Daily Archives: April 12, 2017

46. බුදුන් මැරීම

ඔබට මහ මඟ බුදුන් හමුවී නම් ඔහු මරා දමන්න.

– සෙන් ආචාර්ය ලින්ජි යිසුවාං

‘නිරාගමිකයා’ යන පදය ජන ගත කිරීමේ සේම නිවැරදි ලෙස එය නිර්වචනය කිරීමේ පූර්ණ ගෞරවයද රිටිගල ජයසේන යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටින වෘත්තිකයාට හිමිවිය යුතුය සිතමි. ඔහු මෙය කරන්නේ 2010 පමණ හරියේදීය.

[සටහන: ‘නිරාගමිකයා’ තරම් නිරවුල්ව ඒ අදහස ප්‍රකාශ කරන යෙදුමක් මා දන්නා තරමින් ඉංගිරිසියෙහි හෝ ෆ්‍රන්සයෙහි නැත. Aethist යනු දේව බලය විශ්වාස නොකරන්නා මිස ‘නිරාගමිකයා’ නොවේ. ඊට ආසන්නම යෙදුම් Unbeliever (ඉංගිරිසි) හෝ Incroyant (ෆ්‍රන්ස) වේ. එහෙත් මේ දෙකින්ම විශේෂයෙන් ආගමක් නොඅදහන්නාය නොකියැවේ.]

මේ කිසිවක් නොදැන මා, මගේ කැමැත්ත හෝ අකැමැත්ත නොවිමසා උපතින් මට උරුම කරන ලද ආගම කෙරෙහි වූ බන්ධනය ඛණ්ඩනය ආරම්භ කරන්නේ ඊට විසි පස් වසෙකටත් ඔබ්බෙනි. ඒ මා නවවන- දහවන ශ්‍රේණියේ පමණ සිටියදීය.

සාම්ප්‍රදායිකව මම උභය කුල පාරිශුද්ධ බෞද්ධයෙක්මි. පවුල් හා අධ්‍යාපනික පසුබිම ගත් කළ මා තරම් “සුපිරිසිදු බෞද්ධයින්” මෙබිමෙහි තවත් වේද නොදනිමි.

බුදු දහම පිළිබඳ පෘථුල අවබෝධයකින් යුතු මගේ පියා මා දන්නා කාලයේ පටන්ම ලේබල් ගතව තිබුණේ බෞද්ධ උගතකු ලෙසිනි. ඔහු ඇසුරු කළේ ඇච්චන් බැච්චන් නොව ලංකාවේ සිටි, ඉන්නා උගත්ම යැයි සම්මත බෞද්ධ භික්ෂූන්ය. පේරාදෙණියේදී මහාචාර්ය කේ. එන්. ජයතිලකගේ ගෝලයකු වූ ඔහු අදත් කිට්ටුවෙන් ඇසුරු කරන බෞද්ධ මහාචාර්යවරු වෙති. ශ්‍රී ලංකා මහ බැංකුවේ බෞද්ධ සංගමයක් ආරම්භ කරන්ට ඔහු මුල් වූ අතර එනිසාම එහි ආරම්භක සභාපතිද විය. ඔහු ජයන්තිපුර එක්සත් බෞද්ධ සංගමයේ සභාපති ධුරයද වසර විස්සකට අධික කාලයක් තිස්සේ දැරුවෙකි. බුදු දහම ගැන ග්‍රන්ථ රචනා කළ ලේඛකයෙකි. පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධරයෙකි. පාලි භාෂාවේ නිපුණයෙකි. වසර තිස් හතළිස් ගණනෙක දහම් පාසල් ආචාර්ය ධුරය දැරුවෙකි. බුදු දහම බෞද්ධ සාහිත්‍යය ගැනම පමණක් ලිපි දහස් ගණනක් ලියූවෙකි. සය මසෙකට වරක් පළවන බෞද්ධ සඟරාවක සංස්කාරක වරයෙකි. බෞද්ධ ගුවන් විදුලි කතා සතියකට සැරයක් පැවැත්වූවෙකි. මේ අවසානයට කී සිව් කාර්යයන් ඔහු අදත්, අසූ හය හැවිරිදි වියේදීත්, කරයි.

මගේ මව වසර හැත්තෑ ගණනක් තිස්සේ සිරිතක් ලෙස හැමදා සවස බුදුන් වඳින, වසර තිස් ගණනක් දහම් පාසල්හි ඉගැන්වූ ආචාර්යවරියකි. ඇයගේ මව හෙවත් මගේ මිත්තණිය, ඇගේ තනි වියදමින් ගමේ පන්සලේ චෛත්‍යයට කොත පැළැඳවූ උපාසක මාතාවකි. මගෙ මිත්තණිය ජීවත්ව සිටියදී නිවසෙහි දාන මාන කඨින පින්කම් යනාදිය ඉතාම සුලබ දේවල් විය.

දෙමාපියන්ට නොදෙවෙනි වන්ට මම ලංකාවේ බෞද්ධ අධ්‍යපනයේ කේන්ද්‍ර ස්ථානය බඳු වූ ආනන්දයේ ඉගෙනුම ලැබීමි. ඒ කාරණය පැත්තකින් තැබුවද මම අදත් සාර්ථකව පවත්වා ගෙන යනු ලබන දහම් පාසලක පළමු ශිෂ්‍යයා වීමි.

කූඩැල්ලා මෙට්ටේ තැබිය නොහැකිය. කියන්න! මේ ඔබට එය කියන්ට අවස්ථාවයි.

වසර දහ හතරෙක පහළොවක, බුද්ධාගම විෂයක් සේ ඉගෙන ගන්නා සිසුවකුට දර්ශනය ගැඹුරු ලෙස ප්‍රශ්න කරන්ට තරම් දැනුමක් හෝ ශක්තියක් තිබිනැයි මම නොසිතමි; නොකියමි. හැබැයි මේ ඇටෙන් පොත්තෙන් බේරෙන කාලයේ වුවද මම එක් දෙයක් පැහැදිළි ලෙස අවබෝධ කොට සිටියෙමි. එනම් අප ආගම ඇදැහීම සේ හඳුන්වනු ලබන මැටි පිළිමයන්ට වැඳීමේ, මල් පහන් පූජා කිරීමේ, නොතේරෙන පාලි ගාථා මැතිරීමේ වතාවත්වලින් ප්‍රායෝගිකව සිදුවන වැඩක් නැති බවය.

මේ අවබෝධය මට කොහෙන් ආවේද අදත් මම නොදනිමි. ආසන්න අනුමානය නම් ලෝකය පිළිබඳ නොදන්නා සැබෑ තතු සෙවීමේ නොහිම් කුතුහලයෙකින් පෙළෙමින් සිටි මා ඒ ක්‍රියාවලියේම අනිවාර්ය ඵලයක් සේ මේ නිගමනයට පැමිණි බවයි. ඒ හැරුණු විට විෂයයක් සේ උගත් විද්‍යාව පිළිබඳව එදා මට අද ඇති අවබෝධය නොවීය. විද්‍යාව මගේ ප්‍රියතම විෂයය පවා නොවීය. මා එයද උගත්තේ බුද්ධාගම උගත් අරුතින්ම, විභාග සමත්වීම පිණිසය. මා ආසාවෙන් උගත්තේ නම් ඒ ගණිතය හා සිංහලයි.

යම් අවස්ථාවක මම වත් පිළිවෙත් කිරීම තුළින් ආගම ඇදැහීම අතැර, ප්‍රතිපත්ති පූජාවෙන් ‘නිවැරදි බෞද්ධයකු’ වන්ට තීරණය කළෙමි. මේ මා මගේ තීරණය අනුන්ට දැනුම් දුන් සැටිය. සැබැවින්ම වූයේ මා ‘ආගම’ සේ හඳුන්වන යමක් වේද ඒ සියල්ලෙන්ම ටිකෙන් ටික ඈත් වන්ට පටන් ගැන්මයි.

මේ ගමන ආරම්භ කළ යුත්තේද (එවක ඉගෙනුම ලබමින් සිටි) ආනන්දයෙන්ම බව මම දැන සිටියෙමි.

බොහෝ අධ්‍යාපන ආයතනයන්ට සේම ආනන්දයටද පොදු ඇවැතුම් පැවැතුම් රාශියක් වේ. එවන් එක් සිරිතක් නම් ආනන්දයේ බුදු මැදුර ඉදිරියෙන් කවර හෝ කටයුත්තකට ගමන් ගන්නා සිසුවෙක් වුව ‘සුදු බුදු පිළිම වහන්සේ’ (මගේ වචන නොවේ.) ඉදිරියෙහි මොහොතක් නැවැතී දොහොත් මුදුන් දී ‘උන් වහන්සේ’ වන්දනා කිරීමයි.

මම මේ සිරිතෙන් මිදුනෙමි. වැඳීමකින් තොරව මම බුදු මැදුර ඉදිරියෙන් ගමන් කරන්ට පුරුදු වීමි. මේ නවයේදී හෝ දහයේදීය. මේ කාලයෙන් පසුව අද දක්වාම මම කිසිම දවසෙක මේ සිමෙන්ති හා ගඩොල් ගොඩට වැඳ නැත්තෙමි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට මුහුණ දෙන කාලය වන විට මම මීට වඩා තීරණාත්මක සේ ආගමින් ඈත්ව සිටියෙමි. මගේ මිතුරෝ විභාගයට පෙර දින පන්සල් ගියහ. මා ගැන දැන සිටි මව්පියෝ එවැන්නකට මට බල නොකළෝය. (ඊට ප්‍රධාන හේතුවක් නම් එවැන්නක් කළ යුතුය කීයේ නම් මා විභාගයට ඉස්සරින්දා කට කැඩිච්චි කතාවක් කියනවාට ඇති බයයි.)

අපේ සාමාන්‍ය පෙළ විභාග ශාලාව වූයේ ක්‍රීඩාගාරය පැත්තේය. එතැනට යා යුතු වූයේ බුදු මැදුර පසු කරමිනි. මගේ මිතුරෝ “සුදු බුදු පිළිම වහන්සේට” වැටි වැටී වැන්දෝය. මම ඒ කිසිත් නොකොට විභාග ශාලාවට ගියෙමි. “සුදු බුදු පිළිම වහන්සේ” මට ‘ඩී’ අටක්ද මගේ මිතුරන්ට ඊට වඩා අඩු ප්‍රතිඵලද ලබා දුන්නෝය.

උසස් පෙළ යනු ආනන්දයේ වුවද ආගමික වතාවත් කරන්ට දරුණු සේ බල නොකෙරෙන යුගයකි. මේ නිසා මට ආගම සමඟ ගැටුමක් නොවීය.

ඇත්තටම මේ කාලයෙන් පටන් ගෙන ඉදිරියට ඇදෙන වසර දහයක පහළොවක කාලය මට ආගම පිළිබඳව උනන්දුවක් දක්වන්ට තරම් සුවිශේෂී වුවමනාවක් නොවීය. මගේ මනස දේශපාලනය, ආදරය, පුවත්පත් කලාව, ලේඛණය, සංගීතය, විද්‍යාව වැනි වෙනත් බොහෝ දේට යොමුව තිබුණේය. ආගම ඇත්තක්ද බොරුද වැනි කාරණා මම ගැඹුරින් කල්පනා නොකළෙමි. එසේම නිවසෙහි හෝ සමාජයෙහි යම් ආගමික කටයුත්තකට මගේ දායකත්වය ඇවැසි වී නම් නොපිරිහෙළා එයද ලබා දුනිමි.

අහඹු ලෙස මා පළමුවැනි ශිෂ්‍යයා වූ දහම් පාසල වෙනුවෙන්, ආදි ශිෂ්‍යයකු සේ මා භක්ති ගීත සංදර්ශනයක් දෙවරක්ම සංවිධානය කරන්නේද, ඒ වෙනුවෙන් ගීත රචනා කරන්නේද බුදු බැතිය නිසාම නොවේ. (මේ සමහර ගීත අද දක්වාම වසරක් පාසා වෙසක් දවසට ගායනා කෙරෙන්නේය!) ඇත්තම කියනවා නම් මම මේ කටයුතු නිසා කෙලෙස් ප්‍රහීන කරනවා වෙනුවට කෙලෙස් එක් රැස් කළෙමි!

1989 අගෝස්තුවේ රට හැර යද්දී මම කිසිදු ආගමික සංකේතයක් රැගෙන නොගියෙමි. මගේ ඥාති සහෝදරියක මා කෙරේ කරුණාවෙන් දුන් කුඩා බුදු පිළිමයවත්! වසර හතරක සරසවි සිසු ජීවිතය තුළ මගේ කාමරයෙහි කෙදිනක හෝ බුදු පිළිමයක් හෝ පින්තූරයක් හෝ නොවීය. දෙවන වසරෙහි අග භාගයේදී ගෝවේ සිට පැමිණි භක්තිමත් කතෝලිකයකු වූ සැවියෝ ෆර්ඩිනැන්ඩස් කෙටි කලෙකට මගේ රූමී වී මුළු කාමරයම කතෝලික පල්ලියක් කළේය.

මේ සිව් වසර තුල මා සතු වූ එකම ආගමික ග්‍රන්ථය බයිබලයකි. ඒද හුදෙක් පරිශීලනය පිණිසය. මේ කාලයේ මා කියැවූ බොහෝ නවකතාවන්හි (Frederick Forsyth, Erich Segal, Leon Uris, Irving Wallace, Sidney Sheldon, Isaac Asimov, Michael Crichton) සුලබව බයිබලයේ චරිත හා සිද්ධීන් ගැන කියැවිණි. මගේ බයිබලය මා භාවිතා කළේ ඒ ගැන වැඩිදුර අධ්‍යයනය කිරීම පිණිස පමණෙකි.

අනෙක් අතට බෞද්ධයකු සේ පෙනී නොසිටින්ට තරම් මට කාරණාවක්ද නොවූයේය.

1991 සමස්ත ඉන්දීය ජන සංගණනයේදී මමද ගණන් ගැණුනෙමි. සංගණන නිලධරයා මගෙන් ආගම විමසීය. “I am a Buddhist” මම පිළිතුරු දුනිමි. ඔහු “බෞද්ධ” කියා සටහන් කොට ගත්තේය.

තවත් අතිශය තීරණාත්මක අවස්ථාවෙක මැංගලෝර් පොලිසියෙහි ප්‍රධානියා විසින් අපේ ප්‍රධානාචාර්යතුමන්ද ඉදිරිපසදී මගෙන් කුලය විමසනු ලැබිණි. මේ ප්‍රශ්නයට මම යම් පමණෙකට කෝපවීමි.

“I am a Buddhist. We don’t practice caste systems”

මම පිළිතුරු දුනිමි. මේ පිළිතුර මා කොයි තරම් ලොකු ගැටළුවකින් මුදා ගත්තේද මට වැටහෙන්නේ දැන්ය. (මේ කතාව පසුවට!)

2003 දෙසැම්බර් මාසයේ ගංගොඩවිල සෝම හිමියන්ගේ මරණය වන තුරුම මම බුදු දහම සමඟ මේ ලිහිල් සම්බන්ධතාවය පවත්වා ගැනීමි. එතුළ ප්‍රායෝගිකව ආගම ඇදැහීමක් හෝ ආගම අළුතින් ඉගෙනීමක් හෝ නොවීය. ‘බෞද්ධයකු’ සේ පෙනී සිටීම මට ලජ්ජාවක් නුවූ අතර අවස්ථාව අනුව මම ගැළපෙන අයුරින් කටයුතු කළෙමි. නිවසෙහි අනෙකුන්ගේ ආගමික කටයුතු පිණිස පමණක් පන්සල් ගියෙමි.

2003 දෙසැම්බර් මාසයෙන් පසු උද්ගත වූ දේශපාලන වටපිටාව විසින් මට ආගම ගැන යළි ගැඹුරින් සිතා බලන්ට බල කරනු ලැබිණි.

මා එතෙක් නොදැන සිටි අමුතුම මහප්‍රාණ බුද්ධාගමක් එළි දුටුවේද මේ යුගයේදීය.

ඒ වනතෙක් මා දැන සිටි බුද්ධාගමෙහි පදනම වූයේ ධම්ම පදයයි. මම ධම්ම පදයට ආසා කළෙමි. එය උගත්තෙමි. එහි යම් හරයක්, ඇත්තක් දිටිමි. ධම්ම පදයේ බොහෝ ගාථා මට කට පාඩම් විය. (මේවා මුලින්ම කට පාඩම් කළේ විභාගය පිණිසයි.) ධම්ම පදය දිගින් දිහට ප්‍රශ්න කොට නිෂේධ කරනවා වෙනුවට ඒ ඇත්තක් බව පිළි ගැනුම මට පහසු විය. ආරෝග්‍යා පරමා ලාභා, සන්තුට්ඨි පරමං ධනං, මනෝ පුබ්බං ගමා ධම්මා වැනි ප්‍රකාශ එකහෙළා ප්‍රතික්ෂේප කරන්ට තරම් කාරණා නොවේ.

2003 දෙසැම්බරයෙන් ඇරැඹුණු නව බොදු පුබුදුවෙන් (මගේ යෙදුමකි.) අමුතුම මූලධර්මවාදී බුද්ධාගමක් බිහිවන්ට පටන් ගත්තේය. ධම්මපදය වෙනුවට මා ජීවිත කාලයේ කෙදිනක නම වත් අසා නැති සූත්‍ර වලින් කළ උපුටන මට කියවන්ට ලැබුණේය. අප කුඩා කාලයේදී ලොකු බණපොත් වල කවර අතර සිරකොට තැබුණු අභිධර්මය ඉතාම පොදු සාමාන්‍ය දෙයක් බවට පත්විය. (අභිධර්මය යනු දහම් පාසල් දවස් වලම මට පෙන්නන්ට බැරි වූ ධර්ම කොටසකි. මන්ද මට එය නොතේරුණු. විෂය නොවූ නිසාය. අභිධර්මය හා පාලි නිසාම මම සය වැන්නේදී දහම් පාසල් ගමන අත් හළෙමි.)

කිසිදු උනන්දුවක් නොවීම නිසාම වයස තිස්පහ පමණ කාලය වන විටද මට තිබුණේ සමාන්‍ය පෙළ සිසුවකු සතු බුදු දහම ගැන දැනුම පමණෙකි.

ගංගොඩවිල සෝම හිමියන්ට මහාචාර්ය පදවියක් ප්‍රදානය කරනු පිණිස අවධානයට බඳුන් වූවාය කියන උන් වහන්සේගේ ‘බුද්ධ ස්ථූප’ නම් ග්‍රන්ථය මම කුතුහලය නිසාම මිළට ගතිමි. මා මුලින් කල්පනා කලේ මෙය බෞද්ධ ස්ථූපයන් ගැන කළ පර්යේෂණාත්මක ග්‍රන්ථයක් බවයි. එය එසේ නොවන බවත් එය යම් යම් ධර්ම කාරණා කිසිම විශ්ලේෂණයකින් හෝ පොදු අරමුණෙකින් තොරව ඔහේ ගෙඩි පිටින් උපුටා දැක්වූ නිකම්ම නිකම් පිං පිණිස බෙදා හරින ආකාරයේ හිස් ආගමික පොතක් බවත් මම දිටිමි.

“බුදු දහම කියන්නෙ ආගමක් නෙවෙයි දර්ශනයක්. ‘බෞද්ධ දර්ශනයේ’ හරය වටහා ගන්න ඕනැ නම් රේරුකාණේ චන්දවිමල හිමියන්ගේ පතපොත කියවන්න.”

මගේ පණ්ඩිත බෞද්ධ මිතුරෝ උපදෙස් දුන්හ.

ඇත්තම කියනවා නම් බෞද්ධ දර්ශනය යනු බෞද්ධ සාහිත්‍යයෙන් හා ආගමික කාරණා වලින් මුදා ගෙන ගැඹුරින් හැදෑරිය යුතු මාර හරයක් ඇති දෙයක්ය යන මිථ්‍යාව මේ කාලයේ පවා මම එක්තරා මට්ටමකට විශ්වාස කළෙමි.

මේ මිථ්‍යාව දුරු කරන්ට මට උදව් කළ පුද්ගලයා රේරුකාණේ චන්දවිමල හිමියෝය.

මා මේ කරන්ට යන ප්‍රකාශය ගැන මගේ යම් මිතුරන් පිරිසක් උරණ වන්ට පිළිවන. කරන්ට දෙයක් නැත. මා කියන්නේ මා අවබෝධ කොට ගත් දේය. රේරුකාණේ චන්දවිමල හිමියන්ගේ පොත් යනු මහා හරයක් ඇති දේ නොවේ. අපේ සමාජය විසින් ඔළුව උඩ තියාගෙන නටන බෞද්ධ දර්ශනය යනු ලෝකයේ අනෙකුත් හැම ආගමක් සේම කොමන් සෙන්ස් ටිකක් තවත් මිත්‍යා කතාන්තර ගණනාවක් ඔතා පිළියෙළ කරන ලද සලාදයක් බව මට මුල් වරට වටහා දුන්නේ උන් වහන්සේය. ඒ පුණ්‍ය කර්මයේ බලයෙන් උන්වහන්සේට සංසාර ගමන කෙළවර (නොපවත්නා) බෝධියකින් (නොපවත්නා) නිර්වාණය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමි.

දිග කතාවක් කෙටියෙන් කියන්නේ නම් පශ්චාත් ගංගොඩවිල සෝම යුගයේදී බෞද්ධයෙකු සේ පෙනී සිටින්ට මම පළමු වතාවට ලජ්ජා වීමි. සෝමගේ සිට ඤාණානන්ද, සිරිධම්ම, ධම්මාලෝක, සුමංගල, මේධානන්ද, රතන, හරහා ඥානසාර හා බෙංගමුවේ නාලක තෙක් නිර්මාණය වූ නුදුරු අතීතය කිසිවකුට රහසක් නොවන හෙයින් ඒ පිළිබඳ දීර්ඝ පැහැදිළි කිරීමක් අනවශ්‍යය සිතමි.

අද මම නිරාගමිකයෙක්මි. මෙය ආඩම්බරයෙන් කරන ප්‍රකාශයක් නොව fact එකකි. එය ආඩම්බරයෙන් කරන ප්‍රකාශයක් බවට පත් කරන්නෝ ඊනියා බෞද්ධයෝය.

Advertisements