Daily Archives: April 28, 2017

50. වසර පනහක හෙවත් දසක පහක මතක

“පල යන්න බොරු නොකියා, උඹට පනහක් නෑ…”

වයස විසි දෙකක මිතුරියක් ඊයේ චැට් කරද්දී කියුවාය.

ඇත්ත. ඇය ගනුදෙනු කරන්නේ මා ඇතුළේ ඉන්න එකා සමඟය. ඌට නම් පනහක් තියා දහ අටකට වඩා දවසක් වත් ගතව ඇති පාටක් නොපෙනේ. ඒත් එළියෙන් බලන කෙනෙකුට පෙනෙන එකා පසුගියදා සිය දිවියේ අඩ සියවස සම්පූර්ණ කළේය. ඒ මීට මාසයකට දෙකකට පමණ ඉහතිනි.

මගේ සැබෑ නමින් යුතු වත් පොත් ගිණුම් දෙකක් සදහටම වසා දමා, අනෙක තාවකාලිකව අක්‍රිය කොට ඇති හෙයින් මගේ උපන්දිනය ලොවට රහසක් විය.

ලොව කිව්වේ පවුලේ හා ඊළඟ මට්ටමේ ඥාතීන්, කිට්ටු මිතුරන්ද ඇතුළුව මිතුරු සමූහයා, හත්සිය පනහකට අධික වත්මන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, වසර දහයක ගණන් තියා ගන්ට බැරි තරම්, පැරැණි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා බිලියන හතක ලෝක ජනගහණයෙන් දන්නා කියන සියළු දෙනාය. ‘කේක්’ දීමේ සම්ප්‍රදායික සිරිත නිසා කාර්යාලයීය සගයෝ සිද්ධිය දැන සුභ පැතුවෝය.

වෙන කෙනකුට නම් රිදෙන දෙයක් උපන් දිනයේදී විය. මගේ උපන්දිනය මතක තියාගෙන සුභ පැතුමක් එක් කළේ එකම එක – ඔව්, එකම එක – ‘මිතුරකු’ පමණක් වීමය. ඒ සතුටය. උත්ප්‍රාසය මේ ‘මිතුරා’ද මේ වන විට සිටින්නේ මා හා කතාබහ නොකරන අවස්ථාවෙක වීමය.

මොනයම් හෝ හේතුවක් නිසා මුහුණට මුහුණ දී කථා කළ නොහැක්කන්, ඊගෝවන්ටද හානියක් නොකැර ගෙන, “You are an egoistic bastard, but I still care” කියන පණිවිඩය බෙදා ගන්නේ උපන්දිනයට Happy Birthday! කියා ටෙක්ස්ට් එකක් යැවීම මඟිනි.

අදාළ අංකය වත් මගේ දුරකථනයේ නොතිබුණු නිසා Who is this? / You have my number / Sorry no, I don’t / XXXXXXXX / Thanks සේ වූ ටෙක්ස්ට් සංවාදය නිමා කළෙමි. එතැනින් එපිටට යා නොහැකි සේ චීන මහා ප්‍රාකාරයක් තියේ.

සමූහයක් සේ මගේ ආනන්ද මිතුරෝ සියල්ලන්ගේ පොදු පනස් වන උපන් දිනය සැමැරුවෝය. ඒ ආනන්දයේදී එක් වීමෙන් හා සති අන්තයේ මීගමුවේ ජෙට්-වින්ග් හෝටලයට පවුල් සවාරියක් ලෙසිනි.

කාර්ය බහුලත්වය නිසා දෙවැන්නට සහභාගි වන්ට ඉඩ නොලැබුණද පළමුවැන්නට සහභාගි වීමි. පහත ඇත්තේ එහිදී ගත් ඡායාරූප කිහිපයකි.

හාරසියයක් පමණ වූ, සමාන්තර පන්ති පහළවක මගේ ආනන්දීය මිතුරන්ගෙන් පනස් විය සමරන්ට එක් රොක් වූ පිරිස

1. තුනේදී හා හතරේදී මගේ හොඳම මිතුරා වූ ජානක මෙන්ඩිස් අද බහරේන් හි Ibdar Bank හි ප්‍රධාන මූල්‍ය නිලධරයාය. ජීවිතය ගොඩ නඟා ගැන්ම මෙන්ම හැමදා තිරිහන්ව සිටිම යන කරුණු දෙකෙන්ම මට ඔහුගෙන් උගත හැකි බොහෝ දේ තියේ.

2. හත්වැන්නේ සිට දහවැන්න දක්වා පන්ති හතරක මගේ හොඳම මිතුරා වූ චතුර ජයනාත් රත්නායක, එකකට පසු එකක්, වාර විභාග අටෙකින් මා පළමුවැන්නා වෙද්දී දෙවැන්නා වීම සතුටින් ඉවසුවේය. (මට වඩා බොහෝ දක්ෂ ඔහු මෙසේ පැරැදූයේ කෙසේද මම අදත් කල්පනා කරමි.) මා මුල්වරට පුවත්පත් කලාවට පිවිසියේද හත්වැන්නේදී චතුර හා මා එක්ව සංස්කරණය කළ ‘දැනුම’ සඟරාවෙන් බවත්, ‘ආනන්දය‘ හා ‘විදුසර’ පුවත්පත් දෙකෙහිම ඔහු මගේ සගයකු වූ බවත් සඳහන් විය යුතුය. මා පිට ගෙදරකින් වැඩියෙන්ම බත් කා ඇතිනම් ඒ චතුරලාගේ මහරගම ගෙදරිනි.

අද චතුර නාරිවේදය හා ප්‍රසව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු සේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි.

3. මගේ තවත් කිට්ටු මිතුරකු වූ සමන්ත මුතුකුමාරණ 1986 අධ්‍යයන පොදු සහතිකපත්‍ර (උසස් පෙළ) විභාගයෙන් A හතරක්ද, ගණිත අංශයෙන් දිවයිනේ හොඳම ප්‍රතිඵලද ලැබුවේය. මුතු අද විදෙස් ගතව වෙසෙයි. වැඩි විස්තර අසාගනු නොහැකි විය.

4. හත්වැන්නේ සිට දහවැන්න දක්වා අපේ පන්තියේ සිටි ‘පෝරිසාදයා’ නිලංක සූරියබණ්ඩාරය. ඔහුගේ සම්පූර්ණ පැටිගිරිය මෙහි ලිවිය නොහැකි තරම් දරුණුය. කොයි තරම් ක්ලැසික් කේස් එකක්ද කිව්වොත් පන්තියෙන් අමුතු සද්දයක් ආ හැම විටෙකම සමහර ගුරුවරුන් (විශේෂයෙන්ම ගුරුවරියන්) පුරුදුව සිටියේ කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව, “සූරියබණ්ඩාර, මෙහෙ එනවා!” කියා කම්මුලට දෙකක් ගසා පන්තියෙන් එළියට දාන්ටය. (මේ සමහර සිද්ධීන් වලට ඔහුගේ කිසිම සම්බන්ධයක් නොවීය.) මේ පරස්පරයන් කිසිවකට පන්තියේ පෝරිසාදයා පන්තියේ පළමුවැන්නාගේ හොඳම මිතුරකු වීම වළක්වා ලිය නොහැකි විය.

කලා විෂයයන් හදාළ සූරියබණ්ඩාරට ආර්ථික විද්‍යාව ඉගැන්වූයේ අර්ජුන රණතුංගගේ මෑණියන් වූ රණතුංග මැඩම්ය. ඇය සූරියබණ්ඩාර උසස්පෙළ සමත් වූ බව පිළිගත්තේ විභාග සහතිකය දැකීමෙන් පසු බව කීවේද ඒකාමය.

5. මේ 1986 දී ‘ආනන්දය’ පාසල් පුවත්පත කලාප දෙකක් නිකුත් කළ කර්තෘ මණ්ඩලයයි. වමේ සිට ගාමිණී වනසේකර (කර්තෘ – අද ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ), චතුර රත්නායක, ගාමිණී කුමාර අල්විස් (නියෝජ්‍ය කර්තෘ – අද නීතිඥවරයෙකි.), මම හා ජනක සේනාරත්න (ඡායාරූප ශිල්පී – අද කොළඹ සම්පත් බැංකුවේ Colombo Super Branch හි කළමනාකරු )

6. මා මිතුරු විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පදමකාන්ත පෙරේරා මේ ඡායාරූප දෙකට අමතරව යට දැක්වෙන කෙටි සටහන්ද සිය වත්පොතට එක්කොට තිබුණේය.

“චානුක වත්තේගම ආනන්දයේ බුදු මැදුර ඉදිරියේ අපහසුවෙන් කැමරාවක් ආම්බාම් කරමින් සෙල්ෆියක් අර ගන්ට තැත් කරමින් සිටියේය. මට ඔහු ගැන දුක හිතුණු නිසාම කැමරාව ඉල්ලාගෙන ඡායාරූපය අරගෙන දෙන්ට ඉදිරිපත් වීමි. ඔහු එක් වරම “‍යකෝ මෙන්න ඇමැතිලා අපේ ෆොටෝ ගන්නවා!” යි හයියෙන් කෑගැසුවේය. එවිට වටේ පිටේ සිටි කිහිපදෙනෙක් ඡායාරූප ශිල්පියා වූ මගේ ඡායාරූපය ගැනීම ඔහුට සිනහවට කාරණයක් වූයේ මෙසේය. (චානුක සිනාවෙමින් සිටින ඡායාරූප මා දැක ඇත්තේ ඉතාම කලාතුරෙකිනි. මෙය සුවිශේෂී වන්නේ එනිසාය.)”

“හයවැනි ශ්‍රේණියේ පටන්ම ආනන්දයේ සමාන්තර පන්ති දෙකක ඉගෙනුම ලැබූවද, චානුක වත්තේගම මට මුල් වරට හමු වන්නේ නව වැනි ශ්‍රේණියේදී ජාතික රූපවාහිනියේදීය. ඒ ජාතික රූපවාහිණියේ යම් වැඩ සටහනකට ආරාධිතයන් වශයෙන් හැම පන්තියකින්ම එකකුට බැගින් සහභාගි වන්ට වරම් ලැබීමෙනි.’

“අපට වැඩ සටහනට සහභාගි වන්ට නියමිතව තිබුණේ උදේ වරුවේ පමණෙකි. ඒත් අපේ තිබුණු “මාධ්‍ය උණ” නිසාම, අනෙකුන් ගෙදර යද්දීත්, චානුකත් මාත් රූපවාහිනී කැන්ටිමෙන්, අතේ තිබුණු සුළු මුදලට, දිවා ආහාරයට වඩේ දෙකක් කා සවස් වරුවේ තිබුණු වැඩසටහනටද සහභාගි වීමු. අප මුල්වරට හඳුනා ගත්තේ එදිනය.’

“එවක පටන් කිහිප වතාවක්ම අපේ ගමන්පථ එකිනෙක හරස් විය. උසස් පෙළ සමයේදී මම අනාරාධිතවම ඔහුගේ පන්තියේ ආනන්ද සියවස ප්‍රදර්ශනය වෙනුවෙන් කළ ව්‍යාපෘතියේ කොටස්කරුවකු වීමි. පාසලෙන් අස්වූ පසු අපි විටෙක ශ්‍රී පාදයටද, තව විටෙක නුවර එළියටද චාරිකා කළෙමු. හග්ගල වනෝද්‍යානයේදී චානුකට හග්ගල ගල මුදුණේ “කුරු වනාන්තර” (Pygmy Forests) බලන්ට අවශ්‍ය වූයෙන් අද නම් මොහොතකටවත් දරන්ට නොසිතන ආකාරයේ අවදානමක් ගෙන මහ වන මැදි හග්ගල ගල නැඟීමු. දුරදිග නොබලා කළ මේ කටයුත්තෙන් අප නොමැරී බේරුණේ පූරුවේ වාසනාවකට විය යුතුය අද සිතේ.’

“උසස් අධ්‍යාපනය පිණිස ඔහු ඉන්දියාවටද, මා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට හා නීති විද්‍යාලයටද ඇතුළු වීමෙන් පසු අපි යම් මට්ටමට දුරස් වීමු. ඉන්පසු ඔහු මට හමුවන්නේ මගේ දේශපාලන දිවියේ මුල් හරියේදීය. එතැන් පටන් වසර දහයක පමණ කාලයක් ඔහු මගේ සෙවනැල්ල සේ නොසැලී ළඟින් සිටි බැව් සටහන් විය යුතුය.’

“අද චානුක මට සිටින සීරියස්ම විවේචකයෙකි. සමහරවිට ඔහු තරම් මා කුපිත කරවන්නකු නැතැයි සිතන තරමට ඔහු මා විවේචනය කරයි. ඒද පාසල් සමයේ සිටම ඔහුට හුරුපුරුදු කැත්තෙන් ගැසුවා වැනි භාෂාවෙනි. යමක් කෙළින්ම කියනවා මිස කපා කොටා කියන සිරිතක් ඔහුට අදත් නැත. මේ සියල්ල මැද මා තවම ඔහු ඉවසා සිටින්නේ පැරැණි මිතුදම නිසාද නැතොත් ඔහුගේ විවේචන සාධාරණ වීම නිසාද මම නොදනිමි.”

Advertisements

49. මගේ ඉංගිරිසි ආලය හෙවත් “මං හිතුවෙ සර්ලා ඉන්දියන්කාරයෝ කියලා”

පළමු අත්දැකීම චන්න සමඟය. වසර දෙකකට පමණ ඉහතදී යාපනයේ සුභාෂ් හෝටලයේදීය. අප යාපනයට යන්නේ චන්නට අළුතින් බෞතික් හෝටලයක් ආරම්භ කිරීම යාපනය කොයි තරම් ගැළපෙන්නේද ඇගැයුමක් කර ගන්ට අවශ්‍ය වූ නිසාය.

ඇඳුම් බෑග කියා තුබුණේ බැක් පැක් දෙකක් පමණක් වුවද, ඒවා කාමරයට ගෙන යන්ට සේවක තරුණයෙක් ඉදිරිපත් විය. ඔහු අප සමඟ කැඩුණු ඉංගිරිසියෙන් කථා කළේය. අපිද (නැචුරලි!) ඔහු යාපනයේ දෙමළ තරුණයකුය උපකල්පනය කළෙමු.

යාපනයට වසර හතළිහකට කිට්ටු කාලයකට පසුව ගිය චන්නට බොහෝ දේ දැන ගන්ට ඇවැසි වී තිබුණේය. (ඔහු ඉන්පෙර 1977 දී යාපනයට ගොස් තිබුණේ මහ මැතිවරණය මෙහෙයවූ දිස්ත්‍රික් ප්‍රධානියා ඔහුගේ පියා වූ කාලයේදීය.)

චන්න සාමාන්‍යයෙන් මගේ මතය මායිම් නොකරන පණ්ඩිතයෙකි. නැතිනම් මේ බොහෝ දේ මට ඔහුට කියා දෙන්ට තුබුනේය. නමුත් චන්නට අවශ්‍ය මගේ තොරතුරු හැමෙකක්ම වෙනකකුට යොමු කොට ඩබල් චෙක් කර ගන්ටය.

චන්න “දෙමළ තරුණයා” හා ඉංගිරිසියෙන් දොඩමළු විය. ටික වේලාවකින් ඔහුට වැටහුනේ මේ තරුණයාගේ මඳ ඉංගිරිසි දැනුම තමන්ගේ කටයුත්තට ප්‍රමාණවත් නොවන බවය.

“සිංහල ටිකක් හරි කතා කරන්න බැරිද…?”

චන්න “දෙමළ තරුණයා” ගෙන් ඇසුවේය.

“සර්ලා සිංහලද..?” ඔහු හඬින් හිනා වෙන්ට පටන් ගත්තේය.

“…කියන්න එපායැ මුලින්. සර්ලා ඉංගිරිසියෙන් කතා කළ නිසා මං හිතුවෙ ඉන්දියන් කාරයො දෙන්නෙක් කියලා!”

“දෙමළ තරුණයා” තමන්ගේ ගම ගම්පහ බවත් මවු බස සිංහල බවත් කීයේය.

මත්තලින් ගුවන්ගත වන යානයක දුලබ දසුන

දෙවන අත්දැකීම ඊට නුදුරින් මේ අවස්ථාවේ නම සඳහන් කිරීම උචිතයැයි මා නොසිතන මිතුරකු සමඟය.

අපට මත්තල ගුවන් තොටුපොළ බලන්ට යන්ට ඕනෑ විය. හම්බන්තොට හන්දියේදී මම තෙසක් රිය හිමියකු සමඟ යන්ට හා එන්ට ගනුදෙනු කතා කර ගත්තෙමි. මිතුරා කළේ කෑමරාවත් සමඟ තෙසක් රියට නඟින එක විතරය. ඉන්පසුව අප දෙදෙන උදේ ඇඳෙන් නැඟිටි මොහොතේ පටන්, ආරම්භ කරන සුපුරුදු නොන්-ස්ටොප් සංවාදය නැවතුණු තැන් සිට පටන් ගත්තෙමු. (මේ සංවාදය අපේ වැඩ කටයුතු පිණිස නතර නොවෙන එකකි. අපේ සියළු වැඩ කටයුතු වන්නේ ඒ සංවාදය මැදය!)

මත්තලදී මිතුරා ඉතාම අහම්බෙන් දක්නට ලැබෙන ගුවන් යානයක් ගුවන් ගත වීමේ ආශ්චර්යමත් දසුන කැමරාවට හසු කරන්නට වෑයම් කරද්දී මම තෙසක් රියැදුරා අසළ මඳක් රැඳී හුන්නෙමි. අප අතර කෙටි දෙබසක් ඇති විය.

“සර්ගෙ යාලුවෙක්ද…?”
(ඔහු අසන්නේ මගේ මිතුරා ගැන බැව වටහා ගැන්මට මට ටික වේලාවක් ගත විය.)
“ඔව්”
“බිස්නස් එකටද ආවෙ…”
“නෑ…”
“නිකම් ටුවර් එකකටද ආවෙ…?”
“ඔව්”
“හම්බන්තොට ගොඩක් තැන් තියෙනවා ඉන්දියන්ස්ලා බලන්න කැමැති, මට එක්ක යන්න පුළුවන්…”
“මොකක්?”
“නෑ, සර්ගෙ යාළුවා ඉන්දියාවෙ නෙවෙයිද…?”
‘නෑ එයා නුවර…”

අප දෙදෙනා හම්බන්තොට සිට මත්තලටම කතා කරමින් පැමිණියේ සිංහල පොඩියක් වත් නැතිව ඉංගිරිසියෙන්ම බව මතක් වී මට හිතින් හිනා ගියේය.

මේ අවස්ථා දෙකටම වග කිව යුත්තේ මාය. හොඳින් සිංහල කතා කළ හැකි මගේ මිතුරන් මා සමඟ කතා කරන විට ඉංගිරිසියෙන් කතා කරන්ට පොළඹ වන්නේ මා හෙයිනි.

මවුබසද සිංහලය වන එහෙත් මා හා ඉංගිරිසියෙන් පමණක්ම දොඩන මිතුරෝ විස්සක් විසිපහක් වත් වෙත්. විශේෂයෙන්ම මගේ කිට්ටුම මිතුරන් සමහරකු මා හා දොඩන්නේ ඉංගිරිසියෙනි.

මවුබස සිංහල නොවන්නකු සමඟ මා ඉංගිරිසියෙන් කතා කරන හේතුව නම් කෙනකුට සිතා ගත හැකිය. නමුත් මා මවුබස සිංහල වන, සිංහලය හොඳින් හැසිරවිය හැකි කෙනකු සමඟ ඉංගිරිසියෙන් දොඩමළු වන්නේ මන්ද? එතැනින්ද එපිටට ගොස්, වැරදිලාවත් සිංහලට නොබැස, ඉංගිරිසියෙන් පමණක්ම දොඩමළු වන්නේ මන්ද? එතැනින්ද තවත් එපිටට ගොස් ඊට ආසා කරන්නේ මන්ද?

මීට හේතු කිහිපයක්ම වේ. මුලින්ම කිව යුත්තේ ඒ අතුරින් පළමුවැන්න ‘ලොකු කම’ නොවන බවය. කාට ලොකු වුවද ඉංගිරිසිය මට නම් ලොකු නැත. (ෆ්‍රන්ස උගත්තකුට ඉංගිරිසිය යනු අතිශය ග්‍රාම්‍ය භාෂාවකි.)

මුල්ම හේතුව හැටියට හිතෙන්නේ මට ඉංගිරිසිය අනෙක් කවර හෝ බසෙකට වඩා සමීප වීමයි. එය මා මුලින්ම උගත් බස නුවුවද (අප මව්බසය කියන්නේ පළමුවෙන් ඉගෙන ගන්නා බසටය.) මා වෘත්තීය ජීවිතයේදී (හා සමහර කාරණා වලින් පෞද්ගලික ජීවිතයේදී පවා) කියවන්නේ, අසන්නේ, දොඩන්නේ, ලියන්නේ, සිතන්නේ වැඩියෙන්ම ඉංගිරිසියෙනි. මේ සියළු කටයුතු (සිතීම පවා) මට ඉංගිරිසියෙන් වඩා හොඳින්, පහසුවෙන් හා ඉක්මණින් කළ හැකිය. ලිවීම දෙවිදියටම කරමි. සමහරවිට ‘සිංහල’ මූඩ් එකට වැද සිංහලෙන්ම සිතා ලියමි. සමහරවිට (විශේෂයෙන් වෘත්තීය කාරණා වලදී ඉංගිරිසියෙන් සිතා සිංහලට හරවා ලියමි. මොනම හේතුවක් නිසාවත් මෙහි අනෙක් පැත්ත නොකරමි. සිංහලෙන් හිතා ඉංගිරිසියෙන් ලිවීම නොකළ යුත්තේ එය සාපේක්ෂව නොවැඩුණු බසෙක සිට වැඩුණු බසෙකට කරන්නක් නිසාය.) මේ නිසා ඉංගිරිසියෙන් කෙරන සන්නිවේදනය මට පහසුවකි. මගේ බොහෝ මිතුරන්ගේද තත්ත්වය මීට සමානය.

දෙවන හේතුව මා ඉන්දියාවේ ගෙවූ සිව් වසයි. මේ සිව් වස මුළුල්ලේම මට සිංහලෙන් සන්නිවේදනය කළ හැකි කෙනකු සිටියේ නැති තරම්ය. මට වඩා වසරෙකින් ජ්‍යෙෂ්ඨ සිංහල යුවතියක මා සමඟම ඉගෙනුම ලැබූවද, ගැහැනු පිරිමි සාම්ප්‍රදායිකව බෙදන ඉන්දීය සමාජයේ ඇය මට මුණ ගැසුනේ කලාතුරෙකිනි. මේ නිසා මගේ මුල් බස නිතැතින්ම ඉංගිරිසිය බවට පත්විය. මා නම් ජීවියා ගොඩ නැඟුනේ ඒ මැදය. එසේ හෙයින් ඉංගිරිසිය මට කිසිසේත් ආගන්තුක බසක් සේ නොහැඟුණේය. (ඉදින් මා ලංකාවේ සරසවියක අධ්‍යාපනය ලද්දේ නම් තත්ත්වය මීට සහමුලින් වෙනස් විය හැකිව තිබිණි.)

තෙවන හේතුව අතිශයින් පෞද්ගලිකය. එය මා විස්තර කරන්ට නොගියද, මගේ කලින් පෝස්ට කියැවූවකුට ඒ ගැන යම් ඉඟියක් ලබා ගත හැක්කේය සිතමි.

ප්‍රතිපත්තියක් සේ වත්මනෙහි මා සිංහල මව් බස නොවන ලාංකිකයින්ට (දෙමළ හෝ මුස්ලිම්) මුලින් කතා කරන්නේ හැමවිටම ඉංගිරිසියෙනි. ඔවුන් සිංහල දනිතැයි මොනම විටෙක වත් උපකල්පනය නොකරමි. මීට හේතුව සියළුම ලාංකිකයින් අනිවාර්යයෙන්ම සිංහල දැන සිටීමේ අවශ්‍යතාවයක් මා නොදැකීමයි. මා මුලින් ඉංගිරිසියෙන් කතා කළ පසුව ඔවුන්ට සිංහල වඩා පහසු බව සිතේ නම් සිංහලයට බසිමි. නැතොත් ඉංගිරිසියෙන්ම දොඩමි.

සිංහල, ඉංගිරිසි හා ෆ්‍රන්ස භාෂා තුනම දත් මිතුරන් මට ඇත්තේ අතෙක ඇඟිලි ගණනටත් අඩුවෙනි. ඔවුන් සමඟ obligatoire සන්නිවේදන භාෂාව ෆ්‍රන්සය.