49. මගේ ඉංගිරිසි ආලය හෙවත් “මං හිතුවෙ සර්ලා ඉන්දියන්කාරයෝ කියලා”

පළමු අත්දැකීම චන්න සමඟය. වසර දෙකකට පමණ ඉහතදී යාපනයේ සුභාෂ් හෝටලයේදීය. අප යාපනයට යන්නේ චන්නට අළුතින් බෞතික් හෝටලයක් ආරම්භ කිරීම යාපනය කොයි තරම් ගැළපෙන්නේද ඇගැයුමක් කර ගන්ට අවශ්‍ය වූ නිසාය.

ඇඳුම් බෑග කියා තුබුණේ බැක් පැක් දෙකක් පමණක් වුවද, ඒවා කාමරයට ගෙන යන්ට සේවක තරුණයෙක් ඉදිරිපත් විය. ඔහු අප සමඟ කැඩුණු ඉංගිරිසියෙන් කථා කළේය. අපිද (නැචුරලි!) ඔහු යාපනයේ දෙමළ තරුණයකුය උපකල්පනය කළෙමු.

යාපනයට වසර හතළිහකට කිට්ටු කාලයකට පසුව ගිය චන්නට බොහෝ දේ දැන ගන්ට ඇවැසි වී තිබුණේය. (ඔහු ඉන්පෙර 1977 දී යාපනයට ගොස් තිබුණේ මහ මැතිවරණය මෙහෙයවූ දිස්ත්‍රික් ප්‍රධානියා ඔහුගේ පියා වූ කාලයේදීය.)

චන්න සාමාන්‍යයෙන් මගේ මතය මායිම් නොකරන පණ්ඩිතයෙකි. නැතිනම් මේ බොහෝ දේ මට ඔහුට කියා දෙන්ට තුබුනේය. නමුත් චන්නට අවශ්‍ය මගේ තොරතුරු හැමෙකක්ම වෙනකකුට යොමු කොට ඩබල් චෙක් කර ගන්ටය.

චන්න “දෙමළ තරුණයා” හා ඉංගිරිසියෙන් දොඩමළු විය. ටික වේලාවකින් ඔහුට වැටහුනේ මේ තරුණයාගේ මඳ ඉංගිරිසි දැනුම තමන්ගේ කටයුත්තට ප්‍රමාණවත් නොවන බවය.

“සිංහල ටිකක් හරි කතා කරන්න බැරිද…?”

චන්න “දෙමළ තරුණයා” ගෙන් ඇසුවේය.

“සර්ලා සිංහලද..?” ඔහු හඬින් හිනා වෙන්ට පටන් ගත්තේය.

“…කියන්න එපායැ මුලින්. සර්ලා ඉංගිරිසියෙන් කතා කළ නිසා මං හිතුවෙ ඉන්දියන් කාරයො දෙන්නෙක් කියලා!”

“දෙමළ තරුණයා” තමන්ගේ ගම ගම්පහ බවත් මවු බස සිංහල බවත් කීයේය.

මත්තලින් ගුවන්ගත වන යානයක දුලබ දසුන

දෙවන අත්දැකීම ඊට නුදුරින් මේ අවස්ථාවේ නම සඳහන් කිරීම උචිතයැයි මා නොසිතන මිතුරකු සමඟය.

අපට මත්තල ගුවන් තොටුපොළ බලන්ට යන්ට ඕනෑ විය. හම්බන්තොට හන්දියේදී මම තෙසක් රිය හිමියකු සමඟ යන්ට හා එන්ට ගනුදෙනු කතා කර ගත්තෙමි. මිතුරා කළේ කෑමරාවත් සමඟ තෙසක් රියට නඟින එක විතරය. ඉන්පසුව අප දෙදෙන උදේ ඇඳෙන් නැඟිටි මොහොතේ පටන්, ආරම්භ කරන සුපුරුදු නොන්-ස්ටොප් සංවාදය නැවතුණු තැන් සිට පටන් ගත්තෙමු. (මේ සංවාදය අපේ වැඩ කටයුතු පිණිස නතර නොවෙන එකකි. අපේ සියළු වැඩ කටයුතු වන්නේ ඒ සංවාදය මැදය!)

මත්තලදී මිතුරා ඉතාම අහම්බෙන් දක්නට ලැබෙන ගුවන් යානයක් ගුවන් ගත වීමේ ආශ්චර්යමත් දසුන කැමරාවට හසු කරන්නට වෑයම් කරද්දී මම තෙසක් රියැදුරා අසළ මඳක් රැඳී හුන්නෙමි. අප අතර කෙටි දෙබසක් ඇති විය.

“සර්ගෙ යාලුවෙක්ද…?”
(ඔහු අසන්නේ මගේ මිතුරා ගැන බැව වටහා ගැන්මට මට ටික වේලාවක් ගත විය.)
“ඔව්”
“බිස්නස් එකටද ආවෙ…”
“නෑ…”
“නිකම් ටුවර් එකකටද ආවෙ…?”
“ඔව්”
“හම්බන්තොට ගොඩක් තැන් තියෙනවා ඉන්දියන්ස්ලා බලන්න කැමැති, මට එක්ක යන්න පුළුවන්…”
“මොකක්?”
“නෑ, සර්ගෙ යාළුවා ඉන්දියාවෙ නෙවෙයිද…?”
‘නෑ එයා නුවර…”

අප දෙදෙනා හම්බන්තොට සිට මත්තලටම කතා කරමින් පැමිණියේ සිංහල පොඩියක් වත් නැතිව ඉංගිරිසියෙන්ම බව මතක් වී මට හිතින් හිනා ගියේය.

මේ අවස්ථා දෙකටම වග කිව යුත්තේ මාය. හොඳින් සිංහල කතා කළ හැකි මගේ මිතුරන් මා සමඟ කතා කරන විට ඉංගිරිසියෙන් කතා කරන්ට පොළඹ වන්නේ මා හෙයිනි.

මවුබසද සිංහලය වන එහෙත් මා හා ඉංගිරිසියෙන් පමණක්ම දොඩන මිතුරෝ විස්සක් විසිපහක් වත් වෙත්. විශේෂයෙන්ම මගේ කිට්ටුම මිතුරන් සමහරකු මා හා දොඩන්නේ ඉංගිරිසියෙනි.

මවුබස සිංහල නොවන්නකු සමඟ මා ඉංගිරිසියෙන් කතා කරන හේතුව නම් කෙනකුට සිතා ගත හැකිය. නමුත් මා මවුබස සිංහල වන, සිංහලය හොඳින් හැසිරවිය හැකි කෙනකු සමඟ ඉංගිරිසියෙන් දොඩමළු වන්නේ මන්ද? එතැනින්ද එපිටට ගොස්, වැරදිලාවත් සිංහලට නොබැස, ඉංගිරිසියෙන් පමණක්ම දොඩමළු වන්නේ මන්ද? එතැනින්ද තවත් එපිටට ගොස් ඊට ආසා කරන්නේ මන්ද?

මීට හේතු කිහිපයක්ම වේ. මුලින්ම කිව යුත්තේ ඒ අතුරින් පළමුවැන්න ‘ලොකු කම’ නොවන බවය. කාට ලොකු වුවද ඉංගිරිසිය මට නම් ලොකු නැත. (ෆ්‍රන්ස උගත්තකුට ඉංගිරිසිය යනු අතිශය ග්‍රාම්‍ය භාෂාවකි.)

මුල්ම හේතුව හැටියට හිතෙන්නේ මට ඉංගිරිසිය අනෙක් කවර හෝ බසෙකට වඩා සමීප වීමයි. එය මා මුලින්ම උගත් බස නුවුවද (අප මව්බසය කියන්නේ පළමුවෙන් ඉගෙන ගන්නා බසටය.) මා වෘත්තීය ජීවිතයේදී (හා සමහර කාරණා වලින් පෞද්ගලික ජීවිතයේදී පවා) කියවන්නේ, අසන්නේ, දොඩන්නේ, ලියන්නේ, සිතන්නේ වැඩියෙන්ම ඉංගිරිසියෙනි. මේ සියළු කටයුතු (සිතීම පවා) මට ඉංගිරිසියෙන් වඩා හොඳින්, පහසුවෙන් හා ඉක්මණින් කළ හැකිය. ලිවීම දෙවිදියටම කරමි. සමහරවිට ‘සිංහල’ මූඩ් එකට වැද සිංහලෙන්ම සිතා ලියමි. සමහරවිට (විශේෂයෙන් වෘත්තීය කාරණා වලදී ඉංගිරිසියෙන් සිතා සිංහලට හරවා ලියමි. මොනම හේතුවක් නිසාවත් මෙහි අනෙක් පැත්ත නොකරමි. සිංහලෙන් හිතා ඉංගිරිසියෙන් ලිවීම නොකළ යුත්තේ එය සාපේක්ෂව නොවැඩුණු බසෙක සිට වැඩුණු බසෙකට කරන්නක් නිසාය.) මේ නිසා ඉංගිරිසියෙන් කෙරන සන්නිවේදනය මට පහසුවකි. මගේ බොහෝ මිතුරන්ගේද තත්ත්වය මීට සමානය.

දෙවන හේතුව මා ඉන්දියාවේ ගෙවූ සිව් වසයි. මේ සිව් වස මුළුල්ලේම මට සිංහලෙන් සන්නිවේදනය කළ හැකි කෙනකු සිටියේ නැති තරම්ය. මට වඩා වසරෙකින් ජ්‍යෙෂ්ඨ සිංහල යුවතියක මා සමඟම ඉගෙනුම ලැබූවද, ගැහැනු පිරිමි සාම්ප්‍රදායිකව බෙදන ඉන්දීය සමාජයේ ඇය මට මුණ ගැසුනේ කලාතුරෙකිනි. මේ නිසා මගේ මුල් බස නිතැතින්ම ඉංගිරිසිය බවට පත්විය. මා නම් ජීවියා ගොඩ නැඟුනේ ඒ මැදය. එසේ හෙයින් ඉංගිරිසිය මට කිසිසේත් ආගන්තුක බසක් සේ නොහැඟුණේය. (ඉදින් මා ලංකාවේ සරසවියක අධ්‍යාපනය ලද්දේ නම් තත්ත්වය මීට සහමුලින් වෙනස් විය හැකිව තිබිණි.)

තෙවන හේතුව අතිශයින් පෞද්ගලිකය. එය මා විස්තර කරන්ට නොගියද, මගේ කලින් පෝස්ට කියැවූවකුට ඒ ගැන යම් ඉඟියක් ලබා ගත හැක්කේය සිතමි.

ප්‍රතිපත්තියක් සේ වත්මනෙහි මා සිංහල මව් බස නොවන ලාංකිකයින්ට (දෙමළ හෝ මුස්ලිම්) මුලින් කතා කරන්නේ හැමවිටම ඉංගිරිසියෙනි. ඔවුන් සිංහල දනිතැයි මොනම විටෙක වත් උපකල්පනය නොකරමි. මීට හේතුව සියළුම ලාංකිකයින් අනිවාර්යයෙන්ම සිංහල දැන සිටීමේ අවශ්‍යතාවයක් මා නොදැකීමයි. මා මුලින් ඉංගිරිසියෙන් කතා කළ පසුව ඔවුන්ට සිංහල වඩා පහසු බව සිතේ නම් සිංහලයට බසිමි. නැතොත් ඉංගිරිසියෙන්ම දොඩමි.

සිංහල, ඉංගිරිසි හා ෆ්‍රන්ස භාෂා තුනම දත් මිතුරන් මට ඇත්තේ අතෙක ඇඟිලි ගණනටත් අඩුවෙනි. ඔවුන් සමඟ obligatoire සන්නිවේදන භාෂාව ෆ්‍රන්සය.

Advertisements

7 responses to “49. මගේ ඉංගිරිසි ආලය හෙවත් “මං හිතුවෙ සර්ලා ඉන්දියන්කාරයෝ කියලා”

  1. “මුලින්ම කිව යුත්තේ ඒ අතුරින් පළමුවැන්න ‘ලොකු කම’ නොවන බවය. කාට ලොකු වුවද ඉංගිරිසිය මට නම් ලොකු නැත. (ෆ්‍රන්ස උගත්තකුට ඉංගිරිසිය යනු අතිශය ග්‍රාම්‍ය භාෂාවකි.)”

    මේක සහතික ඇත්ත. සන්හලට සාපේක්ෂව ඉංගිරිසිය අතිශය ග්‍රාම්‍ය භාෂාවක්. ඒත් ජන්මෙට වඩා පුරැද්ද ලොකුයි. ඒ නිසා තමා by default ඉංගිරිසිය එන්නේ…

  2. මා ඉන්දියන්කාරයෙකු කියා දින දෙකක් ඇතුලත තුන් තැනකදී තුන් දෙනෙකු රැවටුනේ ඉංග්ලිෂ් හෝ කිසිදු වචනයක් කතා නොකර සිටිය දී යි!

  3. ලක්ෂාන්

    වෙනත් වැඩ කරන අතර මෙතරම් සංවාද කරන්නේ මොනවා ගැනදැයි මට නම් නොතේරේ 🙂

    • සංවාද මොනවා ගැනද?

      (a). සංවාද කිහිපයක් මෙහි බ්ලොග් පෝස්ට් බවට අනුවර්තනය විය. (41. මිහිදන් කළ මතක හෙවත් මගේ උසස් පෙළ ප්ලේ-ලිස්ට් එක. 42. මගේ පළමු පෙම්පත, 43. දුරු රටක වෙනස් මිනිසකු වීම හෙවත් මගේ සරසවි ප්ලේ-ලිස්ට් එක, 45. මරණයට සෙන්ටිමීටර දහයක් නුදුරින්, 46. බුදුන් මැරීම) තව කිහිපයක් ඉදිරියේදී වනු ඇත.

      (b). සංවාද කිහිපයක් නිර්නාමිකව නිර්මාණ ගණනාවක් බිහි කළේය. (සමහර ඒවා ඔබද කියවන්ට ඇතැයි සිතමි.)

      (c). මංගත නවකථාවක් බවට පරිවර්තනය විය හැකිව තිබුණු දීර්ඝ සංවාදයක් නොවැළැක්විය හැකි කරුණක් නිසා එසේ නොවනු ඇත්තේය.

  4. ලක්ෂාන්

    And I believe birthday wishes are in order as now it says දසක පහක මතක

  5. ඉංග්‍රීසි

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s