Daily Archives: April 24, 2017

47. දිවයිනේ “ජෝන් ඩෝ” ලා දයාසේන ගුණසිංහයන්ගේ මිනියෙනුත් පළිගත් හැටි

යම් යුගයෙක මාධ්‍ය වෘත්තිකයකු වී හිඳීම නිසා ලංකාවේ “මාධ්‍යවේදීන්” ගැන මම එක්තරා මට්ටමකට දනිමි. මේ කවුරුත් සාමාන්‍යයෙන් තමන්ම තමන් ගැන මවන ප්‍රතිරූපයට සරිලන මහා පුරුෂයෝ නොවෙති. ලංකාවේ වත්මන් මුළු ධාරාවේ මාධ්‍යවේදීන් – විශේෂයෙන්ම සිංහල මාධ්‍යවේදීන් – බහුතරය ඉතාම කුඩා මනසකින් යුතු (ඉංගිරිසියෙන් petty minded යැයි නම් කළ හැකි) මුදලට, බලයට හා ප්‍රසිද්ධියට කෑදර, වෘත්තික මට්ටමේ සේවයක් තම පාඨකයින් වෙනුවෙන් සපයන්ට එක්කෝ නොදන්නා හෝ නැතිනම් අවශ්‍යතාවයක් නැති, ඇතුළතින් කුණු වූ වත්මන් ලාංකීය සමාජයට ජාඩියට මූඩිය සේ ගැළපෙන අපෘෂ්ඨවංශී සත්ත්ව කොට්ඨාශයකි. මේ වැඩි දුර ලියන්ට අවශ්‍ය කාරණාවක් නොවේ. හැමදෙනාම දන්නා දෙයකි.

මාධ්‍යවේදීන්ය කියන මේ කුණු කඳු අතර මීතොටුමුල්ල කුණුකන්ද නම් ‘දිවයින’ කියන ජාතිවාදී පඩංගුවේ කර්තෘ මණ්ඩලයයි. මා උපාලි පුවත්පත් සමාගමේ සේවය කරන සමයෙහි වෙනත් අංශයන්හි සේවක පිරිස් ‘දිවයින’ කර්තෘ මණ්ඩලය හඳුවන ලද්දේ “සර්ප විමානය” යන ගෞරව නාමයෙනි.

“බ්ලූමැන්ඩල් කුණු කන්ද”

වසර තිහකට පමණ පසුව වුව තත්ත්වයේ වෙනසක් ඇතිව නැති බව පෙනෙන්නේ පසුගිය සති අන්තයේ ගයාන් සමරසිංහ නම් අංකුර ලේඛකයා නිදහස් චතුරශ්‍රයේ සිදුවූ අනුස්මරණයක් පිළිබඳව කරන අසත්‍ය හා අසදාචාරාත්මක වාර්තාකරණයෙනි. (මොහු පුවත්පත් කලාවේ නිසි පුහුණුවක් නොලද්දෙක්ය උපකල්පනය කරමි.) එහි ඇති පුදුමයක්ද නැත. ගයාන් සමරසිංහලා වැනි පුංචි කුණු කඳු හැදෙන්නේ වඩා දැවැන්ත කුණු කඳු සෙවනේය. එවැනි දැවැන්ත කුණු කඳු වලින් උපාලි පුවත්පත් සමාගමට කිසි අඩුවක් නැත්තේය. ඒවා දිනෙන් දින වර්ධනය වේ.

මහණෙනි, අද මතු නොවෙයි පූර්වයෙහිද එසේය රීතියෙන් ලියැවෙන මේ කතාව පුවත්පත්කලාවේ දැවැන්තයකු සේම අද ජාතිවාදී පඩංගුවක් බවට පරිවර්තනය වී ඇති ‘දිවයින’ චිරාත් කාලයකට පෙර යම් යුගයෙක සැබෑ ජනතා පුවත්පතක් සේ ගොඩ නැංවීමේ ගෞරවය හිමිවිය යුතු දයාසේන ගුණසිංහයන්ගේ මරණය සිදුවූ අවස්ථාවේ ‘දිවයින’ කර්තෘ මණ්ඩලයේ එදා සිටි, අදත් ඉන්නා යම් යම් පුද්ගලයින්ගේ නීච හැසිරීම පිළිබිඹු කරන්නකි. ගයාන් සමරසිංහලා ශිල්පය ඉගෙන ගන්නේ මෙවන් පුද්ගලයින්ගෙන් බව දන්නා නිසා සමරසිංහලාගේ අසදාචාරාත්මක ක්‍රියාකලාපය පැහැදිළි කොට ගැන්ම අපට පහසු වේ.

අළුත් පරපුර නොදන්නට ඉඩ ඇති හෙයින් දයාසේන ගුණසිංහ යනු කවරෙක්දැයි මුලින්ම කෙටියෙන් කීම ඇවැසිය.

දයාසේන ගුණසිංහ යනු 1981 දී අළුතින් ඇති කරන ලද ‘දිවයින’ පවුලට එකතු කර ගන්නා ලද දෙවැන්නාය. ‘දිවයින’ කර්තෘට පමණක් දෙවැනිව ඔහු උපාලි පුවත්පත් සමාගමට එක් වන්නේ සිළුමිණ පුවත්පතෙහි ඒ වනතෙක් දැරූ විශේෂාංග කර්තෘ ධුරය අත හරිමිනි. දැඩි පරිශ්‍රමයකින් යුතුව බින්දුවේ සිට ‘දිවයින’ ගොඩ නඟන ඔහු එහි ආරම්භයේ පටන්ම දිවයින ඉරිදා සංග්‍රහයේ සංස්කාරක වෙයි. අග්නිදිග ආසියාවේ වැඩියෙන්ම විකිණෙන පුවත්පත සේ කිරුළු දරා සිටි සිළුමිණ පරදවා මාස කිහිපයක් තුළ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ දිවයිනේ වැඩියෙන්ම විකිනෙන පුවත්පත බවට පත් වන්නේ ඔහුගේ නායකත්වයෙනි. ඒ අද මෙන් ජාතිවාදය අවුස්සා නොව සැබෑ ලෙස ජනතා මෙහෙවර ඉටු කිරීමෙනි. එදා දිවයිනේ සන්නාමයන් බඳු වූ උකුස්සා, රයිගම් රාළ, සීයගෙ කොලම, ජනහමුව ආදී සකලවිධ විශේෂාංග ඊට එක් කරන්නෝ ගුණසිංහයෝය. මේ සාඩම්බර අතීතය අදත් මතක යම් පිරිසක් වෙති.

දයාසේන ගුණසිංහයන් කළ කී දෙයින් මා අකැමැති එක් කාරණාවකට පමණය. ඒ එදා ත්‍රී වීලර් දේශපාලන පක්ෂයක පත්‍රිකා සති අන්තයේ නුවර මාර්කැට්ටුවේ බෙදමින් සිටි නලින් ද සිල්වා නැමැත්තාට දිවයිනට ලියන්ට ඉඩ දී “පොරක්” කිරීමේ කටයුත්තයි. එසේ වුවද දිවයින පැත්තෙන් බලන විට නලින් ද සිල්වා කියන ජාතික චින්තන ආයෝජනය පවා ඔවුන්ට ලබුණේ ගුණසිංහයන් නිසා බැව් අමතක කළ නොහේ.

එකළ පැවැති ජේ. ආර්. ජයවර්ධන දළදඬු පාලනයේ හා ඔහුගේ අභීත පුවත්පත් කලාවේ ගට්ඨනය හේතුවෙන් යම් මොහොතක දයාසේන ගුණසිංහ උපාලි පුවත්පත් සමාගමට ලොකු බරක් වේ. ඒ 1985 දී පමණ එලිෆන්ට් හවුස් බෝම්බයෙන් පසුව තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගත යුතුය යන ජයවර්ධන ජනාධිපතිවරයාගේ නිවට කියමන නපුංසක ප්‍රකාශයකැයි නම් කොට කතු වැකියක් ලිවීමෙන් පසුවය. මින් පසුව මාස කිහිපයකට අනිවාර්ය නිවාඩු ලබන ගුණසිංහයන්ට නැවත සේවයට පැමිණි පසුවද කිසිදු වගකීමක් නොපැවරේ. දායකත්වයකින් තොරව වසර කිහිපයක් උපාලි පුවත්පත් සමාගමේ සේවයෙහි නිරත වන ඔහු සේවා දිගුවක් නො ඉල්ලාම 1991 දී වයස අවුරුදු පනස් පහෙන් විශ්‍රාම ලබයි. කෙටියෙන් කීවද, මෙය ලංකාවේ පුවත්පත් සමාගමක් විසින් පුවත්පත් කලාවේදියකුට එරෙහිව ගත් නින්දිතම ක්‍රියාදාමයක පරිච්ඡෙද ගණනෙක කථාන්තරයකි.

එහෙත් ඒ වන විටද ඔහු ලියූ කියූ සමහර දේ නිසා දිවයින කර්තෘ මණ්ඩලය දෙකට බෙදී අවසානය. ඒ බල පෙරේතකමින් ගුණසිංහ විරෝධී වන යම් කණ්ඩායමක් හා පැත්තක් නොගන්නා කණ්ඩායමක් ලෙසිනි. ගුණසිංහට පක්ෂ කණ්ඩායමක් කියා දෙයක් නැත. ඔහු තනි මිනිසෙකි. ගුණසිංහ විරෝධී කණ්ඩායම සූක්ෂ්ම ලෙස ගාමිණී සුමනසේකර හා කරුණාදාස සූරියාරච්චි කේන්ද්‍ර කොට ගෙන සංවිධානය වේ.

ගුණසිංහ කලෙක තම සගයින් වූ පිරිසක්ම බල ලෝභය පිණිස තමන්ට එරෙහිව අවි අමෝරා ගැන්ම කවියෙන් දකින්නේ මෙසේය. (‘දොරමඬලාව’ පොත ළඟ නැති හෙයින් කවි පංතියේ කවි දෙකක් පමණක් ලියන්නේ මතකිනි.)

සිනහ මිස මුව මඬල නොදිටියෙමි දළ යුගල
සුමුදු වග මිස අත්ළ නොදිටියෙමි නිය පහර
එක සිතින් ඇඳ වැළඳ ගත් බැවින් අත නොහැර
ළමැද විසකුරු දරණ නොදිටියෙමි පිය මිතුර!

මෙසේ පටන් ගන්නා කවි පෙළ කිසිවකුට තමන් සතු නිර්මාණාත්මක ධනය සොරා ගත නොහැකි බව කියමින් ඔහු අවසන් කරයි.

කිරීටය විනා හිස සොරා ගත හැකි නොවේ
පන්හිඳක් මිස සුරත පැහැර ගත හැකි නොවේ
මරා දැමුවද නසා ගුණය මිනිසත් බවේ
මගේ සිත නිදන් කිසි දිනෙක නුඹ සතු නොවේ

විශ්‍රාම ලබා වසර පහකින් පමණ 1996 ඔක්තෝබරයේ දී දයාසේන ගුණසිංහ ජයවර්ධනපුර රෝහලේදී අවසාන හුස්ම හෙළයි.

අපේ කතන්දරය පටන් ගන්නේ මෙතැන් සිටය.

දයාසේන ගුණසිංහ මිය යන්නේ රාත්‍රි 8.00 ට පමණය. එහෙත් ඒ අවස්ථාවේ එතැන සිටි ඔහුගේ පුත් සඳුන් (ඒ වන විට විසි හතර හැවිරිදි තරුණයෙකි.) පත් වන කම්පනය අනුව පවුලේ ඥාතීන්ට අරංචිය දැන්වීම පැයකටත් වඩා වැඩි කාලයකින් පමා වේ. මේ ජංගම දුරකථන බහුල ලෙස භාවිතා නොවූ කාලයකි. අවසානයේ ඥාති හිත මිත්‍රාදීන්ට පණිවිඩය දැන්වීමේ වගකීම භාර ගන්නේ එවක ජයවර්ධනපුර රෝහලේ සේවය කළ, හිටපු විදුසර ලේඛකයකු වූද, ගුණසිංහයන්ගේ හිතමිතුරකු වූ ආනන්ද විජේවීර මහතාගේ දියණිය හා විවාපත්ව සිටි වෛද්‍ය සුදත් දම්සිංහය. මට පණිවිඩය දන්වන්නේද සුදත්ය. මේ මා අත ජංගම දුරකථනයක් වත් නුවූ කාලයකි. (මගේ පළමු ජංගම දුරකථනය මා මිළට ගන්නේ 1999 දීය.) සුදත් කතා කරන්නේ මගේ නිවෙසටය.

මා රෝහලට ළඟා වන විටද ගුණසිංහ මහත්මියට ආරංචිය දන්නා නැත. සුදත් මා පසෙකට ගෙන මේ මූසල පණිවිඩය ඇය වෙත ගෙනයන ලෙස ඉල්ලා එය රුධිර පීඩනය පිළිබඳ ගැටළුවකින් පෙළෙන ඇයට දැන්විය යුතු ආකාරය ගැන උපදෙස් දෙයි. මේ කටයුත්ත කරන්ට මා මුලින් අකැමැති වූ බව අමුතුවෙන් කිවමනා නොවේ. එහෙත් අමාරු දේවල් වුවද කවුරුන් හෝ විසින් කළ යුත්තේය.

කෙසේ වෙතත් මට මහරගම දයාසේන ගුණසිංහයන්ගේ නිවෙසට යන්ට ලැබෙන්නේ මරණයෙන් පැය දෙකකටවත් පසුවය සිතමි.

මා පසුව සොයා ගත් ආකාරයට සුදත් මට පණිවිඩය දන්වන්ටත් පෙර එවක විදුසර කර්තෘ (පසුව ස්වාධීන රූපවාහිනී සභාපති හා අමාත්‍යාංශ ලේකම්) අනුර සිරිවර්ධනට කතා කොට එය දන්වා ඇත. ඒ අනුව පවුලේ අයට බොහෝ පෙර මේ ආරංචිය උපාලි පුවත්පත් සමාගමට හා දිවයින කර්තෘ මණ්ඩලයට ලැබී තිබුණු බව සිතිය හැකිය.

මා මහරගම ගුණසිංහයන්ගේ නිවෙසට යන විට දැන ගන්ට ලැබෙන්නේ කවර අවස්ථාවක කවරකු විසින් මොනම හේතුවක් නිසා වත් නොකළ යුතු ආකාරයේ ක්‍රියාවක් කර ඇති බවයි.

පැය දෙකක පමණ මේ කෙටි කාලය තුළ ගුණසිංහ මහත්මියට නිර්නාමික දුරකථන ඇමැතුමක් ගත් යමකු “උඹේ මිනිහා මළා” (මේ වචන වලින්ම) ප්‍රකාශ කොට තියේ.

නිවෙසට පා තැබූ විගසම ඇය මා බදා ගන්නේ “පුතේ යකෙක් ටෙලිෆෝන් කළා” කියමිනි. (සාමාන්‍යයෙන් ඇය මට කිසිදිනෙක නමින් මිසෙක ‘පුතා’ කියා ආමන්ත්‍රණය නොකරයි. එදා එසේ කියන්ට ඇත්තේ දැඩි ආවේගය නිසාය සිතමි.)

ඒ අවස්ථාව මේ සිද්ධිය ගැන දීර්ඝ පරීක්ෂණයක් කරන්ට සුදුසු එක නොවූ බව අමුතුවෙන් කිවමනා නැත. මිනිසකු මිය ගිය කල්හි කළ යුතු තව බොහෝ දේ වෙයි. මඳ වැසි පැවැති ඒ අඳුරු රාත්‍රියෙහි වහලය කැඩුණු තැනෙකින් බේරෙන වතුර බින්දු දකිමින් මා කල්පනා කළේ මේ සියල්ල දැන් කඩිනමින් පිළිසකර කොට ගත යුතු නොවේද යන්නයි.

මේ මුසල නිර්නාමික දුරකථන ඇමැතුම ‘දිවයින’ කර්තෘ මණ්ඩලයේ කෙනකුගෙන්ම ආවේය කියා අදත් මා සතුව කිසිම නිශ්චිත සාක්ෂ්‍යයක් නොමැත. එහෙත් මම කරුණු කිහිපයක් දනිමි. එකක් නම් වෛද්‍ය සුදත් දම්සිංහ අනුර සිරිවර්ධනට ආරංචිය දැන්වීම නිසා දිවයින කර්තෘ මණ්ඩලයේ පිරිස් ඒ වන විටද එය දැන සිටි බවය. දෙවැන්න මෙවැනි කෲර ක්‍රියාවන් කළ හැක්කවුන් සිටී නම් ඒ දිවයින කර්තෘ මණ්ඩලය වැනි තැනෙකම පමණක් විය හැකි බවය. තෙවැන්න කිසිම සම්බන්ධයක් නැති පැත්තක සිටිනා කෙනෙකුට මෙවැනි මුග්ධ කෲර ක්‍රියාවක් කොට අමානුෂික වින්දනයක් ලැබීමේ අවශ්‍යතාවයක් නැති බවය. සිව්වැන්න ජංගම දුරකථන බහුල නුවූ, සාමාන්‍ය දුරකථන පවා සුලබ නුවූ සමයෙක හැම දෙනාටම මෙවැන්නක් කළ නොහැකි බවය. යමකු නිවෙසක පොදු ටෙලිෆෝනයෙන් මෙවැනි දෙයක් කීවේ නම් එය නිවැසියන්ට ඇසේ.

පසු දිනෙක, එදින ඒ අවස්ථාවේ (රාත්‍රී නවයට දහයට පමණ) දිවයින කන්තෝරුවේ සිටිය හැකි පුද්ගලයින් පිළිබඳව යම් විපරමක් කළෙමි. මට දැන ගන්ට ලැබුණේ, සාමාන්‍යයෙන් බලාපොරොත්තු විය හැකි ලෙසින්ම ඒ වෙලාවේ කාර්යාලයේ සිටි පිරිස සීමීත වූ අතර ඔවුන් අතුරින් ප්‍රධානියා වූයේ විදේශ ප්‍රවෘත්ති ඩෙස්කුව භාරව සිටි “ජෝන් ඩෝ” නිර්මාණයටද, අසත්‍ය ආරක්ෂක ප්‍රවෘත්ති මැවීමටද නම් දරා සිටින ඒ අපකීර්තිමත් පුද්ගලයා බවයි. නිශ්චිත සාක්ෂ්‍ය නොමැති නිසා ඔහුගේ නම සඳහන් කිරීම අසදාචාරාත්මකය සිතමි. හැබැයි පුද්ගලයාගේ ක්‍රියා කලාපය දන්නා හෙයින් ඔහු එවැන්නක් කළා යැයි උපකල්පනයද අපහසු නොවේ. එසේම මේ පුද්ගලයා ඒ කාලයේද ප්‍රබල ගුණසිංහ විරෝධියකු වූ ගාමිනී සුමනසේකරගේ කිට්ටුවන්තයකු වූ බව අමතක කළ නොහේ.

මා නැවත කියන්නේ මෙවන් “ජ්‍යෙෂ්ඨයින්ගෙන්” පුවත්පත් කලාව ඉගෙන ගන්නා ගයාන් සමරසිංහලා වන් අංකුරයින්ගේ ක්‍රියා කලාපය අපට පුදුමයට හේතුවක් නොවිය යුතු බවයි.

පෝස්ටය දිගු නිසා මේ හා සම්බන්ධ වෙනත් සිද්ධීන් කිහිපයක් ගැන කථා කිරීම පසුවට කල් තබමි.