43. දුරු රටක වෙනස් මිනිසකු වීම හෙවත් මගේ සරසවි ප්ලේ-ලිස්ට් එක

“When your playlist changes, it’s not your playlist, it’s you who is in a transition.”

“මගේ අනෙකා” (මීට වඩා ටිකක් වැඩිපුර වචන භාවිතා කොට) ලියා තිබුණේය.

ඇත්ත. ඔබ වෙනස් වෙද්දී ඔබේ ප්ලේ ලිස්ට් එක වෙනස් වේ; අනෙක් පැත්තට නොවේ.

මා භාරතයට යන්නේ ලංකාවෙන් ලබා ගත නුහුණු සරසවි අධ්‍යාපනය පිණිසය. ඒ වසර දෙකක පමණ ප්‍රමාදයකින්ද යුතුවය. පෞද්ගලික අධ්‍යාපනය කියා යමක් නොතිබුණු ඒ යුගයේ සරසවි අධ්‍යාපනය ලබා ගැනීම පිණිස වෙනත් විකල්පයක් මට නොවීය.

භාරතයට යද්දී සපුරා වෙනස් මිනිසකු විය යුතුය යන තිර අදිටන මට විය. ඒ වන විට මම පශ්චාත් උසස්පෙළ යුගයෙන් ඇරැඹි මගේ ජීවිතයේ එක්තරා අප්‍රසන්න පරිච්ඡෙදයක කුරිරු මතකයෙන් 90% පමණ මිදී සිටියෙමි. ඒ සිද්ධිමාලාව නිසාම දරුණු ලෙස බිඳ වැටුණු ඊගෝවද පිළිසකර කොටගෙන හුන්නෙමි. (එහි මතක හිටින මඟ සලකුණක් වූයේ වසර විසි එකක තරුණයකු සේ රටේ ජනාධිපති අතින් වසරේ විද්‍යා ලේඛකයාට හිමි සම්මානය ලබා ගැන්මයි.) වඩා තිර බැම්මකින්ද බැඳී සිටියෙමි. ඉදින් වෙනස් මිනිසකු වීමේ කිසිම බාධාවක් මට නොවීය.

බලාපොරොත්තු වූ ආකාරයෙන්ම මම භාරතයේදී වෙනස් මිනිසකු වීමි. මා කෑවේ බිව්වේ ඉන්දියානු කෑම බීමය. (විකල්පයක් නොවීය.) කියෙව්වේ ඉන්දියානු පතපොතය; වින්දේ ඉන්දියානු සංගීතයයි; නැරැඹුවේ ඉන්දීය සිතුවම් පටය. ඇන්ඳේ කුර්තා පිජාමාය. (විකල්ප තිබුනද) සිතුවේ ඉන්දියානුවකු විදියටය. කථා කළේ දකුණු ඉන්දියානු ඇක්සන්ට් එකකින් යුතු ඉංගිරිසියයි. රෝමයට ගියා නම් රෝමානුවකු සේ ජීවත් විය යුතුය කතාවක් තියේ.

ඉතින් මගේ සරසවි ප්ලේ ලිස්ට් එක උසස් පෙළ ප්ලේ ලිස්ට් එකෙන් ඉඳුරා වෙනස් වීම පුදුමයක්ද?

10. තුම්සේ මිල්කේ ඈසා ලගා තුම්සේ මිල්කේ… (සිතුවම් පටය: පාරින්දා)

‘පාරින්දා’ මා නැරැඹූ පළමු හින්දි සිතුවම්පටයයි. වැහිබර දිනයෙක කොයි වෙලේ වහීදෝ සැකයෙන් අපේ එළිමහන් රඟමඬලේ, අතිශය උද්‍යෝගිමත් ප්‍රේක්ෂක පිරිසක් මධ්‍යයෙහි මේ ප්‍රේම කාව්‍යය නැරැඹූ අයුරු කෙසේ නම් අමතක කරන්නෙම්ද?

9. තෙන්පාණ්ඩි සීමයිලෙයි…(සිතුවම්පටය: නායගන්)

‘පාරින්දා’ මගේ පළමු හින්දි චිත්‍රපටය වූවාක් සේම ‘නායගන්’ පළමු දෙමළ චිත්‍රපටය විය. දෙමළ චිත්‍රපට නැරැඹීමේ ලොකු උනන්දුවක් නොතිබුණු මා එපිණිස යොමු කිරීමේ පූර්ණ ගෞරවය මගේ දමිල මිතුරන් අතර සමීපතමයා වූ ප්‍රසන්නට හිමිවිය යුතුය. “Chanuka, This is an excellent film man, You should not miss this man” යි ඔහු මගේ කරේ එල්ලී මා එන තුරුම වදයක් විය.

මා ලංකාවට පැමිණි විටෙක ඒ හා සමාන පෙරැත්තයකින් මගේ ඥාති සොහොයුරු චන්දික ‘නායගන්’ ප්‍රදර්ශනය කළ වත්තල පැත්තේ සිනමා හලකට ගෙන ගියෙමි. එතැනි ඇරැඹුණු චන්දිකගේ දෙමළ සිතුවම්පට කාමය අද දක්වාම එක ලෙසින් පවත්නේය. “මාව මුල්ම දෙමළ ෆිල්ම් එකට ගෙනිච්චෙත් චානුක අයියා තමයි” ඔහු තවම කියයි.

8. ආජා රේ…(සිතුවම්පටය: මධුමතී)

මේ ගීය අඩංගු වූයේ හින්දි චිත්‍රපටයක වුව මා මෙය සෝ සමඟ නැරැඹුයේ නිවාඩුවකට ලංකාවට පැමිණි විටෙකය. මතක හැටියට ඒ අප දෙදෙනා නැරැඹූ පළමු හින්දි චිත්‍රපටය හා දෙවන චිත්‍රපටයයි. (මුල් චිත්‍රපටය මොකද්දෝ වියට්නාම් යුද්ධ කතාවකි.) නැරැඹුයේ පරණ එම්පයර් තියෙටර් එකේදීය.

බාගෙට තේරන හින්දියෙන් ඇයට කතාව කියා දීම මේ සිතුවම්පටය නැරැඹීමේ අපූරු අත්දැකීමක් විය.

7. නුඹේ වත දෙස බැලිමි…

මේ ගීතයක්ද නැද්ද මම නොදනිමි. මම එය ඇසීමට කැමැතිව සිටියෙමි. එපමණයි.

භාරතයේ සිටි සිව් වසෙක කාලය තුළ මුල් යුගයේ මා සතුව පැවැති එකම කැසට් පටය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ‘ගොළු හදවතින් තුන්වැනි යාමයට’ ය. වසර දෙකක පමණ පට්ටා ගසමින් මා ඇසූයේ මේ කැසට් පටයයි.

නිවාඩුවට ආ විටෙක සෝ ‘කිඳුරියකගේ විලාපය’ නම කැසට් පටයක් මට තෑගි කළාය. ඒ නන්දා මාලිනිය විසින් ගී කොට ගැයූ කවි දහයකි. ඇගේ පියාගේ පහත කවිය ඉන් එකකි. සෝ මට දුන්නේද, ගීයේ කර්තෘ භාග සේ රුපියල් දහසක තුටු පඬුරකුත් සහිතව, නන්දා මාලිනියගෙන්ම ලද කැසට් පටයයි. අවාසනාවකට පසුව එය නැති විය. මේ කැසට් පටය දැනට අලෙවියේ නැති අතර ගීත කිහිපයක් පමණක් YouTube වලට එකතු වී තියේ.

මෙය මා ගුණසිංහ මහත්තයාගේ කැමැතිම නිර්මාණ අතුරින් එකකි.

නුඹේ වත දෙස බැලිමි දකිනු වස් ප්‍රභාතය..
පුතුනි කිම එහි ළහිරු මුවා කල ඝන අඳුර..
දුටු මතින් සිත් සතන් පහන් කල යුතු දෑස..
නොදිලූණේ කියනු කිම උදා තරු යුගලක්ව..

අරා විනිසුරු අසුන බලන සේ නුඹ ම දෙස..
හැඟෙන්නේ ඇයි ම සිත නුඹේ වත දුටු විගස..
මා නොවේ සොරාගත්තේ නුඹේ ප්‍රභාතය..
කියා හඬ නගනු බැරි සේ ගොළුය මගේ දිව..

නොමළ මුත් මළ මිනිස් කැළ අඳුරු සළු පැළඳ..
නුඹේ උරුමය සොරා රැගෙන ගිය මහ රැයක..
හඬ නැගූයෙන් සැවොම අවදි කරලනු විලස..
අසිපතින් සිඳ දමා ගියේ උන් මගේ දිව..

දෙබෑකර ගොහොරු මඩ මුදුන් වෙයි දරු කැකුළ.
ධූම කේතුව දෙපළු කරයි නුබ අගාධය..
ඉරාගෙන ඝන අඳුරු විෂ ඝෝර අමාවක..
හෙට දිනේ පායන්න ස්වර්ණ හිරු මඬලක්ව..

6. බහුත් ප්‍යාර් කර්තේ හේ තුම්කෝ සනම්… (සිතුවම් පටය: සාජන්)

කර්ණාටක ප්‍රාන්තයේ රාජ්‍ය භාෂාව කන්නඩය. කන්නඩ හා හින්දි චිත්‍රපට පෙන්වන ශාලා කිහිපයක්ම (අපට නුදුරුම වූ) මැංගලෝරයේ තිබුණද ඉංගිරිසි චිත්‍රපට ඉඳහිට හෝ පෙන්වන ශාලාවකට එවක වූයේ ‘නිව් චිත්‍රා’ පමණෙකි. මාත් චිර්පිත් වරෙක ‘නිව්චිත්‍රා’ වට ගියේ ඉංගිරිසි සිතුවම්පටයක් නරඹන අටියෙන් වුවද එහි ප්‍රදර්ශනය කළේ හින්දි සිතුවම්පටයක් වූ ‘සාජන්’ ය. පාඩු නැත. එහි මේ ගීය මගේ ප්‍රියතම ගී අතරට එක් විය.

පසු කලෙක යම් ව්‍යාපෘති කටයුත්තක් පිණිස පැමිණි ඉන්දියානු මිතුරන් පිරිසක් විවේකයට නුවරඑළියට ගෙන යද්දී මගේ ඉපැරණි සාජන් කැසට් පටය රථයේදී ඔවුන් වෙනුවෙන් වාදනයට කළෙමි. පුදුමයකට මෙන් ඔවුන් තිදෙනාගෙන් කිසිවකු මේ ගීය අසා තිබුණේ නැත! (“Chanuka you know Hindi music more than we do!”)

5. තෙරේ මේරේ මිලනි කීයේ රෙනා… (සිතුවම්පටය: අභිමාන්)

මේ සිතුවම්පටයද සෝ සමඟ නැරැඹූයේ ලංකාවට නිවාඩුවකට ආ විටෙක පැරැණි ඉම්පාලා තියෙටර් එකේදීය. එහෙත් ඉන් බොහෝ කලෙකට ඉහත මම මේ ගීය අසා ඊට පෙම් බැඳ සිටියා නොවන්නෙම්ද?

4. චින්න චින ආසෙයි… (සිතුවම්පටය: රෝජා)

‘රෝජා’ මා කිහිපවතාවක් නරඹා ඇති සිතුවම් පටයකි. එහත් නැවත අවස්ථාවක් ලැබුණොත් නරඹමි. ඒ තරමටම සුන්දරය. මේ දමිල ගීතයේ විෂුවල් එක තරම් අපූරුවට දකුණු ඉන්දියානු භූමි සෞන්දර්යය කැටි කොට ගන්නා වෙනත් අවස්ථාවක් මම නොදනිමි.

3. බිම්බරක් සෙනඟ ගැවසුණු…

සිව් වසක් මුළුල්ලේ මම සිංහල සංගීතයෙන් මුළුමනින්ම වාගේ ඈත්ව සිටියෙමි. මේ කාලය තුළ බිහි වූ නව නිර්මාණ ගැන මට තිබුණේ අල්ප දැනුමකි. ගුණදාස කපුගේ නම් වූ, පෙර දැන සිටි, එහෙත් එතරම් ප්‍රකට නොවූ ගායකයා සුවිශේෂී ජනප්‍රියතාවයක් දිනා ගන්නේ මේ යුගයේදීය. කොටින්ම ඒ බවක් වත් මම නොදැන සිටියෙමි. මා සිටියේ හින්දි හා දෙමළ ගීත අසමිනි.

ගුණදාස කපුගේගේ මේ ගීතය පළමුවර මා අසන්නේ (ඒ වන විට අළුත්) නුවර ඉන්ටර්සිටි බස් එකකට ගොඩ වූ යොවුන් ගායකයකුගෙනි. ඒ සෝ හමුවීම පිණිස පේරාදෙණියට යද්දීය. කපුගේගේ හඬින්ම ගීතය ඇසීමට වූ ආසාව නිසාම මම සල්ලි සල්ලි කියා නොබලා කැසට් එකක් මිළට ගත්තෙමි. ඒ සාමාන්‍යයෙන් අතේ වැඩිපුර මුදල් නොගැවසුණු ඒ යුගයේ කළ දෙයක් නොවේ.

2. රඝුපති රාඝව රාජාරාම්…

මෙය සාමාන්‍ය අර්ථයෙන් ගීයක් සේ නම් කළ හැකිද නොදනිමි. එසේ වුව මේ යුගයේ නිතර ඇසූවක් නිසා එක් කරමි. මේ ගීයට මා පෙම්කළේ භාරතයට පිය මැනීමට බොහෝ කාලයකට පෙරය. භාරතයේදී මගේ මිතුරන්ගේ ආධාරයෙන් වචනයෙන් වචනය එහි අර්ථය අවබෝධ කොට ගතිමි. මේ අදත් විවේකයේදී අසන ගීයකි.

1. රිදී පහන් වැටක් වගේ…

ඉන්දියන් සාගරය හරහා ගොළුබෙලි වේගයෙන් එහා මෙහා ගිය හසුන් වල නිරන්තරයෙන් පදයක් හෝ දෙකක් අඩංගු වූ “අපේ ගීතය” !

රිදී පහන් වැටක් වගේ..
අමාවකේ අඳුරු රැයේ
අනාථ වූ ලොවට මගේ…
සිනා සපිරි මුහුණ ඔබේ…

වසන්තයත් වසන්තයක්
නොවේය ඔබ ළඟ නැති කල…
සදෙව් ලොවත් සදෙව් සැපත්
රැදේය මට අද ඔබ ළඟ…

ගිමන් ඇතත් ගිමන් නිවී
දැනේය මට සඳුන් සිසිල…
විකල් සිතින් අවුල් ලිහී
සිඳේය දුක් ඔබෙන් නිබඳ…

පද රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය – ස්ටැන්ලි පීරිස්.

42. මගේ පළමු පෙම්පත (My first love letter)

මා පළමු පෙම්පත ලියුවේ අට වැන්නේදීය. එකල මගේ වයස අවුරුදු දහ හතරකි. එය මා ඉන් පෙර හෝ ඉන් පසුව කෙදිනක හෝ මුණ නොගැසුණු සමවයස් යුවතියකට ආදරයෙන් පිරි නමනු ලැබිණි. අඩු ගණනේ එසේ වී යැයි ඇසීමි.

ඔබට පහසුවෙන් සිතා ගත හැකි පරිදි සිද්ධිය මෙසේය.

දින කිහිපයක්ම මට ඕනෑවටත් වඩා ඇගෑලුම්කමක් පෑ මිතුරකු අවසානයේ මා පසෙකට ගෙන ලජ්ජාවෙන් මෙන් සිය සිතැඟි හෙළි කළේය.

“චානුක, උඹට හොඳට ලියන්න පුළුවන්. උඹ මට ලොකු උදව්වක් කරන්න ඕනැ…”

“මොකද්ද…?”

“මචාං… මං ටිකාක් විතර ඉන්ටරෙස්ටඩ් ගර්ල් කෙනෙක් ඉන්නවා ටියුෂන් කලාස් එකේ. උඹ මට ලෙටර් එකක් ලියල දෙන්න ඕනැ ඒකිට…”

“ලව් ලෙටර් එකක්ද…?”

“හ්හ්ම්ම්ම්… ඔව්, ඒ වගේ එකක්…”

අටවැන්නේදී මම ශාන්ත දාන්ත, සිරිමත් මෙන් කීකරු ශිෂ්‍යයෙක්මි. ආදරයක් කියා යමක් ඇතිනම් එය මගේ ජීවිතයට එබිකම් කළේ ඉන් බොහෝ කලෙකට පසුවය. මේ නිසා මම ඒ වන විට කෙදිනකවත් පෙම්පතක් ලියා නොතිබිණි. අඩුම ගණනේ පිටු අසූවේ එක්සයිස් පොත් වල ලියූ මගේ කෙටිකතාවකවත්!

එසේ වුව මේ අභියෝගය භාර ගන්ට මට ප්‍රබල හේතුවක් විය. මිතුරා මේ ඉල්ලීම කරන්ට ඇත්තේ මා පන්තියේ හොඳම ලේඛකයා විය යුතු නිසාය. නැවත හැරී බලද්දී මේ උපකල්පනයේ වරදක් ඇතිය නොපෙණේ.

භාර ගත්තාක් මෙන් නොව මේ පෙම්පත ලිවීම පහසු කාර්යයක් නොවීය. පාසැලේදී එය ලිවිය නොහැකිය. අසු වුවහොත් ඇතිවන තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේද සිතන්ට වත් මම අපොහොසත් වීමි.

ගෙදරදීද එය ලිවිය නොහැකිය. මා යමක් ලියද්දී අම්මා නිතර ඇවිත් උරහිසට උඩින් එබේ. මෙය මා කෙරෙහි සැකයකින් කරන්නක් නොව හුදෙක් කුතුහලයකින් කරන්නක් කියාය, මා සිතුවේ. එවන් අවස්ථාවෙක මා ලියන දේ සඟවා ගනිමි. සාමාන්‍ය ලේඛණයක් සම්බන්ධයෙන් එය කළ හැකි වුවද පෙම්පතක් සම්බන්ධයෙන් කළ නොහැකිය.

අවසානයේ මා තීරණය කළේ ඉරිදා රාත්‍රියේ පාඩම් කටයුතු නිමවා මේ කටයුත්තට අත ගසන්ටය. රාත්‍රි එකොළහෙන් පමණ පසු නැඟිට සිටින්නේ මා පමණය. මෙය අමාරු කාර්යයක් වන්නේ, ප්‍රමාදව නින්දට පිවිස සඳුදා උදෙන්ම නැඟිටින්ටත් වන නිසාය. හිත ඇතිනම් පත කුඩාද? මම ඒ අභියෝගයද ජය ගතිමි.

කරුමෙක මහත! මගේ සේවාදායකයා මගේ උත්සාහය එක හෙළා ප්‍රතික්ෂේප කළේය.

“මොනවද බං උඹ මේ ලියලා තියෙන සිංහල? ඒකිට මෙච්චර බර වචන තේරෙන්නෙ නෑ. පොඩ්ඩක් සරල කරලා ලියපන්!”

බර වචන යොදා ගාම්භීර ලෙස ලියැවෙන රචනාවන්ට මගේ සිංහල ගුරුවරුන් වැඩි ලකුණු දුන්නද, ප්‍රායෝගික ලේඛණයන්හීදී කාටත් තේරුම් ගත හැකි වන ලෙස භාෂාව සරල විය යුතු බැව් මා මුලින්ම ඉගෙන ගත්තේ එදාය!

“මට ඔය හඩු බස ලියන්ට බෑ, උඹම ලියා ගනින්” නොකියා මම පෙම්පත නැවත ලිවීමි. මගේ තුන්වන හෝ හතරවන ව්‍යායාමයේදී සේවා දායකයා සතුටු වන ආකාරයේ පෙම් පතක් ලියා දෙන්ට මට හැකිවිය.

මේ පෙම්පත අදාළ යුවතියට භාර දෙන ලද බව පමණක් ඇසීමි. ඉන්පසු මගේ මිතුරා මගෙන් පෙම්පතක් ලියන්ට ඉල්ලුවේ නැත. එසේම ඒ ආදර කතාවට කුමක් වීද මා ඇසුවේද නැත.

නවවැනි හා දහවැනි ශ්‍රේණියට පියමනින කළ මම පන්තියේ කාර්යබහුලම කුලී පෙම්පත් ලියන්නා බවට පත්ව සිටියෙමි. අඩු තරමින් පෙම්පත් දෙකක් තුනක් වත් මට සතියකට වතාවක් ලියා දෙන්ට සිදුවිය. තව දුරටත් මේවා ප්‍රථම මූලධර්ම වලින් ව්‍යුත්පන්න කිරීම අවශ්‍ය නුවූයේ අවශ්‍ය කොටස් ඡේද පිටින් මෙමරියේ තැන්පත් කොට ගෙන තිබූ හෙයිනි. එසේ නැති වූ විට නන්දා මාලිනිය මගේ සහායට ආවාය. ඇගේ සමහර ගීත පෙම්පත් දෙක තුනෙකටම විස්තාරණය කළ හැකි විය.

තම මිතුරාට පෙම්පත් ලියා දුන් තරුණයකු පිළිබඳව රවීන්ද්‍රනාත් ඨාකූරයින් කළ කෙටි කතාවක් මම මීට බොහෝ කලකට පසුව ඉරිදා පුවත්පතෙකට පරිවර්තනය කළෙමි. මේ තරුණයා තම අසල්වාසී තරුණිය ගැන සිත් පහළ කොට ගෙන සිටියි. ඇයට ආදරය ප්‍රකාශ කරන්ට තරම් ඔහු නිර්භීත නොවේ. මේ අතර ඔහුගේ මිතුරා තම පෙම්වතියට මේ තරුණයා ලවා පෙම්පත් ලියවා ගනියි. තරුණයා ලියන්නේ තම සිහින පෙම්වතිය සිතෙහි මවා ගෙනය. ඔහුගේ පෙම්පත් ඉහළින් ඇගැයෙන බව මිතුරා කියයි. අවසානයේ මිතුරා තම පෙම්වතිය සමඟ විවාහ ගිවිස ගනියි. ඒ තමන් රහසින් පෙම්කළ, සිහියේ තබාගෙන පෙම්පත් ලියූ යුවතියම බව තරුණයා දැන ගන්නේ ඉන් පසුවය.

මට අනෙකුන්ට පෙම්පත් ලියන්ට කවදා හෝ මෙවන් උත්තේජයක් විනිය නොසිතමි. මට යම් උත්තේජයක් ලැබෙන කාලය වන විට මම මේ කාර්යයෙන් බැහැරව සිටියෙමි. ඇත්තටම ඒ උත්තේජය නිසා මා’තින් යමක් ලියැවිණි නම් ඒ කවි, කෙටිකතා හා විද්‍යා ප්‍රබන්ධ මිස පෙම්පත් නොවේ.

එසේම රවීන්ද්‍රනාත් ඨාකූරයින්ගේ කෙටි කතාව තරමටම නාට්‍යානුසාරී නුවුවද, යම් සිත් ගන්නා සුළු සිද්ධීන් මගේ පෙම්පත් ලිවීමේ නාටකයෙහිද වූ බැව සඳහන් විය යුතුය.

නවයේ පන්තියේදී මිතුරකු මට කියා දිගින් දිගටම තම පෙම්වතියට පෙම්පත් ලියවා ගත්තේය. ඔහුටද කරන්ට බැරි නැති මේ කාර්යය මටම කරන්ට දුන්නේ ඇයිද මම අදත් නොදනිමි. සමහරවිට ඔහුගේ කම්මැලිකම නිසා විය හැකිය. ඔහුට අවශ්‍ය වූයේ ලව් එකම නොව භෞතික සැපයකි. එය නිකම්ම ලබා ගත නොහෙන නිසා ඔහු ලව් එක පව්ත්වා ගැන්ම එක්තරා ආකාරයකින් මට ‘අවුට් සෝස්’ කළේය.

ඇය නොදනිතත් සන්නිවේදනය සිදුවූයේ මිතුරා හා ඇය අතර නොව ඇය මා හා අතරය. කොටින්ම ඇය මගේ මිතුරාගේ අත් අකුරු පවා දැන සිටියාය මම නොසිතමි. ඔහුගේ අත් අකුරු සේ ඇය දැන සිටියේ මගේ අත් අකුරුය. එසේම කටුවට ලියා “සේවා දායකයා” විසින් පිටපත් කරන වෙනත් පෙම්පත් මෙන් නොව මට මේ පෙම්පත් ආයාසයෙන් ඒ සඳහාම වූ වෙසෙස් කොළවල ලියන්ට සිදු විය. කොටින්ම එය ෆුල් පැකේජ් සේවාවක් විය. එය ආයාසකර කටයුත්තක් වුවද මට එයට ආසා කළෙමි.

මේ පෙම්පත් ලිවීමේ පරිච්ඡෙදය මගේ ජීවිතයේ ඉතාම සුන්දර අවදියක් සනිටුහන් කළේය. මිතුරා ඇය හා ගතින් බැඳෙද්දී මම ඇය හා සිතින් බැඳුනෙමි. අප දෙදෙනා අතර පැවැති සන්නිවේදනය මගේ ජීවිතයේ එසේ පවත්වා ගත් සොඳුරුම සන්නිවේදනයන් අතුරින් එකක් විය.

එසේම මුල් නම හැරුණු විට ඇය කවරෙක්ද කියා මට කවදාවත් අවබෝධයක් නොවීය. මම ඇය කිසි දිනෙක දැක නොතිබුණෙමි. ඇය දැක ගන්ට අවශ්‍යතාවයක්ද නොවීය. අඩුම ගණනේ “එයා පෙන්නපං මචං” කියා හෝ අයැදුමක් නොකළෙමි. අද පවා ඇය කවරකුද මම නොදන්නා සේම දැන ගැන්මට අවශ්‍යතාවයක්ද නැත. එසේ දැන ගැන්ම ඇය හා පැවැති සුන්දර සන්නිවේදනයේ රස විඳ ගැන්මට බාධාවක්ය මට සිතේ.

අපි බොහෝ විෂයයන් ගැන කතා කළෙමු. දේශපාලනය, කලාව, සාහිත්‍යය, විද්‍යාව – මේ හැම එකක්ම අපේ සංවාදයන්හි මාතෘකා විය. ඇයට මේ බොහෝ විෂයන් ගැන හොඳ දැනුමක්ද මගේ එවක දැක්ම හා කිට්ටුවෙන් යන දැක්මක්ද තිබිණි.

මට අදත් සිතා ගන්ට බැරි මේ සියළු දේ මගේ මිතුරා විසින් නොලියන බව ඇය සැක නොකළේ මන්ද යන්නයි. එක්කෝ ඇය සැක කරන්ට ඇත. නැතිනම් ඇය දැන සිටින්ට ඇත. එහෙත් ඇය ලිපි ලිවීම නතර නොකළාය.

“ඔයා කැමැතිම ගීතය මොකද්ද?”

වරෙක ගීත ගැන සංවාදයකදී මම ඇසීමි. “ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන…” ගීතය ගැන මා මුල්වරට දැන ගත්තේ එනිසාය.

ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැල වෙන කැලෑ මල් ගෙන
ඔබෙ සිරිපා පුදන්නම්

කෙලෙස් මල පිරි නුවර අතහැ‍ර
බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආයෙමි පොලෝ තලයේ
අනේ පිහිටක් නොමැති වූ විට

ඉහළ නිල්වන් අහස ‍විනිවිද
නැඟෙන ඔබගේ යෝධ බුදු බඳ
මගේ නෙත සිත මෝහනය කර
මගේ කුදු බ‍ව පසක් කර ඇත

මේ ගීය මම අසා නොතිබුණෙමි. කැසට් ගැන දැනුම අල්ප වූ, එවන් දැනුමක් තිබුණද, එවන් කටයුත්තක් පිණිස ප්‍රතිපාදන නුවූ ඒ යුගයෙහි මගේ ආසාව එක් වර සංතෘප්ත කර ගැන්මේ මඟක්ද නොවීය. මේ නිසා මේ ගීතය අසන්ට මට බොහෝ කල් ඉවසන්ට විය. අවසානයේ මා මේ ගීතය ඇසූයේ රූපවාහිනී සංස්ථාව විවෘත කළ දිනයේදීය. එදින අමරදේව ගැයූ එකම ගීය එයයි.

බොහෝ කල් බලා සිට හමුවූ සුහදෙකු සේ බැඳෙන්නාක් සේ මම මේ ගීතය හා බැඳුනෙමි. ඒ ඇයිද මම අදද නොදනිමි. එය සංසාර ගත බන්ධනයක් විය. ඒ සංසාර ගත බන්ධනය විච්ඡේදනය හෝ විශ්ලේෂණය කළ නොහැකි විය. තනිව ගත් කළ මම මේ ගීතයේ අරුතට හෝ සංගීතයට හෝ ගායනයට විශේෂ ඇල්මක් නොදැක්වීමි. එහෙත් එක්ව ගත් කල ඊට අපූරු ආත්මයක් විය. මම ඒ ගීතාත්මයට පෙම් කළෙමි.

එක් තීරණාත්මක මොහොතක නතර වන තෙක්, මේ ගීතය මගේ ප්‍රියතම ගීත ලැයිස්තුවේ මුල්තැන ගත්තේය. තනිය සමඟ එය නිතර මුමුණන රාවය බවට පත්විය.

දෙවන දෛවෝපගත සිද්ධියට එතැන් පටන් වසර දෙකක් පමණ අනාගතයට ක්ෂණිකව එමි. මේ මා පසුගිය සටහනෙහි සඳහන් කළ C90 “අමරදේව කලෙක්ෂන්” කැසටය ලැබීමෙන් සතියකට පමණ පසු දවසෙකි.

“ඒයි, You had a time to listen to the cassette?”
“Yes. Several times. Thanks ඒයි. Its great.”
“Loved the two songs?”
“Yes ඒයි, but that wasn’t the best thing…”
“What?”
“It had my favorite song…”
“Mine too ඒයි. You know what?”
“What?”
“අර බුදුගුණ ගීතයක් තිබුනේ “ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන…” කියලා…”
“What? Come again..?”
“ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන -ඔබේ සිරිපා දොවන්නම් – හදේ මැල වෙන කැලෑ මල් ගෙන –
ඔබෙ සිරිපා පුදන්නම්…”
“Hell! ඒයි, You tell me we both loved the same song all these days without knowing it?”

වැළවූ මතක ගැන කතාව එතැනින් නිමා කොට මේ කලයේම පෙම්පතක් ගැන තව එකම එක කතාවකින් පෝස්ටය නිමා කරමි.

පෙම්පත ලීවේ අපේ පන්තියේ සිටි මංගල හෙවත් වඩා ප්‍රකට නාමයෙන් “සොත්තියා” ය. (ඔහු සොත්තියා වූයේ මන්ද අදත් නොදනිමි.) සන්ධ්‍යා නම් යුවතියකටය. කරුමෙට පෙම්පත ලීක් විය. කැඩුණු සිංහලෙන් යුතු මේ පෙම්පත එකෙක් විවේක කාලයේදී පන්තියටම ඇසෙන්ට කියැවීය. මට මතක ආමන්ත්‍රණය පමණයි.

“මගේ ආදරණීය සන්දියා…”

තවකකුට නමක් හදන්නේ කොයි මොහොතේද බලා සිටි ධම්මික රූපසිංහ වහා “කැදැල්ලේ ඇතිවූ කිරිල්ලී වගේ…” ගීතයේ වචන මේ වෙනුවෙන් වෙනස් කළේය.

“බොරැල්ලෙ ඇති වූ ලව් එක වාගේ
හැට අට හෝල්ට් එකේ…
සොත්තියා සිටියේ සන්දියා සමඟින්
බොරැල්ල රජ දහනේ…”

(මෙහි ඉතිරි කොටස නිර්මාණාත්මක වුවද, මෙහි සඳහන් කළ නොහැකි මට්ටමට අසභ්‍යය.)

සති කිහිපයකට මත්තෙන් පාසලේ වූ මිතුරු හමුවකදී මම මේ ගීතය මතකදැයි කිහිප දෙනකුගෙන්ම විමසීමි. පුදුමයකට මෙන් සැලකිය යුතු පිරිසකට වසර තිහකටත් වැඩි කාලයකට පසුවත් සම්පූර්ණ ගීතයම මතක තිබුණේය.

Enter a caption

ධම්මික රූපසිංහගේ තනි පින්තූරයක් සොයා ගත නොහැකි විය. සිද්ධියට අදාළ ස්මයේම වාගේ ගත් මේ  ඡයාරූපයේ මැද සිටින්නේ ධම්මිකය.

 

41. මිහිදන් කළ මතක හෙවත් මගේ උසස් පෙළ ප්ලේ-ලිස්ට් එක

මා සිහි සටහන් ආරම්භ කරන්නේම ස්වයං වාරණ කිහිපයක් පනවා ගනිමිනි. එයින් එකක් නම් මොනම හේතුවක් නිසා හෝ ජීවිතයේ වළලා දැමූ යම් පරිච්ඡේද කිහිපයක් ගැන සටහනක් නොකරන්ටය. තිස් වසක පමණ දීර්ඝ කාලයක් මා විශ්වාස කළේ මේ මතකයන්හි උපයෝගීතාවය ක්ෂයව ගොස් ඇති බවයි. තවදුරටත් ඒවා හෙළි කිරීම අර්ථ විරහිත බැව් මම තරයේ විශ්වාස කළෙමි.

මේ පූර්ණ කාලය තිස්සේම මේ වැළලු මතක මගේ මෑත නිර්මාණයක හෝ කොටසක් නොවී තිබුණේය. (මේ කියන්නේ මා මහා පරිමාණයෙන් නිර්මාණ කර ඇති බැව් නොවේ.) මෑතක මා ලියූ අප්‍රකාශිත නවකතාවක් (හෝ ඒ වගේ යමක්) කියැවූ මගේ දීර්ඝකාලීන කිට්ටු මිතුරකු “This is good, but I know it is not YOUR story” කියා ලියා එවා තිබුණේය. නිර්මාණයක් යනු රචකයාගේ පෞද්ගලික අත්දැකීම් ගොනු කිරීමක් නොවන බව මට ඔහුට පහදා දෙන්ට සිදුවිය. (ඇත්තටම මගේ පෞද්ගලික අත්දැකීම් මගේ නිර්මාණ වලට පාදක වී ඇතිනම් ඒ ඉතාම කලාතුරෙකිනි. මා ලියා ඇත්තේ අනුන්ගේ කතාය. “මගේ කතාව” නොවේ.)

නමුත් මගේ මියගිය මතක වලට යළි පිවිසීම ගැන මතය මෑත කාලයේදී යම් ආකාරයකට වෙනස් විය. මීට හේතු දෙකක් වේ.

එක ප්‍රධාන හේතුවක් නම් ෆ්‍රන්ස භාෂාව හා ඊට සමාන්තරව ෆ්‍රන්ස සංස්කෘතිය ඉගෙන ගන්ට පටන් ගැනීමේ ප්‍රතිඵලයක් සේ මා තුළ සිටි වික්ටෝරියානු ජීවියා ටිකෙන් ටික මිය යන්ට පටන් ගැන්මය. ෆ්‍රන්ස සංස්කෘතිය ජීවිතය දෙස බලන්නේ වික්ටෝරියානු ඇසෙකින් නොවේ. ඊට බොහෝ වෙනස්වය. විවෘතවය. අද මා ජීවිතය දෙස බලන්නේ මේ ෆ්‍රන්ස ඇසිනි.

දෙවන හේතුව අහම්බෙන් හමුවූ, මට වසර විසි හතෙකින් බාල “මගේම අනෙකා” (‘mon autre-moi’ ) හමුවේ මේ මියගිය, වළලා දැමූ මතක යළි පණ ගසා නැඟිටීමය. යාපනයේ, මන්නාරමේ හා හම්බන්තොට “පටු මාවත් වල දූවිලි අතරේ” කෙරුණු පැය දොළහේ දහහතරේ නොන්-ස්ටොප් සංවාද මා ඉඳුරා වෙනස් මිනිසකු කළේය සිතමි. (තනි පුද්ගලයකු සමඟ – නීරස නොවී, අනෙකුත් සියළු වැඩ කටයුතු අතරේ, නොනැවත පැය දොළහක දහහතරක “නොන්-ස්ටොප්” සංවාද කරන්නේ කෙසේද නොඅසන්න.)

මේ දීර්ඝ පූර්විකාව මා මේ වැළැලූ පරිච්ඡෙද නැවත ගොඩ ගන්ට දරණ උත්සාහයකට නොවේ. එවැන්නක් ඇවැසිය තවම නොසිතමි. හැබැයි අනෙක් අතට මා කියන යම් දෙයකට ඒවායේ සම්බන්ධයක් ඇතිනම් එය සඟවන්ටද මින්පසු උත්සාහ නොදරමි.

මේ සටහන මගේ මතකයේ හැටියට උසස් පෙළ සමයේදී මගේ ප්‍රියතම ගීත දහය නම් කරන්ටය. වත්මන් වහරේ හැටියට එය ප්ලේ-ලිස්ට් එකකි.

ජනක කුමාරරත්න (1967-85)

මේ සටහන් අතර ‘ජනක’ නම් නමක් ඔබ ඇස ගැටෙනු ඇත. “ජනක කුමාරරත්න” යනු, 1985 අගෝස්තුවේ අප 11M4 සිට 12M4 ට මාරු වෙන නිවාඩුවේදී ඔහු හදිසි අනතුරෙකින් මරු දකින තුරු මගේ උසස්පෙළ හොඳම මිතුරාය. අවුරුද්දක් වැනි සුළු කාලයක් තුළ මම  ආදරයද, සංගීතයද,ජීවිතයද ඇතුළු සියළු දේ බෙදා හදා ගත් ජනකගෙන් තොරව මට මේ කතාව කිව නොහැකිය.

—————————————————————————————

අංක 10: ඈත කඳුකර හිමව් අරණේ (අමරදේව)

සත්වැන්නේදී හෝ අට වැන්නේදී මා ඇසූ දිනයේ පටන්ම පෙම්බැඳි, නවයොවුන් සමයේ දැඩි සේ විඳි මේ නළ- දමයන්ති ප්‍රේමාලාපයෙන් තොරව මේ ලැයිස්තුව කෙසේ නම් පරිපූර්ණ වන්නේද?

අංක 9: ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ… (නන්දා මාලිනි)

“සදානන්දකරවූ ඔබේ මධුර රාවෙන් – පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ…”

අරවින්දයක් සේ නොපිපුනෙම්ද මම්?

අංක 8: බකිණි ගහේ බකිණි මලෙන් පාර අහන්නේ… (එඩ්වඩ් ජයකොඩි සමග පුණ්‍යා කත්‍රිආරච්චි)

මේ ගීය ප්ලේ ලිස්ට් එකට එක් වන්නේ ජනක නිසාය. “මොනවද ඕයියියි… අමරදේවයි නන්දා මාලිනියි විතරයිද ඉන්නේ ලෝකේ..?” (මා හා කතා කරන්ට ජනකට වෙනම භාෂා ඌරුවක් විය.) මා මේ ගීය ඇතුළු තවත් ගී කීපයක් අසා නැතැයි කී විට ඔහු පසුදිනම අමරදේව-නන්දා මාලිනී නොවන ගී දොළසක් මා වෙනුවෙන් කැසට් කරවා ගෙන ආයේය. එකළ ගීයක් කැසට් එකකට කොපි කිරීමේ වියදම රුපියලකි. ම්තක හැටියට සින්දු දොළහක් කොපි කර ගැනීම ඇතුළුව කැසට් එකක මිළ රුපියල් හැටකි.

අංක 7: සඳළු තලේ සිට පෙරමඟ බලනා මානවිකාවිය ඔබට කියන වග නම්…(සනත් නන්දසිරි)

එතරම් ප්‍රකට නැති මේ ගීතයද ජනකගේ ඉහත කැසට් එකේ වූවකි. ජනකට මේ ගීයට යම් විශේෂ ළබැඳියාවක් දක්වන්ට හේතුවක් තිබිණි. ඔහු තම අසල්වැසි සම වයස් යුවතියකගෙන් කැමැත්ත විමසා තිබුණද, ඇය එය එක්කෝ ප්‍රතික්ෂේප කොට හෝ නැතිනම් පළ කිරීම ප්‍රමාද කොට හෝ තිබුණේය. නව ධනවතකු වූ ඇගේ පියා ඒ යුගයේ සුලබ නොවූ දෙමහල් පායක හිමිකරුවෙකි. ඇගේ කැමැත්ත ලබා ගැන්මට නොහැකි වීම දෙදෙනා අතර සමාජ පරතරය නිසා වූවක් බවට ජනකට යම් හැඟීමක් විය.

ජනකගේ අවමඟුලට පැමිණි ඇය ඉකි ගසා හැඬූ බව මට මතකය.

ජනකගේ තුන් මාසයේ දානයට පෙර රෑ සොහොන යළි සුදු වැලි අතුරා පිරිසිදු කොට ගෙදර යන ගමනේ මේ යුවතියගේ නිවෙස අසළ රැඳුනු අපි කිහිප දෙනෙක් මේ ගීය හඬ නඟා ගායනා කළෙමු. අද අනුචිත දෙයක් සේ පෙනෙන එය ඒ වයසට මහා වීර ක්‍රියාවක් විය.

අංක 6: සන්නාලියනේ…(අමරදේව )

මා මේ ගීතය සේම ඉන්පසු එන එක අසන්නේද, ඉතාම වෙනස් ආකාරයකට, ජනක නිසාමය. (සන්නාලියනේ ගී පද කට පාඩමින් දැන සිටියද මා ඒ වනතෙක් ගීය අසා නොතිබිණි. )

ජනකගේ මරණයෙන් දින කිහිපයකට පසුව මා අතට C90 කැසටයක් පත් කෙරිණි.

“I know you are upset. Perhaps you want to listen to this.”
“මොකද්ද මේ?”
“Thaththa’s Amaradeva collection. I want you to listen සන්නාලියනේ and more than that පිපුණු කුසුම පරවූවා on the other side.”
“මේක ඕනැ කැසට් එකක රන් කරන්න පුළුවන් නේද? I mean just like a C60?”
“I think so. Don’t run too much though.”
“කොලිටි එක වැටෙන් නැද්ද?”
“A bit. පොඩ්ඩක් ඇදෙනවා ඇදෙනව වගේ…But its okay. You will not feel it.”
“Thanks ඒයි.”
“What? We agreed not to thank each other.”

මේ C90 කැසටය මගේ C60 කැසට් ප්ලේයරයේ වැඩිපුරම ප්ලේ කළ එකය සිතමි. (යම් තීරණාත්මක අවස්ථාවක තවත් සිහිවටන රැසක් සමඟ මම එය ගිනිබත් කළෙමි.)

අංක 5: පිපුණු කුසුම පරවූවා… (අමරදේව)

අංක 4: අසම්මතයේ පෙම්වතුන් අපි… (නිර්මලා රණතුංග, එඩ්වඩ් ජයකොඩි)

ජනක අනඳ නුවණ දැන්වීම් පුවරුව පිණිස “ගී පොත” නම් විශේෂාංගයක් කළේය. ඔහුගේ අරමුණ වූයේ නව ගීතයක් හැම සතියකම හඳුන්නා දීමයි. බොහෝ විට මීට නිරූපන චිත්‍රය ඇන්දේ මායි.

“ඕයියියියි…මට කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඇඳලා දෙනවා…”
“කොල්ලෙකුයි කෙල්ලෙකුයි මොනවා කරනවද අඳින්න ඕන…?”
“ආ…අත් අල්ලගෙන යනවා අඳිනවා, වෙරළක”
“දැන් මට කියන්නෙ මේ තමුසෙයි මල්කයි පානදුර වෙරළේ අත් අල්ලගෙන යනවා ඇඳල දෙන්න කියලනෙ…හා අඳින්නම්”

මම ඕනෑ කමින්ම යුවළෙහි තරුණයාට ජනකගේ පැහැදිළිව කැපී පෙනෙන ලකුණු දුනිමි. ඔහු එය නොදැක්කා සේ ‘අසම්මතයේ පෙම්වතුන්…” පද වැළ ඊට යටින් ලීවේය.

අංක 3: හේමන්තයේදී… (නන්දා මාලිනි)

හේමන්තයේදී කැසට් පටය නිකුත් වූයේ ජනකගේ මරණයෙන් මාස කිහිපයකට පසුවය. මේ ගීය ඇසූ මුල් දා මම හැඬීමි. ඒ එය බෙදා ගන්ට ජනක මා සමඟ නොවූ හෙයිනි.

අනෙක් අතට “හේමන්තයේදී..” මගේ ජීවිතයේ අතිශය සුන්දර කාල පරිච්ඡේදයකට අපූරුවට සමාන්තර විය.

අංක 2: නවාතැන් පොළ ඔබයි ඔබගේ සිනාවයි…(නන්දා මාලිනි)

මගේ ඩයරියේ ඇතුළු පිටුවෙක ඇලැවූ 5×7 ප්‍රමාණයේ කළුසුදු ඡායාරූපයක් මත මේ ගීයේ මුල් පැදි පෙළ කිහිපය, මගේ අකුරු වලට වඩා වටකුරු අකුරු වලින් ලියා තිබුණා මට මතකයි.

මා කලින් සඳහන් කළ තීරණාත්මක අවස්ථාවේදී මේ ඡායාරූපයද ගිනිබත් කළෙමි.

අංක 1: ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන… (අමරදේව)

ඒ වන විටත් ක්‍රමයෙන් ආගමෙන් ඉවත් වෙමින් සිටි මා මේ ගීය මගේ ප්‍රියතම ගීය කොට ගත්තේ ඇයි? මෙය කියවන කිහිපදෙනකු ඊට පිළිතුර දන්නවා ඇතැයි සිතමි.

අවස්ථාවක් ලදොත් අද මා තෝරන ගී මින් බෙහෙවින් වෙනස්ය. කවරකු හෝ මේ රසඥතාවයෙන් අද මා විනිශ්චය නොකරනු ඇතැයි සිතමි.

40. ජනාධිපතිවරණය 2015 ජනවාරි 8 (දෙවැනි කොටස)

පළමු කොටස මෙතැනින් බලා එන්න.

2015 ජනාධිපතිවරණයේදී මා කිසිදු අපේක්ෂකයකුට ඡන්දය භාවිතා නොකිරීමේ කතාව කෙටියෙන් එතැනින් මෙතැනින් ලියා ඇතද, එහි දීර්ඝ අන්දරය කිව යුතුය සිතමි.

මා කලින් කී පරිදි, 2014 අගෝස්තුවේ මැද හරියේ පටන් මා සිටියේ රැකියාවක් නැතිවය. විය යුතු පරිද්දෙන්ම, මගේ ප්‍රමුඛතාවය වුයේ හැකි ඉක්මණින් රැකියාවක් සොයා ගැන්මයි. එසේ වුවද සමහරවිට ඊට අවශ්‍ය තරම් අවධානය නොලැබෙන්ට ඇත. එසේම දීර්ඝ කාලීන අපේක්ෂා වෙනුවෙන් සිතන්ට වීම නිසා ලැබුණු සමහර අවස්ථාවන් එක එල්ලේ භාර ගන්ට හැකියාවක්ද නොතිබිණි. මේ නිසා නොවැම්බර 20 වැනිදා, අනපේක්ෂිත මොහොතක ජනාධිපතිවරණය නිවේදනය කරන විටද තත්ත්වයේ වෙනසක් වී නොතිබුණේය.

ජනාධිපතිවරණ නිවේදනයත් සමඟම මා කබලෙන් ලිපට වැටිණි. මැතිවරණයක් අබිමුව රාජ්‍ය ආයතන හැමෙකක්ම අළුතින් බඳවා ගැනීම නතර කරයි. පෞද්ගලික ආයතනද කවුරු එනවාද, මොනවා වෙනවාද අවිනිශ්චිතව කල් මැරීම ආරම්භ කරයි. එනිසා 2015 ජනාවාරියෙන් මෙපිට මට රැකියාවක් සොයා ගන්ට නොලැබෙන බව පැහැදිළිව පෙනෙන්ට තිබුණේය.

රැකියාවක් සොයා ගැන්ම තාවකාලිකව අමතක කොට වෙනත් ඵලදායක කටයුත්තකට සිත යොමු කළ යුතු බැව් මම තීරණය කළෙමි. එහෙමට කියා කරන්ට ඵලදායක කටයුත්තක්ද නොවීය. මේ වන විට පොත ලියා අහවර කොට තිබිණි. කළ හැකි එකම ඵලදායක කටයුත්ත වූයේ ෆ්‍රන්ස භාෂාව ඉගෙනීමය.

මගේ කාමරයේ සාමාන්‍යයෙන් භාවිතයට නොගැනෙන, පොත් පත් පුරවා තබන්ට පමණක් යොදා ගන්නා ලියන මේසය මත වූ පොත් ටික අස්කොට එය මගේ ෆ්‍රන්ස අධ්‍යයන කේන්ද්‍රය බවට පත් කොට ගතිමි. (මේ මේසය අවසාන වරට අධ්‍යයන කටයුත්තකට භාවිතා කළේ 2000-2002 අතර මා ව්‍යාපාර කළමණාකාරිත්ව ශාස්ත්‍රපති උපාධිය හදාරන කාලයේය.) මේ දිනවල මාස කිහිපයක් දිනෙකට පැය 4-6 දක්වා කාලයක් මා ෆ්‍රන්ස ඉගෙනුමට දිනපතා වැය කරන්ට ඇතැයි සිතමි. මේ කාලය ඊට වඩා වැඩි නුවූයේ, මඳ වූ නිසා නොව, මේ මගේ පාසල් කාලයේත් කොහොමටත් දිනකට පාඩම් කරන්ට උපරිම වැඩ කළ පැය ගණන වූ නිසාය.

ෆ්‍රන්ස ඉගෙන ගත් හැටියි මේ

මා ෆ්‍රන්ස දැනුම දියුණු කොට ගත් වේගය මගේ ෆ්‍රන්ස ගුරුවරයා විස්මය පත් කළේය. ඔහු මට කීවේ මෑතක තමන්ගේ කිසිදු සිසුවකු ඒ තරම් වේගයෙන් ෆ්‍රන්ස ඉගෙන ගනු නුදුටු බවයි. මෙහි අරුමයක් නොවීය. අනෙකුන් ෆ්‍රන්ස ඉගෙන ගත්තේ රැකියාවක් කරද්දී හෝ වෙනත් විභාගයකට පෙනී සිටිද්දීය. මට ෆ්‍රන්ස ඉගෙනීම පිණිස මගේ මුළු කාලය වැය කරන්ට හැකියාව ලැබී තිබුණේය.

ජනාධිපතිවරණය සම්බන්ධව මට වූයේ අවම උනන්දුවකි. මහින්ද රාජපක්ෂ නැවත බලයට ඒම සහතික බව මුල් දින වලදීම පෙනෙන්ට තිබුණු නිසාය. එනිසා කිසිවක් වෙනස් වන බලාපොරොත්තුවක් නොවීය. මගේ සැලසුම් කල් යෑම නිසා මේ මඟුල මේ මොහොතේම ඇද වැටීම ගැන මට වූයේ කේන්තියකි.

මේ කාලයේ යම් දවසක මා මිතුරු අජිත් පී. පෙරේරා (පසුව විදේශ කටයුතු හා දැන් විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය) මට දුරකථන කළේය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට තරග නොකරන්ට තීරණය කොට ඇති බවත් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ‘සෝභිත හාමුදුරුවන්’ සමහරවිට තරග කරනු ඇති බවත් ඔහු කීයේය. පරදින්ට වුවත් රනිල් ඉල්ලනවා නම් ඔහුට ඡන්දය දෙනවා නම් විනා ආතක් පාතක් නැති ඊනියා පොදු අපේක්ෂකයින්ට ඡන්දය දෙන්ට මා සූදානම් නැති බව මම ඔහුට තරහින් කීමි. මේ අජිත් මට ජනාධිපතිවරණයට පෙර කථා කළ අවසාන හා එකම අවස්ථාවයි.

ඉන් දින කිහිපයකට පසුව මෛත්‍රිපාල සිරිසේන තමන් දැරූ සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්ව විපක්ෂයේ “පොදු අපේක්ෂකයා” ලෙස තරග කරන්ට තීරණය කිරීමද මගේ ආස්ථානය වෙනස් කරන්ට තරම් ප්‍රබල සිදුවීමක් නොවීය. මම “අසරණයාට” අනුකම්පා කළෙමි.

මේ කාලයේ මා ගෙදරින් එළියට බැස්සේ නම් ඒ එක්කෝ මොනවා හෝ මිළට ගැන්මට බත්තරමුල්ල හන්දියටය. නැතිනම් ෆ්‍රන්ස පන්තියට හෝ පුස්තකාලයට – අලියොන්ස් එකටය. මේ තැන් දෙකේදීම දේශපාලන කතාවක් නොවීම නිසා මගේ දේශපාලන කතා බහ ෆේස්බුක් එකට සීමා වී තිබුණේය.

ජංගම දුරකථනය සක්‍රිය කළේ මට ඇමැතුමක් ගන්ට අවශ්‍ය විටෙකය. “කතා කළා ඒත් ඕෆ් කරලා තිබුණා” කියූ කෙනෙක් නොවූහ. කලාතුරෙකින් මිතුරකු සමඟ වූ සන්නිවේදනය බොහෝ දුරට ඊ-මේල් වලට සීමා විය.

හුදෙක් ක්‍රියාරහිත බව නිසාම වෙහෙස පත් වූ මම පහත පණිවිඩය දිනක් ප්‍රදර්ශනය කොට, නොවැම්බර් 24 වැනිදා ෆේස්බුක් ගිණුම අක්‍රිය කළෙමි.

“රාජපක්ෂ මුදලිතුමාද පොල් කඩන බවක් නොපෙණේ. වික්‍රමසිංහ මුදලිතුමාද පොල් කඩන බවක් නොපෙණේ. පට්ට කම්මැලිය. ජනාධිපතිවරණය අවසන් වනතුරු කඩේ වසා දමමි. අල්ලපු කඩෙන් බඩු ගන්න.”

ෆේස්බුක් ගිණුම අක්‍රිය කිරීම නිසා මගේ දේශපාලන අදහස් හුවමාරුව සම්පූර්ණයෙන්ම වාගේ නැවතුණේය.

අවශේෂ ලෝකයට “නැති වූ” මා ගැන සොයන්ට අවශ්‍යතාවයක් හෝ අවකාශයක් නොවීය. ජනපතිවරණ උණුහුම කූඨ ප්‍රාප්තියට ළඟාවෙමින් තිබිණි.

කාට ඡන්දය භාවිතා කරනවාද දීර්ඝ ලෙස කල්පනා කරන්ට මට අවශ්‍යතාවයක් නොවීය. කොහොමටත් මහින්ද රාජපක්ෂ මුල් වටයේදීම රයිට් ඕෆ් කොට තිබිණි. අන් සියළු කාරණා පසෙකට කළද, ඔහු මැතිවරණ ව්‍යාපාරය ගෙන ගිය පහත් ආකාරය නිසා ඔහුට ඡන්දය දෙන්ට හිත හදා ගැන්ම ඉතාම අසීරු විය.

පරදින්නේය මා උපකල්පනය කර සිටි මෛත්‍රිපාල සිරිසේනට “නිකම් ඇළේ ගසා ගෙන යන” ඡන්දය භාවිතා කරන්ට මම මුලදී සිතා සිටියෙමි. එක අතකට මෙය තනිකරම අනුකම්පාව නිසා ගත් තීරණයකි. ඔහු කොහොමටත් පරදින නිසා ඡන්දය දුන්නත් නැතත් එහි වෙනසක් නොවේ.

මේ තීරණය වෙනස් වූයේ සුවිශේෂී සිදුවීමක් නිසාය.

බාන්ස් පෙදෙසේ කොණෙක ඇති අලියොන්ස් පුස්තකාලයට ගිය යම් දවසක (මේ දිනවල මම පැය ගණන් මේ පුස්තකාලයේ ගත කරන්ට පුරුදුව සිටියෙමි.) විහාර මහා දේවී උයන පැත්තෙන් මට ලොකු ගෝසාවක් ඇසුණේය. වෙන කරන්ට වැඩක් නුවූ නිසාම ගෙදර යන ගමන් මම නිකමට ඒ පැත්තට හොට දැමුවෙමි.

ඒ මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දුටු දවසය. මා යන විට උත්සවය අවසාන වී අස් පස් කිරීමේ කටයුතු ආරම්භ වී තිබුණේය. ඒ අතර විහාර මහා දේවී උද්‍යානයේ, අජිත් සමරනායක ‘සැන්ඩෝ’ වැනිය කී ලොකු බුදුරුවට නුදුරින් සිව් දෙනෙක් ඉතාම සැහැල්ලුවෙන් කතාබහක නිරතව සිටියහ. මේ එකකු වත් මා නොදනිතත් මම ඔවුන් හඳුනා ගතිමි. දෙදෙනෙක් ධර්මසිරි බණ්ඩාරනායක හා ගාමිණී වියන්ගොඩය. අනෙක් දෙදෙනා, මා නම් සඳහන් කරන්ට පවා අකැමැති, ජාතික හෙළ උරුමය නම් ජාතිවාදී දේශපාලන පක්ෂයේ දෙවන පෙළ සාමාජිකයින් දෙදෙනෙකි.

මේ සිව් දෙනා කතා කරමින් සිටි කුළුපග ලීලාව දුටු මට වමනය යන්ට තරමට දැඩි පිළිකුලක් දැණිනි. ධර්මසිරි බණ්ඩාරනායක හා ගාමිණී වියන්ගොඩ යනු මා අතිශයින් ගරු කළ චරිත දෙකකි. (ධර්මසිරිගේ ‘ට්‍රෝජන් කාන්තාවෝ’ නරඹා ඔහු සමඟ එහි එක් ජවනිකාවක් ගැන මා සංවාදයක යෙදී තිබුණේද ඉන් සති කිහිපයකට පෙරය. ධර්මසිරි කී යමක නිරවද්‍යතාවය තහවුරු කොට ගැන්ම පිණිස මා Trojan Women  සිතුවම් පටයක්ද සම්පූර්ණයෙන් නැරැඹීමට පෙළඹීමි.) මගේ “වීරයින්” දියෙහි ගසා ගෙන යනු දුටුවද දණ්ඩක් විසි කරන්ට මා උත්සුක නොවන ආකාරයේ පාදඩ ජාතිවාදීන් දෙදෙනකු සමඟ ගජේ ගසා ගෙන සිටිනු දැක්ම මට දිරවිය නොහැකි විය. මේ නව හවුල තුළින් බිහිවන්නේ එවන් අශිෂ්ට පාදඩ දේශපාලන සංස්කෘතියක් බව මට වැටහුනේය. තව දුරටත්, මොනම කාරණයක් නිසා හෝ ඊට සම්මාදම් වෙන්ට මට අවශ්‍යතාවයක් නොවීය.

ධර්මසිරි බණ්ඩාරනායක හා ගාමිණී වියන්ගොඩ

ජනාධිපතිවරණයට සතියකට පෙර මෙතෙක් ජීවිතයේ ගිය පිස්සුම චාරිකාවේ යෙදෙමින් සීගිරියට ගියෙමි. “පිස්සුම” කීවේ ඒ චාරිකාව ආරම්භ කරන විටත් සීගිරිය ඇතුළු රජරටට නාකපන වැහි වැටෙමින් තිබුණු බව අප දැන සිටි නිසාය. කොටින්ම ගංවතුර නිසා දුම්රිය ධාවනය නැවැතී තිබී එය පොළොන්නරුව තෙක් ආරම්භ වූයේද අප චාරිකාව සඳහා යොදා ගත් දින උදයේය. දින තුනක් නවාතැනට කොටුවී සිටින්ට වන බැව් අපි හොඳින්ම දැන් සිටියෙමු. එසේ වුව ඒ වන විට ගෙදරට කොටුවී යමක් නොකරමින් සිටීම කොයිතරම් අමාරු දෙයක් වී තිබුනේද යත් මේ චාරිකාවේ යෙදෙන්ට මට උවමනා විය.(ඇත්තටම එය ඵලක් නැති චාරිකාවක් විය. ඉතාම තදින් වැස්සේය. අපට සීගිරියට නඟින්ට පවා බැරි විය. නමුත් මේ චාරිකාවේදී හැඳින ගන්ට හැකි වූ අපූරු පුද්ගලයින් කිහිප දෙනෙක් විය.)

උදය දේවී දුම් රියේ කොළඹ කොටුවේ සිට හබරණට මම මහින්ද රාජපක්ෂ කටවුට් 64 ක්ද මෛත්‍රිපාල සිරිසේන ඉතාම කුඩා ප්‍රමාණයේ කටවුට් එකක්ද ගණන් කළෙමි. හබරණ සීගිරිය යනු මෛත්‍රිපාල සිරිසේන වැයික්කියයි. මෙයද තනිකර නිල්පාටින් වැසී තිබුණේය. පොදු අපේක්ෂකයාගේ පෝස්ටරයක් පවා දැක ගත හැකි වූයේ හාවා හඳ දැක්කාක් සේය.

“මෙහෙ මිනිස්සු මෛත්‍රිපාල මහත්තයට ගමේ මිනිහා නිසා ඡන්දය දෙයි නේද?”

මම හබරණදී කුළුපග වූ දුම්රිය ස්ථානාධිපතිවරයාගෙන් කටට උත්තරය දී ඇසීමි. (එන ගමනේදී දුම්රිය ප්‍රමාදය නිසා පැය හතරක් අපට හබරණ දුම්රිය ස්ථානයේ රැඳී සිටින්ට සිදුවිය.)

“මොන පිස්සුද මහත්තයා? මෙහේ මිනිස්සු ඔක්කෝම දෙන්නෙ මහින්ද මහත්තයාට. යුද්දෙ නතර කළ එක මිනිස්සුන්ගෙ හිතේ තාම තියෙනවා.”

ඔහු ස්ථිර හඬින් කීයේය.

ඔහුගේ වැයික්කියේදීම මෙසේ අසා ගන්නේ නම් මෛත්‍රිපාල සිරිසේනට ජනාධිපතිවරණයේදී අවස්ථාවක් නැතිම බව මම නිගමනය කළෙමි. මේ නිගමනය මත මම ලිපි කිහිපයක් ලිවීමි.

කවුරු දිනනවාද යන කාරණය ඉඳුරා බැහැර කොට, මෛත්‍රිපාල සිරිසේන ප්‍රතිපත්ති ප්‍රකාශය අපක්ෂපාත විචාරයකට හසු කරමින් මා ලියූ දීර්ඝ ලිපි දෙකක්ද ජනාධිපතිවරණයට දින කිහිපයකට මත්තෙන් Daily Mirror පුවත්පතේ දින දෙකක පුරා පිටුව බැගින් මගේ ලොකු ඡායාරූපද සහිතව පළ විය. මේ ජනාධිපතිවරණයේදී මා පැත්තක් නොගත් බවට මට ඇති හොඳම සාක්ෂියයි.

ජනවාරි නව වැනිදා උදෑසන මම නැවත ෆේස්බුක් ගිණුම විවෘත කලෙමි. ඉන්පසු එහි මා පළ කළ පළමු ඡායාරූපය එදින දිනය පෙනෙන සේ Daily Mirror පුවත්පතක් මත තැබූ මගේ තීන්ත නොතැවරුණු ඇඟිල්ල සහිත අත හා මගේ භාවිතා නොවුණු ඡන්ද කාඩ් පත දක්වා ලීය.

2015 ජනාධිපතිවරණයේදී මගේ ඡන්දය භවිතා නොකිරීමට ගත් නිවැරදි තීරණය ගැන මම අද උදක් සතුටු වෙමි.

39. ජනාධිපතිවරණය 2015 ජනවාරි 8 (පළමුවැනි කොටස)

වත්පොතින් දුරස්ව වී සිටිමි. අනුකම්පා විරහිතව මරා දමන ලද වත්පොත් ගිණුම නැවත ප්‍රත්‍යුත්ථානය කිරීමේද අදහසක් දැනට නැත. එබැවින් ලියන්ට ඇති යම් යම් දේ මෙතැනට නැවත එකතු කරන්ට කල්පනා කළෙමි.

මා ඉහත ලියූ පෝස්ට තව දුරටත් තබා ගත යුතුද නැද්ද තීරණය කරන්ට ඊයේ යම් කාලයක් වැය කළෙමි. අවසානයට තීරණය කළේ පෞද්ගලික කාරණාවක් මත එකම එක පෝස්ට් එකක් ඉවත් කරනවා හැරෙන්ට වෙනත් වෙනසක් නොකරන්ටය.

මා අවසන් වතාවට මෙතැන යමක් සටහන් කොට ඇත්තේ වසර හතරකට ඉහත බැව් පෙනේ. ඇත්තටම ක්‍රමානුකූල ලිවීම නවතා ඇත්තේ වසර හයකට කලින්ය. එසේ වුව මම වෙනස් වී නැත්තෙමි. මා එතැනමය. මගේ දේශපාලනය එතැනමය. ස්වාභාවික පරිණාමීය ක්‍රියාවලියන්ට මුහුණ දීම හැරුණු විට මේ කිසිවක වෙනසක් සිදුව නැත.

අළුතින් බ්ලොග් ලියන්ට ඇති කළ උත්තේජනය ගැන ගල්කන්දේ ධම්මානන්ද හිමි, ශාමික ලක්ෂාන්, සොඳුරු සිත ලියන වත්සලා, චින්තක සඳරුවන් ජයවික්‍රම හෙවත් සඳරු හා ප්‍රියන්ත හේවගේ හෙවත් මාතලන් (“මගෙ නම මාතලනුත් නෙවෙයි, ප්‍රියන්තත් නෙවෙයි හේවගේත් නෙවෙයි බං”) යන පස් දෙනාට ස්තූතියි.  
———————————————————————————————

ජනාධිපතිවරණය 2015 ජනවාරි 8 (පළමුවැනි කොටස)

2015 ජනවාරි අට වැනිදා, ජනාධිපතිවරණ දින රාත්‍රියේ, කොළඹ නගරය තුළ, සමහරවිට ලංකාව තුළම රාත්‍රි නවයට පමණ අතිශය සැහැල්ලුවෙන් නින්දට ගොස් පැය දහයකටත් වඩා දිගු නොබිඳුණු සුව නින්දකින් පසුව ඇහැරුණු එකම වාසනාවන්තයා මමය සිතමි.

මේ වූ කලි මා හැරුණු විට සමස්ත දිවයිනම අධි රුධිර පීඩනයෙන් මුසපත්ව අවදිව සිටි යක්ෂයාගේ රාත්‍රියකි.

මට විශේෂයෙන් අවදිව සිටින්ට අවශ්‍යතාවයක් නොවීය. මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බව මම දැන සිටියෙමි. මෙය හුදෙක් අනුමානයක් නොව මට ලැබී තිබුණු මැතිවරණ සමීක්ෂණ සියල්ලේම ප්‍රතිඵලයයි. මම ඉලක්කම් විශ්වාස කරමි. විශ්වාස කළෙමි. කොටින්ම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරණය පරදින බවට දිග විශ්ලේෂණාත්මක ලිපියක් – තනිකරම මගේ උවමණාවට – ඉන් පෙර සතියේ සිළුමිණට ලිවීමි.

අනෙක් අතට මහින්ද රාජපක්ෂ දින්නාය කියා මට අළුතින් ඇති වන්ට හෝ නැතිවන්ට කියා දෙයක් නොවීය. මා ජනපතිවරණය සැහැල්ලුවෙන් සැලැකූයේ එනිසාය.

මීට යම් පැහැදිළි කිරීමක් අවශ්‍යය සිතමි. 2015 ජනවාරිය වන විට මා සිටියේ රැකියාව අහිමිවය. 2014 අගෝස්තුවේදී මට අනපේක්ෂිත අවස්ථාවක රැකියාවෙන් සමුගන්ට කළමනාකාරිත්වය විසින් බල කෙරිණි. එතෙක් මා මිතුරෙකැයි සිතා සිටි ආයතන ප්‍රධානියා මේ ඉඟිය මට දුන්නේ ‘වහෙන් ඔරෝ’ භාෂාවෙනි. ඔහු තවදුරටත් අපහසුවට පත් නොකොට ඒ අවස්ථාවෙහිම මම තනි වාක්‍යයකින් යුතු අස්වීමේ ලිපිය ලියා දුන්නෙමි. අත් හැර යා යුතුය නියමයක් ලත් කළ ජීවිතයෙන් පවා සමු ගත යුතු අප ආයතනයකට බරක් වෙමින් රැකියාවක එල්ලී සිටිය යුතුය මම අදහස් නොකළෙමි.

පුතයා සේ රස්සාවෙන් අස්වුණාට රස්සාවක් අහිමිව ජීවත්වීම කොයි තරම් අමාරු කාරණාවක්ද මා පසක් කළේ මේ දවස් වලය. එය අසීරු කාරණාවක් වන්නේ ඉපැයීම් එක්වරම බිංදුවට වැටෙන නිසාම නොවේ. ආන්තික ලෙස වියදම් කැපීමෙන් හා පොඩි පොඩි වැඩ පංගාර්තු කර ගැන්මෙන් මේ මුල්‍යමය වැටීම යම් පමණකට දරාගත හැකිය. අනෙක් පැත්ත ඊට දරුණුය. ලාංකීය සමාජය තවමත් අප 8-5 රැකියාවක් කළ යුතුය උපකල්පනය කරයි. එවැන්නක් නැති කළ එය තනි පුද්ගලයකුට නොව පවුලකටම සමාජමය ගැටළුවක් බවට පත් වේ.

මේ ඒ යුගයේ ලියු සටහන් කිහිපයකි.

නොවැම්බර් 25, 2014

රැකියාව නැති වීම ප්‍රශ්නයකි. මැතිවරණ සමයක රැකියාව නැති වීම ඊට වඩා බරපතළ ප්‍රශ්නයකි. මැතිවරණයක් ප්‍රකාශ කොට ඇති අවස්ථාවක රාජ්‍ය අංශය සියළු බඳවා ගැනීම් නතර කරයි. පුද්ගලික අංශය පවා තාවකාලික ලෙස පාෂාණිභූත වේ. මැතිවරණය අවසාන වන තුරු කළමනාකරණ තීරණයක් ගන්ට සියල්ලෝම අකමැත්තෝය. මා දැන් අසුව ඇත්තේ මේ දඬු අඬුවටයි. රැකියාවක් පිණිස අවම වශයෙන් තව මාස දෙකක් බලා සිටිය යුතුය.  

ජිනසිරි දැඩැල්ලගේ මහතා

කොන්ත්‍රාත් පදනමින් SLIDA එකට බැඳෙන්ට කැමැති නම්, සලකා බැලීම පිණිස CV එකක් ගෙනත් දෙන්ට යැයි දඩැල්ලගේ මහත්තයා කීවේ මා අස්වෙනවාය ඔහුට කියන්ට ගිය විටය. ඊට මගේද යම්කිසි කැමැත්තක් විය. කෙසේ වෙතත් CV එකක් ගෙන ගොස් දීම  දිනෙන් දින ප්‍රමාද කරමින් සිටියේ කාලයක් කල් දමින් සිටි පෞද්ගලික වැඩ කිහිපයක් අවසන් කර ගන්නා තුරුය. හදිසි ජනපතිවරණ තීරණය එන්නේ ඒ අතරය. මේ බලාපොරොත්තුව අත හැරිය යුතුය මට සිතේ. ජනාධිපතිවරණයෙන් පසුව දඩැල්ලගේ මහතා SLIDA අධ්‍යක්ෂක ජනරාල් පුටුවේ සිටින්ටත් පුළුවන; නොසිටින්ටත් පුළුවන. ඉන්පසුව මොන යකා ඕකෙ වාඩි වෙයිද කවුද දන්නෙ! සමහරවිට මා නැවත SLIDA එකට ජීවිතයටම අඩිය නොතබන්ටම පුළුවන.

SLIDA එකට සේම ICTA එකටද මා යළි අඩිය නොතබනු ඇතැයි මට සිතේ. අවසාන වරට හමු වූ අවස්ථාවේදී (Waters Edge එකේදී) දිසා කීවේ ඔහු සේම වසන්තද ජනාධිපතිවරණයෙන් පසුව “කවුරු ආවත්” ඉවත් විය හැකි බවයි. චිත්‍රාංගනී ඉවත් වීමෙන් පසුව මගේ ICTA කන්ටැක්ට්ස් බොහෝ විට වසන්තට හා දිසාට සීමා විය. මේ තිදෙනාම නැති ICTA එකට මා යන්ට හේතුවක් විය හැකිද?

අවශේෂ ලෝකයේ ජනාධිපතිවරණ උණුසුම ඉතාම සෙමෙන්, දශමයෙන් දශමය වාගේ වර්ධනය වෙමින් තිබේ…

November 26, 2014

Now it is clear the Presidential Election will be a two horse race. All other candidates combined will get less than 1%.

Maithri, the ‘common’ candidate’ (He is yet to become My3) shows little signs of improving his position. The political parties are divided more or less the same way they did in 2010. The only addition to opposition is JHU, which might bring 200,000 votes maximum. May be less.

Can Maithri win? Assuming you are not Sumanadasa Abeygunawardena, above map, showing 2010 Presidential Election results (between Rajapaksa and Fonseka) would be the starting point of your analysis.

Show this map to any international analyst and ask whether there could be a SWING five years later, large enough to reverse the results.

She will ask only one question: Has there been any SERIOUS political or economic issue during the five years?

You admit, there wasn’t. The war is over. Country has recovered fast. No recessions. The growth has been positive. (6-7% annually) May not be perfect, but the conditions are not definitely bad.

The analysts will smile and ask: Then what SWING you talk about? Do you expect the blue electorates to miraculously turn red overnight?

I still sleep 12 hours a day. And learn French….

නොවැම්බර් 27, 2015

මාස කිහිපයකට, කරන්ට රැකියාවක් නැති වීම නරක දෙයක්ම නෙවෙයි. හැමදාම කරන හැල්මේ දිවිල්ල නවතා පොඩියක් විඩා හරින්ට, අළුතින් යමක් හිතන්ට ඉඩ ලැබෙන්නේ එවිටය. ජවහර්ලාල් නේරු මේ ඉසඹුව හඳුන්නා දුන්නේ ‘බැටරි චාජ් කර ගත යුතු කාලය’ ලෙසටය. ඇත්ත. අවශ්‍ය එකම දේ එසේ ලබුණු කාලය නිවැරදිව කළමනාකරණය කරන්ට ඕනෑකමක් හා හැකියාවක් තිබීමය. නැතිනම් මේ කාලය නිකරුණේ පිච්චෙන්නේ මුදල් රාශියක්ද සමඟය.

මට ලැබුණු ඉසඹුව මම ටක්කෙටම කළමනා කළේය නොසිතමි. හැබැයි කාලයක පටන් කරන්ට හිතාගෙන සිටි, ඒත් බැරිව තිබුණු වැඩ කටයුතු කිහිපයක් මේ කාලයම තුළ කර ගතිමි. එකක්, පොතක් ලිවීමය. මාස දෙකක ශ්‍රමයේ අවසානය වූයේ ‘South Korea and South Asia: What one can learn from the other’ ග්‍රන්ථයයි. තරුණ ලේඛකයකු වූ මයිකල් මෙන්ඩිස් සංස්කරණයට එකඟ වූ නිසා භාෂාව ගැන වැඩිදුර කරදර නොවී, මගේ අවධානය සම්පූර්ණයෙන්ම වාගේ අන්තර්ගතයට යොමු කොට මේ කාර්යය කර ගෙන යන්ට හැකිවිය. මයිකල්ගේ එකතු කළ අගය මම අගය කරමි. මේ කාර්යය මා තනිව කළා නම් එය මාස දෙකක් වැනි කාලයක් තුළ කිසිසේත් අවසන් කරන්ට නොහැකිවනු ඇත.

පොත ලියා අහවර කළත්, විවිධ හේතූන් නිසා මගේ කොරියානු මිතුරන් හා මිතුරියන්ගෙන් බලාපොරොත්තු වූ සහාය ඒ අයුරින්ම නොලැබී ගියේය. පොතට අවශ්‍ය ඡායාරූප සියල්ල සැපයිය හැකි බවට කලින් පොරොන්දු වූ මගේ කොරියානු මිතුරියක් ඉන්පසුව විවිධ හේතු දක්වා එය මඟ හැරියාය.

පොතේ සමාන්තර සිංහල පරිවර්තනයක් පළ කර දෙන්ට සුන්දර අයියා (සුන්දර නිහතමානි ද මෙල්)  පොරොන්දු විය. පරිවර්තනය මට කරන්ට බැරි වැඩ වලින් එකකි. මා කරන්නේ හැම විටම දෙවන භාෂාවෙන් යළි හිතා නැවත ලිවීමයි. මෙය කල් ගත වන වැඩකි. එනිසා මම පරිවර්තකයකු සෙවීමට උත්සුක වීමි. ආචාර්ය උදන් ප්‍රනාන්දු ඊට රෙකමදාරු කළේ අජිත් පැරකුම් ජයසිංහවය. අජිත්ගේ භාෂා හැකියාවන් පිළිබඳව මට ගැටළුවක් නුවූවද, සමහර තැන්වලදී ඔහුගේ දේශපාලන අදහස් වලට විරුද්ධ මෙවැනි ග්‍රන්ථයක් පරිවර්තනය ඔහු භාර ගනු ඇද්ද යන්න මට කුකුසක් විය. එනිසා මම අජිත්ට කතා නොකළෙමි.

මේ පොත මුද්‍රණය කරා ගමන් නොකළේ, මේ සියල්ල විසඳා ගත්තද, මඟ හරිනු නොහැකි වූ එක් බාධකයක් නිසාය.

මගේ පොතේ උලුප්පා දැක්වූ චරිතය වූයේ කොරියාවේ පළමු ජනාධිපති පාක් චුං-හීය. ජනාධිපති පාක් බොහෝ කොරියානුවන් පවා කතා කරන්ට අකමැති ජාතියේ විවාදාපන්න චරිතයකි. වත්මන් කොරියානු ජනපතිනි පාක් ගෙවුං-හී පවා සිය පියා ගැන කතා කරන්නේ කලාතුරෙකිනි. ඔහුගේ මිලිටරි ඒකාධිපතිත්වය එතරම් ප්‍රබල එකකි. හැබැයි මේ මිලිටරි ඒකාධිපතියා ආසියාවේ දුප්පත්ම රට වූ කොරියාව ලොව දොළොස්වැනි ධනවත් රාජ්‍යය කිරීමේ පළමු පියවර තැබුවේය. මගේ එක් තර්කයක් වූයේ එවැනි දැඩි නායකත්වයකින් තොරව කිසිම ආසියානු රටකට කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් ලබා ගත නොහෙන බවයි.

2014 නොවැම්බරයට පෙර මගේ කථාන්තරයේ යම් සාමජීය ආසක්ත භාවයක් විය. හැබැයි ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසුව, සෝභිත හිමියන්ගේ මැදිහත් වීම්, යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතිකාවත, වඩා සුමුදු චරිතයක් වූ මෛත්‍රිපාල සිරිසේන මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා සේ තරගයට එක්වීම යනාදී කාරණා මත මේ මොහොත මගේ පොත් එළි දක්වන්ට සුදුසුම එකදැයි මට සංශයක් වේ. එනිසා එය එළි දැක්වීම ජනාධිපතිවරණය පසුවනතුරු කල් දමන්ට මම තීරණය කළෙමි.

(මතු සම්බන්ධයි….)   

38. ජෝන් බාස්ගේ මිනීමැරුමේ සැඟවුණු අභිරහස

ෂර්ලොක් හෝම්ස් කුඩා කළ කියැවූ බොහෝ දරුවනට සේ මටද කාලයක් රහස් පරීක්ෂක උණක් වැළැඳී තිබුණේය. නමුත් මේ කතාවේ සඳහන් “ජෝන් බාස්ගේ මිනීමැරුම” මා දැන ගත්තේ වැඩිහිටියකු වශයෙනි. ලියන්නට දොස්තර වොට්සන් කෙනෙකු නැති නිසා මවිසින්ම ලියන මේ සටහන ඒ කතාවයි. මා මුල සිට පටන් ගත යුතුය. පාඨකයාට වෙහෙසකර වුවද ඉතාම අවැදගත් සේ පෙනෙන තොරතුරුද මා මෙහි එක් කරන්නේ ඒ නැතිව කතාව අසම්පූර්ණ වන නිසාය.

මගේ ඥාතිවරියකට පිටිසරබද පළාතක, පරම්පරාවෙන් උරුම වූ, අක්කරයක විතර ඉඩමක් තිබුණේය. ඉඩමක් කීවාට කවමදාවත් ගෙයක් ඉදි නොකරන ලද, වගාවක් නොකළ, වල් වැවුණු මුඩු බිමකි. ඔහේ වැවෙනවාට වැවුණු කණාටු පොල් හා තවත් නොවටිනා ගස් කිහිපයක් හැරෙන්නට මේ ඉඩමෙහි වෙනත් කිසිවක් නොවිණි. ඉඩමට 1980 ගණන් වල ලියන ලද ඔප්පුවක් තිබුණද කෙදිනකවත් හරි හැටි මැනීමක් කර නොතිබිණි. තැනින් තැන දිරාගිය කටු කම්බි මිසෙක වැටක් කියා දෙයක් නොවීය. (යටින් ඇති ඡායාරූපය මේ කතාවේ කියැවෙන විභාගය සිදුවූ දාම ගත් එකකි.)

මගේ ඥාතිවරියගේ පදිංචිය කොළඹය. ඇය ගමෙන් කොළඹට සංක්‍රමණයව ඇත්තේ කාලයකට පෙර, විවාහයත් සමඟය. අල්ලපු ඉඩමේ මනුස්සයා මුරකාරයකු නැති ඉඩමේ හූරා ගන්නට පුළුවන් දෙයක් හූරා ගනියි. විටෙක ඔහු පොල් අතු ටිකක් ඇදගනී. තව විටෙක පොල් ගහක් කපා විකුණයි. මේ දකින ගමේ මිනිස්සු එක දෙක කොට දුරකථන ඇමැතුම් දී මගේ ඥාතිවරිය වයින් කරති. ඇයද සියළු කටයුතු පසෙක ලා දිව ගොස් මේ මනුස්සයා හා වලියට පැටලෙයි. ගමේ මිනිස්සු මේ වලි එන්ජෝයි කරති.

මගේ ඥාතිවරිය කාලයත් සමඟ මේ ප්‍රශ්නය මෙසේ ඉදිරියට ගෙන ගිය නොහැකි බව වටහා ගත්තාය. ඇය මේ සම්බන්ධයෙන් කිලෝ මීටර 10-15ක් පමණ ඈතින් වූ P නගරයේ පොලෝසියට පැමිණිළි කළේ ඒ අනුවය.

සතියක පමණ ඇවෑමෙන් පොලෝසිය ඉඩමට ගොස් යම් “පරීක්ෂණයක්” කර තිබුණේය. එහා වැටේ මනුස්සයා කියා තිබුණේ අපූරු කතාවකි.

“මං ඒ ඉඩම බුක්ති විඳින්නෙ මටත් ඒකෙ හවුල් අයිතියක් තියෙන නිසා. මට පුළුවන් ඔප්පු පෙන්නල මගේ අයිතිය තහවුරු කරන්න.”

මේ හතර බීරි කතාව විසඳීමට නොහැකි නිසා පොලෝසිය තමන්ට කළ හැකි එකම දේ කළේය. ඒ දෙපාර්ශ්වයටම නියමිත දිනෙක වැඩිදුර විභාගය පිණිස P නගරයේ පොලෝසියට එන මෙන් දැනුම් දීමය. මගේ ඥාතිවරිය දින දෙකක්ම පොලෝසි ගියාය. අනෙක් පාර්ශ්වය පැමිණ තිබුණේ නැති නිසා ඒ දෙවරම විභාගය කල් ගියේය. ඇය මගේ සහාය පැතුවේ තෙවන වරට කැඳවූ හමුව පිණිසය.

මෙවැනි අවස්ථා වලදී හඳුනන්නකු මාර්ගයෙන් යමක් කරවා ගැනීමට ප්‍රතිපත්තියක් වශයෙන් මම අදත් විරුද්ධ වෙමි. නීතිය ඉදිරියට හිස් අතින් යන්නට මම කැමැත්තෙමි. එහෙත් පොලෝසිය ගැන මට පූර්ව අත්දැකීම් කිහිපයක් තිබුණේය. හඳුනන්නකු මාර්ගයෙන් නොයෑමෙන් සිදු වන්නේ නිස්කාරණයේ කාලය නාස්ති වීම පමණක් බව මම දැන සිටියෙමි.

කොළඹ පාසලකට යෑමේ අවස්ථාව නිසා මගේ මිතුරන් අතර කොළඹ ප්‍රධාන පොලෝසි දෙකක ප්‍රධානීහු වෙති. එයින් K නගරයේ ස්ථානාධිපති සමඟ මගේ කිට්ටු සම්බන්ධතාවයක් නොතිබිණි. මම ඊට වඩා හොඳින් දැන සිටි M නගරයේ ඕ. අයි. සී. මහත්තයාට කතා කළෙමි. පාසලේදී ඔහු හිටියේ මට වසරක් පහළ පන්තියේය.

අපේ කතා බහ මෙසේ විය.

මම : අරුණ, මම මේ චානුක කතා කරන්නෙ. මතකද …
M නගරයේ ස්ථානාධිපති (අරුණ) : ඔව්, චානුක අයියෙ කියන්න…
මම : මල්ලි මගේ ඥාතියෙකුට පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනව ඉඩමක් සම්බන්ධයෙන්. P නගරයේ පොලීසියට පැමිණිල්ලක් කරල මේ ඉරිද විභාගයට එන්න කියල තියෙන්නෙ. මං කතා කළේ ඔයා දන්න කෙනෙක් නැද්ද කියල අහන්න.
M නගරයේ ස්ථානාධිපති (අරුණ) : අපොයි P නගරෙ ඕ. අයි සී. මගේ හොඳ යාළුවෙක් නෙ. පෙරේරා කියල කෙනෙක්. මං කියල තියන්නම්. අයිය ගිහින් කෙළින්ම එයාටම කතා කරන්නකො.
මම : තෑක්න්ස්, අරුණ.

දීර්ඝ කතාවක් කෙටියෙන් කියන්නේ නම් ඉන්පසු ඉරුදින මම මගේ ඥාතිවරියද සමඟ P නගරයේ පොලිස් ස්ථානාධිපති ඉදිරිපස අසුන් ගෙන සිටියෙමි. අප අතර සංවාදය මෙසේය.

මම : මගේ නම චානුක වත්තේගම. මම අරුණගෙ යාළුවෙක්…අරුණ කියන්න ඇති නේද?
P නගරයේ ස්ථානාධිපති : ඔව්. ඔව්. මට අරුණ කිව්ව මිස්ටර් වත්තේගම ගැන. දැන් මොකද මගෙන් කෙරෙන්න ඕනැ?
මම : මේ ඉන්නෙ මගේ ඥාතිවරියක්. එයාගෙ ඉඩමක් තියෙනව n ගමේ. ඒකට එහා පැත්තෙ ඉඩමෙ ඉන්න මිනිහගෙන් ටිකක් කරදරයි. නිතරම වත්තට පැනල තියෙන දෙයක් ඇදගෙන යනව. ළඟකදි පොල් ගස් වගේකුත් කපල…
P නගරයේ ස්ථානාධිපති : ඇත්තට? ඉන්න මං දැන්මම කියන්න ජීප් එක අරගෙන ගිහින් ඕකව ලකප් කරන්න කියල…
මම : නෑ. නෑ. මේක එච්චර දුර ගෙනියන්න ඕනැ දෙයක් නෙවෙයි. ඒ මනුස්සයත් මේ ඉඩමට අයිතියක් කියනවලු. අද දෙපැත්තටම මෙහාට එන්න කියල තියෙන්නෙ විභාගයක් කරන්න. අපට ඕනැ දෙපැත්තෙම ඔප්පු බලල මේක සාධාරණව විසඳල දෙන එක විතරයි…
P නගරයේ ස්ථානාධිපති : ඕකනෙ කියන්නෙ. ඔය ගොල්ල මෙහේ මිනිස්සු කොච්චර අණ්ඩයොද දන්නෙ නෑ. උන්ව ලකප් කරල දෙකක් ඇන්නහම තමයි ඇත්ත කියන්නෙ…හොඳයි කමක් නෑ. අද මෙහාට ආපුදෙන් මම ක්‍රයිම් ඕ. අයි. සීට කියන්නම්කො මේක ඉක්මනට විසඳල දෙන්න කියල. (දුරකථනයෙන්) සුරේ, මේ පොඩි කේස් එකක් තියෙනව පොඩ්ඩක් බලන්න. මගේ යාළුවෙක්ගෙ ඇඳුනුම්කම පිට ඇවිත් තියෙන්නෙ…

නැවත දීර්ඝ කතාවක් කෙටියෙන් කියන්නේ නම් අප අදාල නිලධරයා ඉදිරියේ සිට ගෙන සිටිමු. බැලූ බැල්මට ඔහුට වයස අවුරුදු පනහකට වැඩි බව පෙනේ. විශ්‍රාම යන වයසට කිට්ටුව විය හැකිය.

එක පසෙක මාත් මගේ ඥාතිවරියත්ය. අනෙක් පස අල්ලපු වැටේ මනුස්සයා (අසල්වැසියා) හා අඩු ගණනේ වයස අසූවක් වත් විය හැකිය සිතිය හැකි ඔහුගේ මහළු පියාත්ය. මේ පියා දෙස බලන විට අපේ රත්නසිරි වික්‍රමනායක ඇමැතිතුමාත් නාඹර තරුණයකු මෙන්ය. මගේ ඥාතිවරිය අත 1980 ගණන් වල ලියූ ඔප්පුවකි. අනෙක් පාර්ශ්වය අත 1950 ගණන් වල ලියූ කහ ගැහුණු, දිරාපත් වුණු, කාවුන් කෑ ඔප්පුවකි.

අප අතර සංවාදය මෙසේය.

පොලිස් නිලධරයා : (මගේ ඥාතිවරියට) මිස් මෙතැන වාඩි වෙන්න. (විත්ති පාර්ශ්වයට) ආ තමුසෙලත් ඔතැනින් වාඩි වෙනව. (අසල්වැසියාට) මොකද මේ තමුන් අනුන්ගෙ වතුවල පොල් ගස්, රඹුටන් ගස්, අඹ ගස්, කෙහෙල් ගස් කපනව කියන්නෙ?
අසල්වැසියා : අමූලික බොරු සර්, ඒ ඉඩමෙ රඹුටන් ගසුත් නෑ, අඹ ගසුත් නෑ…
පොලිස් නිලධරයා : ඒ වුණාට තමුන් පොල් ගස් කැපුවනෙ…අල්ලල ලකප් කරන්නයි තිබුණෙ තමුන්ව අපට…
අසල්වැසියා : කැපුවෙ සර් අපේ පොල් ගස්. ඒ ඉඩමට අපට අයිතියක් තියෙන නිසා.
පොලිස් නිලධරයා : කොහොමද තමුන්ට ඒකට අයිතිය තියෙන්නෙ?
අසල්වැසියා : පරම්පරාවෙන්. මෙන්න සර් ඔප්පුව…
පොලිස් නිලධරයා : (ඔප්පුව පෙරළමින්) එතකොට මිස්ලට මේකට අයිතිය තියෙන්නෙ කොහොමද?
මගේ ඥාතිවරිය : පරම්පරාවෙන් ආපු ඉඩමක් සර්.
පොලිස් නිලධරයා : කෝ ඔප්පුව ගන්න

ඉඩම් පිළිබඳව අවම දැනුමක් ඇති මට පවා පැහැදිළි වූ කාරණාව නම් මේ ඔප්පු දෙක අතර මොනයම්ම හෝ සම්බන්ධතාවයක් නැති බවයි. ඔවුන්ගේ ඔප්පුව කියැවීමට පවා බැරි දුර්වර්ණ එකකි. අප සතුව ඔප්පුවක් තිබුනද පැලෑනක් නොවේ. ඔප්පු දෙකේ මායිම් අතර කිසිම ගැලැපීමක් නැත. ඔප්පු දෙකේ ඉඩම් දෙකේ නම් දෙකකි. එක ඔප්පුවක සඳහන් එකම පුද්ගල නාමයක් වත් අනෙකෙහි සඳහන් නොවේ. කොටින්ම පාර්ශ්වයන් දෙකෙන් එකකට වත් තමන්ගේ අයිතිය තහවුරු කිරීමට ඔවුන් අත ඇති ලියැවිලි වලින් පමණක් නුපුළුවන.
ඉඩම් සම්බන්ධ මෙවන් සංකීර්ණ ගැටළුවක් පොලෝසියට විසඳීමට හැකි කාරණාවක් නොවේ. ක්‍රයිම් ඕ. අයි. සීලා ඉඩම් ගැන දන්නා මඟුලක් නැත. එය දිස්ත්‍රික් හෝ මහේස්ත්‍රාත් උසාවියකින් සමථයට පත් කළ යුතු කාරණාවකි. පොලෝසිය විසින් කළ යුතුව තිබුණේ සිවිල් නඩුවක් දමා විසඳා ගන්නා ලෙසට දෙපාර්ශ්වයටම උපදෙස් දී චැප්ටර් ක්ලෝස් කිරීමය. ඒත් පොලෝසිය ඒ තරම් ලේසියෙන් පරාජය පිළිගන්නට කැමැති නැත. ඉන්පසු සංවාදය මෙසේය.

පොලිස් නිලධරයා : හොඳයි, දැන් තමුන් මේ නෝනව දන්නවද?
අසල්වැසියා : තාත්තම කියන්නකො…
මහළු පියා : ….මක් කිව්ව?
පොලිස් නිලධරයා : (හයියෙන්) තමුන් දන්නවද මේ නෝන කවුද කියල?
මහළු පියා : (නින්දෙන් ඇහැරුණාක් මෙන්) මොකක්?
පොලිස් නිලධරයා : (අතින් පෙන්වමින්) කවුද මේ?
මහළු පියා : ආ… මේ අර ජෝන් බාස්ගෙ අයියගෙ මිනිපිරීනෙ…
පොලිස් නිලධරයා : කවුද ජෝන් බාස් කියන්නෙ?
මහළු පියා : අර වස දීල මරපු ජෝන් බාස්…(හෙමින්, තමාටම කියා ගන්නාක් සේ)…පොලීසිය දන්නෙත් නෑ මේව
පොලිස් නිලධරයා : ජෝන් බාස් මැරුව? කවුද මැරුවෙ?
මහළු පියා : කවුද ඉතින් ලේලිල තුන්දෙනා මිසක…දේපළ ගන්න ජෝන් බාස්ව මැරුව.
පොලිස් නිලධරයා : (මගේ ඥාතිවරියට) මොකද්ද මේ කියන කතාව?
මගේ ඥාතිවරිය : ජෝන් කියල නම් අපට සීය කෙනෙක් හිටිය තමයි සර්, ඒත් එයා ඉස්පිරිතාලෙදිනෙ මැරුණෙ…
පොලිස් නිලධරයා : දැන් ජෝන් ඉස්පිරිතාලෙදි මැරුණ නම් තමුන් කොහොමද කියන්නෙ ඒක මිනීමැරුමක් කියල?
මහළු පියා : සර්… ඉස්පිරිතාලෙට ගෙනියන්න කලින් වස දුන්නෙ. ලේලිල වස දුන්නයින් පස්සෙ තමයි ලෙඩ වෙලා ඉස්පිරිතාලෙට ගෙනිච්චෙ. එහෙදිම මළා. ගමට වත් ගෙනාවෙ නෑ බොඩිය ආදාහනේට වස දීපු එක හංගන්න
පොලිස් නිලධරයා : දැන් කවුද ඔහොම වස දීල කියල කියන්නෙ?
මහළු පියා : ගමේ මිනිස්සු තමයි
පොලිස් නිලධරයා : ඇසින් දුටු සාක්ෂි තියෙනවද?
මහළු පියා : ගමේ කතාවෙන දේවල් තමයි අපි කියන්නෙ…බොරු නෙවෙයි
පොලිස් නිලධරයා : තමා තමන්ගෙ සැකය පොලීසියට කිව්වද?
මහළු පියා : (නිහඬය)
පොලිස් නිලධරයා : මං අහන්නෙ තමුන් මිනීමැරුවක් වෙලා කියල හොඳටම දැන දැන ඒක පොලීසියට කිව්වද?
මහළු පියා : (බැගෑපත්ව) නෑ සර්
පොලිස් නිලධරයා : තමුන් ඒක ග්‍රාම සේවක රාළහාමිට කිව්වද?
මහළු පියා : (තරමක් කල්පනා කොට) නෑ සර්…
පොලිස් නිලධරයා : දැන් තමුන් දන්නවද තමුන් කරල තියෙන්නෙ භයානක වරදක් කියල මේ මිනීමැරුම ගැන දැන දැනම වසන් කිරීමෙන්…
මහළු පියා : (නිහඬය)
පොලිස් නිලධරයා : හොඳයි කවද්ද මේ තමුන් කියන මිනීමැරුම වුණේ?
මහළු පියා : (නිහඬය)
පොලිස් නිලධරයා : (සැරෙන්) මං අහන්නෙ කවද්ද මේ මිනීමැරුම වුණේ?
මහළු පියා: …හතළිස් පහේදි විතර සර්…
පොලිස් නිලධරයා : තමුසෙට පයිත්තියන්ද ඕයි, තමුසෙ මේ කිව්වෙ 1945දි වෙච්චි සිද්ධියක්ද?
(මේ අවස්ථාවේදී එතෙක් නිහඬව සිටි පුතා ගේමට බැස්සේය.)
අසල්වැසියා : එහෙම කතා කරන එක වැරදියිනෙ සර් තාත්තට. සර්මනෙ දැන් හාර හාරා විස්තර ඇහුවෙ…
පොලිස් නිලධරයා : (සැරෙන්) තමුසෙගෙන් ඇහුවෙ නෑනෙ. තමුසෙ කට වහ ගන්නව!
අසල්වැසියා : ඒ වුණාට සර් ඔහොම තාත්තට කතා කරන එක වැරදියිනෙ. වයස වත් බලලද කතා කරන්නෙ? ඔන්න මට ඔහොම කතා කළා නම් කමක් නෑ.
පොලිස් නිලධරයා : තමුසෙට කට වහ ගන්න නේද කිව්වෙ?
අසල්වැසියා : ඕකනෙ සර්, සර්ලත් මිනීමැරුමක් යට ගහන්න හදනවනෙ…
පොලිස් නිලධරයා : (සැරෙන්) කවුද මිනිහො මිනී මැරුමක් යට ගහන්න හදන්නෙ?
අසල්වැසියා : දැන් ඔය තාත්තම සර්ට කිව්වෙ, ජෝන් බාස්ට වස දීල මැරුවයි කියල. ඉතින් සර්ල ඉන්නෙ ඕව විභාග කරන්න නෙවෙයි නම් මොකටද?
පොලිස් නිලධරයා : ඉතින් ඕයි හතළිස් ගණන් වල වෙච්චි මිනී මැරුමක් ගැන අද කියල හරියනවද? ඒක ඒ කාලෙ පොලීසියටනෙ කියන්න ඕනැ. ඒකාලෙ P නගරෙට පොලීසියක් වත් නැතුව ඇති. A නගරෙ පොලීසියට තමයි කියන්න තිබුණෙ.
අසල්වැසියා : හරි දැන් අද හරි කිව්වනෙ. දැන් පුළුවන්නෙ සර්ලට ඒකෙ ඇත්ත නැත්ත හොයල බලන්න…
පොලිස් නිලධරයා : (ශාලාව දෙදෙරුම් කන සේ) කට වහ ගනින් වේසිගෙ පුතා. තොට කූඩුවට යන්න ඕනැ වෙලාද දඟලන්නෙ?
අසල්වැසියා : (හිමින් තමටම යමක් කියා ගනී)
පොලිස් නිලධරයා : මොනවද ඩෝ උඹ කිව්වෙ?
අසල්වැසියා : (බයාදු ලෙස ) නෑ සර්… මොකුත් නෑ
පොලිස් නිලධරයා : හුජ්ජ කොල්ලො, තොපි අපට ගෙම්බර් දාන්න එනව…අල්ලල ලකප් කරන්නයි තියෙන්නෙ…

මේ කතා බහෙන් පසුව “විභාගය” තවත් ඉදිරියට ගෙන යාමට පොලිස් නිලධරයාට කිසිම ඕනෑකමක් ඇති බව නොපෙණිනි. සමහරවිට තමන්ගේ නොහැකියාව ඔහු අවබෝධ කොට ගන්නට ඇත. අපටද එය අස්වැසුමක් වූයේ ඔහුගේ කුණුහරුප අසා සිටින්නට අවශ්‍ය නොවූ නිසාය. ඔහු නැවත ඔප්පු දෙක අප අතට දුන්නේ “අදට විභාගෙ මෙතනින් ඉවරයි. ලබන ඉරිදට එන්න අයිතිය කියන්න තව තියෙන සාක්ෂි අරගෙන” කියමිනි.

අපේ මේ විභාගය පැවැත්වුණු කාලය සම්පුර්ණයෙන්ම වාගේ ගතව තිබුණේ වසර හැටකටත් කලින් සිදු විණිය කියන සිද්ධියක් ගැන, ඕපාදූපයක් පාදක කොට ගත් ඵල රහිත කතාවක් වෙනුවෙනි. අද උද්ගතව තිබෙන ගැටළුව ගැන කතා කිරීමට වැයව තිබුණේ විනාඩි පහකටත් අඩු කාලයකි. අප පොලෝසියට ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලු තැනින් අඟලක් වත් ඉදිරියට ගොස් නොතිබිණි.

මේ අදාළ කාරණාව සම්බන්ධයෙන් අප පොලෝසිය සමඟ ගනුදෙනු කළ අවසාන වතාවයි. පොලෝසියට මීට කළ හැකි දෙයක් නැතැයි අපි තීරණය කළෙමු. ඔවුන්ගේ “විසඳුම” සැකකාරයා ලකප් කිරීමය. බඩට දෙකක් ඇනීමය. කුණුහරුප වර්ෂාවකින් සංග්‍රහ කිරීමය. අපට එවැනි විසඳුමක අවශ්‍යතාවයක් නොවීය. සිවිල් නඩුවක් පවරන බව කියා චෝදනාව ඉල්ලා අස් කර ගත්තෙමු.

මගේ ඥාතිවරිය මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ පෙත්සමට අනුව ඉඩම යළි මැනීමක් වූ අතර අසල්වැසියාට අයිතියක් නැතැයි තහවුරු විය.

ඉඩම මැන්නායින් පසුව අල්ලපු වැටේ මනුස්සයාද මගේ ඥාතිවරිය සමඟ මිත්‍ර විය. ඇගේ ඉඩමට හවුල් අයිතියක් තිබුණාය යන්න ඔහුගේ සැකයක් පමණක් වූ අතර එවැන්නක් නැති බව ඔප්පු වීමෙන් පසු ඔහු තව දුරටත් වාද කිරීමට නොපැමිණියේය. එසේම නොමිළයේ තමන්ගේ වත්තේ මායිම් නිරවුල් කර ගැනීම ඔහුගේ තව යටි අරමුණක් විය. නඩුව නිසා එය සාක්ෂාත් විය.

මෑතකදී අසල්වැසියාගේ දියණියගේ මල්වර මඟුලට සහභාගි වූ මගේ ඥාතිවරිය ඇයට රුපියල් දෙදහසක්ම දුන් බව කීවාය.

තවම විසඳී නැති දෙයක් වේ නම් එය “ජෝන් බාස්ගේ මිනීමැරුම” පමණක් විය හැකිය.

37. ගුණරත්න අයියා

2009 මැයි දහ නම වන අඟහරුවාදා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අනුත්තර නායක වේලුපිල්ලෙයි ප්‍රභාහරන්ගේ මළ සිරුර ශ්‍රී ලංකා යුද හමුදාවේ 53 වැනි සේනාංක නායක (එවකට) මේජර් ජෙනරල් කමල් ගුණරත්න යටතේ වූ භට පිරිස් විසින් නන්දිකඩාල් කලපුව ආසන්නයේදී සොයා ගන්නා ලදී.

මේ පුවත පළ කළ බොහෝ පුවත්පත් මේජර් ජෙනරල් කමල් ගුණරත්නගේ ඡායාරූපයක්ද පළ කොට තිබෙණු මම දිටිමි. යුද්ධ හමුදාවේ උසස් නිලධරයකුට වඩා මට එහි කිසිදු අමුත්තක් නොපෙණුනේය.

සතියකට පමණ පසු ආනන්දයේ හිටපු උපවිදුහල්පතිවරයකු වූ කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා (හෙවත් “ගෂියා” – ජයතිලක සර්ගේ ප්‍රියතම පාඩම ‘දෛශික’ය. ඔහු එය ශබ්ද කළේ අපූරු ආකාරයකටය. මේ විකට නාමය ඒ නිසාය. අගෞරවයකට නොවේ.) යම් පුවත්පතකට  එල්.ටී.ටි.ඊය සමඟ අවසන් සටන මෙහෙයවූ ආදි ආනන්දීය හමුදා නිලධරයන් කීප දෙනෙක් ගැන කතා කොට තිබුණා මතකය.

“කමල් ගුණරත්න ගැන මට මතක ඔහුගෙ උස නිසා. නැතුව පන්තියක හෙම හිටපු ළමයෙක් නෙවෙයි. ඉගෙනීමට වඩා උනන්දුව තිබුනේ බාලදක්ෂ කටයුතු වලට!”

මගේ උරග මනසට විදිලි කෙටුවාක් මෙන් දැනිනි.

ගුණරත්න අයියා!

1979දී සයවන ශ්‍රේණියේ සිසුවකු ලෙස බාලදක්ෂ පුහුණු වීම් වලට සහභාගි වෙද්දී අපේ කණ්ඩායම භාර වූයේ ගුණරත්න අයියාටය. ඔහු වසරකට මඳක් අඩු කාලයක් අප පුහුණු කළේය. එවන් තත්ත්වයක් යටතේ වුව මට ඔහු හඳුනා ගැන්මට නොහැකි වීමට හේතු කිහිපයක් විය. එකක් ප්‍රසන්න අයියා මෙන් නොව ගුණරත්න අයියා යුද හමුදාවට එක්වූ බව මම නොදැන සිටියෙමි. අනෙක මා ඔහු අවසාන වතාවට දුටුවේ 1979දීය. දශක තුනක කාලයක් තුළ ඔහු බෙහෙවින් වෙනස්ව සිටියේය. ප්‍රතාපවත් උඩු රැවුලක් ඔහු වතට එක් වී තිබිණි.

ගුණරත්න අයියා ගැන කියන කොට ප්‍රසන්න අයියා ගැනත් අනිවාර්යයෙන්ම කිව යුතු වෙයි. (එවක) බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වා යුද හමුදාවේ 55වන සේනාංකයට නායකත්වය දෙමින් පුදුකුඩුඉරිප්පු තීරණාත්මක සටනට එක්විය. නමුත් විද්‍යාලය තුළ මේ දෙදෙනා එකිනෙකාට ඉඳුරා ප්‍රති විරුද්ධ චරිත දෙකක් වූහ. ප්‍රසන්න අයියා අතිශයින් සමාජශීලී වූ අතර සමහරවිට ඔහුගේ යුගයේදී විද්‍යාලයේ ජනප්‍රියතම ශිෂ්‍යයා විය. නිහඬ චරිතයක් වූ ගුණරත්න අයියා ගැන දැන සිටියේ ටික දෙනෙකි. බාලදක්ෂ පුහුණුවීම් වලට සහභාගි නොවන්නට මටද ඔහු මුළුමනින්ම ආගන්තුක චරිතයක් වීමට තිබුණේය.

1979දී ආනන්දයේ බාලදක්ෂ කණ්ඩායම් නායක ජනාධිපති බාලදක්ෂ අජිත් කෝදාගොඩය. මහාචාර්ය නන්දදාස කෝදාගොඩ ගේ දෙටු පුත් “කෝදාගොඩ අයියා” පසුව මගේ ගෞරවයට පාත්‍ර වූ ගුරුවරුන් අතර ඉහළින්ම සිටින ධර්මරත්න සර්ගේ දියණිය සමඟ විවාපත් විය. මේ පසු සිද්ධීන්ය. 1979දී ඔහු උසස් පෙළ සිසුවෙකි. මුල් දිනයේ අප පිළිගැනීමෙන් පසුව ගුණරත්න අයියාට අප පැවැරුවේ ඔහුය.

“ඔය ගොල්ල හිතන්න එපා බාලදක්ෂයෙක් වෙන එක ලේසි වැඩක් කියලා. ඒක අසීරු දෙයක්. නමුත් එයින් පසුව ලැබෙන ප්‍රතිඵල විශිෂ්ටයි…වැඩි දේවල් ගුණරත්න අයියා ඉස්සරහට කියලා දේවි.”

බාලදක්ෂ පොරොන්දුව, බාලදක්ෂ නීතිය ආදී මූලික කාරණා කියා දීමෙන් පසුව ගුණරත්න අයියා වඩා ප්‍රායෝගික දේවල් වලට බසී.

“කවුරු හරි දන්නවද භාජනයක් නැතුව අර්තාපල් ගෙඩියක් තම්බ ගන්න කොහොමද කියලා…”

“භාජනයක් නැතිවෙන්න නෑනෙ අයියෙ…” කවුරුන් හෝ කියයි. “ගෙදර ඕනැ තරම් හැළි වළං තියෙනවනෙ”

“මෝඩ කතා කියන්න එපා. බාලදක්ෂයින් හැටියට අපට ඝණ වනාන්තරේ මැද්දෙ ගවේෂණ චාරිකා වලට යන්න වෙනවා. ඒවට හැළි වළං උස්සගෙන යන සිරිතක් නෑ. උස්සගෙන යන්නත් බෑ. එහෙම වෙලාවක අපි කොහොමද අර්තාපල් ගෙඩියක් තම්බ ගන්නෙ?”

අපි එකිනෙකාගේ මුහුණු බලමු. ගුණරත්න අයියා අල ගෙඩියක් කොළ අතු වලින් වසා බැඳ ගිණි අඟුරු මැද තබා තම්බා ගන්නා ආකාරය අපට කියාදෙයි. ඉන්පසු ඔහු භාජනයක් නැතිව බිත්තරයක් තම්බා ගන්නා හැටි කියා දෙයි. මේවා මෙසේ විස්තර කළාට ප්‍රායෝගිකව කරන්නට හැකියාව ඇත්තේ මනා පුහුණුවකින් පසුව විය යුතු බව මට අදත් සිතෙයි. මන්ද මා ඒ කාලයේ මේ පරීක්ෂණ වලට ගොස් අලගෙඩි, බිත්තර රාශියක් විනාස කර අත්දැකීම් ඇති නිසාය.

ඊළඟට ප්‍රථමාධාර!

“දැන් ඔය ගොල්ල පාරෙ යන කොට දකිනව අනතුරක්. කාර් එකකුයි බස් එකකුයි හැප්පිලා කියමුකෝ. මොනවද මුලින්ම කරන්න ඕනැ? කාට හරි කියන්න පුළුවන්ද?”

අපට සිතා ගත නොහැකිය. අපි එකිනෙකාගේ මුහුණු බලමු.

“පුළුවන් තරම් ඉක්මණට තුවාල කාරයො රෝහලකට ගෙනියනවා” එකෙක් කියයි. එකකු හෝ උත්තරය දැන සිටීම ගැන අපට හරි ජොලිය. අපි ඔළුව වනමු.

“දැන් මෙයා කියනව තුවාල කාරයො ටික රෝහලකට ගෙනියන්න ඕනැ කියල. ඒකද අපි මුලින්ම කරන්න ඕනැ”

“ඔව්..ඔව්…” අපි එක හඬින් කියමු.

“මෝඩයො. මුලින්ම කරන්න ඕනැ ඒක නෙවෙයි කවුද මැරිල තියෙන්නෙ කවුද නැත්තෙ කියල තේරුම් ගන්න එක. මොකද මැරිච්චි මිනිහෙකුට කොයි තරම් වෛද්‍යාධාර දුන්නත් වැඩක් නෑ. කවුද මැරිල තියෙන්නෙ කියල හරියටම දන්නව නම් අපට් ඒ අය ඉතුරු කරල අපේ අවධානය අනෙක් අයට දෙන්න පුළුවන්…”

සිහින් සිනවක් සමඟ ගුණරත්න අයියා මේ ටිකද එක් කරයි.

“තුවාලකාරයන්ව හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඉස්පිරිතාලෙට ගෙනියනව කියන එක තමයි කරන්න පුළුවන් මෝඩම වැඩේ මොකද ඒ අය අතර ඉන්න පුළුවන් අස්ථි බිඳිච්චි කට්ටිය. පිටින් නොපෙනුණාට අභ්‍යන්තර තුවාල වෙච්චි කට්ටිය. නොදන්න කෙනෙක් මේ අයව එහාට මෙහාට කරල ඒ තුවාල දරුණු වෙන්න පුළුවන්…”

ඉන්පසු ගුණරත්න අයියා “ප්‍රථමාධාර” බැජ් එක ගන්නට මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ යම් පැය ගණනක් එහි කටයුතු නිරීක්ෂණය කරමින් සිටීමට සිදුවීම ගැන කියයි. “සංසාරෙ එපා වෙනව අයිසෙ එතැන ඉන්න ගියාම. ඔන්න ගේනව පිහියා ඇනුමකට ලක් වෙච්චි කෙනෙක්. එයාට බඩේ එක පැත්තකට පිහියෙන් ඇනල අනික් පැත්තට කැපෙන කල් පිහිය ඇදලා. බඩවැල් ඔක්කොම එළියෙ. තව කෙනෙක් බඩ වැල් උස්සගෙන තමයි එන්නෙ…”

යුද බිමේදී ගුණරත්න අයියාට මීට වඩා බොහෝ අප්‍රසන්න අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදු වුනාට සැක නැත. ඒ යුද්ධයේ හැටිය.

ගුණරත්න අයියා ගැන තවත් මතකයක් නම් ඔහු තමන් නිර්භීත වූවාක් පමණක් නොව අනුන්ගේද බිය නැති කිරීමට ආයාසයක් ගත් බවයි. ඒ සඳහා ඔහු ගත් අවදානම සමහර අවස්ථාවලදී පුදුම සහගතය.

ආනන්දයට වරක් හෝ පය තැබූවෝ ආනන්දයේ පස් මහල් ගොඩනැඟිලි දෙක ගැන දනිති. මින් එකක් විද්‍යාගාර ගොඩනැඟිල්ලය. (දැන් නම් එහි සාමාන්‍ය පන්ති පැවැත්වේය සිතමි.) අනෙක එවකට බහු කාර්ය පස්මහලය. තට්ටු පහක් අද නම් එතරම් උසක් සේ නොසිතෙතත් ඒ කාලයේ නම් බය හිතෙන උසකි. ගුණරත්න අයියාට අවශ්‍ය වූයේ අප කඹයකින් මේ පස් මහලේ පස් වැනි තට්ටුව දක්වා නංවන්නටය. අත්ළ රතු වී රිදෙන්නට පටන් ගත් හෙයින් මම දෙවන මහළේදී නතර වීමි. වඩා හිත දැඩි වූවෝ සිව් වන මහල දක්වා නැංගහ. අපි නඟින්නට බැරි වූ දුකට පස් මහලේ සිට කඹයෙන් බිමට බැස්සෙමු. මෙයද අවදානම් කටයුත්තකි. යන්තමින් හෝ අත ලිස්සුවොත් අප අල්ලා ගන්නට සැරහී සිටියේ ආරක්ෂිත දැළක් නොව ඝණ තාර පොළොවය.

තව විටෙක එක් බාලදක්ෂ අභ්‍යාසයකදී තිරස් කඹයක දෙපසින් බඩ ගාමින් එන බාලදක්ෂයින් දෙදෙනෙක් එකට හමුවී එකකු යටින් අනෙකා මාරු වීමෙන් පසු දෙපසට ගමන් කරති. ගුණරත්න අයියාට අවශ්‍ය වූයේ මේ අභ්‍යාසය කඹය පස් මහලේ එකිනෙකට තරමක් දුරින්, ගොඩ නැඟිල්ලට පිටතින් වූ පිය ගැට පෙළ දෙකෙහි බැඳි කඹයක කරන්නටය. ඊට නම් ඔහුට අවසර ලැබුණේ නැත.

මා බාලදක්ෂයකුව ගත කළේ ආනන්දයේ ගෙවූ පළමු වසර පමණෙකි. ඉන්පසු මට අවබෝධ වූයේ එය මට නොව මට වඩා කැපැවීමකින් කටයුතු කළ හැකි පිරිසකට ඇති දෙයක් බවයි. හතේ පන්තියේ මැද හරිය වන විට මම බාලදක්ෂ ජීවිතයෙන් මිදී චෙස් අදින්නට පටන් ගෙන සිටියෙමි. මේ මා පාසල් සමය තුළදී සහභාගි වූ එකම ක්‍රීඩාවය. 1981දී මම ආනන්ද කණිෂ්ඨ චෙස් කණ්ඩායම නියෝජනය කළෙමි.

බාලදක්ෂයකු වූ ගුණරත්න අයියාට යුද හමුදාවට බැඳෙන්නට සිත් දුන්නේ මන්ද යනු මා නොදන්නා කතාවකි.