50. වසර පනහක හෙවත් දසක පහක මතක

“පල යන්න බොරු නොකියා, උඹට පනහක් නෑ…”

වයස විසි දෙකක මිතුරියක් ඊයේ චැට් කරද්දී කියුවාය.

ඇත්ත. ඇය ගනුදෙනු කරන්නේ මා ඇතුළේ ඉන්න එකා සමඟය. ඌට නම් පනහක් තියා දහ අටකට වඩා දවසක් වත් ගතව ඇති පාටක් නොපෙනේ. ඒත් එළියෙන් බලන කෙනෙකුට පෙනෙන එකා පසුගියදා සිය දිවියේ අඩ සියවස සම්පූර්ණ කළේය. ඒ මීට මාසයකට දෙකකට පමණ ඉහතිනි.

මගේ සැබෑ නමින් යුතු වත් පොත් ගිණුම් දෙකක් සදහටම වසා දමා, අනෙක තාවකාලිකව අක්‍රිය කොට ඇති හෙයින් මගේ උපන්දිනය ලොවට රහසක් විය.

ලොව කිව්වේ පවුලේ හා ඊළඟ මට්ටමේ ඥාතීන්, කිට්ටු මිතුරන්ද ඇතුළුව මිතුරු සමූහයා, හත්සිය පනහකට අධික වත්මන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, වසර දහයක ගණන් තියා ගන්ට බැරි තරම්, පැරැණි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා බිලියන හතක ලෝක ජනගහණයෙන් දන්නා කියන සියළු දෙනාය. ‘කේක්’ දීමේ සම්ප්‍රදායික සිරිත නිසා කාර්යාලයීය සගයෝ සිද්ධිය දැන සුභ පැතුවෝය.

වෙන කෙනකුට නම් රිදෙන දෙයක් උපන් දිනයේදී විය. මගේ උපන්දිනය මතක තියාගෙන සුභ පැතුමක් එක් කළේ එකම එක – ඔව්, එකම එක – ‘මිතුරකු’ පමණක් වීමය. ඒ සතුටය. උත්ප්‍රාසය මේ ‘මිතුරා’ද මේ වන විට සිටින්නේ මා හා කතාබහ නොකරන අවස්ථාවෙක වීමය.

මොනයම් හෝ හේතුවක් නිසා මුහුණට මුහුණ දී කථා කළ නොහැක්කන්, ඊගෝවන්ටද හානියක් නොකැර ගෙන, “You are an egoistic bastard, but I still care” කියන පණිවිඩය බෙදා ගන්නේ උපන්දිනයට Happy Birthday! කියා ටෙක්ස්ට් එකක් යැවීම මඟිනි.

අදාළ අංකය වත් මගේ දුරකථනයේ නොතිබුණු නිසා Who is this? / You have my number / Sorry no, I don’t / XXXXXXXX / Thanks සේ වූ ටෙක්ස්ට් සංවාදය නිමා කළෙමි. එතැනින් එපිටට යා නොහැකි සේ චීන මහා ප්‍රාකාරයක් තියේ.

සමූහයක් සේ මගේ ආනන්ද මිතුරෝ සියල්ලන්ගේ පොදු පනස් වන උපන් දිනය සැමැරුවෝය. ඒ ආනන්දයේදී එක් වීමෙන් හා සති අන්තයේ මීගමුවේ ජෙට්-වින්ග් හෝටලයට පවුල් සවාරියක් ලෙසිනි.

කාර්ය බහුලත්වය නිසා දෙවැන්නට සහභාගි වන්ට ඉඩ නොලැබුණද පළමුවැන්නට සහභාගි වීමි. පහත ඇත්තේ එහිදී ගත් ඡායාරූප කිහිපයකි.

හාරසියයක් පමණ වූ, සමාන්තර පන්ති පහළවක මගේ ආනන්දීය මිතුරන්ගෙන් පනස් විය සමරන්ට එක් රොක් වූ පිරිස

1. තුනේදී හා හතරේදී මගේ හොඳම මිතුරා වූ ජානක මෙන්ඩිස් අද බහරේන් හි Ibdar Bank හි ප්‍රධාන මූල්‍ය නිලධරයාය. ජීවිතය ගොඩ නඟා ගැන්ම මෙන්ම හැමදා තිරිහන්ව සිටිම යන කරුණු දෙකෙන්ම මට ඔහුගෙන් උගත හැකි බොහෝ දේ තියේ.

2. හත්වැන්නේ සිට දහවැන්න දක්වා පන්ති හතරක මගේ හොඳම මිතුරා වූ චතුර ජයනාත් රත්නායක, එකකට පසු එකක්, වාර විභාග අටෙකින් මා පළමුවැන්නා වෙද්දී දෙවැන්නා වීම සතුටින් ඉවසුවේය. (මට වඩා බොහෝ දක්ෂ ඔහු මෙසේ පැරැදූයේ කෙසේද මම අදත් කල්පනා කරමි.) මා මුල්වරට පුවත්පත් කලාවට පිවිසියේද හත්වැන්නේදී චතුර හා මා එක්ව සංස්කරණය කළ ‘දැනුම’ සඟරාවෙන් බවත්, ‘ආනන්දය‘ හා ‘විදුසර’ පුවත්පත් දෙකෙහිම ඔහු මගේ සගයකු වූ බවත් සඳහන් විය යුතුය. මා පිට ගෙදරකින් වැඩියෙන්ම බත් කා ඇතිනම් ඒ චතුරලාගේ මහරගම ගෙදරිනි.

අද චතුර නාරිවේදය හා ප්‍රසව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු සේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි.

3. මගේ තවත් කිට්ටු මිතුරකු වූ සමන්ත මුතුකුමාරණ 1986 අධ්‍යයන පොදු සහතිකපත්‍ර (උසස් පෙළ) විභාගයෙන් A හතරක්ද, ගණිත අංශයෙන් දිවයිනේ හොඳම ප්‍රතිඵලද ලැබුවේය. මුතු අද විදෙස් ගතව වෙසෙයි. වැඩි විස්තර අසාගනු නොහැකි විය.

4. හත්වැන්නේ සිට දහවැන්න දක්වා අපේ පන්තියේ සිටි ‘පෝරිසාදයා’ නිලංක සූරියබණ්ඩාරය. ඔහුගේ සම්පූර්ණ පැටිගිරිය මෙහි ලිවිය නොහැකි තරම් දරුණුය. කොයි තරම් ක්ලැසික් කේස් එකක්ද කිව්වොත් පන්තියෙන් අමුතු සද්දයක් ආ හැම විටෙකම සමහර ගුරුවරුන් (විශේෂයෙන්ම ගුරුවරියන්) පුරුදුව සිටියේ කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව, “සූරියබණ්ඩාර, මෙහෙ එනවා!” කියා කම්මුලට දෙකක් ගසා පන්තියෙන් එළියට දාන්ටය. (මේ සමහර සිද්ධීන් වලට ඔහුගේ කිසිම සම්බන්ධයක් නොවීය.) මේ පරස්පරයන් කිසිවකට පන්තියේ පෝරිසාදයා පන්තියේ පළමුවැන්නාගේ හොඳම මිතුරකු වීම වළක්වා ලිය නොහැකි විය.

කලා විෂයයන් හදාළ සූරියබණ්ඩාරට ආර්ථික විද්‍යාව ඉගැන්වූයේ අර්ජුන රණතුංගගේ මෑණියන් වූ රණතුංග මැඩම්ය. ඇය සූරියබණ්ඩාර උසස්පෙළ සමත් වූ බව පිළිගත්තේ විභාග සහතිකය දැකීමෙන් පසු බව කීවේද ඒකාමය.

5. මේ 1986 දී ‘ආනන්දය’ පාසල් පුවත්පත කලාප දෙකක් නිකුත් කළ කර්තෘ මණ්ඩලයයි. වමේ සිට ගාමිණී වනසේකර (කර්තෘ – අද ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ), චතුර රත්නායක, ගාමිණී කුමාර අල්විස් (නියෝජ්‍ය කර්තෘ – අද නීතිඥවරයෙකි.), මම හා ජනක සේනාරත්න (ඡායාරූප ශිල්පී – අද කොළඹ සම්පත් බැංකුවේ Colombo Super Branch හි කළමනාකරු )

6. මා මිතුරු විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පදමකාන්ත පෙරේරා මේ ඡායාරූප දෙකට අමතරව යට දැක්වෙන කෙටි සටහන්ද සිය වත්පොතට එක්කොට තිබුණේය.

“චානුක වත්තේගම ආනන්දයේ බුදු මැදුර ඉදිරියේ අපහසුවෙන් කැමරාවක් ආම්බාම් කරමින් සෙල්ෆියක් අර ගන්ට තැත් කරමින් සිටියේය. මට ඔහු ගැන දුක හිතුණු නිසාම කැමරාව ඉල්ලාගෙන ඡායාරූපය අරගෙන දෙන්ට ඉදිරිපත් වීමි. ඔහු එක් වරම “‍යකෝ මෙන්න ඇමැතිලා අපේ ෆොටෝ ගන්නවා!” යි හයියෙන් කෑගැසුවේය. එවිට වටේ පිටේ සිටි කිහිපදෙනෙක් ඡායාරූප ශිල්පියා වූ මගේ ඡායාරූපය ගැනීම ඔහුට සිනහවට කාරණයක් වූයේ මෙසේය. (චානුක සිනාවෙමින් සිටින ඡායාරූප මා දැක ඇත්තේ ඉතාම කලාතුරෙකිනි. මෙය සුවිශේෂී වන්නේ එනිසාය.)”

“හයවැනි ශ්‍රේණියේ පටන්ම ආනන්දයේ සමාන්තර පන්ති දෙකක ඉගෙනුම ලැබූවද, චානුක වත්තේගම මට මුල් වරට හමු වන්නේ නව වැනි ශ්‍රේණියේදී ජාතික රූපවාහිනියේදීය. ඒ ජාතික රූපවාහිණියේ යම් වැඩ සටහනකට ආරාධිතයන් වශයෙන් හැම පන්තියකින්ම එකකුට බැගින් සහභාගි වන්ට වරම් ලැබීමෙනි.’

“අපට වැඩ සටහනට සහභාගි වන්ට නියමිතව තිබුණේ උදේ වරුවේ පමණෙකි. ඒත් අපේ තිබුණු “මාධ්‍ය උණ” නිසාම, අනෙකුන් ගෙදර යද්දීත්, චානුකත් මාත් රූපවාහිනී කැන්ටිමෙන්, අතේ තිබුණු සුළු මුදලට, දිවා ආහාරයට වඩේ දෙකක් කා සවස් වරුවේ තිබුණු වැඩසටහනටද සහභාගි වීමු. අප මුල්වරට හඳුනා ගත්තේ එදිනය.’

“එවක පටන් කිහිප වතාවක්ම අපේ ගමන්පථ එකිනෙක හරස් විය. උසස් පෙළ සමයේදී මම අනාරාධිතවම ඔහුගේ පන්තියේ ආනන්ද සියවස ප්‍රදර්ශනය වෙනුවෙන් කළ ව්‍යාපෘතියේ කොටස්කරුවකු වීමි. පාසලෙන් අස්වූ පසු අපි විටෙක ශ්‍රී පාදයටද, තව විටෙක නුවර එළියටද චාරිකා කළෙමු. හග්ගල වනෝද්‍යානයේදී චානුකට හග්ගල ගල මුදුණේ “කුරු වනාන්තර” (Pygmy Forests) බලන්ට අවශ්‍ය වූයෙන් අද නම් මොහොතකටවත් දරන්ට නොසිතන ආකාරයේ අවදානමක් ගෙන මහ වන මැදි හග්ගල ගල නැඟීමු. දුරදිග නොබලා කළ මේ කටයුත්තෙන් අප නොමැරී බේරුණේ පූරුවේ වාසනාවකට විය යුතුය අද සිතේ.’

“උසස් අධ්‍යාපනය පිණිස ඔහු ඉන්දියාවටද, මා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට හා නීති විද්‍යාලයටද ඇතුළු වීමෙන් පසු අපි යම් මට්ටමට දුරස් වීමු. ඉන්පසු ඔහු මට හමුවන්නේ මගේ දේශපාලන දිවියේ මුල් හරියේදීය. එතැන් පටන් වසර දහයක පමණ කාලයක් ඔහු මගේ සෙවනැල්ල සේ නොසැලී ළඟින් සිටි බැව් සටහන් විය යුතුය.’

“අද චානුක මට සිටින සීරියස්ම විවේචකයෙකි. සමහරවිට ඔහු තරම් මා කුපිත කරවන්නකු නැතැයි සිතන තරමට ඔහු මා විවේචනය කරයි. ඒද පාසල් සමයේ සිටම ඔහුට හුරුපුරුදු කැත්තෙන් ගැසුවා වැනි භාෂාවෙනි. යමක් කෙළින්ම කියනවා මිස කපා කොටා කියන සිරිතක් ඔහුට අදත් නැත. මේ සියල්ල මැද මා තවම ඔහු ඉවසා සිටින්නේ පැරැණි මිතුදම නිසාද නැතොත් ඔහුගේ විවේචන සාධාරණ වීම නිසාද මම නොදනිමි.”

Advertisements

9 responses to “50. වසර පනහක හෙවත් දසක පහක මතක

  1. @ CW, HBD !
    //ඇය ගනුදෙනු කරන්නේ මා ඇතුළේ ඉන්න එකා සමඟය.//
    The strongest influence on me is my inner child. I’m no spring chicken either.

  2. ගෲප් ෆොටෝවේ පිටු පා ඉන්නේ බුදු මැදුරට ද?

    මෙදාවත් බුදු පිළිමෙට වැන්දාද?

  3. පනස්වෙනි ලිපිය පනහ පිරීම ගැන වීමත් හොඳ සුබ ලකුණක්

  4. පළමු වෙන්ම ඔබට සුබම සුබ උපන් දිනයක් පතනවා. දෙවනුව ඔබේ “ මිතුරා “ ට ඔබව මතක් වීමේ ප්‍රීතිය මාද භුක්ති විදින බව පවසන්නේ සතුටින්.
    තෙවනුව “ පෝරිසාදයන් “ට වයස ගත වන්නේ අඩුවෙන් ද කියල දැන ගන්නට කැමති අතර. සිවුවනුව බලශක්ති ඇමතිතුමා තරුණ පෙනුමට ඉන්නේ කොහොම ද කියලත් දැන ගන්න උනන්දුයි.

    පස්වෙනුවත් ඔබට සුබ උපන් දිනයක් පතන අතර , වයස ගොස් ඇත්තෙ ඔබ නොව ඔබේ ඔය කමකට නැති උඩු රැවුල බව කියන්නේ නම් උපදෙසක් ලෙසයි.

    • පළමුව ස්තුතියි.
      දෙවනුව ඒ අඹගහ හැරුණු විට තවත් අඹගස්ද තියේ.
      තෙවනුව හා සිව්වෙනුව පෝරිසාදයන්ට හා ඇමැතිවරුන්ට වයස යන්නේ අඩුවෙනි.
      පස්වෙනුව රැවුලට මොකක් හෝ කිරීමේ උනන්දුවෙන් සිටිමි.

  5. ලක්ෂාන්

    චානුක ගැන අප දෙදෙනාම දන්නා අයෙක් කියූ දෙයක් මේ සටහන කියවීමේදී මතක් විය
    Living like a 25yr old kid at age 50

  6. bathiya adikari

    *මේ සියල්ල මැද මා තවම ඔහු ඉවසා සිටින්නේ පැරැණි මිතුදම නිසාද නැතොත් ඔහුගේ
    විවේචන සාධාරණ වීම නිසාද මම නොදනිමි. 😃nice one*

    2017-04-28 15:18 GMT+05:30 සිහි සටහන් :

    > sihisatahan posted: “”පල යන්න බොරු නොකියා, උඹට පනහක් නෑ…” වයස විසි දෙකක
    > මිතුරියක් ඊයේ චැට් කරද්දී කියුවාය. ඇත්ත. ඇය ගනුදෙනු කරන්නේ මා ඇතුළේ ඉන්න
    > එකා සමඟය. ඌට නම් පනහක් තියා දහ අටකට වඩා දවසක් වත් ගතව ඇති පාටක් නොපෙනේ. ඒත්
    > එළියෙන් බලන කෙනෙකුට පෙනෙන එකා පසුගියදා සිය දිවියේ”
    >

  7. ප්‍රොෆයිල් පින්තූරෙන් විතරක් දැකල තිබුන මම පළමු ඡායාරූප කිහිපයේදි කල්පනා කලේ කවුද මේ කහ ශර්ට් කාරය කියල.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s