Daily Archives: April 7, 2017

45. මරණයට සෙන්ටිමීටර දහයක් නුදුරින්

උදෑසන නවයයි. අපි යාපනයේ සිට මන්නාරම බලා යන බසයකට නඟිමු.

යාපනයේ සිට මන්නාරමට දුර A32 මාර්ගයේ, සංගුප්පිඩි පාලම ඔස්සේ, පුනරින් හරහා කිලෝ මීටර 130 කි. පෙර සංචාරකයකු ඉන්ටර්නෙට්හි විස්තර කර තිබුණු හැටියට වළ ගොඩැලි සහිත පාරක වන මේ ගමන අවම වශයෙන් පැය තුනක් වත් ගනියි.

“Let me take window seat. In case I get sick…”

මම කියමි. ඔහු හිස සළා එකඟ වේ. අපි හිඳ ගනිමු.

“ඉරණ්ඩු මන්නාර්…”

මගේ දෙමළ උච්චාරණයට බස් කොන්දොස්තර සිහින් සිනාවක් පායි. අපේ කාලයේ අප ඒකට කීවේ ‘නෝණ්ඩි හිනාව’ කියාය. මගේ අනෙකාගේ පරම්පරාවට ඊට වෙනත් යෙදුමක් තිබිය හැක.

“That Ayodhya story… Yesterday night you wanted me to remind…”

“Ah, yes. Where to begin? As we have thre hours let me start from the very beginning. December 6, 1992. I was in the middle of my third year. Our Electronics Measurements paper was scheduled for the next day, a Monday…”

බොහෝ කාලයක් මතකයේ යටපත් වී තිබුණු මේ කතාව නැවත ඇවිස්සීම ගැන මගේ අනෙකාට ඔබ ස්තූතිවන්ත විය යුතුය සිතමි.

————————————————————————————————–

මම මරණයට සෙන්ටිමීටර කිහිපයකට නුදුරින්මි. පුදුමයකට මෙන් මට කිසිදු බියක් නොදැනේ. සිත පුදුමාකාර සේ නිවී ගොසිනි. එසේම මම සම්මා සතියෙන්මි.

මෙය මරණයට ඉතා සමීප වූවකු ලබන පොදු අත්දැකීමක් විය යුතුය. මරණය ඉතාම ආසන්න වන කල්හි එයින් මිදිය හැකි එකම ක්‍රමය නම් ඊට කෙළින්ම මුහුණ දී සටන් කිරීමයි. ඊට සිත නිදහස් විය යුතුය. එසේ නැතිව බියසුළුව දුවන්ට පටන් ගත්තොත් වන්නේ මරණය අනිවාර්යය වීමයි. මම මරණයට එරෙහිව සටන් කරමින් සිටිමි.

දිනය හරියටම මතක නැතද ඒ 1992 දෙසැම්බර් මාසයේ මූසල රාත්‍රියකි.

ස්ථානය ඉන්දියානු අර්ධද්වීපයේ පහතම කෙළවරේ කන්‍යාකුමාරි හි සිට මුම්බායි (එවක බොම්බේ) දක්වා දිවෙන NH17 මාර්ගයෙන්ද, ඊට කිලෝ මීටර භාගයකට එපිටින් ඉන්දීය සාගරයෙන්ද සීමා වූ පටු බිම් කඩෙහි සුරත්කල්හි මා අධ්‍යාපනය ලද National Institute of Technology – Karnataka (එවක Karnataka Regional Engineering College) ආයතනයට නුදුරින් යම් ස්ථානයකි.

හාත්පස කෑලි කැපිය හැකි තරමට ඝණ අඳුරය. විදුලිය විසන්ධි වී හෝ විසන්ධි කොටය. (සමහර විට එදින රාත්‍රිය සමස්ත ඉන්දියාවම එසේ වන්ට ඇතැයි සිතේ.) අහසේ සඳ හෝ තරුවක්ද නැත.

මේ අන්ධකාර රාත්‍රියේ, අප සය දෙනෙක් පනහක පමණ පිළිමල් පිරිසකට එදිරිව, ම්ලේච්ඡයින් දෙපිරිසක සටනකදී මෙන්, ඉංගිරිසි හින්දි අමු කුණුහරුපයෙන් යටි ගිරියෙන් එකිනෙකාට මුර ගා ගනිමින් සිටිමු.

“වට් ද ෆක්… මදර්චුත්… බැංචුත්… කිල් යූ බාස්ටර්ඩ්ස්… බැන්කෙ ලවුඩා … යූ මදර් ෆකර්ස්…”

ඇත්තටම දෙපැත්තෙන්ම කීය කීය හිටියාද ගණන් හදා ගත්තේ පසුවය. ඝන අඳුරෙහි දෙපිරිසටම එකිනෙකා කීදෙනකු සිටීද නොපෙණේ. එහෙත් ස්වරයෙන් හා හඬින් අපට උන් අප කිහිප ගුණෙයකින් ඉක්මවා ඇති බව සිතා ගත පහසුවෙන් හැකිය.

මේ නාඳුනන පිරිසක් නොවේ. අප තෙවන වසරේ සිටියදී අපේම දෙවන වසර වඩා රැඩිකල් වූ සිසු පිරිසකි. වෙනදා කරට අත දාගෙන යන අපට එදා අඳුරේ එකිනෙකා හඳුනා ගැන්මට නොහැකි සේය.

මගේ අතේ බර පිඟන් මැටි ට්‍රාන්ස්ෆෝමර් ඉන්සියුලේටරයකි. කෙසඟ මට එය උස්සා ගන්ට පිළිවන් නම් එයින් පහරක් දී කෙනකු සදහටම නිහඬ කල හැකිය සිතේ. එය මගේ සගයකුගේ ප්‍රොජෙක්ට් එකට අවශ්‍ය මෙවලමකි. ඔහුට වඳිමින්, නොකඩා නැවත රැගෙන එන පොරොන්දුව පිට, එය ගෙන ආයේ ඒ මූසල රාත්‍රියේ පොල්ලක්, බැට් එකක් තියා හොකී ස්ටික් එකක් වත් සොයා ගත නුහුණු හෙයිනි. ඒ සියල්ල යුද්ධයට ගෙන ගොසින්ය.

අඳුරෙහි කිසිවක් නොපෙණුනද අපේ පිළිමළුන්ද අප සේම සන්නද්ධය සිතිය හැකිය. මේ කෑලි කපන රාත්‍රියේ කාගේ හෝ පොළු පහරක් මගේ ඔළුවට එල්ල විය හැක්කේය. අන්ධකාරය වැරදිකරුවන්ට හොඳ නිදහසට කාරණාවකි.

අපේ පිළිමළුන් අන්තවාදී හින්දු කණ්ඩායමකි. ඔවුනගේ වෑයම අහිංසක මුස්ලිම් මනුස්සයකු එදිනෙදා දිවි සරි කොට ගන්නා කුඩා කඩ කෑල්ල ගිනිබත් කිරීමය.

අපේ වෑයම දිවි හිමියෙන් මේ උත්සාහය වැළක්වීමය.

සමස්ත භාරතය හින්දු-මුස්ලිම් ජාතිවාදී ගැටුම් වලින් ඇවිළෙමින් පවතියි. (පසුව මනිරත්නම්ගේ ‘බොම්බේ’ හා ඩැනී බොයිල්ගේ Slumdog Millioner සිතුවම් පට වලට පාදක වන්නේ මේ ගැටුම්ය.) ඉංජිනේරු විද්‍යාලයක්ය කියා හැඟීමකින් හෝ තොරව අපේ විද්‍යාලයේම අන්තවාදී සිසු පිරිසක් “රට ජාතිය ආගම” වෙනුවෙන් ස්වකීය දායකත්වය සැපයිය යුතුය යන ස්ථාවරයට පැමිණ සිටිති.

දින කිහිපයක් තිස්සේම ඔවුහු යම් යම් ආකාර වලින් තමන්ගේ “හින්දුත්වය” ලොකු අකුරු වලින් ප්‍රකාශ කළහ. මේ උත්සාහ පටන් ගත්තේ ඉතාම අහිංසකවය. මුලින්ම තැන තැන බිත්ති වල जय श्री राम (ජය ශ්‍රී රාම්) යැයි ලියැවී තිබෙනු පෙණිනි. මුස්ලිමුන්ට එරෙහිව ගැටුම් උත්සන්න වෙද්දී, මුස්ලිම් ගම්මාන කිහිපයකට මායිමව පැවැති අපේ විද්‍යාලයට පහර දීමක් වනු ඇතැයි කට කතා පැතිර ගියේය. මේ කට කතා මුස්ලිමුන්ට එරෙහිව ගලක් ගසන්ට හොඳ නිදහසට කාරණාවක් විය.

දින කිහිපයකට පසුව යම් සිසු පිරිසක් NH17 මාර්ගයේ ගමන් ගත් පෞද්ගලික වාහන නවතා ඒවා මුස්ලිමුන්ගේය දැන ගත් විට ගල් ගසා හානි කළහ. ඔවුන් ඒවා ගිනි නොතැබූයේ ඒ තරමට නිර්භීත නුවූ නිසාය සිතේ. අබලන් වාහන පසුව පොලිසියට ගෙන යන ලද්දේය. නඩු නැත. පරීක්ෂණ නැත. වෙනදා කොට කලිසමෙන් මෙස් එකට ගියත් නීති කතා කරන විද්‍යාල පරිපාලනය මේවාට සම්පූර්ණ මුණිවත රකියි. ජාතිභේදවාදී ගැටුම් කොහාට ඇවිලී යාදැයි නොදන්නා නිසාය. ඒ අවසරයෙන් කුල්මත් වූ අන්තවාදීන්ට ඊළඟ ඉලක්කය පිණිස ලොකු දෙයක් අවශ්‍යය. මේ “ලොකු දේ” විද්‍යාලය අවට පිහිටි අපට නිබඳව කෑම සැපැයූ මුසල්මානුවන්ගේ කඩ පිළි ගිනි තැබීම වී තියේ.

අපේ පිළිමල්හු, දින කිහිපයකට මත්තෙන්, 1992 දෙසැම්බර් හයවැනිදා, අයෝධ්‍යාහි බබ්රි මස්ජිඩ් නම් මුස්ලිම් පල්ලිය විනාස කොට දැමූ විශ්ව හින්දු පර්ෂද් කාර් සේවකයන්සේ ජාත්‍යාලයෙන් මත්ව සිටිති. 1992 පශ්චාත් රාම් ජන්මභූමි හින්දු-මුස්ලිම් ගැටුම් මෑත යුගයේ භාරතයේ ජාතිවාදී ගැටුම් කැතම ආකාරයෙන්, ජාතික මට්ටමින් මතු වූ අවස්ථාවයි. (යම් හින්දු අන්තවාදී පිරිසක් විශ්වාස කරන හැටියට බබ්රි මස්ජීඩ් ගොඩ නැඟී ඇත්තේ අයෝධ්‍යාවේ රාම් උපත ලද තැන වූ හින්දු දේවාලයක් මතය. ඓතිහාසිකව, රාම් කියා යමෙක් වී නම් ඔහු විසු සමයේ වත්මන් අයෝධ්‍යාව ජන ශූන්‍ය භූමියක් වූ බවට සාක්ෂ්‍ය තියේ.)

මා මේ ගැටුමට මැදිව සිටින්නේ කාරණා දෙකක් නිසාය. එකක් මගේ හෘදය සාක්ෂියයි.
අනෙක මගේ “රූමී” අමිත් භාරතී හෙවත් “භාභා” භාරතීය.

අයෝධ්‍යා සිද්ධිය ඇතිවන්නේ අපේ තෙවන වසර Electronics Measurements ප්‍රශ්න පත්තරයට පෙරදාය. උදෑසන විභාග ශාලවට ගොස් විභාගය අවලංගු කොට ඇතැයි දැන නේවාසිකාගාරයට පැමිණි මොහොතේ පටන් මා උත්සාහ ගන්නේ සමස්ත ඉන්දීය සමාජය තීරණාත්මකව දෙකට බෙදෙන අවස්ථාවක පූර්ණ පිටස්තරයකු වන මා ඔවුන් විසින් කවර කඳවුරකට දමනු ලැබේද, කවර අනන්‍යතාවයකින් යුතුව හඳුනා ගනු ලැබේද, මේ නිසා මගේ ආරක්ෂාවට යම් තර්ජනයක් වේද දැන ගන්ටය.

“Chanuka, why you worry man? You are not a Muslim!”

“Worse than a Muslim, I am an outsider. A complete outsider. You think at a time like this Hindus will take me a part of them?”

“You don’t get it. This has nothing to with Hindus. You are not a Muslim. That’s it. You are safe. Don’t worry.”

“How they know I am not a Muslim? Will they ask me to recite Bhagavat Gita?”

ලංකාවේ 1983 සිද්ධීන් මතක නිසා මම අසමි. 1983 කළු ජූලි සිද්ධීන් මධ්‍යයෙහි රාජගිරියේදී තම පියා සමඟ වාහනයේ ගමන් කරමින් සිටියදීත්, පියාගේ ජාතික හැඳුනුම්පත තිබියදීත්, මා මිතුරු (එවක පහළොස් හැවිරිදි ) සඳරුවන් ගීගණගේට තමන් සිංහල බව ඔප්පු කරන්ට රෝයල් එකේ ශිෂ්‍ය වාර්තා පොත පෙන්වන්ට සිදුවිය.

“You are not circumcised. So you are not a Muslim…” මේ මගේ ‘රූමී’ ය.

“…and how do you know he is not circumcised?”

“Ha! Ha! He is my roomie man. I know more than that!”

කොල්ලෝ අශ්ශීල සිනාවක ගිලෙති. මගේ ගැටළුව තාවකාලිකව යටපත් වේ.

මම මේ දාර්ශනික පැනය මගෙන්ම අසා ගනිමි. මා එතෙක් දැන සිටි භාරතීය සමාජය එකකි. දැන් එය දෙකඩව තියේ. පිටස්තරයකු වන මා මේ දෙකඩ වූ සමාජයේ යම් පැත්තක් ගත යුත්තේද? එසේ නම් ඒ කවර පැත්තද? මගේ මිතුරන් වැඩි පිරිස හින්දූන් වූ හෙයින්, හින්දු සංස්කෘතිය මා හැදී වැඩුණු බෞද්ධ සංස්කෘතියට වඩා ආසන්න හෙයින් (හා මා සුන්නත් කොට නොමැති හෙයින්) හින්දුන්ගේ පැත්තද? මා ඒ පැත්ත ගෙන හින්දූන් කරන හැම ජඩ වැඩක්ම සාධාරණීකරණය කළ යුත්තේද? (භාරතීය ජනතා පාටිය සමඟ මගේ මුල්ම අරෝව මතු වන්නේ මීට බොහෝ පෙර අද්වානිගේ රථ්යාත්‍රා සමයේදීය.)

අවසානයේ මම මෙසේ තීරණය කරමි.

මම හින්දුවෙකු හෝ මුසල්මානයකු හෝ නොවෙමි. ඉන්දීය රජය මට මුදල් වියදම් කොට උගන්වන්නේ මා හින්දුවකු වීම නිසා හෝ මුසල්මානයකු වීම නිසා නොව මා මනුෂ්‍යයකු වීම නිසාය. ඉන්දියානුවන්ගේ මුදලින් අධ්‍යාපනය ලබන මට ඉන්දියානුවකුට – හින්දුවකු වේවා මුසල්මානයකු වේවා – අහිතක් කරන්ට නුපුළුවන. මගේ මේ මොහොතේ කාර්යය විය යුත්තේ පැත්තක් නොගෙන මනුෂ්‍යයකු සේ මේ තත්ත්වය දැකීමයි. මම සිතින් හෝ පැත්තක් නොගනිමි. අසාධාරණයට පමණක් එරෙහි වෙමි.

මේ සිතිවිල්ල පමණක්ම මා ඒ අන්ධකාර රාත්‍රියෙහි ගැටුමට මැදි කළේය මම නොසිතමි. එය එක් හේතුවක් පමණෙකි. ඊට වඩා මා පෙළඹවූ හේතුව අප බේරා ගන්ට උත්සාහ කළ මුස්ලිම් කඩ හිමියා මගේ රූමිගේ (හා ඔහු මඟින් යම් දුරකට මගේද) පෞද්ගලික මිතුරකු වීමය. මගේ ‘රූමී’ නායකත්වය ගෙන යුද්ධයට බසින කළ මට එහි නිරීක්ෂකයකු පමණක් වන්ට බැරිය.

අනෙක් අතට ‘කඩ හිමියා’ කිව්වාට බෂීර් එක්කෝ එවකට අපේම වයසය. නැතිනම් අපට අවුරුද්දක් දෙකක් බාල වන්ටද පිළිවන. එසේම ඔහුට තිබුණේද කඩයක් නොව ලෑලි කෑලි වලින් වට කර තනා ගත් පොඩි අනවසර කඩ කෑල්ලකි. මේ පුංචි කඩ කෑල්ලේ ඔහු ගෑස් ලිපක් හා කුඩා ගෑස් සිලින්ඩරයක් තබාගෙන අපට මැගී නූඩ්ල්ස්, ඔම්ලට් බන්, ඔම්ලට් බ්‍රෙඩ් හා මගේ රූමීගේ වචන වලින් “any damn thing with an egg” විකුණුවේය. මැගී නූඩ්ල්ස් එකක් ඒ කාලයේ ඉන්දීය රුපියල් දහයකි. ඔම්ලට් එකක් හෝ බුල්ස්-අයි එකක් එක් වන විට එය රුපියල් දොළහක් විය. ලංකාවේ එවක මුදලින් රුපියල් තිහකට විතර බෂීර් අපේ කුසගින්න නිවූයේය. මේ අප ප්‍රත්‍යුපකාර කළ යුතු වූ අවස්ථාවයි.

ඒ අඳුරු හා මූසල රාත්‍රියෙහි අන්ධ වූ ජාතිවාදය විසින් ගිනි තැබිය යුතුය තීරණය කොට තිබුණේ මේ අහිංසක මනුස්සයා බෂීර්ගේ එදිනෙදා දිවි පෙවෙතය.

හිතුවාට වඩා දික් වූ මේ කතාව නිමා කළ යුතුය සිතමි. ඊට ඇත්තේ අවප්‍රාප්තියක් හෙවත් anti-climax එකකි.

අප කුණුහරුපයෙන් කෑ ගසමින් පිළිමළුන් වැළකූ මුළු කාලය මම ගණනය නොකළෙමි. පසුව හිතුණු හැටියට එය පැයක සිට පැය දෙකක් දක්වා විය හැකිය. මේ තරම් දිගු කාලයක් අප සය දෙනෙකු පමණක් එවන් පිරිසක් වළකමින් සිටියේ කෙසේද? මේ මට අද දක්වා පිළිතුරක් හරිහැටි හිතා ගත නුහුණු ප්‍රශ්නයකි. මා හිතන්නේ අපේ මැදිහත්වීම ඔවුන්ගේ ජාතිවාදී ආතල් කුඩු කළ බවය. අවසානයේ ඔවුන් හැරී යනතෙක් අප බලා සිටියෙමු. අපේ හදවත් හි වූයේ දිවි රැක ගැන්ම ගැන සතුටක් නොව යහපත් කාර්යයක් ඉටු කිරීමෙන් අනතුරුව ලබන නිරාමිස තෘප්තියයි.

මේ තෘප්තිමත් හැඟීමෙන් යුතුවම අප නින්දට යද්දී උදෑසන තුන හතර වූවා විය හැකිය. රාත්‍රිය මුළුල්ලේ කඩ කෑල්ල ආරක්ෂා කළ යුතුය අප කිසිවකුට කල්පනා නොවීය. අනෙක් අතට එසේ කරන්නට තරම් සම්පත්ද අප සතුව නොවීය. අප සය දෙනකුගේ කණ්ඩායමකි.

මේ විද්‍යාලයය දින නියමයකින් තොරව වසා තිබූ සමයකි. මා නැඟිටුනේ උදේ හතට, අටට හෝ නවයට වන්ට ඇත. මා දුටුවේ මේසයේ ඔළුව ගසා ගෙන හඬමින් සිටින මගේ සගයායි.

“Hey, why you cry man…?”

“No use. It is burnt down. Nothing left.”

“Don’t tell me!”

“Go and see…”

මම හැඳ සිටි ඇඳුම් පිටින්ම කිලෝ මීටරයක් පමණ එපිට බෂීර්ගේ කඩ කෑල්ල තිබුණු තැනට දිව ගියෙමි. ඒ වන විටත් කිහිප දෙනෙක් ඒ වටා වටවී සිටියහ. ගෑස් සිලින්ඩරය හැරුණු විට සියල්ල අළු ගොඩකි. ඒ දෙස හිස් බැල්මෙන් බලා සිටින බෂීර්ගේ දෑස දෙස නොබලන්ට මම උත්සාහ ගතිමි. ඔහුගේ පිටට තට්ටුවක් දාන්ට නොසිතුණේ ඔහු මා එතරම්ම කිට්ටුවෙන් නොදැන සිටි නිසාය. අනෙක් අතට, ආගන්තුකයින් නොව, තමන් විසින්ම පිළියෙළ කෙරුණු අහරින් යැපුණු සිසු පිරිසක විසින්, නොකළ වරදකට ගිනි තබනු ලැබූ තමන්ගේ දිවිපෙවෙත ඉදිරියේ තැවෙන මිනිසකුට මා කරන කියන කවර හෝ දෙයකින් ඵලක් වේද?

මේ සිද්ධියෙන් පසු වසර එකහමාරක් මම ඉගෙනුම් කටයුතු කළෙමි. එහෙත් කිසිදිනෙක නැවත බෂීර් නුදුටුවෙමි. විද්‍යාලයෙන් අස්වී වසරකට පසුව 1994 දී නැවත කළ සංචාරයකදී මා දුටුවේ වෙනත් වෙළඳකු විසින් බෂීර්ගේ තැන අත්පත් කොට ගෙන ඇති බවයි.

බෂීර් ගැන මගේ රූමීගෙන් 2015 දී ඔහු සිංගප්පුරුවේදී හමුවූ අවස්ථාවේ විමසීමි. ඔහුගේ පිළිතුර වූයේද ඒ තීරණාත්මක දිනයෙන් පසුව කෙදිනකවත් බෂීර් නුදුටු බවයි.

අද මම ජාතිවාදියකු නොවන්නේ නම් හා ජාතිවාදය අන් කිසිවකටත් වඩා පිළිකුල් කරන්නේ නම් එසේ වන්ට මේ සිද්ධිය බොහෝ දුරට බලපාන්ට ඇතැයි අවංකව කල්පනා කරමි. ජාතිවාදයේ කුරිරුබව, පිළිකුල් සහගත බව, ජඩ බව, භයානකත්වය මරණයේ දොරටුව ඉදිරියේ සිට අවබෝධ කර ගත්තකුට නැවත කිසිදිනෙක ජාතිවාදියකු විය නොහැක්කේමය.