46. බුදුන් මැරීම

ඔබට මහ මඟ බුදුන් හමුවී නම් ඔහු මරා දමන්න.

– සෙන් ආචාර්ය ලින්ජි යිසුවාං

‘නිරාගමිකයා’ යන පදය ජන ගත කිරීමේ සේම නිවැරදි ලෙස එය නිර්වචනය කිරීමේ පූර්ණ ගෞරවයද රිටිගල ජයසේන යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටින වෘත්තිකයාට හිමිවිය යුතුය සිතමි. ඔහු මෙය කරන්නේ 2010 පමණ හරියේදීය.

[සටහන: ‘නිරාගමිකයා’ තරම් නිරවුල්ව ඒ අදහස ප්‍රකාශ කරන යෙදුමක් මා දන්නා තරමින් ඉංගිරිසියෙහි හෝ ෆ්‍රන්සයෙහි නැත. Aethist යනු දේව බලය විශ්වාස නොකරන්නා මිස ‘නිරාගමිකයා’ නොවේ. ඊට ආසන්නම යෙදුම් Unbeliever (ඉංගිරිසි) හෝ Incroyant (ෆ්‍රන්ස) වේ. එහෙත් මේ දෙකින්ම විශේෂයෙන් ආගමක් නොඅදහන්නාය නොකියැවේ.]

මේ කිසිවක් නොදැන මා, මගේ කැමැත්ත හෝ අකැමැත්ත නොවිමසා උපතින් මට උරුම කරන ලද ආගම කෙරෙහි වූ බන්ධනය ඛණ්ඩනය ආරම්භ කරන්නේ ඊට විසි පස් වසෙකටත් ඔබ්බෙනි. ඒ මා නවවන- දහවන ශ්‍රේණියේ පමණ සිටියදීය.

සාම්ප්‍රදායිකව මම උභය කුල පාරිශුද්ධ බෞද්ධයෙක්මි. පවුල් හා අධ්‍යාපනික පසුබිම ගත් කළ මා තරම් “සුපිරිසිදු බෞද්ධයින්” මෙබිමෙහි තවත් වේද නොදනිමි.

බුදු දහම පිළිබඳ පෘථුල අවබෝධයකින් යුතු මගේ පියා මා දන්නා කාලයේ පටන්ම ලේබල් ගතව තිබුණේ බෞද්ධ උගතකු ලෙසිනි. ඔහු ඇසුරු කළේ ඇච්චන් බැච්චන් නොව ලංකාවේ සිටි, ඉන්නා උගත්ම යැයි සම්මත බෞද්ධ භික්ෂූන්ය. පේරාදෙණියේදී මහාචාර්ය කේ. එන්. ජයතිලකගේ ගෝලයකු වූ ඔහු අදත් කිට්ටුවෙන් ඇසුරු කරන බෞද්ධ මහාචාර්යවරු වෙති. ශ්‍රී ලංකා මහ බැංකුවේ බෞද්ධ සංගමයක් ආරම්භ කරන්ට ඔහු මුල් වූ අතර එනිසාම එහි ආරම්භක සභාපතිද විය. ඔහු ජයන්තිපුර එක්සත් බෞද්ධ සංගමයේ සභාපති ධුරයද වසර විස්සකට අධික කාලයක් තිස්සේ දැරුවෙකි. බුදු දහම ගැන ග්‍රන්ථ රචනා කළ ලේඛකයෙකි. පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධරයෙකි. පාලි භාෂාවේ නිපුණයෙකි. වසර තිස් හතළිස් ගණනෙක දහම් පාසල් ආචාර්ය ධුරය දැරුවෙකි. බුදු දහම බෞද්ධ සාහිත්‍යය ගැනම පමණක් ලිපි දහස් ගණනක් ලියූවෙකි. සය මසෙකට වරක් පළවන බෞද්ධ සඟරාවක සංස්කාරක වරයෙකි. බෞද්ධ ගුවන් විදුලි කතා සතියකට සැරයක් පැවැත්වූවෙකි. මේ අවසානයට කී සිව් කාර්යයන් ඔහු අදත්, අසූ හය හැවිරිදි වියේදීත්, කරයි.

මගේ මව වසර හැත්තෑ ගණනක් තිස්සේ සිරිතක් ලෙස හැමදා සවස බුදුන් වඳින, වසර තිස් ගණනක් දහම් පාසල්හි ඉගැන්වූ ආචාර්යවරියකි. ඇයගේ මව හෙවත් මගේ මිත්තණිය, ඇගේ තනි වියදමින් ගමේ පන්සලේ චෛත්‍යයට කොත පැළැඳවූ උපාසක මාතාවකි. මගෙ මිත්තණිය ජීවත්ව සිටියදී නිවසෙහි දාන මාන කඨින පින්කම් යනාදිය ඉතාම සුලබ දේවල් විය.

දෙමාපියන්ට නොදෙවෙනි වන්ට මම ලංකාවේ බෞද්ධ අධ්‍යපනයේ කේන්ද්‍ර ස්ථානය බඳු වූ ආනන්දයේ ඉගෙනුම ලැබීමි. ඒ කාරණය පැත්තකින් තැබුවද මම අදත් සාර්ථකව පවත්වා ගෙන යනු ලබන දහම් පාසලක පළමු ශිෂ්‍යයා වීමි.

කූඩැල්ලා මෙට්ටේ තැබිය නොහැකිය. කියන්න! මේ ඔබට එය කියන්ට අවස්ථාවයි.

වසර දහ හතරෙක පහළොවක, බුද්ධාගම විෂයක් සේ ඉගෙන ගන්නා සිසුවකුට දර්ශනය ගැඹුරු ලෙස ප්‍රශ්න කරන්ට තරම් දැනුමක් හෝ ශක්තියක් තිබිනැයි මම නොසිතමි; නොකියමි. හැබැයි මේ ඇටෙන් පොත්තෙන් බේරෙන කාලයේ වුවද මම එක් දෙයක් පැහැදිළි ලෙස අවබෝධ කොට සිටියෙමි. එනම් අප ආගම ඇදැහීම සේ හඳුන්වනු ලබන මැටි පිළිමයන්ට වැඳීමේ, මල් පහන් පූජා කිරීමේ, නොතේරෙන පාලි ගාථා මැතිරීමේ වතාවත්වලින් ප්‍රායෝගිකව සිදුවන වැඩක් නැති බවය.

මේ අවබෝධය මට කොහෙන් ආවේද අදත් මම නොදනිමි. ආසන්න අනුමානය නම් ලෝකය පිළිබඳ නොදන්නා සැබෑ තතු සෙවීමේ නොහිම් කුතුහලයෙකින් පෙළෙමින් සිටි මා ඒ ක්‍රියාවලියේම අනිවාර්ය ඵලයක් සේ මේ නිගමනයට පැමිණි බවයි. ඒ හැරුණු විට විෂයයක් සේ උගත් විද්‍යාව පිළිබඳව එදා මට අද ඇති අවබෝධය නොවීය. විද්‍යාව මගේ ප්‍රියතම විෂයය පවා නොවීය. මා එයද උගත්තේ බුද්ධාගම උගත් අරුතින්ම, විභාග සමත්වීම පිණිසය. මා ආසාවෙන් උගත්තේ නම් ඒ ගණිතය හා සිංහලයි.

යම් අවස්ථාවක මම වත් පිළිවෙත් කිරීම තුළින් ආගම ඇදැහීම අතැර, ප්‍රතිපත්ති පූජාවෙන් ‘නිවැරදි බෞද්ධයකු’ වන්ට තීරණය කළෙමි. මේ මා මගේ තීරණය අනුන්ට දැනුම් දුන් සැටිය. සැබැවින්ම වූයේ මා ‘ආගම’ සේ හඳුන්වන යමක් වේද ඒ සියල්ලෙන්ම ටිකෙන් ටික ඈත් වන්ට පටන් ගැන්මයි.

මේ ගමන ආරම්භ කළ යුත්තේද (එවක ඉගෙනුම ලබමින් සිටි) ආනන්දයෙන්ම බව මම දැන සිටියෙමි.

බොහෝ අධ්‍යාපන ආයතනයන්ට සේම ආනන්දයටද පොදු ඇවැතුම් පැවැතුම් රාශියක් වේ. එවන් එක් සිරිතක් නම් ආනන්දයේ බුදු මැදුර ඉදිරියෙන් කවර හෝ කටයුත්තකට ගමන් ගන්නා සිසුවෙක් වුව ‘සුදු බුදු පිළිම වහන්සේ’ (මගේ වචන නොවේ.) ඉදිරියෙහි මොහොතක් නැවැතී දොහොත් මුදුන් දී ‘උන් වහන්සේ’ වන්දනා කිරීමයි.

මම මේ සිරිතෙන් මිදුනෙමි. වැඳීමකින් තොරව මම බුදු මැදුර ඉදිරියෙන් ගමන් කරන්ට පුරුදු වීමි. මේ නවයේදී හෝ දහයේදීය. මේ කාලයෙන් පසුව අද දක්වාම මම කිසිම දවසෙක මේ සිමෙන්ති හා ගඩොල් ගොඩට වැඳ නැත්තෙමි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට මුහුණ දෙන කාලය වන විට මම මීට වඩා තීරණාත්මක සේ ආගමින් ඈත්ව සිටියෙමි. මගේ මිතුරෝ විභාගයට පෙර දින පන්සල් ගියහ. මා ගැන දැන සිටි මව්පියෝ එවැන්නකට මට බල නොකළෝය. (ඊට ප්‍රධාන හේතුවක් නම් එවැන්නක් කළ යුතුය කීයේ නම් මා විභාගයට ඉස්සරින්දා කට කැඩිච්චි කතාවක් කියනවාට ඇති බයයි.)

අපේ සාමාන්‍ය පෙළ විභාග ශාලාව වූයේ ක්‍රීඩාගාරය පැත්තේය. එතැනට යා යුතු වූයේ බුදු මැදුර පසු කරමිනි. මගේ මිතුරෝ “සුදු බුදු පිළිම වහන්සේට” වැටි වැටී වැන්දෝය. මම ඒ කිසිත් නොකොට විභාග ශාලාවට ගියෙමි. “සුදු බුදු පිළිම වහන්සේ” මට ‘ඩී’ අටක්ද මගේ මිතුරන්ට ඊට වඩා අඩු ප්‍රතිඵලද ලබා දුන්නෝය.

උසස් පෙළ යනු ආනන්දයේ වුවද ආගමික වතාවත් කරන්ට දරුණු සේ බල නොකෙරෙන යුගයකි. මේ නිසා මට ආගම සමඟ ගැටුමක් නොවීය.

ඇත්තටම මේ කාලයෙන් පටන් ගෙන ඉදිරියට ඇදෙන වසර දහයක පහළොවක කාලය මට ආගම පිළිබඳව උනන්දුවක් දක්වන්ට තරම් සුවිශේෂී වුවමනාවක් නොවීය. මගේ මනස දේශපාලනය, ආදරය, පුවත්පත් කලාව, ලේඛණය, සංගීතය, විද්‍යාව වැනි වෙනත් බොහෝ දේට යොමුව තිබුණේය. ආගම ඇත්තක්ද බොරුද වැනි කාරණා මම ගැඹුරින් කල්පනා නොකළෙමි. එසේම නිවසෙහි හෝ සමාජයෙහි යම් ආගමික කටයුත්තකට මගේ දායකත්වය ඇවැසි වී නම් නොපිරිහෙළා එයද ලබා දුනිමි.

අහඹු ලෙස මා පළමුවැනි ශිෂ්‍යයා වූ දහම් පාසල වෙනුවෙන්, ආදි ශිෂ්‍යයකු සේ මා භක්ති ගීත සංදර්ශනයක් දෙවරක්ම සංවිධානය කරන්නේද, ඒ වෙනුවෙන් ගීත රචනා කරන්නේද බුදු බැතිය නිසාම නොවේ. (මේ සමහර ගීත අද දක්වාම වසරක් පාසා වෙසක් දවසට ගායනා කෙරෙන්නේය!) ඇත්තම කියනවා නම් මම මේ කටයුතු නිසා කෙලෙස් ප්‍රහීන කරනවා වෙනුවට කෙලෙස් එක් රැස් කළෙමි!

1989 අගෝස්තුවේ රට හැර යද්දී මම කිසිදු ආගමික සංකේතයක් රැගෙන නොගියෙමි. මගේ ඥාති සහෝදරියක මා කෙරේ කරුණාවෙන් දුන් කුඩා බුදු පිළිමයවත්! වසර හතරක සරසවි සිසු ජීවිතය තුළ මගේ කාමරයෙහි කෙදිනක හෝ බුදු පිළිමයක් හෝ පින්තූරයක් හෝ නොවීය. දෙවන වසරෙහි අග භාගයේදී ගෝවේ සිට පැමිණි භක්තිමත් කතෝලිකයකු වූ සැවියෝ ෆර්ඩිනැන්ඩස් කෙටි කලෙකට මගේ රූමී වී මුළු කාමරයම කතෝලික පල්ලියක් කළේය.

මේ සිව් වසර තුල මා සතු වූ එකම ආගමික ග්‍රන්ථය බයිබලයකි. ඒද හුදෙක් පරිශීලනය පිණිසය. මේ කාලයේ මා කියැවූ බොහෝ නවකතාවන්හි (Frederick Forsyth, Erich Segal, Leon Uris, Irving Wallace, Sidney Sheldon, Isaac Asimov, Michael Crichton) සුලබව බයිබලයේ චරිත හා සිද්ධීන් ගැන කියැවිණි. මගේ බයිබලය මා භාවිතා කළේ ඒ ගැන වැඩිදුර අධ්‍යයනය කිරීම පිණිස පමණෙකි.

අනෙක් අතට බෞද්ධයකු සේ පෙනී නොසිටින්ට තරම් මට කාරණාවක්ද නොවූයේය.

1991 සමස්ත ඉන්දීය ජන සංගණනයේදී මමද ගණන් ගැණුනෙමි. සංගණන නිලධරයා මගෙන් ආගම විමසීය. “I am a Buddhist” මම පිළිතුරු දුනිමි. ඔහු “බෞද්ධ” කියා සටහන් කොට ගත්තේය.

තවත් අතිශය තීරණාත්මක අවස්ථාවෙක මැංගලෝර් පොලිසියෙහි ප්‍රධානියා විසින් අපේ ප්‍රධානාචාර්යතුමන්ද ඉදිරිපසදී මගෙන් කුලය විමසනු ලැබිණි. මේ ප්‍රශ්නයට මම යම් පමණෙකට කෝපවීමි.

“I am a Buddhist. We don’t practice caste systems”

මම පිළිතුරු දුනිමි. මේ පිළිතුර මා කොයි තරම් ලොකු ගැටළුවකින් මුදා ගත්තේද මට වැටහෙන්නේ දැන්ය. (මේ කතාව පසුවට!)

2003 දෙසැම්බර් මාසයේ ගංගොඩවිල සෝම හිමියන්ගේ මරණය වන තුරුම මම බුදු දහම සමඟ මේ ලිහිල් සම්බන්ධතාවය පවත්වා ගැනීමි. එතුළ ප්‍රායෝගිකව ආගම ඇදැහීමක් හෝ ආගම අළුතින් ඉගෙනීමක් හෝ නොවීය. ‘බෞද්ධයකු’ සේ පෙනී සිටීම මට ලජ්ජාවක් නුවූ අතර අවස්ථාව අනුව මම ගැළපෙන අයුරින් කටයුතු කළෙමි. නිවසෙහි අනෙකුන්ගේ ආගමික කටයුතු පිණිස පමණක් පන්සල් ගියෙමි.

2003 දෙසැම්බර් මාසයෙන් පසු උද්ගත වූ දේශපාලන වටපිටාව විසින් මට ආගම ගැන යළි ගැඹුරින් සිතා බලන්ට බල කරනු ලැබිණි.

මා එතෙක් නොදැන සිටි අමුතුම මහප්‍රාණ බුද්ධාගමක් එළි දුටුවේද මේ යුගයේදීය.

ඒ වනතෙක් මා දැන සිටි බුද්ධාගමෙහි පදනම වූයේ ධම්ම පදයයි. මම ධම්ම පදයට ආසා කළෙමි. එය උගත්තෙමි. එහි යම් හරයක්, ඇත්තක් දිටිමි. ධම්ම පදයේ බොහෝ ගාථා මට කට පාඩම් විය. (මේවා මුලින්ම කට පාඩම් කළේ විභාගය පිණිසයි.) ධම්ම පදය දිගින් දිහට ප්‍රශ්න කොට නිෂේධ කරනවා වෙනුවට ඒ ඇත්තක් බව පිළි ගැනුම මට පහසු විය. ආරෝග්‍යා පරමා ලාභා, සන්තුට්ඨි පරමං ධනං, මනෝ පුබ්බං ගමා ධම්මා වැනි ප්‍රකාශ එකහෙළා ප්‍රතික්ෂේප කරන්ට තරම් කාරණා නොවේ.

2003 දෙසැම්බරයෙන් ඇරැඹුණු නව බොදු පුබුදුවෙන් (මගේ යෙදුමකි.) අමුතුම මූලධර්මවාදී බුද්ධාගමක් බිහිවන්ට පටන් ගත්තේය. ධම්මපදය වෙනුවට මා ජීවිත කාලයේ කෙදිනක නම වත් අසා නැති සූත්‍ර වලින් කළ උපුටන මට කියවන්ට ලැබුණේය. අප කුඩා කාලයේදී ලොකු බණපොත් වල කවර අතර සිරකොට තැබුණු අභිධර්මය ඉතාම පොදු සාමාන්‍ය දෙයක් බවට පත්විය. (අභිධර්මය යනු දහම් පාසල් දවස් වලම මට පෙන්නන්ට බැරි වූ ධර්ම කොටසකි. මන්ද මට එය නොතේරුණු. විෂය නොවූ නිසාය. අභිධර්මය හා පාලි නිසාම මම සය වැන්නේදී දහම් පාසල් ගමන අත් හළෙමි.)

කිසිදු උනන්දුවක් නොවීම නිසාම වයස තිස්පහ පමණ කාලය වන විටද මට තිබුණේ සමාන්‍ය පෙළ සිසුවකු සතු බුදු දහම ගැන දැනුම පමණෙකි.

ගංගොඩවිල සෝම හිමියන්ට මහාචාර්ය පදවියක් ප්‍රදානය කරනු පිණිස අවධානයට බඳුන් වූවාය කියන උන් වහන්සේගේ ‘බුද්ධ ස්ථූප’ නම් ග්‍රන්ථය මම කුතුහලය නිසාම මිළට ගතිමි. මා මුලින් කල්පනා කලේ මෙය බෞද්ධ ස්ථූපයන් ගැන කළ පර්යේෂණාත්මක ග්‍රන්ථයක් බවයි. එය එසේ නොවන බවත් එය යම් යම් ධර්ම කාරණා කිසිම විශ්ලේෂණයකින් හෝ පොදු අරමුණෙකින් තොරව ඔහේ ගෙඩි පිටින් උපුටා දැක්වූ නිකම්ම නිකම් පිං පිණිස බෙදා හරින ආකාරයේ හිස් ආගමික පොතක් බවත් මම දිටිමි.

“බුදු දහම කියන්නෙ ආගමක් නෙවෙයි දර්ශනයක්. ‘බෞද්ධ දර්ශනයේ’ හරය වටහා ගන්න ඕනැ නම් රේරුකාණේ චන්දවිමල හිමියන්ගේ පතපොත කියවන්න.”

මගේ පණ්ඩිත බෞද්ධ මිතුරෝ උපදෙස් දුන්හ.

ඇත්තම කියනවා නම් බෞද්ධ දර්ශනය යනු බෞද්ධ සාහිත්‍යයෙන් හා ආගමික කාරණා වලින් මුදා ගෙන ගැඹුරින් හැදෑරිය යුතු මාර හරයක් ඇති දෙයක්ය යන මිථ්‍යාව මේ කාලයේ පවා මම එක්තරා මට්ටමකට විශ්වාස කළෙමි.

මේ මිථ්‍යාව දුරු කරන්ට මට උදව් කළ පුද්ගලයා රේරුකාණේ චන්දවිමල හිමියෝය.

මා මේ කරන්ට යන ප්‍රකාශය ගැන මගේ යම් මිතුරන් පිරිසක් උරණ වන්ට පිළිවන. කරන්ට දෙයක් නැත. මා කියන්නේ මා අවබෝධ කොට ගත් දේය. රේරුකාණේ චන්දවිමල හිමියන්ගේ පොත් යනු මහා හරයක් ඇති දේ නොවේ. අපේ සමාජය විසින් ඔළුව උඩ තියාගෙන නටන බෞද්ධ දර්ශනය යනු ලෝකයේ අනෙකුත් හැම ආගමක් සේම කොමන් සෙන්ස් ටිකක් තවත් මිත්‍යා කතාන්තර ගණනාවක් ඔතා පිළියෙළ කරන ලද සලාදයක් බව මට මුල් වරට වටහා දුන්නේ උන් වහන්සේය. ඒ පුණ්‍ය කර්මයේ බලයෙන් උන්වහන්සේට සංසාර ගමන කෙළවර (නොපවත්නා) බෝධියකින් (නොපවත්නා) නිර්වාණය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමි.

දිග කතාවක් කෙටියෙන් කියන්නේ නම් පශ්චාත් ගංගොඩවිල සෝම යුගයේදී බෞද්ධයෙකු සේ පෙනී සිටින්ට මම පළමු වතාවට ලජ්ජා වීමි. සෝමගේ සිට ඤාණානන්ද, සිරිධම්ම, ධම්මාලෝක, සුමංගල, මේධානන්ද, රතන, හරහා ඥානසාර හා බෙංගමුවේ නාලක තෙක් නිර්මාණය වූ නුදුරු අතීතය කිසිවකුට රහසක් නොවන හෙයින් ඒ පිළිබඳ දීර්ඝ පැහැදිළි කිරීමක් අනවශ්‍යය සිතමි.

අද මම නිරාගමිකයෙක්මි. මෙය ආඩම්බරයෙන් කරන ප්‍රකාශයක් නොව fact එකකි. එය ආඩම්බරයෙන් කරන ප්‍රකාශයක් බවට පත් කරන්නෝ ඊනියා බෞද්ධයෝය.

Advertisements

22 responses to “46. බුදුන් මැරීම

  1. /* එක් සිරිතක් නම් ආනන්දයේ බුදු මැදුර ඉදිරියෙන් කවර හෝ කටයුත්තකට ගමන් ගන්නා සිසුවෙක් වුව ‘සුදු බුදු පිළිම වහන්සේ’ (මගේ වචන නොවේ.) ඉදිරියෙහි මොහොතක් නැවැතී දොහොත් මුදුන් දී ‘උන් වහන්සේ’ වන්දනා කිරීමයි. */

    ආනන්දයේ බුදු ගේ ලඟින් යන කොට ඒකට වඳින සිරිතක් තිබුණා ය කියා මා දැනගත්තේ අදයි!

    මං හිතන්නේ මේක මා පාසලෙන් පිට වුණු පසු, චානුක අශෝකයෙන් ආනන්දයට එන්නට පෙර ඇති වුණු සිරිතක් විය යුතුයි.

  2. මේ ලිපියේ කරුණු සහ මගේ අත්දැකීම් අතර සමාන්තර දේ කිහිපයක් ම තියෙනවා.

    චානුක ද කියවා ඇති මා ලියූ “පන්සිල් ගත් අන්තිම දා” නමැති රචනයේ සඳහන් පරිදි මා පන්සිල් නැවත නැවතත් නොගෙන ඉන්නට තීරණය කළේ ආනන්දයේ දී උදෑසන රැස්වීමක හාමුදුරුකෙනෙකු කළ පන්සිල් ගැනීමේ හොඳ ගැන කතාවක් ඇසීමෙන් පසුවයි.

    ඔය රේරුකානේ පොත් කියවන්නට කියා මටත් කීප දෙණෙකු ම යෝජනා කළ නිසාත්, නොමිලේ බා-ගත හැකි නිසාත් මාත් පිටුවක් දෙකක් කියවා එහි ඇත්තේ බයිලා බව වටහා ගත්තා!

  3. //බොහෝ අධ්‍යාපන ආයතනයන්ට සේම ආනන්දයටද පොදු ඇවැතුම් පැවැතුම් රාශියක් වේ. එවන් එක් සිරිතක් නම් ආනන්දයේ බුදු මැදුර ඉදිරියෙන් කවර හෝ කටයුත්තකට ගමන් ගන්නා සිසුවෙක් වුව ‘සුදු බුදු පිළිම වහන්සේ’ (මගේ වචන නොවේ.) ඉදිරියෙහි මොහොතක් නැවැතී දොහොත් මුදුන් දී ‘උන් වහන්සේ’ වන්දනා කිරීමයි//
    මේ වගේ ඉස්කෝල ලංකාවේ තිබුන කියල හිතාගන්නවත් බැරි පරිසරයක මම හැදුනෙ.

  4. //මම පිළිතුරු දුනිමි. මේ පිළිතුර මා කොයි තරම් ලොකු ගැටළුවකින් මුදා ගත්තේද මට වැටහෙන්නේ දැන්ය. (මේ කතාව පසුවට!)//
    වැඩිය පහු කරන්න එපා.

  5. I M S Sathyaprasad

    චානුකට දෙමාපිය පරම්පරාවෙන් ලැබුණු ආගමික දායාදයත්, පාසලේ දැඩි ආගමික පරිසරයත් හැරුණු විට මගේ කතාවත් අඩු වැඩි වශයෙන් ඔයිට සමානය.

  6. Sarath Wimalasuriya

    මගේ කතාවත් මේ හා සමානය…පාසලේදී ගුරුවරු උගන්වන බුද්ධාගම මම ප්‍රශ්ණ කලෙමි…ඔව්හු මට පහර දුන්හ..

  7. ඔබගේ පවුල් හා පාසල් පසුබිම මට සෑහෙන්න සමානය.
    මම ද ආගමිකයෙක් නොවෙමි. නිරාගමිකයෙක් යයි නොකියන්නේ නිරාගමිකයෙක් යන්නද අති සීරියස් කන්වික්ෂන් එකකින් කිව යුතු නිසාය. මට ආගම් විස්වාස කල නොහැකි නිසා මා ආගමිකයෙක් නොවේ. සම්පූර්ණයෙන් බොරු යයි ඔප්පු කිරීමට සාධකද මට නොමැති නිසා නිරාගමිකයෙක් යයි ආඩම්බරෙන් කීමටද නොහැක.
    පොඩ්ඩක් විතර Apatheist ද මංදා

    කොහොමවෙතත් ආගම් තියනවා මා ඒවාට පිටින් ඉන්නවා. සිටිනවා. එච්චරයි. විස්වාස කිරීමට පුලුවන් නම් මානසික සහනයක් ලැබන බවත් දන්නවා. ඒත් ඉතින් කොහොමද බලෙන් විස්වාසයක් හදා ගන්නේ.

    මල කරදරේ ආගම්කාරයින් ලවුඩ් ස්පීකර් දාගත්තාම තමයි. එතකොටනම් මං කේන්තියෙන් ආගම් විරෝධියෙක් වෙනවා. අනිත් වෙලාවට පිටින් සිට ඔබ්සර්වර් කෙනෙක් වෙනවා

  8. අසාවෙන් කියෙව්වුවෙමි .. දැන් මටත් කියන්න දේවල් බොහොමයක් එකතු වුණා ..කමෙන්ට් එකක් විදිහට නෙවෙයි දිනෙක ඔබව මුන ගැහුනාම මං එවූවා කියන්නම් ..

  9. මටද “මම නිරාගමිකයි ” යන්න ලෝකයේ විවධ ආගම් අදහන අයවලුන් ගේ අමන ප්‍රශ්නයක් වන “කුමක්ද ඔබගේ ආගම?” යන්නට පිළිතුරක් පමණි. එය පාපොච්චාරණයක් නොවේ. තතුවකි.

    පිළිතුරට විවරණයක් ඉල්ලු විට මගේ මල පනියි. අහවල් පොත කියවලා තියනවද? අහවලාගේ දේශනා අහල තියනවාද ? වැනි උසාවි ප්‍රශ්න කැටියක් මා වෙත එල්ල වෙයි.

    “එව්වා කියවන්නේ නැතිව, අරයගෙ මෙව්වා අහන්නේ නැතිව එහෙම ආගමක් ප්‍රතික්ෂේප කරන්නේ කොහොමද” ? වැනි.

    නිරාගමික වේග පන්දු යවන්නෙක් වන රිචඩ් ඩෝකින්ස් ට “තියෝලොජි” (දේව ධර්ම විද්‍යාව) කියවා සිටින්න අභියෝග කල තැනැත්තා ට ඔහු මෙසේ කියනවා :

    One does not need to study Leprechaunlogy before questioning the existence of Leprechauns.

  10. මගේ ආනන්දයේ සමකාලීනයෙකු වූ නාලක ගුනවර්ධන විසින් ශෙයාර් කොට මගේ පාසැල් මිතුරෙකු වන නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ විසින් අදහස් පල කිරීමක් කොට මුහුණු පොතේ පලව තිබූ පොස්ටුවක් ඔස්සේ මේ බ්ලොගයට පැමින ලිපිය කියැවීමි.

    මාද, පාසැල් කාලයේ බොහෝ ආනන්දීයයන්ගේ හුරුවක් වූ උදේ සවස බුදු මැදුර අබියස සිට වැඳීම කිසිදා නොකලෙමි. අදත් බොහෝ විට පාසැල් භූමියට පිවිසුනද, බොහෝ මගේ මිතුරන් මෙන් වැඳීමේ චාරිත්‍රය අනුගමනය නොකරමි. එම සිතා මතා ප්‍රථික්ශේප කිරීමකට වඩා එවන් වූ කාර්‍යයක හරයක් නුදුටුවෙමි.
    මාද නිරාගමිකයෙකි හෙවත් ආගමක් වශයෙන් කිසිවක් නොඅදහන්නෙක්මි. එහෙත් ධර්මයෙහි හරයක් නැත. රේරුකානේ හිමියන්ගේ පොත පත කඩල් එතීමට හෝ ගන්ජා සුරුට්ටුවක් එතීමට එහා වටිනාකමක් නැතැයි මේ රචකයා ප්‍රකාශ කරයි නම්, ඔහු එම පොත් වල අඩංගු සෑම කරුනක්ම ඉතා ගැඹුරින් විමසා හර සුන් බව අවබෝධ කලෙකු විය යුතුය.
    ධර්මය හරසුන් බව වටහා ගත්තේ රේරුකානේ හිමියන්ගේ පොත පතින් නම් එයද මුලාවකි. රේරුකානේ හිමියන් කිසිම තැනෙක උන් වහන්සේ ධර්මාවබෝධය ලද්දෙකියි කියා නැත.

    මේ ලිපිය හුදෙක් හරවත්ව ධර්මයෙහි නිරර්ථක බව පෙන්වීමකට වඩා මම ඕවා ගනන් ගන්නේ නැත යනුවෙන් කල “චන්ඩි පාට්” එකක් ලෙස දකිමි.

  11. ලක්ෂාන්

    මම නම් නිර්ආගමිකයෙක් වෙන්න බලපෑවේ පුද්ගලික හේතු – හැබැයි එහෙමයි කියල ආගම්වලට නිකරුණේ අපහාස කරන්න ආසාවක් නැහැ – බුකියේ ගොඩක් ට්‍රෙන්ඩ් එකට නිර්ආගමිකයන් එක්ක සෙට් වෙන්න ආසාවකුත් නැහැ
    මමත් ගැටවර වියේ ප්‍රිය කරපු ලේඛකයන් තමා Leon Uris, Fredrick Forsyth, Irwin Wallace – පුළුවන් නම් හොයාගෙන කියවන්න Irwin Wallace ගේ Seven Minutes – අසභ්‍ය යැයි සැලකෙන නවකතාවක් පිළිබඳ නඩු විභාගයක් ගැන නවකතාවක් –
    නිර්ආගමික වුනත් ලෝකයේ අද ඇති සියලු ආගම් අතුරින් යම් තරමින් හෝ පිළිගන්න පුලුවන් ආගම බුදුදහම බවයි මගේ පුද්ගලික හැඟීම – මම රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් කියවලා ආපු නිගමනයක් නෙවි ඒක – මටත් ඒ පොත් නම් දිරවන්නේ නැහැ – හැබැයි වල්පොළ රාහුළ හිමියන් සුද්දන්ට ලියපු What the Buddha Taught කියෙව්වමයි එහෙම අදහසක් අාවේ – ඔබ ඒක කියවලා තියෙනවාද ?

    • “ආගමට අපහාස කරනවා” යන්න නොවැටහේ. ආගමක් යනු අජීව වස්තුවකි. අජීව වස්තුවකට අපහාස කළ නොහැකිය. එසේ නම් පුටුවකට මේසයකට වුව අපහාස කළ හැකි වනු ඇත.

      ආගමිකයන් ගැන කිව්වොත් මිථ්‍යාවෙන් පෙළී සිටින්නකුට එය පෙන්නා දීම අපහාසයක් නොවේය මම සිතමි. අනෙක් අතට අනුන්ට කරදරයක් නොවේ නම් ඕනෑම කෙනකුට ඕනෑම මිථ්‍යාවක් විශ්වාස කිරීමට ඇති අයිතියට ගරු කරමි.

  12. I always found sections in Buddhist scripts that don’t really make sense or made Lord Buddha a hypocrite. Consider his stand on ordaining women. If it is true, he is quite the hypocrite. Many argue that he was concerned about the longevity of the buddha saasana when considering some issues but then that would make him a person that would not see the trees for a forest. Not the kind of leader i want to follow.

    My understanding of the scripts and later their explanations is that they are heavily influenced by many others over the years. Unfortunately, there is no way for me to rescue the real Buddha from the Literature Buddha.

    The only book I have completely read of Rerukane Thero is Shashanawatharanaya. That is because of its THE guidebook you should read before becoming a monk. I found that quite good.All the other books were in the category of “Shwethambara salu.”

    There were so many swore by those books and when questioned on some principles discussed on those books, they are speechless.

    My journey of religion and spirituality is very interesting. Chanuka and some old bloggers might remember my blog posts on those days.

    I was there when Uduwe thero asked from the gathered crowd “Should we contest the election ?” That was the first time they spoke about it in public. I was 19 then and believed all the rumors and conspiracy theories. I raised both my hands in agreement as well as all the others gathered there at Piliyandala Ground.

    I have been a part of a group who was so anti-Muslim that at one point suggested all Muslims should be killed including infants.

    But then I became a monk and did the most stupid thing a radical Buddhist can do. I studied Buddhism. I actually read the whole thripitakaya and other books explained the concepts. Admit abhidharmaya was greek to me and the vinaya was humorous enough. But the suthra pitaka was gold.

    The world I lived in shattered.

    I have gone through many avenues looking for answers and I think I am in a stable point now.

    I still consider myself a Buddhist. But i don’t really care about the historical or literature buddha. I have my own Buddha created in my heart. He is very simple. He says live your life with the principle of ‘Aththanan upaman kathwa’

    Don’t do things to others that you don’t want them to do to you…. Well, most of the time at least. If you are a masochist…. Well Even buddha doesn’t have all the answers

  13. //“ආගමට අපහාස කරනවා” යන්න නොවැටහේ. ආගමක් යනු අජීව වස්තුවකි. අජීව වස්තුවකට අපහාස කළ නොහැකිය. එසේ නම් පුටුවකට මේසයකට වුව අපහාස කළ හැකි වනු ඇත//

    ඔබට වටහාගත නොහැකි වුවද සරල කාරණයකි. ආගමක් තුළින් කිසියම් මිනිසුන් කොට්ඨාශයක් නියෝජනය වේ. අපහාසය ඉලක්කගත වන්නේ ඔවුන්ටය. කුරුසියක් හෝ ධර්ම චක්‍ර‍යක් යනුද පුටු මේස වගේම භෞතික වස්තු. ඒත් ඒවායෙන් යම් කිසි මතවාදයක් සහ එය අනුගමනය කරන පිරිසක් සංකේතවත් වෙනවා. විරෝධතා වලදී ජාතික කොඩි ගිනි තියන්නෙත් ඒකයි. එතනදී ඉලක්ක වන්නේ කොඩිය කියන භෞතික වස්තුව නොව එයින් නියෝජනව වන පිරිසයි.

  14. සමහරු ඉන්නවා අයින්ස්ටයින් වැරදියි කියන අය හැබැයි වැරැද්ද කොහෙද දන්නෙ නැති අය . ඒ අය හිතනවා අයින්ස්ටයින් ගැන එහෙම කීම තුලම තමන් පොර වෙනවා කියලා.ඒ වගේ චානුක උඩින් පල්ලෙන් කියවපු පොතක් දෙකකුයි, සාමාන්‍ය පෙල බුද්ධාගමයි අරගෙන ‘බුදුන්ව මරලා”. මෙහෙම කරන්න චානුකට් ශක්තිය ලැබෙන්නෙ, උප්පැන්නෙ බෞද්ධ කියලා ලියලා තියන නිසා. අවුරුදු 4 ම බයිබල් එකක් කියෙව්වා කියලාත්, බයිබලේ දහසකුත් එක්ක ගොන් ජෝක් වගේ පේන දේවල් ගැන චානුක නොලියන්නෙත් ඒ හේතුව නිසාමයි. තමන් දන්නෙත් නැති, දැනගන්න ආසත් නැති දේවල් වලට පොදු අර්ථ කථන නොදී හිටියොත් වඩා හොඳයි නේද?. බොදු පරිසරයක හැදිලා වැඩිලා පරිචයක් ලබපු සමහර අයම තමා බුද්ධාගම ගැන මෙහෙම කතා ලියන්නෙ. මොකද ලොකු වෙනකොට පොඩි කාලෙ හැම එකම දැක තියන නිසා මනසට අවශ්‍ය කම්පනය මුහුකුරා යාම එන්නෙ නෑ. අනික නාකි වෙනකොට තමන්ගේ පුරාජේරුවෙන්ම තමන්ගේ ඔලුව පිරෙනවා නේ, ඒකේ ඉතින් සුදු බුදු හාමුදුරුවන්ට ඉඩක් කොහොමත් නෑ. චානුක නොලියපු කාලෙ පොඩ්ඩක් හැව ඇරපු බවකුත් යන්තමට වගේ පේන්වා. ඒත් ඔබව මම හඳුනන්නැති නිසා ඒක කියන්න බෑ.

    නිරාගමිකයා, නිරාගමිකයා වෙන්න හේතු වැඩක් නෑ, ඒත් මේකෙ දෙන්න හදලා තියන්නෙ හේතු තමයි. මුලින්ම ඔයාට අවශ්‍ය හික්මීම ලැබුනෙත් ඔය කියන ඊනියා බොදු පන්සලෙන්ම තමයි. සිවුරු දරාගෙන එක එක බයිලා කාරයො බයිලා කියද්දි ඒ ඒක්ක යන පිරිසක් හිටියත් නැතත් පුද්ගලිකව බොදු කියන්න ලජ්ජා වෙන්න හෝ අපහසු වෙන්නේ මොකටද? බුදු පිළිම වලට නොවඳින කතාව ලොකු පන්ති වල ඕන කෙනෙක් නොක්‍රනවා වෙන්න පුලුවන්, ඒක මහ දෙයක් නෙවෙයි. ඔයා ඩී 8 ගැනීමයි බුදුන් වැඳීමයි අතර සම්බන්ධය මොකද්ද කියලා මට නම් තේරෙන්නෙ නෑ. චානුක ඒ ගැන උදම් ඇනීමෙන් තේරෙන්නෙ චානුකගේ යාලුවො බුදුන්ට කියලා පේපර් එක ලියවගන්න තැත් කළා වගේ. හොඳ දෙයක් කරන කොට සමහරුන්ට බුදුන් වැන්දාම සිත සන්සුන් වෙනවා. සමහරුන් අම්මාට වැඳලා වැඩට යනවා. අම්මා කියන්නෙ නිකම්ම නිකම් ගෑණියෙක් අම්මාට මාව හම්බ වුනේ ශුක්‍ර ,ඩිම්බ සංසේචනය වුන නිසා, ඒක වුනේ — නිසා කියලා කියන අයත් ඉන්නවා.
    මේක ලොකු පොර ටෝක් එකක්. කල්කට ඉස්සර ජේ ආර්ට ඔලුව පාත් නොකර තෑග්ගක් ගත්ත පෝස්ට් එකත් මතක් වෙනවා. නැණ පමණින් අල්ලා ගන්නා දේ පරම සත්‍ය ලෙස ප්‍රකාශ කිරීමේ දැවැන්ත උත්සාහයක් පෙනේ.

  15. Wathsala Nanayakkara

    Vichara buddiya honda deyaki. Eheth oba honda paryeshakayaku bava nopene. Manda nigamanaya deemata prathama nireekshanaya idiri path kala yuthuya. Paryeshanayata bajanaya kala karunu monawada? Baudda darshanaye kumana harayan obe pareekshavata lak kaleda?
    Eva binda dameemata oba idiripath kala karunu monavada? Eavath visthara sahithava idiripath karanna. Obe paul pasubimawath, igena gath pasalavath, ek ek aya gena obe adahasvath adahaswath vadagath nove.

  16. අපිට දන්න කාලේ ඉදං ඇහුන බුද්ධාගමේ පැහෙන්නේ නැති දෙපැත්තක් බලහත්කාරයෙන් අමුණලා තියෙන බව මට දැනෙන් ගත්තේ ඔබට දැනුනාට වඩා ටිකක් පරක්කු වෙලා. එතකොට ආනන්දේ බුදුපිළිමෙට වදින අන්තිම කාලේ. ඒක නිසා ඒකට නොවැද එතනින් ගියේ අස්වීම් සහතිකේ අරගෙන්න අන්තිමට ඉස්කෝලෙට ගිය වතාවේ විතරයි.

    සමහරු මේක දැනුනහම පන්සල් නොගිහින්, පවුලේ අය එකක් වලි දාගෙන “ආගමක් දර්මක් අදහන්නැති මොකෙක්ද එකෙක්” පට්ටම ලබා ගන්නවා. අලුතෙන් නෑදෑයෝ ඇති වෙන විවාහ වෙන වයසෙදී ඒවගේ දේවල් තීරණාත්මක වෙන්න පුලුවන්. සමහරු ෂේප් එකේ, කලහකාරී නොවී පවුලේ අයගේ ඇදහිලිවලටත් මද පමණින් සහය දීගෙනම තමන්ගේ අවබෝධය තුළ ඉන්නවා.

    මම තේරුම් ගත්ත දෙයක් තමයි. මේ ජනප්‍රිය පූජාකර්ම මත පදනම් වෙච්ච බුද්ධාගම (ඒ නමින් පෙනී හිටින එක) තවත් ආගමක්. ඔබ බෞද්ධයෙක් නම් කතෝලිකයෙක් හරි මුස්ලිම් ආගමිකයෙක් හරි හම්බ උනහම ඔවුන්ට බුද්ධාගම දේසනා කරලා ආගම මාරු කරවන්න උත්සාහ කරන්නේ නැහැනේ. ඉතිං බුද්ධාගම කියලා දැන් ලංකාවේ තියන එක ඇත්ත බුදුදහම නොවන බව බොහොම පැහැදිලියි. ඒක වෙනම ආගමක්. උන්ට ඒක නිදහසේ අදහන්න දීලා අපි තේරුම්ගත්ත දේවල් අපිටම තියාගෙන ඉන්න. ඒවගේ දෙයක් තේරුම් ගන්න තරම් විවෘත කෙනෙක් හම්බ උනොත් මම පොඩ්ඩක් උත්සාහ කරල බලනවා සාකච්ඡා කරන්න, ඒත් බොහෝ දෙනා වාදයේ තීරණාත්මක අවස්ථාවක දී “බුදුහාමුදුරුවෝ එහෙම කියලා තියනවා, උන්වහන්සේගේ බුද්ධඥාණය ප්‍ර‍ශ්න කරන්න අපිට බැහැ” කියන තර්කෙන් නවතිනවා. ඉතිං එතකොට මාත් නවතිනවා.

    අපි හැමෝම විප්ලවකාරයෝ නෙමෙයි. අනික කවුද දන්නේ මල් පූජාකරලා, බණ අහලා, පොල්තෙල් පුච්චලා, පෙරළිලා වැදලා ඇත්තටම සත්‍ය අවබෝධ වෙනවද කියලා. 😀 එහෙම නැත්නම් කවුද දන්නේ සර්වබලධාරී දෙයියෝ, නැත්නම් අල්ලාහ් අපිව මවලා උඩ ඉදං බලං ඉන්නවද කියලා. මොන මගුල ඇත්තද කියලා 100% ටක්කෙටම කියන්න බැරි එකේ, මට තේරෙන හැරියට ඇත්තයි කියලා හිතෙන එක විශ්වාස කරගෙන ඉන්නවා.

  17. මගේ පරිසරයත් මීට සමානයි
    ප්‍රශ්ණ කිරීම මම හිතන්නෙ අපේ පරපුර සහ ඊට පෙර පරපුරු සතුව පැවති පුරුද්දක්
    ඒක නැති උනේ 138 පාරේ සෝ කෝල්ඩ් බෞද්ධ ප්‍රභෝදයත් එක්ක

  18. දෙමාපිියන්ගේ කතාව අතෑරියාම මගේ කතාවත් මේකම තමා !!!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s