වෙන්න පටන් අරන් තියෙන්නෙ…”

මම කියමි.

“ඔයා නම් කියයි චානුක සර්. උදේ ඉඳන් මගේ ඔළුව පුපුරන්න වගේ තිබුනෙ. කාලා ඉවරවෙලා ගිහින් ඔලුවම පයිප්පෙට අල්ලලා ගත්තමයි හරි ගියේ…”

“ඇයි ඒ…?”

“ඇයි ඒ කියලා අහන්නෙ? ගල් බෝතලේ ඉවර කළේ උදේ හත හමාරට. ඔයා එනවා නමය හමාරට මාව කුදලාගෙන යන්න…”

“උදේ හත හමාරට? කියන්න එපායැ මනුස්සයෝ. දන්නව නම් මං හවස එනවා. මට කිව්වෙ ගල් බෝතලේ ගැහුවෙ රෑ කියලනෙ…”

“රෑ තමයි පටන් ගත්තෙ. කතාවෙන් කතාවෙන් ඉවර කරන කොට උදේ හත හමාර වුණා…”

“මොනවද ඔය බිව්වම කරන කතා…? එතකොට අර හැංගිලා හිටපු එකෙක් එළියට එනවද…?”

“එක එක කතා තියෙනවනෙ චානුක සර්…”

“එකක් කියන්න…”

“ගමේ ඉන්නවා බාසෙක්. සිරා පොරක්. කඩියා වගේ වැඩ. කටු මැටි ගෙයක් ගහනවා දවසෙන්. මයියොක්කා කෝටු ගහලා ඒ මැද්දට මැටි පුරවලා. උදේ පටන් ගත්තාම හවස් වෙන කොට වැඩේ ඉවරයි. ටික දවසක් යනකොට ගෙයි වහලේ උඩ යනවා…”

“ඇයි ඒ…?”

“ඇයි ඒ කියලා අහන්නෙ? අර පාවිච්චි කරපු මයියොක්කා කෝටු පැළවෙලා…”

“සඳරු බ්ලොග් පෝස්ට් එකක් ලියන්නෙ කොහොමද?’

මම ඔහු හමු වූ මුල් දිනයේදීම ඔහුගෙන් විමසීමි. ඔහු එය පියවරින් පියවර විස්තර කළේය.

“මෙහෙමයි චානුක සර්. ඔන්න අදහසක් ඔළුවට ආවාය කියමුකො. මං ඒක අයින් නොකර ඔළුව ඇතුළෙ වැඩෙන්න ඉඩ දෙනවා. දවස්, සති සමහරවිට මාස ගණනක් මේ අදහස මගේ ඔළුව ඇතුළෙ වැඩෙනවා. මං වාක්‍යයෙන් වාක්‍යය මේ පෝස්ට් එක ලියනවා ඔළුව ඇතුළෙ. ඊට පස්සෙ කටු කොළේක ලියනවා…”

“අතින්…?”

“ඔව්. මුලින් ලියන්නෙ අතින්. ඒක තමයි හදලා පස්සෙ කම්පියුටරේ ටයිප් කරන්නෙ…”

මා මෑතකදී ඔහුගෙන් විමසුවේ බ්ලොග් පෝස්ටයක් ලියද්දී යම් බාහිර උත්තේජකයක් භාවිතා කරන්නේද යනුයි.

“අපෝ නෑ. කීයටවත් නෑ…”

මේ සඳරුය. තව වසර හත අටක් “හිස් අහස” පුරවන්ට අමුද්‍රව්‍ය ඔහු සතුව තියේ. ඒත් දැන් සඳරු ලියන්නේ කලාතුරෙකිනි.

සඳරුගේ රුව රැගත් මුද්‍රිත පෝස්ටරය ගැන මම ඔහුගෙන් විමසමි.

“අළුත් බොසා දැම්ම ලෙඩක් චානුක සර්. මට කිව්වා ටීම් එකට මහින්ද රාජපක්ෂ තුන්වන වර පත් කර ගත යුත්තේ ඇයි කියලා ප්‍රසන්ටේෂන් එකක් කරන්න කියලා. ඉතින් මම කළා…”

“කට්ටිය අමාරු ප්‍රශ්න හෙම ඇහුවෙ නැද්ද…?”

“ඕක දන්න හින්දම මම දැම්ම නීතියක්. අහන ප්‍රශ්න වලට අනිවාර්යයෙන්ම උත්තර දෙනවා. හැබැයි එක ප්‍රශ්නයක් අහන්න ගාස්තුව රුපියල් සීයයි. මම තිබ්බා පෙට්ටියක් රුපියල් සීය දාන්න. ඔන්න මම කතාව කරගෙන යනවා. මහින්ද අපේ පැත්තෙ, අම්පාරෙ පාරවල් හැදුවා කිව්වම එකෙක් අත ඉස්සුවා…”

“හරි. රුපියල් සීය දාන්න. මොකද්ද ප්‍රශ්නෙ…?”

“දැන් චින්තක අම්පාරෙ පාරවල් හැදුණ කියලා අපි දැක්කා. හැබැයි ඒ පාරවල් වල එකම වාහනයක් වත් නෑ…ඇයි ඒ?”

“පාරවල් උඩ වාහන පාක් කරලා තියන සිරිතක් නෑනෙ. ඒවා පාරවල් දිගේ ගෙවල් වලට යන්න ඇති…”

“තව ප්‍රශ්නයක්…”

“ඔව්. රුපියල් සීයයි…”

“ඔබ දන්නවාද මහින්ද රාජපක්ෂ යුගයේ ප්‍රගීත් එක්නැලිගොඩ නම් මාධ්‍යවේදියා අතුරුදහන් වුණාය කියලා…?”

“ඔව්..”

“ඔහු අතුරුදහන් කරන…”

“සොරි. රුපියල් සීයට එක ප්‍රශ්නයයි. තව ප්‍රශ්න අහන්න තියෙනවා නම් තව රුපියල් සීය ගානේ ඕනැ…”

“ආ…ඔබ හිතනවාද ඒ කටයුත්තට මහින්ද රාජපක්ෂගේ සම්බන්ධයක් තිබුනා කියලා…?”

“නෑ”

“ඊට පස්සෙ එකෙක් වත් ප්‍රශ්න ඇහුවෙ නෑ චානුක සර්”

මේ සඳරුය. තව වසර හත අටක් “හිස් අහස” පුරවන්ට අමුද්‍රව්‍ය ඔහු සතුව තියේ. ඒත් දැන් සඳරු ලියන්නේ කලාතුරෙකිනි.